Friday, March 23, 2018

සිංහල අනන්‍යතාවය (පළමු කොටස)


ලංකාවේ ජීවත් වන මිලියන පහළොවකට අධික පිරිසක් සිංහල අනන්‍යතාවයක් ඇති අයයි. මේ වන විට ලොව පුරා විසිරී සිටින මිලියන තුනක් පමණ වන ශ්‍රී ලාංකික ඩයස්පෝරිකයන් අතර සිංහල අනන්‍යතාවයක් ඇති අය අඩු වශයෙන් තවත් මිලියනයක්වත් සිටිය යුතුය.

සිංහල අනන්‍යතාවය ප්‍රධාන වශයෙන්ම සිංහල භාෂාව හා සම්බන්ධ වූවකි. එහෙත්, එයින් අදහස් වන්නේ සිංහල අනන්‍යතාවය ඇති සියල්ලන්ටම සිංහල භාෂාව කතා කළ හැකි බව නොවේ. පසුගිය වරෙක ලංකාවට පැමිණි විටෙක රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා මිතුරෙකුගේ ඇරයුම් ලැබ දරුවන්ද සමඟ එහි යාමෙන් පසු මගේ දරුවන්ට හමු වූයේ කුඩා කළ සිට ඉංග්‍රීසි කතාව හුරු කරනු ලැබ තිබුණු, ජාත්‍යන්තර පාසැලක ඉගෙන ගන්නා දැඩි ආයාසයක් නොදරා සිංහල කතා කළ නොහැකි දරුවන් දෙදෙනෙකි. මගේ මිතුරා දැඩි ජාතිකවාදියෙකුද වීම විශේෂත්වයකි. (මෙය මගේ මිතුරාගේ කැමැත්තයි. මා එහි වරදක් දකින්නේ නැත.) නිල ලේඛණ වල මේ දරුවන්ගේ අනන්‍යතාවය සටහන් වනු ඇත්තේ සිංහල වශයෙනි.

හොඳින් සිංහල කතා කළ හැකි සියල්ලෝම සිංහල අනන්‍යතාවයක් දරන්නෝද නොවෙති. විශේෂයෙන්ම පළමු හෝ දෙවන බසක් ලෙස සිංහල මැනැවින් වැහැරිය හැකි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙමළුන් හා මුස්ලිමුන් ලංකාවේ මෙන්ම ලංකාවෙන් පිටතද ඕනෑ තරම් සිටිති. එමෙන්ම, රුසියන් විදේශ ඇමති සර්ජේයි ලැව්රොව් වැනි සිංහල තබා ශ්‍රී ලාංකික සම්භවයක් හෝ නැති, එහෙත් සිංහල කතා කළ හැකි අයද සිටිති.

සිංහල අනන්‍යතාවය ප්‍රධාන වශයෙන්ම සිංහල භාෂාව හා සම්බන්ධ වූවක්ය යන්න ඉහත හේතු නිසා බැහැර නොවේ. මෙයින් වෙනස්ව ලොව පුරා විසිරී සිටි යුදෙව් ඩයස්පෝරිකයින් සහශ්‍ර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ අනන්‍යතාවය පවත්වා ගත්තේ ආගමික විශ්වාස හරහා මිස එකම භාෂාවක් කතා කිරීම මඟින් නොවේ. ප්‍රධාන වශයෙන්ම කතා කරන භාෂාව මත පදනම් වූ අනන්‍යතාවයකට එම බස වැහැරීමට ලොකු ඉඩක් නොලැබෙන බිමක වැඩි කල් පැවැතිය නොහැකිය. ඒ නිසා, සාමාන්‍යයෙන් ලංකාවෙන් බැහැර සිටින සංක්‍රමණික සිංහලයන්ගේ සිංහල අනන්‍යතාවය පරම්පරා දෙක තුනකින් ඔබ්බට සම්ප්‍රේෂනය වන්නේ නැත. සිංහල වැහැරිය නොහැකි බොහෝ සංක්‍රමණික සිංහලයින්ගේ දරුවන්ට තිබෙන්නේ ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් උරුම වූ නාමික සිංහල අනන්‍යතාවයක් පමණි.

ඉන්දු-ආර්ය භාෂාවක් සේ සැලකෙන සිංහල භාෂාවේ මූලය බුද්ධ කාලයේ සිට අශෝක කාලය පමණ දක්වා නැගෙනහිර ඉන්දියාවේ කතා කර ඇති ප්‍රාකෘත විශේෂයයි. මේ කාලය තුළ වත්මන් නැගෙනහිර ඉන්දියාවේ සිට වරින් වර ලංකාවට සංක්‍රමණය වූ නාවික කණ්ඩායම් (නාගයින්) විසින් ලංකාවේ වෙරළ තීරයේ ජනාවාස පිහිටුවා ගැනීමෙන් පසුව දිගටම තමන්ගේ මුල් භාෂාවම කතා කරන්නට ඇත. මේ සංක්‍රමණික නාගයින් විසින් මුල් කාලයේදී ස්වදේශිකයින් සමඟ වැඩිපුර සංස්කෘතික සම්බන්ධතා පවත්වාගත් බවක් නොපෙනෙන නමුත් තමන්ගේ මුල් රට සමඟ වූ සංස්කෘතික සම්බන්ධතා දිගටම පවත්වාගෙන තිබේ.

මහා වංශයෙහි සියවස් විසිපහක ලංකාවේ ඉතිහාසය අඛණ්ඩව ලියැවී නැත. එසේ සිදු වී ඇත්තේ අවසන් සියවස් පහළොවක පමණ කාලය තුළදී පමණි. මුල් සියවස් දහය හා අදාළව ලියැවී තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ හතරවන හෝ පස්වන සියවසෙහිදී මහා වංශ කතු වරයාට පරිශීලනය කළ හැකි වූ ලිඛිත හෝ අලිඛිත මූලාශ්‍ර වල වූ කරුණු ඔහු විසින් අර්ථකථනය කරගත් ගත් ආකාරය පමණි. ඒ නිසා, මහා වංශයෙහි ලියැවී ඇති දේ කියවා අපට නිගමනය කළ හැක්කේ එය ලියැවෙන කාලය වන විට ලංකාවේ සිංහල අනන්‍යතාවයක් වූ බව පමණි. (ඊට පෙර එවැන්නක් නොවූ බව එයින් අදහස් වන්නේ නැත.)

මහා වංශය ලියා ඇත්තේ සියවස් පහළොවකට පමණ පෙර වුවත් එයට පාදක කරගත් ඉතිහාස තොරතුරු තවත් සියවස් අටක පමණ කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වී තිබේ. එසේ කර ඇත්තේද එම ඉතිහාසය තත්කාලීනව සියැසින් දුටු අයයි. එහෙත් මේ වාර්තාකරුවන් විසින් මහින්දාගමනයට පෙර ලංකාවේ ඉතිහාසය එසේ සියැසින් දැක නැත. ඒ ඔවුන් නැගෙනහිර ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වී ඇත්තේ අශෝක කාලයේදී බැවිනි. බුද්ධ කාලයේ සිට අශෝක කාලය දක්වා මහා වංශ තොරතුරු වල වාර්තා කරුවන් විසින් ඇසින් දුටු මගධයේ ඉතිහාසය ලියැවී ඇතත් ලංකාව හා අදාළව ඇත්තේ ඇසින් නොදුටු, වෙනත් අයගෙන් අසා දැනගෙන වාර්තා කළ දෑය. මේ 'වෙනත් අය' යනු ලංකාවට සියවස් කිහිපයකට පෙර සංක්‍රමණය වූ නාගයින් නිසා මහා වංශයේ මුල් සියවස් තුනෙහි විස්තර කෙරෙන්නේ ලංකාවට සංක්‍රමණය වූ තැන් සිට නාගයින්ගේ ඉතිහාසයයි. වඩා පැරණි යක්ෂ ඉතිහාසය පිළිබඳ තොරතුරු එහි නැත.

සම්බුද්ධ පරිනිර්වාණයේ පටන් මගධයේ බෞද්ධ ශාසනයේ හා රාජ්‍යයේ ඉතිහාසයද රැගෙන දෙවනපෑතිස් සමයේ ලංකාවට පැමිණෙන බෞද්ධ භික්ෂූන්ට තමන් දන්නා මගධ ඉතිහාසය සමඟ තමන් නොදන්නා ලංකාවේ ඉතිහාසය පාහන්නට සිදු වේ. ඔවුන් මේ කාර්යය පටන් ගන්නේ ඔවුන්ට වඩාත්ම වැදගත් ලාංකිකයා වන දෙවනපෑතිස්ගෙන් පටන් ගෙන ආපස්සට යාමෙනි. දෙවනපෑතිස් යනු පණ්ඩුකාභයගේ මුණුපුරාය. පණ්ඩුකාභය පණ්ඩුවාසදේවගේ මුණුපුරාය. පණ්ඩුවාසදේව යනු උපතිස්ස නුවර රාජ්‍යය භාර ගැනීම සඳහා නැගෙනහිර ඉන්දියාවෙන් ආනයනය කෙරෙන රජෙක් මිස ලංකාවේ උපන් අයෙක් නොවේ.

පණ්ඩුවාසදේවට ලංකාවට සංක්‍රමණය වීම සඳහා පෙරමඟ තනන්නේ ඔහුට පෙර ලංකාවට සංක්‍රමණය වූ ඔහුගේ පියාගේ වැඩිමල් සොහොයුරා වූ විජය විසිනි. විජය යනු ලංකාවට සංක්‍රමණය වූ දේවානම්තිස්සගේ පරම්පරාවේ පළමුවැන්නාය. සැබෑ ඓතිහාසික චරිතයක්දැයි විමසන්නට අප නොවෙහෙසෙන විජයගෙන් පටන් ගන්නේ ලංකාව තුළ දේවානම්තිස්සගේ පරම්පරාවේ ඉතිහාසයයි. මේ ඉතිහාස කතාවේ මුල්ම කොටස ඉතිහාසයේ හරියටම සිදුවූ දෙය නොවන්නට පුළුවන.

විජයගේ තම්බපන්නි රාජ්‍යය මෙන්ම පඬුවස්දෙව්ගේ උපතිස්සනුවර රාජ්‍යයද එවක ලංකාවේ තිබුණු එවැනි සංක්‍රමණිකයන්ගේ කොළණි ගණනාවකින් දෙකක් පමණක් මිස පුළුල් භූගෝලීය ආවරණයක් තිබුණු ප්‍රබල රාජ්‍ය ලෙස සැලකිය නොහැකිය. මෙවැනි කොළණි ගණනාවක් අතරින් තම්බපන්නිය සුවිශේෂී වීමට එකම හේතුව වන්නේ පසුකාලීනව අනුරාධපුරය කේන්ද්‍ර කරගත් ප්‍රබල රාජ්‍යයක් බිහිකළ පරම්පරාවන් පැවතෙන්නේ මුලින්ම තම්බපන්නියෙහි ජනපදයක් බිහිකරගත් සංක්‍රමනික කණ්ඩායමකින් වීම නිසා පමණි.

පඬුවස්දෙව්ට පරිබ්‍රාජක වෙස් ගෙන පැමිණෙන්නට සිදුවන්නේත්, ඔහුගේ මෙහෙසිය වන්නට පසුව ආනයනය කෙරෙන භද්‍රකත්‍යානා කුමරිය ඇතුළු පිරිසට පැවිදි වෙස් ගෙන පැමිණෙන්නට සිදුවන්නේත් තමන්ගේ ආරාධිත "රාජ්‍යතාන්ත්‍රිකයනට" නැව්තොටෙහි සිට රට මැද පිහිටි උපතිස්සනුවරට පැමිණෙන තුරු ආරක්ෂාව හා පහසුකම් සපයන්නට තරම් ශක්තියක් මේ සංක්‍රමණික ජානපදිකයින්ට තිබී නැති බැවිනි. එමෙන්ම, පැවිදි වෙස් ගත්තෙකුට ආරක්ෂාව හා පහසුකම් ලැබෙන සංස්කෘතික වටපිටාවක් එවකටද ලංකාවේ තිබී ඇති බැවිනි.

නැගෙනහිර ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වී ජනපදයක් පිහිටුවාගත් දෙවනපෑතිස් පරම්පරාවේ පළමුවැන්නා විජය විය හැකි වුවත් ඔහු අයත් වන්නේ එසේ පැමිණ ජනපද පිහිටුවාගත් පළමු කණ්ඩායමට නොවේ. ඊට පෙරද රටේ වෙරළ තීරයේ තැනින් තැන මෙවැනි ජනපද ගණනාවක් පිහිටුවා තිබී ඇති බවට වංශ කතා වල ඇති සීමිත තොරතුරු වුවද සාක්ෂි දරයි. බුදුන්ගේ ලංකා ගමන් හා සම්බන්ධ කෙරෙමින් විස්තර වන නාගයින්ගේ රාජ්‍ය යනු මුලින්ම වෙළඳාම් පිණිස පැමිණ පසුව ලංකාවේ ස්ථිර ජනාවාස හදාගත් සංක්‍රමණිකයින්ගේ කොළණි විය යුතුය. ලංකාවේ මෙසේ ස්ථිර ජනාවාස හදාගෙන සිටි විවිධ නාග කණ්ඩායම් මුල් කාලයේදී ඔවුනොවුන් අතර හා ඉන්දියාවේ වෙරළ තීරය දිගේ ජීවත් වූ මෙවැනිම නාග කණ්ඩායම් සමඟ ඉහළ මට්ටමකින් සංස්කෘතික හා වෙළඳ සම්බන්ධතා පවත්වා ඇතත් රට ඇතුළේ සිටි යක්ෂයින් සමඟ වැඩි පයුරුපාසනමක් තිබී ඇති බවක් නොපෙනේ.

(මතු සම්බන්ධයි)

28 comments:

  1. හොඳට හිතන්න පුළුවන් කෙනෙක් කියලා ලිපි කියෙවුවම හිතෙනවා.
    මේ ඓතිහාසික කරුණු "ඉන්දියාව" කියන වචනයත් එක්ක විශ්වාසයෙන්ම ගැට ගහන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. මොකද මෙහි සඳහන් කළ හෝ නොකළ ඓතිහාසික මූලාශ්‍රවල "ඉන්දියාව" කියන වචනයවත් අද ඒ නමින් හඳුන්වන භූමි ප්‍රදේශයේ විස්තරයක්වත් ඇති කියලා මං හිතන්නේ නැහැ. ඉන්දියාව කියන වචනය ඉංග්‍රීසි ජාතිකයන් හදපු නමක් බව තමයි මා අසා ඇත්තේ ඔබතුමාත් එය වඩා හොඳින් දන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. මම මේ කරුණ මීට කලිනුත් පැහැදිලි කර තිබෙනවා, අකිල. මම තේරුම් ගැනීමේ පහසුව පිණිස ඉන්දියාව යන වචනය භාවිතා කරන්නේ ආසන්න අර්ථයකින්.

      //මොකද මෙහි සඳහන් කළ හෝ නොකළ ඓතිහාසික මූලාශ්‍රවල "ඉන්දියාව" කියන වචනයවත් අද ඒ නමින් හඳුන්වන භූමි ප්‍රදේශයේ විස්තරයක්වත් ඇති කියලා මං හිතන්නේ නැහැ.//
      ඔබ නිවැරදියි. නැගෙනහිර ඉන්දියාව කියා මම හඳුන්වන ප්‍රදේශයට ආසන්න වශයෙන් වත්මන් ඉන්දියාවේ නැගෙනහිර කොටස් මෙන්ම බංග්ලාදේශයත් අයත් වෙනවා.

      //ඉන්දියාව කියන වචනය ඉංග්‍රීසි ජාතිකයන් හදපු නමක් බව තමයි මා අසා ඇත්තේ ඔබතුමාත් එය වඩා හොඳින් දන්නවා ඇති.//
      මෙය නිවැරදි නැහැ. ඉන්දියාව යන වත්මන් රට හදන්නට මුල් වුණේ ඉංග්‍රීසින් වුවත් ඉන්දියාව ලෙස දැනට හැඳින්වෙන භූමි ප්‍රදේශය (පකිස්ථානය, බංග්ලා දේශය හා ඇෆ්ඝනිස්ථානයේ කොටස්ද ඇතුළත්ව) එසේ නම් කළේ ඉංග්‍රීසින් විසින් නෙමෙයි. අශෝක කාලයටත් බොහෝ පෙර සිට මේ විශාල භූමි ප්‍රදේශය හැඳින්වුණේ ඉන්දියාව ලෙසයි. උදාහරණයක් ලෙස අශෝකගේ සීයා වූ චන්ද්‍රගුප්ත මයුරගේ රාජ්‍යය තුළ තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ මෙග්ස්තීනස් විසින් මේ භූමි ප්‍රදේශය හා අදාළ පුළුල් විස්තරයක් සහිත (ලංකාව ගැනද පරිච්ඡේදයක් සහිතව) "ඉන්දිකා (Ἰνδική)" පොත ලියූ කාලය වන විටත් මේ නම භාවිතා වී තිබුණාක් මෙන්ම බාහිර ලෝකය මේ ප්‍රදේශය දැන සිටියේ ඉන්දියාව ලෙසයි. ඊට බොහෝ කලකට පසුව, එහෙත් ඉංග්‍රීසීන් ඉන්දියාවට පැමිණෙන්න පෙර, කොලම්බස් ඇමරිකාවට ගියේත් ඉන්දියාව හොයාගෙන බව ප්‍රකට කරුණක්.

      Delete
    2. සමාවෙන්න මා ඔබේ ලිපි සියල්ල කියවා නැහැ. මේ ලිපිය යම් ලිපි මාලාවක පළමුවැන්න බව සඳහන් කර ඇති නිසා එය එතරම් වැදගත් නොවේ කියා සිතුනා.

      මං අදහස් කළේ වත්මන් නැගෙනහිර ඉන්දියාව ප්‍රදේශයෙන් වත්මන් බංගලාදේශය මගහැරී තිබීම ගැන ගැටළුවක් නොවේ. බංගලාදේශයද ඇතුළුව ඔබ හඳුන්වන නැගෙනහිර ඉන්දියාව ගැන නාමයක් හෝ භූමි විස්තරයක් "සිංහල අනන්‍යතාවය" ගැන කියවෙන ඓතිහාසික මූලාශ්‍රයක මා දන්නා තරමින් සඳහන් නොවීම ගැනයි.

      මා කලින් සඳහන් කළේ වැරදි අදහසක් එය අසම්පූර්ණයි. ඔබ නිවැරදියි, චන්ද්‍රගුප්ත මෞර්යගේ කාලයේත් විශාල බිම් පෙදෙසක් ඉන්දියා නමින් හඳුන්වා තිබෙනවා. නමුත් එකල ඉන්දියාව ලෙස නම් නොවුණු දකුණු දිග බිම් කොටසද ඉංග්‍රීසින්ගේ ඇවෑමෙන් අද ඉන්දියාව ලෙස හැඳින්වෙනවා. ඇෆ්ගනිස්ථානයෙන්, පාකිස්තානයෙන් හා බංගලාදේශයෙන් නම් අද ඒ නම අයින්වෙලා. ඔබ සඳහන් කළ පරිදිම "බාහිර ලෝක‍ය" යම් බිම් පෙදෙසක් ඉන්දියාව ලෙස නම් කළත් එහි ජීවත්වූ අය එනමින් තම භූමිය හඳුන්වාගෙන නැහැ. අද උනත් ඔවුන් තමන්ගේ බිම මූලිකව හඳුන්වාගන්නේ භාරතය නමින්.

      කෙසේ වෙතත් ඉන්දියාවට කවදා මොන නමක් භාවිතා උනත් ඔබ මේ ලිපියේ සඳහන් කර ඇති "සිංහල අනන්‍යතාවය" ගැන කරුණු කියවෙන එකම ඓතිහාසික මූලාශ්‍රයකවත් ඒ කිසිදු නමක් ඇති බව මා සිතන්නේ නැහැ. මෙගස්තනීස්ගේ ඉන්දිකා පොතේ මේ ලිපියේ සඳහන් කරුණුවලට ආසන්නයෙන් හෝ ගැලපෙන යමක් නැතැයි කියා සිතනවා.

      Delete
    3. වත්මන් ඉන්දියාව හින්දි බසින් හා වෙනත් උතුරු ඉන්දීය භාෂා වලින් "භාරත්" ලෙස බොහෝ විට හඳුන්වන නමුත් හින්දි භාෂාවෙන් පවා දැනටත් "ඉන්දියා" යන වචනය සමාන්තරව භාවිතා වෙනවා. ඉන්දියානු ව්‍යවස්ථාවේ හින්දි පිටපතෙහි වුවත් මේ නම් දෙකම පර්යාය නම් ලෙස නිල වශයෙන් පිළිගැනෙනවා (भारत, अर्थात्‌ इंडिया, राज्यों का संघ होगा।). දකුණු ඉන්දීය භාෂා වල භාරත් යන නමට වඩා වැඩි වශයෙන් භාවිතා වෙන්නේ ඉන්දියා යන නම හෝ එයින් බිඳුණු නමක්. පැරණි සංස්කෘත මූලාශ්‍ර වල තිබෙන්නේ භාරත යන නමයි. දේවනාගරී අකුරින් भारत ලෙස එකම අයුරින් ලියන මේ වචනය වත්මන් හින්දි භාෂාවේත්, වෙනත් උතුරු ඉන්දීය භාෂා වලත් භාරත් ලෙස ශබ්ද වනවා. එතරම්ම මෙන් පැරණි ග්‍රීක මූලාශ්‍ර වල දැකිය හැක්කේ ඉන්දියා යන නමයි. භාරත හෝ ඉන්දියා වැනි වචනයකින් බොහෝ විට හැඳින්වී තිබෙන්නේ තනි රටක් නෙමෙයි. බ්‍රිතාන්‍ය ඉන්දියාවට ආසන්නව සමාන (පකිස්ථානය, බංගලි දේශය මෙන්ම වත්මන් දකුණු ඉන්දියානු බිම්ද ඇතුළත්) රාජ්‍ය ගණනාවකින් සමන්විත භූමි ප්‍රදේශයක්. ඒ තුළ පැවති රාජ්‍යයන්ගේ සීමාවන් කලින් කලට වෙනස් වී තිබෙනවා. දකුණු ඉන්දියානු බිම් අශෝක අධිරාජ්‍යයේ හෝ උතුරේ සිට පහළට ව්‍යාප්ත වූ බොහෝ අධිරාජ්‍ය වල හෝ සොළොස් මහා ජනපදවල කොටසක් නොවීම වෙනම කරුණක්. ඒ නිසා, භාරතය යන වචනය ඉන්දියාව යන වචනයට සමාන වචනයක් මිස වැඩිපුර නිරවුල් වචනයක් නෙමෙයි. මම හිතන විදිහට සිංහලෙන් කියවන වැඩි දෙනෙකුට චිත්‍රණය කර ගැනීමට පහසු හා හුරුපුරුදු ඉන්දියාව යන වචනයයි. කොහොම වුනත් ඔබ මෙහි සඳහන් කර ඇති කරුණු වලනම් වැරැද්දක් නැහැ. ඉතා පැහැදිලිවම මෙහි සඳහන් මූලාශ්‍ර කිසිවක ඉන්දියාව යන වචනය නැහැ. වත්මන් ඉන්දියාව සමඟ ගලපා ලිවීම මා විසින් කරන දෙයක්. ඒ වගේම, ඔබ පෙර ලිපි කියවා නොතිබීම ප්‍රශ්නයක් නෙමෙයි.

      Delete
    4. අපේ පැරණි ලේඛන වල ඉන්දියාව හෝ භාරත වෙනුවට දඹදිව(ජම්බුද්වීප)කියා භාවිතා කළේ කුමක් නිසා විය හැකිද?

      Delete
    5. මේ එක වචනයකටවත් වෙනස් නොවුණු නිශ්චිත තේරුම් නැහැ. ජම්බුද්වීපය ලෙස හඳුන්වා ඇත්තේ ලංකාවෙන් (මුල් කාලයේ සිතා සිටි පරිදි ලංකාව පිහිටියේ හරියටම සමකයේ නිසා සමකයෙන්) උතුරේ පිහිටි වත්මන් ඉන්දියාවද ඇතුළත් වන තීරුවක්. එය ඇතැම් අයට අනුව උත්තර අර්ධගෝලය. තවත් අයට අනුව හිමාල කඳුපන්තියට පහළින් කොටස. ඉන්දියාව, භාරතය හෝ ජම්බුද්වීපය යන වචන භාවිතා කළ බොහෝ අය මේ කියන ප්‍රදේශයේ ඇතැම් සීමා ලෙස හඳුනාගත්තේ හරියටම නොදන්නා මනඃකල්පිත තැන්.

      Delete
    6. මගේ ඉන්දීය මිතුරන්ගෙන් ඇසූවිට ඔවුන් කියන්නේ ඉන්දියාව පොදුවේ භාරත් නමින් එරට හඳුන්වන ලද බවයි. යම් සමයන් වලදී විශාල භූමි ප්‍රදේශයක් එක් රාජ්‍යයක් විදිහට පාලනය වී තිබුණත් ස්ථීර එක් රාජ්‍යයක් විදිහට දිගටම පාලනය වී නැහැ මම හිතන විදිහටනං. උදා. අශෝක රජ සමයේ ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ අශෝක රජ යටතේ පාලනය උනත් ද්‍රවිඩ ප්‍රදේශ ස්වාධීනව පැවතුනා. නමුත් ස්ථීර දේශසීමා නැති උනත් ඉන්දියාව නැමැති රාජ්‍යයක් ගැන අතීතයේ වෙනරටවල මිනිස්සු දැනං ඉන්නත් ඇති.

      Delete
    7. ඉන්දියා කියන නමේ පුරාතන බව ගැන ඔබෙන් ඉගෙන ගත්තා. වත්මන් ඉන්දියාව සැමදා එකම රාජ්‍යයක් ලෙස තිබූ බවක් මා අදහස් කළේ නැහැ.

      //ඉතා පැහැදිලිවම මෙහි සඳහන් මූලාශ්‍ර කිසිවක ඉන්දියාව යන වචනය නැහැ. වත්මන් ඉන්දියාව සමඟ ගලපා ලිවීම මා විසින් කරන දෙයක්.//

      මා ඉතාමත් වැදගත් කාරණය විදිහට දකින්නේ මේක. ඔබ හෝ වෙනත් කෙනෙක් මේ ලිපියේ සඳහන් සිංහල ඉතිහාසයේ කරුණු සහසුද්දෙන්ම වත්මන් හෝ පුරාතන ඉන්දියාව සමග ගැට ගහන්නේ මොන පදනමකින්ද?

      Delete
    8. අකිල, ඔබ අසන ප්‍රශ්නය වැදගත් එකක්. ඉතිහාසයේ (අතීතයේ ඇත්තටම සිදු වූ) කරුණු හෝ අනාගතයේ සිදුවන දේවල් සහසුද්දෙන් කීමේ හැකියාවක් කිසිවෙකුට නැහැ. මා ඇතුළු ඕනෑම කෙනෙකුට කළ හැක්කේ අප වර්තමානය ලෙස හඳුනාගන්නා දෙය අතීතයට හා අනාගතයට ප්‍රක්ෂේපනය කරමින් කතන්දර ගෙතීම පමණයි. මේ ඇතැම් කතා වෙනත් කතා වලට වඩා විශ්වසනීය වෙන්න හෝ මූලාශ්‍ර සමඟ ගැලපෙන්න පුළුවන්. එහෙත්, ඉතිහාසය හා අදාළව මූලාශ්‍ර කියන්නේත් සහසුද්දෙන්ම සිදු වූ දේ නෙමෙයි. පැහැදිලිවම මම මෙහි ලියන්නේ මම ගොතන කතන්දරයක් මිස ඉතිහාසයේ සහසුද්දෙන්ම සිදුවූ දෙය නෙමෙයි. සහසුද්දෙන්ම සිදුවූ දෙය දන්නවානම් කතන්දර ගොතන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ කතන්දරයේ සංගත බව පිණිස වැඩිපුර කරුණු ඉදිරි කොටස් වල ලියවෙනු ඇති. එහෙත්, තවදුරටත් මෙය කත්නදරයක්ම පමණයි. මෙවැනි කතන්දරයකට වැඩිම වුවහොත් කියන්න පුළුවන් වන්නේ "වර්කින් හයිපොතසිස්" එකක් කියා පමණයි.

      Delete
    9. සහසුද්දෙන්ම කියන වචනය භාවිතා කළේ ඔබ වත්මන් හෝ පුරාතන ඉන්දියාවේ කොතැනකට හෝ මේ ඉතිහාස කරුණු ගැටගසා තිබීම සහසුද්දෙන්ම කර අැති නිසායි. එය මතුවටත් ඔබ සහසුද්දෙන්ම කරයි කියලා හිතනවා. එහෙම නැතුව ඔබෙන් ඉතිහාසයේ සහසුද්දෙන්ම වුණ දේ ගැන විස්තරයක් මා කිසිවිටෙක බලාපොරොත්තු වුණේ නැහැ. එ් නිසා එ් වචනය ගැන ඔබ දක්වා අැති අදහස මට අදාළ වෙන්නේ නැහැ.

      සිංහල අනන්‍යතාවය ගැන ඔබේ ලිපි දෙකම කියෙවුවට පස්සේ මේ අැහුම්කන් දෙන්නේ අප සැමදා අසා අැති පරණ තැටියටම බව තේරුම් ගත්තා. ඔබ එය ඉදිරිපත් කරන අාකාරය, අප එය කලින් අසා අැති අාකාරයට යන්තමින් හෝ වඩා සංගත බවක් නොදකින නිසා මා එකම කතන්දරය නැවත කියවන්නට යන්නේ නැහැ.

      මා වැඩිදුර විස්තර කරන්‍න යන්නේ නැහැ. එ්ත් මේ කතන්දර අසංගත හයිපොතසිස් බව විමසන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්. මේ කතන්දරවල පරස්පර විරෝධී බවත් මූලාශ්‍ර නැති බවත් විමසන කෙනෙකුට වැටහේවි. අනුකරණය පමණක් කරන අයට නම් කිසිම දෙයක් ගැන ගැටළුවක් අැතිවන්නේ නැහැ.

      Delete
    10. ප්‍රතිචාරය: සහසුද්දෙන්ම කියන වචනය භාවිතා කළේ ඔබ වත්මන් හෝ පුරාතන ඉන්දියාවේ කොතැනකට හෝ මේ ඉතිහාස කරුණු ගැටගසා තිබීම සහසුද්දෙන්ම කර අැති නිසායි. එය මතුවටත් ඔබ සහසුද්දෙන්ම කරයි කියලා හිතනවා. එහෙම නැතුව ඔබෙන් ඉතිහාසයේ සහසුද්දෙන්ම වුණ දේ ගැන විස්තරයක් මා කිසිවිටෙක බලාපොරොත්තු වුණේ නැහැ. එ් නිසා එ් වචනය ගැන ඔබ දක්වා අැති අදහස මට අදාළ වෙන්නේ නැහැ.

      පිළිතුර: ඔව්. මම වත්මන් හෝ පුරාතන ඉන්දියාවේ කොතැනකට හෝ මේ ඉතිහාස කරුණු ගැටගසා තිබෙන බව ඇත්ත. එය වංශකතාකරුවන්ගේ සිට මෑතකාලීන පර්යේෂකයින් දක්වා බොහෝ දෙනෙක් කාලයක් තිස්සේ කර ඇති දෙයක්. මම පටන් ගන්නේ එතැන සිටයි. සියවස් ගණනක් තිස්සේ බොහෝ දෙනෙක් වාර්තා කර ඇති හෝ පැහැදිලි කර ඇති දේ මුළුමනින්ම ප්‍රතික්ෂේප කර දමන්න හේතුවක් මට නැහැ.

      ප්‍රතිචාරය: සිංහල අනන්‍යතාවය ගැන ඔබේ ලිපි දෙකම කියෙවුවට පස්සේ මේ අැහුම්කන් දෙන්නේ අප සැමදා අසා අැති පරණ තැටියටම බව තේරුම් ගත්තා. ඔබ එය ඉදිරිපත් කරන අාකාරය, අප එය කලින් අසා අැති අාකාරයට යන්තමින් හෝ වඩා සංගත බවක් නොදකින නිසා මා එකම කතන්දරය නැවත කියවන්නට යන්නේ නැහැ.

      මා වැඩිදුර විස්තර කරන්‍න යන්නේ නැහැ. එ්ත් මේ කතන්දර අසංගත හයිපොතසිස් බව විමසන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්. මේ කතන්දරවල පරස්පර විරෝධී බවත් මූලාශ්‍ර නැති බවත් විමසන කෙනෙකුට වැටහේවි. අනුකරණය පමණක් කරන අයට නම් කිසිම දෙයක් ගැන ගැටළුවක් අැතිවන්නේ නැහැ.

      පිළිතුර: ඔබ වැඩිදුර විස්තර නොකරන දේවල් මොනවාද කියා මට හිතාගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒ දේ වලට පිළිතුරු දීමේ හැකියාවක් නැහැ. ඉහත ප්‍රතිචාරය තුළ ඔබ විසින්ම ලියා ඇති පරිදි මෙහි තිබෙන්නේ සැමදා අසා ඇති පරණ තැටියක්. මෙහි ඇති බොහෝ කරුණු හා අදාළව ඔබ කියන දෙය නිවැරදියි. එම කරුණු හා අදාලව මම මෙහිදී කරන්නේ මට අවශ්‍ය කරුණු නැවත සටහන් කිරීමක්. මේ කරුණු බොහොමයක් සඳහා මූලාශ්‍ර ඕනෑ තරම් තිබෙන නිසාත්, ඒවා ගැන කියවන බොහෝ දෙනෙක් දන්න නිසාත් මම ඒවා මෙහි අමුතුවෙන් පෙන්වීම අවශ්‍යයයි කියා හිතන්නේ නැහැ. ඔබ කියන පරණ තැටි කතාවෙන් ඔබ විසින්ම මේ කරුණු වලට මූලාශ්‍ර තිබෙන බවත්, ඒවා ගැන ඔබ දන්නා බවත් පෙන්වා තිබෙනවා. ඒ නිසා, ඔබේ ප්‍රතිචාරයම විසංවාදීයි. මූලාශ්‍ර නැත්නම් මා කියන්නේ අලුත් දෙයක් විය යුතුයි. මා කියන්නේ වෙනත් බොහෝ දෙනෙක් කියා ඇති දේවල්මනම් මූලාශ්‍ර තිබිය යුතුයි. මගේ ලිපි වල පරස්පර විරෝධයක් තිබේනම් කරුණාකර නිශ්චිතව පෙන්වා දෙන්න. එවිට පැහැදිලි කිරීමක් කළ හැකියි.

      Delete
    11. මේ ප්‍රතිචාරය දැක්කේ අද. පිළිතුරු ලියන එක නතර කළත් ආයේ මේ පැත්තේ ඇවිත් බලනකොට දැක්කේ.

      //ඔව්. මම වත්මන් හෝ පුරාතන ඉන්දියාවේ කොතැනකට හෝ මේ ඉතිහාස කරුණු ගැටගසා තිබෙන බව ඇත්ත. එය වංශකතාකරුවන්ගේ සිට මෑතකාලීන පර්යේෂකයින් දක්වා බොහෝ දෙනෙක් කාලයක් තිස්සේ කර ඇති දෙයක්. මම පටන් ගන්නේ එතැන සිටයි. සියවස් ගණනක් තිස්සේ බොහෝ දෙනෙක් වාර්තා කර ඇති හෝ පැහැදිලි කර ඇති දේ මුළුමනින්ම ප්‍රතික්ෂේප කර දමන්න හේතුවක් මට නැහැ.//

      වංශකතාකරුවන් සහ සියවස් ගණනක් තිස්සේ බොහෝ දෙනෙක් ඉන්දියාවේ කොතැනකට හෝ මේ ඉතිහාස කරුණු ගැටගසා තිබෙන බව ඔබ සහ අද බොහෝ දෙනා අදහන මතය වුනත් වංශකතාකරුවන් සහ සියවස් ගණනක අය එසේ කර නොමැති බව වැඩිදුර අධ්‍යයනයකින් හෝ තේරුම් ගන්න ලැබේවා කියා පතනවා. "මූලාශ්‍ර නැහැ" කීමේ තේරුම බොහෝ දෙනා අදහන වංශ කතාවල නූතන අර්ථ දැක්වීම් මූලාශ්‍ර කර මේ ලිපි ලිව්වාට මූලාශ්‍රයට ගොස් බැලූ විට සැබවින්ම ඇත්තේ වෙන තේරුමක් බවයි. කැමති විදිහකට හිතාගන්න.

      Delete
  2. මන්නාරමේ තිබු මුතුපරය නිසා තම්බපන්නියේ බලය තියෙන්න ඇත්තේ කලාපයේ හොඳම මැරයන්ටයි. විජය සහ පිරිස එහි ළඟාවීම පොතේ තියෙන ආකාරයේ අහඹුවක් වීම ...

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කරුණ පැහැදිලියි. මෙය අහඹුවක් කියා මම හිතන්නේ නැහැ. ඉන්පසුව සිදුවුණු "වෙළඳ ගිවිසුමෙන්" තවත් දේ පැහැදිලි වෙනවා.

      "ඉක්බිති විජය රජ තෙමේ පඬිරජු දියනියන් මහ පෙරහරින් මෙහෙසි බැවිහි අභිෂේක කෙළේය. ඇමැතියන්ට වස්තු දුන්නේය. එසේම මයිල් (රජ) හට වනාහි අවුරුදු පතා දෙලක්ෂයක් වටනා සක්මුතු දුන්නේය."

      Delete
  3. /* මගේ දරුවන්ට හමු වූයේ කුඩා කළ සිට ඉංග්‍රීසි කතාව හුරු කරනු ලැබ තිබුණු, ජාත්‍යන්තර පාසැලක ඉගෙන ගන්නා දැඩි ආයාසයක් නොදරා සිංහල කතා කළ නොහැකි දරුවන් දෙදෙනෙකි. මගේ මිතුරා දැඩි ජාතිකවාදියෙකුද වීම විශේෂත්වයකි. */

    සිනුවර වසන මා දන්නා කෙනෙකු මෙලෙස මා සමග කීවා.

    Rasika, Sinhalese language is fading away in Sri Lanka. It is now up to you and me and people like us living in Western countries to protect our mother tongue.

    මෙය ඔහු කීවේ ඉංග්ලිෂ් භාෂාවෙන් වීම තමයි මහා විහිළුව.

    ReplyDelete
    Replies
    1. පවුල් පන්සල් සමග පිටරට බින්න බැහැපු කෂ්ටිය ලංකාවේ ඉන්න උන්දලට වැඩිය දේශප්‍රේමී නොවැ.

      සුදුකුකුලා

      Delete
    2. භාෂාව විනාශ වන නිසා වැඩි පරිස්සමට සිංහල කතා නොකර අරන් තියලද දන්නෙ නැහැ. :)

      Delete
  4. හොඳයි. ඉතුරු හරියත් කියවන්න බලාගෙන ඉන්නේ

    සුදුකුකුලා

    ReplyDelete
  5. Dear Economatta,

    What do you think about so called "Global Financial Crisis 2018 - 2020" as boasted by US media? Is it real or just fake news and anti-Trump political activists? What would be the global impact of that?

    What kind of impacts to be experienced by Sri Lankans as a result of this? Please explain & discuss in another post.

    ReplyDelete
  6. පට්ට! ඔය ප්‍රාකෘත වල මූලය එන්නෙ ඉන්දු ඉරානීයයන්ගෙන් මිස ඉන්දු ශිෂ්ඨාචාරයෙන් නොවේ නේද?

    ReplyDelete
    Replies
    1. වෙන වැඩ නිසා ටිකක් පරක්කු වුණා.

      Delete
  7. ඔන්න ඔයා ගැන ලක්බිම පත්ත්‍රෙත් තිබුනා..මෙවා මෙහම අතාරින්න බැහැ..අඩියක් ගහලා කැලිබරෙට් කොරන්න ඔනෙ...

    ReplyDelete
    Replies
    1. // මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.//
      එහනම් මගෙ කෙමෙන්ට් එකත් අයින් කරයි....
      මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.
      එහනම් මගෙ කෙමෙන්ට් එකත් අයින් කරයි....

      Delete
  8. Thanks Econ...very very interesting...:)

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.