වෙබ් ලිපිනය:

Tuesday, March 20, 2018

මගේ දරුවන්ගේ අනන්‍යතා


මගෙන් මගේ දරුවන් වෙත ලැබෙන දෑ අතර "සිංහල", "බෞද්ධ" හා "ශ්‍රී ලාංකික" වැනි අනන්‍යතාද වේ. එහෙත්, එයින් අදහස් වන්නේ මේ අනන්‍යතාවන්ට ඔවුන් තබන බර මා ඒවාට තබන බරට සමාන වන බව නොවේ. මා උගත් ලංකාවේ පාසැල් හෝ ලංකාවේ සරසවි හා අදාළ අනන්‍යතාවයන් වල ඔවුන්ට කිසිදු වැදගම්මක් නැත. ලංකාවේ මගේ (මගේ පියාගේ) මුල් ගම් ප්‍රදේශය හෝ කුලය වැනි දෙයක් සම්බන්ධ වූ අනන්‍යතාවන් ඔවුන්ට අඩු වශයෙන් අවබෝධ කර ගත හැකි වේද යන්නත් සැක සහිතය. පියෙකුට වුවත් දරුවෙකු හිතන පතන ආකාරය හරියටම දැනගත හැකි ක්‍රමයක් නැත. දරුවන්ද ඇතුළු වෙනකෙකු සිතන ආකාරය ගැන තවෙකෙකුට තිබෙන්නේ දළ අදහසක් පමණි.

මා හිතන හැටියට "සිංහල", "බෞද්ධ" හෝ "ශ්‍රී ලාංකික" වැනි අනන්‍යතාවයකට මගේ දරුවෝ මා තරම් බරක් නොතබති. එයට හේතු අපැහැදිලි නැත. මේ අනන්‍යතා ඔවුන්ගෙන් ඔවුන්ගේ දරුවන්ටද උරුම වනු ඇති නමුත් ඔවුන් ඒ අනන්‍යතා වෙනුවෙන් බර තබනු ඇත්තේ ඊටත් අඩුවෙනි. ඇතැම් විට මේ අනන්‍යතා ඔවුන්ට කිසිදු වැදගම්මක් නැති දේ වන්නටත් පුළුවන.

බොහෝ සංක්‍රමණිකයින් විසින් තමන්ගේ මුල් රටවලින් ඇමරිකාවට රැගෙන එන ජාතික, ආගමික හෝ වෙනත් අනන්‍යතාවන් වලට ඇති වැදගත්කම පරම්පරා දෙක තුනක් යද්දී ක්‍රමයෙන් ක්ෂය වී යයි. එය එසේ වතුදු, ඇමරිකාව තුළ "සිංහල" හෝ "ශ්‍රී ලාංකික" වැනි අනන්‍යතාවයක අඛණ්ඩ පැවැත්ම සඳහා ඉහත කරුණ අනිවාර්ය බාධාවක් නොවේ. ඇමරිකාවට සංක්‍රමණය වන "සිංහල" හෝ "ශ්‍රී ලාංකික" අනන්‍යතා ඇති අයගේ දරු පරම්පරා තුළ එවැනි අනන්‍යතා දියාරු වී ගියත්, සංක්‍රමණික ප්‍රවාහ දිගින් දිගටම පවතින්නේනම් ඇමරිකාව තුළ "සිංහල" හෝ "ශ්‍රී ලාංකික" වැනි අනන්‍යතා වලට කාලයක් අඛණ්ඩව පැවතිය හැකිය. එහෙත්, එවැනි සංක්‍රමණික ප්‍රවාහ නැවතුනොත් එවැනි අනන්‍යතාවකට පරම්පරා දෙක තුනකින් පසු ලැබෙන්නේ නොවැදගත් තැනකි.

"ඇමරිකන්" අනන්‍යතාවයට තිබෙන්නේ සියවස් දෙකහමාරක පමණ ඉතිහාසයකි. ඊට පෙර "ඇමරිකන්" අනන්‍යතාවයක් කියා දෙයක් තිබුණේ නැත. ඇමරිකාවට "ඉංග්‍රීසි", "ප්‍රංශ", "ජර්මන්", "ඉතාලි" ආදී අනන්‍යතා තිබුණු අය මිස "ඇමරිකන්" අනන්‍යතාවයක් තිබුණු අය වෙනත් කොහෙන්වත් පැමිණියේ නැත. "ඇමරිකන්" අන්‍යතාවය වත්මන් ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වල බිහි වී ක්‍රමයෙන් ව්‍යාප්ත වූවකි.

"ඇමරිකන්" අන්‍යතාවයට පසුකාලීනව තනිකරම "ඇමරිකන්" ලෙස සැලකිය හැකි විවිධ අංග එකතු වී ඇතත් අඩු වශයෙන් ආරම්භයේදී එය "ඉංග්‍රීසි", "ප්‍රංශ", "ජර්මන්", "ඉතාලි" ආදී වෙනත් අනන්‍යතා වල මුසුවක් වන්නට ඇත. මුල් කාලයේදී ජර්මනිය වැනි වෙනත් යුරෝපීය රටකින් පැමිණි අයෙකු සිය "ඇමරිකන්" හා "ජර්මන්" අනන්‍යතාවන් එක වර දරන්නට ඇති අතර "ජර්මන්" අනන්‍යතාව සඳහා ඔවුන් තැබූ බර ක්‍රමයෙන් අඩු වී  "ඇමරිකන්" අනන්‍යතාව සඳහා වූ බර වැඩි වන්නට ඇත. එය එසේ සිදුවෙද්දී මුලින් "ජර්මානුවන්" වූ බොහෝ අය පසුව "ජර්මන් ඇමරිකානුවන්" වන්නට ඇති අතර "ජර්මන් ඇමරිකානුවන්" ලෙස ඉපදුණු අය හෝ ඔවුන්ගේ දරුවන් පසුව "ඇමරිකානුවන්" බවට පත් වන්නට ඇත. මේ වන විට, යුරෝපයෙන් ඇමරිකාවට සංක්‍රමණය වූවන්ගෙන් පැවතෙන්නන් ඉතා විශේෂ අවස්ථාවකදී හැර තමන් "ජර්මානු ඇමරිකානුවෙකු" හෝ "අයිරිෂ් ඇමරිකානුවෙකු" බව කියන්නේ නැත.

"ඇමරිකන්" අනන්‍යතාවය මුලින්ම හැදුණේ වෙනත් සංස්කෘතීන් ගණනාවක් මිශ්‍ර වීමෙන් වුවත් මේ "වෙනත්" සංස්කෘතීන් අතර ආසියානු සංස්කෘතීන් නොතිබුණු තරම්ය. එහෙත්, මේ වන විට "ඇමරිකන්" සංස්කෘතියට "චීන", "ජපන්", "ඉන්දියන්", "තායි", "වියට්නාම්", "පිලිපීන" ආදී වෙනත් ආසියානු අනන්‍යතාවන්ගේ ලක්ෂණ මෙන්ම "ශ්‍රී ලාංකික" හා "සිංහල" වැනි අනන්‍යතාවන්ගේ ලක්ෂණ පවා එකතු වෙමින් පවතී. බුද්ධ කාලයේ ඊසානදිග ඉන්දියාවේ වැසි කාලයට ඇමරිකාවේ පිහිටි සිංහල බෞද්ධ පන්සල් වල පැවැත්වෙන වස් පින්කම් වලදී ජාතික ඇඳුම් ඇඳ, කුරහන් සාටක පැළඳගෙන හෝ ඔසරි ඇඳගෙන පෙරහැර වල ගමන් කරනු දැකිය හැක්කේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඇමරිකානුවන් පමණක් නොවේ. අමාරුවෙන් වචන එකතු කරමින් සිංහල කතා කරන සුදු ඇමරිකානුවෙකු ඇමරිකාවේ පිහිටි ලංකාවේ පන්සලකදී ඉඳහිට හෝ හමුවිය හැකිය.

ඉහත කී ආකාරයේ දේ ඉඳහිට සිදුවන අහඹු සිදුවීම් පමණක් බවත්, බොහෝ විට සිදුවන්නේ ලංකාවෙන් ඇමරිකාවට සංක්‍රමණය වන සිංහලයින් ඇමරිකානුවන් වීම බවත් කෙනෙකුට කියන්නට පුළුවන. මිලියන තුන්සිය විස්සක ඇමරිකානුවන් අතරට සිංහලයින් දහ පහළොස් දාහක් පැමිණියා කියා ඇමරිකාව සිංහල වෙන්නේ නැති බව අමුතුවෙන් කියන්නට දෙයක් නොවේ. එහෙත්, මෙවැනි සාපේක්ෂව සුළු සංක්‍රමණික පිරිසක් නිසා වුවත් ඇමරිකන් අනන්‍යතාවයෙහි ඉතා සුළු හෝ වෙනසක් සිදු වේ. මා හිතන පරිදි, සාපේක්ෂව වැඩි සිංහල සංක්‍රමණිකයින් පිරිසක් ජීවත් වන මෙල්බර්න් වැනි නගරයකදී සිංහලයින් විසින් සිදුකරන සංස්කෘතික බලපෑම වඩා ප්‍රබලය.

සිංහල අනන්‍යතාවය බිහිවුණු හා විකාශනය වුනු ආකාරයද ඇමරිකන් අනන්‍යතාවය බිහිවුණු හා විකාශනය වුනු ආකාරයට බොහෝ සෙයින් වෙනස් නැත. මුල්ම කාලයේදී "සිංහල" අනන්‍යතාවය දැරූවන්ට තමන්ගේ "යක්ෂ" හෝ "නාග" වැනි වෙනත් අනන්‍යතාද එක සේ හෝ වඩා වැදගත් වන්නට ඇති අතර එවැනි අනන්‍යතා වලට වූ සාපේක්ෂ වැදගත්කම ක්‍රමයෙන් ක්ෂය වී යන්නට ඇත.

මූලාශ්‍ර මත පදනම් නොවූ මගේම "හිතළුවක්" පමණක් වුවත් මට අවබෝධ වන ආකාරයටනම් ලංකාවේ සිටි ප්‍රාග්-සිංහල "නාගයින්" යනු සංක්‍රමණිකයින් පිරිසකි. මා මෙසේ "නාගයින්" යනු සංක්‍රමණිකයින් බව හඳුන්වන්නේ ඒ වන විටද විශාල කාලයක් ලංකාවේ ස්ථිරව පදිංචිව සිටියේයැයි සැලකිය හැකි "යක්ෂයන්ට" සාපේක්ෂවය.

"නාග" අනන්‍යතාව මා විසින් තේරුම් ගන්නා ආකාරයට ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ වූවකි. වත්මන් ඉන්දියාවේ මෙන්ම ලංකාවේද මේ නාගයින්ගේ ජනාවාස බිහිවී තිබෙන්නේ වෙරළ තීරය දිගේය. ඒ හැරුනු විට මේ නාගයින් අද අර්ථයෙන් එකම ජනවාර්ගික කණ්ඩායමක් හෝ එකම භාෂාවක් කතා කළ පිරිසක් නොවූවා විය හැකිය. ඒ නිසා, විවිධ නාග කණ්ඩායම් අතර වරින් වර ගැටුම් ඇති වන්නට ඇත.

යක්ෂ, රාක්ෂ, දේව හා නාග යන අනන්‍යතා හතරේ එකතුවෙන් සිංහල අනන්‍යතාවය හැදුණු බව බොහෝ තැන් වල පැවසුනත් බුද්ධ කාලය හා අශෝක කාලය අතර බොහෝ දුරට සිදු වී ඇත්තේ යක්ෂ හා නාග අනන්‍යතා සම්මිශ්‍රණය වීමයි. රාක්ෂයින් ඒ වන විටද යක්ෂයින් සමඟ මිශ්‍ර වී තමන්ගේ අනන්‍යතාවය බොහෝ දුරට නැති කරගෙන සිටියා විය හැකිය. එමෙන්ම, දේවයින්ද සංස්කෘතික ලෙස නාගයින්ගෙන් බොහෝ වෙනස්ව සිටි බවක් නොපෙනේ. ඔවුන්ගේ වෙනස් අනන්‍යතාවය ඔවුන් නියැලී සිටි රැකියාව හා අදාළ වූවකි. විශාල සංස්කෘතික වෙනස්කම් තිබුණු ප්‍රධාන කණ්ඩායම් දෙක වන්නට ඇත්තේ ඇත්තේ යක්ෂයින් හා නාගයින්ය.

නාගයින් යනු එවක ජාත්‍යන්තර වෙළඳාමේ යෙදුණු අයයි. ඒ කාලයේ පමණක් නොව දහඅට වන සියවස පමණ දක්වාම ජාත්‍යන්තර වෙළඳාම, සංක්‍රමණය හා ආක්‍රමණය යනු එකම පැකේජයක කොටස් නිසා ඉතිහාසයේ මේ යුගයේ වෙළෙන්දන්, ආක්‍රමණිකයින් හා සංක්‍රමණිකයින් වෙන් කර හඳුනාගැනීම තේරුමක් නැති තරමටම අපහසු කටයුත්තකි. යෙදුණු රැකියාව අනුව පොදුවේ නාගයින් ලෙස වර්ග කළත්, මේ නාගයින් අතර කතා කළ භාෂාව, සමේ පැහැය හා ගෝත්‍ර මත පදනම් වූ වෙනස් අනන්‍යතා තිබුණු කණ්ඩායම් සිටින්නට ඇත. මේ විවිධ කණ්ඩායම් අතරින්  ඊසානදිග ඉන්දියාවේ සිට පැමිණි නාගයින් යක්ෂයින් සමඟ සම්මිශ්‍රණය වීමෙන් පසු යක්ෂයින් මත සිය භාෂාව ඇතුළු සංස්කෘතිය පතුරුවා හරින්නට ඇත. පොදුවේ නාගයින්ට ජාත්‍යන්තර වෙළඳාමෙහි මෙන්ම, නාවික ගමනාගමනයෙහි, නැව් තැනීමේ කර්මාන්තයෙහි මෙන්ම මූලික ජ්‍යෝතිෂයෙහිද නිපුණතාවක් තිබෙන්නට ඇත.

දේව යන වචනය අදටත් ලෝහ භාවිතය හා අවි දැරීම හා සම්බන්ධ වූවකි. දහඅටවන සියවසේ මුල් කාලය පමණ වන තුරුම අවි බලයක් නැතිව ජාත්‍යන්තර වෙළඳාමෙහි නියැලීමේ හැකියාවක් තිබුණේ නැත. අවි තැනීමේ හා සටන් කිරීමේ සුරුවන් වූ දේව කණ්ඩායම් තමන්ගේ වෙළඳ කණ්ඩායම් වලට එකතු කර ගැනීමෙන් නාගයින්ට තමන්ගේ මූලික කාර්යය වූ වෙළඳාමට වැඩි අවධානයක් යොමු කරන්නට ඉඩ ලැබෙන්නට ඇත. ඒ නිසා, නාගයින් හා දේවයින් අතර තිබෙන්නට ඇත්තේ සමීප සම්බන්ධයකි. බොහෝ විට කිසියම් නාග කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කළ දේව කණ්ඩායමකට කතා කළ භාෂාව, සමේ පැහැය හා ප්‍රධාන ආහාර වැනි දෑ හා අදාළව තිබෙන්නට ඇත්තේ එකම අනන්‍යතාවයකි.

ඇතැම් නාගයින් තොටෙන් තොටට කලින් කළ සංක්‍රමණය වෙමින් තමන්ගේ ජීවිතවල වැඩි කාලයක් මුහුදේම ගෙවද්දී තවත් පිරිසක් එසේ මුහුදු නොයමින් කිසියම් තැනක ස්ථිර ජනාවාස පිහිටුවාගෙන රට ඇතුළෙන් වෙළඳ භාණ්ඩ එකතු කර මුහුදු නාගයින්ට විකිණීමේ නියැලෙන්නට ඇත. චූලෝදර-මහෝදර සටන ලෙස සටහන්ව තිබෙන්නේ මේ අයුරින් වත්මන් ලංකාවේ පැලපදියම් වී සිටි පර්වත නාගයින් කණ්ඩායමක් හා වැඩි කලක් මුහුදේම දිවි ගෙවූ මුහුදු නාගයින් කණ්ඩායමක් අතර වූ ගැටුමක් බව පෙනේ.   

කන්වඩමන් පවුවෙහි පැලපදියම්ව සිටි පර්වත නාග කණ්ඩායමේ ප්‍රධානියා වෙත සිය සොහොයුරිය ආවාහ කර දීමෙන් මුහුදු නාග කණ්ඩායමක ප්‍රධානියා වූ මහෝදර විසින් වෙළඳ ගිවිසුමක් හරහා ඇති කර ගත් සංහිඳියාව එම පර්වත නාග ප්‍රධානියාගේ මරණයෙන් පසු චූලෝදර බලයට පත් වීමත් සමඟ බිඳ වැටෙන්නට ඇත. ඇතැම් විට පර්වත නාගයින් යනු දකුණු ඉන්දීය සම්භවයක් තිබුණු නාගයින් වූවා වන්නටද පුළුවන. දකුණු ඉන්දියානු වෙරළ ප්‍රදේශ වලින් පැමිණි නාග කණ්ඩායම් ඊසානදිග ඉන්දියාවේ සිට පැමිණෙන නාග කණ්ඩායම් වලට කලින් ලංකාවේ ස්ථිර ලෙස පදිංචි වන්නට වැඩි ඉඩක් තිබේ.

පර්වත නාගයෙකුගේ පුතෙකු වූ චූලෝදර හා මුහුදු නාගයෙකු වූ ඔහුගේ මාමණ්ඩිය අතර වූ සටනට තවත් පාර්ශ්ව එක් වී ඇති බව පෙනේ. රට ඇතුලේ සිටි දේවයින් චූලෝදරගේ සහායට පැමිණෙද්දී මහෝදරගේ සහායට කැළණියේ මුහුදු නාගයින් පැමිණියා විය හැකිය. කෙසේවුවත්, මේ සටන මහා විනාශයකින් අවසන් නොවී සංහිඳියාවකින් කෙළවර වී තිබෙන්නේ මේ දේව හා නාග කණ්ඩායම් සියල්ලටම කිසියම් ආකාරයක බෞද්ධ අනන්‍යතාවයක්ද තිබී ඇති බැවිණි.

බෞද්ධ අනන්‍යතාවය ලංකාවට මුලින්ම රැගෙන එන්නට ඇත්තේ නාග සංක්‍රමණිකයින් විසිනි. එය බොහෝ විට බුද්ධ කාලයේදීම හෝ ඉතා ආසන්න කාලයක සිදු වන්නට ඇත. එහෙත්, ඒ කාලයේ නාගයින් හා දේවයින් අතර මිස යක්ෂයින් අතර බෞද්ධ අනන්‍යතාවයක් තිබී ඇති බවක් නොපෙනේ.

මහින්දාගමනය සිදුවන විට ලංකාවේ බෞද්ධයින් නොසිටින්නට හේතුවක් නැත. මහින්දාගමනයෙන් සිදුවන්නට ඇත්තේ ලංකාවේ රජු හා රජුට සම්බන්ධව සිටි පිරිස් බෞද්ධයින් වීමයි. එහෙත්, ඒ සමඟම ලංකාවේ බෞද්ධ අනන්‍යතාවයට වැඩි වටිනාකමක් ලැබී දෙමවුපියන් විසින් මේ අනන්‍යතාවය සිය දරුවන් වෙත සම්ප්‍රේෂණය කිරීම වේගවත් වන්නට ඇත. විශේෂයෙන්ම නාගයින් හා යක්ෂයින් අතර සිදු වූ මිශ්‍ර විවාහ හරහා බෞද්ධ අනන්‍යතාවය යක්ෂයින් වෙත සම්ප්‍රේෂණය වන්නට ඇත. මගේ පියාගෙන් මට ලැබුණේත් මගෙන් මගේ දරුවන්ට ලැබුණේත් පරම්පරා ගණනක් තිස්සේ අඛණ්ඩව හෝ ඛණ්ඩව සම්ප්‍රේෂණය වූ මේ බෞද්ධ අනන්‍යතාවයයි.

7 comments:

  1. නලින් ද සිල්වා නම් කියන්නේ ඇමරිකාවේ මූලික සංස්කෘතිය යුදෙව් ක්‍රිස්තියානි (Judeo-Christian) බවත් එරටට සංක්‍රමණය වන වෙනත් පුද්ගලයන්ද ඒ සංස්කෘතියට අනුගත වන ලෙස සැලසී ඇති බවත් - ඔහු මේ උදාහරණය යොදා ගන්නේ ලංකාවේ මූලික සංස්කෘතිය සිංහල බෞද්ධ විය යුතු බව පැහැදිලි කිරීමටයි

    ReplyDelete
    Replies
    1. //මිලියන තුන්සිය විස්සක ඇමරිකානුවන් අතරට සිංහලයින් දහ පහළොස් දාහක් පැමිණියා කියා ඇමරිකාව සිංහල වෙන්නේ නැති බව අමුතුවෙන් කියන්නට දෙයක් නොවේ. එහෙත්, මෙවැනි සාපේක්ෂව සුළු සංක්‍රමණික පිරිසක් නිසා වුවත් ඇමරිකන් අනන්‍යතාවයෙහි ඉතා සුළු හෝ වෙනසක් සිදු වේ.//

      Delete
    2. ඇමරිකා ඔරුමත්තුනාඩුවේ තියෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් සංරචකයේ ඇමරිකන් ප්‍රබේධයේ ආධිපත්‍යයි.

      ඔරුමත්තුනාඩුවට එන කියුබානු සංක්‍රමණිකයන්ට වෙන්නේ මොකක්ද?
      ඔවුන් ඇංග්ලිකන් ක්‍රිස්තියානින් වෙනවද?
      කතෝලික සංස්කෘතිය පවත්වා ගනිමින් දෙවන පන්තියේ රටවැසියන් හැටියට ඉන්නවද?
      කතෝලික සංස්කෘතිය පවත්වා ගනිමින් ඇංග්ලිකානුවන් හා සම තත්වයේ රටවැසියන් හැටියට ඉන්නවද?

      මම ෆිදෙල් කස්ත්‍රෝ වුනා නම් කරන්නේ ඔරුමත්තුනාඩුව තුල කතෝලික සංස්කෘතිය පැතිරවීමට උත්සාහ කිරීමයි.
      නමුත් මාක්ස්වාදය නිසා ෆිදෙල් කස්ත්‍රෝ ට එය කිරීමට නොහැකි වුනා.
      (හැම දෙයම ආර්ථික සාධක ඔස්සේ තේරුම් ගැනීමට තැත්කිරීම කෂිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්)
      මාක්ස්වාදය අවසාන වශයෙන් සේවය කරන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික අධිරාජ්‍යවාදයටයි.

      Delete
    3. //"ඇමරිකන්" අන්‍යතාවයට පසුකාලීනව තනිකරම "ඇමරිකන්" ලෙස සැලකිය හැකි විවිධ අංග එකතු වී ඇතත් අඩු වශයෙන් ආරම්භයේදී එය "ඉංග්‍රීසි", "ප්‍රංශ", "ජර්මන්", "ඉතාලි" ආදී වෙනත් අනන්‍යතා වල මුසුවක් වන්නට ඇත.
      මෙය අර්ධ සත්‍යයක්, මෙතනදී සිදුවුනේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය නායක සංස්කෘතිය ලෙස ක්‍රියාකර අන් සංස්කෘති එය සමඟ මිශ්‍රවීමයි.

      Delete
  2. බූලියන් ඇල්ජිබ්රා යන්නට සිංහල වචනය නාග ගණිතය නේද? පුරාණ නාගයින් ගණන් තැබුවේ දෙකේ පාදයෙන් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. නාග ගණිතය යන යෙදුම ගැන දැන සිටියේ නැහැ. මම දැන සිටියේ ගණිතඥ ජෝර්ජ් බූල් නිසා මේ යෙදුම භාවිතා වන බවයි.

      http://www.gutenberg.org/files/15114/15114-pdf.pdf?session_id=2e9021a25657e866e8ec05027a7b1f17c844a2fa

      Delete
  3. “The individual has always had to struggle to keep from being overwhelmed by the tribe. If you try it, you will be lonely often, and sometimes frightened. But no price is too high to pay for the privilege of owning yourself.”
    ― Friedrich Nietzsche

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: