Monday, March 18, 2019
අපේ කුණු...
හැමදාම නැතත් ගොඩක් දවස් වලට අපේ ගෙදර ලංකාවේ කෑම මොනවා හෝ හදනවා. සමහර අය හිතන විදිහටනම් මේක පසුගාමී වැඩක්. ලංකාවේ ඇතැම් අය හිතන්නේ එහෙම වුනත්, පරිප්පුයි බතුයි වගේ පසුගාමී කෑම වේලක් හදල දුන්නහම ගොඩක් සුද්දෝ වුනත් බොහොම ආසාවෙනුයි කන්නේ.
ලංකාවේ කෑම හදන්න පොල් නැතුවම බෑනේ. අපි සාමාන්‍යයෙන් මිල දී ගන්නේ පොල් කිරි ටින්. මැල්ලුම් සම්බෝල වගේ වගේ දේවල් හදන්න ගාපු පොල් පැකට් මිල දී ගන්නවා. බොහෝ විට මේවා එන්නේ තායිලන්තය වියට්නාමය වගේ රටවල් වලින්.
මේක අවුරුද්දකට දෙකකට කලින් සිදු වුනු සිද්ධියක්. ශ්‍රී ලාංකික සම්භවයක් තිබෙන මිතුරියක් අපේ ගෙදර ඇවිත්. ඈ පැමිණ සිටින නිසා අපේ ගෘහමූලිකාව බතක් එළවළුවක් හදන්න පටන් අරන්. පොල් කිරි ටින් එකක් කඩා හට්ටියට දැම්මට පස්සේ ඈ හිස් ටින් එක සෝදනවා.
"ඇයි අනේ ඔයා ඔය ටින් එක හෝදන්නේ. මොකක් හරි වැඩකට ගන්නද?"
අපේ නිවසට පැමිණි අමුත්තිය අහනවා.
මේ ප්‍රශ්නය මීටත් වසර කිහිපයකට කලින් වෙනත් නිවසකදී අපිත් අහපු ප්‍රශ්නයක්. ඒ අපේ මස්සිනාගේ නිවසේදී. ඔහු ඇමරිකාවේ ජීවත් වන්නේ අප මෙහි එන්න අවුරුදු ගණනකට පෙර සිටයි. සාමාන්‍යයෙන් ලංකාවේ කෑම හදන්නේ නැති වුනත් එදා අප එහි ගිය නිසා ඔවුන් ලංකාවේ කෑම හදන්න පටන් ගත්තා. හිස් පොල් කිරි ටින් එක හෝදන්නේ ඇයි කියන ප්‍රශ්නය අපට මතු වුනේ ඒ වෙලාවෙදියි.
එදා ඔහු හිස් පොල් කිරි ටින් එක හේදුවේත්, දැන් අපි ඔහුව අනුගමනය කරමින් ඒ දෙයම කරන්නේත් ටින් එකෙන් විශේෂ වැඩක් ගන්න නෙමෙයි. එය කුණු බක්කියට දමන්නයි. ටින් වැනි ලෝහ වර්ග දමන ප්‍රතිචක්‍රීකරනය සඳහා යන කුණු බක්කියට ආහාර කොටස් එක්ක හිස් ටින් එක දමන එක සුදුසු නැති නිසයි අප ඒ වැඩේ කරන්නේ.
මස්සිනා හිස් ටින් එකක් හෝදනවා දැකපු දවස් වල අපේ ගෙදර කුණු බක්කි කිහිපයක් තිබුණේ නැහැ. හැම කුණක්ම දාන්න තිබුණේ එකම එක කුණු බක්කියක් පමණයි. ඒ නිසා, ඒ දවස් වල අප ඒ දෙයම කරන එකේ තේරුමක් තිබුණේ නැහැ. නමුත්, පසුව අපිත් වෙන වෙනම කුණු බක්කි කිහිපයක් ඇණවුම් කළා.
දැන් අපේ ගෙදර "සාමාන්‍ය" කලවම් කුණු දමන බක්කිය පිරෙන්නේම නැති තරම්. ගෙදර එකතු වන කුණු වලින් විශාල ප්‍රමාණයක් කාඩ්බෝඩ් හෝ කඩදාසි, ටින් වැනි ලෝහ, වීදුරු බෝතල්, ප්ලාස්ටික් යන කැටගරි හතරෙන් එකකට වැටෙන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කුණු. බක්කියේ ඉඩ මදි වෙන්නේ මේ ප්‍රතිචක්‍රීකරණය කළ අපද්‍රව්‍ය දමන්නයි. මුලින් වුනේ එහි අනිත් පැත්තයි. ආහාර අපද්‍රව්‍ය කොම්පෝස්ට් කරන්න පටන් ගත්තට පස්සේ කලවම් කුණු බක්කියට කලින් වැටුණු කුණුත් නැතුව ගිහින්.
සමහර අය හිතා ඉන්නවා වගේ කුණු කියන්නේ සම්පතක් නෙමෙයි. කුණු කුණුම තමයි. උඩින් ලියපු දේවල් ඇතුළු බොහෝ දේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වුවත් අනුන්ගේ කුණු එකතු කරගෙන ගිහින් ප්‍රතිචක්‍රීකරණය කර විකිණීමෙන් ලාබයක් ලැබිය හැකියි කියා මා හිතන්නේ නැහැ. ඒ නිසා කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වියදමෙන් කොටසක් තමන්ගේ කුණු බැහැර කරන්න අවශ්‍ය කුණු වල අයිතිකාරයින්ටත් ගෙවන්නම වෙනවා.
අපේ ගෙදර එකතු වන කුණු වෙනුවෙන් අප ගෙවිය යුතු මිල තීරණය වෙන්නේ අප විසින් තෝරා ගන්නා කුණු බක්කි ගණන හා ඒවායේ ප්‍රමාණය මතයි. කුණු ඔක්කොම එකම බක්කියකට දමනවානම් ගෙවන්න වෙන්නේ අඩු මිලක්. විවිධ වර්ග වල කුණු වෙනුවෙන් බක්කි කිහිපයක් නඩත්තු කරන්න වැඩි මිලක් ගෙවන්න වෙනවා. නමුත්, අප වගේම තවත් බොහෝ දෙනෙක් කැමැත්තෙන්ම ඒ මිල ගෙවනවා. ඒ නිසා, අපේ කුණු වලින් විශාල ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය වෙනවා. සෞඛ්‍යාරක්ෂිත ලෙස වළලා දමනු ලැබෙන්නේ මෙසේ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ඉතුරු කුණු ප්‍රමාණය පමණයි.
මුල් කාලයේ අප මෙසේ කුණු බක්කි කිහිපයක් නඩත්තු කළේ නැහැ. එයට එක් හේතුවක් වුනේ ඒ දවස් වල අපේ ආදායම් මට්ටම අනුව කුණු වෙනුවෙන් ලොකු මිලක් ගෙවන්න පුළුවන් කමක් නොතිබීමයි. මිනිස්සුන්ගේ ආදායම් ඉහළ ගොස් මූලික අවශ්‍යතා සපුරා ගැනීම අභියෝගයක් නොවන තැනට ආවහම අනෙක් මිනිස්සු ගැනත්, පරිසරය ගැනත් හිතන්න පුළුවන්කමක් ලැබෙනවා. පණ ගැට ගහ ගැනීම අභියෝගයක් වී තිබියදී ඔය වගේ දේවල් ගැන හිතන්න අමාරුයි.
කුණු බැහැර කිරීමේ මිල ගෙවිය යුත්තේ කුණු නිපදවන අයයි. එය වෙනත් අයෙකු මත පටවා ඇඟ බේරා ගැනීම සාධාරණ දෙයක් නෙමෙයි. තමන්ගේ කුණු බැහැර කිරීමේ මිල ස්වකැමැත්තෙන් තමන් විසින්ම ගෙවන තැන දක්වා සමාජයක් එක වර පරිණත වෙන්නේ නැහැ. මුදලින් ගෙවන මිල වගේම උඩින්ම ලියූ පරිදි හිස් පොල් කිරි ටින් එක හෝදන්න යොදවන ශ්‍රමයත් මේ මිලේ කොටසක්. අප මෙය අපේ මස්සිනාගෙන් ඉගෙන ගත්තාක් මෙන් ඔහු තවත් කාගෙන් හෝ ඉගෙන ගන්න ඇති.
ලංකාවේ කුණු ප්‍රශ්නය කාලයක් තිස්සෙම තිබෙන එකක්. මේ ප්‍රශ්නය රට නාගරීකරණය වීමත් එක්ක ක්‍රමයෙන් ඇති වූ ප්‍රශ්නයක්. අනුන්ගේ වත්තකට හෝ පාරට කුණු දමන තැනක ඉඳලා කුණු වර්ග කර බැහැර කරන හා එහි මිල ගෙවන තැන දක්වා එකවර වෙනස් වෙන්න බැහැ.
දෙවසරකට පෙර සිංහල අවුරුදු සමය ගෙවුනේ විශාල ඛේදවාචකයක් එක්කයි. කුණු කන්දකට යට වී මිනිස්සුන්ට මිය යන්න සිදුවුණු එකම රට ලංකාව නොවුනත් එවැනි දෙයක් වුනු එකෙන් ප්‍රතිපත්ති සම්පාදනයේදී කොහේ හෝ විශාල වැරැද්දක් සිදුව තිබෙන බව පැහැදිලිව පෙනෙනවා.
කොළඹ කුණු කියන්නේ ලංකාවේ කාලයක් තිස්සේ පැවතුණු විශාල ප්‍රශ්නයක්. මේ කුණු කලවම් කුණු. ඇමරිකාවේදී හෝ වෙනත් ඕනෑම දියුණු රටකදී වුවත් මෙවැනි කලවම් කුණු සනීපාරක්ෂිතව වළලා දමනු හැර වෙන කළ හැකි දෙයක් නැහැ. ඇමරිකාවේ තරම් හිස් බිම් නැති ලංකාව වගේ රටක කුණු ප්‍රශ්නය ගොඩක්ම සංකීර්ණයි.
මීතොටමුල්ල ඛේදවාචකය සිදු වූ දවස් වල බොහෝ දෙනෙක් ඒ ගැන කතා කළා. නමුත්, ලංකාවේ සාමාන්‍ය ක්‍රමය සිද්ධියක් සිදු වී කලක් යද්දී එය කාටත් අමතක වී යාමයි. කුණු ප්‍රතිචක්‍රීකරණය කොහොම වෙතත් කුණු ප්‍රශ්නය ඇතුළු ලංකාවේ සමාජයීය ප්‍රශ්න ප්‍රතිචක්‍රීකරණය කරන එකනම් බොහොම සාමාන්‍ය දෙයක්.
මේ චක්‍රය බිඳ දමමින් කුණු වගේම කුණු ප්‍රශ්නයත් සනීපාරක්ෂිතව වළලා දමන්න උත්සාහයක් ගැනෙමින් තිබීම සතුටට කරුණක්. කවුරු කළත් හොඳ දේ අගය කළ යුතුයි.
Subscribe to:
Post Comments (Atom)
පොල්කිරි ටින් එකක්, සැමන් ටින් එකක් හෝදල කුණු බක්කියට දාන තත්වෙට මේ රට පත්වෙන්න තව සෑහෙන කාලයක් යාවි.
ReplyDeleteFacebook එකේ මේ ලගදි ලංකාවේ කාර් වල ගානයි ඇමරිකාවේ කාර් වල ගානයි සංසන්දනය කරලා ෆොටෝ වගයක් share උනා. මම ඒ අයගෙන් ඇහුව ප්‍රශ්නේ තමයි රෝහල් ගාස්තු සහ පාසල් ගාස්තුත් ඔය විදිහටම share කරන්න කියල. ලංකාවේ අඩු පාඩු තියෙනවා. ඉස්පිරිතාල වල ඇදන් නෑ. සමහර වෙලාවට බෙහෙත් නෑ. හැබැයි අසරණ මිනිස්සු මැරෙන්න අරින්නේ නෑ. මේ තියෙන්නේ ඇමරිකාවේ ලිපියක්. පපුවේ අමාරුවක් හැදුන මනුස්සයෙක්ට මුලික ප්‍රතිකාර කරලා දවසක් රෝහලේ තියාගත්තට රෝහල් ගාස්තුව ඩොලර් 26000 ක්. රුපියල් ලක්ෂ 46.5 ක්. මිනිස්සු බංකොලොත් වෙලා මහා පාරට වැටෙනවා ලෙඩ හැදුනම. අමෙරිකාවේ බංකොලොත් භාවය ප්‍රකාශ කරන මිනිස්සු 100 ගෙන් 60 කම හේතුව විදිහට කියල තියෙන්නේතියෙන්නේ මෙඩිකල් බිල් එක ගෙවාගන්න බෑ කියන එක. හැබැයි ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපි අපේ රටේ වැරදි විතරක් උදේ හවස හොයා හොයා ඉන්නකොට අපිත් දන්නෙම නැතුව මේ රට එපා වෙනවා. මේ රටේ වැරදි වලට වඩා හොද වැඩියි. හැබැයි මිනිස්සුන්ට පෙන්නේ වැරදි විතරයි. උඩ ඉන්න නාකි සීයල ටිකයි මේ රට උන්ගේ බුදලයක් කියල හිතාගෙන ඉන්න උන්ගේ පුත්තු ටිකයි පන්නල අලුත් රටට ආදරේ අවංක නායකයෝ ටිකක් පත්කර ගත්තු දවසට මේ රට ඉබේම හැදෙයි. ඒ දවස හෙට අනිද්දම එයි.
ReplyDelete1)ඇමරිකාවේ හොරෙන් Visa නැතුව ඉන්න කට්ටිය ඔය කියන ඇමරිකානුවන්ට වත් 60% වත් අදාල වෙන්නේ නැ.
Delete2)ඇමරිකාවේ Medical Treatment කරන්නේ ලංකාවේ වගේ නෙමේ (Body එක කපල බලල operation එක decide කරන්නේ නැ ලංකාවෙත් හරියට Scan කරලා කරොත් ඔය ගානටම වියදම යනවා labor cost තාම ලංකාවට වඩා වැඩි , medicine ආණ්ඩ items ගොඩක් ඉන්දිඅන්,බන්ගලිදේශ් ඒවා ලංකාවේ තියන්නේ )
3)60% මෙඩිකල් බිල් එක ගෙවාගන්න බෑ මේවා කටකතා නැතුව Direct Link තියනවද ? (මොකද refugee , Student විසා , හොරෙන් විසා නැති කට්ටිටියගේ කට කතා වැඩක් නැ. ඒ කට්ටිය ඇමරිකානුවන්ට වත් , PR කට්ටියවත් නෙමේ )
4) "උඩ ඉන්න නාකි සීයල ටිකයි මේ රට උන්ගේ බුදලයක් කියල හිතාගෙන ඉන්න උන්ගේ පුත්තු ටිකයි පන්නල අලුත් රටට ආදරේ අවංක නායකයෝ ටිකක් පත්කර ගත්තු දවසට මේ රට ඉබේම හැදෙයි. ඒ දවස හෙට අනිද්දම එයි."
මෙ කතාවට නම් ඔබ සමග 100% එකග වෙනවා.
(අපේ තාත්ත අම්ම මෙහෙම බලාගෙන හිටිය අපිට පොඩි කලේ අපේ තාත්තා සිය ඔය කතාව කීප වතාවක් කියල තියනවා... නමුත් තාම එහෙම උනේ නැ... :(
නමුත් එහම කියල මගේ ජිවිතේ හොදම කාලය මෙ වගේ රටකට යට කරන්න කැමති නැති නිසා තමා අපි අවේ...)
මීතොටමුල්ල පුපුරලා
ReplyDeleteදෙවසරක් ගතවෙලා
සාලාව සාමසර කන්ද
මතකයෙන් ගිලිහිලා
මහහඬින් බැනවැදී
උන්ටම චන්දෙ දීලා
අපි ඉඳිමු හිනැහිලා
රට හැදෙයි රට හැදෙයි
ඉබේටම සිතලා!!
මට නම් පොඩ්ඩක් ආඩම්බරයි. අවුරුදු විසිපහකටත් එහා ඉඳලා අපේ ගෙදර 'දිරන කුණු' දාන්නේ ගෙය පිටිපස්සේ කුණු ගොඩකට. නොදිරන ඒවා විතරක් වෙනම එකතු කරලා 'නගර සභාවෙන්' එන කුණු ලොරියට ගන්න තියනවා. (අපේ ඉඩම පර්චස් 10 ටත් අඩු එකක් වෙලත්!)
ReplyDeleteමං 'පේපර් සර්වියට්ස්' ගේන්නේ නැහැ. පාවිච්චි කරන්නේ රෙදි ඒවා.
අනුන්ගේ කුණු වෙනවා නම් 'අපේ කුණු' ගැන අපි කොච්චර නිර්ලෝභිද කියලා මම ලබපු හොඳම අත්දැකීම ලැබුවේ විල්පත්තුවෙදී. ඒ ගැන මං 'නිදිගෙ පංච තන්තරේ' බ්ලොගය ලියද්දී 'අපේ කුණු අපට එපාවී' කියලා පෝස්ට්ස් දෙකකින්ම ලිව්වා, 2018 ජුනි මාසෙදි.