මේ දවස් වල චීන්නු බොහෝ දෙනෙක් මුහුණු වැසුම් දමාගෙන ඉන්න බව මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් දන්නවා. එයට හේතුවත් දන්නවා. කොහොමටත් චීනය කියන රටත් මුහුණු වැස්මක් දමාගෙන සිටින රටක්. පිටතට පේන්නේ ඒ මුහුණු වැස්ම නිරාවරණය කර පිටතට පෙන්වන්න චීන රජයට අවශ්‍ය ප්‍රමාණය පමණයි.
චීන්නු හා මුහුණු වැසුම් අතර සම්බන්ධය කොරෝනා වෛරසය විසින් ඇති කරපු එකක් නෙමෙයි. මුහුණු වැසුම් පැළඳීම බොහෝ නගර වල ජීවත් වන චීන්නු විසින් කාලයක් තිස්සේම කරන දෙයක්. ඒ වෛරස් පැතිරීම වලක්වන්න හෝ වෛරස් වලින් බේරෙන්න නෙමෙයි. චීනයේ වායුගෝලය ඒ තරමටම අපවිත්‍ර නිසයි. උඩ රූපයේ දැකිය හැකි චීන්නු මුහුණු වැසුම් දමාගෙන ඉන්නේත් කොරෝනා වලට හෝ වෙනත් වෛරසයකට බයේ නෙමෙයි. හැබැයි පහුගිය අවුරුදු පහ ඇතුළතනම් මේ තත්ත්වය හොඳ අතට වෙනස් වෙලා තිබෙනවා.
චීනයේ වේගවත් කාර්මීකරණයේ හා නාගරීකරණයේ එක් නරක අතුරු පලයක් වුනේ චීන අහස වසාගත් කළු මීදුමයි. කළු මීදුම ලෙස මා සිංහලට පරිවර්තනය කරන්නේ smog කියන ඉංග්‍රීසි වචනයයි. මේ වචනය දුම යන තේරුම ඇති smoke යන්න හා මීදුම යන තේරුම ඇති fog යන්න එකතු වී හැදුනු වචනයක්. සිංහලෙන්නම් මීදුම කියන වචනය ඇතුළේම දුම කියන කොටස තිබෙන නිසා smog කියන එකට කළු මීදුම වැනි වචනයක් ගැලපෙනවා.
චීනයේ කළු මීදුමට හේතුව වුනේ ගල් අඟුරු බලාගාර වලින්, රථ වාහන වලින් හා කර්මාන්ත ශාලා වලින් පිටවන දුම් නිසි නියාමනයකින් තොරව වායු ගෝලයට මුදා හැරීමයි. වායු දූෂණය මැනීමේදී යොදා ගන්නා නිර්ණායකයක් වන්නේ PM 2.5 සාන්ද්‍රණයයි. මෙහි PM ලෙස හැඳින්වෙන්නේ අංශු පදාර්ථ (particulate matter) යන්නයි. PM 2.5 ලෙස වර්ග කරන්නේ මයික්‍රෝමීටර 2.5කට වඩා කුඩා, එනම් කෙස් ගහක ගණකමින් 3%කට වඩා අඩු ගණකමක් ඇති අංශු පදාර්ථයි. මීට වඩා තරමක් විශාල අංශු පදාර්ථ PM 10 ලෙස හැඳින්වෙනවා.
වායුගෝලයේ තිබෙන PM 10 අංශු පදාර්ථ පෙනහළු වලට ඇතුළු වී පෙනහළු වල ගැඹුරේ තැන්පත් වෙනවා. ඊටත් වඩා භයානක PM 2.5 අංශු පෙනහළු සිසාරා රුධිරයටම එකතු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දවසක් ඇතුළත හා වසරක් ඇතුළත සාමාන්‍ය වශයෙන් ආශ්වාස වාතයේ ඝන මීටරයක් තුළ තිබිය යුතු උපරිම PM 10 හා PM 2.5 අංශු පදාර්ථ ප්‍රමාණ පිළිබඳව පහත තිබෙන නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
Fine particulate matter (PM2.5)
10 μg/m3 annual mean
25 μg/m3 24-hour mean
Coarse particulate matter (PM10)
20 μg/m3 annual mean
50 μg/m3 24-hour mean
ඇමරිකාවේ පරිසර ආරක්ෂක ඒජන්සියේ නිර්දේශ මීටත් වඩා දැඩියි.
චීනය දීර්ඝ කාලයක් තිස්සේ මේ නිර්දේශ සත පහකටවත් මායිම් කළේ නැහැ. මේ වෙද්දී ලෝකයේ අපවිත්‍රම වායු ගෝල සහිත නගර තිබෙන්නේ ඉන්දියාවේ වුනත් කාලයක් තිස්සේම ඒ වාර්තාව දැරුවේ චීනයයි. 2013 වසරේදී බෙයිජිං නගරයේ PM 2.5 සාන්ද්‍රණය චීන රජයේ නිල වාර්තා අනුව 400 μg/m3 මට්ටමට දක්වාත්, බෙයිජිංහි ඇමරිකානු තානාපති කාර්යාලයේ දර්ශක අනුව 800 μg/m3 මට්ටමට දක්වාත් ඉහළ ගියා. PM 2.5 සාන්ද්‍රණය 300 μg/m3 මට්ටම ඉක්මවීම සැලකෙන්නේ ඉතාම අන්තරායදායක මට්ටමක් ලෙසයි. වාතය එපමණ දූෂණය වී ඇති විට නිවෙස් වලින් එළියට නොබැස සිටීමටයි නිර්දේශ කෙරෙන්නේ. චීනයේ වායු දූෂණය හේතුවෙන් වසරකට සිදු වන මරණ ගණන මිලියන 1.6ක් බව 2015දී ප්‍රකාශිත අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර තිබුණා.
බෙයිජිං නගරයේදී ජාත්‍යන්තර ඔලිම්පික් තරඟාවලිය පැවැත්වුණු 2008 වසරේදී චීන රජය තාවකාලිකව කර්මාන්ත ශාලා වලින් වායු ගෝලයට අපද්‍රව්‍ය මුදා හැරීම නියාමනය කළා. එහි ප්‍රතිපලයක් ලෙස කළු දුමාරයෙන් වසර ගණනාවක් වැහී තිබුණු බෙයිජිං අහස නිල් පැහැ ගැන්වුනා. ඔලිම්පික් නිල ලෙස හැඳින්වුණු මේ තත්ත්වය නිසා එම වසරේදී චීනයේ මරණ ගණන සැලකිය යුතු ලෙස අඩු වුනා. එහෙත්, ඔලිම්පික් තරඟ අවසන් වීමෙන් පසුව චීන රජය විසින් නැවතත් නියාමන රෙගුලාසි ලිහිල් කළා. චීන අහස නැවතත් කළු මීදුමෙන් වැසී ගියා. ඉන් පසුව, නැවත චීන රජය මේ වැඩේට අත ගැහුවේ පසුගිය වසර කිහිපය ඇතුළතයි.
මේ වන විට කොරෝනා මරණ ගණන 362 දක්වාත්, ආසාදිතයින් ගණන 17,387 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා මරණ වලට එකම හේතුව කොරෝනා වෛරසයද? එසේ නැත්නම්, කාලයක් තිස්සේ චීන නගර වල දූෂිත වාතය ආශ්වාස කර ශ්වසන පද්ධතිය දුර්වල වී සිටි අයට කොරෝනා වෛරසය අන්තිම මාරාන්තික පහර එල්ල කළාද?
කොළඹ අහසත් ඒ තරම්ම පිරිසිදු නැහැ. මේ තියෙන්නේ දැන් මොහොතකට පෙර තත්ත්වය.
කොළඹ අහස කොළඹ මනසට වැටේවා!
ReplyDeleteඔව් කොළඹ අහස පහුගිය ටිකේම තිබුනෙ අවදානම් කලාපයේ... එතරම් කාර්මීකරණය නොවූ කොළඹ අහස අපවිත්‍ර වෙන්න හේතුව ඉන්දියාවද?
ReplyDeleteකොළඹ අහසේ ඔය කියන තරම් මහ ලොකු අවදානමක් නෑ. ඇත්තටම කොළඹ අහස යුරෝපයේ ඇමරිකන් සහ ඕස්ට්‍රේලියාවේ ඇතැම් නගර (සිඩ්නි වගේ දූෂණයට ලක් වූ නගර විශේෂයෙන්) වලට වඩා ගොඩක් හොඳයි. මොඩරේට් ලෙවෙල් එකක් එක්ක සාපේක්ෂ වශයෙන් සෞඛ්‍යට ලොකු අවුලක් නැහැ.
Deleteමෙන්න මේ වගේ වෙබ් ලින්ක් වලින් වායු තත්ත්වය මැප් එකක් විදිහට බලාගන්න පුළුවන්;
https://aqicn.org/map/
ඇනෝ ඔබේ ලින්ක් එකෙන් ගොස් බැලූ විට මේ මොහොතේ කොළඹ දර්ශකය 81 ලෙස ද සිඩ්නි නගරයේ දර්ශකය 11 ලෙස ද දැක්වේ. නව දිල්ලියේ දරශකය 172 ක් වෙන අතර ඉකොනොගේ ගමේ අගය 50 ට අඩුය!
Deleteකොලඹ 81 උනාට කමක් නැහැ. රෂිනි හොදින් ඉන්නවා නං ඔහේ.
Deleteඇනෝ 726, දර්ශකවල මොනවා තිබුනත් මේ දවස්වල අපිට පේන්නෙ සුදු පාටිි්න වැහුනු කොළඹ අහසක්...මේක ඉස්සර අපි නොදැකපු දෙයක්...
Deleteකොළඹ අහස කළු කරගෙන PM 10 පැතිරෙන විට
ReplyDeleteසේරම හැරදා එන්නද ඉන්ඩියානා පැත්තේ?
අපි එනතුරු දොරකට ළඟ ඉන්නවාද මුත්තේ?
:-)