වෙබ් ලිපිනය:

Friday, August 5, 2016

යුරෝපීයයන්ගේ ලෝකය හා ඉන්දියානුවන්ගේ ලෝකය


පහළොස්වන සියවසෙහිදී ඉන්දියාව සොයා ගිය ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් ඇමරිකානු මහාද්වීපයට ආසන්න බහමාස් දූපතකට ගොඩ බසින විටත්, යුරෝපීයයන් දැන සිටි ලෝකය නිශ්චිත සීමාවන්ගෙන් වටවුණු පැතලි ලෝකයකි. එයින් මා අදහස් කරන්නේ තත්කාලීන යුරෝපය ලෝකය පැතලියැයි සිතා සිටි බව නොවේ. ලෝකය ගෝලාකාර බව ඒ වන විට යුරෝපීය විද්‍යාර්ථීන්ගේ පොදු දැනුමකි. එමෙන්ම, තමන් හොඳින් දැන සිටි සීමාවන්ගෙන් බාහිරව ලෝකයක් නොපැවති බව යුරෝපීයයන් විශ්වාස කළ බවද නොවේ. ඔවුන්ගේ එවකට පැවති සංකල්පීය ලෝකයේ තමන් වඩා හොඳින් දැන සිටි කොටසක්, යාන්තමින් දැන සිටි හෝ අසා සිටි කොටසක් සහ ඇතැයි සිතා සිටි කොටසක් වූ බවය. මේ කාලයේදී යුරෝපීය ලෝක දැක්ම සකස් වුනේ ඔවුන් හොඳින් දැන සිටි ලෝකය පාදකවය.

ඉහත තත්ත්වය පහළොස්වන සියවස දක්වා ලෝකයේ වෙනත් ප්‍රදේශ වල පැවති ලෝකය පිළිබඳ දැනුමට ආකෘතිමය ලෙස සමානය. යුරෝපීයයන් විසින් අළුතින් 'හොයාගත්' ඇමරිකාව, ආසියාව හෝ ඕස්ට්‍රේලියාව ඇතුළු ක්‍රිස්තියානි නොවූ ලෝකය එවකට මිනිසුන්ගෙන්, සංස්කෘතියෙන් හෝ දැනුමින් හිස් බිම් නොවූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. යුරෝපීයයන් මෙන්ම මේ එක් එක් පෙදෙස්වල විසූ මිනිසුන්ද දැන සිටි ලෝක පැවති අතර ඒ ලෝක වලටද සීමා මායිම් තිබුණේය.

පස්වන සියවසේදී වත්මන් ඉන්දියාව දැන සිටි ලෝකයේ මධ්‍යය වූයේ ලංකා දිවයිනයි. මේ ලංකා දිවයින සමකය මත පිහිටියේය. ආර්යභටියේ හා සූර්ය සිද්ධාන්තයේ සියළු ගණනය කිරීම් සඳහා කේන්ද්‍ර කරගන්නේ සමකය මත මේ කියන ලංකා දිවයින පැවති තැනයි. සමකය මත, ලංකා දිවයිනට අංශක 90ක් බටහිරින් රෝමකයත්, අංශක 90ක් නැගෙනහිරින් යවකෝටියත්, අංශක 180ක් දුරින් එනම් ප්‍රතිවිරුද්ධ පැත්තේ, සිද්ධපුරයත් පිහිටියේය. ලංකා දිවයිනට අංශක 22.5ක් උතුරින් උදේනි නුවර පිහිටියේය. එමෙන්ම, උත්තර ධ්‍රැවයෙහි සුරයන් වසන මහා මේරුවත්, දක්ෂිණ ධ්‍රැවයෙහි ප්‍රේතයින් වසන වඩබාමුඛයත් පිහිටියේය. ඔවුන් එවකට දැන සිටි පරිදි, ලෝක ගෝලයේ සමකයෙන් උතුරු අර්ධයේ ගොඩබිම්ද, දකුණු අර්ධයේ සාගරයද පැතිරී තිබුණේය.

සූර්ය සිද්ධාන්තයේ සඳහන් ලංකා දිවයින වත්මන් ලංකාවද යන්න විවාදිත කරුණකි. දැන් අප දන්නා පරිදි, උදේනි නුවර පිහිටා ඇත්තේ උතුරු අක්ෂාංශ 23.3හි හා නැගෙනහිර දේශාංශ 75.5හිය. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ උතුරු අක්ෂාංශ 5-10 හා නැගෙනහිර දේශාංශ 79-82 අතරය. මේ අනුව, වත්මන් ලංකාවේ කිසිම තැනක් සමකය මත හෝ උදේනි නුවරට සෘජුව දකුණින් පිහිටා නැත. අනෙක් අතට, සූර්ය සිද්ධාන්තය හා ආර්යභටිය අනුව ලංකා දිවයින පිහිටිය යුතු, උදේනි නුවරට සෘජුව දකුණින් සමකය මත ඇත්තේ ඉන්දියානු සාගරයයි. එහි කිසිදු දිවයිනක් නැත. එම ස්ථානයට ආසන්නයේම ඇති මාල දිවයින් සමූහයට අයත් දිවයින් පිහිටා ඇත්තේද මේ ස්ථානයට අංශක දෙකක් පමණ නැගෙනහිරිනි.

කෙසේවුවද, මේ අවුල ඇති වන්නේ අද අපට ඇති භූගෝලීය දැනුම එදා ඉන්දියානුවන්ටද තිබුණේයැයි උපකල්පනය කළ විටය. එය එසේ නොවේ. පහළොස්වෙනි සියවසේ යුරෝපීයයන්ගේ භූගෝලීය දැනුමේ සැලකිය යුතු සීමාවන් පැවතියාක් මෙන්ම, ඊට සහශ්‍රයකට පෙර විසූ ඉන්දියානුවන්ටද තිබෙන්නට ඇතැයි සිතිය හැක්කේ සීමිත භූගෝලීය දැනුමකි. මේ අනුව, මේ වෙනසට හේතුව ලංකා දිවයිනේ නිවැරදි පිහිටීම පිළිබඳව පැවති දැනුමේ අඩුවක් විය හැකිය. (මේ ගැන තවත් අදහසක් තිබේ. ඒ ගැන පසු ලිපියක කතා කරමි.)

ඉරට හා හඳට ඇති දුරත්, පෘථිවියේ පරිධියත් ඉතා ආසන්නව දැන ගෙන සිටි ඉන්දියානුවන්ට, ඉන්දියාවට යොදුන් කිහිපයක් පහළින් පිහිටි ලංකා දිවයිනේ පිහිටීම නිවැරදිව දැන ගත නොහැකි වීම විය හැක්කක්ද? පිළිතුර සරලය. පළමු කී කරුණු පිළිබඳ දැනුමට පාදක වන්නේ උදේනි නුවර සිට හෝ වෙනත් තැනක සිට කළ හැකි තාරකා නිරීක්ෂණ හා එවකට ඉන්දියානුවන් දැන සිටි ගණිතමය සිද්ධාන්තයි. එහෙත්, ලංකාවේ පිහිටීම ගැන දැන ගන්නට වෙන්නේ මේ කාලයේ ලංකාවට යාත්‍රා කර ආපසු පැමිණ සිටි සීමිත නාවිකයින් පිරිසෙන් අයෙකු හෝ කිහිප දෙනෙකු ලබාදුන් තොරතුරු මතය. රෝමකයේ පිහිටීම සම්බන්ධවද මේ අවුලම තිබේ. රෝමකය වත්මන් රෝමයයැයි ඇතැම් අය සිතතත් උදේනි නුවර සිට අංශක 90ක් දුරින් පිහිටා ඇත්තේ අත්ලාන්තික් සාගරයයි. රෝමය පමණක් නොව එවකට පැවති රෝම අධිරාජ්‍යයේ බටහිර මායිමද පිහිටියේ සූර්ය සිද්ධාන්තයේ සඳහන් රෝමකය පිහිටිය යුතු තැනට වඩා කිට්ටුවෙනි.

පස්වන සියවසෙහිදී උදේනි නුවර විසූ විද්‍යාර්ථින් විසින් එවකට සමුද්‍ර ගවේෂණයන්හි යෙදුණු නාවිකයින් හරහා දැන සිටි උදේනි නුවර සිට වඩාත්ම දකුණින් පිහිටි ස්ථානය ලංකා දිවයිනද, වඩාත්ම බටහිරින් පිහිටි ස්ථානය රෝමකයද, වඩාත්ම නැගෙනහිරින් පිහිටි ස්ථානය යමකෝටියද වන්නට ඇතැයි සිතිය හැකිය. මහාමේරුව, වඩබාමුඛය හා සිද්ධපුර යනු මෙසේ දැන හෝ අසා සිටි කරුණු වල දිගුවක් ලෙස ඇති කරගත් උපකල්පන හෝ ප්‍රවාද පමණක් විය යුතුය. 


තත්කාලීන ඉන්දියාව දැන සිටි උතුරුම බිම් පෙදෙස් වූයේ හිමාල කඳු පංතියයි. ක්‍රමයෙන් උස්වන මේ කඳු පංතිය තරමක් දුරට හෝ තරණය කළ අයෙකු හමුවීම එවකට දුලබ කරුණක් වන්නට ඇත. ඒ අනුව, මේ කඳු පංතියෙන් එපිට සුරයන්ගේ වාසස්ථානය වන යොදුනක් උසැති මහාමේරුව ඇතැයි ඔවුන් සලකන්නට ඇත. එමෙන්ම, දකුණු මුහුදේ සංචාරය කළ නාවිකයින් අතරින් ලංකාවෙන් එපිටට ගිය කිසිවකු බොහෝ විට ආපසු නොඑන්නට ඇත. මේ නිසා, ලංකාවෙන් දකුණේ සාගර මධ්‍යයෙහි සියල්ල පොළොව තුළට ඇදගන්නා වඩබාමුඛයක් ඇතැයි ඔවුන් සිතන්නට ඇත. ඉන්දියානු විද්‍යාර්ථින් නාවිකයින් මඟින් දැන සිටි පරිදි, උදේනි නුවරට දකුණින් පිහිටි කෙළින්ම ඉර මුදුන් වන තැනක් වූ ලංකා දිවයින සමකය මත පිහිටි ලෝකයේ මධ්‍යය ලෙස ගිණීමට සුදුසු තැනක් ලෙස සලකන්නට ඇත.

(Image: http://shyamasundaradasa.com/jyotish/resources/articles/non-jyotish_articles/lanka.html)

17 comments:

  1. Nice post. Well explained about the difference between European & Indian concepts with this two posts EM. Cheers

    ReplyDelete
  2. ඔය කියන ලංකා පුරය අර ඇට්ලන්ටිස් වගේ මුහුදේ ගිලුනා වෙන්න බැරිද ? ඔය දාලා තියන සිතියම ලෝකය කියලා ගත්තම නම් ලංකාව කියන්නේ ලෝකයේ හරි මැද තමා.

    ReplyDelete
    Replies
    1. //ඔය දාලා තියන සිතියම ලෝකය කියලා ගත්තම නම් ලංකාව කියන්නේ ලෝකයේ හරි මැද තමා.//

      සෙන්නට මාර ඇහැක්නේ තියෙන්නේ :)
      (මම සෑහෙන වෙලාවක් පින්තූරය දිහා බලා ඉදලා තමා, සෙන්න කියපු එක තේරුම් ගත්තේ.)

      ස්තුතියි ඉකොන් ලිපිය ලියු ඔබටත්.

      Delete
    2. දිවයිනක් තිබී ගිලී යන්නට ඇති බවට අදහස් පළ වී තිබුණත් පිළිගත හැකි සාක්ෂි නැහැ. ඔබේ නිරීක්ෂණය හොඳයි.

      Delete
  3. ඒ කියන්නෙ අද වගේම එදත් ඉන්දියානුවන්ට ලංකාව වැදගත්.කොයි හැටි වෙතත් ලංකාව පිහිටල තියෙන්නෙ භූගෝලීය වශයෙන් වැදගත් තැනක නේද ?මේකෙන් අපිට ආර්ථික වටිනාකමක් එකතු කර ගන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. කොහෙ පිහිටල තිබ්බත් වැදගත් තමා හරියට ප්‍රයෝජනයක් ගන්නවා නම්. අපි, තියන සම්පත් වලින්වත් ප්‍රයෝජනයක් ගන්න ජාතියක්යෑ... ඔය ලංකාවට දකුණින් තියන විශාල මහා සාගරයේ කොච්චර දේවල් ඇතිද !?

      Delete
    2. මම හිතන්නේ රටවල් වල භූගෝලීය පිහිටීමේ වැදගත්කම අතීතයට සාපේක්ෂව ක්‍රමයෙන් අඩු වෙමින් යන බවයි. තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ සහ ප්‍රවාහනයේ දියුණුව නිසා. දැනට මා දකින ලොකුම වාසිය ඉන්දියාව වැනි නැඟී එන ආර්ථික බලවතෙකු සමීපව සිටීම සහ එම වෙළඳපොළට ඇතුළු වීමට ඇති සංස්කෘතික බාධා වෙනත් රටකට සාපේක්ෂව අඩුවීම සහ අපට අයිති විශාල මුහුදු කලාපය.

      Delete
  4. යුරෝපීයයන් දැන සිටි ලෝකය නිශ්චිත සීමාවන්ගෙන් වටවුණු පැතලි ලෝකයකි. ///// මෙය බයිබලයේ ආභාශය නිසාය

    ReplyDelete
    Replies
    1. ආසන්න සියවස් වලදී මෙයට බයිබලයේ බලපෑම විශාල ලෙස බලපා තිබෙනවා. ඒ වගේම, මා හිතන ආකාරයට, බයිබලයට පදනම් වෙන්නෙත් එවකට මිනිසුන්ට ප්‍රත්‍යක්ෂ වුණු පැතලි ලෝකය පිලිබඳ දැනුම.

      Delete
  5. ලංකා දිවයින කියන්නේ ශ්‍රී ලංකාව නෙවන්න පුළුවන්. ශ්‍රී ලංකාව සඳහා සිංහලය හෝ සිංහල ද්විපය වගේ වචනයක් යොදා ගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ලංකා දිවයින හා සිංහල දිවයින ලෙස දිවයින් දෙකක් අඩු වශයෙන් එක් පැරණි ඉන්දියන් මූලාශ්‍රයක සඳහන් වෙනවා. මූලාශ්‍රය දැන් මතක නැහැ.

      Delete
  6. ආසාවෙන් කියවමි. ඔබට සුබ පතමි .

    ReplyDelete
  7. //සූර්ය සිද්ධාන්තයේ සඳහන් ලංකා දිවයින වත්මන් ලංකාවද යන්න විවාදිත කරුණකි.//
    ඉන්දියන් කතාවල තියන ලංකාද්වීපය කියන්නේ ඉන්දුනීසියාව කියලත් අනුමානයක් තියනව නේද?



    ReplyDelete
    Replies
    1. එවැනි මතයකුත් තියෙනවා. ඒත් උදේනි නුවරට හරියටම දකුණින් කියන එක සමඟ ඒ අදහස ගැලපෙන්නේ නැහැ.

      Delete
  8. ඉකොනෝ.. මානව සමාජයේ භෞතික දියුණුව,ආධ්‍යාත්මික දියුණුව සඳහා ශීත සෘතුවේ බලපෑම වගේ දෙයක් ගැන ලිපියක් අපට කියවන්න ලැබෙයි ද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මුල කොටස කොහොම වුනත්, සෘතු ගැනනම් බාගෙට ලියපු ලිපියක් තියෙනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: