වෙබ් ලිපිනය:

Sunday, March 24, 2019

2018 ආර්ථික වර්ධනය 3.2%ට බසී!


පසුගිය වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ සංඛ්‍යාලේඛණ ඇතුළත් ජාතික ගිණුම් ඇස්තමේන්තු ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. වසර තුළ ආර්ථිකය වර්ධනය වී තිබෙන්නේ 3.2%කින් පමණයි.

මෙය ඉතා පහළ වර්ධන වේගයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. 1977න් පසු මේ මට්ටමට වඩා අඩු ආර්ථික වර්ධන වේගයක් දකින්න ලැබුණේ කටුනායක එල්ටීටීඊ ප්‍රහාරය හේතුවෙන් ආර්ථිකය අකර්මන්‍ය වූ 2001දී හා ජවිපෙ/දේජව්‍යා විසින් රටේ ආර්ථික කටයුතු අඩපණ කළ 1987-89 වසර තුනේදී පමණයි.

වත්මන් ආණ්ඩුව ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට අසමත්ව සිටින බව මේ වන විට ඉතා පැහැදිලි කරුණක්. 2014දී 5%කින් වර්ධනය වූ ලංකාවේ ආර්ථිකය ඉන් පසු වසර වලදී වර්ධනය වී තිබෙන්නේ මෙලෙසයි.

2015 - 5%
2016- 4.5%
2017- 3.4%
2018- 3.2%

ප්‍රවණතාව තිබෙන්නේ කොයි දිශාවටද කියන එක බැලූ බැල්මටම පෙනෙනවා. සාමාන්‍යයක් ලෙස පසුගිය 205-2018 වසර හතර ඇතුළත ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4%ක් පමණයි. මේ වසරේදී තත්ත්වයේ ලොකු වෙනසක් සිදුවෙයි කියා හිතන්න අමාරුයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි 2002-2004 කාලයද ඇතුළත්ව, නිදහසින් පසු ලංකාවේ අගමැතිව සිටි කිසිදු එජාප අගමැතිවරයෙකුගේ කාලයේදී හෝ 1977න් පසු අගමැතිව සිටි එජාප නොවන අගමැතිවරයෙකුගේ ධුර කාලය තුළ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 4% මට්ටමට වඩා අඩු වී නැහැ. එවැනි අඩු ආර්ථික වර්ධනයක් පැවතී තිබෙන්නේ සමාජවාදී ප්‍රතිපත්ති වලට වඩා බරවූ 1956-64 හා 1970-77 බණ්ඩාරනායක යුග වලදී පමණයි.

ආර්ථිකය අවශ්‍ය මට්ටමට වඩා ප්‍රසාරණය වී ඇති අවස්ථාවක ආර්ථික වර්ධනය යම් තරමකින් මන්දගාමී වී ආර්ථිකය එහි විභව මට්ටම කරා පැමිණීම ස්වභාවික දෙයක් වනවා මෙන්ම හැමවිටම නරක දෙයක් නෙමෙයි. නමුත්, ලංකාවේ තත්ත්වය තවදුරටත් එවැනි තත්ත්වයක් පමණක් සේ හඳුනාගත නොහැකියි.

මහින්ද රාජපක්ෂ කාලයේ පැවති සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධනයට රජය මූලිකව සිදුකළ ඉදිකිරීම් වලින් විශාල දායකත්වයක් ලැබුණා. ඒ ඉදිකිරීම් කළේ ණය ගනිමිනුයි. එම ආණ්ඩුවේ උපාය මාර්ගය වූයේ විදේශ ණය ගනිමින් රාජ්‍ය ආයෝජන ඉහළ මට්ටමක පවත්වා ගැනීම මගින් ආර්ථික වර්ධනය වේගවත් කිරීමයි. මෙය මුලින්ම ජේආර් ජයවර්ධනගේ ආර්ථික උපාය මාර්ගයද වූ අතර ජේආර්ගේ ආණ්ඩුව එහි පල නෙලාගත්තා. කෙසේ වුවත්, මේ ආර්ථික උපාය මාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාව ණය උගුලක පැටළුනා.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රමුඛතාවය වුනේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමට කලින් රටේ ආර්ථිකයේ මූලික ආකෘතිමය ප්‍රශ්න වලට විසඳුම් හෙවීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සැලසුම් හදන විට කරන්නේත් එයයි. රනිල් අගමැති වීමෙන් අනතුරුව ප්‍රධාන වශයෙන්ම බදු වැඩි කිරීම් හා රාජ්‍ය ආයෝජන සීමා කිරීම මගින් රජයේ අයවැයෙහි අසමතුලිතතා අඩු කරගැනීමට උත්සාහ දැරුවා. ඒ වගේම ගෙවුම් ශේෂ ප්‍රශ්නයට විසඳුමක් ලෙස විණිමය අනුපාතිකය යම් තරමකට නිවැරදි වෙන්න ඉඩ හැරියා.

කෙසේ වුවත්, මේ කරුණු දෙකේදීම ආණ්ඩුව අවශ්‍ය තරම් දුර යාමට පැකිළුණු නිසා හෝ ආණ්ඩුව ඇතුළේ පැවති අර්බුද හා රටේ දේශපාලනික වාතාවරණය හමුවේ අවශ්‍ය දුර යා නොහැකි වූ නිසා මේ ක්‍රියාමාර්ග හරහා කැපී පෙනෙන වෙනසක් දැකීමට පුළුවන් වී නැහැ. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග වලට අමතරව දිගුකාලීන ආර්ථික සංවර්ධනයට හේතු වන සුවිශේෂී සැලසුම් කිසිවක් පසුගිය කාලය තුළ දකින්න ලැබුණේ නැහැ.

රනිල් ඇතුළු එජාප ආණ්ඩුවේ දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්තිය පසුගිය වසර හතර ඇතුළත අනුගමනය කළ ප්‍රතිපත්තියම බව පැහැදිලියි. එමඟින් ලොකු ආර්ථික වර්ධනයක් නැතිව, ආර්ථිකය කඩා වැටෙන්නෙත් නැතුව කලක් ඔහේ ඇදගෙන යන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දුවට පහර නොදී ලෑල්ල දමමින් ඉන්නවා වගේ වැඩක්.

ඊට සාපේක්ෂව මහින්ද වටා සිටින ආර්ථික උපදේශකයින් තවමත් රාජ්‍ය ආයෝජන ඉහළ නැංවීම වෙනුවෙන් පෙනී සිටින බවක් පෙනෙනවා. එය කරන්න වෙන්නේ දිගින් දිගටම තවත් විදේශ ණය ගැනීම හරහා පමණයි. මේ වන විට ලබාගෙන තිබෙන විදේශ ණය ආපසු ගෙවීමද දිනෙන් දින වඩ වඩා අභියෝගාත්මක වන පසුබිමක ඒ ආර්ථික උපාය මාර්ගය දිගුකාලීනව ඉතා අවදානම් සහගත එකක්. එහෙත්, එමඟින් කෙටිකාලීනව ආර්ථිකය ප්‍රසාරණය කරන්න වගේම විණිමය අනුපාතිකය කෘතිමව පහළින් තබාගන්නත් පුළුවන්. මේ විදිහට සීමාවෙන් ඉදිරියට පැන පහර දී ගොඩයන්න යම් ඉඩක් තිබුණත්, ඉක්මණින් විකට් ගැලවෙන්න තිබෙන ඉඩ ඊට වඩා වැඩියි.

ලංකාව හමුවේ තිබෙන මහින්ද කණ්ඩායමේ හා රනිල් කණ්ඩායමේ ආර්ථික උපාය මාර්ග දෙකම ප්‍රශ්නයෙන් ගොඩ යන්න (හෝ නොයන්න) තිබෙන විකල්ප දෙකක්. මේ උපාය මාර්ග වල ප්‍රතිඵල හරියටම දැනගන්න ලැබෙන්නේ ක්‍රියාත්මක කර වසර ගණනාවකට පසුවයි. මේ දෙමග හැර වඩා හොඳ තෙවන මගක් නැද්ද? ඉහත කණ්ඩායම් දෙක හැර වෙනත් කිසිවෙකුට ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙනයාම පිළිබඳව ප්‍රායෝගික සැලසුමක් ඇති බවක් දැනටනම් පෙනෙන්නට නැහැ.

11 comments:

  1. Let's try Pa Cha Ranawaka or Premadasa junior in 2020, we have minimum two qualified/experienced economists in the govt but Fashion Designer is finance minister (what do you expect?)

    Ranil is not a business friendly/savvy PM. I saw his talk in Parliament about how he got John Keells share price down by cancelling a casino licence. So much for business friendly UNP govt (Ranil is JVP now, distracting the economy)

    Now they can blame MS for 56 days bla bla. (okkoma kunu beruwal bokkata)

    ReplyDelete
  2. ලංකා විදුලි බල මණ්ඩලය විසින් රට පුරා විදුලිය කපා හැරීම සඳහා වන කාල සටහනක් නිවේදනයට පත් කර තිබේ.

    ඒ අනුව කලාප ගණනාවක් වශයෙන් සහ වෙලාවල් ඛාණ්ඩ කිහිපයක් යටතේ විදුලි කප්පාදුව සිදු කෙරේ.

    විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කර ඇති එම වේලා සටහන් සහ කලාප සටහන මෙසේ දැක්වේ.

    සටහන බලන්න මෙතනින්

    https://drive.google.com/file/d/1iCP6UhqsKk5XIl4dnSkpZ1PZU_l-VbVo/view

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයෙහි තිබෙන රාජ්‍ය ඒකාධිකාරය පවතින තුරු ඔය වගේ දේවල් දිගින් දිගටම සිදුවෙයි.

      Delete
    2. ඔබ පවසන දේ පැහැදිලි නැහැ - වර්තමාන විදුලි අර්බුදයට ප්‍රධානතම හේතුව බලාගාර නිසි වේලාවට ඉදිනොකිරීම කියලයි මම හිතුවේ

      Delete
  3. ඔය ණය ගෙවිල්ලයි රටේ බිස්නස් අඩු වෙන එකයි අතර තියන සම්බන්දෙ මොකද්ද?

    ReplyDelete
    Replies
    1. රජයේ වියදම් ඉහළ යනවා කියන්නේ රටේ ගෘහස්ථ හා ව්‍යාපාරික අංශ වලට පිටින් සල්ලි එනවා කියන එකයි. මෙය විවිධ ආකාර වලින් වෙන්න පුළුවන්. රජය මුල් වී, ණයට ගත් අරමුදල් වැය කරමින්, මහා පරිමාණ හෝ සුළු පරිමාණ ව්‍යාපෘති ආරම්භ කළ විට ඒවායේ කොන්ත්‍රාත් හෝ උප කොන්ත්‍රාත් ගන්න අයට ව්‍යාපාරික අවස්ථා හිමි වෙනවා. එම ව්‍යාපාරිකයින්ට ලාබ ලෙස ආදායම් ලැබෙනවා. ඒවායේ සේවය කරන අයට වැටුප් ලෙස ආදායම් ලැබෙනවා. ඒ වගේම, රජයේ ප්‍රාග්ධන වියදම් නොවන පුනරාවර්තන වියදම් වැඩිවන විටත් රට ඇතුළට මුදල් ගලා එනවා. රජය භාණ්ඩ හා සේවා වැඩි වැඩියෙන් මිල දී ගන්නා විට රටේ ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික අවස්ථා වැඩි වැඩියෙන් හිමි වෙනවා. රාජ්‍ය සේවක වැටුප් ඉහළ යන විට රජයේ සේවකයින්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ ගොස් රට ඇතුළේ භාණ්ඩ හා සේවා වලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. එවිට නිෂ්පාදකයින්ගේ ආදායම් හා ලාබ ඉහළ යනවා. ව්‍යාපාරික අවස්ථා වැඩි වෙනවා. නමුත්, මේ දේවල් කරන්න මුදල් හොයා ගන්නේ බදු හරහානම් රජය වියදම් කරන හැම රුපියලකටම රටේ වෙනත් කෙනෙකුට වියදම් කරන්න තිබෙන රුපියක් අඩු වෙන නිසා ඔය කිසිවක් වෙන්නේ නැහැ. මෙහි කියූ වාසිදායක ප්‍රතිඵල ලැබෙන්නේ ණයට ගත් මුදල් වියදම් කරන විටයි. නමුත්, ප්‍රශ්න මතු වන්නේ ගත් ණය ගෙවන විටයි. එවිට රුපියලක ණය ගෙවන්න ගෘහස්ථ හා ව්‍යාපාරික අංශ වලින් රුපියල් දෙකක් බදු සේ අය කරන්න වෙනවා. එවිට රට ඇතුළේ ගෘහස්ථ හා ව්‍යාපාරික අංශ වලට භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය කරන්න තිබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. භාණ්ඩ හා සේවා ඉල්ලුම අඩු වී බිස්නස් වැටෙනවා. දැන් වෙන්නේ ඒකයි.

      Delete
    2. ස්තුතියි, මේ වෙලාවේ සල්ලි අච්චු ගහලා මුදල් සැපයුම වැඩි කලොත් ආර්ථික වර්ධන වේගය වැඩිවෙයි නේද?

      Delete
    3. ඔව්. නමුත් වසර කිහිපයකින් පසුව එහි අහිතකර ප්‍රතිඵලත් දකින්න හැකි වෙයි. මෙහිදී වෙන්නෙත් ණයට ගත් මුදල් වියදම් කරන විට වෙන දෙයම තමයි. මුදල් සැපයුම වැඩි කර වියදම් කළ මුදල් පසුව ආපසු නොගෙවුවත් පසුකාලීනව පොලී අනුපාතික ඉහළ යාම, රුපියල පිරිහීම ආදී හේතු මත රජයේ වැය ඉහළ යනවා.

      Delete
  4. //මේ දෙමග හැර වඩා හොඳ තෙවන මගක් නැද්ද? ///

    ඉන්න එකම කණ්ඩායම ජවිපෙ පමණි.

    ///ඉහත කණ්ඩායම් දෙක හැර වෙනත් කිසිවෙකුට ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙනයාම පිළිබඳව ප්‍රායෝගික සැලසුමක් ඇති බවක් දැනටනම් පෙනෙන්නට නැහැ. ///.

    මේ ඔබගේ ලංකාව ගැන ඇති නොදැනුවත්කම සහ එජාපය වැනි රාජපක්ෂ කම්බ හොර හැත්ත ආරක්ෂා කරන ගමන් අන්ත දූෂිත ලෙස හොරකම් වල යෙදෙන හොර කල්ලියක් ගැන් ඇති මුලාව හෝ වහල් භාවය නිසා ඇතිවී තිබෙන පුස් මතයක් පමණයි. කරුණාකර ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාෂය සහ නවීන සමාජවාදය තුලින් ලන්කාව දියුණු කිරීම ගැන හදාරා මෙවැනි තකතිරු ප්‍රකාශ කිරීම වහාම නතර කරන ලෙස අප ඔබට කියන්නෙමු.

    1. ජවිපෙ ආණ්ඩු කල මාස 14 ඇතුලත අනුර කුමාර සහෝදරයා කෘෂිකර්ම ඇමති ලෙස එම ක්ශේත්‍රයට සිදුකල දේවල්
    https://m.facebook.com/story.php?story_fbid=1585741761687997&id=1525159314412909

    2. ජවිපෙ විජිත හේරත් හා සමන්ත විද්‍යාරත්න සහෝදරවරුන් සංස්කෘතික අමාත්‍යාංශය භාරව සිටියදී සීගිරිය සංරක්ෂණය කල අයුරු
    https://m.facebook.com/story.php?story_fbid=2230103163893242&id=1521651471405085

    3. සුනාම් උවදුරෙන් පසු ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් කටයුතු වලදී ජවිපෙ භූමිකාව
    https://m.facebook.com/story.php?story_fbid=149762782350468&id=100019502404721

    4. ජවිපෙ වැඩ, කල ශ්‍රේෂ්ට සේවයෙන් බිඳක් මේ වීඩියෝ එක නිරීක්ෂණය කර බලන්න.
    https://m.facebook.com/story.php?story_fbid=1106651422848978&id=348964241951037

    5. රට බෙදීම වලක්වා, ඒකීය භාවය රැක ගැනීමට ජවිපෙ කල, කි දේ...
    https://m.facebook.com/story.php?story_fbid=2454787681413125&id=1691249977766903

    6. ජවිපෙට වසර 8 ක් බලය හිමිවී තිබු තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාව පිට පිට වසර ගණනාවක් ලංකාවේ හොදම ප්‍රාදේශීය සභාව බවට පත්කලේ මෙහෙමයි.
    https://m.facebook.com/story.php?story_fbid=1571113619644586&id=574466252642666

    තමන්ගේ මන්ත්‍රී වැටුප් වලින් විශාල කොටසක් පරිත්‍යාග කරලා ජනතා සේවය කරන, රට බෙදෙන එක වලක්වන්න චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එක්වෙලා ඇමති ධූර භාරගන්න උනාම, තමන්ට පුද්ගලිකව වියදම් කරන්න ලැබෙන සල්ලිත් ඉතුරු කරලා පොදු සුභ සිද්ධිය උදෙසා, නොමිලේ සේවක ප්‍රවාහනයට බස් අරන් දීපු ඇමතිවරු, තමන්ට ලැබුනු වාහනත් ආපහු බාර දීලා රටට බරක් නොවෙන්න රාජකාරි කරපු ඇමතිවරු හිටිය දේශපාලන පක්ෂයක් මේ රටේත් තියනවා... ඒත් අපේ බහුතරයක් මිනිස්සුන්ට එයාලව පොශ් මදි....මේ ලින්ක් වල තියන පෝස්ට්, වීඩියෝ බලලා ඔබේ යල්පැනගිය හණමිටි නොමේරූ ලාමක ප්‍රතිගාමී අදහස් වෙනස් කරගෙන ජවිපෙ සමග එක්වන්න ������

    1. https://www.facebook.com/361719574313658/posts/570595240092756/

    2. https://m.facebook.com/story.php...

    3. https://m.facebook.com/story.php?story_fbid=1585741761687997&id=1525159314412909

    4.https://www.facebook.com/anurakumara/videos/329545420533245/

    ReplyDelete
    Replies
    1. පුළුවන්නම් මේ සරල ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න.

      ලංකාවේ ණය ප්‍රශ්නය ඇතුළු මෙකී නොකී සියළුම ප්‍රශ්න වලට හේතු වී තිබෙන, දශක ගණනක් තිස්සේ පවතින අඛණ්ඩ හා ක්‍රමයෙන් ප්‍රසාරණය වන රජයේ අයවැය හිඟය නැති කිරීම සඳහා ජවිපෙ විසින් කරන්න බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?

      ප්‍රශ්නය වඩාත් පහසු කිරීම සඳහා,

      රජයේ අයවැය හිඟය = රජයේ ආදායම - රජයේ වියදම

      මේ අනුව එක්කෝ රජයේ බදු ආදායම් ඉහළ දැමිය යුතුයි. නැත්නම් වියදම් අඩු කළ යුතුයි. එසේත් නැත්නම් මේ දෙකම යම් අනුපාතයකට කළ යුතුයි.

      1. රජයේ බදු ආදායම් ඉහළ දමනවානම් එසේ ඉහළ දමන්නේ කවර බදුද? එමගින් උපයන ආදායම් කොපමණද?
      2. රාජ්‍ය වියදම් කපා හරිනවානම් එසේ කපන්නේ කවර අමාත්‍යාංශ වල කවර වියදම්ද? එමගින් අඩු කරන වියදම් කොපමණද?

      කරුණාකර ප්‍රායෝගිකව කළ හැකි හා නිශ්චිත දේවල් ගැන පමණක් කියන්න.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: