වෙබ් ලිපිනය:

Monday, February 29, 2016

අගවිනිසුරුතුමාට සුබ උපන් දිනයක්!


ලංකාවේ පාලන ව්‍යුහය විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන අංශ තුනකින් සමන්විතය. ජනාධිපති, අගමැති හා අගවිනිසුරු පිළිවෙලින් මේ අංශ තුනේ ප්‍රධානියෝ වෙති. මේ තනතුරු තුනෙන් දීර්ඝතම ඉතිහාසයක් ඇති තනතුර අගවිනිසුරු ධුරයයි.

ලංකාවේ අගවිනිසුරු ධුරය ඇති කෙරුණේ, උඩරට ගිවිසුම අත්සන් කිරීමටද පෙර, ලංකාවේ පළමු ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් රටේ මුහුදුබඩ පළාත් පාලනය කළ කාලයේ, 1801 අප්‍රේල් මස 18 දින නිකුත් කෙරුණු නීති ප්‍රඥප්තිය මඟිනි. මේ අනුව, එඩ්මන්ඩ් කැරින්ටන් (Edmund Carrington) ලංකාවේ පළමු
අගවිනිසුරු ලෙස පත් විය.

මේ වන විට ලංකාවේ අගවිනිසුරු ධුරය හොබවන කනකසබාපති ශ්‍රීපවන් (கனகசபாபதி சிறீபவன்) ලංකාවේ 44 වන අගවිනිසුරු වරයාය. ඔහුට පෙර මේ ධුරය හෙබවූයේ ශිරාණි බණ්ඩාරනායකයි. ඇය 2011 මැයි 18 වන දින ලංකාවේ 43 වන අගවිනිසුරු ලෙස පත් වී 2015 ජනවාරි 28 වන දින ඉල්ලා අස්වනතුරු එම ධුරයේ කටයුතු කළාය. මේ මා අද දන්නා නිවැරදි ඉතිහාසයයි.

අතීතය ලෙස අප දන්නේ මේ මොහොතට පෙර සිදුවූ බව අප දැන් සිතා සිටින දෙයයි. එය කලකට පෙර අප අත්විඳි වර්තමානයම නොවිය හැකිය. එමෙන්ම, අනාගතයේ දිනෙක අතීතය ලෙස දකින මේ මොහොත අප දැන් අත්විඳින මේ මොහොතම නොවිය හැකිය.

අද මා දන්නා ඉතිහාසය අනුව, මොහාන් පීරිස්නම් වූ පුද්ගලයෙකු කිසිදා ලංකාවේ අගවිනිසුරුව සිට නැත. එහෙත්, යම් හෙයකින් දෙවසරකට පෙර මා මේ සටහන ලිවුවානම් එය වෙනස් අයුරකින් ලියවෙනු ඇත. මේ අයුරින්, අද අපි දන්නා පරිදි ඉතිහාසයේ කවදාවත් සිදුනොවුණු දේ එසේ සිදුවූ බව අපි යම් කාල වල විශ්වාස කළෙමු. උදාහරණයක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය වසර හතකට අහිමි වූ බව, සරත් ෆොන්සේකා කිසියම් වරදකට සිර දඬුවමක් විඳි බව මෙන්ම වික්‍රමබාහු කරුණාරත්නගේ රැකියාව අහිමි කරනු ලැබූ බව වැනි සිදු නොවූ දේ සිදුවූ බව අපි කලක් විශ්වාස කළෙමු. 2013 හා 2014 වසර වල ලංකාවේ ආර්ථික වර්ධනය පිළිවෙලින් සියයට 7.2 ක් හා 7.4 ක් බව අපි කලකට පෙර 'දැන සිටියෙමු'. මේ අයුරින්ම මේ මොහොතේ සිදුවන බව අපට දැනෙන දේ වෙනත් අයුරකින් සිදුවී ඇති බව අපට අනාගතයේදී 'දැන ගන්නට' ලැබිය හැකි වීම සිදු විය හැක්කකි. මේ මොහොත අනන්‍ය වන්නේ ඒ නිසාය.

මෙය කියවන සියල්ලෝම පාහේ මේ වන විට සිය 16 වන උපන් දිනය පසුකර ඇත්තෝයැයි මම සිතමි. බොහෝ දෙනෙකුට තමන්ගේ 16 වන උපන් දිනයට පෙර වාහනයක් එළවීමට, විවාහ වීමට, මත්පැන් මිලදී ගැනීමට හෝ ඡන්දය දීමට නීතියෙන් අවසර නොලැබේ.

තමන්ගේ 16 වන උපන්දිනය රටේ අගවිනිසුරු ලෙස සැමරීමට හැකි වීමේ දුර්ලභ වාසනාව ලබා ඇත්තේ ලෝකයෙන්ම එක් අයෙක් පමණක් විය යුතු බව මගේ විශ්වාසයයි. වත්මන් අගවිනිසුරු කනකසබාපති ශ්‍රීපවන් මේ දුර්ලභ වාසනාව ලබා ඇති පුද්ගලයාය.

පෙබරවාරි 29 දිනක උපදින අයෙකු සිය වයස 18, 21 වැනි කඩඉම් අවස්ථාවක් සම්පූර්ණ කරන්නේ කවදාද යන්න ගැටළු සහගත කරුණකි. ඇතැම් රටවල මෙය පෙබරවාරි 28 ලෙසත් තවත් රටවල මාර්තු 1 ලෙසත් නිර්වචනය කර තිබේ. ලංකාවේ මෙවැනි නිර්වචනය කිරීමක් සිදුවී ඇති බවක් මා දන්නේ නැත. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වගන්තිය අනුව අගවිනිසුරු වරයෙකු විශ්‍රාම ගත යුත්තේ වයස 65 සම්පූර්ණ වූ විටය. මේ අනුව, අද 64 වන විය සපුරන ශ්‍රීපවන් අගවිනිසුරුවරයාගේ ධුර කාලය අවසන් වියයුත්තේ ලබන වසරේ පෙබරවාරි 28 දිනද මාර්තු 1 වැනි දිනද යන්න මා දන්නේ නැත. කෙසේවුවද, නීතියේ ඇති වෙනත් අවුල් සමඟ සැසඳූ විට මෙය එතරම් බරපතල කරුණක් නොවේ.

අගවිනිසුරුතුමාට සුබ උපන් දිනයක්!

25 comments:

  1. මහින්ද කියලා ජනාධිපති කෙනෙක් උන්නෙත් නැති වෙයිද...?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම කෙනෙක් හිටියෙ නෑ නේද? පර්සි මහේන්ද්‍ර කියල කෙනෙක්නෙ හිටියේ.

      Delete
  2. ඔව්වා බයන්කර වැඩ.. අග විනිසුරුට සුභ පතලා දායිද දන්නෑ කූඩුවේ...
    ඔහු සැබෑ වාසනාවන්තයෙක්..
    සුභ උපන්දිනයක් ශ්‍රීපවන් තුමනි..

    ReplyDelete
    Replies
    1. බය හිතෙන කතා කියන්න එපා, සිංහ මචං.

      Delete
  3. නීති විරෝධී පත්වීමක්, ඒ කියන්නෙ?

    ප්‍රදීප් මැතිව්ස් කියලා ඉතිහාසයෙන් මකලා දාපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන අහලා තියනවද?

    ReplyDelete
    Replies
    1. චයිනමන් කියල පොතක් ගැන අහල තියෙනවද?

      Delete
    2. //නීති විරෝධී පත්වීමක්, ඒ කියන්නෙ? //
      එහෙම අවුලක් නෑ, තිසර. මෙවැනි අවස්ථාවක අපැහැදිලිතාවයක් තියෙන්නේ දවසකට විතරයි. උපන් දිනයක් නැතත් වයස යන එක පැහැදිලියිනේ.

      Delete
    3. නෑ, වයස 16 සපුරලා නැතුව නීතිපති වෙන්න පුළුවන්ද කියලා ඇහුවේ :)

      හැලපේ.. චීන මිනිහෙක් ගැන ලියවෙච්ච පොතක් නේද? මතකයි වගේ...

      Delete
    4. පොඩ්ඩක් බයවුනා තිසර. අසත්‍ය ප්‍රචාර කරනවා කියල කවුරුහරි කිවුවොත් කියල. ඒකයි පට් ගාල නෑ කියල දැම්මේ. :)

      Delete
  4. බලාගෙන ගියාම කාල යන්තර මොනාටද, අපේ අයට හිට අතීතෙ වෙනස් කරතෑකිනේ.
    ඔයි චිත්තරපට වල අගට වරහන් ඇතුලේ එළියට දාප අවුරුද්ද ලියනවා වගේ ඉතිහාස පුවත් වල අගටත් වරහන් තුල කතාව ලියපු අවුරුද්ද දාන්න වේද මන්දා, ඕතර් / එඩිටර් ගේ නමත් ...

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාල මුලාශ්‍රයක් දමන කොට එය ගත් දිනයත් දාන්නේ ඒකනේ. එඩිට් කරපු අවුරුද්ද අනුව එකම මොහොතක සිටි එකම පුද්ගලයා ජාතික වීරයෙක්, කැරලිකරුවෙක්, ත්‍රස්තවාදියෙක්, ජාතියේ පියෙක්, රට පාවා දුන් ද්‍රෝහියෙක්, බයියෙක්, ටොයියෙක් වෙන්න පුළුවන්.

      Delete
  5. දැන් ඔය කියන විදියට ශ්‍රීපවන් මහත්තයගේ (වයසේ හැටියට නම් කොල්ලා නේද) පත්වීම නීති විරෝධීනෙ. ඒ කියන්නේ ලංකාවේ නීතිය කොල්ලන්ට (බල්ලන්ට?) ගිහිල්ල කියන එකද?

    ReplyDelete
    Replies
    1. උපන් දිනයක් නැතත් වයස වැඩි වෙනවනේ තිසර. 1712 පෙබරවාරි 30 ස්වීඩනයේදී ඉපදුන අයට මැරෙනකම්ම කවදාවත් උපන්දිනයක් ආවේ නෑ.

      Delete
  6. මමනම් වයස කියන්නෙ දැන් හෙක්ස වලින්

    ReplyDelete
    Replies
    1. බයිනරි වලින්නම් තවත් ලේසියි. අන්තිම ඩිජිට් දෙක රවුම් කළාම අධික අවුරුදු ප්‍රශ්නේ නැති කළහැකි.

      Delete
  7. ඒ කියන්නේ නීති ප්‍රකාරව මේ මනුස්සයට පෙන්ෂන් දෙන්න බැරි වෙයිද ලංකාවේ නීතිය අනුව...

    ReplyDelete
    Replies
    1. ඕක කොහොම හරි කරයි ලොකු පුතා. ඔහොම වැඩද කරල තියෙන්නේ.

      Delete
  8. සුභ උපන්දිනයක් ශ්‍රීපවන් තුමනි..

    ReplyDelete
  9. බටහිර භෞතික විද්‍යාවේ ප්‍රධාන සුසමාදර්ශ 3ක් තිබෙනවා.
    1. නිව්ටෝනියානු සුසමාදර්ශය: මෙයට අනුව න්‍යායාත්මකව අතීතය සහ අනාගතය නිශ්චිතව දැකිය හැකියි.
    2. තාපගතික සුසමාදර්ශය: මෙහිදී න්‍යායාත්මකව අතීතය නිශ්චිත වුවත් අනාගතය අවිනිෂ්චිතයි.
    3. ක්වොන්ටම් සුසමාදර්ශය: මෙහිදී අතීතය හා අනාගතය යන දෙකම න්‍යායාත්මකව අවිනිශ්චිතයි.
    (ප්‍රශ්න අහන්න එපා :D)

    ReplyDelete
    Replies
    1. කොහෙද ප්‍රශ්න අහන්න එපා කියල කලින්ම කියලනේ. නැත්නම් බටහිර නොවන වෙනත් සුසමාදර්ශ ගැන අහන්නයි හිටියේ (ඇත්තටම).

      Delete
  10. රසිකොලොජිස්ට් - Rasikologist has left a new comment on your post "අගවිනිසුරුතුමාට සුබ උපන් දිනයක්!":

    /* මේ අනුව, එඩ්මන්ඩ් කැරින්ටන් (Edmund Carrington) ලංකාවේ පළමු ආණ්ඩුකාරයා ලෙස පත් විය. */

    පළමු ආණ්ඩුකාරයා ද පළමු අග විනිසුරු ද?

    ReplyDelete
    Replies
    1. රසික දැමූ ඉහත කමෙන්ට් එක මගේ අතින් අත් වැරදීමකින් මැකුණේය.

      ස්තුතියි, රසික. ලිපියේ තිබුණු අත්වැරැද්ද හැදුවා. ඒක හදන්න ගිහින් වුනු අත්වැරැද්දත් ඊමේල් එකෙන් කොපි කරගෙන හැදුවා.

      Delete
  11. මාත් ඊයේ වත්පොතේ පොදු සුබ පැතුමක් දැම්මා පෙබරවාරි 29 උපන් දිනය සමරන සැමට ඔවුන් ගේ ඬිසි පස්වෙනි උපන් දිනය සමරන තෙක් ආයු බෝ වේවා කියා!

    ReplyDelete
    Replies
    1. ඒ පැතුම ඉටු වුවහොත් පෙබරවාරි 29 දිනක උපන් දැනට වයස 20කට වැඩි අයට අවුරුදු 100 දක්වාත් අඩු අයට 104 දක්වාත් ජීවත් වීමට ලැබෙනු ඇත.

      Delete
  12. ගොඩක් රටවල 13 අවාසනා වන්තයි ව ගේ මෙ හේ 4 14 24 34 ආදී හත රෙන් ඉවර වෙන නොම්බර අවාසනාවන්තයයි සැල කේ
    ඒ නිසා ගොඩනැගිලි වල ඒ තට්ටු නෑ
    ඒ කියන් නේ හතර වෙනි තට්ටුව ති යෙනවා ඒත් නෑ

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: