වෙබ් ලිපිනය:

Thursday, July 18, 2019

රස්සා ආරස්සා...


ආයු අපේක්ෂාව ගැන ලියන්න තවත් ගොඩක් දේවල් තිබුණත්, තාක්ෂණික පැත්තට බර ලිපි එක දිගට කියවන්න ගොඩක් අය කැමති නෑනේ. මේ ලිපිය සති කිහිපයකට කලින් ලියන්න පටන් ගත් එකක්. ආයු අපේක්ෂාව ගැන කතා කරන්න කලින් කතා කරපු මාතෘකාවට සම්බන්ධ ලිපියක් වුනත්, වක්‍රව ආයු අපේක්ෂාවටත් සම්බන්ධයක් තිබෙනවා.

ලිපිය ලියන්න පටන් ගත් දවසේ උදේ පොඩි වැඩක් කරගන්න රාජ්‍ය අංශයේ ආයතනයකට ගියා. කවුරු හෝ මේ වියුණුව නිතිපතා නොකියවන අයෙක් මේ ලිපිය කියවනවානම් දැනගැනීම පිණිස මේ කතා කරන්නේ ඇමරිකාවේ රාජ්‍ය අංශයේ ආයතනයක් ගැන බව මතක් කළ යුතුයි. නිශ්චිතවම කියනවානම් ගියේ සමාජ සංරක්ෂණ අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලයකටයි. මේ විදිහට ඇමරිකාවේ ජීවත්වන අයෙක්ට රජයේ ආයතනයකට යන්න අවශ්‍ය වෙන්නේ ඉතා කලාතුරකින්. බොහෝ දේවල් දුරකථනය හෝ අන්තර්ජාලය උපයෝගී කරගෙන කරගත හැකියි.

ඇමරිකාවේ රාජ්‍ය අංශය වුවත් ලංකාවට සාපේක්ෂව ගොඩක් කාර්යක්ෂමයි. ඒ වගේම, ලංකාවේ පෞද්ගලික අංශය වුවත් පොදු වශයෙන් සැලකූ විට ගොඩක්ම කාර්යක්ෂම නැහැ. මේ වෙනසට හේතු තිබෙනවා.

ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාවය අඩුයි කියන එකෙන් අදහස් වෙන්නේ ලංකාවේ මිනිස්සු වැඩ නොකර හොරට පඩි ගන්නවා කියන එක නෙමෙයි. මේ දෙක දෙකක්. ඇමරිකාවේ සාමාන්‍ය ශ්‍රමිකයෙකු දවල් රෑ නැතුව මැරීගෙන වැඩ කරන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ රාජ්‍ය අංශයේ පවා දවල් රෑ නැතුව මැරීගෙන වැඩ කරන අය ඉන්නවා. නමුත්, එයින් අදහස් වන්නේ වැඩ කරන පැය ගණනේ තරමට පලදායී කාර්යයක් සිදු වෙනවා කියන එකම නෙමෙයි.

ඇමරිකාවේ සමාජ සංරක්ෂණ අධිකාරියේ හෝ රථවාහන කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් ගත්තොත් ලංකාවේ රාජ්‍ය ආයතන වලට සාපේක්ෂව වැඩ කෙරෙන පිළිවෙළේ මූලික වෙනස්කම් ගණනාවක් තිබෙනවා. පළමු වෙනස කිසියම් සේවාදායකයෙකු වැඩක් කරගන්න අදාළ ආයතනයේ "තමන්ට අයිති" ශාඛාවටම යා යුතු නොවීමයි. තොරතුරු මුළුමනින්ම වගේ පරිගණකගත කර තිබෙන නිසා ඕනෑම සේවකයෙකු කිසියම් කාර්යයක් කරන්නේ කවර ශාඛාවේ සිටද කියන එක වැදගත් නැහැ. මේ හේතුව නිසා, එක් ප්‍රාදේශීය කාර්යාලය අසීමිත තදබදයක් තියෙද්දී වෙනත් ප්‍රාදේශීය කාර්යාලයක සේවකයින් වැඩ නැතිව වේලි වේලී ඉන්න එක සෑහෙන දුරකට ස්වභාවිකවම මඟ හැරෙනවා.

මගේ පෞද්ගලික නිරීක්ෂණ අනුව මේ ගොඩක් කාර්යාල වලට දවසකට සැලකිය යුතු සෙනඟක් එනවා. කාර්යාල සේවකයින් වැඩ නැතිව බලා සිටින බවක් මා දැකලාම නැහැ. ඒ වගේම, සේවාදායකයෙකු සෙනඟ වැඩි නිසා ආපසු හැරී යන බවකුත් මා දැක නැහැ. ප්‍රාදේශීය කාර්යාල ස්ථානගත කර තිබෙන්නේත්, ඒවාට සේවකයින් අනුයුක්ත කර තිබෙන්නේත් සේවාදායක ඉල්ලුම හා ගැලපෙන තරමටයි. මා හිතන්නේ රටේ පවතින යාන්ත්‍රණය තුළ මේ සමතුලිතතාවය ස්වභාවික ලෙසම ඇති වෙනවා කියලයි.

ඉතා කලාතුරකින් හැර කිසියම් කටයුත්තක් කර ගන්න යන අයෙකුට තමන්ට හමුවෙන පළමු නිලධාරියා හෝ නිලධාරිනිය හරහා ඒ කටයුත්ත කරගත හැකියි. ඔහු හෝ ඇය තවත් කිහිප දෙනෙකුගේ අනුමැතිය ලබා ගත යුතු නැහැ. ඒ වගේම ඡායා පිටපත් ලබා ගැනීමේ සිට මුදල් අය කිරීම දක්වා සියලු කටයුතු කරන්නේ මේ නිලධාරියා හෝ නිලධාරිනිය විසින්ම නිසා අමතර රස්තියාදුවක් නැහැ. මෙය ලංකාවට සාපේක්ෂව විශාල වෙනසක්.

කාර්යාලයට යන අයෙකු මුලින්ම කළ යුත්තේ නොම්මරයක් ගැනීමයි. එකම පිළිවෙළට යන නොම්මර වෙනුවට තමන්ට කරගන්න අවශ්‍ය කාර්යය අනුව කාණ්ඩ කිහිපයක් යටතේ මේ නොම්මර නිකුත් කෙරෙන අතර එකම කටයුත්තකට පැමිණි අයව බොහෝ විට එකම කවුන්ටරයකට යොමු කෙරෙන නමුත් ඒ කටයුත්තට පැමිණි අය නැත්නම් වෙනත් කටයුතු වලට පැමිණි අයත් ඒ කවුන්ටරයට යොමු කෙරෙනවා. මෙයත් කාර්යක්ෂමතාවය ඉහළ නංවනවා. සමස්තයක් වශයෙන් ගත් විට සේවකයින් සේවය කරන කාලය ඇතුළත එක දිගට වැඩ කර දවස අවසන් වෙද්දී සේවාදායක ඉල්ලුම සපුරා අවසන් කරනවා.

මේ විදිහට රාජ්‍ය ආයතන කාර්යක්ෂමව පැවතීමට මූලිකම මට්ටමේදී හේතු වෙන්නේ රාජ්‍ය ආයතන වල මූල්‍ය කළමනාකරණය සිදු වන ආකාරයයි. ලංකාවට සාපේක්ෂව ගත් විට මේ මූල්‍ය කළමනාකරණ ක්‍රමවේදයේ ලොකු මූලික වෙනසක් තිබෙනවා.

ලංකාවේ වගේම ඇමරිකාවේත් රාජ්‍ය අංශය නඩත්තු වෙන්නේ බදු මුදල් වලින්. වෙනස තියෙන්නේ බදු මුදල් වියදම් කරන ආකාරයේ. බදු සේ අය කරන ඩොලරයක් ලංකාවේ බදු රුපියල් වගේ නිදහසේ කැමති කටයුත්තක් වෙනුවෙන් වෙන් කරන්න බැහැ. බදු බොහොමයක් අය කරන්නේ නිශ්චිත වියදම් වෙනුවෙනුයි.

උදාහරණයක් විදිහට ඇමරිකාවේ අධිවේගී මාර්ග හා පොදු ප්‍රවාහනය වෙනුවෙන් කෙරෙන වියදම් ආවරණය වෙන්නේ එම මාර්ග භාවිතා කරන අය විසින් ගෙවන බදු මුදල් වලිනුයි. අදාළ බදු මුදල් කෙළින්ම යන්නේ වෙනම අරමුදලකට. ඒ බදු මුදල් වෙනත් කටයුත්තකට වියදම් කරන්න බැහැ.

ෆෙඩරල් අධිවේගී මාර්ග භාර අරමුදල ලෙස හැඳින්වෙන ඉහත අරමුදල යටතේ ගිණුම් දෙකක් තිබෙනවා. ඒ අධිවේගී මාර්ග ගිණුම හා පොදු ප්‍රවාහන සේවා ගිණුමයි. ඇමරිකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම්, සංවර්ධනය, නඩත්තුව හා නියාමනය වෙනුවෙන් මුදල් වැය කෙරෙන්නේ පළමු ගිණුමෙන්. උමං දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහන සේවා සංවර්ධනය කිරීම හා නියාමනය වෙනුවෙන් වියදම් සිදු කෙරෙන්නේ දෙවන ගිණුමෙන්.

අධිවේගී මාර්ග භාර අරමුදල යටතේ ඇති ඉහත ගිණුම් දෙකට බදු හරහා අරමුදල් සැපයෙන නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ අරමුදල් ලැබෙන්නේ ඉන්ධන බදු වලින්. මේ වන විට ඇමරිකාවේ විකිණෙන පෙට්‍රෝල් ගැලුමකින් ඇමරිකන් ශත 18.40ක හා ඩීසල් ගැලුමකින් ඇමරිකන් ශත 24.40ක බද්දක් අය කෙරෙනවා. මේ බදු ප්‍රමාණ 1997 ඔක්තෝබර් සිට වෙනස් වී නැහැ. පෙට්‍රල් ගැලුමකින් හා ඩීසල් ගැලුමකින් ශත 2.86 බැගින් පොදු ප්‍රවාහන සේවා ගිණුමට බැර වෙනවා. පෙට්‍රල් ගැලුමකින් ශත 15.44ක් හා ඩීසල් ගැලුමකින් ශත 24.44 බැගින් අධිවේගී මාර්ග ගිණුමට බැර වෙනවා. එවිට අය කරන බදු මුදලින් ඉතිරි වන්නේ තවත් ශත 0.10ක් පමණයි. ඒ ශත දශමය යන්නේ තවත් අරමුදලකට. ඒ භූගත ඉන්ධන ටැංකි කාන්දු අරමුදලටයි. භූගත ඉන්ධන ටැංකි වලින් ඉන්ධන කාන්දු වීම වැළැක්වෙන පරිදි නියාමනය කටයුතු කිරීම වෙනුවෙන් මුදල් වැය කෙරෙන්නේ භූගත ඉන්ධන ටැංකි කාන්දු අරමුදලෙන්.

ඩීසල් හා පෙට්‍රෝල් වලට අමතරව අඩු අලෙවියක් ඇති අනෙකුත් ඉන්ධන වර්ග වලින්ද ඉහත කී ගිණුම් තුනට අරමුදල් බැර වෙනවා. ඒ බදු මුදල් රජයේ පොදු අරමුදලට බැර වන්නේ නැහැ. ඊට අමතරව තවත් බදු වර්ග කිහිපයකින් ලැබෙන ආදායම්ද අධිවේගී මාර්ග ගිණුමට මුළුමනින්ම බැර වෙනවා. එම බදු අය කෙරෙන්නේ ට්‍රක් රථ වැනි බරවාහන වලින් හා එම බරවාහන සඳහා යොදා ගන්නා ටයර් අලෙවි කරන විටයි. මේ ආකාරයට බදු මුදල් නිශ්චිත කාර්යයන් සඳහා වෙන් කර තිබෙන නිසා රටේ මහාමාර්ග පද්ධතියේ ප්‍රතිලාභ ලබන අයගෙන්ම එම ප්‍රතිලාභ වෙනුවෙන් වැය වෙන මිල අය කෙරෙනවා. අනෙක් අතට, අදාළ බදු ගෙවන අයටම එම බදු වල ප්‍රතිලාභ ලැබෙනවා.

මේ ආකාරයට අධිවේගී මාර්ග ගිණුමට එකතු වන මුදල් එක් එක් ප්‍රාන්ත වල මාර්ග සංවර්ධන කටයුතු සඳහා ප්‍රාන්ත අතර බෙදා හැරෙනවා. එහිදී කිසියම් ප්‍රාන්තයකින් එකතු වෙන බදු මුදල් හරියටම එම ප්‍රාන්තයටම ලබා දෙන්නේ නැහැ. එහෙත් අරමුදල් ප්‍රාන්ත අතර බෙදා හැරීම සිදු වන්නේත් ක්‍රමවේදයක් අනුවයි.

මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීමෙන් පසුව ඉතිරි වන අරමුදල් ආයෝජනය කෙරෙනවා. එමගින් අරමුදලට පොලී ආදායමක්ද ලැබෙනවා. ඇමරිකාවේ රාජ්‍ය ණය වලින් විශාල ප්‍රමාණයක් ඇමරිකානු රජය යටතේම තිබෙන මෙවැනි අරමුදල් වලින් ගත් ණයයි.

ගුවන් තොටුපොළ සංවර්ධනය වැනි අංශයක් ගත්තත් කටයුතු සිදු වන්නේ මේ ආකාරයටයි. එම වියදම් සිදු කෙරෙන්නේ ගුවන් තොටුපොළ හා ගුවන් මාර්ග භාර අරමුදලින්. ඒ යටතේ ගිණුම් හතරක් තිබෙනවා. ඒ ගොඩනැගිලි හා උපකරණ ගිණුම, පර්යේෂණ සංවර්ධන ගිණුම, ගුවන් තොටුපොළ සංවර්ධන වැඩසටහන් ගිණුම හා මෙහෙයුම් ගිණුම ලෙසයි. මේ එක් එක් ගිණුමට මුදල් ලැබෙන්නේත් නිශ්චිත බදු වලින්. අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර බද්ද, රටට පැමිණෙන හා රටින් පිටතට යන ගුවන් යානා වල මගීන්ගෙන් අය කරන බද්ද, "ගුවන් සැතපුම්" මිල දී ගැනීමේදී අය කරන බද්ද, ගුවන් මඟින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී අය කරන බද්ද, ගුවන් යානා සඳහා යොදා ගන්නා ඉන්ධන වලින් අය කෙරෙන බද්ද ආදී බදු ආදායම් බැර වෙන්නේ ඉහත ගිණුම් වලටයි.

මා ලිපිය පටන් ගැනීමේදී සඳහන් කළ සමාජ සංරක්ෂණ අධිකාරිය නඩත්තු වෙන්නේ සමාජ සංරක්ෂණ අරමුදල යටතේයි. ඇමරිකානුවන් බොහෝ දෙනෙකුගේ ප්‍රධාන විශ්‍රාමික ආදායම වන්නේ මාසිකව ලැබෙන සමාජ සංරක්ෂණ දීමනාවයි. මේ දීමනාවේ ප්‍රමාණය තීරණය වන්නේ විශ්‍රාම යාමට පෙර යම් අයෙකු විසින් උපයා තිබෙන ආදායම මතයි. ඇමරිකාවේ සේවය කරන අයගේ වැටුප අතට ලැබෙන්නේ එයින් සමාජ සංරක්ෂණ බදු මුදල් හා විශ්‍රාමික සෞඛ්‍ය වියදම් ප්‍රතිලාභ බදු අඩු කර ගැනීමෙන් පසුවයි.

විශ්‍රාම යාමෙන් පසු යමෙකුට ලැබෙන මාසික සමාජ සංරක්ෂණ දීමනාව තීරණය වන්නේ ඔහු හෝ අය විශ්‍රාම යාමට පෙර රැකියා කර ඉපැයූ සාමාන්‍ය ආදායම මතයි. ඒ කියන්නේ වක්‍රව ඔහු හෝ අය විසින් ගෙවා ඇති සමාජ සංරක්ෂණ බදු මුදල් ප්‍රමාණය මතයි. එහෙත්, එයින් අදහස් වන්නේ හරියටම යමෙක් ගෙවූ බදු මුදල නැවත ආපසු ලැබෙනවා කියන එක නෙමෙයි. මාසික දීමනාව ගණනය කෙරෙන්නේ පහළ ආදායම් ඉපැයූ අයට වාසිදායක වන ආකාරයටයි. එසේ වුවත්, සමස්තයක් ලෙස සමාජ සංරක්ෂණ දීමනා ගෙවිය යුත්තේ එකතු වී ඇති බදු මුදල් වලින් හා ඒ බදු මුදල් ආයෝජනය කර උපයා ඇති පොලී ආදායමෙනුයි. ඊට අමතරව සමාජ සංරක්ෂණ අධිකාරියට නඩත්තු වෙන්න සිදුවෙන්නේත් මේ අරමුදලෙන්.

මේ වන විටත් සමාජ සංරක්ෂණ අරමුදල ක්ෂය වෙමිනුයි පවතින්නේ. ඇමරිකානුවෙකුගේ ආයු අපේක්ෂාව කාලයත් සමඟ ඉහළ යාම සමාජ සංරක්ෂණ අරමුදල වඩා වේගයෙන් ක්ෂය වී යාමට හේතු වී තිබෙනවා. අරමුදල ආරම්භ කළ අවදියේ එකතු කර ගන්නා බදු මුදල් තරමට දීමනා ලබා ගන්නා විශ්‍රාමිකයින් නොසිටියත් කල් යද්දී මේ තත්ත්වය කණපිට හැරෙන නිසා නුදුරු වසරකදී අරමුදලේ සංචිත වලින් මාසික දීමනා ගෙවීම කළ නොහැකි වීමට නියමිතයි. එවිට මාසික දීමනා දිගටම ගෙවන්නනම් බදු වැඩි කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් අරමුදල තර කළ යුතු වෙනවා.

මෙවැනි තත්ත්වයක් තියෙද්දී අරමුදලේ පරිපාලකයින්ට අකාර්යක්ෂම වෙන්න බැහැ. ඔවුන්ට අවම පිරිවැයකින් අවශ්‍ය සේවා සපයන්න සිදු වෙනවා. ඔවුන්ගේ සාපේක්ෂ කාර්යක්ෂමතාවයට හේතුව මෙයයි.

පොදුවේ ගත්තත් ඇමරිකාවේ ෆෙඩරල් සේවකයෙකුට තමන් ගන්නා වැටුපට සරිලන ඵලදායී සේවයක් නොකර වැටුප් ගැනීම අසීරුයි. ඒ නිසා, ඇමරිකානුවෙකුට රජයේ රැකියාවක මහා ලොකු ආකර්ශනීයත්වයක් නැහැ. සාපේක්ෂව යම් රැකියා සුරක්ෂිතතාවයක් තිබුණත් ඒ වෙනුවෙන් මිලක් ගෙවිය යුතුයි. අනෙක් අතට පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිතතාවයක් නැතත් මුහුණ දෙන අවිනිශ්චිතතාවය වෙනුවෙන් එහි මිල ලැබෙනවා.

ලංකාවේ රාජ්‍ය අංශයේ වගේම පෞද්ගලික අංශයේත් රැකියා සුරක්ෂිතතාව රටේ නීති පද්ධතියෙන් තහවුරු කර තිබෙනවා. මෙය ලංකාවේ පෞද්ගලික අංශයේ අකාර්යක්ෂමතාවයට එක් හේතුවක්. ලංකාවේ පෞද්ගලික සමාගමකට පාඩු ලබන හෝ අවශ්‍ය තරම් ලාබ නොලබන කාලයකදී අකාර්යක්ෂම සේවකයින් සේවයෙන් ඉවත් කර පාඩු පියවා ගැනීම කළ නොහැකි තරමට අසීරු දෙයක්. බැලූ බැල්මට පෙනෙන්නේ මෙයින් රටේ වැටුප් ලබන ශ්‍රමිකයින්ට යහපතක් වී ඇති බවයි. එහෙත්, එය එසේම නැහැ.

පාඩු ලබන කාලයකදී සේවකයින් ඉවත් කිරීමේ හැකියාවක් නැති නිසා ලංකාවේ පෞද්ගලික සමාගමක් සේවකයින් බඳවා ගන්නේ එවැනි කාලයකදී වුවත් ආදායම් වියදම් තුලනය කර ගත හැකි තරමට පමණයි. මෙහි අවාසිය තිබෙන්නේ සමාගමකට ලාබ ලැබීමේ ඉඩප්‍රස්ථා වැඩි වන කාල වලදීයි. සේවකයින් අවශ්‍ය විටක ඉවත් කිරීමේ හැකියාවක් තිබුණානම්, පෞද්ගලික සමාගමක් එවැනි කාලයකදී බය නැතිව වැඩිපුර සේවකයින් බඳවාගෙන නිෂ්පාදනය ඉහළ දමනවා. නමුත්, එසේ කිරීමේ දිගුකාලීන අවදානම නිසා ලංකාවේ බොහෝ සමාගම් වලට තමන්ගේ ලාබ වැඩි කර ගැනීමේ ඉඩප්‍රස්ථා මග හැරී යනවා. ඇතැම් සමාගම්නම් අනියම් සේවකයින් පිරිසක් නඩත්තු කරමින් නීතියේ හිල් වලින් රිංගනවා.

පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිතතාවය තහවුරු කිරීමට වැඩි බරක් දීමේ තවත් අවාසියක් වන්නේ තරුණයින්ට රැකියා අවස්ථා අහිමි වීමයි. අකාර්යක්ෂම සේවකයින් ඉවත් කිරීමේ හැකියාවක් පෞද්ගලික සමාගම් වලට තිබුණානම් පළපුරුදු සේවයින්ට වගේම ආධුනික සේවකයින්ටත් වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලැබෙනවා. සමස්තයක් ලෙස රටේ රැකියා ප්‍රමාණය, සමාගම් වල ලාභ වගේම රටේ ජාතික ආදායමත් ඉහළ යනවා. ඒ වගේම, ව්‍යවසායකයින් අළුත් ව්‍යාපාර වලට අතගහන්න දැන් තරමට බය වෙන්නේත් නැහැ.

පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිතතාවය නීතියෙන් කෘතීම ලෙස තහවුරු නොකර තිබුණේ වුවත් දැන් රැකියා කරන අයට රැකියා නැති වෙන්නේ නැහැ. සමස්තයක් ලෙස රටේ රැකියා සැපයුම ඉහළ යන නිසා ශ්‍රම වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමේදී ඒ අයට කොහොමටත් රැකියා ලැබෙනවා. නමුත්, ඒ රැකියා නැති කර නොගෙන තියා ගන්නනම් දිගින් දිගටම කාර්යක්ෂමව ඉන්න වෙනවා.

හැබැයි ලංකාව තියෙන්නේ එක තැන කියා මා කියන්නේ නැහැ. වසරින් වසර ලංකාවේ තත්ත්වය යම් තරමකින් හොඳ අතට හැරෙනවා. 1990 පමණ කාලයේදී කාට හෝ බැංකු ගණුදෙනුවක් කර ගන්න අවශ්‍යනම් බොහෝ විට තමන්ගේ බැංකු ශාඛාවටම යා යුතුව තිබුණා. මේ තත්ත්වය වෙනස් වෙන්න පටන් ගත්තේ සම්පත් බැංකුව වැඩ පටන් ගැනීමත් එක්කයි. ඔවුන්ගේ ආකෘතියේ කලින් පැවති ආකෘතියට සාපේක්ෂ ප්‍රධාන වෙනස්කම් දෙකක් තිබුණා. පළමුව, සියළු බැංකු ශාඛා පරිගණකගත කිරීම හරහා "තමන්ගේ බැංකු ශාඛාව" කියන සංකල්පය ඔවුන් විසින් නැති කර දැම්මා. දෙවනුව, පාරිභෝගිකයෙකුගේ අවශ්‍යතාව කවරක් වුවත් එය තනිව ඉටු කළ හැකි බැංකු විධායකයින් සහිත ආකෘතියක් සම්පත් බැංකුව විසින් හඳුන්වා දුන්නා.

සම්පත් බැංකුවේ මේ කාර්යක්ෂම ක්‍රමවේදයන් ඉතා වේගයෙන් අනෙක් පෞද්ගලික බැංකු වලටත් බෝ වුණා. එසේ වුනේ තරඟකාරී පසුබිමක ලාබ අපේක්ෂා කරන පෞද්ගලික බැංකුවට පවතින්නනම් අනෙක් තරඟකරුවන්ට සාපේක්ෂව හැකිතාක් කාර්යක්ෂම වෙන්න නිදහස් වෙළඳපොල ක්‍රමය විසින් බල කෙරෙන නිසයි. රාජ්‍ය බැංකු වලට එවැනි පීඩනයක් නොතිබුණත්, දිගුකාලීනව මේ පීඩනය ඔවුන්ටත් යම් තරමකින් දැනෙන්න ගත් නිසා ඔවුන්ටත් හෙමින් හෙමින් වුවත් යම් වෙනස්කම් කරගන්න සිදු වුනා. එහෙත්, රාජ්‍ය බැංකුවකට ලාබ ලබන්න පෞද්ගලික බැංකුවකට තරම් පීඩනයක් නැති නිසා ලංකාවේ රාජ්‍ය බැංකු පෞද්ගලික බැංකු තරමට කාර්යක්ෂම වුනේ නැහැ.

මෙහි වක්‍ර ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ බැංකු රස්සා (විශේෂයෙන්ම ඇමරිකාවට සාපේක්ෂව) තවමත් පොෂ් රස්සා ලෙස පවතිනවා. රැකියා සැපයුමට සාපේක්ෂව ඉල්ලුම වැඩියි. රැකියා වෙළඳපොළට අලුතින් එකතු වන අයෙකුට බැංකු රස්සාවකට ඔලුව දමා ගැනීම අසීරුයි. ඉන්න කෙනෙක් ලේසියකට රස්සාව අතාරින්නේ නැහැ. ඒ වගේම පාරිභෝගික සත්කාරය නරකම නැතත් දියුණු කළ හැකි තරමටම ඉහළ ගිහින් ඇතැයි කියන්න බැහැ.

කුමක් හෝ රස්සාවක් කරන කෙනෙක් ඒ රස්සාව ලේසියකට අතහරින්නේ නැහැ කියන එකෙන් බොහෝ විට අදහස් වෙන්නේ  ඔහුට හෝ ඇයට තමන් දැනට ලබා ගන්නා වැටුප් හා වරප්‍රසාද ලබා ගත හැකි විකල්ප රැකියා අවස්ථාවක් නැහැ කියන එකයි. ඒ කියන්නේ තමන් ලබා දෙන නිෂ්පාදන දායකත්වයට වඩා දෙයක් තමන් විසින් ලබා ගන්නවා කියන එකයි. සිද්ද වෙන්නේ මෙහි අනිත් පැත්තනම් මේ වගේ කෙනෙක්ට එක තැනකින් යන පරක්කුවට වෙනත් තැනක රස්සාවක් ලැබෙන්න ඕනෑ. එවැනි හැකියාවක් තිබෙන අයත් ඉන්නවා. ඒ අය බොහෝ විට එක තැනක එල්ලී නොසිට තමන්ගේ නියම මිල හොයාගෙන යනවා. නමුත්, ඒ ටික දෙනෙක්. කෘතීමව ඇති කර තිබෙන රැකියා සුරක්ෂිතතාවයේ වාසිය ගන්න අය ඊට වඩා ගොඩක් වැඩියි.

10 comments:

  1. ඉකොනෝ,

    ඔබතුමා කරන්නේ මහා කුප්පිදු වැඩක්! මොනවද මේ ලියන්නේ? මේවා ගෙනල්ලා ඇහේ ඉලුවත් අපේ රටේ පාලකයන්, සුදු කරපටි රස්සාකාරයන් මේ සම්මජාතියේ වෙනස් වෙන්නේ නැහැ.

    ඔබේ පෝස්ට්ස් කියවන අයගේ රුධිර පීඩනය වැඩිවෙන එකයි, මළ පනින එකයි තමා වෙන්නේ. හැබැයි මාත් නොකඩවාම ඔබේ ලිපි කියවනවා; ආසාවෙන්. මොකද මට අර ලෙඩ දෙකම නැහැ.

    මේ පෝස්ටුව කියවද්දී මගේ 'සුපිරි මොළ ගෙඩිය'ට සපැමිණි රත්තරන් අදහසක් මේ.

    මේ මහත්තයෝ... දැන් හැම දේම පිටරටින් ගෙන්වන කාලයක්නෙ, සිරි ලංක පුරේ තියෙන්නේ. නරකයිද යුරෝපාකරෙන් දේශපාලකයන් ටික දෙනෙක්- 226ම ලංකාවට ගෙන්නා ගත්තොත්? ඕනෙම නං පටන් ගැනීමක් විදිහට එක්කෙනෙක්වත්.....

    ReplyDelete
  2. ලංකාවෙ මිනිස්සු ස්වභාවිකවම risk averse. ඒක මං හිතන්නෙ ලංකාවෙ වගේ employer ට වඩා employee ගැන හිතන කම්කරු නීති පද්ධතියක් සමග තවත් risk averse වෙලා ඉන්නෙ. ඒක හේතු ගොඩකින් එක හේතුවක් රස්සාව ආරස්සා කරගෙන තියන වැඩක් කරගෙන ඉන්න පුරුදු වෙලා ඉන්න ක්‍රමයට.

    ReplyDelete
  3. සම්පත් බැංකුවේ අන්තර්ජාල බැංකු සේවා කටයුතුත් හොඳ මට්ටමක පවතිනවා.තාක්ෂනය භාවිතයෙන් ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කිරීම අතින් ලංකාවේ බැංකු වල ප්‍රගතියක් දැන් දකින්න පුළුවන්.ඒ වෙනුවෙන් බැංකු ය කරන මිල විවිධ උනත්.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය බැංකු දෙක නොවන්නට බැංකු අතර තරඟය නිසා ලංකාවේ බැංකු ක්ෂේත්‍රය මේ වන විට තවත් කාර්යක්ෂම වෙලා.

      Delete
  4. //කෘතීමව ඇති කර තිබෙන රැකියා සුරක්ෂිතතාවයේ වාසිය//
    මේ හින්දා රජයට අඩු වැටුපකට උගත් හෝ වෘතිය සේවකයින් බඳවාගන්න පුළුවන්. අනික එම සේවකයින් දීර්ඝ කාලයක් ආයතනයට සේවය කරන එකත් රජයට වාසියි. අනිත් පැත්තෙන් රජයේ වැටුපට සාපේක්ෂව පෞද්ගලික අංශයේ වැටුප් සකස් වෙන නිසා රටේ සමස්ත වැටුප් මට්ටම අඩු අගයක කෘතිමව තියාගන්න පුළුවන්.(ඇතැම් ක්ෂේත්‍රවල)

    රජයක් හැටියට අඩු වැටුපකට, ඉහල රැකියා සුරක්ෂිතතාවයකින් යුතු විශාල රාජ්‍ය සේවයක් පවතා ගැනීම වාසිදායක විය හැකියි වෙළඳපොල මිලට සේවකයන් බඳවා ගන්න/ඉවත් කරන ක්‍රමයකට සාපේක්ෂව.




    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔබ කතා කරන්නේ ඇතැම් වෘත්තීය ක්ෂේත්‍ර ගැන කියා.

      Delete
  5. Americans cannot maintain their essential faith in government if there are two Americas, in which the private sector's work subsidizes the disproportionate benefits of this new public sector elite.
    - Mortimer Zuckerman

    ReplyDelete
  6. මුළුමනින්ම එකඟයි, මං දැනට රස්සාවල් විස්සකට වඩා කරලා තියෙනවා, ආයතන 14 ක

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: