Thursday, August 4, 2016

බටහිර රටවල්, ටොඩෙසියස් සම්මුතිය හා ලෝකයේ මැද


අපි නිතරම බටහිර සංස්කෘතිය ගැන කතා කරමු. බටහිර සංස්කෘතියක් ගැන කතා කරන්නේ බටහිර රටවල් කියා රටවල් ඇති නිසාය. මේ බටහිර රටවලට එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය හා ඉතාලිය වැනි බටහිර යුරෝපීය රටවල්ද, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය වැනි යුරෝපයෙන් පිටත පිහිටි යුරෝපීයයන් විසින් සිය සංස්කෘතිය ප්‍රමුඛ සංස්කෘතිය බවට පත් කෙරුණු රටවල්ද අයත් වේ. මේ සම්මතය අනුව ඉන්දියාව, චීනය හා ලංකාව වැනි රටවල් පෙරදිග රටවල් ලෙසත්, පෝලන්තය, හංගේරියාව හා රුමේනියාව වැනි රටවල් නැගෙනහිර යුරෝපීය රටවල් ලෙසත් හැඳින්වේ.

පෘථිවිය මත පිහිටි බොහෝ නිශ්චිත ස්ථාන වලට සාපේක්ෂව අපට නැගෙනහිරක් හා බටහිරක් ගැන කතා කළ හැකිය. එවැනි කිසියම් ස්ථානයකට ඉර නැගෙනු පෙනෙන්නේ පෙරදිගින් හෙවත් නැගෙනහිරිනි. ඉර බසිනු පෙනෙන්නේ අපරදිගින් හෙවත් බටහිරිනි. ඒ අනුව, කිසියම් රටකට බටහිරින් පිහිටි රටක් බටහිර රටක් ලෙසත්, නැගෙනහිරින් පිහිටි රටක් පෙරදිග රටක් ලෙසත් හැඳින්විය හැකිය. ගෝලාකාර පෘථිවියේ නැගෙනහිරට හෝ බටහිරට දිගටම ගියහොත්, එහි ප්‍රතිවිරුද්ධ දිශාවට එසේම ගමන් කිරීමේදී හමුවිය හැකි ඕනෑම රටක් හමුවන නිසා මේ සංකල්පයේද අවුලක් තිබුණත් සීමිත ප්‍රායෝගික තත්ත්වයන් යටතේ මේ සංකල්පයේ අවුලක් නැත.

කෙසේ වුවද, ඉහත අර්ථ දැක්වීම හරියන්නේ පෘථිවිය මත කිසියම් නිශ්චිත තැනකට සාපේක්ෂවය. එසේම, ලෝකයේ කාටත් එකඟ විය හැකි පෙරදිග හා අපරදිග රටවල් පිලිබඳ සම්මුතියක් ඇතිවන්නේ කෙසේද? මෙවැනි බෙදීමක් පැවතිය හැක්කේම කිසියම් නිශ්චිත ස්ථානයකට සාපේක්ෂවය.



බටහිර රටවල් යන වත්මන් සංකල්පය පාදක වී ඇත්තේ වතිකානුව කේන්ද්‍ර වී බව යුරෝපීය සිතියමක් දෙස බැලු විට පැහැදිලි වේ. ඒ අනුව, පැරණි ලෝකයේ වතිකානුවට බටහිරින් පිහිටි එංගලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවල් බටහිර යුරෝපීය රටවල් වන අතර, වතිකානුවට නැගෙනහිරින් පිහිටි හංගේරියාව, රුමේනියාව වැනි රටවල් නැගෙනහිර යුරෝපීය රටවල්ද, ඉන්දියාව, චීනය, ලංකාව වැනි රටවල් පෙරදිග රටවල්ද ලෙස සම්මත වී තිබේ. ලෝකයේ මැද දෙස සැලකිය හැකි කිසිදු සුවිශේෂී තැනක් නැතත් පහළොස්වන සියවසෙහිදී යුරෝපීයයන් දැනගෙන සිටි ලෝකය වතිකානුව හරහා බටහිර හා නැගෙනහිර ලෙස බෙදී තිබුණු එකකි. අද වන විට ලෝකයේ මැද තවත් ටිකක් බටහිරට තල්ලුකර එංගලන්තයේ ග්‍රිනිච් රේඛාව වෙත ගෙනගොස් තිබුණත් බටහිර රටවල් පිළිබඳ වතිකානු-කේන්ද්‍රීය සම්මතය එසේම පවතී.

පහළොස්වන සියවසේදී, ප්‍රබලම කතෝලික රාජ්‍ය දෙකක් වූ ස්පාඤ්ඤය හා පෘතුගාලය විසින් සාගර තරණය කරමින් සිදු කළ ගවේෂණ හේතුවෙන් එවකට යුරෝපය දැන සිටි ලෝකය පුළුල් විය. ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ සාර්ථක මුහුදු ගවේෂණ වලින් අනතුරුව ඔහු විසින් අළුතින් හඳුනාගත් බිම් පෙර පැවති ගිවිසුමකට අනුව පෘතුගාලය සතු විය යුතුයැයි එරට පැවසීම හේතුවෙන් ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර යුද්ධයක් ඇති වීමේ ඉඩකඩක් ඇති වී හතරවන ඇලෙක්සැන්ඩර් පාප්තුමාට මැදිහත් වීමට සිදු වූ අතර 1494 ජූනි 7 දින එම දෙරට අතර අත්සන් කෙරුණු ටොඩෙසියස් සම්මුතිය (Treaty of Tordesillas) එහි අවසන් ප්‍රතිඵලයයි.

ටොඩෙසියස් සම්මුතිය මඟින් ලෝක සිතියමෙහි ඉරක් ඇඳ, එවකට පැවති ක්‍රිස්තියානි නොවන ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය යන දෙරට අතර බෙදා දෙනු ලැබීය. මේ ඉර අඳිනු ලැබුවේ පෘතුගාලය විසින් එවකට ලඟා වී සිටි බටහිරින්ම පිහිටි ස්ථානය වූ කේප් වර්ඩ් දිවයින හා කොලොම්බස් විසින් අළුතින් හඳුනාගත් බටහිර ඉන්දීය දිවයින් අතර හරි මැදිනි. කෙසේවුවද, පසුව ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර කෙරුණු හෙට්ටු කිරීම් මඟින් ඉහත රේඛාව වඩාත් බටහිරට තල්ලු කෙරුණු අතර ඒ හේතුවෙන් එවකට හඳුනාගෙන නොතිබුණු වත්මන් බ්‍රසීලයට අයත් බිම් පෙදෙස් ස්පාඤ්ඤයට අයිති නොවී පෘතුගාලයට අයිති විය. ඉතිරි දකුණු ඇමරිකානු බිම් මුළුමනින්ම පාහේ ස්පාඤ්ඤයට අයිති විය.

ඒ වන විට විශ්වාස කෙරුණේ කොලොම්බස් විසින් ලඟා වූ තැන ඉන්දියාවේ නැගෙනහිර කොන බවයි. එහෙත්, ලෝකය පහළොස්වන සියවසෙහිදී යුරෝපීයයන් දැන සිටියාට වඩා බොහෝ විශාල බව වැඩිකල් නොයාම ඔවුන්ට අවබෝධ විය.

ටොඩෙසියස් සම්මුතිය අනුව, දකුණු ඇමරිකාවේ බ්‍රසීලය හැර ඉතිරි පෙදෙස් ස්පාඤ්ඤය සතු වෙද්දී ටොඩෙසියස් රේඛාවට නැගෙනහිරින් පිහිටි අප්‍රිකානු හා ආසියානු රටවල් පෘතුගාලය සතු විය. ලංකාව ස්පාඤ්ඤ යටත් විජිතයක් නොවී පෘතුගීසි කොලනියක් වන්නේ මේ නිසාය.

ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදා දීම කෙසේ වුවත් ටොඩෙසියස් සම්මුතිය මඟින් ඉටු කෙරුණු වෙනත් සාධනීය දෑ  රැසකි. අද වන විට ජාත්‍යන්තර නීතියේ කොටස් බවට පත්වී ඇති අභ්‍යන්තර ජලාශ හා රටවලට අයත් මුහුදු සීමා පිළිබඳ අදහසේත්, විශේෂයෙන්ම කාටත් නිදහසේ භාවිතා කළ හැකි ජාත්‍යන්තර මුහුදු පිළිබඳ අදහසේත් මුල් මේ ටොඩෙසියස් සම්මුතිය තුළ තිබේ.

මුල සිටම හරියටම ක්‍රියාත්මක නොවුණත්, සෑහෙන මට්ටමකට ක්‍රියාත්මක වූ ටොඩෙසියස් සම්මුතිය මුලින්ම ලොකු අර්බුදයකට ලක්වන්නේ ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ මුහුදු ගවේෂණ වත්මන් නැගෙනහිර ආසියානු කලාපය කරා පුළුල් වීමේදීය. ඒ, ටොඩෙසියස් රේඛාවේ අනෙක් (නැගෙනහිර) අර්ධය සම්බන්ධයෙනි. මේ වන විට දේශාංශ වල නිවැරදි පිහිටීම කිසිවකු දැන නොසිටි නිසා දෙරට අතර ලෝක ගෝලයෙහි අර්ධය බැගින් බෙදා ගැනීමේදී එහි නැගෙනහිර මායිම නිශ්චය කර ගැනීම ගැටළුකාරී කරුණක් විය.

වත්මන් ඉන්දුනීසියාවට අයත්, කුළුබඩු වෙළඳාම එවකට ජයටම කෙරුණු, මලාකු දිවයිනට ස්පාඤ්ඤය හා පෘතුගාලය යන දෙරටම අයිතිවාසිකම් කීමත් සමඟ ප්‍රශ්නය උග්‍ර වූ අතර දෙරට අතර සංහිඳියාවක් ඇති කර ගැනීම සඳහා දෙරටේ තාරකා විද්‍යාඥයින්, සිතියම් විද්‍යාඥයින් (cartographers), සමුද්‍ර ගවේෂකයින් හා ගණිතඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරුණු අතර 1529 අප්‍රේල් මස 22 දින අත්සන් තැබුණු සරගොසා සම්මුතිය (Treaty of Zaragoza) මෙහි අවසන් ප්‍රතිඵලයයි.

සරගොසා සම්මුතිය මඟින් ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදාගැනීම සම්පූර්ණ වුවද, දෙරට අතර සිදුවූ හෙට්ටු කිරීම් වලත්, එවකට පැවති සීමිත භූගෝලීය දනුමේත් ප්‍රතිඵලයක් ලෙස මේ බෙදීම සමානව සිදු නොවීය. ඒ අනුව, පෘතුගාලයට 191/360ක 'ලොකු කෑල්ලත්', ස්පාඤ්ඤයට 169/360ක 'පොඩි කෑල්ලත්' හිමි විය. ආසියාවේ නැගෙනහිරින්ම පිහිටි පිලිපීනය ස්පාඤ්ඤ යටත් විජිතයක් බවට පත් වෙද්දී, ලංකාව ඇතුළු ඉතිරි ආසියාතික රටවල් පෘතුගීසි කොලනි බවට පත් විය. දකුණු ඇමරිකාවේ නැගෙනහිරින්ම පිහිටි බ්‍රසීලය පමණක් පෘතුගීසි කොලනියක් වූ අතර ඉතිරි රටවල් ස්පාඤ්ඤ යටත් විජිත බවට පත් විය.

ඉහත කී ලෙස හතරවන ඇලෙක්සැන්ඩර් පාප්තුමා විසින් එවකට ක්‍රිස්තියානි නොවූ ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදාදීමේ අරමුණ වූයේ ලොව පුරා ක්‍රිස්තියානි ශුභාරංචිය පැතිරවීමයි. මේ අයුරින්, අදාළ රටවලට ඒකාධිකාරයක් ලබා දීම හේතුවෙන් එම රටවලට විශාල ආර්ථික වාසි සැලසුන අතර අනෙකුත් යුරෝපීය රටවලට නැති සුවිශේෂී වාසියක් ලැබුණේය. දහසයවන සියවස පමණ වන විට යුරෝපයේ නැඟී ආ ආර්ථික බලයන් වූ එංගලන්තය හා ඕලන්දය වැනි රටවලට මේ බෙදීම 'දිරෙවුවේ' නැත. කෙසේවුවද, යුරෝපය තුළ වතිකානුවේ ආධිපත්‍යය ස්ථාවරව පැවති පදනම තුළ ටොඩෙසියස් හා සරගොසා සම්මුතීන්ට රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය පදනමකට අමතරව ආධ්‍යාත්මික හා ආචාර ධාර්මීය පදනමක්ද පැවති බැවින් ඒ සම්මුති නොසලකා හැරීම පහසු කරුණක් නොවීය.

එංගලන්තය හා ඕලන්දය වැනි රටවල ප්‍රොතෙස්තන්ත ව්‍යාපාර ඉස්මතු වන්නේ මෙවැනි පසුබිමකය. ඒ සමඟම වතිකානුවේ ලෝක ආධිපත්‍යය තර්ජනයට ලක්වන අතර ටොඩෙසියස් හා සරගොසා සම්මුතීන් රඳවා තිබුණු ආධ්‍යාත්මික හා ආචාර ධාර්මීය පදනම ගිලිහී යයි. එංගලන්තය හා ඕලන්දය වැනි රටවලට වර්ධනය වූ නාවික බලය ශක්තියක් කරගනිමින් රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය පදනමකින් ස්පාඤ්ඤය හා පෘතුගාලය සමඟ හෙට්ටු කර ගිවිසුම් අළුත් කර ගැනීමට ඉඩ සැලසේ. ලෝකයේ මැද වතිකානුවේ සිට එංගලන්තයට විතැන් වේ. පෘතුගීසි කොලනියක්ව පැවති ලංකාව පිළිවෙලින් ඕලන්ද හා ඉංග්‍රීසි ආධිපත්‍යයට නතු වේ. කෙසේ වුවද, ටොඩෙසියස් හා සරගොසා සම්මුතීන්හි බලපෑම් ලෝකය පුරා අදටත් දක්නට හැකිය.


(Image: www.reddit.com)

10 comments:

  1. මේ ගිවිසුම් ගැන කියෙව්වේ පළමු වරටයි, ආගමික නිකායන් බිහිවෙන්නෙත් ආර්ථික දේශපාලනික අවශ්‍යතාවන් අනුව වගේනේ, ලංකාවේ තවම එ් අවශ්‍යතාවන් සම්පූර්ණවෙලා නැත්ද මන්දා අපිවගේ ආගමක් අදහන්න බැරි මිනිස්සුන්ටත් අපේම කියලා නිකායක් හදාගන්න.

    ReplyDelete
    Replies
    1. වතිකානුවේ ඒකාධිකාරයට අභියෝග කරමින් ප්‍රොතෙස්තන්ත ව්‍යාපාර බිහිවීමට බලපෑ හේතු අතර මෙහි සඳහන් ආකාරයේ සාර්ව-ආර්ථික කරුණුත්, තවත් බොහෝ ක්ෂුද්‍ර-ආර්ථික හේතූනුත් තිබෙනවා.

      Delete
  2. ඇයි ශුද්ධෝත්තම පියතුමා ප්‍රංශයට කෑල්ලක් දුන්නෙ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. ටොඩෙසියස් සම්මුතිය ඇති වන කාලයේ ස්පාඤ්ඤය හා පෘතුගාලය සතු වූ නාවුක බලය සමඟ සසඳන විට ප්‍රංශය ළඟ තරඟකරුවකු වුනේ නැහැ.

      Delete
  3. ඔය විදියටම විශ්වයේ රේඛාවක් ඇඳළා, පෘථිවිය, සෞරග්‍රහ මණ්ඩලය හෙම එක එකා අයිති කරගෙන ඇති...!!!

    ReplyDelete
    Replies
    1. අඟහරුව අයිති කර ගැනීමේ තරඟයේ දැනටම රටවල් කිහිපයක්ම ඉන්නවනේ. ඒ වගේම කණ්ඩායමක් ලෙස හෝමෝ සේපියන්ස්ලා පෘථිවිය අයිති කරගෙනනේ ඉන්නේ.

      Delete
  4. Western culture, origins (roughly) - Greek and then Roman cultures. Thereafter Gallic, German, Christian etc influences.
    (more ancient than popularly believed by the Easterners. You agree? )

    ReplyDelete
    Replies
    1. I agree. But, the dominance of Western culture as a near monopoly began in the 15th century. If the potential war between Spain and Portugal was not avoided through the Treaty of Tordesillas by Pope Alexander, that war would have drained most of the military and economic resources of each of these two powerful Christian countries, applying breaks on the process of colonization in Asia, Africa and South America, leading to an alternative history.

      Delete
  5. Secular වීම හෙවත් "ආගම් ආදිපත්යයෙන් රාජ්ය මුදාගැනීම" සන්කල්පය විසින් වතිකානුවට කෙලවූ නිසා අදටත් කතෝලික පල්ලිය secularism සන්කල්පයට කැමති නැත....

    මැල්කම් රන්ජිත් බිසොප්පු උන්නාන්සේ ලඟකදී ප්‍රසිද්දියේම කියා පෑවේ එයයි!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget