වෙබ් ලිපිනය:

Saturday, February 1, 2020

මුහුණු වැසුම් සංස්කෘතිය



සතියකට දෙකකට පෙර මගේ මිතුරියක් තරමක් දේශපාලනික ආකාරයේ ප්‍රශ්නයක් වත්පොත හරහා ඇගේ මිතුරු මිතුරියන්ගෙන් අසා තිබුණා. මම සාමාන්‍යයෙන් දේශපාලනය, ආගම වගේ දේවල් ගැන පෞද්ගලික මිතුරන්, අසල්වැසියන්, ඥාතීන් වැනි අය සමඟ කතා කරන්නේ එසේ කතා නොකරම බැරි වෙලාවල් වලදී පමණයි. පුළුවන්කමක් තිබෙන හැම වෙලාවකම පෞද්ගලික සම්බන්ධතාව පලුදු කර නොගෙන අයින් වෙලා පයින් යන එකයි කරන්නේ. මේ ප්‍රශ්නයටත් මම පිළිතුරු දෙන්න ගියේ නැහැ.

පසුව ඈ වත්පොත් පණිවුඩයකින් මා හා සම්බන්ධ වී හැකිනම් මේ ගැන ප්‍රතිචාරයක් දක්වන මෙන් ඉල්ලා සිටියා. ඇය ලංකාවේ සරසවියක ශාස්ත්‍රාලයීය රැකියාවක නිරතව සිටින කෙනෙක්. ඇතැම් විට වෘත්තීය කරුණු හා අදාළව ඈ මගේ අදහස් විමසනවා.  බොහෝ විට දුරකතනයෙන් හෝ ඊමේල් මගින්. වත්පොත හරහා පොදුවේ අසා තිබෙන ප්‍රශ්නය ගැන මා ඇයට දැනුම් දුන්නේ ඇය මගෙන් අදහස් විමසන්නේ ශාස්ත්‍රාලයීය කටයුත්තක් සඳහානම් පමණක් පිළිතුරක් දිය හැකි වුවත්, තේරුමක් නැති වත්පොත් විවාදයකට පැටලෙන්නට මගේ කැමැත්තක් නැති බවයි.

අවසානයේදී අප දුරකතනයෙන් සම්බන්ධ වුනා. සාකච්ඡාව ටික දුරක් යද්දී ඈ විසින් ලංකාවේ ඉතා සුලබ ගිරවෙකු කූඩුවෙන් එළියට ගනිමින් ධනවාදය හොඳ වුවත් එය අමානුෂික වීමේ ගැටළුව ගැන මතක් කළා. ඇගේ පෞද්ගලික මතය අනුව ධනවාදය අමානුෂික වන්නේ කොහොමද කියන ප්‍රශ්නයට ඇයට දිය හැකි පැහැදිලි පිළිතුරක් තිබුණේ නැහැ. ඈ ඉදිරිපත් කළේ ඉතා පහසුවෙන් නිශේධනය කළ හැකි තර්ක.

ධනවාදය අමානුෂිකයි කියන එක සමාජවාදීන් විසින් ඉතා සැලසුම් සහගතව කාලයක් තිස්සේ ලංකාවේ ඔලු වලට රිංගවා තිබෙන අදහසක්. වැඩිදුර කරුණු නොසොයා අපද කාලයක් මේ කතාව විශ්වාස කළා. නමුත්, ඇත්ත තනිකරම එහි අනිත් පැත්තයි.

ආර්ථික ක්‍රමයක් ලෙස මධ්‍යගත සැලසුම් ක්‍රමය සහ නිදහස් වෙළඳපොළ ක්‍රමය දෙමගක යන්න පටන් ගන්නේ භාණ්ඩයක වටිනාකම කියන සංකල්පය අර්ථ දක්වන තැන සිටයි. දැන් රුසියාවේ සරසවි වල පවා උගන්වන මහා සම්ප්‍රදායේ ආර්ථික විද්‍යාව අනුව භාණ්ඩයකට වටිනාකමක් ලැබෙන්නේ අවසානයේදී එය පරිභෝජනය කරන පාරිභෝගිකයාට ලැබෙන උපයෝගීතාවය මතයි. භාණ්ඩයකට විවිධ පාරිභෝගිකයින් විසින් ලබා දෙන වටිනාකම් අනුව එම භාණ්ඩයට තිබෙන වෙළඳපොළ ඉල්ලුම ඇති වෙනවා.

මාක්ස්වාදය අනුව භාණ්ඩයක වටිනාකම මූලික වශයෙන්ම පදනම් වෙන්නේ එය නිෂ්පාදනය කිරීම සඳහා යොදවනු ලැබූ අමුද්‍රව්‍ය ප්‍රමාණ හා ශ්‍රමය මතයි. භාණ්ඩයක මිල මේ "නිවැරදි" මට්ටම ඉක්මවූ විට මාක්ස්වාදීන් එය නිෂ්පාදකයා හෝ වෙනත් අතරමැදියෙකු විසින් අසාධාරණ ලාබ ලැබීමක් ලෙස දකිනවා. මිල අඩු වුනොත් එය දකින්නේ නිෂ්පාදකයාගේ ශ්‍රමය සූරාකෑමක් ලෙසයි.

ධනවාදී ආර්ථික විද්‍යාවේදීත් භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය නොසලකා හරින්නේ නැහැ. නිදහස් වෙළඳපොළක සැපයුම තීරණය වන්නේ නිෂ්පාදන පිරිවැය මතයි. එහෙත්, නිදහස් වෙළඳපොළක භාණ්ඩයක මිල එහි නිෂ්පාදන පිරිවැයට සමාන විය යුතුම නැහැ. මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වීම මතයි. මේ සමතුලිත මිල සාමාන්‍යයෙන් එහි නිෂ්පාදන පිරිවැයට වඩා වැඩියි.

ධනවාදී ක්‍රමයකදී නිෂ්පාදකයෙකුගේ ලාබ ඉහළ යන්නේ පාරිභෝගිකයා විසින් කිසියම් භාණ්ඩයකට ලබා දෙන වටිනාකම ඉහළ යන තරමටයි. පාරිභෝගිකයා විසින් භාණ්ඩයකට වැඩි වටිනාකමක් දෙන්නේ එය පරිභෝජනය කිරීමෙන් ඔහු හෝ ඇය සතුටු වන තරමටයි. ඒ නිසා, ධනවාදී ක්‍රමයකදී පුද්ගලයෙකු සාර්ථක වන්නේ ඔහුට හෝ ඇයට අනෙකාව සතුටු කළ හැකි තරමටයි. කිසියම් භාණ්ඩයකට පාරිභෝගිකයින්ගේ කැමැත්තක් නැත්නම්, එහි නිෂ්පාදන පිරිවැය කොපමණ වුවත් එවැනි භාණ්ඩයක වටිනාකමක් නැහැ.

සමාජවාදය විසින් මේ ආකාරයට අනෙකාව සතුටු කරන්න පොළඹවන්නේ නැහැ. භාණ්ඩයක් නිෂ්පාදනය කළ වහාම එහි වටිනාකම තීරණය වී හමාරයි. පාරිභෝගිකයා භාණ්ඩයේ වටිනාකම තක්සේරු කරන්නේ යෙදවූ අමුද්‍රව්‍ය වල වටිනාකමට හා ශ්‍රමයට වඩා අඩුවෙන් වුවත් එය මිල දී ගන්න වෙන්නේ නිශ්චිත මිලක් ගෙවීමෙන් පසුවයි. නැත්නම් එය සැලකෙන්නේ ශ්‍රමය සූරාකෑමක් ලෙසයි. සමාජවාදය විසින් පුරුදු කරන්නේ අනෙකාව බය කරලා කොහොම හරි මේ මිල ලබා ගන්නයි.

මේ වෙනස නිසා සමාජවාදය ක්‍රමයක් විදිහට ගත්තොත් පට්ට අමානුෂිකයි. මෙහිදී මිනිස්සුන්ව පොළොඹවන්නේ අනෙකාව කෙසේ හෝ බලය යොදා මැඩ පවත්වා අනෙකාගේ දේ බලහත්කාරයෙන් කඩා ගන්නයි. වැඩ වර්ජන, විරෝධතා ආදියේ සිට ජන ඝාතක විප්ලව දක්වා කෙරෙන්නේ ඕකනේ. නමුත්, ධනවාදය විසින් පුරුදු කරන්නේ අනෙකාව හැකි තරම් සතුටු කරන්නයි. අනෙකා ගැන නොහිතන කෙනෙකුට ධනවාදී ක්‍රමයක් යටතේ සාර්ථක වෙන්න බැහැ.

මිනිස්සු ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමීයි. පරිණාමයේදී ඉතිරි වෙන්නේ ආත්මාර්ථකාමී මිනිස්සු. හැබැයි සියයට සියයක්ම ආත්මාර්ථකාමී මිනිස්සු නෙමෙයි. ආත්මාර්ථකාමයත් එක්ක මිනිස්සුන්ගේ ඇතුළේ ස්වභාවයෙන්ම පරාර්ථකාමයක් හා කණ්ඩායම් හැඟීමකුත් තිබෙනවා. ධනවාදය පදනම් වන්නේ මේ මිශ්‍රණය මතයි. මිනිස්සු තමන් ගැන සිතිය යුතුයි. ඒ අතරම අනෙකා ගැනත් සිතිය යුතුයි. ධනවාදය පවත්වා ගෙන යන්න මිනිස්සුන්ගේ ස්වභාවිකත්වය වෙනස් කරන්න අවශ්‍ය නැහැ.

සමාජවාදී ක්‍රමයකදී මිනිස්සුන්ට අනෙකා ගැන හිතන්න ක්‍රමය විසින් පෙළඹවීමක් කරන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු අමානුෂික වෙනවා. එය වළක්වන්න නිරන්තරයෙන් ප්‍රතිවිරුද්ධ බලයක් යොදවන්න වෙනවා. සමාජවාදීන් හැම වෙලාවෙම මිනිස්සු වෙනස් කිරීම ගැන කතා කරන්නේ ඒකයි. මිනිස්සු මානුෂික කරන්න රජය හෝ පක්ෂය මුල් වී අධ්‍යාපනය හෝ නීති ආදිය හරහා බලපෑමක් කළ යුතුයි. ක්‍රමය නිසාම ඇති වෙන අමානුෂිකත්වය අඩු කරන්න රජය විසින් උත්සාහ කිරීම තමයි පිටතට පෙනෙන සමාජවාදයේ මානුෂිකකම. ධනවාදය ඇතුළේ ඔය වැඩේ ස්වභාවිකවම සිදු වෙන නිසා මිනිස්සු මානුෂික කරන්න පන්ති පවත්වන්න අවශ්‍ය නැහැ.

කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ ලංකාවේ බොහෝ දෙනෙක් මුහුණු වැසුම් පළඳින්න පටන් අරන්. මේ තත්ත්වය මීටත් වඩා වැඩියෙන් චීනයේ දැකිය හැකියි. ඇමරිකාවෙන් දැනට කොරෝනා රෝගීන් හය දෙනෙකු හමු වී තිබෙනවා. එහෙත්, ඇමරිකාවේ මෙවැනි මුහුණු වැසුම් පිස්සුවක් ඇති වී නැහැ. මා හිතන්නේ වෙනත් බටහිර රටවලත් නැහැ.

සාමාන්‍ය දවසක ලංකාවේ මෙවැනි මුහුණු වැසුමක් පළඳා සිටින අයෙකු දැකීම ඉතා දුලබ දසුනක්. නමුත්, ඇමරිකාවේ එහෙම නැහැ. කාර්යාල, සරසවි දේශන ශාලා, පොදු ස්ථාන ආදියේ බොහෝ විට මුහුණු වැසුම් පැළඳි අය දැකිය හැකියි. මේ විදිහට මුහුණු වැසුමක් පළඳින්නේ කිසියම් වෛරස් ආසාදනයකට ලක් වූ අයයි. සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුණු, කිඹුහුම් යන, කැස්ස තිබෙන අයෙක් බොහෝ විට මුහුණු වැසුමක් පළඳිනවා. රැස්වීමක් වගේ අවස්ථාවකදී අනෙක් අයට තමන් කිට්ටුවට නොඑන මෙන් අවවාද කරනවා. ඇතැම් විට ලොකු අමාරුවක් නැතත් නිවාඩුවක් දමා ගෙදර නවතිනවා. මේ සියල්ල කරන්නේ තමන් නිසා වෙනත් අයෙකුට රෝගය බෝවීම වළක්වන්නයි. එසේ සිදු වීමේ ඉඩකඩ ගැන බොහෝ දෙනෙකුට තිබෙන්නේ වරදකාරී හැඟීමක්.

ලංකාවේ මගේ අත්දැකීම මෙහි අනිත් පැත්තයි. සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුණු, කිඹුහුම් යන, කැස්ස තිබෙන අයෙක් ලෙඩ නිවාඩු දමා ගෙදර නවතින්න්නේ වැඩට යන්න බැරි තරමටම උණ ගත්තොත් පමණයි. ඒ නිවාඩු නැති කමට නෙමෙයි. තිබෙන ලෙඩ නිවාඩු ටික ඉතුරු කර ගන්නේ මළ ගෙවල්, මගුල් ගෙවල්, විනෝද චාරිකා ආදිය වෙනුවෙනුයි. ලෙඩ තියාගෙන කාර්යාල, පොදු ප්‍රවාහන සේවා, පාසැල් ආදී තැන් වල සිටින අය තමන්ගේ සිරුරේ තිබෙන වෛරස් බාහිර පරිසරයට මුදා හරින්නේ කිසිදු වරදකාරී හැඟීමක් නැතිවයි. තමන්ට කොහොමටත් ලෙඩේ හැදිලා නිසා දැන් පරිස්සම් වෙලා මොකටද?

චීනයේ මුහුණු වැසුම් සංස්කෘතිය ඇමරිකානුවන්ට පුදුමයක්. චීනයේ මුහුණු වැසුම් පළඳින්නේ වෛරසය වැළඳී නැති අයයි. ඒ අනෙක් අයගෙන් පරිස්සම් වෙන්න. එහෙත්, ඇමරිකාවේ මුහුණු වැසුම් පළඳින්නේ වෛරස් රෝගයක් වැළඳුනු හෝ එවැනි සැකයක් තිබෙන අයයි. ඒ අනෙක් අයට තමාගෙන් රෝගය වැළඳෙන එක වළක්වන්න. ඇමරිකානු මාධ්‍ය මෙය දකින්නේ බටහිර සංස්කෘතියේ සහ ආසියානු සංස්කෘතියේ වෙනසක් ලෙසයි. මම හිතන්නේ කාලයක් තිස්සේ වෙනස් ආර්ථික ක්‍රම යටතේ ජීවත් වීමත් මෙයට හේතුවක් වෙන්න ඇති.

15 comments:

  1. //ලංකාවේ බොහෝ දෙනෙක් මුහුණු වැසුම් පළඳින්න පටන් අරන්.//
    0.05% වත් නැහැ

    ReplyDelete
  2. //ලංකාවේ බොහෝ දෙනෙක් මුහුණු වැසුම් පළඳින්න පටන් අරන්.
    බොරු.
    fb වල නම් එහෙම පේනවා, නමුත් මහ පාරේ නම් ගෝනි බිල්ලන්වත් එතරම් මුහුණු ආවරණ දමා යන්නේ නෑ.

    ReplyDelete
  3. 100% ගැන කොහොම වෙතත් අපේ පරහිතකාමිත්වය නම් අඩුම තමයි! ඒ ගැන වාදයක් නොකරම තීරණය කරන්න පුළුවන්!

    ReplyDelete
  4. ලංකාවෙ මිනිස්සුන්ට ධනවාදයේ හෝ සමාජවාදයේ අත් දැකීම් නෑ. ශ්‍රී ලාංකික දේශපාලුවා ඒ දෙකටම බොරුකලා.

    ReplyDelete
  5. සමාජවාදය පිලිබඳ මගේ අදහස බොහෝවිට එකොනෝ ගෙන් වෙනස් එකක් බව වැටහිලා තියෙන්නේ. හුඟක් වෙලාවට එකොන් ඉන්නේ ඇමෙරිකාවේ ඉන්න නිසා වෙන්න ඇති. මගේ අදහස් නම් සමාජවාදය කියල විජේවීර ඉදිරිපත් කරපු මතය මුල් බැස ගත එකක්. සමාජවාදය කියන්නේ දුප්පත් කිළුටු ඔක්කොම මිනිස්සු එකට අඳින අමුත් එකක් . ඒක වුනේ ස්ටාලින් වාදය මාඕ වාදය පොල්පොට් වාදය එකට කැටි ගහපු මතවාදයක් නිසා කියන එකයි මගේ අදහස්. අයින් රුසියානු ජාතික අයින් රෑන්ඩ් පවා කතා කලේ 1917 කාලේ රුසියාව ගැන.
    අපි පස්සේ ගිය සෝවියට් දේශය ට මම වගේ තව කිහිප දෙනෙක් මෙපමණ ආදරය කරන්නේ ඇයි කියන එක මට එදා හරිහැටි වැටහුනේ නැහැ. දිගටම ලියන්න ගන්න කොට වැටහෙන්න ගන්නවා. මම ආර්ථික විද්‍යව පැත්ත (මාක්ස් ගේ එකකත අක්රන්න් යන්නේ නැහැ. මාක්ස් කීව සමහර දේවල් පිලිබඳ විචිකිච්ඡාවක් මගේ හිතෙන ඇතිවෙමින් පවතින නිසා. නමුත් පසු කාලින සෝවියට් දේශය මානුෂිකවාදී වෙන්න බොහොම උත්සහයක් ගත්ත. ගොර්බචෝව් වගේ කෙනක් ආවේත් අන්තිමට සියල්ල අත හැරුනෙත් එනිසා කියල මට හිතෙනවා. ඇමෙරිකාවේ කල්ලෙක් වෙන එක බයයි කියල මම හිට්නාන්ව. ෆොසොසත් නේම්. දුප්පත් කල්ලෙක්. පොලිසියෙන් ඇදල අරන් වෙඩි තියන එක සාමාන්‍යයි වගේ. එකොන් හෝ මම වගේ ඉගෙනීමෙන් ඇවිත් වැඩ කරන අයට සුද්දන් ගෙන් ප්‍රශ්නයක් නැහැ. දුප්පත් හා සම වර්ණය වෙනස් නම් කිසියම් ප්‍රශ්නයක් තිබෙනවා කියල මට හිතෙනවා. මේක ධනවාදයේ අමානුෂික බවද? මේ මට හිතෙන දෙයක්. එකම දේ පසු කාලීන 1964 සිට 1991 දක්වා වූ සෝවියට් දේශය වෙනස් එක්ක බවත් ඒ ගැන බොහෝ අය නොදත් බවත් මගේ අදහසයි. එකොන් වගේ කෙනෙක් හිටියනම් සෝවියට් දේශයට ආර්ථිකය හදා ගන්නත් තිබ්බ.

    ReplyDelete
    Replies
    1. //සමාජවාදය පිලිබඳ මගේ අදහස බොහෝවිට එකොනෝ ගෙන් වෙනස් එකක් බව වැටහිලා තියෙන්නේ. හුඟක් වෙලාවට එකොන් ඉන්නේ ඇමෙරිකාවේ ඉන්න නිසා වෙන්න ඇති.//

      අනිවාර්යයෙන්ම. ඇමරිකාවේ කලක් ජීවත් නොවුනානම් ධනවාදය කියන්නේ මොකක්ද කියන එක කවදාවත් හරියට තේරුම් ගන්න ලැබෙන එකක් නැහැ. ඇමරිකාවේ හිටියත් ආර්ථික විද්‍යාව හදාරා නොතිබුණානම් ඒ අවබෝධය ලැබෙන එකක් නැහැ.

      //සමාජවාදය කියන්නේ දුප්පත් කිළුටු ඔක්කොම මිනිස්සු එකට අඳින අමුත් එකක් . ඒක වුනේ ස්ටාලින් වාදය මාඕ වාදය පොල්පොට් වාදය එකට කැටි ගහපු මතවාදයක් නිසා කියන එකයි මගේ අදහස්.//

      මම හිතන්නේ ඕක සමාජවාදයට විරුද්ධ එහෙත් සමාජවාදය හෝ ධනවාදය හරියට තේරුම් නොගත් අය විසින් හෝ එවැනි අය වෙනුවෙන් හදපු කතාවක් කියලා. සමාජවාදී ප්‍රතිපත්ති නිසා රටකට ඔය වගේ වෙන්න පුළුවන් වුනත් අනිවාර්යයෙන්ම එහෙම වෙන්න කිසිම සෛද්ධාන්තික හේතුවක් නැහැ. ඔය විදිහට හිතන සමාජවාදී අදහස් තිබෙන අය සිටීම වෙනම කරුණක්.

      //මම ආර්ථික විද්‍යව පැත්ත (මාක්ස් ගේ එකකත අක්රන්න් යන්නේ නැහැ. මාක්ස් කීව සමහර දේවල් පිලිබඳ විචිකිච්ඡාවක් මගේ හිතෙන ඇතිවෙමින් පවතින නිසා.//
      ආර්ථික විද්‍යාව අයින් කළොත් ක්‍රම දෙකේ වෙන වෙනසක් නැහැ. සමාජවාදය හා ධනවාදය වෙනස් වෙන්නේ තිබෙන සීමිත සම්පත් අසීමිත ආශාවන් ඇති මිනිසුන් අතර බෙදී යා යුතු වඩාත්ම සාධාරණ ක්‍රමය මොකක්ද කියන නිශ්චිත කාරණයේදී. මාක්ස් ඒ වෙද්දී දැන සිටි දේවල් සියල්ල එක තැනකට එකතු කරලා අනාගතයේදී විය හැකි දේ ගැන ඔහුගේ අදහස් ලිවුවා. නමුත්, ඒ දේවල් ඒ විදිහටම වුනේ නැහැ. මාක්ස් වෙයි කියා පුරෝකථනය කළ දෙය ලෙනින් බලහත්කාරයෙන් ඇති කළා. ඒක බයිබලයේ තිබුණු අනාවැකි අනුව ගොස් ඊශ්‍රායලය හැදුවා වගේ වැඩක්. රුසියාවේ විප්ලවයට පෙර තිබුණු තත්ත්වය අනුව මුල් කාලයේදී ප්‍රගතියක් අත් වුනා. ඒත් කල් යද්දී හැබෑ ලෝකයේ වෙන දේ සහ මාක්ස්ගේ ප්‍රවාද අතර පරතරය ටිකෙන් ටික වැඩි වෙද්දී ධනවාදය පරිණාමය වෙමින් ඉදිරියට ගියා. සමාජවාදය එකතැන පල් වුනා. අන්තිමට කල් පසුවී සමාජවාදයටත් පරිණාමය වෙන්න සිදු වුනා.

      Delete
    2. //නමුත් පසු කාලින සෝවියට් දේශය මානුෂිකවාදී වෙන්න බොහොම උත්සහයක් ගත්ත. ගොර්බචෝව් වගේ කෙනක් ආවේත් අන්තිමට සියල්ල අත හැරුනෙත් එනිසා කියල මට හිතෙනවා. ඇමෙරිකාවේ කල්ලෙක් වෙන එක බයයි කියල මම හිට්නාන්ව. ෆොසොසත් නේම්. දුප්පත් කල්ලෙක්. පොලිසියෙන් ඇදල අරන් වෙඩි තියන එක සාමාන්‍යයි වගේ. එකොන් හෝ මම වගේ ඉගෙනීමෙන් ඇවිත් වැඩ කරන අයට සුද්දන් ගෙන් ප්‍රශ්නයක් නැහැ. දුප්පත් හා සම වර්ණය වෙනස් නම් කිසියම් ප්‍රශ්නයක් තිබෙනවා කියල මට හිතෙනවා. මේක ධනවාදයේ අමානුෂික බවද? //

      දුප්පත් කල්ලෝ අරන් වෙඩි තියන එක ඒ තරම්ම සාමාන්‍යනම් නැහැ. නමුත්, එහෙම වෙන්න යම් ඉඩකඩක් තිබෙනවා කියන එක ඇත්ත. අපි නිකමට හෝ කියමු එහෙම ප්‍රශ්නයක් ඇමරිකාවේ තියෙනවා පැරණි සෝවියට් දේශයේ තිබුණේ නැහැ කියා. එහෙම වෙනසක් තිබුනා වුනත්, එය ඇමරිකාවේ හා සෝවියට් දේශයේ නීතියේ හෝ නීතිය ක්‍රියාත්මක වන ආකෘතියේ වෙනසක් මිසක් සමාජවාදය හා ධනවාදය අතර වෙනසක් නිසා සිදු වෙන දෙයක් නෙමෙයි. දුප්පත් කල්ලෙක් වෙඩි කෑවොත් ඒ ධනවාදයට විරුද්ධව උද්ඝෝෂණ කරලා නිසා නෙමෙයි. ධනවාදය පවතින්න එවැනි දෙයක් වෙන්න අවශ්‍ය නැහැ.

      පැරණි සෝවියට් දේශය ජාතිවාද නැති කිරීම වෙනුවෙන් ඉතා සාධනීය වැඩ කොටසක් කළා. (ක්‍රමය විසින් එවැන්නක් ඉබේට නොකරන බව තමයි එයිනුත් පෙනෙන්නේ. එවැනි විශ්වාසයක් තිබුනනම් සක්‍රිය මැදිහත්වීම් අවශ්‍ය වෙන්නේ නැහැනේ!) නමුත්, අන්තිමට පැරණි සෝවියට් සංගමය ජාතීන් මත පදනම්ව කෑලි වලට කැඩිලා ගියා. ඒකෙන් පේන්නේ ජාති භේද නොසැලකීම මතු පිටින් තිබුණු දෙයක් මිසක් ගැඹුරු දෙයක් නොවන බවයි. සෝවියට් ජාත්‍යන්තරවාදය අමතක කළත් සෝවියට් සංගමය දශක ගාණක් තිබිලත් අඩු ගානේ සෝවියට් ජාතියක් කියා එකක්වත් හැදුනේ නැහැ. ඇමරිකාවේ ප්‍රාන්ත වලට ඉතා පහසුවෙන් වෙන් වෙන්න පුළුවන්කම තිබුණත් එවැනි දෙයක් වෙලා නැහැ (සිවිල් යුද්ධය ගැන කතා කරන්න ගියොත් ගොඩක් දේවල් කතා කරන්න වෙනවා. එය නොවැම්බර් විප්ලවයටත් අවුරුදු පණහකට කලින් කාලයේ සිදු වුනු ව්‍යතිරේඛයක්.) ලෝකයේ විවිධ ජාතීන් එකතු වෙලා ඇමරිකන් ජාතිය කියා කොහෙවත් නොතිබුණු අලුත් ජාතියක් හැදිලා තියෙනවා. දැනටත් අලුතෙන් විවිධ රටවලින් එන එය ඒ ජාතියට එකතු වෙනවා. සුදු නොවන අයට යම් ප්‍රශ්න තියෙනවා තමයි. නමුත්, කවුරුත් කැමති ඇමරිකන් ලේබලය යටතේ එකට ඉන්නයි. එය ආණ්ඩුවෙන් බලහත්කාරයෙන් ඇති කරපු තත්ත්වයක් නෙමෙයි.

      //මේ මට හිතෙන දෙයක්. එකම දේ පසු කාලීන 1964 සිට 1991 දක්වා වූ සෝවියට් දේශය වෙනස් එක්ක බවත් ඒ ගැන බොහෝ අය නොදත් බවත් මගේ අදහසයි..//

      ඔය කාලය වෙද්දී සෝවියට් දේශය වෙනස් වෙන්න උත්සාහ කරන්න ඇති. නමුත්, එය එතරම් සාර්ථක වුනේ නැහැ. ඊට සාපේක්ෂව චීනය සාර්ථකයි.

      //එකොන් වගේ කෙනෙක් හිටියනම් සෝවියට් දේශයට ආර්ථිකය හදා ගන්නත් තිබ්බ//
      මම හිතන්නේ සෝවියට් දේශය (රුසියාව) මේ වෙද්දී ආර්ථිකය හදා ගෙන හෝ හදා ගනිමිනුයි ඉන්නේ. අපි නැතුවට රුසියාවේ අපිට වඩා දක්ෂ මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. වැරැද්ද තිබුණේ ක්‍රමයේ මිසක් මිනිස්සුන්ගේ නෙමෙයි.

      Delete
    3. //අපි නැතුවට රුසියාවේ අපිට වඩා දක්ෂ මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. වැරැද්ද තිබුණේ ක්‍රමයේ මිසක් මිනිස්සුන්ගේ නෙමෙයි.// මේක මම විහිළුවට කිව්වේ.
      //රුසියාවේ විප්ලවයට පෙර තිබුණු තත්ත්වය අනුව මුල් කාලයේදී ප්‍රගතියක් අත් වුනා. ඒත් කල් යද්දී හැබෑ ලෝකයේ වෙන දේ සහ මාක්ස්ගේ ප්‍රවාද අතර පරතරය ටිකෙන් ටික වැඩි වෙද්දී ධනවාදය පරිණාමය වෙමින් ඉදිරියට ගියා. සමාජවාදය එකතැන පල් වුනා. අන්තිමට කල් පසුවී සමාජවාදයටත් පරිණාමය වෙන්න සිදු වුනා.// මේ කතාව කරුණු සාධාරණව නොබලා ලියන දෙයක් හැටියටයි මට පෙනෙන්නේ. ලෙනින් යුධ ආර්ථික පිළිවෙත් අත හැරලා NEP පිළිවෙතට ගියාට පස්සේ නිෂ්පාදනය වැඩි වුනා. රට ම electrification කරන එක ඉතාමත් වේගයෙන් සිදු වුණා . බටහිර යුරෝපයේ තරමට කම්හල් ගොඩ නැගුන. ඒ කියන්නේ ඔබ කියන ප්‍රගතිය. ඊට පස්සේ ස්ටාලින් ආව . උක්රයිනයේ සාගතය කෙලින්ම ස්ටාලින් ගේ වැරදි තිරණයක ප්‍රතිපලයක්. දෙවන ලෝක යුද්ධය ? ඉන් වැඩියෙන්ම බැට කෑවේ සමාජවාදී සෝවියට් දේශය සහ එයිනුත් රුසියාව, බෙලොරුසියාව සහ උක්රයිනය . වැඩියෙනම් මිනිස්සු මැරුනෙත් යුද්දේ නිසා රුසියාව. ඇමෙරික එක්සත් ජනපදය අවුරුදු 17716 ජුලි 4 ඉඳන් දියුණුවෙන්නේ. ධනවාදය. කිසි කරදරයක් නැතිව. සෝවියට් දේශය දෙවන වර ගොඩ නැගෙන්නේ ස්ටාලින් මැරුණට පස්සේ. ඊට පස්සේ අර බයිබලයෙන් ඉස්රයලය හදන්න ගියා වගේ පොතෙන් හැදුවේ. මාක්ස්ටත් වඩා ලෙනින්ගේ. ඒ දියුණුව පළමු මිනිසා අභ්‍යවකාශයට යැවීම දක්වා දියුණු වුනා. ඒවා විහිළු නෙමෙයි. ෂ්ටික අවි අතින් ඇමෙරිකාවේ ගානට. ඇමෙරිකාවට බල කෙරුනා . ඔයාල හෝ එංගලන්ත ජාතිකයන් හිතනවා වගේ අමු දුප්පත් රටක් නෙමේ ඒක . වැඩියෙන් දියමන්ති හා තෙල් නිපදවූයේ සෝවියට් දේශය. හොන්ඩ අමර්ග පද්ධතියක්, රේල්වේ , මෙට්‍රෝ ප්‍රධාන නගරවල. ඇමෙරිකාවේ අවුරුදු 225 ප්‍රගතිය අවුරුදු කියෙන්ද ගත්තේ 1954- 1991 37 කින්. අපි ඉගෙන ගන්න යනකොට තිබ්බ තත්වය. බඩගින්නේ හිටි මිනිස්සු නැහැ. හොඳ රෝහල්.නොමිලේ සෞඛ්‍ය පහසුකම්. හැමෝමටම ඉන්න වහලක් තිබුනා. න්‍යෂ්ටික විදුලි බලාගාර. (චෙර්නොබිල් ඇති වුනේ ඇයි කියන එක මම ලියලතියන්ව. තව එක්ක ලියන්න තියනව එතන) මේ එකතැන් පලවීම කියන එක වුනේ කර්මාන්ත හා ආර්ථික ක්ෂේත්‍රයේ මාකට් එකොනොමි එක හා චිනා ආවට පස්සේ. එතැන් ආර්ථික විසඳුමක් දුන්න නම් දේශපාලන විසඳුමකට යන්නේ නැතිව අදත් සෝවියට් දේශය තිඑබෙනවා. සෝවියට් දේශයට වැඩ බටහිර ජර්මනිය දියුණු වුනේ කොහොමද ඒ අවුරුදු 37ඇතුලත. ඇමෙරිකානු සල්ලි නිසා (මාෂල් ක්‍රම) ඕකයි ඇත්ත.
      අනිත් එක තමාම මට එංගලන්තය හොන්ඩ අමගේ රස්සව නිසා. මම හයෙන් පස්සේ ගෙදර. සෙනසුරාදා ඉරිද නිවාඩු. බ්ලොග් ලියන්නේ, විවේක ගන්න වෙලාව තියනවා. නමුත් වැඩි හරියකට බහ. එකොනොට පුළුවන් ඇති. ඇමෙරිකාවේ වැඩි හරියක් එහෙමද? පය 12 වැඩ කරන අය රස්සා දෙක කරන අය දවස් 6 .5 වැඩ කරන අය මෙහ ඉන්නවා. ඇම්රිකවෙ අපේ දොස්තර ලා හා ඉංජිනේරුවෝ ඇරෙන්න අනිත් අය වැඩ කරන්න ඕනේ ගොඩක්. ලංකාවේ ඊට එහා. වීවේකයට වෙලාවක් නැහැ කඩ හිමියෝ හෝටල් හිමියෝ ෆාමසි හිමියෝ දවස් 7 ම වැඩ. (මගේ නෑදෑයෝ ඉන්න නිසා කියන්නේ). සෝවියට් මිනිහට ඊට වඩා විවේකය තිබුන. නාට්‍ය බලන්න, සිනමාවට යන්න. ඔරු පදින්න ඇවිදින්න. රුසියනුන්ට දැන් තමා ඒක වැටහෙන්නේ. තව ටිකක් ඉවසලා රට දියුණු කරන්න තිබ්බ. කොමියුනිස්ට් පක්ෂයේ හිටිය ඌ රෝ එක්ක බැරිවුනා . එතනයි ප්‍රශ්නය් මූලික වශයෙන්ම .

      Delete
    4. තව නයා කතාවක් කියන්නම්. සෝවියට් දේශයේ අපට ඉගැන්නුවා දේශපාලන ආර්ථික විද්‍යාව කියල එකක් . මගේ ස්පෙෂලිටි එක අනුව විදුලි බලාගාරයක ශක්‍යතාවය නිර්ණය කරන්න ඕනේ. ඒ කියන්නේ හදන්න්යන වියදම, ටර්බයින් වියදම, ගල් අඟුරු ගැනීමේ සිට ප්‍රවාහනය දක්වා, සේවක වියදම් ඔක්කොම ගන්න හදල පෙන්වන්න ඕනේ අවුරුදු 25 ධාරිතාවය එක්ක. ඔතන ලාභය නැහැ. සෝවියට් දේශයේ විදුලිය ඉතාම ලාභයට තිබ්බේ. ඉතින් නාස්තියත් වැඩියි ඇත්තටම. මම මහාචාර්ය තුමියට කිව්වා පොඩි ලාභයක් එකතු කරලා ඒක බෙදල් දෙන්න බැරිද වැඩ කරන අයට . (පඩිය ඔක්කොගෙම එක නිසා , බොයිලර් රූම් එකේ කම්කරුවා ඉන්ජිනේරුවට වඩා පඩි ගත්ත ) නැත්නම් එංගලන්තේ වගේ ෂෙයාර් කොටස් දෙන්න බැරිද කියල? අපි සමර එකට ප්‍රැක්ටිකල් වලට ගියේ රිලේ හදන කම්හලක අයිස් ගහන එවුන් වැඩියි. එකෙක් වැඩ කරන්නේ නැහැ හරියට. උදේට විතරය්. දවල්ට කඩවල . 5.00 වෙන්න කලින් ගෙදර පනිනනවා. මම ගෑනිට ඕක කිව්වා. ගෑනි කීව බොරු කියල. මම කිව්වා පොඩි ලාභයක් බෙදල දීපන් මිනිසුන්ට . උන්ට කොටස් දීල කිව්ව්වනම මේ කම්හල උන්ගේ කියල බොරු සටන් පාඨ නැතිව උන් වැඩ කරනවා කියල. ප්‍රතිපලය ෆස්ට් ක්ලාස් එකට යන්න තිබ්බ විභාගයක මගේ ලකුණු අඩු කිරීම. මමයි එන්ග් කියල කම්පුචිය එකෙකුයි මැක්සිම් කියල රුස්සෙකුයි තම පන්තියෙන් වැඩිම ලකුණු ගත්තේ. හැබැයි කතා කරපු නිසා කෙලිය. විදේශික ශිෂ්‍යයෙකුට එහෙම නම් තමන්ගේ රටේ වුන්ට කොහොම සලකන්නැ ඇත්ද ? ඇමෙරිකාවේ නැත්තේ අන්න එක . හොඳ අදහසට, දක්ෂයට තැන දෙනවා. සෝවියට් දේශයේ පක්ෂයට සමබන්ධ වෙලා හිටිය කට්ටයන් හා අන්ධ භක්තියෙන් හිටි අපේ ටීචර් වගේ අය නිසා ලොකු හානියක් වුනා කියල මම හිතන්නේ. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබ්බේ නැහැ .
      හැබැයි රූස්ස මානුෂිකව අපට සැලකුව. ඕන රුස්සෙකුගේ ගෙදරක තියෙන හොඳම දේ කන්න දෙනවා බෝතලයක් එක්ක. එක එංගලන්තේ මම දැක්කේ නැහැ. ජර්මනියේ ළඟම නෑදෑයෙක් ට ඇරෙන්න එහෙම සැලකීමක් නැහැ, (ලංකාවේ අය ගැන නෙමේ කියන්නේ) උන්ගේ කෙල්ලෙක් එක්ක ගියා කියල කවුරුත් ගහන්න එන්නේ නැහැ. (ජෝර්ජියාවේ හා මුස්ලිම් සමුහාණ්ඩු වල ඇර ) ඔය වගේ දේවලුත් තිබුන

      Delete
    5. //ඔයාල හෝ එංගලන්ත ජාතිකයන් හිතනවා වගේ අමු දුප්පත් රටක් නෙමේ ඒක .//
      සෝවියට් දේශය අමු දුප්පත් රටක් කියලා මම කොහේවත් කියල නැහැ.සෝවියට් දේශය වෙන රටක් එක්ක සසඳන එකත් ඒ තරම්ම තේරුමක් නැහැ. සෝවියට් දේශය සැසදිය යුත්තේ වෙනස් ආර්ථික ක්‍රමයක් (ධනවාදය) පැවතුනානම් තිබිය හැකිව තිබුණු විකල්ප සෝවියට් දේශය එක්කයි.

      //වැඩියෙන් දියමන්ති හා තෙල් නිපදවූයේ සෝවියට් දේශය.//
      සෝවියට් දේශය කියන්නේ ඇමරිකාව වගේ දෙගුණයකටත් වඩා විශාල භූමි ප්‍රමාණයක් තිබුණු රටක්. එහි ස්වභාවික සම්පත් ඉතා විශාල ප්‍රමාණයක් තිබුණා. දැනටත් තිබෙනවා. එවැනි රටක් අමු දුප්පත් රටක් වෙන්න හේතුවක් නැහැ. මධ්‍යගත පාලන ක්‍රමය කාලයක් අල්ලලා හිටියෙත් ඒ නිසයි. ස්වභාවික සම්පත් ගොඩක් තිබෙන රටක ඒ සම්පත් තිබෙන තුරු දැවැන්ත රජයක් පවත්වා ගැනීම සාර්ථකව කළ හැකි දෙයක්. මැදපෙරදිග රටවල මධ්‍යගත ආණ්ඩු සාර්ථකව පවතින්නේ ඒ නිසයි. කාගෙවත් මහන්සිය නිසා නොහැදුණු ස්වභාවික සම්පත් වඩා සාධාරණව බෙදන්න සමාජවාදී ක්‍රමය හොඳයි. කාගෙවත් මහන්සියෙන් හදපු දේවල් නොවන නිසා ටික දෙනෙක් භුක්ති විඳිනවාට වඩා පොදුවේ කාටත් ලැබෙන එක සාධාරණයි. ධනවාදය සමාජවාදයට වඩා සාර්ථක වෙන්නේ අලුතෙන් සම්පත් නිර්මාණය කිරීම කියන කාරණයේදී. පුද්ගලයෙක් ඒ සඳහා යොමු වෙන්නේ මහන්සියේ ප්‍රතිඵල තමන්ට ලැබෙන ආර්ථික පරිසරයකදීයි. සාධාරණ දෙයත් එයයි. එහෙම නැතුවත් මහන්සි වෙන අය හිටියත් ඒ අඩු පිරිසක්. සමාජවාදයේ අකාර්යක්ෂමතාවය තිබෙන්නේ එතැනයි.

      Delete
    6. //ඇමෙරිකාවේ වැඩි හරියක් එහෙමද? පය 12 වැඩ කරන අය රස්සා දෙක කරන අය දවස් 6 .5 වැඩ කරන අය මෙහ ඉන්නවා. ඇම්රිකවෙ අපේ දොස්තර ලා හා ඉංජිනේරුවෝ ඇරෙන්න අනිත් අය වැඩ කරන්න ඕනේ ගොඩක්.//

      ඒ අජිත් හිතාගෙන ඉන්න විදිහ. මමනම් පැය 12ක් හෝ ඊටත් වඩා වැඩ කරනවා. දවස් හතමත් වැඩ කරනවා. ඒ මම එයින් සතුටු වන නිසා. එපානම් වැඩ නොකර නිකම් ඉන්නවා. දොස්තරලාත් එවැනි පැය ගණනක් වැඩ කරනවා. අවශ්‍යනම් සංඛ්‍යලේඛන දෙන්න පුළුවන්. නමුත් හැමෝම එහෙම වැඩ කරන්නේ නැහැ. ඒක එක් එක් පුද්ගලයාගේ කැමැත්ත. ලංකාවෙනම් විවේකයක් නැහැ තමයි. පිටින් බලලා මේ වගේ දේවල් කියන එක අර කල්ලන්ට පොලීසියෙන් වෙඩි තියනවා කියනවා වගේ දෙයක්. අජිත් කල්ලන්ට පොලීසියෙන් වෙඩි තියනවා කියන්නේ ඇමරිකාවේම මාධ්‍ය වල තිබෙන තොරතුරු මත පදනම්ව. එහෙම දේවල් වෙනවා. මාධ්‍ය වල තිබෙන්නේ බොරු නෙමෙයි. නමුත්, එහෙම එක සිදු වීමක් වෙනකොට ඒ ගැන ඇමරිකාවේ සුදු මිනිස්සු කොයි තරම් කතා කරනවද මොන තරම් දේවල් කරනවද කියන එක මාධ්‍ය වල යන්නේ නැහැ. ඒ නිසා පිටට පේන්නෙත් නැහැ. ඔය වගේ දේවල් මාධ්‍ය වල යන්නෙම පොඩි දෙයක් වුනත් ගොඩක් මිනිස්සු ඒ ගැන කතා කරන නිසා. සමහර අය හිතාගෙන ඉන්නේ ඇමරිකාව කියන්නේ කොයි වෙලාවේ කාගේ තුවක්කුවක ගොදුරක් වෙයිද දන්නේ නැති රටක් කියලා. නමුත්, ඇත්තටම ඇමරිකාවේදී ලංකාවේ දැනෙන මරණ බයෙන් සීයෙන් එකක්වත් දැනෙන්නේ නැහැ. මම කියන්නේ මට දැනෙන දේ.

      //හැබැයි රූස්ස මානුෂිකව අපට සැලකුව. ඕන රුස්සෙකුගේ ගෙදරක තියෙන හොඳම දේ කන්න දෙනවා බෝතලයක් එක්ක. එක එංගලන්තේ මම දැක්කේ නැහැ.//
      මගේ අත්දැකීම් අනුවනම් ඇමරිකාවෙත් එහෙම තමයි. කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වුනත් එහෙමයි කියලයි මම හිතන්නේ. නමුත්, එංගලන්තයනම් එහෙම නෑ කියලා මමත් හිතනවා. එංගලන්තයේත් ටික කලක් ජීවත් වුනු නිසා ඒ වෙනස දැනෙනවා. ජර්මනිය ගැන මට එතරම් අත්දැකීම් නැහැ.

      //උන්ගේ කෙල්ලෙක් එක්ක ගියා කියල කවුරුත් ගහන්න එන්නේ නැහැ.//
      මෙහෙනම් එවැනි ප්‍රශ්න ඇත්තෙම නැති තරම්.




      Delete
    7. //මේ එකතැන් පලවීම කියන එක වුනේ කර්මාන්ත හා ආර්ථික ක්ෂේත්‍රයේ මාකට් එකොනොමි එක හා චිනා ආවට පස්සේ. එතැන් ආර්ථික විසඳුමක් දුන්න නම් දේශපාලන විසඳුමකට යන්නේ නැතිව අදත් සෝවියට් දේශය තිඑබෙනවා.//

      ආර්ථික විසඳුමක් දුන්නනම් කියන්නේ චීනය වගේ ටිකෙන් ටික සමාජවාදය අත ඇරියානම් කියන එක නේද?

      Delete
    8. //හැබැයි රූස්ස මානුෂිකව අපට සැලකුව. ඕන රුස්සෙකුගේ ගෙදරක තියෙන හොඳම දේ කන්න දෙනවා බෝතලයක් එක්ක. එක එංගලන්තේ මම දැක්කේ නැහැ.//

      මම හිතන්නේ අජිත් හැම වෙලාවෙම හිතින් එංගලන්ත ජීවිතය හා රුසියන් ජීවිතය සසඳනවා වෙන්න ඇති. මම දන්න ගොඩක් රුසියානුවනුත් ඉංග්‍රීසින්ට වඩා මිත්‍රශීලී අය. නමුත්, එය සමාජවාදයේ හා ධනවාදයේ වෙනසක් කියා මම හිතන්නේ නැහැ. කියුබාවේ මිනිස්සුත් මිත්‍රශීලියි. ඒ පොදුවේ දකුණු ඇමරිකානු රටවල මිනිස්සුන්ගේ ලක්ෂණයක්. නමුත්, චීන්නු හා බොහෝ විට උතුරු කොරියාවේ මිනිස්සු එතරම් මිත්‍රශීලී නැහැ.

      Delete
    9. මම දෙවෙනිවර ප්‍රතිචාර කියවන්නේ නැති නිසාවැරදි ලෙස ටයිප් වෙලා තියනවා. ඒකට සොරි. වෙලාවක් නැහැ කියවන්න. එහෙම්ම පෝස්ට් කරනවා මිසක්.
      //ආර්ථික විසඳුමක් දුන්නනම් කියන්නේ චීනය වගේ ටිකෙන් ටික සමාජවාදය අත ඇරියානම් කියන එක නේද?// අපොයි නැහැ . වැඩේ කියන්නේ චීන්නු එහෙම හිතන්නෙත් නැහැ. උන් තවම හිතනේ මාඕ ගේ මගේ යනවා කියල. මාඕ ලෙනින් බැජ් ගහගෙන් ඉන්න උන් දැක්ක.
      මම කියන්නේ අර උඩ මම කිව්ව විධිහ. වැඩ කරන අයට කම්හලේ අයිතිය පවර දෙන එක. සෝවියට් දේශයේ ජනටහ්වට අයිති කීවට අයිති ඒකාධිකාරී රජයට සහ පක්ෂයට. නිලධාරීන් පත් කලේ පක්ෂය. එනිසා මිනිස්සු පුළුවන් තරම් හොරකම් කළා . අවශ්‍ය නැති දේ වුනත්. අඩුවෙන් වැඩ කළා . නමුත් යුගෝස්ලාවියාවේ ටිටෝ ඔය ක්‍රමය ක්‍රියාත්මක කළා. (ජිජැක් ආවේ එහෙන්). පස් දෙනෙකුට එකතුව ව්‍යාපාර අරම්බන්න දුන්න ලාභය බෙදා ගන්න දීල. කම්හල් වල කොටස් බෙදන ක්‍රමයක් ඇති කළා . රට දියුණු වේගන IMF ණය ගෙවාගෙන ආව . ටිටෝ මරුනහමත් ඒක ගියා. නමුත් රැල්ලත් එක්ක කෙලවුනා. ජර්මනිය සෑහෙන්න ඇතුලෙන් කඩන්න් සල්ලි පොම්ප කළා. ජාතිවාදීන්ට සල්ලි දුන්න. නැත්නම් එහම එකක් හැදුව කෘතිමව . ගොඩක් ජාතිවාදී කලබල කෘතිමව හදපුව. සෝවියට් දේශයේ පවා. (ඔබ කියන දෙයට එතැනදී මම එකඟ නැහැ) රුස්සන්ට විරුද්ධව හිටිය අනිත් ජාතින් එහෙම කළේ ආගමික හේතුන් මත. රුසියනුන් අදේවවාදීන් නිසා. එතන ප්‍රශ්නයක් තිබුන,

      මේ ක්‍රමය
      https://kolambagamaya.blogspot.com/2014/12/blog-post.html

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: