Thursday, March 15, 2018

අපේ අනන්‍යතා


මුස්ලිමුන් ලංකාවේ බහුතරය වේද යන ප්‍රශ්නය ගැන කතා කරන්නට පෙර පැහැදිලි කරගත යුත්තේ සිංහල හෝ මුස්ලිම් ලෙස ලාංකිකයින්ව වෙන් කරන බෙදුම් ඉර කුමක්ද යන්නයි. සිංහලයෙකු හා ශ්‍රී ලාංකික මුස්ලිමෙකු ඔවුන්ගේ ශරීර වල බාහිර පෙනුමෙන් තබා අඩු වශයෙන් ජාන පරීක්ෂාවකින් හෝ පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකියැයි මා සිතන්නේ නැත. සිංහලයින් හා ශ්‍රී ලාංකික මුස්ලිමුන් අතර තිබෙන්නේ සංස්කෘතික වෙනස්කම් පමණි. ඒ නිසා, බිළිඳු වියේ සිටම සිංහල පවුලක හැදෙන මුස්ලිම් දෙමවුපිය යුවලකගේ දරුවෙකුට (හෝ බිළිඳු වියේ සිටම මුස්ලිම් පවුලක හැදෙන සිංහල දෙමවුපිය යුවලකගේ දරුවෙකුට) ඒ බව නොදන්නේනම් වැඩිවිය පත් වෙද්දී කිසිදු අමුත්තක් දැනෙන්නේ නැත.

මෙයින් වෙනස්ව යුරෝපීය (සුදු) දෙමවුපිය යුවලක් විසින් කුඩා කාලයේ සිට හදා වඩා ගන්නා සිංහල (හෝ ශ්‍රී ලාංකික මුස්ලිම්) දරුවෙක්ට කලක් යද්දී තමන් තමන්ගේ පවුලේ අනෙක් අයගෙන් වෙනස් "අමුතු සතෙක්" බව ස්වභාවිකවම දැනෙන්නට පටන් ගනී.

සිංහල හෝ මුස්ලිම් යනු ලාංකිකයෙකුගේ මනසේ ඇති අනන්‍යතාවන් ගණනාවකින් එකකි. යමෙක් සිංහල හෝ මුස්ලිම් වන්නේ එවැන්නෙකු එසේ සිතන බැවිනි. යමෙක් එසේ සිතන්නේ ඔවුන්ට කුඩා කාලයේ සිට, බොහෝ විට ඔවුන්ගේ දෙමවුපියන් විසින්, එසේ සිතන්නට පුරුදු කරන බැවිනි. දෙමවුපියන් සිය දරුවන්ට මෙසේ සිතන්නට පුරුදු කරන්නේ ඔවුන් මෙවැනි සාමූහික අනන්‍යතාවයකට ඉහළ වටිනාකමක් දෙන බැවිනි. වෙනත් අයුරකින් කියනවානම්, ඔවුන්ගේ අනන්‍යතා පෙළ ගැස්මෙහි "සිංහල" එසේ නැත්නම් "මුස්ලිම්" යන අනන්‍යතාවය ඉහළින් ශ්‍රේණිගතව ඇති බැවිනි.

ජන සංගණනයකදී හෝ වෙනත් අවස්ථාවකදී යමෙක් තමන් සිංහලයෙකු ලෙස කැමැත්තෙන්ම හඳුන්වාදෙන්නේ එය එවැන්නෙකුගේ අනන්‍යතාවයන්ගෙන් එකක් වන බැවිනි. මෙසේ තමන්ව හඳුන්වා ගන්නා කණ්ඩායම අපි පොදුවේ සිංහලයින් වශයෙන් ගණන් ගන්නෙමු. එහෙත්, එය එසේ වූ පමණින් මේ සියලු දෙනාටම සිංහල යන අනන්‍යතාවය එක තරමට වැදගත් බව අදහස් නොවේ.

උදාහරණයක් ලෙස කිසියම් පුද්ගලයෙකුට "සිංහල" යන අනන්‍යතාවයට අමතරව "බෞද්ධ", "ශ්‍රී ලාංකික", "දකුණේ", "ගොවිගම", "සමරවික්‍රමලා", "විශාකියන්", "යූඑන්පී" වැනි තවත් අනන්‍යතා ගණනාවක් තිබෙන්නට පුළුවන. මේ අනන්‍යතා වලින් ඇතැම් ඒවා "සිංහල" යන අනන්‍යතාවයට ඉහළින්ද තවත් ඒවා ඊට පහළින්ද තිබිය හැකිය. බොහෝ දෙමවුපියන් විසින් තමන්ගේ අනන්‍යතා ලැයිස්තුවේ ඉහළින් ඇති, තමන් විසින් වඩා වැදගත්යැයි සිතන අනන්‍යතාවන් සිය දරුවන් මත සම්ප්‍රේෂණය කරන්නට උත්සුක වන නමුත් ලැයිස්තුවේ පහළින් ඇති තමන්ට එතරම් නොවැදගත් අනන්‍යතා එසේ සම්ප්‍රේෂණය කරන්නට මහන්සි වන්නේ නැත. එවැනි අනන්‍යතා පරම්පරාවෙන් පරම්පරාවට මුළුමනින්ම සම්ප්‍රේෂණය නොවී කාලයත් සමඟ නැති වී යා හැකිය.

"සිංහල" යන අනන්‍යතාවයේ ආරම්භය ගැන අප කුඩා කාලයේ අසා ඇති, මෙය කියවන කවුරුත් වාගේ දන්නා, කතාවක් තිබේ. ඒ විජයාවතරණයෙන් පටන්ගන්නා මහා වංශ කතාවයි. මේ කතාව කතාවක් පමණක් විය හැකි වුවත් අදාළ කාලයේදී මේ කතාවෙන් කියවෙන ආකාරයේ විවිධ කණ්ඩායම් වත්මන් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් ලංකාවට සංක්‍රමණය වූ බව සිතන්නට සාධක තිබේ. මෙය කියවන අය අතර වෙනස් මත තිබෙන අය සිටිය හැකි වුවත්, එසේ පැමිණි සංක්‍රමණිකයින් තාක්ෂනය අතින් (විශේෂයෙන්ම යුද තාක්ෂනය අතින්) එවකට ලංකාවේ සිටි පිරිස් වලට වඩා ඉදිරියෙන් සිට ඇති බව වැඩි ඉඩකඩක් ඇති කරුණකි.

විජයාවතරණයෙන් සංකේතවත් වන සංක්‍රමණ රැල්ලකින් පටන් ගත්තේයැයි සිතිය හැක්කේ දැන් අප ලංකාව ලෙස හඳුනාගන්නා භූමි භාගය තුළ අප දන්නා ඉතිහාසය තුළ සිදු වී ඇති විශාලතම සංස්කෘතික පරිවර්තනයි. අශෝක-දේවානම්පිතිස්ස කාලයේදී මේ සංස්කෘතික පරිවර්තනය බොහෝ දුරට සම්පූර්ණ වූ සේ සැලකිය හැකිය.

මහා වංශ ඉතිහාසයේ මුල් සියවස් තුන තුළ දිගින් දිගටම වත්මන් ඉන්දියානු අර්ධද්වීපයෙන් ලංකාවට සංක්‍රමණිකයින් පැමිණීම නිසා සිදුවූ පරිවර්තනය ඇමරිකානු මහාද්වීපයට යුරෝපීයයන් පැමිණීමෙන් පසුව උතුරු ඇමරිකාවේ සිදුවූ දෙයට වඩා දකුණු ඇමරිකාවේ සිදු වූ දෙයට සමාන වන්නට පුළුවන. දකුණු ඇමරිකාවේදී උතුරු ඇමරිකාවේදී තරමටම ස්වදේශිකයින් මිය ගියේ නැති අතර යුරෝපීයයන්ගේ සංස්කෘතිය තුළට ස්වදේශික සංස්කෘතීන් පහසුවෙන් අවශෝෂණය විය.

ලංකාවට වත්මන් ඉන්දියාවෙන් හෝ වෙනත් කිසිදු රටකින් සංක්‍රමණය වූවෙකු සිංහල අනන්‍යතාවයක් රැගෙන ආවේ නැත. එසේ ගෙන එන්නට එවැනි අනන්‍යතාවයක් ලෝකයේ කොහේවත් තිබුණේද නැත. සිංහල අනන්‍යතාවය ලංකාව ඇතුළෙන්ම බිහි වූවකි. බොහෝ විට මෙය සිදුවන්නට ඇත්තේ මහා වංශ ඉතිහාසයේ මුල් සියවස් තුන ඇතුළතදීය.

සිංහල අනන්‍යතාවය බිහි වුණේ ලංකාව ඇතුළේම වුවත් ඒ අනන්‍යතාවය බිහිවීමට පාදක වූ දේවල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් රැගෙන ආවේ විජයාවතරණයේ සිට මහින්දාගමනය දක්වා කාලය තුළ වත්මන් ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශ වලින් ලංකාවට සංක්‍රමණය වූ අයයි. සිංහල භාෂාව විකාශනය වන්නේ මේ කාලයේදී ඊසානදිග ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයින් විසින් කතා කළ භාෂාවෙන්යැයි සිතන්නට සාධක තිබේ. ලංකාවේ දැනට ප්‍රචලිතව ඇති බුද්ධාගමේ ප්‍රභවය ඒ කාලයේ ඊසානදිග ඉන්දියාවේ වූ බුද්ධාගම බව පැහැදිලි කරුණකි.

ලංකාවේ බුද්ධාගම ප්‍රචලිත වීමෙන් පසු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ බෞද්ධ අනන්‍යතාවයද පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්නට තරම් වැදගත් දෙයක් විය. ඒ අතර, කෘෂි ආර්ථිකයක් තුළ ලංකාවේ සමාජ ක්‍රමය සකස්වෙද්දී කුල අනන්‍යතාවයද පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්නට තරම් වැදගත් දෙයක් බවට පත් විය.

කිසියම් අනන්‍යතාවයකට වැදගත් තැනක් ලැබෙන්නටනම් අදාළ අනන්‍යතාවයෙන් බාහිර වෙනත් අනන්‍යතාද දෘශ්‍යමානව තිබිය යුතුය. ඉතිහාසය පුරා දිගින් දිගටම ලංකාවට පැමිණි සංක්‍රමණිකයින් හා තාවකාලික සංචාරකයින් විසින් මේ අවශ්‍යතාවය සැපිරුවේය. ඉතිහාසයේ බොහෝ යුග වලදී සිංහලයින් නොවන වෙනත් ජාතීන්ද, බෞද්ධයින් නොවන වෙනත් ආගමිකයින්ද තාවකාලිකව හෝ ස්ථිරව ලංකාවේ ජීවත් වී තිබේ.

විවිධ කුල වලට අයත් පිරිස්නම් සියවස් ගණනක් තිස්සේ අඛණ්ඩව, එකිනෙකින් වෙනස් උප සංස්කෘතික කණ්ඩායම් (අනන්‍යතා) ලෙස, ලංකාව තුළම සිටියේය. ඒ නිසා, "සිංහල" හා "බෞද්ධ" යන අනන්‍යතා මෙන්ම ලංකාවේ සිංහලයින් අතර ප්‍රචලිත විවිධ කුල අනන්‍යතාද සියවස් ගණනක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය විය. එයින් අදහස් වන්නේ මේ අනන්‍යතා දැරූ පුද්ගලයින් සියල්ලන්ම විසින් යම් අනන්‍යතාවයක් එක් අයුරින්ම අර්ථකථනය කරගත් බව හෝ එවැනි අනන්‍යතාවන්ගේ ලක්ෂණ කාලයත් සමඟ පරිණාමය නොවූ බව නොවේ. "සිංහල" හා "බෞද්ධ" ආදී අනන්‍යතාවයන්ගේ ලක්ෂණ කාලයත් සමඟ දිගටම පරිණාමය විය.

මෙවැනි අනන්‍යතාවයකට අනුරූප වූ ඇඳුම් පැළඳුම්, කෑම බීම, සිරිත් විරිත් ආදිය මේ අයුරින් කාලයත් සමඟ සෙමින් හා වෙනස් වෙමින් ගොඩ නැගෙද්දී ආවාහ විවාහ ආදියේදී මේ අනන්‍යතා වලට වැදගත් තැනක් ලැබුණේය. දෙමෙලන්ට රට නා තැන් (ප්‍රාදේශීය නායක තනතුරු) හෝ දරු අවා (දරුවන් ආවාහ කර) නොදෙනුයි ටැම් ලිපි වල ලියැවී තිබෙන්නේ (බදුලු ටැම් ලිපිය) අනුරාධපුර යුගය අවසන් වෙන්නටත් පෙර තෙවන උදය රජුගේ කාලයේදීමය. ලංකාවේ ආවාහ විවාහ වලදී ජාතික, ආගමික මෙන්ම කුල අනන්‍යතාවයද මේ වන විටත් වැදගත් සාධකයකි.

කිසියම් අනන්‍යතාවයක් වැදගත් සේ සලකන බොහෝ අය බොහෝ විට එයට අනුරූප අනන්‍යතා වලට වෙනත් අයත් අඩුවැඩි නැතිව තමන් තරමටම බර තබන්නේයැයි (හෝ එසේ බර තැබිය යුතුයැයි) සිතති. එහෙත්, එවැනි ඇතැම් අනුරූප අනන්‍යතා ඇතැම් අයට කිසිසේත්ම වැදගත් නොවනවා පමණක් නොව එවැන්නක් තමන්ගේ අනන්‍යතාවක් සේ නොසලකන්නටද පුළුවන.

තමන්ගේ ජාතික අනන්‍යතාවයට වැඩි බරක් තබන බොහෝ දෙනෙකු බොහෝ විට සිතන්නේ වෙනත් අයටත් ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය තමන්ට තරමටම වැදගත් බවයි. මේ අයුරින්ම, තමන්ගේ ආගමික අනන්‍යතාවයට වැඩි බරක් තබන බොහෝ දෙනෙකු බොහෝ විට සිතන්නේ වෙනත් අයටත් ඔවුන්ගේ ආගමික අනන්‍යතාවය තමන්ට තරමටම වැදගත් බවයි. එහෙත්, ඇතැම් අයට මෙවැනි අනන්‍යතාවයක් කිසිසේත්ම නොවැදගත් විය හැකිය.

ජාතික, ආගමික, ප්‍රාදේශික හෝ කුල අනන්‍යතාවයන් වැදගත් සේ නොසලකන අයගේද මෙවැනිම අවුලක් තිබේ. ඒ, වෙනත් අයට එවැනි අනන්‍යතා කොතරම් වැදගත්ද යන්න තේරුම් ගන්නට අපහසු වීමයි.

කිසියම් අනන්‍යතාවයක් වැදගත් සේ සලකන අයෙකු බොහෝ විට කරන දෙයක් වන්නේ අනුරූප අනන්‍යතාවයක් පෙනෙන්නට නැති අයටද එවැනි අනන්‍යතාවයක් බලහත්කාරයෙන් හෝ කෘතීම ලෙස ආරෝපණය කිරීමයි. උදාහරණයක් ලෙස හින්දු ආගමිකයින් බොහෝ දෙනෙකුට ඔවුන් අදහන විෂ්ණු, ශිව හෝ කාලි වැනි ප්‍රධාන දෙවි කෙනෙකු සිටී. මේ ප්‍රධාන දෙවියා ඇදහීම එවැන්නෙකුගේ අනන්‍යතාවයකි. එවැනි ඇතැම් අය බෞද්ධාගමිකයින් තේරුම් ගන්නේද බුද්ධ නම් වූ එවැනිම දෙවි කෙනෙකු අදහන්නන් පිරිසක් ලෙසිනි.

මේ අයුරින්ම, කුල භේද නොසලකන කිසියම් මුස්ලිම් සංස්කෘතියක හෝ යුරෝපීය සංස්කෘතියක සිටින්නෙකු තමන්ගේ කුල ධුරාවලියේ නිශ්චිත තැනක ස්ථානගත කරන්නට සිංහලයන්ට අවශ්‍ය වෙයි. ඒ, කුල අනන්‍යතාවයට ලොකු බරක් තබන අයෙකුට "ජම්මයක් නැති" (කුලයක් නැති) පුද්ගලයෙක් ගැන සිතා ගැනීම අපහසු බැවිනි. යුරෝපීයයන් පැමිණෙන විට ලංකාවේ පැවති ව්‍යවහාර නීතිය ලේඛනගත කර ඇති නීති නිඝන්ඩුවෙහි "මෑත කාලවලදී ජම්මභේද නැත්තා වූ නානා දේශ වලින් මේ රටට පැමිණ පදිඤචිව සිටිනා මනුෂ්‍ය වර්ගයයන්ගෙන් කවිසිද, ජාවෝද, යොන්නුද යන මේ තුන්ගොල්ලම ගොවිවංශයේ මුදලිපේරුවේ අයවලට අධම වූයයි ව්‍යවහාරව පවතිනා බව දතයුතු" බව කියන්නේ මේ රීතිය අනුවය.

සංගණනයකදී සිංහල යන පොදු කුලකය තුළට ගොනු කෙරෙන කණ්ඩායමේ සියල්ලන්ම සිංහල යන අනන්‍යතාවයට යම් බරක් තබන්නන් වුවත්, මේ බර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නකි. ඇතැම් අයට ඇතැම් අවස්ථා වලදී එය තමන්ගේ "මම" යන අනන්‍යතාවයටද වඩා වැදගත් වේ. ජාතිය වෙනුවෙන් මැරෙන්නට හිතන්නේ එසේ වූ විටය. බොහෝ සිංහලයින්ට තමන්ගේ ජාතික අනන්‍යතාවය ආගමික අනන්‍යතාවයට වඩා වැදගත් වුවත් (මා ලියන මෙවැනි ඇතැම් දේ මගේ පෞද්ගලික නිරීක්ෂණ මිස වෙනත් මූලාශ්‍ර වලින් ලබාගත් දේ නොවේ. ඒ නිසා, එකඟ නොවන කෙනෙකුට මා සමඟ එකඟ නොවී සිටිය හැකිය.) ජාතික අනන්‍යතාවය ආගමික අනන්‍යතාවය තරම් වැදගත් සේ නොසලකන සිංහලයෝද සිටිති. ජාත්‍යන්තර බෞද්ධයින් මෙවැනි අයයි.

ජාතික හෝ ආගමික අනන්‍යතාවයයට වැඩි බරක් තබන අයට තේරුම් ගන්නට අපහසු වුවත් ජාතිකත්ව අනන්‍යතාවයට වැඩි බරක් තබන ශ්‍රී ලාංකිකයෝද සිටිති. එමෙන්ම, ජාතිකත්වය පවා වැදගත් සේ නොසලකන ජාත්‍යන්තරවාදීහුද සිටිති. ජාතික හෝ ආගමික අනන්‍යතාවයට වැඩි බරක් තබන බොහෝ දෙනෙකුට මෙසේ එවැනි අනන්‍යතාවයන්ට වැඩි බරක් නොතබන අය අවබෝධ කර ගැනීම අපහසු නිසා ඔවුන් කරන්නේ එවැන්නන් මත කවර හෝ ජාතික (හෝ ආගමික) අනන්‍යතාවයක් පැටවීමයි. උදාහරණයක් වශයෙන් සිංහල අනන්‍යතාවයට වැඩි බරක් පටවන සිංහලයකු එසේ නොකරන සිංහලයෙකු දෙමළෙකු සේ දකින අවස්ථා තිබේ. බෞද්ධ අනන්‍යතාවයට වැඩි බරක් පටවන බෞද්ධයෙකු එසේ නොකරන බෞද්ධයෙකු ක්‍රිස්තියානුවෙකු සේ දකින අවස්ථා තිබේ. සියවස් ගණනකට පෙර සිංහලයින් විසින් කුල භේද නොසලකන ඉස්ලාම් භක්තික සංක්‍රමණිකයින් තමන්ගේ කුල ධුරාවලිය තුල ස්ථානගත කර ඇත්තේද මේ අයුරිනි.

සිංහල අනන්‍යතාවයට තමන්ගේ දේශපාලන අනන්‍යතාවයට (අපි යූඑන්පී, අපි වමේ) වඩා වැඩිබරක් තබන ඇතැම් අය සිතන්නේ අනෙකුත් සිංහලයින් විසින්ද එසේ කළ යුතු බවයි. ඔවුන් අවබෝධ කර නොගන්නේ ඇතැම් අයගේ ජාතික අනන්‍යතාවය ඔවුන්ගේ දේශපාලන අනන්‍යතාවයට වඩා පහළින් තිබීම එහි විලෝමය මෙන්ම ස්වභාවික දෙයක් බවයි. සංක්ෂිප්තව කියනවානම් පුද්ගලයෙකුගේ අනන්‍යතාවයන් පමණක් නොව පුද්ගලයෙකු විසින් අනන්‍යතාවයන් නිර්ණය කරගන්නා පදනම්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එහෙත්, මෙවැනි අනන්‍යතා බෙදීම් සංගණනයක, ජනමත සමීක්ෂණයක හෝ නීතියක කොටසක් වූ විට සිදුවන්නේ ඉහත දෙවන කරුණ නොසලකා හරිමින් පුද්ගයින්ගේ අනන්‍යතාවන් වෙනස් වූවත් ඒ අනන්‍යතා නිර්ණය කෙරෙන පදනම නිශ්චිත දෙයක් සේ සලකනු ලැබීමයි.

(මතු සම්බන්ධයි)

8 comments:

  1. >විවිධ කුල අනන්‍යතාද සියවස් ගණනක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය විය. එයින් අදහස් වන්නේ මේ අනන්‍යතා දැරූ පුද්ගලයින් සියල්ලන්ම විසින් යම් අනන්‍යතාවයක් එක් අයුරින්ම අර්ථකථනය කරගත් බව හෝ එවැනි අනන්‍යතාවන්ගේ ලක්ෂණ කාලයත් සමඟ පරිණාමය නොවූ බව නොවේ. "සිංහල" හා "බෞද්ධ" ආදී අනන්‍යතාවයන්ගේ ලක්ෂණ කාලයත් සමඟ දිගටම පරිණාමය විය. මෙවැනි අනන්‍යතාවයකට අනුරූප වූ ඇඳුම් පැළඳුම්, කෑම බීම, සිරිත් විරිත් ආදිය මේ අයුරින් කාලයත් සමඟ සෙමින් වෙනස් වෙමින් ගොඩ නැගෙද්දී ආවාහ විවාහ ආදියේදී මේ අනන්‍යතා වලට වැදගත් තැනක් ලැබුණේය.

    This section is repeated in the next two paragraphs

    ReplyDelete
  2. Although this is not really related to the point you are trying to make, thought I'd add something on the below statement.

    >මේ ප්‍රධාන දෙවියා ඇදහීම එවැන්නෙකුගේ අනන්‍යතාවයකි. එවැනි ඇතැම් අය බෞද්ධාගමිකයින් තේරුම් ගන්නේද බුද්ධ නම් වූ එවැනිම දෙවි කෙනෙකු අදහන්නන් පිරිසක් ලෙසිනි.

    I have once heard a scholar (unfortunately my memory fails me on who or when) having a different opinion on this. According to him, Ashoka adopted Buddhism as a genius political ploy to

    a) keep the kingdom united - as we all know religion is something people will unite across countries - something similar to what Constantine did in Rome
    b) hurt the existing religious hierarchy which was against him due to the bloodshed he had caused - something similar to what Henry VIII did

    What strikes me on this argument is, it depicts the constant power struggle throughout the history between the church (or I should say established religious hierarchy) vs crown

    Anyway coming back to the point, that same scholar argues, the hindu religious hierarchy fought back (may be after Ashoka was dead) by making buddha an incarnation of vishnu and thereby accommodating buddhism inside Hinduism

    ReplyDelete
    Replies
    1. //Anyway coming back to the point, that same scholar argues, the hindu religious hierarchy fought back (may be after Ashoka was dead) by making buddha an incarnation of vishnu and thereby accommodating buddhism inside Hinduism//

      I agree with you. This is something I planned to discuss in the next of the series. In addition, I'd argue that the opposite happened in SL by accommodating Hindu deities inside Sinhala-Buddhism in an effort to assimilate and absorb the continuous flow of Hindu migrants from the sub-continent.

      Delete
  3. විශාකියන් ද කොටස් තුනකි.

    1. පළමුවෙනි ශ්‍රේණියේ සිට ම විශාකියන්
    2. ශිෂ්යත්වය පාස් වෙලා ආපු කට්ටිය
    3. ඒ ලෙවල් කරන්න ආපු කට්ටිය

    ReplyDelete
    Replies
    1. මේකත් කතා කරන්න හිටපු දෙයක්. විශාල පිරිසක් නොවුණත්, හතරවෙනි කණ්ඩායමක් ලෙස, සාමාන්‍ය පෙළ දක්වා එහි සිට උසස් පෙල කිරීම සඳහා සරසවි පිවිසුම් ලකුණු මට්ටම් අඩු දිස්ත්‍රික්ක වල පාසැල් වලට යන අයත් ඉඳහිට හෝ ඉන්නවා නේද? අපි හිතමු, x දිස්ත්‍රික්කයේ මධ්‍ය මහා විද්‍යාලයකට එසේ යන කෙනෙක් ගැන. පසු කාලයකදී ඇගේ අනන්‍යතාවය ඇහුවොත් බොහෝ විට විශාකියන්. ඔබ ලියා ඇති 3 කණ්ඩාමට අයත්, x දිස්ත්‍රික්කයේ මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ කරන්න එහි පැමිණි කෙනෙක්ගෙන් ඇහුවොත් ඒත් බොහෝ විට විශාකියන්. අනන්‍යතා කියන ඒවා ඔහොම තමයි!

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget