වෙබ් ලිපිනය:

Sunday, July 21, 2019

සිංගප්පූරු සිහිනය


සිංගප්පූරු ආකෘතිය ලංකාවට හරි නොයන්නේ සිංගප්පූරුව කියන රට ආර්ථික වශයෙන් දියුණු වෙද්දී මිනිස්සු යන්ත්‍ර බවට පත් වෙලා තිබෙන නිසාම නෙමෙයි. කාට හරි කියන්න පුළුවන්නේ දැන් ඉන්න හැටියට ඒකෙත් වැරැද්දක් නැහැ කියා. සරලවම සිංගප්පූරු ආකෘතියෙන් ලංකාව ගොඩ දාන්න බැහැ.

හොඳ ප්‍රධාන විධායක නිලධාරියෙකුට කාලයක් තිස්සේ ලාබ නොලැබූ පෞද්ගලික සමාගමක් ගොඩ දාන්න පුළුවන්. එවැනි කෙනෙක් මුලින්ම කරන්නේ සමාගමේ නීති රීති හා ක්‍රමවේදයන් සේවකයින් විසින් අනුගමනය කරන බව තහවුරු කිරීමයි. සමාගමේ ලාබ ඉහළ යාම හා ඒ ලාබ වලින් කොටසක් තමන්ගේ අතට ලැබී තමන්ගේ ජීවිත සැපවත් වන බව ප්‍රධාන විධායක නිලධාරියා විසින් සේවකයින්ට ඒත්තු ගන්වනු ලැබුවහොත් ගොඩක් සේවකයින් කැමැත්තෙන්ම සමාගම් විනයට අනුගත වෙනවා. ගොඩක් දෙනෙක් සමාගම් විනයට අනුගත වන බව පෙනෙන විට ඉතිරි අයගෙන් වැඩි දෙනෙකුත් අනුගත වෙනවා. ඒ විදිහට අනුගත නොවන ටික දෙනෙක්ව බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මට පස්සේ ඉතිරි වෙන ටික දෙනාත් සමාගම් විනයට අනුගත වෙනවා. ඊට පස්සේ වැඩේ පහසුයි. සිංගප්පූරුව කියන රට ක්‍රියාත්මක වෙන්නෙත් තනි ලොකු සමාගමක් ක්‍රියාත්මක වන ආකාරයටයි.

සිංගප්පූරු ආකෘතියෙන් ගොඩ යාමේ හැකියාවක් තිබෙන්නේ සිංගප්පූරුව වගේ නාගරික රාජ්‍යයකටම පමණයි. ගොඩක් ලොකු රටක් නොවුණත් ඒ ආකාරයට ගොඩ යන්න නොහැකි තරමට ලංකාව ලොකුයි. දෙවැනි හේතුව ආසන්න වශයෙන් ජගත් පතිරණගේ පහත ප්‍රකාශය ඇතුළේ තියෙනවා.

"සිංගප්පූරුව කියන්නේ මූලධර්මවාදී ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. ... [එහි] පවතින්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට සහ ඉංග්‍රීසි බාශාවට පලමු තැන සහ අනෙක් සංස්කෘතීන් සියල්ලට දෙවෙනි තැන. තුන්වැනියෝ නෑ."

ඔය කතාවේ ඇත්තක් තිබෙනවා. පොදු සිංගප්පූරු සංස්කෘතිය කියන්නේ චීන, මැලේ හෝ දෙමළ සංස්කෘතිය නෙමෙයි. ඔය සංස්කෘතීන් තුනටම අයත් අය එකතු කිරීම සඳහා පිටින් ආනයනය කර බලහත්කාරයෙන් සිංගප්පූරුව මත පැටවූ සංස්කෘතියක්. එසේ කිරීම සිංගප්පූරුවේ වේගවත් ආර්ථික ගමනට විශාල ලෙස දායක වී තිබෙනවා.

සිංගප්පූරුවේ බහුතරය චීන්නු. එහෙත්, ඔවුන් සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන් වෙන විට කාලයක් මැලේසියාවේ සුළුතරයක් සේ සිටි පිරිසක්. සාපේක්ෂව මෑත කාලයකදී ආර්ථික හේතු මත මැලේසියාවට සංක්‍රමණය වී, මැලේසියාව පුරා විසිරී සිටි පිරිසක්. එහි වෙසෙන තෙවන ප්‍රධාන කණ්ඩායම වන දෙමළුන් කියන්නේත් එවැනිම පිරිසක්. ඒ නිසා  චීන්නුන්ට හෝ දෙමළුන්ට තමන්ගේ මුල් සංස්කෘතිය සිංගප්පූරුවේ ප්‍රමුඛ සංස්කෘතිය නොවීම ප්‍රශ්නයක් වුණේ නැහැ. චීන බහුතරයක් සහිතව සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන් වෙද්දී ඉන්දියාව හා පකිස්තානය වෙන් වෙද්දී වගේ මැලේසියා කොටසේ හිටපු චීන්නු විශාල වශයෙන් සිංගප්පූරුවට ආවේ නැහැ.

අනෙක් අතට මැලේසියා කොටසට ගිහින් භූමිපුත්‍රයින් නොවී සිංගප්පූරු කොටසේ රැඳුණු මැලේ ජාතිකයින් එසේ කළේ ඔවුන්ද ඔවුන්ගේ මැලේ සංස්කෘතික අනන්‍යතාවයට ලොකු බරක් නොදුන් පිරිසක් වූ නිසයි. ඒ නිසා, මැලේ, චීන, දෙමළ සංස්කෘති සියල්ල දෙවන තැනට දමා ඔය තුනටම නැති ආනයකික පොදු සංස්කෘතියක් ඇතුළේ සියලුම සිංගප්පූරුවන් විනයගත කිරීම ලී ක්වාන් යූට අමාරු වුනේ නැහැ.

ඔය වගේ දෙයක් කරන්න බැරි තරමට ලංකාවේ තත්ත්වය සංකීර්ණයි වගේම පසුබිම වෙනස්. ලංකාවේ සිංහල බෞද්ධ අනන්‍යතාවය දරන අයගේ ඒ අනන්‍යතාවය ගොඩක් ප්‍රබලයි. ඒ වගේම ලංකාවේ දෙමළුන්ටත් අවුරුදු 26ක කාලයක් තිස්සේ යුද්ධයක් ඇදගෙන යන්න පුළුවන් තරමට ශක්තිමත් අනන්‍යතාවයක් තිබුණා. ලංකාවේ මුස්ලිම් අයත් තමන්ගේ අනන්‍යතාවය පවත්වා ගනිමින් සෑහෙන කලක් තිස්සේ රටේ ජීවත් වෙනවා. ඉන්දියානු දෙමළුන් හා අනෙක් සුළු කණ්ඩායම් අමතක කළත්, ඉහත කී රටේ ප්‍රධාන කණ්ඩායම් තුනම ආනයනික ආගන්තුක සංස්කෘතියක් ඇතුළට රිංගවලා පොදු සංස්කෘතියක් හදන එක සිංගප්පූරුවේදී කළ තරම් ලේසියෙන් කරන්න බැහැ.

සංස්කෘතික කරුණු අමතක කර ආර්ථික කරුණු වලටම ආපසු ආවොත් සිංගප්පූරුව බිහි වුනේ "ජලය නැති, වගා බිම් අඩු, කිසිඳු ආදායම් මාර්ගයක් පිළිබඳව හෝඩුවාවක් නැති බිම් කඩකයි". මේ වගේ තැනක් ගොඩ දාන්න පුළුවන්කම තිබුණේ මුළුමනින්ම ලෝකයට විවෘත කිරීම හරහා පමණයි. තමන්ගේ සම්ප්‍රදායික රැකියා සමඟ හෝ ජීවන විලාසිතා සමඟ අත් නොහැරිය හැකි ඓන්ද්‍රීය සම්බන්ධයක් තිබුණු මිනිස්සු සිංගප්පූරුවේ හිටියානම් ඒ ඉතා අඩුවෙන්.

ලංකාවේ තත්ත්වය වෙනස්. ලංකාව කියන්නේ රට වටා සම්පත් පිරුණු මුහුදක් තිබෙන, වියලී ගිය දණ්ඩක් වුවත් දළු ලන සරු පසක් තිබෙන වාසනාවන්ත රටක් කියා හිතන බොහෝ දෙනෙක් තවමත් ලංකාවේ ඉන්නවා. එහෙම හිතන බොහෝ දෙනෙක් ඔය කියන සරු පසේ මඤ්ඤොක්කා දණ්ඩක්වත් හිටවන්නේ නැති, බිලී පිත්තක් අරගෙන මාලුවෙක් අල්ල ගන්න කවදාවත් නොහිතන අය වීම වෙනම කතාවක්. ඒ වුවත්, මේ ගොඩක් අයගේ සිහිනය කවුරු හෝ ඔය මඤ්ඤොක්කා දණ්ඩ හිටවලා රට ගොඩ දායි කියන එකයි.

ස්වයංපෝෂිත ආර්ථිකයක් කියන්නෙත් ලංකාවට කොහොමටත් හරියන එකක් නෙමෙයි. ඒ ගැන වෙනම කතා කරමු. ඒ වුනත්, එහි අනික් අන්තය වන සිංගප්පූරු අන්තයත් ලංකාවට ගැලපෙන්නේ නැහැ. ඒ අන්තයට යන්න අත ඇරිය යුතු දේවල් ලංකාවේ මිනිස්සු ලේසියකට අතාරින්නේ නැහැ. බලෙන් ඒ කටයුත්ත කරගන්න උත්සාහ කරන පාලකයෙක්ට යම් හෙයකින් අවස්ථාවක් ලැබුණත් එවැන්නෙකුට ලංකාවේ දිගුකාලීන පැවැත්මක් නැහැ.

11 comments:

  1. ඉන්දියාවෙන් සිංගප්පූරුවට ගිය පිරිස් ඒ රටේ පුංචි ඉන්දියාවක් හදාගෙන ඒ ආකාරයට ජිවත් වෙනවා. මුස්ලිම් ජනතාවත් බහුතරය ලිට්ල් ඉන්දියා අවට පල්ලි සාදාගෙන ඉන්නවා. ඒවායේ දිනකට පස් සැරයක් දෙවියන්ට යාඥා කිරීම ආදිය පීකර් දමා සිදුකරනවා.

    හින්දු ජනයා මාර්ග වල පෙරහැර ආදිය පවත්වනවා. ඉතිං අර කියන යාන්ත්‍රික ගතිය ඉන්දියානුවන්ට උරුම නැහැ. කාලයක් යද්දී මේ රට තව තව ඉන්දියානු උරුවට පත්වේවි.

    (මම රාජකරි ගමන් නිසා දැන් වසර 8 ක් පමණ තිස්සේ සිංගප්පූරුවට 40 ක් සැරයකට වඩා ගොස් තිබෙනවා.)

    ReplyDelete
    Replies
    1. සෙරන්ගුන් පැත්ත වගේ පැති ඇමරිකාවෙත් තියෙනවා. සමහර චයිනා ටවුන් වලට ගියාම මේ ඉන්නේ ඇමරිකාවේද චීනෙද කියල හිතෙනවා. ඉන්දියානුවන් වැඩිපුර ඉන්න පැති රෙදි වැල් වලින් අඳුන ගන්න පුළුවන්. නමුත්, මේ වගේ එත්නික් පොකට් කාලයත් සමඟ ව්‍යාප්ත වී හෝ වෙමින් ඇති බවක් පෙනෙන්නේ නැහැ. ඔය වගේ පැත්තක වුවත් තණකොළ කන්න පුළුවන් කඹේ දිගට පමණයි. සිංගප්පුරුවේ ඔය හරියේ සිදු වෙන්නේ පසුගිය සියවසේ මුල සිට සිදු වූ දේවල් මිසක් අලුත් දේවල් නෙමෙයි. ඔය පේන්න තිබෙන ඉන්දියානු සංස්කෘතිය මතුපිටින් තිබෙන එකක්. සිංගප්පූරු රජයෙන් ඔය කරන දේවල් වලට බාධා කළානම් ඔය වගේ දේවල් තවත් ව්‍යාප්ත විය හැකිව තිබුණා. නමුත්, එසේ නොකිරීම තුළ පරම්පරා අලුත් වෙද්දී පරණ සංස්කෘතික පුරුදු ගැඹුරක් නැති නිකම්ම නිකම් සෙරමෝනියල් දේවල් බවට පත් වෙනවා.

      Delete
    2. ඉකොනෝ මහත්තයා සිංගප්පූරුවේද ඉන්නේ?

      Delete
  2. එබ කලින් ලිපියක, බිරිතානි පාලනය යටතේ ලංකාව ඉන්දියාවේ පලාතක් නොවුනේ මන්දැයි නොදන්නා බව පැවසුවා.
    මම හිතන්නේ ඔකට හේතුව බිරිතානි අධිරාජ්‍යය සතුව ලංකාව ගැන විශේෂ ප්‍රතිපත්තියක් තිබීම විය හැකියි.
    බිරිතානියන්ට ලංකාව සිංගප්පූරුව හොංකොං යන රටවල් ඇංග්ලිකන් ක්‍රිස්තියානි බලකොටු ලෙස තබාගැනීමේ උවමනාවක් තියෙන්න ඇති.

    ReplyDelete
  3. ලී ක්වාන් යූ "ශ්‍රී ලංකා" සිහිනය දකින කොට ලංකාව සිංගප්පුරුවට වඩා ඉදිරියෙන් සිටියා.අපි පසුපසට ගියා. සිංගප්පුරුව ඉස්සරහට ගියා.පස්සට යන අපට "සිංගප්පූරු සිහිනය" පෙනෙන්න පටන් ගත්තා.ඒ කාලෙදිම වගේ අපි ජපානයටත් කරට කර හිටියා. පස්සට යන අප "ජපන් සිහිනයක්" නොදුටුවේ ඒ කාලේ හිටපු ජපන්නුන්ට "ශ්‍රී ලංකා" සිහිනයක් නොතිබුන නිසා වෙන්නැති. කොහොම හරි කමක් නෑ.අපි කාගෙ කාගෙ හරි හීන දැක දැක තාමත් යන්නෙ පස්සෙන් පස්සට.

    ReplyDelete
  4. නිසි රිසි අහර නැති
    බිළිඳු මගාම්පුරේ මියයති

    ඒ වුවද කම් නැති
    මියෙන්නට පෙර
    "සිංහපුර සිහිනය"
    ඌ දකින්නැති!

    ReplyDelete
  5. ඉකොනොමැට්ටා මම නම් දකින විදියට ලෝක ධනවාදයේ ආකෘති දෙකක් ඇත. ඉතින් ඉන් එකක් තමයි ආසියාතික සිංගප්පූරු, මැලේසියන් ආකෘතිය. අනෙක් අතට ලෝකෙයට මේ තියෙන තරම් අලු‍ත් දේවල් දායාද කරපු බටහිර ධනවාදී මොඩලය. අද තියෙන තාක්ෂණය, සංස්කෘතික දියුණුව, කලාව වගේම ඇඳුම් පැළඳුම් ආදී අලු‍ත් දේවල් හඳුන්වලා දුන්නේ බටහිර (යුරෝපයේ සිට ඇමරිකන්) ආකෘතිය ක්‍රියාත්මක වුණ තැන්වලින් නේද?

    හැබැයි ඉතින් මේ දෙකම ධනවාදය වුණාට මේ දෙක වැඩ කරන්නේ සංකීර්ණ සමාජ ආර්ථික සංකල්ප දෙකක් මත. ඉතින් එයින් එකක් වෙන ඇමරිකන් යුරෝපීය (බටහිර) ධනවාදය මුලීක වෙලා තියෙන්නේ පුද්ගල නිදහස, මානව අයිතීන් රැකීම මත පදනම් වූ රජය පවා පුද්ගලයාගේ පොදු අයිතිය සහ නිදහස එක්ක සාපේක්ෂ වශයෙන් ස්වායත්ත වශයෙන්. ඉතින් එහිදී ප්‍රධාන වශයෙන් පුද්ගලයන්ට පුද්ගල අයීතීන් හම්බ වුනාම පුද්ගලයා විසින් තමන්ගේ උපරිම හැකියාව වැය කරමින් සමාජයට අලු‍ත් දේවල් එකතු කරන ආකාරය තමයි පේන්නේ. ඒවා එකින් එකට එකතු වෙලා සමාජය සංවර්ධනය වෙන බව පේනවා.

    අපි සිංගප්පූරුවට අඩිය තියපු ගමන් දැනෙන එකක් තමයි මේ නගරය මියගිය මූසල නගරයක් කියන එක. මට නම් සිංගප්පූරුවේ ගිහින් සුමානයක් දෙකක්වත් ඉන්න බැහැ. ඉතින් හරියටම ඉස්පිරිතාලයක ඉන්නවා වගේ හැඟීමක් දැනෙන්නේ. ඒ සිංගප්පූරු රටේ මානව සම්බන්ධතා කියන එක හැදිලා නැති නිසා නේද?

    ඔය සිංගප්පූරුව හොඳයි කියලා කියවන අය නොදන්න කාරණාවක් තමයි සිංගප්පූරුවේ මිනිස්සුන්ට තමන් ජීවත්වෙනවා කියලාවත් දැනෙන්නේ නැහැ කියන එක. ඉතින් සිංගප්පූරුවේ කට්ට කාගෙන මැෂින් එකක් වගේ වැඩ කරන නිසා සාපේක්ෂ වශයෙන් සල්ලි ටිකක් අතට හම්බවෙනවා කියන්න පුළුවන්. ඉතින් එයාලා පාවිච්චි කරන්නේ ග්‍රෑන්ඩ් brand වල items වෙන්න පුළුවන්. ඒත් මනුෂ්‍යත්වය වර්ධනය වෙන්නෙ මිනිස්සුන්ගේ පෞද්ගලික භාවයත් එක්ක. ඒ ඒ මනුෂ්‍යයන්ගේ පෞද්ගලික පෞරුෂත්වය එක්ක. ඒ ඒ මනුස්සයාගේ පුද්ගලික සිතීම එක්ක. සාමූහික පැවැත්මක් කියන්නේ දඩයම් යුගයේ තිබුණා වගේ සමූහයක් විදියට දඩයම් කරලා, ආහාර හොයාගෙන ජීවත් වීමක් වගෙයි. මේ කාරණාව ලංකාවේ මිනිස්සුන්ට තේරුම් කරන්න අමාරුයි.

    ඔබ ලංකාව ගැන දීර්ඝ වශයෙන් විස්තර කරල පෝස්ට් දාපු එකේ දැන් බලන්න ලංකාවේ පෞද්ගලික නිදහස ගැන කතා කරන්නෙ නගරවල ඉන්න පිරිසක් විතරයි. ඒ හැරුණාම ලංකාවේ වැඩිපුර තියෙන්නෙ සාමූහිකත්වය. ඔක්කොම එකතුවෙලා කැරිෂ්මාවක් තියෙන නායකයෙක්ව (ඇල්ෆා මේල්) තෝරාගෙන වැඳුම් පිදුම් කරමින්, එයා කියන ඕනෑ දෙයක් කිරීම තමයි බහුතරයේ වුවමනාව.

    ReplyDelete
    Replies
    1. බටහිර රටවල පෞද්ගලික නිදහස කියන සංකල්පයේ කොටස් දෙකක් තියෙනවා. දෙවන හා වැදගත්ම කොටස වෙනත් අයගේ පෞද්ගලික නිදහසට ගරු කිරීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීම. ඔබ කියන ලංකාවේ සාමූහිකත්වය කියන වචනය ඇතුළේ හැංගිලා තිබෙන්නේ වෙනත් අයගේ පෞද්ගලික නිදහසට ගරු නො කිරීම කියන එකයි. ලංකාවේ මිනිස්සුත් තමන්ගේ පෞද්ගලික නිදහස අගය කරනවා. බටහිරදී වගේම වෙනත් අය එයට බාධා කරනවාට කැමතිත් නැහැ. නමුත්, ඒ අතරම ලංකාවේ ගොඩක් අය වෙනත් අයගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්න පැකිළෙන්නේ නැහැ. (උදාහරණයක් විදිහට නැන්දා ලේලි ආරවුල් ගැන හිතන්න) නාගරික පැති වල බටහිර සංස්කෘතියේ බලපෑම නිසා මෙය අඩුයි.

      Delete
  6. I lived and worked in Singapore for 12 years. The task/challenge in our hand (for Sri Lanka) is not to see all the shortcomings of Singapore, but to try and understand how Singapore did well without any natural resources and only with human resource. And copy as much as possible good things.

    LKY's corruption free autocratic govt, doing what he says he will do, running the country like a private company, flexibility to implement change in short notice, applying rule of law fast to all, good intelligent service, huge army, not allowing political party based on race or religion, not allowing single race to live in one area and lot of other things like defamation being criminal act, capital punishment, PTA like ISA to lockup people without charge etc. contributed to the success.

    Remember, most big businesses (Airline/Telecom/Public Transport) in Singapore is owned by govt (contrary to conventional wisdom) and most high posts in govt are held by LKY's family members.

    What we do is, just say we can't do like Singapore for 1001 reasons, Singapore is bad for 2001 reasons, as if we are better than Singapore for any 1 reason. (this is sour grapes)

    And we like to enjoy WAL BOORU nidahasa (to bend the rule of law as we need) and false seance of nationalism and religion, which is not value based.

    Hope 2020 will bring someone who can copy few qualities from LKY's Singapore. Those who can't live in country like Singapore should migrate to Australia (LOL)

    ReplyDelete
    Replies
    1. //I lived and worked in Singapore for 12 years//
      Without taking my question personally can you please tell me "Why did you leave the country without becoming a S'pore citizen and living rest of your life there?". A second question is, even if what LKY did is the ideal strategy for SL, what is the guarantee that a person will act exactly as LKY, once elected?

      Delete
    2. Why I left, we have 2 sons, my wife 100% did not want them to go to army (she lost her brother to war with LTTE) She would not agree SL army and SIN army are strategically very different. Other not so compelling reason was we had to give up our SL citizenship.

      I don't know if LKY's strategy will work in SL, any strategy will work better for SL than none. No guarantee either, however worth to try and elect someone with guts to steamroll the current system.

      What I wish is someone with different mindset will take over in 2020, so far (for me) only one in horizon is Gota.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: