වෙබ් ලිපිනය:

Sunday, July 21, 2019

හිතනකොටම ටයිප් වෙනවානම්...


මා මේ සටහන් ලියන්නේ ගූගල් ආදාන මෙවලම් ඇසුරෙන්. සිංහලෙන් ටයිප් කිරීම මෙතරම් පහසු නොවන්නට මෙවැනි සටහන් නොලියවිය හැකිව තිබුණා. මා භාවිතා නොකළත් හඬ හඳුනාගැනීමේ මෘදුකාංගයක් භාවිතා කරමින් ලිවීම තවත් පහසුයි. එසේ ලියන අය ඉන්නවා.

හිතන කොටම, හිතන වේගයෙන්ම ටයිප් වෙනවානම් කොයි තරම් පහසුද? සමහර විට වසර කිහිපයකින් එයත් කළ හැකි දෙයක් වෙන්න පුළුවන්.

මිනිස් ජෙනෝමය මුළුමනින්ම හඳුනාගෙන, සිතියම්ගත කරලා දැන් වසර පහළොවකටත් වැඩියි. මම හිතන විදිහට මෙය මානව පරිණාමයේ දිශානතිය කෙරෙහි කළ බලපෑම සුළුපටු නැහැ. මේ වෙද්දී කාගේ හෝ පුද්ගලයෙකුගේ ජෙනෝමය මුළුමනින්ම හඳුනා ගන්න එක ඩොලර් දාහකට ආසන්න වියදමකින් කළ හැකි දෙයක්. අවුරුදු දහයකට කලින් මේ වැඩේට ඩොලර් ලක්ෂයක්වත් වැය වුණා. ඩීඑන්ඒ බේසස් මිලියනයක් (මෙගාබේස් එකක්) හඳුනාගන්න දැන් වැය වන්නේ ඩොලර් ශත එකහමාරක පමණ මුදලක්. රුපියල් වලින්නම් දෙකයි පණහක් විතර.

සමාජ සමීක්ෂණ වලදී ඉස්සරනම් කළේ නිශ්චිත ප්‍රශ්න ටිකක් අහලා ඒවාට ලැබෙන පිළිතුරු සටහන් කර ගන්න එක පමණයි. පස්සේ උස, බර, රුධිර සාම්පලයකින් හොයා ගන්නා සීනි, කොලෙස්ටරෝල් ආදිය පිළිබඳ තොරතුරුත් මේ සමීක්ෂණ දත්ත වලට එකතු වුණා. දැන් ඇමරිකාවේ මේ වගේ සමීක්ෂණ ගණනාවකම කෙළ බිංදු කිහිපයක් විශ්ලේෂණය කරලා ලබා ගන්නා ඩීඑන්ඒ තොරතුරුත් තිබෙනවා.

සමාජ විද්‍යාඥයින් අතට ඩීඑන්ඒ තොරතුරු ලැබීමෙන් පස්සේ පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත සිදු වී තිබෙන වෙනස දේශපාලනිකව ඉතා වැදගත් එකක්. මේ දත්ත විශ්ලේෂණය කරමින් පර්යේෂණ ප්‍රතිඵල එකින් එක එළියට එද්දී වැඩි වැඩියෙන් තහවුරු වෙන්නේ මිනිහෙක් කොයි තරම් දුරකට තමන්ට අහම්බෙන් ලැබුණු ජාන කට්ටලයේ හිරකාරයෙක්ද කියන එකයි. හොඳ හෝ නරක පුරුදු, ජීවන විලාසිතා ආදිය හැම විටම පුද්ගලයෙකුගේ ස්වේච්ඡා තීරණ හෝ සංස්කෘතික සාධක මත පමණක් තීරණය වන දේවල් නෙමෙයි.

ඉගෙන ගන්න තිබෙන උනන්දුව, ඉතිරි කරන්න තිබෙන කැමැත්ත වගේ දේවල් වල ඉඳලා හිතාගන්න අමාරු තරම් මිනිස් හැසිරීම් ගණනාවකට ජාන වල සම්බන්ධයක් තිබෙන බව පෙනෙන්න තිබෙනවා. මේ අංශයෙන් කෙරෙන පර්යේෂණ ප්‍රතිඵල එළියට එනකොට මිනිස්සු කවුරුත් සමානයි කියන දේශපාලන අදහස අභියෝගයට ලක් වන එක වලක්වන්න බැහැ. නමුත්, ජාන තෙරපුම පාලනය කරගෙන මිනිහෙක්ට ක්‍රියා කිරීමේ හැකියාවක් තිබෙන නිසා පුද්ගල තීරණ වලට තිබෙන වැදගත්කම මේ පර්යේෂණ වලින් නැති වෙන්නේ නැහැ.

හැබැයි ඔය තත්ත්වය පවතින්නේත් මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය විශ්ලේෂණය කිරීමට අපහසු තරම් සංකීර්ණ කළු පෙට්ටියක්ව තිබෙන තුරු පමණයි. ඒ තත්ත්වයත් තව දශකයකට වඩා ඒ විදිහටම නොතිබෙන්න පුළුවන්. ඒ වෙද්දී සමාජ විද්‍යාඥයින්ට විශ්ලේෂණය කරන්න වෙන්නේ මිනිස් මොළ වල නියුරෝන ෆයර් වෙන රටා පිළිබඳ දත්ත වෙන්න පුළුවන්.

පළමු හඳ ගමනට වසර පණහක් ගත වෙද්දී, දැන් දවස් කිහිපයකට කලින් ඊලෝන් මස්ක් ඔහුගේ නියුරාලින්ක් ව්‍යාපෘතියේ ඉදිරි පියවර ගැන පැහැදිලි කළා. මිනිස් මොළය හා පරිගණක සෘජුව සම්බන්ධ කර ජාලගත කිරීමේ ඔහුගේ පර්යේෂණ සඳහා ලබන වසර ඇතුළත මිනිසුන් යොදා ගන්න ඔහු සැලසුම් කර තිබෙනවා. හරියටම කියනවානම් මේ ව්‍යාපෘතිය යටතේ කරන්නේ කුඩා චිපයක් හිසේ සමට යටින් තැන්පත් කර මොළයේ විවිධ තැන් ඒ චිපයට සම්බන්ධ කිරීමයි.

මේ චිපයෙන් මොළයේ නියුරෝන වලින් ලබා දෙන සංඥා සංවේදනය කරගෙන රැහැන් රහිතව පරිගණක පද්ධතියක් වෙත සම්ප්‍රේෂණය කරනවා. ඒ සංඥා විශ්ලේෂණය කරන පරිගණකයක් මඟින් නැවත හිසේ තැන්පත් කර ඇති චිපය හරහා මොළය වෙත සංඥා ප්‍රතිචාර නිකුත් කරනවා. සරලවම කිවුවොත් මිනිස් මොළ සුපිරි පරිගණක පද්ධතියක කොටසක් වෙනවා. වෙනත් අයුරකින් කිවුවොත් සුපිරි පරිගණක පද්ධතියක් මිනිස් මොළයක කොටසක් වෙනවා. ඊට පස්සේ තව ගොඩක් දේවල්... ගොඩාක් දේවල්... වෙන්න පුළුවන්.

සැලසුම්කරුවන් විශ්වාස කරන ආකාරයට දත්ත සම්ප්‍රේෂණය හා විශ්ලේෂණය සිදුවන වේගය නිසා අතරමගදී පරිගණකයක් සම්බන්ධ වූ බව මොළය තේරුම් ගන්නේ නැහැ. ඒ වගේම මොළයේ තැන් තැන් වලට සම්බන්ධ කරන ඉලෙක්ට්‍රෝඩ කේශ නාලිකා වලටත් වඩා කුඩා නිසා සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ඒවා ආගන්තුක ද්‍රව්‍ය සේ හඳුනා ගන්නේ නැහැ. මේ තරම් කුඩා ඉලෙක්ට්‍රෝඩ මොළයට සම්බන්ධ කරන එක මිනිස් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකුට කළ නොහැකි නිසා අනවීක්ෂයක් ලෙස බලාගෙන ඒ වැඩේ කරන්නේ ඒ වෙනුවෙන්ම නිර්මාණය කර තිබෙන රොබෝ කෙනෙක්. මේ වැඩේට හිසේ මැහුම් දැමිය යුතු තරම් ලොකු කැපුමක් කළ යුතු හෝ සිහි නැති කළ යුතු නැහැ.

අනාගතයේදී ඔබට බ්ලොග් ලිපියක් ලියන්න ලිවිය යුතු දේ හිතීම පමණක් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ඒ වගේම චිත්‍රපටයක් නරඹන්න ඔබට ඔබේ ඇස් හෝ සවන් අවශ්‍ය නොවෙන්න පුළුවන්. එය මේට්‍රික්ස් චිත්‍රපට ත්‍රිත්වයේ පෙන්වන ආකාරයේ මෙතෙක් මිනිසුන් සතු නොවූ වෙනස්ම ආකාරයේ සංවේදනා අත්දැකීමක් විය හැකියි. මේ සියල්ලටම පෙර සිදු විය හැක්කේ ස්නායු පද්ධතිය හානි වීම නිසා සිරුරේ විවිධ කොටස් චලනය කළ නොහැකි අයට එසේ කිරීමට සැලසීම, ඇස් නැති අයට පෙනීම ලබා දීම වැනි දේ.

මම හිතන විදිහට ඊලෝන් මස්ක් දැන් අත ගහන්නට යන්නේ මෙතෙක් විද්‍යාව විසින් අත නොතැබූ, මෙතෙක් ආගම් වල වපසරියේ තිබුණු කොටසකටයි. ඒ නිසා, තාක්ෂනය ගැන උනන්දුවක් දක්වන අයට අමතරව දර්ශනය වගේ විෂයයන් ගැන උනන්දුවක් දක්වන අයත් වෙන්නේ මොනවාද කියා බලා ඉන්න එක කෝකටත් හොඳයි.

පහත වීඩියෝවේ විස්තර තිබෙනවා. වීඩියෝව නැරඹීමට "Watch this video on YouTube." ක්ලික් කරන්න.



(Image: https://alsnewstoday.com/2017/02/23/study-shows-brain-computer-interface-allows-als-patients-to-type-much-faster/)

11 comments:

  1. මට හැමදාම කරන්න ඕනේ වෙලා තියෙන දෙයක් තමා අර මේට්‍රික්ස් පලවෙනි චිත්‍රපටියේ I know Kung Fu කියනවා වගේ කැමති ඕනෑම දෙයක් ටක් ගාල ඉගෙන ගන්න පුළුවන් වෙන එක. අපේ ජිවිත කාලේ ඇතුලත සමහරවිට දකින්න පුළුවන් වෙයි. අතින් බ්ලොග් ලියපු සුන්දර කාලයක් ගැන හිතින් ලියන පොස්ට් කියවන්නත් ලැබෙයි ... :) :)

    ReplyDelete
  2. මම හිතන්නේ ඒක වාඩා සාර්ථකවෙන්නේ මේ විදියට
    ළදරුවෙක්ගේ මොලයට බාහිර පරිගනකයක් සමඟ සම්බන්ධ වියහැකි ඉලෙක්ටොනික් කොටසක් සවිකරනවා.
    ඉන්පසු ලමයට මනසින් විදුලි බුබුලු දැල්වීම. ශබ්ද ඇතිකිරීමට පුරුදු කරවනවා.
    ළමයා වැඩෙනකොට මනසින් හසුරුවන්න පුළුවන් සෙල්ලම්බඩු ලබාදෙනවා. පාසලේදී. මනසින් අකුරු ලිවීම. රූප ඇඳීම ආදි ක්‍රියා පුරුදුකරවනවා.
    මේ ආකාරයට මොලය සහ ඉලෙක්ටොනික් කොටස එකට එක්වීෟ හයවන ඉන්ද්‍රියක් හැටියට වැඩකරන්න හුරුකරවන්න පුළුවන් වෙයි.
    වැඩුන කෙනෙක්ගේ මොලයට ඉලෙක්ටොනික් කොටස් සවිකිරීමට වඩා එය සාර්ථක වෙයි.

    ReplyDelete
    Replies
    1. අප වැඩිහිටියන් කියා හිතුවත් මේ කරුණ හා අදාළව අපි හැමෝම වගේ පොඩි ළමයි. කුඩා ළමයෙක්ගේ තරම්ම පහසු නැතත් වැඩුණු අයෙකුගේ මොළය නැවත ක්‍රමලේඛනය කරන එක ගොඩක්ම අමාරු වැඩක් නෙමෙයි. ඊලෝන් මස්ක් හිතන ආකාරය අනුව ඔවුන් මේ කාර්යය ස්මාර්ට් ෆෝන් ඇප් එකක් හරහා කරගනී කියා හිතෙනවා.

      Delete
  3. තව දෙයක් තමයි ඉදිරියේදී නැවත ඇනලොග් පරිගනක පාවිච්චියට එන බව දැනගන්න ලැබුනා.
    කෘතිම බුද්ධිය සම්බන්ධ කටයුතු වලදී ඩිජිටල් තාක්ශනයට වඩා ඇනලොග් සාර්ථක නිසා.

    ReplyDelete
    Replies
    1. මෙය ගොඩක් විස්තරාත්මකව කතා කළ යුතු සංකල්පීයව ගැඹුරු කරුණක්. හරියටම බැලුවොත් ඩිජිටල් සිග්නල් කියා දෙයක් නැහැ. ඩිජිටල් සංඥාවක් කියා කියන්නේ ඇනලොග් සංඥාවකම සුවිශේෂී ස්වරූපයක්. ඇත්තටම තිබෙන්නේ ඩිජිටල් තර්කනයක්. ඩිජිටල් තර්කනය පසුපස ඓතිහාසික හා සංස්කෘතික පසුබිමක් තිබෙනවා. පරිගණක හා අදාළව ඩිජිටල් තර්කනය විසින් සුවිශේෂී කාර්ය භාරයක් සිදු කර තිබෙනවා. නමුත් මිනිස් මොළය ඇනලොග්. "කෘතිම බුද්ධිය සම්බන්ධ කටයුතු වලදී ඩිජිටල් තාක්ශනයට වඩා ඇනලොග් සාර්ථක නිසා" කියන අදහස එන්නේ මිනිස් මොළය හොඳම පරිගණකයකටත් වඩා සාර්ථක නිර්මාණයක් කියන අදහස එක්කයි. පරිගණක සැලසුම් කරන අය දිගටම ඒ ආකාරයට හිතුවොත් ඩිජිටල් පරිගණක වෙනුවට ඇනලොග් පරිගණක එන්න පුළුවන්. මෙවැනි සැලසුම් වල අවසන් ඉලක්කය වන්නේ හැකිතාක් දුරකට මිනිස් මොළයට සමාන පරිගණකයක් හදන එකයි. නමුත්, ඊලෝන් මස්ක් ඇතුළු කණ්ඩායම ඒ ආකාරයට හිතන බවක් පෙනෙන්නේ නැහැ. ඔවුන් හිතන්නේ කෘතීම බුද්ධිය හමුවේ මිනිස් මොළය පරාජය වීම නොවැලැක්විය හැකි දෙයක් බවයි. ඒ අනුව, මිනිස් මොළය කෘතීම බුද්ධිය හා එකතු කිරීම මිනිස් සංහතිය වඳ වී යාමෙන් බේරීම පිණිස ගත යුතුම ක්‍රියා මාර්ගයක්. මේ පදනම මත ඉලක්කය මිනිස් මොළය තරමට කෘතීම බුද්ධිය දියුණු කිරීමට වඩා ගොඩක් එහාට ගිය එකක්. ඒ නිසා, පරිගණක ඇනලොග් වෙන එක වෙනුවට මිනිස් මොළය ඩිජිටල් වෙන්න පුළුවන්. මොළයේ ඇනලොග් සර්කිට් ඒ විදිහටම තියෙද්දී දත්ත සැකසුම් වලින් පටන් අරන් හිතන එක දක්වා දේවල් අවුට්සෝස් කිරීමේ සිට මොළයේ තර්කනය ඩිජිටල් ආකාරයට නැවත ක්‍රමලේඛනය කරනු ලැබීම දක්වා බොහෝ දේ වෙන්න පුළුවන්. මෙතෙක් කල් අප භෞතික වශයෙන් හැදී තිබෙන ආකාරය අප හිතන ආකාරයට, අපේ (මානව වර්ගයාගේ) සංස්කෘතියට බලපෑවා. දැන් එහි අනිත් පැත්තත් වෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. පුරෝගාමී මිනිසුන් හිතන ආකාරය හා පුරෝගාමී සංස්කෘතිය විසින් අනාගත මානව වර්ගයාගේ භෞතික ස්වරූපය පමණක් නෙමෙයි අනාගත මිනිසා හිතන ආකාරය පවා සැලසුම් කෙරෙමින් තිබෙනවා.

      Delete
  4. ඉකොනෝ, ඔහොම හිතින් හිතනදේ ලියවෙන කාලෙක මිනිස්සු බ්ලොග් කියවයිද?

    ReplyDelete
    Replies
    1. දැන් ක්‍රමයට කියවන එකක් නැහැ. ලියන දේවල් අවශ්‍ය අයගේ මොළයට සෘජුවම සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වෙයි. :)

      Delete
  5. සෝවියට් විද්‍යාඥයෝ හදලා තියෙනවා තුනේ පාදයේ (ත්‍රිකෝටික) පරිගනකයක්.
    ඒක ඩිජිටල් පරිගනක වලට වඩා විදුලිය පිරිමහින වේගය වැඩි එකක්.

    නමුත් ඩිජිටල් පරිගනක නිශ්පාදනය වානිජ වසයෙන් සාර්ථක වීම නිසා තුනේ පාදයේ පරිගනක ජනප්‍රිය වුනේ නෑ.
    අදවෙනකොට නැවත ආපසු හැරෙන්න බැරි තරමට පරිගනක තාක්ෂණය ඩිජිටල් වෙලා.
    https://en.wikipedia.org/wiki/Ternary_computer

    ReplyDelete
  6. ඇමරිකන් උත්තමයෝ හඳේත් ඇවිදලා තියෙනවා කියනවනි. සාමයෙන් යුතුව චන්ද්‍රයා ගවේෂණය කිරීමට ගිය මිනිසුන් සඳ මතම සාමයේ සැතපීමට දෛවය විසින් තීරණය කර තිබේ.

    මේ නිර්භය මිනිසුන් වන නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් තමන්ට ආපසු නොහැකි බව දැන සිටිති. නමුත් සිය කැපවීම තුළ මනුෂ්‍ය වර්ගයාට බලාපොරොත්තුවක් තිබෙන බව ද ඔවුහු දැන සිටිති.

    මේ මිනිසුන් දෙදෙනා මනුෂ්‍ය වර්ගයාගේ උතුම්ම අරමුණ වන සත්‍යය සහ අවබෝධය සොයාගැනීම සඳහා සිය ජීවිත කැප කර තිබේ…..

    ඒ උත්තමයන්ට බුදුබව පාර්ථනා කරමු

    ReplyDelete
  7. සීඝ්‍ර ලෙස දියුනුවන පරිගනක තාක්ෂණය සහ ක‍්තිම බුද්ධි තාක්ෂණ නිසා
    වියුක්ත ප්‍රවාද වලින් ලෝකය අවබෝධ කරගැනීම වෙනුවට දත්ත ඔස්සේ ලෝකය අවබෝධ කරගැනීමේ යුගයක් ඉදිරියට එයි. බටහිර විද්‍යාඥයන් විය නොහැකි වුවත් ඉහත සඳහන් නව විද්‍යාව තුල සිංහලයන්ට එය ඔස්සේ නව දැනුම නිර්මාණයට හැකියාවක් ඇත.
    ෴෴ වනයේ නෙළුම (නලීන් ද සිල්වා)

    ReplyDelete
    Replies
    1. Mr Jagath
      Nalin De Silva is another loser who can’t prove his theories with tangible facts and figures.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: