Friday, March 9, 2018

කටුනායක සිට පැය එකහමාරක්...

පසුගිය කාලයේ තොරතුරු තාක්ෂණයේ හා සන්නිවේදන තාක්ෂණයේ සිදුවී ඇති වේගවත් දියුණුව නිසා ලෝකය බොහෝ සේ කුඩා වී ඇති බව නිතර කියැවෙන දෙයකි. මේ දියුණුවේ උදවුවෙන් ලෝක ගෝලයේ ලංකාවෙන් හරියටම අනිත් පැත්තේ සිටින මා වැනි අයෙකුට ලංකාවේ හිත මිතුරන් සමඟ මෙන්ම සමාජය සමඟද නිරන්තරව සම්බන්ධව සිටීම ඉතා පහසු කටයුත්තක් වී තිබේ. බොහෝ කරුණු හා අදාළව කොළඹින් බැහැරව ජීවත් වන මගේ මුල් පවුලේ සාමාජිකයින්ට මා සිටින්නේ කොළඹද නැත්නම් ඇමරිකාවේද යන්න එතරම් ලොකුවට බල නොපායි.

ඇමරිකාවේ හෝ වෙනත් රටක සිට ගිණිකූරක් ගසා ලංකාවේ පිදුරු ගොඩක් දැල්විය හැකි තරමට තොරතුරු තාක්ෂනය දියුණුව ඇතත්, පසුගිය දශක කිහිපය තුළ ප්‍රවාහන තාක්ෂණයේ ඇති වී තිබෙන දියුණුව ඒ තරමටම වේගවත් නැති නිසා ලංකාව හා ඇමරිකාව අතර භෞතික දුර ඇඟටම දැනෙන වෙලාවල්ද තිබේ.

ඇමරිකාවේ මගේ නිවසේ සිට ලංකාවේ මගේ නිවසට යන එක එපාවන තරමටම වෙහෙසකර කටයුත්තකි. බොහෝ විට මේ ගමනට පැය තිස්පහකට හෝ හතළිහකට ආසන්න වෙලාවක් ගත වේ. හදිසි අවස්ථාවකදී මේ සීමාකාරී සාධකය විසින් නැවත මතක් කර දෙන්නේ ලෝකය තවමත් එතරම්ම කුඩා නැති බවයි. ගුවන් යානයකින් තවත් එකකට මාරු වීමට ඇති කාලය හැකි අවමය දක්වා අඩු කර ගත්තද ඉහත ගමනට පැය තිහක්වත් ගත වේ. මේ කාලය මීට වඩා අඩු කර ගත හැක්කේ නිවුයෝර්ක්, වොෂින්ටන් ඩීසී වැනි ප්‍රධාන නගරයක් ආසන්නයේ ජීවත් වන අයෙකුට පමණි.

අවම වශයෙන් ගුවන් යානා තුනකට මාරු වෙමින් දිනක් හෝ දෙකක් නිදිවරා කටුනායකට ගොඩ බැසීමෙන් පසු ඇවැසි වන්නේ හැකි ඉක්මණින් ගමනාන්තයට ලඟා වන්නටය. ගමනේ මේ අවසන් අදියර වෙනුවෙන් මා බොහෝ විට තෝරාගන්නේ ගුවන් තොටුපොළ කුලීරථ සේවාවයි. මේ සේවා සැපයුම්කරුවන් අප වෙනුවෙන් දින දෙකක් හෝ තුනක් රස්තියාදු වන නිසා, අපේ රස්තියාදුව අඩු කරගැනීමේ වටිනාකම ඔවුන්ට ගෙවා රස්තියාදු කාලයෙන් යම් කොටසක් අඩු කර ගන්නට පුළුවන.

මගේ පියාගේ පියා මිය ගිය වසරට ආසන්න කාලයකදී මගේ මවගේ සොහොයුරෙකු විසින් වරක් පැවසූ පරිදි ඒ කාලයේදී රුසියාවේ සිට පැය අටකින් කටුනායකට එන්නට හැකි වුවත්, කටුනායක සිට ඌව පළාතේ පිහිටි ඔහුගේ නිවසට යන්නට ඊට වඩා වැඩි කාලයක් ගත වී තිබේ. හැත්තෑ හතෙන් පසු වසරක් වුවත්, ඒ වන විටද ඌව පළාතේ ප්‍රත්‍යන්ත නගරයකට වඩා කොළඹ සෝවියට් දේශයට සමීපව තිබුණා වන්නට ඇත.

පසුගිය දශකයක හෝ ඊට තරමක් වැඩි කාලයේ ලංකාවේ මාර්ග සංවර්ධනයේ සිදුවූ දියුණුව නිසා දැන් කටුනායක සිට ලංකාවේ පිහිටි අපේ මුල් නිවසට යන්නට පැය එකහමාරක් ප්‍රමාණවත්ය. මේ ගමන සඳහා ලබාගන්නා ගුවන් තොටුපොළ කුලීරථ සේවා පැකේජයට අවසන් වරට ලංකාවට පැමිණීමෙන් පසු ලංකාවේ සිදුවී ඇති වෙනස්කම් ගැන මෙන්ම කාලීන සිදුවීම් ගැනද සිදුකෙරෙන යාවත්කාලීන කිරීම්ද ඇතුළත් වන අතර බොහෝ විට පුළුල් දේශපාලන විග්‍රහයකටද නොමිලේ සවන් දෙන්නට ඉඩ ලැබේ. මෙවැනි කුලී රථ රියැදුරන්ට වඩා හොඳ දේශපාලන විශ්ලේෂකයෝ ලංකාවේ සිටිත්නම් ඒ ත්‍රිරෝද රථ රියදුරන් අතර පමණක් විය හැකිය.

කෙසේවුවත්, මෙවර පැකේජයට අයත් වූ දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ වූයේ දේශපාලන විග්‍රහයකින් නොවේ.

"මහත්තය ඔය xxx පැත්තෙත් හරියට මුස්ලිම් අය ඉන්නව නේද?"

"හ්ම්!"

සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථා වල හූමිටි තබනු හැර වැඩි කතා වලට යාම මගේ පුරුද්ද නොවේ. ඇසෙන දේ මගේ අදහස් සමඟ නොගැලපුනත් වාද කරන්නට යනවාට වඩා නිහඬව සිටීම තෝරාගන්නේ එවැනි වාද කිරීමකින් අවසාන වශයෙන් ලැබෙන දෙයක් නැති බැවිනි.

ගුවන් තොටුපොළ කුලී රථ රියදුරෙකු බොහෝවිට මේ ආකාරයේ කතාවක් අරඹන්නේ තමන්ගේ දේශපාලනික හෝ වෙනත් අදහස් නිසාම නොවේ. සිය පාරිභෝගිකයා සතුටු කර සන්තෝෂමක් ලබාගැනීමේ අරමුණෙනි. ඒ වෙනුවෙන් එවැන්නෙකු විසින් බොහෝ විට පළ කරන්නේ සිය පාරිභෝගිකයා අසන්නට සතුටු වනු ඇතැයි ඔහු සිතන අදහසකි.

ලංකාවේදී මේ ආකාරයේ සේවා සපයන්නෙකුට අත දිගහැර සන්තෝෂම් මුදලක් දීමට මා බොහෝ විට පැකිලෙන්නේ නැත. එයට එක් හේතුවක් වන්නේ සේවා සපයන්නන්ට අවම වශයෙන් 15%ක සන්තෝෂමක් දීමට ඇමරිකාවේදී පුරුදුව සිටීමයි. දෙවන හේතුව දේශපාලනිකය. ලංකාවේ ශ්‍රම බලකාය තුළ සිටින්නන් අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයේ දැතිරෝදයක් නොවී කිසියම් ස්වයං රැකියාවක් කිරීම සුළුවෙන් හෝ දිරිමත් කරන්නට මා කැමතිය.

කෙසේවුවත්, ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නෝ යනු ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයෙන් වියුක්ත වූ කොටසක් නොවෙති. මේ සේවාව සැපයීමේ අවස්ථාව ලැබෙන්නේම විෂය භාර ඇමතිවරයාගේ නිර්දේශයෙනි. ඒ නිසා, බොහෝ විට ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නන් අතර පවතින ආණ්ඩුවට පක්ෂපාතී වූවන් වැඩිපුර දකින්නට පුළුවන.

ඉහත කී රියදුරාද බොහෝ විට එජාප පාක්ෂිකයෙකු වන්නට ඉඩ තිබේ. පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන්ද පෙන්නුම් කළ පරිදි, පවතින ආණ්ඩුවට පක්ෂව අදහස් පළ කිරීම මේ වෙලාවේදී සිය පාරිභෝගිකයින් සතුටු කළ හැකි දෙයක් නොවන බව ඔහු නිගමනය කළා විය හැකිය. අනෙක් අතට, තමන්ගේ බඩ රස්සාව ලබාගන්නට උදවු කළ ආණ්ඩුවට විරුද්ධව කතා කරන්නටද ඔහුට හිත නුදුන්නා වන්නට ඇත. දේශපාලනය වෙනුවට පාරිභෝගිකයින් සතුටු කළ හැකි වෙනත් මාතෘකාවක් තෝරා ගන්නට ඔහු පෙළඹෙන්නට ඇත්තේ එබැවිනි.

"මුස්ලිම් අය ටවුමකට එනවා කියන්නෙ ඉතිං පුදුම වදයක් තමයි. නැද්ද මහත්තයා? පොඩ්ඩක් ඉඩ දුන්නොත් නවතින්නෙ මුළු ටවුමම අල්ලලා..."

එනපොට දැන් පැහැදිලිය. නිහඬව නොසිට, ඔලුව දමන්නට පෙරම මුට්ටියට පොලු පහරක් ගහන්නට මට හිතුණේය.

"අපිටනම් එහෙම විශේෂ කරදරයක් නැහැ. අනිත් එක ඔය xxx ටවුමට මුස්ලිම් අය අද ඊයේ ආව නෙමෙයි. අපි පොඩි කාලෙ ඔය ටවුමෙ වැඩිපුර තිබුණෙ දෙමළ මුස්ලිම් කඩ. සිංහල කඩ තිබුණේ කීපයයි. ඒත් හැත්තෑ ගණන් වල ඉඳන් අවුරුදු දෙකෙන් දෙකට වගේ සිදුවුණු ජාතිවාදී කෝලාහල නිසා දෙමළ කඩ එකින් එක අඩු වෙලා ගියා. ගොඩක් දෙමළ කඩ පිච්චුවේ අසූ තුනටත් කලින්. සමහර ඒවා මිනිස්සුත් ඇතුළෙ ඉඳිද්දී..."

"දෙමළ කඩ වැහුනට පස්සේ ටවුමේ වැඩිපුරම තිබුණේ මුස්ලිම් කඩ. පහුගිය කාලෙ වුණේ ඔය මුස්ලිම් විරෝධය පිට දාල සිංහල මුදලාලිලා දෙන්නෙක් ටවුමෙ කඩ ටික අල්ලගන්න එකයි. දැන්නම් ටවුමම වගෙ අයිති ඒ දෙමස්සිනාලටයි..."

"මුස්ලිම් අය අතරේ අන්තවාදී සුළු පිරිසක් ඉන්නවා. ඒ හැර, හැම මුස්ලිම් මිනිහම නරක නැහැ."

මගේ සංවාද පාර්ශ්වකරුවාට ඔලුව දමාගන්නට නැවතත් ඉඩක් පෑදුණේය.

"ඒක තමයි, අන්තවාදී පිරිසක් ඉන්නවා. ඒ අය තමයි මේවා කරන්නේ..."

"දැන් බලන්නකෝ අම්පාරේ හෝටලේක සිංහල අයට දිගටම වඳ පෙති දීල අහුවෙලානේ. දැන් අපිනම් ඉඳහිට දෙමළ මුස්ලිම් මිනිහෙක්ට මොනව හරි කළත් එහෙම ජාතියක්ම නැති කරන්න හදන්නෙ නෑනේ. බලන්ඩකො කොයි තරම් නරකද කියල. සිංහල වුනා කියල එහෙම කරන එක කොයි තරම් නරකද?"

"ඕකනම් හැබැයි බොරු කතාවක්. එහෙම කෑම වලට පෙත්තක් කලවම් කරල මිනිහෙක්ව වඳ කරන්න බැහැ. මිනිස්සු ගොඩක් අය ඔය වගෙ කතාවක් ඇහුවම ඕනෑවට වඩා කලබල වෙනවනෙ..."

ටික වෙලාවක් යන තුරු පැවතුණේ නිහඬතාවයක් පමණි. වේයන්ගොඩ හා නිට්ටඹුව නගර පසු විය. තවත් සෑහෙන දුරක් යා යුතුය. රියදුරාට නිදිමත හැදීමේ අවදානමද ඇති නිසා මේ නිහඬතාවය එතරම් හොඳ නැත.

"කොහෙද පදිංචිය කටුනායක කිට්ටුවමද?"

රියදුරා නැවතත් දොඩමළු විය. ඔහුගේ පදිංචිය ගැන පමණක් නොව දරුවන් ගැනද මට දැනගන්නට ලැබුණේය.

"මොන ඉස්කෝලෙටද යන්නෙ?"

"xxx එකට. අපි ආගමේනෙ මහත්තය. ඒ නිසා පල්ලියෙ ඉස්කෝලෙට යවනව."

අවසාන වශයෙන් මේ රියදුරාද එක්තරා ආකාරයක සුළුතරයකට අයත් වූවෙකි. එක් සුළුතරයකට එරෙහිව ඇතිවන විරෝධයක් ඉතා පහසුවෙන් වෙනත් සුළුතරයකට එරෙහිවද ක්‍රියාත්මක විය හැකි බව ඔහු නොදන්නවාදැයි මා දන්නේ නැත. අඩු වශයෙන් ඔහුගේ මුස්ලිම් විරෝධය සැබෑ විරෝධයක්ද එසේ නැත්නම් සිය පාරිභෝගිකයින් සතුටු කරන්නට කරන දෙයක්ද යන්නවත් මට නිශ්චිතව පැවසිය නොහැකිය. එය දෙවැන්න වුවත් ඔහු එසේ කළේ ඔහුගේ පාරිභෝගිකයින් අතර මුස්ලිම් විරෝධයට ඉහළ ඉල්ලුමක් තිබුණු බැවිනි.

ජාතිවාදයට ඉල්ලුමක් පවතින පසුබිමක සැපයුම පාලනය කිරීම පහසු කටයුත්තක් නොවේ. ඉහත කී ආකාරයේ කුලී රථ රියදුරන් හා ත්‍රිරෝද රථ රියදුරන් වැනි අයට ඇතැම් විට සමාජ ජාලා වලටත් වඩා කාර්යක්ෂමව අදහස් සම්ප්‍රේෂණය කළ හැකිය.

මේ පැය එකහමාරේ ගමන තුළ මට තේරුම් ගියේ එක ගිණිකූරකින් ලංකාවේ සමාජය මුළුමනින්ම දවා අළු කළ හැකි වියලි පිදුරු ගොඩක් රට ඇතුළේ කාලයක් තිස්සේ එකතු වී ඇති බවයි. දින දෙකක් ලංකාවේ ගත කර, රටින් පිටවී ඇමරිකාවට ගොඩ බසිද්දී දැන ගන්නට ලැබුණේ ඒ පිදුරු ගොඩට කොහෙන් හෝ ගිණි පුලිඟුවක් වැටී ඇති බවයි.

ජාතිවාදය පැත්තකින් තිබ්බත් සියළු රටවැසියන්ගේ ජීවිත හා දේපොළ අයිතිය සුරැකීම රජයක මූලික කාර්යයකි. රටේ ආර්ථික හා සමාජ ජීවිතයේ සෑම අහුමුල්ලකටම අත පොවන, රටේ තරමට සාපේක්ෂව විශාල ආරක්ෂක බලඇණියක් නඩත්තු කරන දැවැන්ත රජයකට එහි වගකීමෙන් කෙසේවත් ගැලවෙන්නට නුපුළුවන. වියලි පිදුරු කන්දක් ගොඩ ගැසී ඇති තැනක වරින් වර ගිණි දළු මතු වීම නොවැලැක්විය හැකි වුවත් එවැනි ගිණි දළු හාත්පස පැතිරී මුළු මහත් සමාජයම දවා අළු කරන්නට පෙර වහා නිවා දැමීමට රජය අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුය.

11 comments:

  1. "සියළු රටවැසියන්ගේ ජීවිත හා දේපොළ අයිතිය සුරැකීම රජයක මූලික කාර්යයකි. රටේ ආර්ථික හා සමාජ ජීවිතයේ සෑම අහුමුල්ලකටම අත පොවන, රටේ තරමට සාපේක්ෂව විශාල ආරක්ෂක බලඇණියක් නඩත්තු කරන දැවැන්ත රජයකට එහි වගකීමෙන් කෙසේවත් ගැලවෙන්නට නුපුළුවන."

    නමුත්, වතුර බාල්දිය අතේ තබාගෙන ගිණි කූර ගසා ගින්න අවුලා එය මහා ගිණි ජාලාවක් වන තෙක් බලා සිට බාල්දිය මද්දුම බණ්ඩාරට දී යා නම් ඒ පුද්ගලයාට මේ ගිණි ගොඩේ ගිණි තැපිමේ සැබෑ උවමනාවක් තිබුණා විය හැකියි නේද ?

    ReplyDelete
  2. //කුලී රථ රියදුරන් හා ත්‍රිරෝද රථ රියදුරන් වැනි අයට ඇතැම් විට සමාජ ජාලා වලටත් වඩා කාර්යක්ෂමව අදහස් සම්ප්‍රේෂණය කළ හැකිය
    ඉකෝ,අහල ඇති නේද ලී ක්වාන් යු ඔය වැඩේ කරා.රටට එන රජ තාන්ත්‍රිකයන්ගේ රියදුරන් විදියට උගත් මිනිස්සුව හොඳ වැටුපකට කුලියට යොදවල.

    ReplyDelete
  3. ඔබ කියන ලෙසම මේ තත්වය මෙච්චර දරුණු වෙන්න ඉස්සෙල්ල නවත්තගන්න තිබ්බ.

    ReplyDelete
  4. අව්ලක් අපේ බදු වලින්ම වන්දි දෙනව.
    අනේ අපේ හරක් මහත්තුරු

    ReplyDelete
  5. ආර්ථික සාධක ඔස්සේ බලනවානම් ඔයවගේ ගැටළුවල‍ට හොඳම විසඳුම ජාතිකවාදය.
    එනම් රාජ්‍ය තුල නිදහස් වෙළඳපොලක් ඇතිකිරීම සහ විදේශ වෙළඳාමෙදී දේශීය ව්‍යාපාරිකයා රැකීම.
    ඒ සමඟම ද්විත්ව පුරවැසිකම තහනම් කිරීම සහ යම් ජනකොටස් ඉලක්ක කරගෙන විදේශ මුදල් ලැබීමත් පාලනය කල යුතුයි.
    විදේශවල දේශපාලන රැකවරන ලත් අය විසින් ලංකාවේ නෑයන්ට මුදල් යැවීමත් පාලනය කල යුතුයි.

    උදාහරණයක් දක්වනවනම්
    ලංකාවේ මුස්ලිම් මුදලාලි කෙනෙක් තමන් දුක් මහන්සියෙන් උපයන මුදල් වලින් කොටසක් යොදවා දුප්පත් මුස්ලිම් මිනිස්සුන්ට ගෙවල් හදලා දෙනවානම් ඒ තරම් ගැටළුවක්නෑ.
    මන්ද මුස්ලිම් වරු ආගමට වගේම සල්ලි වලටත් ආදරෙයි. එතකොට ඉබේම පාලනයක් වෙනවා.

    නමුත් අරාබි රජපවුලක ආධාර අරන් ලංකාවේ මුස්ලිම් ගම්මාන හදනවා නම් එතන ගැටළුවක් ඇතිවෙනවා

    ReplyDelete
  6. පුර වැසියන්ගේ ජීවිත හා දේපල අයිතිය සුරැකීම රජයක වගකීමයි
    එකඟයි.
    මේ ප්‍රශ්නය පැන නගින්නේ මුස්ලිම් මිනිසුන් දිගින් දිගටම සිංහලයින් තුල අවිශ්වාසය වැපෙරෙන ආකාරයෙන් හැසිරීම පාදක කරගෙනයි. එදා තිබුනු ඉබේ හටගත් සහජීවනය බ් ඉඳ වැටෙන්නේ අන්න එතැනිනුයි. ඉන්පසු බොහෝ දෙනා මේ බොර දියේ මාලු බාමින් පෞද්ගලික හා කෙටි කාලීන අරමුනු ඉටු කරගනිමින් තත්වය තවත් ව්‍යාකූල කරති.

    රජය එදා 83දී ජේ ආර් කලාක් මෙන්ම, ඇතිවූ තත්වයේ උපරිම වාසිය දේශපාලනිකව ලබා ගනිමින් ප්‍රශ්න ඔඩු දුවන්නට ඉඩ දෙමින් හැසිරෙති.
    එදා 83 දී ද, තත්වයට වගකිව යුතු කැබිනට් ඇමති වරුන් කවුදැයි රටම දැන සිටියේය. එහෙත් රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ජවිපෙ තහනම් කලේය. හැම දෙයට ජවිපෙ වැඩක් නියන කට කතාවක් පවා සැදුනි.
    "ජනාධිපති ආර්‍යාව බඩින් (ජවිපෙ වැඩක්)" කියා කොල්ලෝ තාප්ප වල ලිවූහ.
    සිදුවීමේ ප්‍රථිපල ජාතියක් ලෙස අපි 30අවුරුද්දක් වින්දෙමු.

    දැන් නැවතත් එවැනි තත්වයක් මතුකර ගනිමින් සැරසෙන්නේ කුමකටද?
    ජේ ආර් ගේ අඩි පාරේම යාමටද?

    ReplyDelete
  7. ඔබ කියන්නාක් මෙන්ම ජාතිවාදයට සමාජයේ විශාල ඉල්ලුමක් තිබේ - සාමාන්‍ය කතාබහකදී වුවද උගත් කමක් සහිත මධ්‍යම පාන්තික සමාජයේ පවා මෙය පැහැදිලිවම දක්නට ලැබේ- මෙවැනි අවස්ථාවල එවැනි අදහස් නොදරන්නන් බලවත් අපහසුතාවට පත්වන බව අත්දැකීමෙන් දනිමි- මගේ මිතුරෙක් මෑතකදී ඇමරිකාවේ මිලේනියල් ලෙස හැඳින්වෙන වයස් සී‍මාවේ පසුවන්නන් ගැන එවූ ලිපියකට අනුව ඔවුන් වඩාත් දේශපාලනිකව හා සමාජයීවය ලිබරල් අදහස් දරන්නන් බව දක්නට ලැබිණි http://www.people-press.org/2018/03/01/the-generation-gap-in-american-politics/
    එසේ වුවද ලංකාවේ මේ තත්ත්වය හාත්පසින් වෙනස් බව මෑතකදී සිදූවූ කලබලවලදී නායකත්වය දුන් හා වර්ගවාදී අදහස් පැතිරවීමට දායක වූ අය ළාබල වයසේ පසුවන්නන් වීමෙන් පෙනී යයි. මුහුණු ‍පොතේද මේ ප්‍රවණතාව නිරීක්ෂණය කළ හැකිය

    ReplyDelete
  8. පසුගිය සතිය ඇතුළත මා නිරීක්‍ෂණය කළ කාරණයක් නම් සිංහල ජාතිවාදය පතුරන්නන්, එයට සහයෝගය දෙන්නන් සහ ජාතිවාදයට විරුද්ධව කතා කරන අයට අවලාද නගන්නන්ගෙන් අතිමහත් වූ බහුතරය අමුම අමු මහින්ද රාජපක්‍ෂවාදීන් බවයි!

    එසේ නොවන අයෙකු ගැන දන්නවා ද?

    ReplyDelete
    Replies
    1. මෙය සැබෑ නිගමනයක් වුවත් ජාතිවාදයට විරුද්ධ වුවන් අතරත් මහින්දවාදීන් දැකිය හැකි බව මගේ නිරීක්ෂණයක් - හැබැයි ඔවුන් ජාතිවාදයට එරෙහි වන්නේ එමඟින් සිංහලයන්ට අවාසි විය හැකි යන පදනමින්

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget