Tuesday, August 2, 2016

නිකං ලැබෙන හුළං ටික?


ලංකාවේ සමහර අය මේ දවස්වල කියන ආකාරයට ආණ්ඩුව බදු ගහන්නේ නැත්තේ හුස්ම ගන්න හුළං ටිකට විතරය. සාමාන්‍යයෙන් කිසිම රටක හුස්ම ගන්න හුළං ටිකට කෙළින්ම මිලක් අය කරන්නේ හෝ බදු ගහන්නේ නැත. එහෙත්, වක්‍ර ලෙස අපි නිකං ලැබෙනවාක් මෙන් පෙනෙන හුස්ම ගන්න හුළං ටිකට මිලක් ගෙවනවාට අමතරව බදුද ගෙවන්නෙමු.

හුස්ම ගන්න
හුළං ටිකට අපට මිලක් ගෙවන්නට සිදුවන ආකාර කිහිපයකි. එක පැත්තකින් වායු දූෂණය වැඩි වන තරමට සෞඛ්‍ය වියදම් ඉහළ යන අතර මේ වියදම් මත බදු ගෙවන්නට සිදු වේ. අනෙක් අතෙන්, අනෙක් සියළුම සාධක සමාන තත්ත්වයන් යටතේ වායු දූෂණය අඩු තැන්වල නිවාස හා දේපළ වෙනුවෙන් එසේ නැති තැනක ගෙවනවාට වඩා වැඩි මිලක් ගෙවන්නට සිදුවන අතර මේ වැඩි මිල මතද බදු අය කෙරේ.

වායු දූෂණය විශාල සෞඛ්‍යමය ප්‍රශ්නයකි. මාස කිහිපයකට පෙර නේචර් සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව, ආශ්වාස කරන වාතයේ තත්ත්වය හේතුවෙන් වසරක් තුළ සිදු වන ඇති අකල් මරණ ගණන මිලියන 3.3ක් වන අතර එයින් වැඩි ගණනක් සිදු වන්නේ ආසියානු කලාපයේය.

ලෝකයේ බොහෝ කලාප වල අපේක්ෂිත ආයු කාලය වැඩි වීමේදී මුලින්ම එය සිදුවන්නේ මාතෘ හා ළදරු මරණ අඩු වීම හේතුවෙනි. විශේෂයෙන්ම ළදරු මරණයක් වලක්වාගත් විට ජනගහණයේ සාමාන්‍ය අගයක් වන අපේක්ෂිත ආයු කාලයට සැලකිය යුතු තල්ලුවක් ලැබේ. කෙසේවුවද, ළදරු මරණ අනුපාතිකය සැලකිය යුතු ලෙස අඩු කරගැනීමෙන් පසු රටක අපේක්ෂිත ආයු කාලය කිසියම් ස්ථාවර මට්ටමකට පත්වන අතර එය තවදුරටත් ඉහළ නංවා ගැනීම වඩවඩාත් අපහසු වෙයි. මේ උගුලෙන් ගැලවිය හැකි එක් ක්‍රමයක් වන්නේ වායු ගෝලයේ තත්ත්වය දියුණු කර ගැනීමයි.

මා පසුගිය කාලයේ ජීවත්වීම සඳහා තැනක් තෝරාගන්නා අවස්ථා වලදී, වැඩිම ප්‍රමුඛතාවයක් දුන්නේ එක් එක් ප්‍රදේශයේ පාසැල් වල අධ්‍යාපන තත්ත්වය හා අපරාධ අනුපාතය වැනි කරුණු වලට වුවද වායුගෝලයේ තත්ත්වය ගැනද යම් සැලකිල්ලක් දැක්වූයෙමි. අවි ආයුධ පරිහරණය කිරීමේ නිදහස ඇති ඇමරිකාවේ ගෙවන ජීවිතය ගිණි අවි වලට බියෙන් ගෙවන දිවියක්යැයි ඇමරිකාවෙන් පිටත සිටින ඇතැම් අය සිතති. එහෙත්, සැබෑ තත්ත්වයනම් මෙවැනි සුරක්ෂිත නොවන තත්ත්වයක් පවතින්නේ රටේ ඇතැම් සීමිත භූගෝලීය කලාප වල පමණක් වීමයි. ජාතික සංඛ්‍යාලේඛණ නරක ලෙස පෙනෙන්නේ එවැනි පෙදෙස් නිසාය. මා ජීවත් වූ පෙදෙසක පසුගිය වසරේ මිනීමැරුමක් සිදු වූ අතර ඉහළ මධ්‍යම පන්තියේ වැදගත් පවුලක පාසැල් දරුවකු විසින් කවර හෝ හේතුවක් මත සිදුකළ එම මිනීමැරුම සඳහා උපයෝගී කරගෙන තිබුණේ ගිණි අවියක් නොව පෑන පිහියකි. මා පෙර ජීවත් වූ වෙනත් පෙදෙසක අවසන් වරට මිනීමැරුමක් සිදුවී තිබුණේ හැත්තෑව දශකයේදීය. ඇමරිකාවේ විවිධ පෙදෙස් වල පාසැල් වල අධ්‍යාපන තත්ත්වයේද සැලකිය යුතු වෙනස්කම් ඇති අතර එයට ප්‍රධාන හේතුව පාසැල් වල පහසුකම් වල ඇති වෙනස්කම් හෝ ගුරුවරුන්ගේ තත්ත්වයේ ඇති වෙනස්කම් නොවේ. විවිධ පෙදෙස් වල ජීවත්වන සිසුන්ගේ ඇති වෙනස්කම්ය.

අප ජීවත්වන හා ජීවත්වූ පෙදෙස්වල වායුගෝලයේ තත්ත්වය අපට නිතර අවධානයට ලක් නොවන කරුණකි. එහෙත්, එහි වටිනාකම එක වරම අවබෝධ වන්නේත්, ලංකාවේ වායුගෝලයේ තත්ත්වය පසුගිය කාලය තුළ සැලකිය යුතු ලෙස නරක අතට හැරී ඇති බව පසක් වන්නේත් කලකට පසු ලංකාවට පැමිණි විටය. ඇත්ත වශයෙන්ම කිවහොත්, බොහෝ කලක් ලංකාවේ ඇති තත්ත්වයෙන් වඩා අයහපත් වාතය ආඝ්‍රාණය කරමින් ජීවත්වී, ඒ තත්ත්වයට ආඝ්‍රානේන්ද්‍රිය සංවේදීව ඇති මට හෝ මගේ බිරිඳට මේ වෙනස්කම් එතරම් සංවේදී නොවේ. එහෙත්, වඩා හොඳ වාතය ආඝ්‍රාණය කරමින් ජීවත්වී පුරුදු වී සිටින අපේ දරුවන් හා අදාළ තත්ත්වය එසේ නොවේ.

ලංකාවේ සිටි කාලයේදී අසල්වැසි නිවසක දල්වන ගිණි ගොඩකින්, වාහන දුමින් හෝ වෙනත් එවැනි දෙයකින් අපේ දරුවන් අපහසුතාවයට පත්වූයේ වරක් දෙවරක් නොවේ. මැජස්ටික් සිටි වැනි වායු සමීකරණය කර ඇති, එහෙත් හඳුන්කූරු හෝ කට්ටකුමන්ජල් දුමින් අපිරිසිදු වුනු තැන් වලදීද ඔවුන් සිටියේ ඉතා අසීරුවෙනි. ලංකාවේ වාහන ලියාපදිංචි කිරීමේදී මේ වන විට දුම් පරීක්ෂාවද අනිවාර්යයෙන්ම කළ යුතුය. මේ ඒ ගැන අයෙකු මට කියූ දෙයකි.

"ඕවට ක්‍රම සහ විධි තියෙනවා. ටෙස්ට් එකට කලින් ගාණක් අරන් වැඩේ ගොඩ දාල දෙන තැන් තියෙනවා. වාහනේ රේස් කරගෙන ඉන්න ගමන් සයිලන්සරේට ප්‍රෙෂර් කරලා වතුර පාරක් ඇල්ලුවහම හරි. කළු පාටට ඇතුළේ බැඳිලා තියෙන ඔක්කොම කැඩිලා යනවා. ටෙස්ට් එක ගොඩ."

ඇතැම් දේවල් නීති වලින්ම වෙනස් කරන්නට නුපුළුවන. මෙවැනි දේ නිසි ලෙස සිදුවීම සඳහා රටේ සාමාන්‍ය ජනතාවට නිසග පෙළඹවීමක්ද අවශ්‍යය. එසේ නොවූ විට එහි මිල ගෙවන්නට වෙන්නේද ඔවුන්ටමය. මේ මිල ලංකාවේ බොහෝ දෙනා දැනටම ගෙවති.

ලංකාවේ ජීවත්වන මගේ ඥාතීන්ගේ හා මිතුරන්ගේ කුඩා දරුවෝ බොහෝ දෙනෙකු කිසියම් හෝ පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයකින් පීඩා විඳිති. ඔවුන්ට මෙය ඉතා සාමාන්‍ය තත්ත්වයකි. කුඩා දරුවන් සිටින ලංකාවේ බොහෝ ගෙවල් වල ආනනක (ඉන්හේලර්) යනු සීනි තේකොළ මෙන් එදිනෙදා පාවිච්චියට ගන්නා පාරිභෝගික භාණ්ඩයකි !


පෙනහළු ආශ්‍රිත රෝග ඉදිරි කාලයේදී වකුගඩු රෝග මෙන් ලංකාවේ බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත් වීමට ඉඩ ඇතැයි මට සිතේ. 

(Image: www.allergyclinical.com)

13 comments:

  1. වාහනේ රේස් කරල සයිලන්සරේට වතුරපාරක් අල්ලන එක නීතිවිරෝධී එකක් නොවේ. ඩීසල් Jeep, SUV වල සයිලන්සරේ අග කාබන් බැඳෙනවා මෙකද ලංකාවේ average speed එක අඩුනිසා. ඉතිං වාහනය එන්ජිම කොච්චර හොඳට නඩත්තු කලත් අර test probe එක ගහන සයිලන්සරේ carbon deposit එක නිසා ටෙස්ට් එක ෆේල් වෙනවා. මේක නෙවෙයි ඇත්තටම අබලන් වාහන වල timing adjust කරලා හිමීට ටෙස්ට් කරන තැනට අරන්නගිහිං ටෙස්ට් පාස් කරගන්න මෙතඩ් එකක් තියනවා. වඩාත්ම නරක ක්‍රමය තමයි ඔය මොනවත් නොකර වාහනය ගෙදර තියෙද්දී ගානක් දීල ටෙස්ට් certificate එක ගන්න එක !

    ReplyDelete
    Replies
    1. අදහස් හා තොරතුරු වලට ස්තුතියි, සෙරන්ඩිපිටි.

      Delete
  2. ලෝකේ බයිපාස් වැඩිම රට ලංකාව වෙන්න ඇති.. ඕනැම දේකට විකල්ප පාරක් තියනවා.. ඒ පාරෙන් යන එක හොඳද නරකද කියලා වැඩක් නෑ.. වෙන්න ඕනා ලේසියටත් පහසුවටත් වැඩේ වෙන එක තමා..එහෙම ඉතිරි කරගනන් කාලයෙන් මෝනවද කරන්නේ කියන එකනම් ලොකුම ගැටලුවක්..

    ReplyDelete
    Replies
    1. මිනිස්සු තවමත් ගොඩක් නීති හා රෙගුලාසි පිළිපදින්නේ නීති හා රෙගුලාසි ලෙස සලකමින් මිසක් හැඟීමකින් නෙමෙයි.

      Delete
  3. තව වසර 50 කින් පමණ පොසිල තෙල් (ගල් අගුරු නම් තවත් වසර 100 කට වඩා පවතින බව කියනු ලැබේ) අවසන් වන හෙයින්, නුදුරු අනාගතයේම පරිසර හිතකාමී බලශක්තියකට මුළු ලොවම යොමු වෙනු ඇති බවට‍ විශ්වාස කරමි. :)

    ReplyDelete
    Replies
    1. කලකට පෙර සිතා සිටි ලෙස පොසිල ඉන්ධන ඉක්මණින් ඉවර වෙන එකක්නම් නැහැ, ඇනෝ. ලෝකයේ පොසිල ඉන්ධන වලට තියෙන ඉල්ලුම වැඩි වන වේගයට වඩා වේගයෙන් අළුත් සංචිත සොයා ගැනීම සිදුවනවා. ඒත්, ඔබ කියන කරුණට පදනමක් තියෙනවා. පාරිසරික හේතු මත දැනට හොයාගෙන තියෙන සංචිත සියල්ලමවත් දැවීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම වඩා පරිසර හිතකාමී බලශක්තියකට මාරු වෙන්න වෙයි.

      Delete
  4. වසර කිහිපයකට පෙර, විශ්ලේෂණාත්මක රසායන විද්‍යාඥයෙක් ලෙස වැඩකළ කාලයේ වාතයේ ගුණාත්මක භාවය ගැන සමහර පර්යේෂණ කලෙමි. මගේ මතය නම් භාහිර වාතයේ ගුණාත්මක භාවයට වඩා, ගෘහ අභ්‍යන්තර වාතයේ ගුණාත්මක භාවය ශ්‍රීලංකාව තුල රෝගී තත්වයන්ට හේතු වන බවයි. රසායන විද්‍යාඥයන් ලෙස අපේ අනුමානය මෙය ශ්‍රීලංකාව තුල රෝහල් ගතවීම වලට දෙවන බහුලම හේතුව ගෘහ අභ්‍යන්තර වාතයේ ගුණාත්මක භාවය අඩුවීම බවයි.

    අපේ ජීවිතය වැඩිපුරම ගෙවෙන්නේ ගෘහ අභ්‍යන්තරවයි. දිනක් සැලකු විට අනිවාර්යයෙන්ම රාත්‍රිය ගෙවෙන්නේ ගෘහ අභ්‍යන්තරවයි. දිවා කාලයද සේවා ස්ථානයක අභ්‍යන්තරයේ බොහෝ විට ගෙවේ. ගමනාගමනය ද කවුළු වැසූ රථයක් තුල සමහරවිට සිදුවේ. සාමාන්‍ය තත්වය සැලකු විට පුද්ගලයෙකුගේ ජීවිතයෙන් 70% පමණ ගෙවෙන්නේ ගෘහ අභ්‍යන්තර පරිසරය තුලයි.

    බොහෝ විට ඇගලුම් කරමාන්ත ශාලා වල ආහාර විෂවීම් ලෙස වැරදියට හදුනාගන්නේ මෙම වාතය විෂවීම් බව අපේ රටේ මහාචාර්යවරයෙකු නිතරම පවසන බව මට මතකයට නැගේ.

    නිරෝගී දිවියකට අත්‍යවශ්‍ය වන ගෘහස්ථ වාතයේ ගුණාත්මක භාවය (Indoor Air quality) ගැන මම ලියු විස්තරාත්මක සටහනක් සබැඳියෙන් දැක්වේ

    ReplyDelete
    Replies
    1. ඔබේ ලිපිය හොඳ සහ විස්තරාත්මක එකක්. එය පළවන දිනවල ලංකාවේ සිටි නිසා මඟ හැරුණා.

      Delete
  5. දැන් ඉතින් ගෙවල් ඇතුලෙත්, 'Air Purifiers' ගන්න කාලය ඇවිත් :)

    ReplyDelete
    Replies
    1. දැන් ලබන පොඩි ලාභය වෙනුවෙන් පසුව වැඩි මිලක් ගෙවන්න වෙනවා.

      Delete
  6. ඉතින් ඔය "දුම් පරීක්ෂණයෙන්"අසමත් වෙන වාහන සමත් වෙන විදියට හදලා දෙනවා කියලා දැන්වීම් පවා ගහලා තියෙන්නේ ප්‍රසිද්දියේම.
    සමහරවිට ඔය කුඨ ලෙස දුම් පරීක්ෂණය සමත් කරගන්න අය ඒ ගැන උදම් අනනවා.වීර වැඩක් කලවිදියටත්.

    ReplyDelete
    Replies
    1. සමහර අය සීනි චෙක් කරන දවසට පෙර දවස් කිහිපයක් පැණිරස නොකා ඉන්නවනේ. ඒ වගේ තමයි. අපේ ආර්ථිකය මෙහෙයවන අයත් සමහර වෙලාවට මේ වගේ වැඩ (Window dressing වගේ) කරනවා!

      Delete
  7. කලකට පෙර ඉගෙන ගත් ඉකොනො" මැටි" තියරියක් තමයි වතුර වීදුරුවක මිල තීරණය වෙන්නේ තිබහට බීලා බීලා අවසානයට බොන වතුර වීදුරුවට ගෙවන්න කැමති මිල අනුවය කියලායි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget