වෙබ් ලිපිනය:

Saturday, December 24, 2016

ඩොලරය කීයට යයිද?

මහ බැංකුව විසින් නිකුත් කර ඇති අළුත්ම පුවත් නිවේදනයකට අනුව පෙනී යන්නේ ඇමරිකානු ඩොලරය රුපියල් 150 මට්ටමේ රඳවා තබා ගැනීමට ටික කලක සිට දැරූ උත්සාහයෙන් මහ බැංකුවට හති වැටී ඇති බවයි. මේ අනුව, රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම වලක්වා ගැනීම සඳහා විදේශ සංචිතයේ ඩොලර් විකුණමින් සිටි මහ බැංකුව එසේ විණිමය අනුපාතිකය වෙත මැදිහත්වීම් කිරීමෙන් වැළකෙන්නට තීරණය කර තිබේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී කෙටි කාලයක් තුළ රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වනු ඇත.

විණිමය අනුපාතිකය වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වන්නට ඉඩ හරින්නේනම් රටක් ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ පාන්නට ඇති ඉඩකඩ ඉතා සීමිතය. එහෙත්, මහ බැංකුව විසින් විණිමය අනුපාතිකයේ තාවකාලික උච්ඡාවචනයන් වැළැක්වීමේ අරමුණින් විදේශ විණිමය වෙළදපොලට කරන මැදිහත්වීම් බොහෝ විට අවසන් වන්නේ රුපියල අවප්‍රමාණය වීම සීමා කිරීමේ උත්සාහයන්ගෙන් හා ඒ පසුපස ගොනු පසුපස ඇදෙන ගැලමෙන් පැමිණෙන ගෙවුම් ශේෂ අර්බුද වලිනි.

පසුගිය වසර කිහිපය තුළ ඇමරිකන් ඩොලරය රුපියල් 100, 115, 130 හා 145 සීමාවන්හි දිගු කලක් රැඳී තිබුණේ මහ බැංකුව විසින් මැදිහත්වීම් කරමින් එම සීමා ආසන්නයේ ඩොලරය සෑහෙන කලක් ස්ථාවරව තබාගත් බැවිනි. මේ එක් එක් අවස්ථාවේදී, මෙසේ ඩොලරය අදාළ මට්ටමේ රඳවා ගැනීම අසීරු වන විට මහ බැංකුව විසින් විණිමය අනුපාතිකය වෙත මැදිහත් වීම නැවැත්වීමත්, ඉන් පසු ඉතා කෙටි කලක් තුළ රුපියලේ අගය විශාල ලෙස පහත වැටීමත් සිදුවිය.

මෙවරද, මහ බැංකුව විසින් මැදිහත්වීම් නැවැත්වීමත් සමඟ ඉදිරි මසක පමණ කාලය තුළ ඩොලරයේ අගය රුපියල් 160 පමණ දක්වා ඉහළ යන්නට ඉඩ තිබේ.

රුපියල අවප්‍රමාණය වන්නට ඉඩහැරීම මහ බැංකුව විසින් ගෙන ඇති නිවැරදි තීරණයකි. රුපියලේ වටිනාකම කෘතීම ලෙස ඉහළින් තබා ගැනීම නිසා ලංකාවේ ආර්ථිකයට සිදුවී ඇති හානිය විශාලය. මේ තීරණය වුවද තරමක් කලින් ගත්තේනම් පසුගිය කාලයේදී විදේශ සංචිතයෙන් වැය කෙරුණු විදේශ විණිමය ප්‍රමාණය ඉතිරි කරගත හැකිව තිබුණි.

අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ මෑතකාලීන ශක්තිමත් වීම හමුවේ රුපියල අවප්‍රමාණය වන්නට නොදී තබාගැනීම රටේ අපනයන තරඟකාරිත්වයට ඉතා නරක ලෙස බලපායි. ඒ නිසා, මෙසේ රුපියල අවප්‍රමාණය වන්නට ඉඩ හැරීම අපනයනකරුවන්ට වාසිදායකය. අනෙක් අතට, මෙය ආනයනික භාණ්ඩ වල මිලගණන් ඉහළ යාමටත්, රජයේ විදේශ ණය වල රුපියල් අගය ඉහළ යැවීමටත් හේතු වනු ඇත.

මහ බැංකුවේ මැදිහත්වීම නැවැත්වීමෙන් පසුව රුපියල එහි වෙළදපොළ අගය දක්වා සීඝ්‍රයෙන් අවප්‍රමාණය වී නැවත ස්ථාවර වනු ඇත. ඉන් පසුව, මහ බැංකුව විසින් කළ යුත්තේ මේ චක්‍රය නැවතත් පුනරාවර්තනය නොකරමින් එතැන් සිට රුපියලට වෙළදපොළ සාධක අනුව නිදහසේ අවප්‍රමාණය වන්නට ඉඩහැරීමයි. රටකට ගෙවුම් ශේෂ අර්බුද වලට නිතර මුහුණ පාන්නට සිදුවේනම් එය එම රටේ විදේශ විණිමය ප්‍රතිපත්තියේ ප්‍රශ්නයකි.

11 comments:

  1. කේප්ප හරක් 226 හොඳ ගානකට විදේශයකට දී ගත්තොත් ඕක පහලට ගන්න බැරි වෙයිද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඕක පහළට ගන්න අවශ්‍ය නැහැ. ගොඩක් ප්‍රශ්න වලට මුල තේරුමක් නැතුව එහෙම කරන්න උත්සාහ කිරීමයි. රුපියල අවප්‍රමාණය වන එක හැමවිටම නරක දෙයක් නෙමෙයි.

      Delete
  2. ඔය එක එක මට්ටම්වල විනිමය අනුපාතිකය රඳවා ගැනීමට උත්සාහ කිරීම හරියට ක්‍රිකට් තරඟයකදි පිතිකරුවෙක් ළකුණු 90 ට ලඟාඋනහම සුපුරුදු ක්‍රීඩා විලාශය අතඇරල පරිස්සමින් ක්‍රීඩා කිරීම වගේ කියලයි මට හිතෙන්නෙ.

    ශතකය ගැහුවම ආයම පුරුදු විදිහට ක්‍රීඩාවට එළඹෙනව,150 ලංවෙනකොට සහ 200 ලංවෙනකොට ආයම ප්‍රවේශම්කාරී පිතිහරඹ මෝඩ් එකට එන්ටර් වෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. රවීගේ උදාහරණය අදාළ කරගන්න බැරිකමක් නැහැ. කොහොම හරි ශතකයක් දාන්න ඕනෑ නිසා 90ට ආපු වෙලාවේ ඉඳල ලෑල්ල දදා ඕවර ගානක් නාස්ති කරන එක පිතිකරුගේ පැත්තෙන් මිසක් දිනන්න ලකුණු ඔන වෙලා ඉන්න ටීම් එකේ පැත්තෙන් හොඳ දෙයක් නෙමෙයි වගේ මේකෙනුත් අන්තිමට වෙන්නේ අවාසියක්. (අසූ ගණන් වල මුල හරියේදී මහානාම රෙකෝඩ් එකක් තියමින් නොදැවී 150ට කිට්ටු ගාණක් ගහපු ආනන්ද නාලන්ද මැච් එකකදී ආනන්ද පිතිකරුවෙක් ඔහොම කර කර ඉඳල 99ට අවුට් වුණා වගේ මතකයකුත් තියෙනවා. නම මතක නැහැ. රවීට මට වඩා හොඳට මතක ඇති!)

      Delete
    2. ඔය තියෙන්නේ. කීප සැරයක්ම කාරියප්පෙරුමට වෙච්ච දේ නොවී බේරුණේ අයිඑම්එෆ් එක නිසයි.

      Delete
  3. Can you please publish explain article for this, "රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම වලක්වා ගැනීම සඳහා විදේශ සංචිතයේ ඩොලර් විකුණමින්"

    ReplyDelete
    Replies
    1. ඇනෝ, මහ බැංකුවේ අදාළ පුවත් නිවේදනය (පහළ ලින්ක් එකේ ඇති) මේ ගැන සහ තවත් බොහෝ කරුණු සහිත අධ්‍යාපනික වැදගත්කමක් ඇති එකක්. එය බර වැඩිනම් මට සරලව පැහැදිලි කළ හැකියි.

      http://www.cbsl.gov.lk/pics_n_docs/latest_news/information_series_note_20161223s.pdf

      Delete
  4. And one more Question,is CBSL publish correct Inflation rate? just take Ex. last 5 yrs Inflation rate not correct with market price. do you have any explain article? i don't think its 100% correct but it should be some accuracy.(if you visit another country after few yrs price not change like SL i mean $ price not Rs. :D)

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: