වෙබ් ලිපිනය:

Thursday, December 22, 2016

අධිවේගයේ ආතල් එක සහ කුණු නැති අගනුවරක ආතල් එක

ලංකාවේ අධිවේගී මාර්ග වල ප්‍රවේශ ගාස්තු වලින් ලැබෙන ආදායම එම ව්‍යාපෘති වල ප්‍රාග්ධන පිරිවැය සමඟ සසඳමින් මා පළ කර පෙර ලිපියට ලැබී ඇති ප්‍රතිචාර වලින් මගේ එක් නිරීක්ෂණයක් තහවුරු වී තිබේ. ලාබ අලාබ මොනවා වුණත් මේ ව්‍යාපෘති සම්බන්ධව ලංකාවේ වැඩි දෙනෙකුට ඇත්තේ ප්‍රසාදයකි. මගේ වියුණුව හෝ වෙනත් වියුණු නොකියවන ලංකාවේ ජීවත්වන බොහෝ  දෙනෙකුගේත්, ලංකාවෙන් පිටත ජීවත්වන ලංකික සම්භවයක් ඇති බොහෝ දෙනෙකුගේත් ස්ථාවරය මෙයම බව මගේ විශ්වාසයයි.

ඉහත ප්‍රකාශයෙන් අදහස් වන්නේ අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ විවේචන නැති බව නොවේ. මේ ව්‍යාපෘති සඳහා වැය වූ පිරිවැය සම්බන්ධවත්, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සමාගම් වලට පැවරීමේදී සිදුවූවේයැයි කියන කොමිස් ගැහිලි ගැනත් විවේචන තිබේ. මේ කරුණු ගැන ඉකොනොමැට්ටා විසින් සීරියස් මට්ටමේ අධ්‍යයනයක් කර නැති නිසා ඒ ගැන මෙහි කතා කරන්නට සූදානමක් නැත. කෙසේවුවද, මෙවැනි විවේචන කරන අයත් පසුගිය කාලයේ ලංකාවේ සිදු කෙරුණු අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඇතුළු මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිදු නොකර සිටිය යුතුව තිබුනේයයි නොකියති.

පසුගිය කාලයේ අධිවේගී මාර්ග ව්‍යාපෘති වල සිට ගම්වල අඩිපාරවල් කොන්ක්‍රීට් කිරීම් දක්වා ලංකාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක විය. මේ ව්‍යාපෘති නිසා ලංකාවේ මාර්ග සංවර්ධනයේ සිදු වී ඇති ප්‍රගතිය වසර කිහිපයකින් පසු ලංකාවට පැමිණෙන කෙනෙකුට ඉතා පැහැදිලි ලෙස පෙනේ. කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදය කොයිතරම් ප්‍රශ්නයක් වුවත්, විශාල ලෙස වාහන වැඩිවී ඇති පසුබිමක වුවද අගනුවර ආශ්‍රිත මාර්ග වල ගමනාගමනය වසර දහයකට පෙර පැවතියාට වඩා හොඳ තත්ත්වයක ඇති බව මගේ පෞද්ගලික අදහසයි.

රියදුරන්ගේ හැසිරීම වුවද, බටහිර රටක් සමඟ සැසඳිය නොහැකි වුවත්, වසර දහයකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස දියුණු වී තිබේ. උදාහරණයක් ලෙස ලංකාවේ වාහන නලා නාද කිරීම් දැන් සිදුවන්නේ දශකයකට පෙර සිදුවූවාට වඩා අඩුවෙනි. මේ සියල්ල මගේ පෞද්ගලික නිරීක්ෂණයි. යටිතලපහසුකම් ඇතුළු භෞතික පහසුකම් දියුණු වන විට පුද්ගල චර්යාවන්ද දියුණු වන බව මගේ අදහසයි. අගනුවර පිරිසිදුව තබා ගැනීම සම්බන්ධව පසුගිය කාලයේ ගැනුණු ක්‍රියාමාර්ග ගැනද රට තුළ හා රටින් පිටත ජීවත්වන බොහෝ ලාංකිකයන්ගේ ඇත්තේ ප්‍රසාදයකි. මාර්ග සංවර්ධනය හා නගර අලංකරණය යන අංශ දෙකෙන්ම පසුගිය කාලයේ ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලැබුවේය.

මාර්ග සංවර්ධනය හා නගර අලංකරණය අතින් ඉදිරියෙන් සිටින රටවල ජීවත් වන ඇතැම් ලාංකිකයනට නිවාඩුවකට ලංකාවට පැමිණි විට ලංකාවේ බොහෝ දෙනෙකු දැක නැති අධිවේගී මාර්ග හා කුණු නැති නගර වැනි දේ ගැන 'පොර ටෝක් දෙන්නට' තිබුණු අවස්ථාව දැන් නැති වී ඇති බව පසුගිය දිනෙක වෙනත් තැනෙක පලවී තිබුණු, කිහිප දෙනෙකුම අනුමත කර තිබුණු අදහසකි. ඒ ගැන කතා කිරීම ඉදිරි ලිපියකට ඉතිරි කර දැනට අපි මේ අධිවේගී මාර්ග හා කුණු නැති නගර වලින් ලැබෙන 'ආතල් එක' ගැන කතා කරමු.

ප්‍රවේශ ගාස්තු ගෙවා අධිවේගී මාර්ගයකට ඇතුළුවන අයෙකු එසේ ප්‍රවේශ ගාස්තු ගෙවීමෙන් පසුවද ලබන 'ආතල් එකක්' තිබේ. මේ ආතල් එකට ආර්ථික විද්‍යා භාෂාවෙන් කියන්නේ පාරිභෝගික අතිරික්තය කියාය. රජය විසින් දියත් කරන කිසියම් ව්‍යාපෘතියක් හෝ ප්‍රතිපත්ති තීරණයක් නිසා සමස්ත පාරිභෝගික අතිරික්තය විශාල ලෙස වැඩි වේනම් එයින් සමාජයට සමස්තයක් ලෙස සිදුවන්නේ යහපතකි. මෙසේ ලැබෙන වාසිය මුළුමනින්ම රජයට ආදායමක් ලෙස ආපසු නොලැබෙන බැවින් සමස්තයක් ලෙස සමාජයට යහපතක් වෙද්දී රජයට පාඩුවක් වෙන්නටත් පුළුවන් කමක් තිබේ.

කෙසේ වුවද, අධිවේගයෙන් ලැබෙන ආතල් එකට වගේම කුණු නැති නගරයකින් ලැබෙන ආතල් එකටත් සීමාවක් තිබේ. අදාළ ව්‍යාපෘති සඳහා වැයවන මුදල එයින් ලැබෙන ආතල් එකට වඩා වැඩිනම් මෙවැනි ව්‍යාපෘතියකින් සමස්තයක් ලෙස සමාජයට සිදුව ඇත්තේ අයහපතකි. ලැබෙන ආතල් එක සමස්තයක් ලෙස වැය කළ පිරිවැයට වඩා වැඩිනම් සිදුවී ඇත්තේ යහපතකි. ඇතැම් විට මේ ආතල් එකෙන් කොටසක් රජයට ආදායමක් ලෙස නොලැබීම නිසා ව්‍යාපෘතියෙන් රජයට පාඩුවක් වුනත් සමස්තයක් ලෙස සමාජයට අවාසියක් වී නොතිබෙන්නට පුළුවන.

ධනවාදී ක්‍රමයක මුදලේ කාර්ය භාරය වන්නේ මේ ආතල් එකේ සීමාව සොයා ගැනීමයි. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් එක් එක් පුද්ගලයා ලබන සතුට එම පුද්ගලයින් හැර වෙනත් අයට සෘජුව නිරීක්ෂණය කළ නොහැකිය. මුදල් හරහා ගනුදෙනු වන සමාජයක එක් අයෙකු මෙසේ ලබන ආතල් එක ගැන වෙනත් අයෙකුට අදහසක් ලබා ගැනීමට ඉඩ සැලසේ.

දක්ෂිණ අධිවේගය හෝ කටුනායක අධිවේගය භාවිතා කරන ඔබට ඒ හේතුවෙන් සිදුවන කාල ඉතිරිය, ඉන්ධන ඉතිරිය ආදී සියළුම වාසිත්, ඒ නිසා ලැබෙන ආතල් එක හෝ වෙනත් එවැනි සියළුම වාසිත් එකතු කළ විට මේ අධිවේගී මාර්ග නිසා ඔබ ලබන සමස්ත වාසියට නිශ්චිත මිලක් තිබේ. එය අසීමිත නැත. රජය විසින් දක්ෂිණ අධිවේගයේ ප්‍රවේශ ගාස්තු දිනකට රුපියල බැගින් දිනපතා වැඩි කරගෙන ගියහොත් දැනට එය භාවිතා කරන ඔබ වැඩේ අතහැර දමන දවසක් කවදා හෝ පැමිණේ. එදින ප්‍රවේශ ගාස්තු මිල ඔබේ මුළු අධිවේගී ආතල් එකට සමානය. මේ ආතල් එක ඉක්මවන මිලක් ගෙවා ඔබට තවදුරටත් මිලට සරිලන ආතල් එකක් නොලැබිය හැකි බැවින් එදින ඔබ වැඩේ අතහැර දමයි.

මේ ආකාරයෙන්ම කුණු නැති අගනුවරක් තිබීම ආතල් වුනත් ඒ ආතල් එක තියෙන්නේ ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල ලැබෙන ආතල් එකට වඩා අඩුවන තාක් පමණි.

කාලයක් පිටරටක සිට හෝ පිටරටක සංචාරය කර එන අයෙකුගේ පොර ටෝක් වලින් පමණක් අධිවේග හා කුණු නැති නගර ගැන අසා තිබුණු අයෙකුට රටේ මේ දේවල් ඇති වී තිබීම නිසාම ලැබෙන ආතල් එකක් තිබේ. මේ ආතල් එක අධිවේගය භාවිතා නොකළත්, කොළඹ නිතර නොගියත් ලැබෙන එකකි. අධිවේගය භාවිතා කරන අයෙකුගේ ආතල් එක ප්‍රවේශ ගාස්තු හරහා මුදල් කර ගැනීමට රජයට හැකි වුවත්, ඒවා භාවිතා නොකරන අයෙකුට අධිවේගී මාර්ග රටේ තිබීම නිසා ලැබෙන ආතල් එක වෙනුවෙන් මුදලක් අය කර ගැනීම අසීරුය. මේ හේතුවෙන් ඔවුන් වෙත ඉතිරි වන පාරිභෝගික අතිරික්තය මැතිවරණ ආදියේදී ක්‍රියා කරන ආකාරයෙන් පිළිබිඹු විය හැකිය.

මගේ අදහස අනුව රටේ අධිවේගී මාර්ග තිබීම නිසා ලැබෙන තරම් ආතල් එකක් බොහෝ දෙනෙකුට හම්බන්තොට ගුවන් තොටුපොළ නිසා නොලැබේ. හම්බන්තොට වරාය නිසා ලැබෙන ආතල් එක ඊටත් වඩා අඩු බව පෙනේ. රුපියල් දෙතුන් සීයක ප්‍රවේශ ගාස්තුවක් ගෙවා අධිවේගය වරක් හෝ භාවිතා කිරීම ලංකාවේ පහළ ආදායම් ලබන අයෙකුට වුවත් කළ හැකි දෙයකි. අධිවේගී මාර්ග විවෘත කළ කාලයේ බොහෝ අය අධිවේගය බලන්නටම ට්‍රිප් ගියේය. ඒ නිසා අධිවේගයේ ආතල් එක බොහෝ දෙනෙකුගේ ඇඟට දැනෙන දෙයකි. නමුත්,
හම්බන්තොට ගුවන් තොටුපොළ භාවිතා කර ආතල් එකක් ගන්නට ඒ ප්‍රදේශයේම සාමාන්‍ය අයෙකුට වුවත් පහසු දෙයක් නොවේ. වරායනම් කොහොමටත් සාමාන්‍ය ජන ජීවිතයෙන් බැහැරව ඇති දෙයකි.

ඉහත කරුණු අනුව, වරායෙන් හා ගුවන් තොටුපොළෙන් රටට ලැබෙන සමස්ත ලාභය බොහෝ දුරට එමඟින් ලැබෙන මුදල් ලාභයයි. එහෙත්, අධිවේගී මාර්ග ව්‍යාපෘති වල හා කුණු නැති අගනුවරක එසේ රජයට ලැබෙන මුදල් ආදායම් වලට අමතරව රජයට මුදල් ලෙස එකතු කර ගැනීමට අසීරු සමාජයට ලැබෙන 'ආතල් එකක්ද' තිබේ.

රටක අධිවේගී මාර්ග ඇතුළු මාර්ග සංවර්ධන ව්‍යාපෘති දියත් වීමත්, නගර පිරිසිදුව තිබීමත් පැහැදිලිවම හොඳ දේවල්ය. කෙසේ වුවත්, වැදගත්ම දෙය වන්නේ මේ හැම හොඳ දෙයකටම නිශ්චිත මිලක් ඇති බවයි. ඒ නිසා මේවායින් ආතල් ගන්නා විට මෙවැනි දේ වෙනුවෙන් ගෙවන්නට සිදු විය හැකි මිල ගැනද සැලකිලිමත් විය යුතුය.


(Image: http://www.dw.com/en/thailands-military-government-lifts-martial-law/a-18357063)

8 comments:

  1. මම හිතන්නේ ආතල් එකත් එක්ක මුළු ගාස්තුව රු800 විතර වෙයි. (මුළු දුර ප්‍රමාණයට)

    ReplyDelete
    Replies
    1. //ඒ නිසා මේවායින් ආතල් ගන්නා විට මෙවැනි දේ වෙනුවෙන් ගෙවන්නට සිදු විය හැකි මිල ගැනද සැලකිලිමත් විය යුතුය//

      දැන් නම් අධිවේග හදන්නේ මාලිගාව වඳින්නට යන්නට වැනි පූජනීය වැඩ වලටය. අධිවේගේ ගොස් ආතල් ගන්නවා වැනි "ඕන ගොනෙකුට කියන්නට" පුළුවන් කතා කියන්නට උඩරට "ගොනා" ඉඩ තියා නැත. ඒවා බුවාම කියයි.

      Delete
  2. නරක ද ආයුබෝවේවා / ආයුබෝවන් වෙනුවට ආතල්බෝවේවා / ආතබෝවන් කියා ආචාර කළොත්?

    ReplyDelete
    Replies
    1. මම දන්න ළමයෙක් පොඩිම කාලේ ආයුබෝවන් කියන එක උච්ඡාරණය කළේ ආමිබෝවන් කියල. හැබැයි ටිකක් ලොකුවෙලා තේරෙන කොට වැරැද්ද හදාගත්තා.

      Delete
  3. කුණු නැති නගරයක ඉන්නකොට, අත් දෙකෙන්ම වැඩ කරන්න පුලුවන් නිසා කාර්යක්ෂමතාවය ඉහල ගිහින් බලන් ඉද්දි රටවල් දියුණු වෙනවා...කොහෙද ඕවා තේරෙණ එකක්යෑ.... :D

    ReplyDelete
  4. ප්‍රසිද්ධ වැසිකිලිය, මධ්‍යම බස්නැවතුම්පල වගේ ඉංග්‍රීසියෙන් සිංහලට ගෙඩිපිටින් පරිවර්තනය කරපු නම්වලට වඩා Expressway කියන එකට අධිවේගී කියල දැම්මේ ඇයි දන්නෑ. ඕකට සීග්‍රගාමී මාර්ගය කියල දාන්නයි තිබ්බේ. කොහොම උනත් ජනවහරේ හුඟක් දය කියන්නේ අපි ආවේ "හයිවේ"එකේ කියල ඒකත් වැරදියිනේ !හයිවේ කියෙන්නේ A අකුරෙන් පටන්ගන්නඒවා (example- A9 ).

    ReplyDelete
  5. මිනිස්සු අත්දැකීම් ලබද්දී තත්වානුකූලව හැඩගැහෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්, විචා. අත්දැකීම් වැඩි වෙන විට මිනිස්සුන්ගේ චර්යාවන් දියුණු වෙනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: