Monday, December 5, 2016

චීස්ද කන්නේ නැත්නම් බටර්ද කන්නේ?

පොල් ලෙලි ගහන මැෂිමක් හැදීමට සම්බන්ධ වූ ඉකොනොමැට්ටාගේ කැම්පස් යාළුවෙක් ගැන ඉකොනොමැට්ටා කලකට පෙර ලිපියක් ලිවුවේය. මේ යාළුවා ටිකක් "ලොකු වී" වතුරෙන් දුවන කාර් එකක් සැලසුම් කළ බවද එහිම සටහන් කෙරුණු දෙයකි. තෙල් ගසන්නට අතින් වියදම් නොකර වතුරෙන්ම කාර් දුවවන්නට බලා සිටින බහුතරයක් සිටින රටක මෙවැනි නිර්මාණයකට හොඳ ඉල්ලුමක් තිබිය හැකිව තිබුණේය. මෙසේ නව නිර්මාණ දෙකකටටම දායකත්වය සැපයූ, එන්ජිමා ලෙස මා හැඳින්වූ මේ මිතුරා සැලසුම් කළ වෙනත් දේවල් අතර මී කතුරක්ද තිබුණේය.

එන්ජිමා විසින් සැලසුම් කළ මී කතුරේ තාක්ෂනය ඉතා සරලය. එහෙත්, මේ මී කතුරෙන් මීයෙකුට ලේසියෙන් ගැලවෙන්නට බැරි බව ඔහු සපථ කර සිටියේය. ඔබත් මීයන්ගේ කරදරයෙන් වද විඳිනවාද? එසේනම්, ඔබටත් මී කතුරක් ගෙදරදීම හදා ගැනීම සඳහා දැන් මා හදන්නේ මේ එන්ජිමාගේ මී කතුරු තාක්ෂනය ඔබට ලබා දෙන්නටය. මීයන් අල්ලා, මීයන් නිසා සිදු වූ නාස්තිය හා දූෂණය නැති කර සෞභාග්‍යය උදා කරන්නට පොරොන්දු දුන් අය එසේ නොකරනවානම් මේ තාක්ෂනය යොදාගෙන ඔබටම මීයන් අල්ලා ගන්නට පුළුවන.

මීයන් ඇල්ලීමේ තාක්ෂණයේ විප්ලවීය නව සොයාගැනීමක් වන මේ මී කතුර සැලසුම් කිරීමට පෙර එන්ජිමා වෙනත් සැලසුම් රැසක්ද සලකා බැලුවේය. මුලින්ම ඔහු සැලසුම් කළේ අර පෙර කී පොල් ලෙලි ගහන මැෂිමේම දිගුවකි. එන්ජිමා සැලසුම් කළේ පොල් ලෙලි ගසන මැෂිමේ සැලසුමේ කුඩා වෙනස්කම් හෙවත් මොඩිෆිකේෂන් හතරක් කිරීමෙන් එය මී උගුලක් බවට වෙනස් කර ගත හැකි බවයි. කොහොමටත් ඒ කාලයේ අප වැඩිපුර පුහුණු වුනේ මේ ආකාරයට වෙනත් අයෙක් කලින් කළ දෙයක් හොයාගෙන පොඩ්ඩක් වෙනස් කර තමන්ගේ වගේ ඉදිරිපත් කිරීමටය.

පසුව අතහැර දමනු ලැබූ මේ පළමු සැලසුම පොල් ලෙලි ගහන මැෂිමෙන් වෙනස් වූයේ මෙහි පෙට්ටිය හෙවත් කේසින් එක ප්‍රමාණයෙන් කුඩා වීම, සිදුරු දෙකක් වෙනුවට එක සිදුරක් තිබීම, පොල් උලක් අවශ්‍ය නොවීම හා පොල් ලෙලි ගහන්නට දන්නා තරුණයෙකු වෙනුවට මීයන් අල්ලන්නට දන්නා පූසෙකු යොදාගැනීම යන කරුණු වලිනි.

පොල් ලෙලි ගහන මැෂිමේ ඉන්පුට් එකක් මෙන්ම අවුට්පුට් එකක් තිබිය යුතු වුවත් මීයන් අල්ලන යන්ත්‍රයට ඉන්පුට් එකක් තිබීම පමණක් ප්‍රමාණවත් වූ බැවින් (බදු කෙතරම් ගෙවුවත් ඒවායින් කෙරෙන දෙයක් පේන්නට නැති සමහර රටවල ආණ්ඩු වලට වගේ) සිදුරු දෙකක් අවශ්‍ය නොවීය. පූසෙකුට තරුණයෙකුට තරම් ඉඩක් අවශ්‍ය නොවන නිසා යන්ත්‍රය ප්‍රමාණයෙන් කුඩාවට සැලසුම් කිරීමට හැකිවිය.

මේ යන්ත්‍රයටද පෙර යන්ත්‍රයට මෙන් බාහිර ශක්ති ප්‍රභවයක් අවශ්‍ය නොවීම සැලසුමේ වූ සාධනීය අංගයකි. විදේශීය ණය වෙනුවට දේශීය ණය ගන්නා විට මෙන් ශක්තිය යන්ත්‍රය අභ්‍යන්තරයෙන්ම ලැබේ.

සැලසුමේ පෙනෙන්නට වරදක් නොතිබුණේය. එහෙත්, මේ සැලසුම විමර්ශනයට ලක් කළ රිවීව් බෝඩ් එක පෙර පොල් ලෙලි ගසන යන්ත්‍රයේ සැලසුම අසාර්ථක වූ බව අවධානයට ලක් කළේය. ඒ අනුව, පූසාටද එන්ජිමාට මෙන් නින්ද යාමට ඇති ඉඩකඩ සලකා බලමින් මේ සැලසුම අනුමත කෙරුණේ නැත.

පූසෙක් යනු අයවැය විවාදයට සහභාගී වන මහජන නියෝජිතයෙක් මෙන් සිතීම නිවැරදි නොවන බවට රිවිව් බෝඩ් එකේ ඇතැම් අය අදහස් පළ කළත් එය බහුතරයේ මතය නොවීය. මීයන් අල්ලන බව කියා පොරවල් වෙන පූසන් බොහෝ විට පසුව මීයන් ඇල්ලීමේ නොහැකියාව හෝ මීයන් ඇල්ලීමට උවමනාවක් නැති කම ප්‍රදර්ශනය කරන බැවින් මීයන් අල්ලන පූසෙක් හොයා ගැනීම ලොකු අභියෝගයක් විය හැකි බව වැඩි සහයෝගයක් ලැබුණු මතයකි.

පළමු සැලසුම අසාර්ථක වුවද, එන්ජිමා වැඩේ අත ඇරියේ නැත. ඔහුගේ රිවීව් බෝඩ් මිතුරන්  "තින්ක් අවුට් ඔෆ් ද බොක්ස්!" කියා දුන් උපදෙස් මලලසේකර ශබ්දකෝෂය බලා හරියටම තේරුම් ගෙන, සමහර ආණ්ඩු අයිඑම්එෆ් එකේ උපදෙස් පිලිපදින්නාක් මෙන් අකුරටම පිළිපදිමින්, මෙවර ඔහු සැලසුම් කළේ පෙට්ටියක් නැති විවෘත මී උගුලකි. ඒ නිසා, එහි ක්‍රියාකාරීත්වය පෙර සැලසුමේ මෙන් රහසක් වූයේ නැත. මීයන් මැරීම වුවත් හොරෙන් නොකර විනිවිදභාවයක් ඇතුව, කාටත් පෙනෙන්නට කිරීම යහපාලනයයි. මේ අනුව, පෙර සැලසුමේ තිබුණු විනිවිදභාවයක් නැති කමේ අඩුවද මේ අලුත් සැලසුමෙන් මඟ හැරුණේය.

එන්ජිමාගේ සැලසුම අනුව මී කතුරක් හදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ පැතලි ලෑලි කෑල්ලක්, කියත් පටි කෑල්ලක්, චීස් කෑල්ලක් හා බටර් කෑල්ලක් පමණි. පළමුව, කියත් පටි කෑල්ල එහි දැති උඩට හිටින පරිදි ලෑල්ලේ සවි කර ගත යුතුය. කිසියම් උපකරණයකින් ලෑල්ලේ කාණුවක් හාරා කියත් පටිය එහි බැස්සවීමෙන් මෙය කළ හැකිය. ඉන්පසුව කියත් පටිය දෙකොණෙහි (දෙපැත්තේ නොවේ) චීස් කෑල්ල සහ බටර් කෑල්ල තැබිය යුතුය. (ගෙවුම් ශේෂ ප්‍රශ්න එන්නට ඉඩ තිබෙන නිසා දේශීය චීස් හා බටර් යොදා ගැනීම වඩා උචිතය.) දැන් ඔබේ සරල එහෙත් ඉතාම කාර්යක්ෂම මී කතුර හදා අවසන්ය.

මේ මී කතුරෙන් මීයන් මැරෙන හැටි පැහැදිලි නොකළොත් ඔබ මේ සැලසුම කෙතරම් හොඳ සැලසුමක්දැයි පිළි නොගන්නට ඉඩ තිබේ. පැහැදිලි කිරීම් කිසිවක් නැතිව, අපිට දුන්නොත් කොරල පෙන්නනන්නම් කියූ පමණින් පිළිගන්නා අයත් ඕනෑ තරම් ඉන්නා නිසා එවැනි පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන්නටද පුළුවන. ඒ වුණත්, මී කතුරක ක්‍රියාකාරීත්වය භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක නිකුතුවේ ප්‍රමාණය හෝ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුමක කොන්දේසි මෙන් රහසිගතව තියා ගත යුතු දෙයක් නොවන නිසා මෙසේ ඔන්නොහේ කියා දමනු ලැබේ.



එන්ජිමා විසින් පැහැදිලි කළ ආකාරයට මීයා මැරෙන්නේ මෙසේය. චීස් සහ බටර් සුවඳට මීයා ගුලෙන් එළියට එයි. සුවඳ අනුව ඉව කරමින් ඔලුව වන වන ඔෆිස් වෙලාවට පාරට දැමූ ප්‍රයිවෙට් බස් එකක් මෙන් හැටට හැටේ එන මීයා නවතින්නේ හරියටම කියත් පටිය තියෙන තැනට පැමිණ කියත් පටියේ ඉදිරි ගාත් වැදෙන විටය. කියත් පටි බැරියරය දකින මීයා ට්‍රැෆික් බයිසිකලයක් දැක විසිපන්දාහ මතක් වූ රියදුරෙක් මෙන් බරාස් ගා බ්රේක් ගසයි. දැන් මීයා කියත් පටිය ඉදිරියේ නැවතී සිටින අතර මීයාගේ බෙල්ල හරියටම තියෙන්නේ කියත් පටියේ දැති වලට ඉහළිනි.

මීයාට දැන් විශාල ප්‍රශ්නයකි.

"චීස්ද කන්නේ නැත්නම් බටර්ද කන්නේ?"

හරියටම ආණ්ඩුවට ඇති බරපතලම ප්‍රශ්නය වන දේශීය ණයද ගන්නේ නැත්නම් විදේශීය ණයද ගන්නේ වගේ ප්‍රශ්නයකට දැන් මීයා මුහුණ පා සිටී. කැලරි හිඟයෙන් පීඩා විදිමින් මන්දපෝෂණයෙන් පෙලෙන විට චීස් වගේම බටරුත් හොඳ ශක්ති ප්‍රභව දෙකකි. හැබැයි කිහිප වරක්ම වල ගැට්ටට ගොස් ආපසු පැමිණ, කොලෙස්ටරෝල් අඩු කරගන්නට දඟලමින් ඉන්න විට චීස් වගේම බටරුත් අන්තිම නරකය. මේ දෙක දෙකක් වුනත්, දෙකෙන් එකක්වත් පාලනයකින් තොරව වැඩිපුර ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට හොඳ නැත.

චීස් කෑල්ල දෙසත්, බටර් කෑල්ල දෙසත් මාරුවෙන් මාරුවට බලමින්, දෙපැත්තට ඔළුව වනමින් මීයා කල්පනා කරයි.

"චීස්ද කන්නේ නැත්නම් බටර්ද කන්නේ?"

ඔළුව තියෙන්නේ කියත් පටියේ දැති උඩ බව මීයාට වගක්වත් නැත. කාර් පර්මිට් හා පාර්ලිමේන්තු කෑම ආදියට වහ වැටුණු මහජන නියෝජිතයෙක්ට ඡන්ද පදනම ටිකෙන් ටික දියවන බව මතක් නොවනවාක් මෙන්, චීස් වල හා බටර් වල සුවඳට වහ වැටී සිටින මීයාට ඔළුව වනන වාරයක් පාසා බෙල්ල ටිකක් කැපෙන බව නොතේරේ.

අන්තිමේදී මීයාගේ බෙල්ල සම්පූර්ණයෙන්ම කැපී කඳින් වෙන් වන තුරුම මීයා දන්නේ නැත!

(මැටිකතාවකි)


පසු සටහන: වියදම් අධික චීස් සහ බටර් යොදාගැනීමෙන් සිදුවන (අයවැය හිඟ, ගෙවුම් ශේෂ ප්‍රශ්න වැනි) ආර්ථික අවාසි ගැන සලකා එන්ජිමා සිය සැලසුම පසුව තවදුරටත් වැඩි දියුණු කළේය. (මෙය මතක් කර දුන් පහළ ඇනෝ කමෙන්ට් එක දමා ඇති මිතුරාට විශේෂ ස්තුතිය!) ඒ අනුව, අලුත්ම සැලසුමේ ඇත්තේ ලෑල්ලේ සවිකළ කියත් පටිය පමණි. චීසුත් නැත. බටරුත් නැත. දැන් මීයා පෙර මෙන්ම කියත් තලය ඇති තැනට පැමිණේ. දහසක් පොරොන්දු දී බලයට පත් වී හිස් භාණ්ඩාගාරයක් භාරගත් අළුත් ආණ්ඩුවක් මෙන් මීයා ඉන් පසුව දෙපැත්තට ඔළුව වනන්නේ මෙසේ සිතමිනි.

"චීසුත් නෑ! බටරුත් නෑ!!...චීසුත් නෑ! බටරුත් නෑ!!"

අන්තිමේදී මීයාට චීසුත් නැත. බටරුත් නැත. බෙල්ල කැපෙනකල්ම දන්නේත් නැත. මහන්සියක් නැතුව චීස් සහ බටර් නොමිලේ කන්නට බලාගෙන ඉන්නා මීයන්ට ඔයිට වඩා වෙන්නට දෙයකුත් නැත.



(Image:
123RF.com)

34 comments:

  1. චීස් සහ බටර් මිල අධික නිසා එන්ජිමා එය modify කල බවයි මගේ සොහොයුරා කිව් වේ. නව නිපැයුමේ චීස් සහ බටර් දෙකම නෑ. එවිට මීයා පැමින චීසුත් නෑ බටරුත් නෑ කියමින් දෙපැත්තට ඔළුව වනමින් කල්පනා කරයි. අන්තිමේදී මීයාගේ බෙල්ල සම්පූර්ණයෙන්ම කැපී කඳින් වෙන් වන තුරුම මීයා දන්නේ නැත!
    K

    ReplyDelete
    Replies
    1. වියදම් අඩු කරගන්න කරපු එන්ජිමාගේ අන්තිම මොඩිෆිකේෂන් එක අමතක වෙලානෙ තිබුණේ, K. මතක් කළාට ස්තුතියි! දැන්නම් හරියනම ඩිසයින් එක ඕක තමයි. චීසුත් නෑ. බටරුත් නෑ. අන්තිමට බෙල්ලත් නෑ.

      Delete
  2. ඔය මීයන් කියන ජාතිය ඔහොමමය/ හඳෙන් හාල් + ඇට අට+වැනි නේක වචන වලට අහුවෙනවා වගෙම රුචි දෙයක් භුක්ති විඳීමට බින්දු හතරෙ විජ්ජාවක් කිරීමත් සෑහෙයි. තියෙන දේට දොස් කියා අළුත් දෙයක් නිතර හොයයි.
    =මීයන්ට ඔහොම වෙලා මදි.....

    ReplyDelete
  3. මේ ලිපියේ වෙනත් ලිපිවලට යොදා ඇති හයිපර්-ලින්ක්ස් රාශිය දැක නොස්ටැල්ජියානු හැඟීමක් ඇති විය!

    ReplyDelete
    Replies
    1. මොකටද මගේ කට, නිකන් ඔක්කාරෙට වගේ ආවා මතක් වෙලා!

      Delete
  4. බටර් වෙනුවට කරෝල කෑල්ලක්වත් බැදලා ගන්න. ලංකාවේ උණුසුමට බටර් කෑල්ල මොහොතකින් දියවී ගිතෙල් හැදේවි!

    ReplyDelete
  5. තෙල් ගසන්නට අතින් වියදම් නොකර වතුරෙන්ම කාර් දුවවන්නට බලා සිටින බහුතරයක් සිටින රටක මෙවැනි නිර්මාණයකට හොඳ ඉල්ලුමක් තිබිය හැකිව තිබුණේය/////// ha ha ha

    ReplyDelete
  6. අහල තියෙන කතාවක් ලස්සනට උත්ප්‍රාසාත්මකව සමාජ යථාර්ථයට සම්බන්ධ කරනව! 

    ReplyDelete
  7. උඩ මී කතුරට අහුවෙලා තියෙන්නේ කොහේ සල්ලිද?

    ReplyDelete
    Replies
    1. මාවෝ ගේ ෆොටෝ එක අඳුනාගත්තේ නැත්ද?

      Yuan

      Delete
    2. අාහ්, නව පරපුර. ඔය මූණ අපට නම් හුරුපුරුදුයි,අපි පුංචිකාලේ ඔයි මූණ කියන වෛවර්ණ වටිනා බිත්ති කැලැන්ඩර් / සඟරා තැපැල් ගාස්තුව පමණක් ගෙවා ගෙන්වාගත්තා. දැන් අපේ නායකයෝ / බිරින්දෑවරු සුබසාධන පදනම් හේම පවත්වාගෙන යන නිසා එයාලට කැලැන්ඩර් වලට වෙන්කරන්න සල්ලි ඉතුරුවෙන්නේම නැතුව ඇති.

      Delete
    3. බලුකිස්ථානේ

      Delete
    4. යුවාන් හෙවත් රෙන්මින්බි. සිංහල තේරුම "ජනතාවගේ මුදල්".

      Delete
  8. හැක්.. හැක්... මරු කතාව.
    මොනව උනත් නොදැන මී කතුරට අහුවෙලා එකපාරටම මැරෙනවට වැඩිය තමංගෙ අතිංම බෙල්ල කපාගන මැරෙන නිසා ඇන්ජිමාට වැඩි දුකක් දැනෙන එකකුත් නෑ.

    ReplyDelete
  9. අර උඩ ලින්ක් එක දීල තියන වතුර බිඳුවෙන් බිඳුව එක්කර එන්ජිම දුවවන එ න්ජිමාගේ පර්යේෂණය. අතහැර දාන්න ඇත්තේ ලංකාවේ පෙට්‍රෝල් ගැන කළ මූලික අධ්‍යයනයකින් පසුව වෙන්නැති, ඒ පර්යේෂණය සාර්තක වුනත් ලංකාවේදී ඒක ප්‍රායෝගික වෙන්නේ නෑනේ, මිනිස්සු කොහොමද හරියටම දන්නේ ෂෙඩ් එකෙන් ගන්න පෙට්‍රෝල් ලීටරයකට ඒ වෙනකොටත් වතුර බිංඳු කියක් දාලද කියලා, ඉතින් වැඩේ පටන්ගත්ත තැනම හබක්, ඉතින් බොහෝවිට ඒගැන අවබෝධයක් නැති මිනිස්සු අසාධාරන විදිහට බනින්නේ නව සොයාගැනීම කළ කෙනාටයි.

    ReplyDelete
    Replies
    1. දැනුයි කියෙව්වේ ඒක. මාරු කටහ්ව, මමත් හැදුව එකක්. ලිපියක් දාන්න ඕනේ. හා හා

      Delete
  10. ඔය මී කතුර ගැනත් ඒකෙ වැඩිදියුණු කල අවස්ථාව ගැනත් ඒකෙන් අලියෙකුගෙ බෙල්ල කපන්නෙ බොහොමද කියලත් අවුරුදු කිහිපයකට කලින් මංතුමත් ලිව්ව මතකයි.
    මෙන්න බලන්න

    ReplyDelete
    Replies
    1. මරුනේ. බලාගෙන ගියාම කියත් පටියට ගිය වියදමත් අපරාදේ!

      Delete
  11. චීස්ද, බටර්ද කියලා අහන වෙලාවේ මට මතක් වුනේ, මේරි ඇන්ටනොට්ව. පාන්ද කන්නේ නැත්නම් කේක්ද කන්නේ....."Qu'ils mangent de la brioche"

    ReplyDelete
  12. දෙකම කන්න පුලුවන්කම තියාගෙන එකක් තෝරන්න යන්නෙ අවංකකම නිසාද, මෝඩකම නිසාද?

    ReplyDelete
    Replies
    1. මේක මටත් ප්‍රශ්නයක්, සෙන්නා.

      Delete
  13. https://en.wikipedia.org/wiki/Build_a_better_mousetrap,_and_the_world_will_beat_a_path_to_your_door

    ReplyDelete
  14. I came back to this post (http://economatta.blogspot.ca/2016/05/blog-post_26.html) after reading a comment by Ajith in his blog. However, when I downloaded the spreadsheets from the http://www.worldbank.org/en/topic/migrationremittancesdiasporaissues/brief/migration-remittances-data I found that values do not compare with the similar values that they show in their own other spread-sheets. Can you check and please post the link for the original sheet where you extracted the estimates.

    ReplyDelete
    Replies
    1. Ano:
      I think I used the "bilateral remittances worksheet 2015" available there. I did not recheck whether the worksheet has been revised after I downloaded it. (I should have the original that I downloaded in one of my computers.)

      The link (given with the original post) is the same that you used. Anyway, later I realized that they may have decomposed aggregate numbers using a model rather than collecting the actual figures and added a footnote to the blog post. It is very much likely that their model-based estimates are based on the relative sizes of economies and in that case the main argument in my blog post is not valid.

      Delete
    2. Yes, that's the worksheet- Check column FV. Numbers appear to be slightly different than the numbers I have. It looks thta they have updated the worksheet. But, the differences are minor and the numbers they have now are broadly in line with what they published before when I accessed. (I just checked the remittances from 2-3 countries).

      Delete
    3. ඉකොන් හරි ෆිගර්ස තියෙනවා නම් දාන්න.

      Delete
    4. http://www.tradingeconomics.com/sri-lanka/remittances
      Remittances in Sri Lanka decreased to 577.88 USD Million in September from 618.29 USD Million in August of 2016. Remittances in Sri Lanka averaged 477.05 USD Million from 2009 until 2016, reaching an all time high of 708.84 USD Million in December of 2014 and a record low of 241.34 USD Million in February of 2009.

      රෙමිටන්ස් එක තේ හෝ පොල් අපනයන අදායමට සමයි.

      Delete
    5. මහ බැංකු වාර්තාවකට අනුව 2016 පළමු මාස 8 තුළ ලැබුණු ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 4,804ක්. මෙය සාමාන්‍ය වශයෙන් මසකට ඩොලර් 600ක් පමණ වන නිසා අජිත් උඩ දමා තිබෙන සැප්තැම්බර් මාසය සඳහා වූ ගණන නිවැරදියි කියා මම හිතනවා. මෙම මාස 8 තුළ තේ අපනයන ආදායම ඩොලර් මිලියන 835යි. මෙම කාලය තුළ පොල් අපනයන ආදායම මම හිතන විදිහට ඩොලර් මිලියන 200-220 පරාසයේ විය යුතුයි. ඒ නිසා අවසානයට ලියා ඇති දෙය නිවැරදි නැහැ. ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ, තේ හා පොල් අපනයන ආදායම් වලට සාපේක්ෂව බොහෝ වැඩියි.

      Delete
    6. උඩ ඇනෝ සඳහන් කර ඇති අජිත්ගේ කමෙන්ට් එක මට හොයාගන්න බැරිවුණා.

      Delete
    7. //ඉකොන් හරි ෆිගර්ස තියෙනවා නම් දාන්න.// මුළු ගණන කොහොමත් නිවැරදියි. වෙනසක් තිබුණොත් ඒ බ්‍රේක් ඩවුන් එකේ.

      Delete
    8. එහෙම නම් වඩාත් හොඳයි. ඇනෝ මගේ පිටුවේ කියා තිබුන ශ්‍රමිකයන් එවන ගණන අඩුයි කියා. තේ හා පොල් වලද වැඩි නම් මගේ ලිපියේ මම කරන තර්කයත් ඒකයි. ස්තූතියි. අනෝ කියන්නේ මේ ලිපිය ගැන. කොමෙන්ට් බලන්න.
      https://kolambagamaya.blogspot.co.uk/2016/12/blog-post_9.html

      Delete
    9. ඇනෝ කියා තියෙන්නේ ශ්‍රමික ප්‍රේෂණ ජාතික ආදායමින් 8.5%ක් බවයි ("the total foreign remittance to SL is 8.5% of the GDP"). එය නිවැරදියි. මුළු අපනයන ආදායම ජාතික ආදායමෙන් 12.8%ක් පමණ බව සැලකූ විට එය විශාල ප්‍රමාණයක්. මෙහි වටිනාකම වන්නේ මේ සල්ලි "තනිකරම සල්ලි" වීමයි. මේ මුළු මුදලම රටට ලැබෙන්නේ එකතු කළ අගයක් ලෙස. සංසන්දනාත්මකව අපනයන ආදායමේ ප්‍රධානම සංරචකයක් වන ඇඟලුම් අපනයන ආදායම ගත්තොත් එයින් සැලකිය යුතු ප්‍රමාණයක් එම කර්මාන්තය වෙනුවෙන්ම ආනයන වියදම් ලෙස වැය වෙනවා. කර්මාන්තයේ දේශීය පිරිවැයත් විශාල ප්‍රමාණයක්. ඒ නිසා මුළු අපනයන ආදායම කියන්නේ ශුද්ධ ආදායමක් නෙමෙයි.

      Delete
  15. නත්තල් ගහ ගැන ආර්ථික විද්‍යාවෙන් ලියන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ගෝල්ෆේස් නත්තල් ගහේ පිරිවැය පැත්ත ගැන වැඩි දෙයක් දන්නෙ නැහැ, ජගත්. විශේෂයෙන්ම මෙයට සෘජුව හෝ වක්‍රව රජයේ අරමුදල් යෙදවුනාද වැනි කරුණු ගැන දන්නෙ නැහැ. එක තැනක දැක්කා මෙහි ආකෘතියේ ඉංජිනේරුමය ප්‍රශ්නයක් නිසා අතරමඟ නැවැත්වුවා වැනි කතාවකුත්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget