වෙබ් ලිපිනය:

Sunday, March 10, 2019

ලංකාවේ ජෙෆ් බෙසෝස්ලා නැත්තේ ඇයි?


පසුගිය ලිපියෙන් අපි මේ මොහොතේ ලෝකයේ ලොකුම ධනවතා වන ජෙෆ් බෙසෝස්ගේ වත්කම් ගැන කතා කළා. එම වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 134.4ක්. 2017 වසර ඇතුළත ලංකාවේ නිපදවූ සමස්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණයේ වෙළඳපොල මිල, එහෙමත් නැත්නම් එම වසරේ සියළුම ලාංකිකයින් විසින් ඉපැයූ ආදායම් එකතුව ලෙස සැලකිය හැකි රටේ දළ දේශීය නිෂ්පාදිතය වූයේ ඩොලර් බිලියන 87.17ක් පමණයි.

ජෙෆ් මේ තරම් ධනවතෙක්ව සිටින්නේ ඔහුගේ දෙමවුපියන් විශාල ධනවතුන්ව සිටි නිසා නෙමෙයි. ඔහු ඉපදෙන විට ඔහුගේ ජීව විද්‍යාත්මක පියා පැයකට ඩොලර් 1.25ක වැටුපට තාවකාලික රැකියා කළ අවුරුදු 19ක ගැටවරයෙක්. පාසැල් සිසුවියක වූ ජෙෆ්ගේ මව ගැබ් ගනිද්දී ඇයගේ වයස අවුරුදු 16ක් පමණයි. ජෙෆ්ගේ ජීව විද්‍යාත්මක පියා වන ටෙඩ්ගේ වයස අවුරුදු 18ක් පමණයි.

හොඳ පියෙකු හෝ සැමියෙකු නොවූ ටෙඩ් ජෙෆ් හා ඔහුගේ මව ජැකීව අතහැර යන විට ජෙෆ්ට අවුරුද්දක්වත් නැහැ. ඉන්පසු කවදාවත් නැවත ජෙෆ්ව හෝ ජැකීව හමු නොවන ටෙඩ් මිය යන්නේත් ඇමරිකානු සම්මත අනුව බැලුවොත් "නිර්ධන පාංතිකයෙක්" ලෙසයි. ටෙඩ්ගේ ජාන හැර ඔහුගෙන් ජෙෆ්ට උරුම වූ දෙයක් නැහැ.

ජෙෆ්ගේ ජීවිතය විශාල ව්‍යසනයක් නොවන්නේ ඔහුගේ මව ජැකීට හමුවන ඇගේ දෙවන සැමියා මයික් නිසයි. ජෙෆ්ගේ නීත්‍යානුකූල පියා වන්නේත්, ඔහුගේ ව්‍යාපාරයේ මුල්ම ආයෝජකයෙකු වන්නේත් මයික්. නමුත්, මයික් කියන්නේත් ගැටවර වියේදී සූට්කේසයක් පමණක් අතින් ගෙන කියුබාවේ සිට ඇමරිකාවට පැමිණි සරණාගතයෙකු මිස ධනවතෙක් නෙමෙයි. ජෙෆ් සමඟ ජැකීව භාර ගන්නා විට ඔහු ශිෂ්‍යත්ව මුදලකින් ඉගෙන ගන්නා සරසවි සිසුවෙක් පමණයි.

ජෙෆ් බෙසෝස් ලෝකයේ ලොකුම ධනවතා වන්නේ ඔහුගේ දෙමවුපියන් ධනවතුන් වූ නිසා නෙමෙයි. ඔහු ඉපදෙන්නේ ලෝකයේ වෙනත් බොහෝ අය වගේම උරුමයෙන් ලත් ප්‍රාග්ධනයක් නැතුවයි. ඒ නිසා, ලෝකයේ ලොකුම ධනවතා දෙසට ඇඟිල්ල දිගු කර ධනවාදය කියන්නේ දුප්පතුන් තවත් දුප්පත් කරන, පෝසතුන් තවත් පෝසත් කරන ක්‍රමයක් කියා කියන්න බැරි බව පැහැදිලි විය යුතුයි. වෙනත් බොහෝ ධනවතුන්ගේ ජීවිත කතා පිටුපසත් ඔය වගේම කතා තිබෙනවා.

ප්‍රාග්ධනයේ හිමිකරුවකුව නොඉපදුනු ජෙෆ් කුඩා කල සිටම ඉගෙනීමේ දක්ෂ දරුවෙක්ව සිට ඇති බව පෙනෙනවා. ඔහුගේ දක්ෂකමින් ඔහු ප්‍රින්ස්ටන් සරසවියට ඇතුළු වෙනවා. කෙසේ වුවත්, කුඩා කල සිටම ඉගෙනීමේ දක්ෂතා දක්වන ළමුන් සියළු දෙනාම ජෙෆ් මෙන් ධනවතුන් වන්නේ නැහැ.

ප්‍රින්ස්ටන් සරසවියේ තමන්ගේ කණ්ඩායමේ සිටි දක්ෂතම සිසුවා ලෙස ජෙෆ් විසින්ම හඳුන්වා තිබෙන යසන්ත ශ්‍රී ලාංකිකයෙක්. දින කිහිපයකට පෙර වාර්තා වූ පරිදි එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෙකුගේ දියණියක් මෙන්සා සාමාජිකත්වය ගැනීම සඳහා මුහුණ දුන් පරීක්ෂණයේදී අයින්ස්ටයින්ගේ IQ ලකුණු මට්ටමද ඉක්මවා ලකුණු ලබාගෙන තිබෙනවා. විවිධ විභාග වලදී ලෝකයේ ප්‍රමුඛ රටවල් අතර ඉදිරියටම පැමිණෙන්නට තරම් දක්ෂතා දක්වන ශ්‍රී ලාංකිකයින් එතරම්ම දුලබ නැහැ. එසේ වුවත් ශ්‍රී ලාංකිකයෙකු ලෝකයේ ධනවතුන් අතර ඉදිරියට එන්න සමත් වී නැහැ. වඩාත්ම ධනය ඉපැයූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයා සේ සැලකිය හැකි රාජ් රාජරත්නම් එය කර තිබෙන්නේත් නිසි අයුරින් නෙමෙයි.

බොහෝ ලාංකිකයින්ගේ ඉලක්කය වන්නේ අධ්‍යාපනය ලබා, ලොකු වැටුපක් ලැබෙන රැකියාවක් හොයාගෙන, එසේ ලැබෙන ආදායමින් සුවපහසු ජීවිතයක් ගත කිරීමයි. මේ ක්‍රමයේ ලොකු වැරැද්දක් නැහැ. උපතින් ප්‍රාග්ධනයකට උරුමකම් නොලබා ඉපදෙන බොහෝ දෙනෙක්ට මුලින්ම ආදායම් ලබාගත හැකි මාර්ගය තමන්ගේ ශ්‍රමය විකිණීමයි. අධ්‍යාපනය කියන්නේ ශ්‍රමය විකිණිය හැකි මිල ඉහළ දමාගත හැකි මාර්ගයක්.

ප්‍රින්ස්ටන් සරසවියෙන් පිටවන ජෙෆ් මුලින්ම යන්නේත් ඉහත කී මාර්ගයේම තමයි. සරසවියෙන් පිටවී වසර හත අටක් යනතුරුම ඔහු කරන්නේ වෙනත් තැන් වල රැකියා කිරීමයි. ඔහු දිගටම මෙසේ තැන් තැන් වල රැකියා කරමින් සිටියානම් ඔහුට සාමාන්‍ය මධ්‍යම පාන්තික ජීවිතයක් වෙනුවෙන් ආදායමෙන් වැඩි මුදලක් වෙන් කරමින් හා විශ්‍රාම දිවිය වෙනුවෙන් යම් මුදලක් ඉතිරි කරමින් ඔහුගේ නීත්‍යානුකූල පියා ගත කළ ආකාරයේ ජීවිතයක් ගෙවන්න තිබුණා. ඔහු එසේ කළානම් අද ඔහු ගැන මෙතරම් කතා කෙරෙන එකක් නැහැ. මේ ලිපිය ලියැවෙන එකකුත් නැහැ.

ජෙෆ්ගේ ජීවිතයේ තීරණාත්මක මොහොත වන්නේ ඔහු රැකියාවෙන් ඉවත් වී, එතෙක් ඉතිරි කරගත් ප්‍රාග්ධනය යොදවා සිය ගරාජයේ සිට අළුත් ව්‍යාපාරයකට අත ගසන මොහොතයි. අද වන විට මේ ව්‍යාපාරයේ වටිනාකම ඩොලර් බිලියන 796.14ක්. 1997 මැයි මාසයේදී ඇමසන් සමාගම පොදු සමාගමක් බවට පත් වන විට එහි වටිනාකම ඩොලර් බිලියන 0.43ක්. එතැන් සිට වර්ධනය පමණක් සැලකුවත් වසර 22ක් ඇතුළත 1,850 ගුණයක වර්ධනයක්. සෑම වසරකම ඇමසන් සමාගමේ වටිනාකම 40%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඇමසන් සමාගමේ වටිනාකම ඉහළ යාමට සාපේක්ෂව එහි ලොකුම කොටස් හිමිකරුවා වන ජෙෆ් බෙසෝස්ගේ වත්කම්ද ඉහළ ගොස් තිබෙනවා.

ඇමසන් සමාගමේ වටිනාකම ඉහළ යන්නේ ඇමසන් කොටසක මිල වසරෙන් වසර ඉහළ යන නිසයි. 1997 මැයි මාසයේදී ඇමසන් කොටසක මිල ඩොලර් 18ක් පමණයි. එම වසරේදී ඇමසන් කොටසක්  මිල දී ගත් අයෙකුගේ කොටසක් තෙවරක් විභේදනය කරනු ලැබ ඇති නිසා මුල් ඇමසන් කොටසක් සමාන වන්නේ වත්මන් කොටස් 12කටයි. ඒ අනුව, වත්මන් කොටසක මිල 1997දී ඩොලර් 1.50ක් පමණයි. මේ වන විට ඇමසන් කොටසක් විකිණෙන්නේ ඩොලර් 1620.80 බැගිනුයි. ඒ කියන්නේ 1997දී ඩොලර් 900ක් ගෙවා ඇමසන් කොටස් 50ක් මිල දී ගත් අයෙක්ට අද එම කොටස් විකුණා ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් ලබාගත හැකි බවයි.

ඇමසන් කොටස් මිල මේ ආකාරයට වසරින් වසර ඉහළ යන්නේ ඇයි?

ඇමසන් කොටසක මිල මේ ආකාරයට දහස් ගුණයකටත් වැඩියෙන් ඉහළ ගොස් තිබෙන්නේ එම කොටස් වලට තිබෙන ඉල්ලුම දිනෙන් දින ඉහළ යන නිසයි. කොටස් ඉල්ලුම ඉහළ යන්නේ ඇමසන් කොටස් වල ආයෝජනය කර ආදායම් ඉපැයීමේ හැකියාව බොහෝ දෙනෙකු විසින් දකින නිසයි. පොදු සමාගමක් වන ඇමසන්හි කොටස් ඕනෑම කෙනෙකුට මිල දී ගන්න බාධාවක් නැහැ.

සමාගම් කොටසක් කියා කියන්නේ වත්කමක්. වත්කමක් කියන්නේ අනාගතයේ ආදායමක් ඉපදවීමේ විභවයක් ඇති දෙයක්. ගෙයක්, ඉඩමක් හෝ වාහනයක් යමෙකුගේ වත්කමක් විය හැකියි. සමාගම් කොටසක් හා අදාළව මෙසේ අනාගතයේ ලැබෙන ආදායම සමාගමේ ලාභාංශයි. සමාගම් ලාබ ලබද්දී එම ලාබ සියල්ලම හෝ කොටසක් කොටස් හිමිකරුවන් අතර ලාභාංශ ලෙස බෙදා දෙනු ලබනවා.

කෙසේ වුවත්, මෙහිදී ඇමසන් සමාගම විශේෂයි. එම සමාගම සමාගම පිහිවීමෙන් පසුව ගත වූ සියවස් කාලකට කිට්ටු කාලය තුළ සමාගමේ කොටස් හිමිකරුවන්ට ලාභාංශ සේ කිසිදු මුදලක් ගෙවා නැහැ. වෙනත් අයුරකින් කිවුවොත් ඇමසන් සමාගමේ ලොකුම කොටස් හිමිකරු වන ජෙෆ් බෙසෝස් ඇතුළු කිසිවෙකුට ඔවුන් ඇමසන් කොටස් වල ආයෝජනය කළ මුදල් වෙනුවෙන් ලාභාංශ සේ මේ වන තුරුත් කිසිදු ප්‍රතිලාභ මුදලක් ලැබී නැහැ.

වත්කම් හා ආදායම් කියන්නේ කරුණු දෙකක්. වත්කම් තිබූ පමණින් හෝ වත්කම් වල මිල වැඩි වූ පමණින් යමෙකුගේ ආදායම් වැඩි වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස කඩවත නගරය ආසන්නයේ පරම්පරාවෙන් උරුම වූ අක්කර කිහිපයක මුඩු ඉඩමක් හිමි අයෙක් ගැන හිතමු. කඩවත පැත්තේ ඉඩම් මිල වසරින් වසර ඉහළ යද්දී මේ ඉඩම අයිතිකරුගේ වත්කමත් ඉහළ යනවා. එසේ වුවත් එම ඉඩමෙන් අයිතිකරුට කිසිදු ආදායමක් ලැබෙන්නේ නැහැ. ආදායමක් ලබාගන්නනම් ඉඩම විකිණිය යුතුයි. නමුත්, ඉඩම නොවිකුණා තියා ගත්තොත් වසර කිහිපයකින් පසුව වඩාත් ඉහළ මුදලකට විකිණිය හැකියි.

ඇමසන් කොටස් මිල දී ගන්නා අයකුගේ තත්ත්වයත් ඔය වගෙයි. ඔවුන්ට තමන්ගේ කොටස් හිමිකම නිසා මෙතෙක් කිසිදු ආදායමක් ලැබී නැහැ. ඉදිරි වසර කිහිපය ඇතුළත ඇමසන් සමාගම ලාභාංශ ගෙවන්න සූදානමින් සිටින බවක් පෙනෙන්නත් නැහැ. නමුත්, ඇමසන් කොටසක මිල ඉදිරි කාලයේදීත් ඉහළ යන්න ඉඩ තිබෙන බව පෙනෙන නිසා කොටස් හිමිකම තවදුරටත් පවත්වා ගැනීම වාසිදායකයි.

ඇමසන් සමාගම එය පිහිටුවීමෙන් පසු වසර අටක් යන තුරුම ලාභ ලැබුවේ නැහැ. මෙසේ මුලදී පාඩු ලබමින් පවත්වාගෙන ගිය ඇමසන් සමාගම මෑතක් වන තුරුම විශාල ලාභ ලැබුවේ නැහැ. සමාගම මෙතෙක් ලැබූ ලාභ මුදල් සියල්ලම අනාගතය වෙනුවෙන් එම සමාගමේ ව්‍යාපාරික කටයුතු වලම නැවත ආයෝජනය කර තිබෙනවා. කොටස් හිමිකරුවන්ට ලාභාංශ සේ කිසිදු මුදලක් ගෙවා නැත්තේ ඒ නිසයි.

ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා එහි ප්‍රධාන කොටස් හිමිකරු වන ජෙෆ් බෙසෝස්මයි. ඔහුගේ මූලික වැටුප ඩොලර් 81,840ක් පමණයි. ඇමසන් සමාගමේ බොහෝ සේවකයින්ගේ මූලික වැටුප් ඊට වඩා වැඩියි. සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා ලෙස උපයන මූලික වැටුප හා වෙනත් දීමනා සැලකිය හැක්කේ ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලෙස නොව ශ්‍රමයේ ප්‍රතිලාභ ලෙසයි.

පසුගිය වසර අවසානයේදී ඇමසන් සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 750.99ක්. මේ තක්සේරුව පදනම් වන්නේ ඒ වන විට පැවති ඇමසන් කොටසක මිල මතයි. මිල වෙනස් වන විට සමාගමේ වටිනාකම වෙනස් වෙනවා. ද්වීතියික වෙළඳපොළේ ඇමසන් කොටස් වලට තිබෙන ඉල්ලුම හා සැපයුම වෙනස් වෙද්දී කොටස් මිල වෙනස් වෙනවා.

ඇමසන් කොටස් මිල වැඩි වන විට ජෙෆ් බෙසෝස්ගේ වත්කම ඉහළ යනවා. එසේ වුවත්, ඒ හේතුව නිසා ඔහුගේ ආදායම ඉහළ යන්නේ නැහැ. පුද්ගලයෙකුගේ වත්කම් හිමිකම් හා ආදායම් අතර පැහැදිලි සම්බන්ධයක් තිබුණත් එය සෘජු සම්බන්ධයක් නෙමෙයි. ගෙවල් තුනක හිමිකරුවෙකු වන කොටුව දුම්රියපොළේ හිඟන්නා උපයන ආදායම මෙන්  කිහිප ගුණයක ආදායමක් තමන්ටම කියා නිවසක් නැති රන්ජන් රාමනායක වැනි අයෙක් උපයනවා විය හැකියි.

ඇමසන් සමාගම මෙතෙක් එහි කොටස් හිමිකරුවන්ට කිසිදු ලාභාංශ මුදලක් ගෙවා නැති බව අමතක කර 1997 මැයි මාසයේදී ඇමසන් සමාගම පොදු සමාගමක් බවට පත් වන විට එහි වටිනාකම ඩොලර් බිලියන 0.43ක් වූ බවත්, 2018 වසර අවසානය වන විට එම වටිනාකම ඩොලර් බිලියන 750.99ක් වූ බවත් සැලකූ විට අදාළ කාලය තුළ එම සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 750කට වඩා වැඩියෙන් ඉහළ ගොස් ඇති බව පෙනෙනවා. එසේනම්, අදාළ කාලය තුළ ලාභාංශ නොගෙවුවත් සමාගම එපමණ ලාභ ලබා තිබෙනවාද?

පසුගිය වසර 24ක පමණ කාලය මුළුල්ලේම ඇමසන් සමාගම උපයා තිබෙන ලාභය ඩොලර් බිලියන 19.625ක් පමණයි. එයින්ද අඩකටත් වඩා උපයා තිබෙන්නේ පසුගිය 2018 වසර ඇතුළතයි. 2017 අවසන් වන විට ඇමසන් සමාගම විසින් උපයාගෙන තිබුණු සමස්ත ලාභය ඩොලර් බිලියන 8.636ක් පමණයි. එයින් වැඩි කොටසක් උපයාගෙන තිබෙන්නේත් 2016 හා 2017 දෙවසර ඇතුළතයි. 2015 වසර අවසානය දක්වා වූ වසර විස්සකට වැඩි කාලය තුළ ඇමසන් සමාගම විසින් උපයා තිබුණේ ඩොලර් බිලියන 2.545ක් පමණයි. ඉතා පැහැදිලිවම ඇමසන් සමාගමේ වත්මන් වටිනාකම වන ඩොලර් බිලියන 796.14ක මුදලින් එම සමාගම විසින් ලබා ඇති ලාභ නිරූපණය වන්නේ නැහැ.

ලාභාංශ ගෙවන්නේත් නැති, විශාල ලාභයක් උපයන්නේත් නැති සමාගමක කොටස් වලට මෙපමණ ඉල්ලුමක් ඇති වී කොටස් මිල ඉහළ ගොස් සමාගමේ වටිනාකම විශාල ලෙස ඉහළ ගොස් තිබෙන්නේ එම සමාගමේ අනාගතය පිළිබඳව ආයෝජකයින්ගේ තිබෙන විශ්වාසය නිසයි. පළමුව, ජෙෆ් බෙසෝස් ඇතුළු ඇමසන් සමාගමේ වත්මන් කොටස් හිමිකරුවන් සමාගම ලබන ලාභ ලාභාංශ සේ ඉවත් කර නොගෙන නැවත එහිම ආයෝජනය කරන්නේ එසේ කිරීමෙන් අනාගතයේ වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකි බව ඔවුන් දකින නිසයි. ඇමසන් කොටස් ද්වීතියික වෙළඳපොළෙන් මිල දී ගන්නේත් ක්ෂණික ආදායමක් ලබනු වෙනුවට අනාගතයේ වැඩි ප්‍රතිලාභයක් ලැබෙන තුරු බලා ඉන්න සූදානම් ඉවසීමක් තිබෙන අයයි. එසේ නැතුව සමහර අය කියන විදිහේ "පරිභෝජනවාදීන්" නෙමෙයි.

ඇමසන් සමාගම කියන්නේ අදහසක්. එම අදහස මෘදුකාංගයක් බවට පත් වී ලෝකය පුරා විසිරී සිටින පොත් වෙළෙන්දන්ට හා පාරිභෝගිකයින්ට හමුවිය හැකි පොදු තැනක් ලැබෙනවා. සෛද්ධාන්තිකව මේ වගේ අදහසක් ලංකාවේ සිටින කෙනෙක්ට පහළ වෙන්න බැරිකමක් නැහැ. ලංකාවේ කාට හෝ ජෙෆ් බෙසෝස්ට පෙර මේ අදහස පහළ වුණානම් එය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වන ප්‍රාග්ධනය ලංකාවේදී හොයා ගන්න අපහසු තරම් විශාල මුදලක් නෙමෙයි. අපි නිකමට හිතමු ජෙෆ් බෙසෝස් වෙනුවට ලංකාවේ කවුරු හෝ විසින් මෘදුකාංගයක් ලියලා වැඩේ පටන් ගත්තා කියලා.

මෘදුකාංග ලියන්න ඇමරිකානුවන් තරමටම දක්ෂ අය ලංකාවේ ඉන්නවා. මුල් කාලයේත් හිටියා. ඒ වගේ කෙනෙක් ඇමසන් වගේ වෙබ්සයිට් එකක් ලංකාවේ ඉඳලා හදලා ලෝකය පුරා ඉන්න පොත් වෙළෙන්දන් හා පාරිභෝගිකයින් සම්බන්ධ කරගත්තානම් කලක් යද්දී ඒ වගේ සමාගමක් ඇමරිකාවේ කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කරන එක මහා ලොකු වැඩක් නෙමෙයි.

පසුගිය වසර ඇතුළත ඇමසන් සමාගම විසින් ඩොලර් බිලියන 232.9ක භාණ්ඩ අලෙවියක් සිදු කර තිබෙනවා. එම භාණ්ඩ සඳහා ගෙවා තිබෙන්නේ ඩොලර් බිලියන 139.16ක් පමණයි. ඒ අනුව ඇමසන් සමාගම විසින් පසුගිය වසර ඇතුළත ඩොලර් බිලියන 93.73ක අගය එකතු කිරීමක් කර තිබෙනවා. පසුගිය වසරේ ලංකාවේ සියලුම දෙනා විසින් කර තිබෙන අගය එකතු කිරීම එහෙමත් නැත්නම් රටේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 87.17ක් පමණයි. ඒ කියන්නේ ජෙෆ් බෙසෝස් වගේ එක මනුස්සයෙක් ලංකාවේ හිටියනම් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය වගේම ඒක පුද්ගල ආදායමත් දෙගුණයක් වෙලා. ඒ වගේ හතර දෙනෙක් හිටියානම් ලංකාවේ ඒක පුද්ගල ආදායම පස් ගුණයක් වෙලා.

රටක් ධනවත් රටක් වෙන්නේ ඒ රටේ ඉන්න ආර්ථිකයට වැඩි අගය එකතු කිරීමක් කළ හැකි පුද්ගලයින් ටික දෙනෙක් නිසයි. ජෙෆ් බෙසෝස් වගේ ගොඩක් අය ඇමරිකාවේ ඉන්න නිසා ඇමරිකාව ධනවත් රටක්. ලංකාවේ ඒ වගේ මිනිස්සු නැති නිසා ලංකාව ධනවත් රටක් නෙමෙයි.

ඔක්ස්ෆෑම් සංඛ්‍යාලේඛණය අනුව, ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අට දෙනෙකුගේ වත්කම් වල එකතුව, ලෝක ජනගහණයෙන් වත්කම් පදනම මත දුප්පත්ම මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුවට සමානයි. නමුත්, ඔය අට දෙනාගේ වත්කම් හෙට බිංදුවට බැස්සත්, දහ ගුණයකින් වැඩි වුනත්, ඒ හේතුව නිසා ඔය කියන බිලියන 3.6කගේ වත්කම් වෙනස් වෙන්නේ නැහැ. ඇමරිකානු ධනවාදය තුළ මිනිහෙක්ට පෝසතෙක් වෙන්න තිබෙන අවස්ථා ඔය බිලියන 3.6 ජීවත්වන රටවල නැති බව හොඳින් හොයා බැලුවොත් පැහැදිලි වෙයි.

අපි හිතමු ජෙෆ් බෙසෝස් ලාංකිකයෙක් වෙලා ඇමසන් සමාගම ලංකාවේ සමාගමක් වුනා කියා. එහෙම වුනානම්, ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය අද මෙන් දෙගුණයක්. හැබැයි එයින් අඩක්ම ඇමසන් සමාගමේ. ඒ කියන්නේ රටේ ආදායම් විෂමතාවය අදට වඩා ගොඩක් වැඩියි. හොඳ වෙලාවට ඇමසන් සමාගම ලංකාවේ සමාගමක් නොවූ නිසා ඒ ප්‍රශ්නය නැහැ. යන්තම් හරි ඉහළ වත්කම් තිබෙන ඉතිරි ටික දෙනාගේත් වත්කම් ඒ විදිහට නොතිබුණානම් ලංකාව ආදායම් විෂමතාවයක් නැති රටක්.

ධනවාදී ක්‍රමයක් යටතේ ආදායම් විෂමතාවය වැඩි වෙනවා කියන එක ඇත්තක්. හැබැයි ඒක වෙන්නේ පිරිසක් වඩා වැඩි වේගයෙන් පෝසත් වන නිසා මිසක් දුප්පතුන් තවත් දුප්පත් වන නිසා නෙමෙයි. දුප්පතුන් අඩු වේගයකින් පෝසත් වන නිසයි. ඇමසන් වගේ අදහස් රටේ හැම දෙනාටම එකවර පහළ වෙන්නේ නැහැ. ධනවාදී ක්‍රමයක් යටතේ සිදුවෙන්නේ ඒ වගේ අදහසක් පහළ වූ අයෙක්ට තමන්ගේ අදහස ක්‍රියාත්මක කර ධනය උපයන්න පහසුකම් සලසන එකයි.

ඇමරිකාවේ සම්ප්‍රදායික පොත් වෙළඳසැල් වලින් අලුත් පොත් වගේම පාවිච්චි කරපු පොතුත් මිල දී ගන්න පුළුවන්. මිල බොහෝ විට අලුත් පොතක මිලෙන් 2/3ක් පමණ වෙනවා. මේ වගේ පොතක් පොත් සාප්පුව විසින් මිල දී ගන්නේ එහි මිලෙන් 1/3ක පමණ මුදලකට.

මමනම් පෞද්ගලිකව පොත් එකතු කරන්න කැමති කෙනෙක්. ඒකත් තණ්හාවක් තමයි. එහෙම නොකරන කෙනෙකුට කියවපු පොතකින් වැඩක් නැහැ. අනික් අතට පුසුඹ ගහන අලුත් පොතකට දෙන ගානට වඩා අඩු මිලක් ගෙවා කලින් කෙනෙක් කියවපු පොතක් කියවන එකෙත් අවුලක් නැහැ. සම්ප්‍රදායික පොත් සාප්පුවක් හරහා මේ වගේ ගනුදෙනුවක් සිදුවන විට පොතේ මිලෙන් 1/3ක් පමණ පොත් සාප්පුවට යනවා. ඇමසන් හරහා ඔය වැඩේ සිදුවන විට ඇමසන් සමාගම ඒ තරම් ලොකු ලාභ ආන්තිකයක් තියා ගන්නේ නැහැ.

පොතක් ඇමසන් එකෙන් ගන්න කෙනෙක් එසේ කරන්නේ වෙනත් තැනකින් ඊට වඩා අඩු මිලකට එය ගන්න හැකියාවක් නැත්නම් පමණයි. ඒ වගේම ඇමසන් හරහා පොතක් විකුණන කෙනෙක් එසේ කරන්නේත් වෙනත් අයුරකින් වැඩි මිලකට ඒ පොත විකිණිය නොහැකි නිසයි. මේ ගනුදෙනුව හරහා ඇමසන් සමාගම ලාබයක් ලැබුවත් ඒ නිසා ගනුදෙනුවේ පාර්ශ්ව දෙකෙන් එකකටවත් පාඩුවක් වෙන්නේ නැහැ. දෙන්නටම වෙන්නේ වාසියක්. ඇමසන් සමාගමේ ලාභ කියන්නේ ඔවුන් නිර්මාණය කරන ධනයක් මිස කාගෙන්වත් හූරාකන දෙයක් නෙමෙයි.

ජෙෆ් බෙසෝස් ලාංකිකයෙක් වුනා කියා අපි නැවතත් හිතමු. එහෙම වුනානම්, ඇමසන් සමාගම ලංකාවේ තිබුණානම්, එහි සේවය කරන්නේත් ලාංකිකයෝ. ඔවුන්ගේ වැටුප් විදිහට සමාගමේ ලාභ ආන්තිකයෙන් කොටසක් වැය වෙනවා. ගොඩනැගිලි කුලී, විදුලි බිල් ආදිය ලෙස තවත් මුදලක් වැය වෙනවා. රජය බදු ලෙස ලාභයෙන් කොටසක් ගන්නවා. ඔය ආදී වශයෙන් සමාගමේ ලාබ වලින් සෑහෙන ප්‍රමාණයක් විවිධ අයගේ ආදායම් බවට පත් වෙනවා.

ජෙෆ් බෙසෝස් වගේ ධනවතෙක් වෙන්න ඔහුට වගේ සිරා අදහසක් පහළ වෙන්න අවශ්‍යම නැහැ. ඒ වගේ අදහසක් කෙනෙක්ට පහළ වූ විට එම අදහස ගැන විශ්වාසය තබා තමන් සතු මුදලක් මුලින්ම ආයෝජනය කරන කෙනෙකුටත් එවැනිම විශාල වාසියක් ලබන්න පුළුවන්.

ඔය මොනවා කරන්නත් ධනවාදය කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕනෑ. නමුත්, ඇතැම් අය ධනවාදී පක්ෂයක් කියා හඳුන්වන එක්සත් ජාතික පක්ෂය වගේ පක්ෂ වල පවා ඉන්න බොහෝ දෙනෙක් ලොකු ආණ්ඩුවක් කෙරෙහි විශ්වාසය තබන සමාජවාදී මානසිකත්වයේ ඉන්න අයයි. ජාතිකවාදීන් කියා තමන්ව හඳුන්වා ගන්න ඇතැම් අය සමාජවාදයට බැන්නත් ඒ අය තවම ඉන්නේත් ඒ රාමුව ඇතුළෙමයි. ඉතිං කොහෙන්ද ජෙෆ් බෙසෝස් කෙනෙක්ට ඔළුව උස්සන්න ඉඩක්?

(Image: https://www.nbcnews.com/tech/tech-news/20-years-after-its-ipo-how-amazon-changed-way-we-n759546)

20 comments:

  1. //ඔය මොනවා කරන්නත් ධනවාදය කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕනෑ. නමුත්, ඇතැම් අය ධනවාදී පක්ෂයක් කියා හඳුන්වන එක්සත් ජාතික පක්ෂය වගේ පක්ෂ වල පවා ඉන්න බොහෝ දෙනෙක් ලොකු ආණ්ඩුවක් කෙරෙහි විශ්වාසය තබන සමාජවාදී මානසිකත්වයේ ඉන්න අයයි. ජාතිකවාදීන් කියා තමන්ව හඳුන්වා ගන්න ඇතැම් අය සමාජවාදයට බැන්නත් ඒ අය තවම ඉන්නේත් ඒ රාමුව ඇතුළෙමයි. ඉතිං කොහෙන්ද ජෙෆ් බෙසෝස් කෙනෙක්ට ඔළුව උස්සන්න ඉඩක්?///

    +++++++

    ReplyDelete
    Replies
    1. නදීර,

      අප්‍රිකාවේ රුවන්ඩා වගේ රටවල් නිදහස් වෙළෙඳපොළ සහිත වේගයෙන් දියුණු වන ධනවාදීඑ රටවල්. රුවන්ඩා ජනාධිපති පාවුල් ක'ගාමේ යටතේ රුවන්ඩා රට ලිබරල් නිදහස් ආර්ථික ක්‍රමයක් යටතේ වේගයෙන් දියුණු වෙනවා .

      China has been investing in Rwandan infrastructure since with early projects including hospitals in Kibungo and Masaka. Under Kagame's presidency, trade between the two countries has grown rapidly. The volume of trade increased five-fold between 2005 and 2009 and it doubled again in the following three years, being worth US$160 million in 2012. Projects completed include the renovation of the Kigali road network, funded using a Chinese government loan and undertaken by China Road and Bridge Corporation; the Kigali City Tower, which was built by China Civil Engineering Construction; and a pay television service operated by Star Media.

      Kagame has been vocal in his praise of China and its model for relations with Africa, saying in a 2009 interview that "the Chinese bring what Africa needs: investment and money for governments and companies."

      This is in contrast to Western countries, whom Kagame accuses of focussing too heavily on giving aid to the continent rather than building a trading relationship; he also believes that they keep African products out of the world marketplace by the use of high tariffs.

      China does not involve itself in the domestic affairs of the countries with which it trades, hence has not followed the West in criticising Kagame's alleged involvement in the war in the Congo.

      Kagame's ultimate goal in international relations is to shift Rwanda from a country dependent on donor aid and loans towards self-sufficiency, trading with other countries on an equal footing. In a 2009 article, Kagame wrote that "the primary purpose of aid should ultimately be to work itself out", and should therefore focus on self-sufficiency and building private sector development. Kagame cited an example of donor countries providing free fertilisers to farmers; he believes this to be wrong because it undercuts local fertiliser businesses, preventing them from growing and becoming competitive.[305] In 2012, Kagame launched the Agaciro Development Fund, following proposals made at a national dialogue session in 2011. Agaciro is a solidarity fund whose goal is to provide development finance sourced within Rwanda, supplementing aid already received from overseas. The fund invites contributions from Rwandan citizens, within the country and in the diaspora, as well as private companies and "friends of Rwanda". The fund will allocate its funds based on consultations with the populace, as well as financing projects contributing to the Vision 2020 programme.
      (Source - Wikipedia)

      Delete
  2. //ඒ කියන්නේ ජෙෆ් බෙසෝස් වගේ එක මනුස්සයෙක් ලංකාවේ හිටියනම් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය වගේම ඒක පුද්ගල ආදායමත් දෙගුණයක් වෙලා. ඒ වගේ හතර දෙනෙක් හිටියානම් ලංකාවේ ඒක පුද්ගල ආදායම පස් ගුණයක් වෙලා.//
    එහෙම වෙනවා නම් කොච්චර එකක්ද? මට මතක් වෙන්නේ සී.ඒ. චන්ද්‍රප්‍රේම ලියු 'කොළ පාට සමාජය'(1997) පොත. රටක් දියුණුවෙන්න නම් තව-තවත් ධනපතියන් බිහිවිය යුතු බව ඒකේ කියලා තිබුණේ අවුරුදු 22 කට කලින්!

    ReplyDelete
  3. ලංකාවේ ජෙෆ් බොසෝෆ්ලා නැතුවම නෙමෙයි නේද? මම අහලා තියන විධිහට නවලෝක මුදලාලි, ධම්මික පෙරේරා වගේ අය ඔක්කොම බිංදුවෙන් පටන්ගත්තු අය.. ඒ අයට ලෝක මට්ටමේ ධනවතුන් වෙන්න බැරිවුනේ ලංකාවේ තියන ආණ්ඩුව මූලික වෙච්ච, සමාජවාදයට බර ක්‍රමයම නිසානම් නෙමේ කියලයි මට වැටහෙන්නේ...

    ReplyDelete
  4. ලංකාවේ Jeff Bezos ලා ඉන්නවාද නැද්ද කියලා හොයා ගන්නේ කොහොමද ??
    ඇත්තටම ලංකාවේ ඉන්නා ව්‍යාපාරිකයන් කීයෙන් කී දෙනෙකු තම වත්කම් බැරකම් නිසි ලෙස ප්‍රකාශ කරනවාද ?? එහෙම නොකරනවා කියා ඒ අයට විරුද්ධව ගත හැකි නීතිමය ක්‍රියා මාර්ගයක් (රුපියල් පන්සීයක් / දාහක් දඩ ගහනවා හැර ) තියනවාද ??
    ලංකාවේ සියලුම වැඩිහිටියන්ට (18+) ටැක්ස් ෆයිල් නොම්මරයක් ලබා දෙන්න (ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කරන්න) උත්සාහ කල විට එයට විරුද්ධව මොන තරම් බොළඳ තර්ක ගෙනහැර පාමින් ඒ කටයුත්ත අකර්මන්‍ය කර දැමුවාද ?
    ව්‍යාපාරිකයන් ටැක්ස් නොගෙවා සිටීම සාමාන්‍ය දෙයක් වන අතර ටැක්ස් ගෙවීමට සිදුවීම, "ඉන්කම් ටැක්ස් එකට අහු උනානේ " යන වදනින් හැඳින්වෙන බරපතල ව්‍යසනයක් ලෙස සැලකීමට ලාංකිකයන් පුරුදු වී තියනවා.
    සාලාව ආයුධ ගබඩා පිපිරුමෙන් තම ව්‍යාපාර ස්ථානය විනාශ වූ එක ව්‍යාපාරිකයෙකු ඔහුගේ දිනක ආදායම ලක්ෂ ගණනින් ගණන් හිලව් පෙන්වා මාධ්‍ය ඉදිරියේ කථා කළා. පසුව වන්දි ලබා දීමේදී ඔහු එතරම් ආදායමක් ලබා ගත් බව ඔප්පු කරන්න ගියාම මිනිහා සතයක්වත් කිසිදාක ටැක්ස් ගෙවාපු කෙනෙකු නොවන බව අහු උනා. මේ එක උදාහරණයක් පමණයි. මම හිතන්නේ මෙවැනි උදාහරණ මිලියන 21.44 ක් විතර ලංකාවේ තියනවා කියලයි .

    ReplyDelete
    Replies
    1. මිලියන 21.44 ක් කියන්නෙ ලංකාවෙ සමස්ථ ජන්ගහණයට ආසන්න ගණනක් නේද? ඒ කියන්නේ ඔබ කියන විධිහට ලංකාවෙ ඉන්න හැම මිනිහම ටැක්ස් ගෙවන මට්ටමේ අදායමක් ලබනවා කියල්ද ? මම දන්න විධිහට ඔය ගණනින් බාගයක්වත් ටැක්ස් ගෙවිය යුතු අවම සීමාවටවත් ලඟාවෙන්නෙ නෑ.. එහෙම වුනත් සමස්ත ජනගහණයම කිසිම ප්‍රතිලාබයක් නැතුව හෝ අවම ප්‍රතිලාබ ලබමින් වක්‍ර බදු ගෙවනවා..

      මම ඔබ කියන දේට විරුද්ධ නෑ.. හැබැයි සමස්ථ ජනගහණයටම ඒ චෝදනාව එල්ල කරන එක සාධාරණ නෑ..

      Delete
    2. Sam,

      1)Tax ගෙවන්න ඕනේ tax වලින් benefit එකක් එනවා නම් පමණි.
      2)ඔබ දන්නවද අපි Indirect Tax 55% පමණ වෙන බව.
      3)ලංකාවේ මිනිස්සු සියල්ලම එකතුවෙලා Tax වර්ජනය කරන්න ඕන එතකොට ආණ්ඩුව දැනගන්නවා නිකන් Tax ගහල මදි ඒවා හරියට යොදවන්න ඕනේ.(හොරකමට කිසිම විදියකින් බැරිවෙන්න )
      4)ඔබ දන්නවද ඔය ගොඩක් ආයතන collect කරන VAT එක අන්න්දුවට ගෙවන්නේ නැ. ඔය VAT collect කරන ගොඩක් Company ආණ්ඩුවේ හෙන්චියන්ගේ බව. එහම උනාම උන් VAT ගෙවන්නේ නැ.

      Delete
    3. සෙන්නා, මම එහෙම කිව්වේ උපහාසයට මිසක් අපහාසයට නොවෙයි. ඒ තමයි ලංකාවේ සමස්ථ ජනගහනය. ඒක ගැන ඔබට යම් සිත් රිදීමක් උනා නම් කනගාටුයි.

      Delete
    4. Anonymous March 11, 2019 at 4:22 AM

      ඇත්තටම ඕනම රටක ටැක්ස් අඩුවෙන් ගෙවන තරමට ආර්ථික සන්වර්ධනය ලැබෙනවා. ඇමරිකාවේත් ට්‍රම්ප් ඇවිත් කළේ ඉන්ටර්නල් ටැක්ස් අඩු කරපු එක, ඒකෙන් ඇමරිකන් ව්‍යාපාර නැගී සිටියා. එක්ස්පොර්ට් ටැක්ස් වැඩි කරල ආනයන සීමා කළා.

      නවසීලන්තය / ඔස්ට්‍රේලියාව වගේ ස්වභාවික සම්පත් ඉතා බහුලව තිබෙන සාපේක්ෂ ඉතාම අඩු ජනගහණයකින් යුත් (ඇබොරිජීන්/ මඕරි වරු මිලියන ගනනින් මරා දැමූ නිසා) රටවල මිනිසුන් ටික දෙනෙක් අත ධනය රැස්වීම වැලැක්වීමට ටැක්ස් අධික ලෙස අයකර එම මුදල් සුභසාධනය, උතුරුදිග ඇබොරිජීන්වරුන්ව රැවටීමට වැනි දේට කපටි දේශපාලුවන්ට භාවිත කරන්නට පුලුවන් වුණත් ටැක්ස් අඩුවෙන් අයකර එම මුදල් ඉතා සකසුරුවම් ලෙස සුභසාධන සහ සන්වර්ධනයට යොදා ගැනීම කරන අතරම ලන්කාව වැනි සන්වර්ධන වන රටවල නම් විශාල ලෙස ධනවත් වන පුද්ගලයින් සිය මෝඩ පුතුන්ට විදෙස් රටවලින් මිල අධික රේස් කාර් ගෙන්වීම වැනි නාස්තිකාරී ප්‍රෝඩාවන්ට මුදල් යෙදවීම හැකිතාක් අධෛර්ය කරමින් ඔවුන් තව තවත් ආයෝජනයන්ට පෙළඹවීමත් ඒ සමගම සී.එස්.ආර් හරහා සුභසාධන කටයුතුවලත්, යටිතල පහසුකම් සන්වර්ධනයටත් යොමුකරවා ගැනීමට ක්‍රියා කිරීම මුලින් කලයුතුයි. එසේ බැරිම නම් ටැක්ස් ගැසිය යුතුයි.

      Delete
    5. " ඒක ගැන ඔබට යම් සිත් රිදීමක් උනා නම් කනගාටුයි."

      අයියෝ කොහෙත්ම නෑ. කණගා‍ටුව ප්‍රකාශ කිරීම අනවශ්‍යයි... :D

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. හහ් හහ් හා, ආතල් පෝස්ට් එකක් :D :D :D

    "ලංකාවේ ජෙෆ් බෙසෝස්ලා නැත්තේ ඇයි? "

    මේ ප්‍රශ්නයට ලෙහෙසියන්ම උත්තර දෙන්නම් හැබැයි ඉකොනොමැට්ටා මෙන්න මේ ප්‍රශ්න වලට පැහැදිලි උත්තර ලබා දෙන්න;

    01. ඇමරිකා එක්සත් ජනපදයේ මුත්තයියා මුරලිදරන්ලා නැත්තේ ඇයි? (මුරලිදරන් යනු ලොව වැඩිම ක්‍රිකට් විකට් ලාභියා වේ)

    02. ලංකාව වගේ බාගෙට සමාජවාදී නොව ඇමරිකාවටත් වඩා බෙහෙවින් ධනවාදී ලොව වඩාත්ම ධනවාදී නිදහස් වෙලඳපොළවල් ඇති රටවල් ලෙස සැලකෙන නවසීලන්තය/ එස්තෝනියාව / සින්ගප්පූරුව, අයර්ලන්තය වැනි රටවල් එකකවත් ජෙෆ් බෙසෝස්ගේ ළඟටවත් පැමිණිය හැකි ධනවතුන් නැත්තේ ඇයි?

    (http://worldpopulationreview.com/countries/capitalist-countries/)

    03. ලංකාවටත් වඩා පට්ට සමාජවාදී මානව නිදහස, දේශපාලන සහ මාධ්‍ය නිදහස ඉතා අවම ෆේස්බුක්/ වට්ස්'ඇප් පවා තහනම් ඒකාධිපති නිලධාරිවාදී රටක් වන චීනය (මෙන්ම වියට්නාමය වැනි) සමාජවාදී පසුගාමී රටක එකසිය ගානට බිලියන පතියන් බිහිවන්නට හේතු කාරනා මොනවාද? වාසනාවද?

    04. ලංකාවටත් වඩා ආගම්/ ගෝත්‍රික අදහස් ආදියෙන් පසුගාමී සාපේක්ෂව නූගතුන් වැඩි, සාපේක්ෂව අපිරිසිදු, විනය පිරිහුණු ඉන්දියාවේ විශාල ප්‍රමාණයක් ඩොලර් බිලියනපතියන් බිහිවුණේ කිම?

    මේ කරුණු වලට උත්තර දී මේ ඉතාම ආතල් සහගත ඡේදත් විස්තර කර දෙන්න;

    //(ලංකාවේ) බොහෝ දෙනෙක් ලොකු ආණ්ඩුවක් කෙරෙහි විශ්වාසය තබන සමාජවාදී මානසිකත්වයේ ඉන්න අයයි. ජාතිකවාදීන් කියා තමන්ව හඳුන්වා ගන්න ඇතැම් අය සමාජවාදයට බැන්නත් ඒ අය තවම ඉන්නේත් ඒ රාමුව ඇතුළෙමයි. ඉතිං කොහෙන්ද ජෙෆ් බෙසෝස් කෙනෙක්ට ඔළුව උස්සන්න ඉඩක්?//

    හහ් හා පට්ටට ආතල්

    ///අපි හිතමු ජෙෆ් බෙසෝස් ලාංකිකයෙක් වෙලා ඇමසන් සමාගම ලංකාවේ සමාගමක් වුනා කියා. එහෙම වුනානම්, ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය අද මෙන් දෙගුණයක්. හැබැයි එයින් අඩක්ම ඇමසන් සමාගමේ. ඒ කියන්නේ රටේ ආදායම් විෂමතාවය අදට වඩා ගොඩක් වැඩියි. හොඳ වෙලාවට ඇමසන් සමාගම ලංකාවේ සමාගමක් නොවූ නිසා ඒ ප්‍රශ්නය නැහැ. යන්තම් හරි ඉහළ වත්කම් තිබෙන ඉතිරි ටික දෙනාගේත් වත්කම් ඒ විදිහට නොතිබුණානම් ලංකාව ආදායම් විෂමතාවයක් නැති රටක්.///

    ටහුඩු ඒක??? හාහ්

    මේ වගේ සුරන්ගනා කතා හොඳයි පොඩි එවුන් නිදි කොරවන්න හහ් හා, දැන් අපි ඇමරිකා එක්ස්ත් ජනපදය ගැන බලමු;

    දැන් ජෙෆ් බෙසෝස් නිසා ඇමරිකාවේ ආදායම් විෂමතාව නැතිවුනාද?

    https://www.bbc.com/news/world-us-canada-41930107

    https://www.census.gov/library/publications/2018/demo/p60-263.html

    දැන් අපිව හිනස්සන්න නම් එපා ආයෙ ඇමරිකාවේ දුප්පතුන් කියල කියන්නේ ඇත්තටම දුප්පත් නෙවෙයි පවර්ටි ලයින් වෙන් කිරීමේ සීමාව නිසා බිහිවුණ (ලංකාවෙ හැටියට) පට්ට පෝසතුන් කියල; :D :D :D

    https://www.usatoday.com/story/money/economy/2018/09/19/poverty-rates-america-cities-highest-levels/37799947/

    https://www.bbc.com/news/world-us-canada-45442596

    https://www.forbes.com/sites/niallmccarthy/2018/12/20/the-u-s-cities-with-the-most-homeless-people-in-2018-infographic/#27898b871178

    ඉකොනො ඇතුලු පාඨක ප්‍රජාවේ සිටින සියල්ලන්ටම මේ අභියෝගය විවෘතයි;

    ReplyDelete
    Replies
    1. මට නම් හිතන්නේ ඔබ ඔය පොස්ට් එක තව දෙපාරක් වත් කියලවල පොඩ්ඩක් තේරුම්ගන්න බලන්න...

      03. ලංකාවටත් වඩා පට්ට සමාජවාදී මානව නිදහස, දේශපාලන සහ මාධ්‍ය නිදහස ඉතා අවම ෆේස්බුක්/ වට්ස්'ඇප් පවා තහනම් ඒකාධිපති නිලධාරිවාදී රටක් වන චීනය (මෙන්ම වියට්නාමය වැනි) සමාජවාදී පසුගාමී රටක එකසිය ගානට බිලියන පතියන් බිහිවන්නට හේතු කාරනා මොනවාද? වාසනාවද?

      ඔබ හිතාගෙන ඉන්නේ චීනය සමාජවාදී කියලද ?
      "මානව නිදහස, දේශපාලන සහ මාධ්‍ය නිදහස ඉතා අවම ෆේස්බුක්/ වට්ස්'ඇප් පවා තහනම්" මෙ කියන්නේ සමාජවාදී නෙම මුලින්නම ඔබ සමාජවාදී , දනවාදී කියන්නේ මොකක්ද කියල කියවල බලන්න...

      "Income and Poverty in the United States" මේක ඔබ අඋරුදු ගණනාවක් පස්සට compare කරලා බලන්න...

      "Homeless in US: A deepening crisis on the streets of America" මේකට නම් මුලික හේතුව -refugees issue

      මේකේ topic එක "ලංකාවේ ජෙෆ් බෙසෝස්ලා නැත්තේ ඇයි?"

      Delete
    2. හහ් හා, ඉකොනොමැට්ටාටම හරියන තවත් ආතල් කමෙන්ට් එකක්, හිහ් හී.

      දෙපාරක් කියවන්නෙ මොකටද බන්, දැක්ක ගමන් හිනා යන කොමිටල් කතන්දර, එක්පාරක් හොඳටම ඇති.

      චීනය සමාජවාදී වෙන්න සමාජවාදය කියල එකක් තියෙන්න එපයි, පොදු වශයෙන් චීනය ලෙසින් හැඳින්වෙන චීන මහජන සමූහාණ්ඩුව කියන්නේ "රාජ්ය ධනවාද්ය සහ කමියුනිස්ට් පක්ෂ කල්ලිය විසින් හසුරවන යම්තාක් දුරකට පාලිත ධනවාදී රටක්" සමාජවාදෙ / ධනවාදෙ ඔය දෙකම සුලුතර කල්ලියක් හෝ කල්ලි කිහිපයක් යම් රාජ්‍යයක බහුතර සම්පත් පරිභෝජනය (ධනය) සහ බලය පවත්වාගැනීමට යොදා ගන්නා ක්‍රමවේද දෙකක් පමණයි. දෙකෙන් එකක්වත් අනෙකට වඩා හොඳවත් නරකවත් නැහැ. දෙක ටිකක් එකෙනෙකට වෙනස්.

      හැබැයි චීනෙට සාපේක්ෂව ලංකාව ඉකොනොමැට්ටා කියන ලිබරල් ධනවාදී/ නිදහස් වෙලඳ පොල ක්‍රමය සහ වඩාත් වැඩියෙන් මාධ්‍ය නිදස ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ආදිය අනුව සෑහෙන ඉදිරීයෙන් තිබෙන රටක්, එහෙනම් අපිට චීනේ තරම් ධනපතියන් බිහිකරන්න බැරිවුණේ ඇයි? ඉකොනොමැට්ටා මෙතන අතිශයෝක්තියට නගන ධනවාදී නිදහස් වෙළඳ ක්‍රමය වැරදිද? නැත්නම් වෙනත් මොන මගුලක් ද?

      //අඋරුදු ගණනාවක් පස්සට Compare කරලා බලන්න//

      එහෙම බැලුවොත් ලංකාව / ඉන්දියාව/ චීනය ඇමෙරිකාව පරද්දනව නෙව.

      //"Homeless in US: A deepening crisis on the streets of America" මේකට නම් මුලික හේතුව -refugees issue //

      ඉතින් දෙයි හාමුදුරුවනේ ඇමෙරිකාවේ ඉන්න ඔක්කොම රෙෆියුජීල බිලියන ගානක් ඉන්නවද? ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් ලොක්කා කියන හැටියට 2018 ඇවිත් ඉන්නෙ 22,000 ක් විතරයි, යකෝ ඩොලර් බිලියන් සියගනන් වත්කම් තියෙන ධන කුවේරයො සිය දහස් ගනන් ඉන්න රටකට 22,000 ත් කජ්ජක්ද? (Resettled refugees in US = 85k)

      Link - http://tinyurl.com/yxzr3xwy

      //දෙවසරකට පමණ පෙර ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර සංවිධානය විසින් ප්‍රසිද්ධ කළ වාර්තාවක සඳහන්ව තිබුණු සංඛ්‍යාලේඛණයක් සමහර අය තවමත් දිගින් දිගටම උපුටා දක්වනවා. මේ ගැන මම මීට පෙරත් වරින් වර කතා කර තිබෙනවා. මේ සංඛ්‍යාලේඛණය අනුව, ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අට දෙනෙකුගේ වත්කම් වල එකතුව, ලෝක ජනගහණයෙන් වත්කම් පදනම මත දුප්පත්ම මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුවට සමානයි. - ඉකොනොමැට්ටා //

      ඇමරිකන් ආර්ථිකය කියන්නේ පේන තරම් සොඳුරු ලස්සන සිහින පාරාදීසයක් නෙවෙයි. එකම වාසිය ඩොලර් ට්‍රිලියන ගනනින් සල්ලි ගැවසෙන තැනක් නිසා උපක්‍රමශීලෙත්වයත් ලක් එකත් (Mere Luck) තිබේ නම් පෝසත් වෙන්න පුලුවන්, හැබැයි නැත්නම් ඇපත් නැති වෙන්නත් පුලුවන්. ජෙෆ් කියන්නේ ඔය දෙකම (Luck & the art of making money) වඩාත් වැඩියෙන් තිබ්බ තවත් එක් පුද්ගලයෙක් පමනයි.

      මේකේ ටොපික් එක "ලංකාවේ ජෙෆ් බෙසෝස්ලා නැත්තේ ඇයි?"

      ඉතින් ඒකතමයි ලොක්ක මාත් කියන්නේ, නිකන් කේජී ඇදල වගේනෙ උත්තරේ, හික්ස්.

      කොටින්ම ලංකාවේ ඩොලර් බිලියන ගනන් තියෙන කෝටිපතියො නැත්තේ ඇයි?

      ඒකට පිලිතුර මම ඉහත අහපු පරශ්න වලට උත්තර සෙව්වොත් ඉබේම අවබෝධ වෙයි.

      01. ඇමරිකා එක්සත් ජනපදයේ මුත්තයියා මුරලිදරන්ලා නැත්තේ ඇයි? (මුරලිදරන් යනු ක්‍රිකට් ලොව වැඩිම විකට් ලාභියා වේ - Highest wicket taker in the World, in the game of Cricket)

      02. ලංකාව වගේ බාගෙට සමාජවාදී නොව ඇමරිකාවටත් වඩා බෙහෙවින් ධනවාදී ලොව වඩාත්ම ධනවාදී නිදහස් වෙලඳපොළවල් ඇති රටවල් ලෙස සැලකෙන නවසීලන්තය/ එස්තෝනියාව / සින්ගප්පූරුව, අයර්ලන්තය වැනි රටවල් එකකවත් ජෙෆ් බෙසෝස්ගේ ළඟටවත් පැමිණිය හැකි ධනවතුන් නැත්තේ ඇයි?

      (http://worldpopulationreview.com/countries/capitalist-countries/)

      03. ලංකාවටත් වඩා පට්ට සමාජවාදී මානව නිදහස, දේශපාලන සහ මාධ්‍ය නිදහස ඉතා අවම ෆේස්බුක්/ වට්ස්'ඇප් පවා තහනම් ඒකාධිපති නිලධාරිවාදී රටක් වන චීනය (මෙන්ම වියට්නාමය වැනි) සමාජවාදී පසුගාමී රටක එකසිය ගානට බිලියන පතියන් බිහිවන්නට හේතු කාරනා මොනවාද? වාසනාවද?

      04. ලංකාවටත් වඩා ආගම්/ ගෝත්‍රික අදහස් ආදියෙන් පසුගාමී සාපේක්ෂව නූගතුන් වැඩි, සාපේක්ෂව අපිරිසිදු, විනය පිරිහුණු ඉන්දියාවේ විශාල ප්‍රමාණයක් ඩොලර් බිලියනපතියන් බිහිවුණේ කිම?

      මේ ප්‍රශ්න වලට උත්තර සොයා ඉහත ප්‍රශ්නයට පිළිතුර අවබෝධ කරගන්න.

      Delete
  7. ලංකාවේ ජෙෆ් බෙසෝස්ලා නැත්තේ දේශීය වෙළඳපොල කුඩා නිසා.

    ReplyDelete
    Replies
    1. ජගත් මේ පිලිබඳ මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි විසින් පහත පාටය උපුටා දක්වමින් දේශනාවක් සිදුකලා;

      ‘මහණෙනි,දිළිඳුකම ලෝකයෙහි පවත්නා දුකකි. (දාළිද්දියං) දුකෙඛා ලොකෙ) එසේම ධන සම්පත් ඇති බව සැපයකි. එය අත්ථි සුඛ නම් වේ.

      සැබවින්ම බුදු දහම ලෝකය දුක් සහගත බව පැහැදලි කරන්නේ ඒ දුකෙහි සදාකාලිකව ගැලී සිටීමට නොව එයින් මිදීමටයි. ඒ දුකින් මිදීමේ මාර්ගයද බුදු දහම හෙළිකරයි. ඒ අනුව භෞතික ලෝකය තුළ පවත්නා දුක අධ්‍යාත්මික වශයෙන් පවත්නා භව දුකක් යන අංශ දෙක පිළිබඳවම හේතුඵලවාදි ලෙස පැහැදිලි කරන බුදුදහමෙහි ඒ සියලු ආකාරයේ දුක නැති කිරීම සඳහා මාර්ගයන් පහදා දී ඇත. තවද වාස්තවික හෙවත් ව්‍යවහාර ලෝකයේ පවත්නා දිළිදුකම පිළිබඳ දුක පිටුදැකීම සඳහා පෙන්වාදී ඇති මාර්ගය මිනිසාගේ ලෝකෝත්තර සැපයට බාධාවක් නොවන අයුරින් දේශනාකොට තිබීම සුවිශේෂී කරුණක් බව අප වටහාගත යුතුය.

      මිනිසා පමණක් නොව ලොව සියලු සත්වයා දුක්විඳීම පිළිකුල් කරති. එබැවින් සියල්ලෝ සැපයට කැමැති වෙති. “සබෙබ සත්තා දුක්ඛ පටිකකූල, සබෙබ සත්තා සුඛකාමා” මේ නිසා මිනිසුනේ සෑම ක්‍රියා මාර්ගයක්ද සැපය අරමුණ කරගෙන ක්‍රියාත්මක වේ” ව්‍යාපාරා සබ්බ භූතානං සුඛත්ථාය විධියරේ. බුදුදහම මිනිසාගේ සසර දුකින් මිඳීමට අවශ්‍ය ධනය වශයෙන් හඳුන්වන්නේ සප්ත ආර්ය ධනයයි. ශ්‍රද්ධා, සීල, හිරි, ඔත්තප්ප, ත්‍යාග හා ප්‍රඥා යනු එම ආර්ය ධනයයි.

      ලෝකයේ සාර්ථක ව්‍යාපාරිකයන් , ධනවතුන් බිහිවූයේ දවසකින් දෙකකින් නොවේ. එබඳු ව්‍යාපාරිකයන් පිළිබඳව ඔබ විමසිල්ලෙන් පරික්ෂා කළොත් ඔබට පෙනේවී බුදු දහම අනුමත ධනෝපායන මාර්ග ඔවුන් විසින් දැනුවත්ව හො නොදැනුවත්ව අනුගමනය කර ඇති බව, ඔබට ධනවතකුවීමට අවශ්‍ය නම් මේ හැම ව්‍යාපාරිකයෙක්ම දහවල් වන තුරු නිදාගත් අලසයන් නොවන වග පැහැදිලි වේවි. සමහර විට ඇතැම් අය සියලු දුරාචාරයන් අනුගමනය කරමින් ධනවත් වී ඇති බව ඔබට ව්‍යාපාර ලෝකයෙන් සාධක ඉදිරි පත් කරන්නත් හැකිවේවි. ඒ අය දියුණුවට පත්වූයේ බෞද්ධ පිළිවෙත්වලට අනුව නොව කවර හෝ අයථා ක්‍රමයකින් වියහැකිය. එබඳු තැනැත්තා මෙලොවත් පරලොවත් විනාශය අත්වන බවද සිතට ගත යුතුය. එසේ නම් බුදුරදුන් අනුදැන වදාළ ධනවතකුවීමේ දැහැමි මාර්ගය කුමක්ද?

      දීඝජානු කෝලිය නම් උන් මිනිසකුට ධාර්මිකව ධනවතකුවීමට පෙන්වාදුන් කරුණු සතරකි. එය උට්ඨාන සම්පදාව, කල්‍යාණ මිත්‍රත්වය උපයන ධනය සුරක්ෂිත කර ගැනීම , හා සමබර ජීවන ක්‍රමයක් අනුගමනය කිරීම යනුවෙනි. ලොව බොහෝ සාර්ථක ව්‍යාපාරිකයෝ තම ව්‍යාපාර පටන්ගෙන ඇත්තේ සුළුවෙනි. ඒ බොහෝ ව්‍යාපාරිකයෝ ඒ ව්‍යාපාර ආරම්භ කර ඇත්තේ බේකරියක පිටි ඇනූ සේවකයකු වශයෙනි. නැතහොත් පදිකවේදිකාවේ ලේන්සු, බැනියම් විකුණූ අයකු වශයෙනි. පෙදරේරුවකුව අත් උදව් වූ කම්කරුවකු වශයෙනි. අම්මා උදේට සෑදූ ආප්ප ටික පාසලට යන ගමන් කඩයට ගෙන ආ දරුවකු වශයෙනි. චුල්ල සෙට්ඨි ජාතකයේ පෙන්වා දෙන ලද්දේ කුණුුගොඩට විසිකිරීමට ගෙන යන මීකුණකින් වුවද උත්සාහ වන්තව සැලැසුම් කිරීමෙන් කැපවීමෙන් ප්‍රඥාවෙන් මහා ධනවතකු වීමේ හැකියාවයි.

      Delete
    2. බොහෝ දෙනා කෙනෙකුගේ “දෛවඥ’ හෙවත් පෙර පින, නැතහොත් ‘ස්ටාර්’ එක කෙනෙකුගේ ධනවත් වීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකුවද බුදුදහම එබඳු අන්තවාදි කර්ම නියාමයකට මිනිස් ජීවිතය යට නොකරයි. සමහර කෙනෙකුට එබඳු පෙර වාසනා ගුණයක් නොතිබුණත් උට්ඨාන වීර්යයෙන් අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් දෛවය ඇති බව ජයග්‍රහණය කළ හැකි බවද පෙන්වා දෙයි. ඒ පිළිබඳව බුදුදහම සතර වැදෑරුම් පුද්ගල වරගීකරණයක් කරයි. ඒ මෙසේය.

      1.කම්මඵලුප ජීවි පෙර වාසනා ගුණ ඇති තැනැත්තා

      2.කම්මුට්ඨාන ඵලූපජීවි, වාසනාව හා උත්සාහය දෙකම ඇති තැනැත්තා

      3.උට්ඨාන ඵලූපජීවි වාසනාගුණයක් නැති උත්සාහයක් පමණ ඇති තැනැත්තා

      4.නෙක්ඛම්ම නෙවඋට්ඨාන ඵලූපජීවි පෙර වාසනා ගුණයත් නැති උත්සාහයකුත් නැති තැනැත්තා

      පළමු තැනැත්තා දෙමාපියන්ගෙන් උරුම වූ දේපලකට හිමිකම් ඇති වාසනාවන්ත තැනැත්තෙකි. ඔහු කිසිදු උත්සාහයක් නැතිව ව්‍යාපාරික කටයුතු ඒ අයුරින්ම කරගෙන යයි. පෙර වාසනා ගුණය අවසන් වූ විට ඔහුගේ ව්‍යාපාර කඩා වැටීමටද ඉඩ ඇත. බොහෝ ව්‍යාපාර පරම්පරා දෙකකින් තුනකින් කඩා වැටෙන්නේ මේ නිසාය.

      දෙවෙනි තැනැත්තා වාසනාවත් උත්සාහයත් දෙකම ඇති තැනැත්තාය. ඔහු නොපසුබට වීර්යයෙන් තමාට පෙර වාසනා ගුණයෙන් ලැබුණු දේ දියුණු තියුණු මෙබඳු ව්‍යාපාරිකයන් අතගන්න සියලු ව්‍යාපාර දියුණුවට පත්වේ. ස්වභාවික උපද්‍රවයන්ගෙන්ද ආරක්ෂාවේ. පාඩු ලාභ ඔහුට කල්තියා පැහැදිලිවේ. ඔහුගේ මනස නිරවුල්ය. එබඳු අයගේ ව්‍යාපාර දිගුකලක් පවතී.

      තුන්වෙනි ව්‍යාපාරිකයා පෙර වාසනා ගුණ කිසිවක් නැති තම උත්සාහයෙන් දෑතේ වීර්යයෙන් ව්‍යාපාරය පවත්වාගෙන යයි. ඔහු ලුණු පොල්කට්ටේ පටන් සියල්ලම තම උත්සාහයෙන් ලබාගත් කෙනෙකි. හුඹස බඳින වේයකු මෙන් ඔහු සතයෙන් සතය ටිකෙන් ටික උපයා ඉතිරිකරගත් මුදලකින් ව්‍යාපාර කටයුතු අරඹා උපයාගත් දෙය ආරක්ෂා කරගනිමින් ව්‍යාපාරය තවදුරටත් දියුණු කිරීමට වෙහෙසෙයි. ඔහුද සාර්ථක ව්‍යාපාරිකයෙකි.

      සතරවැනි පුද්ගලයා පෙර වාසනාගුණයත් නැති උත්සාහයක් ද නැති ව්‍යාපාර ගැන උදේ හවස සිහින මවන පණ්ඩිතයෙකි. කුසීතව සිට තර්ක කරමින් අනුන් කරන්නන් වාලේ යමක් කරන්නට යන කෙනෙකි. එබඳු අය තිබෙන දේවලද විකුණූ කණකර ආභරණ විකුණා වෙළෙඳාමක් කරයි. නැතහොත් විදේශ ගතවීමට උත්සාහ කරයි. වාසනා ගුණයත් නැති ධනවතකු වීමේ සිහින මවන එබඳු අය අදූර දර්ශීව කටයුතු කොට විනාශ වෙයි. මෙබඳු වාසනාගුණයත් උත්සාහවත් නැති ව්‍යාපාරිකයා හැඳින්වෙන්නේ බැස්ස තැනදීම ගිලෙන (සකිං නිවුග්ග) තැනැත්තා වශයෙනි.

      Delete
    3. බුදු දහමේ “සම්මා ආජීව ‘ සංකල්පලයෙන් අවධාරණය කෙරෙන්නේ නිවැරැදි ධන සම්පත් ලැබීමේ ක්‍රමයයි. මේ නිසා ධනය ධර්මානුකු ඉපදවීම ආර්ය අෂ්ටාංගික මාර්ගයට පටහැනි නොවේ. බුදුරදුන්ගේ ප්‍රධාන දායකයො ධනවත්තු දුක් වුහ. සුදත්ත නම් අනේපිඬු තුමාද ඡ්‍යොතිය මෙණ්ඩක , මිගාර වැනි සිටුවරුන්ද බුදුරදුන්ට දහම ප්‍රචාරය කිරීමට මහත් අනුබලයක් සැපයූහ.

      චීනයේ සිට ගී‍්‍රසිය දක්වා දිවෙන සේද මාර්ගය ඔස්සේ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ සංවරය සහජීවනයේ පණිවිඩය ගෙන ගියෝ ධනවත් වෙළෙඳ පංතියේ සහයෝගයෙනි. රටක ආර්ථික සමෘද්ධිය ,සාමකාමි වාතාවරණය,යුද්ධ බහුල නොවු අවස්ථා බුදුසමයේ ව්‍යාප්තියට වෙසෙසින් හේතුවිය. නිර්ධනයාට වඩා ධනවතුන්ට ධනයේ ආස්වාදසය හා ධනයේ ආදීනවය අවබෝධ කර ගැනීමට පහසුය. ඒ අනුව බුදුදහමට අනුව සියල්ල අතහැරීමට පහසුවන්නේ යමක් තිබෙන කෙනෙකුට බව ව්‍යහාරය ලෝකයෙන් පැහැදිලි කර ගත හැත හැකිය. රට්ඨපාල, තරුණයා මහත් ධනසම්පත්තියක් අතහැර නිවන් මගට පිවිසියේ ඔහුගේ ආදිනව දුටු නිසාය. මේ නිසා බුදුදහම ධනවතකු වීම ප්‍රතික්ෂේප නොකරයි. ධනවතකු වීමට මාර්ගයත් ඒ ධනය ප්‍රසංසාත්මක නිග්‍රහ නොකටයුතු ධනමාර්ගයක් බවට පත්කර ගැනීමටත් බුදුන් වහන්සේ ධනවතුන්ට උපදෙස් දී ඇත.

      වරක් බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාට සාර්ථක ධනවතකු තුළ තිබිය යුතු ලක්ෂණ කිහිපයක් කාමභෝගි සූත්‍රයෙන් පෙන්වා දුන්නාහ.

      1.ධනවතා ධර්මානුකූලව ධනය ඉපයිය යුතුය. සාහසික නොවිය යුතුය. පාරිභෝකියාත්, සේවකයාත් නොපොල ධනය ඉපයීම මෙයින් අදහස්වේ.

      2.උපයාගත් ධන’ සම්පත්වලින් තමන් සැප විඳිය යුතුය.

      3.තම ධනයෙන් ඥාතීන් , සේවක සේවිකාවන් හා සමාජයේ යහපත සඳහා යෙදවිය යුතුය.

      4.උපයන ධනයේ වහළකු නොවි අගතිගාමී නොවී මුලාවට ආඩම්බරයට පත්නොවි එය තෘෂ්ණාවෙන් දැඩිව අල්ලා නොගෙන ධනයෙහි ආදීනව දකිමින් ඒ ධනය පරිභෝජනය කළ යුතුය.

      මේ සියලු කටයුතු වලදී බුදු දහම ධනය පිළිබඳ අවධාරණය කරන්නේ ධාර්මික පදනමයි. දෑතේ දෙපයේ වීය¸යෙන් ධර්මානුකූලව ධනය සෙවිය යුතුය. අවි ගනුදෙනු වස විස වෙළෙදාම , සත්ව වෙළෙඳාම වහල් වෙළෙඳාම , ධනෝපායන මාර්ග ප්‍රතික්ෂේප කරන බුදු දහම ධර්මානුකූල ව්‍යාපාරිකයා ප්‍රශංසාවට ලක්කරයි.

      සාර්ථක ධනවතකු වීමට අනුගමනය කළ යුතු උපාය උපක්‍රම, අත්හළ යුතු ගති ලක්ෂණ ,ව්‍යඝ්‍රපජ්ජ සූත්‍රයෙන් පෙන්වා දෙන කරුණු ඉතා වැදගත් වේ. මෙම කරුණු සියුම් ලෙස විමසා බැලිය යුතුය.

      ”එකෙන භොගෙ භුංජෙය්‍ය
      ද්වීහි කම්මං පයොජයෙ
      චතුත්තංච නිධාපෙය්‍ය
      ආපදාසු භවිස්සති

      උපයන ධනයෙන් සතරෙන් එකක් එදිනෙදා පරිභෝජනයෙත් සතරෙන් දෙකක් එම ධනය වැඩි දියුණු කරගැනීම සඳහාත්, සතරවෙනි කොටස අනාගතයේ ජීවිත රක්ෂණය ,දේපල රක්ෂණය සඳහාත් යෙදවීමට මෙයින් උපදෙස් සපයයි.කෙනෙක් වර්තමාන ජීවන රටාව තුළ මෙසේ කරන්නේ කෙසේදැයි එකවරට විරෝධය පෑමට ඉඩක් ඇත. එය අසාධාරණ නොවේ. එහෙත් කොටස් දෙකක් තමා ඉපයූ ධනයෙන් ආරක්ෂා කොට එය ධන සම්පත් වර්ධනය කර ගැනීමට යෙදවීමෙන් අදහස් කරන්නේ ඔහු සැමදාම ධනවතකුගේ තත්වයට පත්වීම නොවේද ? මෙය එක දවසින් ලැබිය හැකි තත්වයක් නොවේ. මා මුලදි සඳහන් කළ පරිදි ඉවසීමෙන් හා කැපවීමෙන් මෙන්ම තීක්ෂණ බුද්ධියෙන් ඔබ ක්‍රියා කළහොත් ඔබ ධනවතකුවීමේ සිහිනය ඈතක නොවේ.

      අවසාන වශයෙන් සාර්ථක ව්‍යාපාරයක් දීර්ඝ කාලයක් පැවැතීමේ හේතුඵල පදනම මෙසේ පිඬුකොට දැක්විය හැක. පාරිභෝගිකයාට හොඳ දේ අඩු ලාභයක් තබාගනිමින් නිෂ්පාදනය කෙරෙයි නම් අලෙවි කෙරෙයි නම් එය ධර්මානුකූල දිගුකලක් පවත්නා ව්‍යාපාරයක් බව වටහාගත යුතුය.

      Delete
    4. Jagath Pathirana says:
      ලංකාවේ ජෙෆ් බෙසෝස්ලා නැත්තේ දේශීය වෙළඳපොල කුඩා නිසා.

      මොන බොරුද Jagath ලංකාවේ ජෙෆ් බෙසෝස්ලා නැත්තේ බටහිරයන් සහ ක්රිස්තියනිකාර යුදෙව් දර්ශනය එක්තැන්වුනු ඔරුමිත්තනාඩුවක් නිසා.

      Delete
  8. ඇමරිකාවට සාපේක්ෂව බෙසෝස් . ලංකාවට සාපේක්ෂව පෙරේරා. ඔබට දැන් සනීපයිද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: