මිනිස්සු ජීවත් වෙනවා කියලා කරන්නේ නිරන්තරයෙන් සතුට සොයා යාම හා අසතුට කෙරෙන් බැහැර වීම කියා මම කිවුවොත් එයට කවුරුවත්ම වාගේ විරුද්ධ වෙන එකක් නැහැ කියා මම හිතනවා. සතුට හෝ අසතුට කියන්නේ මොකක්ද කියන එක හා අදාළවනම් එක් එක් පුද්ගලයාට වෙන වෙන අර්ථකතන ඇති. ඒක ප්‍රශ්නයක් නෙමෙයි.
අපි සරලව හිතමු සතුට කියන්නේ කලින් ලිපියේ කතා කළ සංකේතාත්මක චරිතය වූ නිමල්ගේ සතුට මෙන් කෑම, බීම හා කාන්තා ඇසුර කියලා. කාන්තා ඇසුර කියන එක දේශපාලනිකව නිවැරදි නැහැ කියලා කාට හරි හිතෙනවානම් පුරුෂ ඇසුර කියා දමා ගත්තත් ප්‍රශ්නයක් නැහැ.
කවුරු හෝ අහඹු පුද්ගලයෙක් ගත්තොත් ඔහුගේ හෝ ඇයගේ සතුට තිබෙන්නේ සංගීතය, ජොයින්ට් එකක් ගැසීම, දේපොළ එක් රැස් කර ගැනීම, ආගමික කටයුතු වල යෙදීම, රට ජාතිය රැක ගැනීම ගැන හිතීම, කාට හරි ගේමක් දීම, බ්ලොග් ලිපියක් ලියා පළ කිරීම වගේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුගේ අසතුට තියෙන්නේත් ඔය දේවල් වලින් එකක හෝ කිහිපයකම වෙන්නත් පුළුවන්. අපේ කතාවට මේ කරුණ ගොඩක් අදාළ නැහැ.
අපේ පහසුවට අපි සතුට කියන්නේ කෑම, බීම හා කාන්තා ඇසුර කියලා සලකමු. සත්තු පවා කරන මේ දේවල් වෙනුවට උඩ ලැයිස්තුවේ තිබෙන ආකාරයේ වෙන ඕනෑම දෙයක් ආදේශ කරගත්තා කියලා කියන්න යන කතාව වෙනස් වෙන්නේ නැහැ. තේරුම් ගන්න අපහසු වෙනවා පමණයි.
කෙනෙකුට කෑමෙන් සතුටු වීම සඳහා මූලික කොන්දේසියක් විදිහට අවශ්‍ය පමණ කෑම තියෙන්න ඕනෑ. සතුට තිබෙන්නේ තමන් තුළ වුවත් සතුට ලබන්න අවශ්‍ය කෑම තිබෙන්නේ තමන්ගෙන් පිටත. ඒ නිසා, කෑම හරහා ලබා ගන්නා සතුට තමන්ගෙන් බාහිර ලෝකයෙන් ස්වායත්ත නැහැ. මෙහිදී බාහිර ලෝකය කියන එකෙන් අදහස් වෙන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ මනාපය පරිදි පාලනය නොවන කියන අදහසින්. තමන්ගේ සතුට සඳහා අවශ්‍ය සාධක සියල්ලම තමන්ටම පාලනය කළ හැකිනම් සතුට සොයා යාම කිසිවෙකුටත් ගැටළුවක් බවට පත් වන්නේ නැහැ.
කෑමෙන් සතුටු වීම සඳහා මුලින්ම කෑම සොයා ගත යුතුයි. ඒ සඳහා මොනවා හෝ දෙයක් කළ යුතුයි. ඒ කරන දෙයෙහි සතුට නොතිබෙන්න පුළුවන්. අපි ඉතාම සරලව හිතමු කුරුම්බා ගෙඩියක් ගෙඩියක් කඩා ගැනීමට උස පොල් ගහකට නගින එක වගේ දෙයක්. බොහෝ විට මේ විදිහට කෙනෙක් පොල් ගහකට නගින්නේ පොල් ගස් නැගීමේ සතුට වෙනුවෙන් නෙමෙයි. එහි බොහෝ විට තිබෙන්නේ අසතුටක්. නමුත්, කුරුම්බා ගෙඩියක් කෑමේ සතුට විඳීමේ පූර්ව කොන්දේසියක් විදිහට පොල් ගස් නැගීමේ අසතුට විඳින්න වෙනවා.
වෙන ඕනෑම සංකීර්ණ ක්‍රියාවක් ගත්තත් බොහෝ විට මේ මූලික ලක්ෂණය පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. අපට කැමති තරමටම සතුට ලබන්න හෝ අසතුට මුළුමනින්ම බැහැර කරන්න පුළුවන්කමක් නැහැ. ජීවත් වනවා කියා අප විසින් කරන්නේ හැකිතාක් දුරට අසතුට බැහැර කරමින් වැඩි සතුටක් ලබා ගැනීම සඳහා අරගලයක නිරත වෙන එකයි.
ධනවාදියෙකු විසින් පිළිගන්නා සහ ඇස් ඇර අවට බලන කෙනෙකුට පැහැදිලිව පෙනෙන මූලික කරුණක් වන්නේ මේ සතුට හා අසතුට පුද්ගලයාට සාපේක්ෂ බවයි. මා සතුටු වන දෙයකින් ඔබ අසතුටු වන්න පුළුවන්. මා අසතුටු වන දෙයකින් ඔබ සතුටු වන්න පුළුවන්. අපි මෙය රුචිකත්වයන්ගේ විෂමතාවය ලෙස හඳුන්වමු.
පුද්ගල අන්තර් සම්බන්ධතා වලදී මේ රුචිකත්වයන්ගේ විෂමතාවය විසින් විශාල කාර්ය භාරයක් ඉටු කරනවා. කුරුම්බා ගෙඩියක් කෑමෙන් මම සතුටු වෙනවා. නමුත්, පොල් ගස් නැගීමෙන් මා සතුටු වන්නේ නැහැ. මා තනි පුද්ගලයෙක්නම් මා පොල් ගහට නැග කුරුම්බා ගෙඩියක් කඩා ගෙන කනවාද?
මෙය තීරණය වෙන්නේ කුරුම්බා ගෙඩිය කෑමෙන් මට ලැබෙන සතුට කුරුම්බා ගහට නගින්නට සිදු වීමේ අසතුටට වඩා අඩුද වැඩිද කියන කාරණය මතයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා වගේම එකම පුද්ගලයෙක් හා අදාළව වුවත් අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්.
බාහිර පුද්ගලයෙක්ට තබා අදාළ පුද්ගලයාටම වුවත් කුරුම්බා ගෙඩියක් කෑමෙන් ලබන සතුට හා කුරුම්බා ගහට නගින්නට සිදු වීමේ අසතුට හරියටම මනින්න බැහැ. එසේ මැනිය හැකි මීටරයක් නැහැ. නමුත්, කිසියම් පුද්ගලයෙකුගේ හැසිරීම නිරීක්ෂණය කර මේ සතුට හා අසතුට පිළිබඳව ඇතැම් දේවල් නිශ්චිත ලෙසම කියන්න පුළුවන්.
පොල් ගහක් සමඟ තනි වී සිටින පුද්ගලයෙක් ගහට නැග කුරුම්බා ගෙඩියක් කඩා ගන්නා බව පෙනේනම් එයින් අදහස් වෙන්නේ කුරුම්බා ගෙඩිය කෑමේ සතුට ගහට නැගීමේ අසතුටට වඩා වැඩි බවයි. එසේ කරන බවක් නොපෙනේනම් එයින් අදහස් වන්නේ කුරුම්බා ගෙඩිය කෑමේ සතුට ගහට නැගීමේ අසතුටට වඩා අඩු බවයි.
අදාළ පුද්ගලයා පොල් ගහට නොනැග්ගේ පොල් ගස් නගින්න දන්නේ නැති නිසා විය හැකි බව කාට හරි කියන්න පුළුවන්. වෙන්න පුළුවන්. එහෙමනම්, පොල් ගස් නැගීමේ අසතුටට හේතුව පොල් ගස් නගින්න නොදැනීමයි. ඒ හේතුව මත කතාව වෙනස් වෙන්නේ නැහැ.
දැන් අපි පාළු දූපතක් ගැන හිතමු. මෙහි ඉබේ වැවුණු පොල් ගස් ඕනෑ තරම් තිබෙනවා. ඒ පොල් ගස් වල තිබෙන කුරුම්බා සීමාකාරී සාධකයක් නෙමෙයි. එහෙත්, ගස් වල තිබෙන කුරුම්බා ගස් වලම තිබියදී ආහාරයට ගන්න බැහැ. ඒ නිසා, ගස් වල කුරුම්බා තිබුණු පමණින් කිසිවෙකුට සතුටක් ලබන්න බැහැ. ඒ සඳහා ගහකට නැග කුරුම්බා කඩා ගත යුතුයි. ගහකට නැග කඩා ගන්නා කුරුම්බා වල "සතුට" තිබෙනවා. එහෙත්, ඒ සතුට ලබා ගැනීමට අවශ්‍ය කෙනෙකුට ගහට නැගීමේ අසතුට විඳින්න වෙනවා.
මේ විදිහට ගහට නැගීමේ අසතුට විඳ කවුරු හෝ විසින් පොල් ගහට නැග කුරුම්බා කඩා ගැනීමෙන් පසුව ඒ කුරුම්බා වල සදාචාරාත්මක අයිතිය තියෙන්නේ කාටද? ඒ අයිතිය තිබෙන්නේ ගහට නැගපු පුද්ගලයාටයි. මොකද ඔහු ගහට නැග්ගේ නැත්නම් කුරුම්බා තවමත් ගහේ. කුරුම්බා බී සතුට ලබා ගැනීමේ විකල්පය බිහි වී තිබෙන්නේම ඔහු ගහට නැගපු නිසයි.
ඔහු මේ කුරුම්බා වෙනත් අය සමඟ බෙදා ගත යුතුද? එය තීරණය කිරීම ඔහුගේ අයිතියක්. කැඩූ කුරුම්බා සියල්ල දූපතේ සියල්ලන් අතර සමසමව බෙදීමෙන් ඔහුට සතුටක් ලැබෙනවානම් ඔහු එසේ කරයි. තමන්ට රුචි අයට පමණක් කුරුම්බා බෙදා දීමෙන් සතුටක් ලැබෙනවානම් ඔහු එසේ කරයි. කවර හෝ හේතුවක් නිසා කුරුම්බා වලින් කොටසක් විනාශ කර දැමීමෙන් සතුටක් ලැබෙනවානම් ඔහු එයත් කරයි. මේ කතා කරන්නේ ඔහුගේ අභ්‍යන්තර සතුට ගැනයි. එයට බාහිර කරුණු සමඟ සම්බන්ධයක් තිබුණත් එය වක්‍ර සම්බන්ධයක් පමණයි.
මේ ආකාරයට පොල් ගස් නැග දූපතේ කුරුම්බා කඩන පුද්ගලයෙකු විසින් කුරුම්බා බෙදා දීමේදී කුරුම්බා සමානව සියල්ලන් අතර බෙදනවා වෙනුවට තමන්ට කවර ආකාරයකින් හෝ තමන්ගේ සතුට වැඩි කර ගැනීම සඳහා බාහිර සාධකයක් සම්පාදනය කරන කෙනෙකු වෙනුවෙන් කුරුම්බා වැය කරන්න වැඩි ඉඩක් තිබෙනවා. උදාහරණයක් විදිහට ඔහු "කාන්තා සැප" ලබා ගැනීම වෙනුවෙන් කුරුම්බා වැය කළ හැකියි. එහි ප්‍රතිඵලයක් විදිහට ඔහු දූපතේ සිටින වෙනත් අයට වඩා වැඩියෙන් කාන්තා සැප ලබනවා වෙන්න පුළුවන්. ඇතැම් විට මහළු හෝ රෝගී පුද්ගලයෙකුට හෝ කුඩා දරුවෙකුට කුරුම්බා ලබා දීමෙන් ඔහු සතුටක් ලබනවා වෙන්න පුළුවන්. එහිදී කුරුම්බා ලබා ගන්නා පුද්ගලයා විසින් හිතා මතා කරන සුවිශේෂී කාර්යයක් නැතත් කුරුම්බා ලබා දෙන පුද්ගලයා විසින් ඔහුගෙන් හෝ ඇයගෙන් "ලබා ගන්නා" යම් දෙයක් තිබෙනවා.
මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් දෙය වන්නේ කුරුම්බා හිමිකරු වෙතින් කුරුම්බා ලබා ගැනීමට සමත් වන්නේ කවර හෝ ආකාරයකින් ඔහුව සතුටු කිරීමට සමත් වන අය විසින් බවයි. එසේ කළ නොහැකි අයට කුරුම්බා හිමි කර ගැනීමේ ඉඩක් නැහැ.
තමන් විසින් පොල් ගස් නැග කුරුම්බා කඩන්නේත් නැති, එසේ ගස් නැග කුරුම්බා කඩන අයෙකු සතුටු කිරීමේ හැකියාවක්ද නැති අයත් කුරුම්බා වලින් සතුටට පත් වෙනවා. එවැනි අයෙකුට කුරුම්බා ලබා ගැනීමට හැකි එක් ක්‍රමයක් වන්නේ කුරුම්බා හොරකම් කිරීම හෝ මංකොල්ල කෑමයි. මෙහිදීත් පුද්ගලයින් දෙදෙනෙකු අතර අන්තර් ක්‍රියාවක් සිදු වන නමුත් එය නිදහස් ගණුදෙනුවක් මෙන් දෙපාර්ශ්වයටම සතුටු විය හැකි අන්තර් ක්‍රියාවක් නෙමෙයි. කුරුම්බා හොරකම් කරන හෝ මංකොල්ල කන පුද්ගලයා මේ වැඩෙන් සතුටු වුවත් කුරුම්බා වල අයිතිකරුට මෙයින් ලැබෙන්නේ අසතුටයි. ඒ නිසා, මෙවැන්නක් කිසි විටෙකත් එකඟතාවයකින් යුතුව සිදු වන්නේ නැහැ.
කුරුම්බා වල අයිතිය ගස් නැග කුරුම්බා කැඩූ පුද්ගලයාටය යන සම්මුතිය පිළි නොගන්නා අයෙකු වගේම එය පිළි ගන්නා නමුත් එම සම්මුතියට ගරු නොකරන අයත් දූපතේ ඉන්න පුළුවන්. එවැනි අයෙකු කුරුම්බා හොරකම් කරන්න හෝ මංකොල්ල කන්න පෙළඹෙන්න පුළුවන්. මෙහිදී කුරුම්බා හිමිකරු මුහුණ දෙන්නේ සතුට වැඩි කර ගැනීමේ ප්‍රශ්නයට නොව අසතුට බැහැර කිරීමේ ප්‍රශ්නයටයි.
තමන්ගේ කුරුම්බා හොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කුරුම්බා හිමිකරුට නිදිමරන්න වෙනවා. තමන්ගේ කුරුම්බා මංකොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කුරුම්බා හිමිකරුට සටන් කරන්න වෙනවා. මේ දෙකේදීම ඔහුට අසතුට මිසක් සතුට උරුම වන්නේ නැහැ. අනෙක් අතට මේ කිසිවක් නොකර තමන්ගේ කුරුම්බා අහිමි කරගැනීම තුළත් ඔහුට ලැබෙන්න අසතුටයි.
මෙහිදී කුරුම්බා හිමිකරුට සිදු වන්නේ අඩු නරක තෝරා ගන්නයි. කුරුම්බා ටික හොරුන්ට ගන්න ඉඩ හැර හොඳින් නිදාගත්තත්, කුරුම්බා ආරක්ෂා කර ගන්න නිදි මැරුවත් ඔහුට අන්තිමේදී ලැබෙන්නේ අසතුටයි. ඔහු කරන්නේ කුමක්ද කියා බලා සිටින කෙනකුට මේ දෙකෙන් ඔහු වඩා අසතුටු වන කාරණය දැන ගත හැකියි.
මේ වගේ වෙලාවක කුරුම්බා ආරක්ෂා කර දීමේ සේවාව සපයන්න යම් පිරිසක් ඉදිරිපත් වෙන්න පුළුවන්. එහි හිලවුවට ඔවුන්ට යම් කුරුම්බා ප්‍රමාණයක් ලැබෙනවා. මෙය නිදහස් ගනුදෙනුවක්. දෙපාර්ශ්වයම එම ගනුදෙනුවෙන් සතුටු වෙනවා. කුරුම්බා හිමිකරු ආරක්ෂකයාට කුරුම්බා ගෙඩි කිහිපයක් දී හොඳින් නිදා ගන්නවා. ආරක්ෂකයා කුරුම්බා බී නිදි මරනවා.
දූපතේ කුරුම්බා හොරුන් විශාල ලෙස වැඩි වුනොත් කුරුම්බා හිමිකරුට ආරක්ෂකයින් වෙනුවෙන් විශාල කුරුම්බා ප්‍රමාණයක් වෙන් කරන්න වෙනවා. මේ අතර දූපතේ ජනප්‍රිය දේශකයෙක් විසින් හොරකම් කිරීමේ "ආදීනව" ගැන මිනිසුන් දැනුවත් කරනවා. දේශකයා විසින් කියන කතාවේ සත්‍යාසත්‍යතාවය තහවුරු කර ගැනීමේ හැකියාවක් නැතත් ඔහු කියන දෙය බොහෝ දෙනෙක් විසින් පිළිගන්නවා. ඒ නිසා දූපතේ හොරුන් අඩු වෙනවා. දේශකයාව උනන්දු කරවීම සඳහා කුරුම්බා හිමිකරු විසින් යම් කුරුම්බා ප්‍රමාණයක් තමන්ගේ කැමැත්තෙන් ලබා දෙනවා.
දැන් දූපතේ කුරුම්බා මත පදනම් වූ ආර්ථිකයක් තිබෙනවා. බොහෝ දෙනෙක් එහි කොටස්කාරයන් වෙලා. ඒ කොටස්කරුවන් හැම දෙනෙකු විසින් වගේම කරන නිශ්චිත කාර්යයයක් තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන දෙයක්ද තිබෙනවා. නමුත්, ඒ හැම දෙයකම මූලාරම්භය අර කුරුම්බා කඩන මනුස්සයාගේ කුරුම්බා කැඩීමේ කුසලතාවයයි. දූපතේ ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ හෝ සංකෝචනය වන්නේ මූලික වශයෙන්ම ඔහු විසින් කඩන කුරුම්බා ප්‍රමාණය අඩු වැඩි වන ආකාරයටයි. එහෙත්, වෙනත් සාධක වලද බලපෑමක් තිබෙනවා.
එහෙත් දූපතේ සිටින හැම කෙනෙක්ම මේ ආර්ථිකයේ කොටස්කාරයෙක්ය යන්න එයින් අදහස් වෙන්නේ නැහැ. කුරුම්බා කඩන්නේත් නැති, කුරුම්බා කඩන පුද්ගලයා විසින් අගය කරන කවර හෝ සේවයක් කරන්නේත් නැති, එහෙත් කුරුම්බා කඩන්නාගේ දේපොළ අයිතිවාසිකම් පිළිගන්නා අයෙකුට කුරුම්බා කන්න අවශ්‍යනම් කරන්න වෙන්නේ කුමක්ද?
එවැන්නෙකුට පොල් ගස් නගින්න ඉගෙන ගන්න වෙනවා. එසේ නැත්නම් පොල් ගස් නගින කෙනෙකුව සතුටු කළ හැකි වෙනත් කිසියම් ආකාරයක් ගැන ඉගෙන ගන්න වෙනවා. දෙවැන්නෙක් පොල් ගස් නගින්න ඉගෙන ගෙන කුරුම්බා කඩන්න පටන් ගත් විට ඔහුටත් මුල් කුරුම්බා කඩන්නා මෙන් කටයුතු කරන්න පුළුවන්. එහිදී ආරක්ෂකයින්, කාන්තාවන් වැනි කොටස් වලට කුරුම්බා කඩන්නන් දෙදෙනෙකු සිටීමේ වාසිය ගනිමින් තමන්ගේ සේවාවන් වල වටිනාකම සම්බන්ධව හෙට්ටු කරන්නත් අවස්ථාව ලැබෙනවා.
පළමු කුරුම්බා කඩන්නාගේ අනුකම්පාවට ලක් නොවන්නේනම් දෙවැනි කුරුම්බා කඩන්නා පොල් ගස් නගින්න පුරුදු වන තුරු ඔහුට කුරුම්බා කන්න අවස්ථාවක් ලැබෙන්නෙම නැද්ද?
ඔහු පොල් ගස් නගින්න පුරුදු වන ආකාරය බලා සිටින ආරක්ෂක රැකියාවක් වැන්නක් කරන අයෙකුට මේ කරන්න යන වැඩේ සාර්ථක වන බවට විශ්වාසයක් ඇති වුනොත් තමන්ගේ කුරුම්බා කොටසින් ගෙඩියක් නිශ්චිත ගිවිසුමක් මත පුහුණු වන පොල් ගස් නගින්නාට දෙන්න පුළුවන්. ගිවිසුම අනුව ආධුනිකයා කුරුම්බා කඩා ගැනීමට සමත් වූ පසුව දැන් ලබා ගන්නා කුරුම්බා ගෙඩිය වෙනුවෙන් කුරුම්බා ගෙඩි දෙකක් ආපසු ලබා දෙනවා.
මේ ආකාරයේ සමාජ ක්‍රමයක් තිරසාර ලෙස පවතින්න පුළුවන්. බොහෝ දෙනෙකුට එවැනි ක්‍රමයක් පවත්වා ගැනීම වාසිදායක නිසා ඔවුන් එම ක්‍රමය ආරක්ෂා කර ගන්නවා මිස එය බිඳ වැටෙන්න ඉඩ අරින්නේ නැහැ. ක්‍රම විරෝධීන් ටික දෙනෙක් හිටියත් ඔවුන්ට පවතින ක්‍රමය වෙනස් කළ හැකි දේශපාලන බලයක් නැහැ.
කෙසේ වුවත්, දූපතේ මේ සමාජ ආර්ථික ක්‍රමයම පැවතීමට පරම වූ හේතුවක් නැහැ. එහි වෙනත් ක්‍රමයක් වුවත් පවතින්න පුළුවන්.
අපි මේ දූපතට යාබද වෙනත් දූපතක් ගැන හිතමු. පළමු දූපතේ වගේම කුරුම්බා කඩන්නා කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් මෙහිද හැදෙනවා. එසේ තිබියදී එක්තරා දේශකයෙක් විසින් මෙවැනි අදහසක් සාර්ථකව ජනගත කරනවා.
"බලන්න කුරුම්බා කඩන්නා දිහා. ඔබට කුරුම්බා ලැබෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔහුයි. ඔහු ඇසුරු කරන කාන්තාවන්ට, ඔහු වටා සිටින ආරක්ෂකයින්ට ඔහු ලෝබ නැතුව කුරුම්බා බෙදනවා. වෙන අයට කුරුම්බා ලැබෙන්නේ ඔහුගේ අනුකම්පාව මතයි. කොයි තරම් වැරදිද? කොයි තරම් අසාධාරණද? නැද්ද, හා?"
"ඉතිං ඔහු කඩන කුරුම්බා බෙදන විදිහ ඔහු විසින් තීරණය කරන එකේ වැරැද්ද මොකක්ද?"
"වැරැද්ද මේකයි. ඔහු කුරුම්බා කඩනවා තමයි. නමුත්, ඔහුට දැනෙන්නත් අනෙක් අයට දැනෙන බඩගින්නමයි. ඒ නිසා, කුරුම්බා දූපතේ ඉන්න හැමෝටම සමානව අයිති විය යුතුයි."
"ඒත් ඔහු දෙන්නේ නැත්නම් මොකද කරන්නේ?"
"කුරුම්බා හිමියෙක් කවදාවත් තමන්ගේ කුරුම්බා කැමැත්තෙන් අනෙක් අයට දෙන්නේ නැහැ. ඒ පවතින ක්‍රමයේ හැටි. කුරුම්බා කන්නනම් අපට මේ ක්‍රමය වෙනස් කරන්නම වෙනවා."
දේශකයා විසින් හොරකම, මංකොල්ලකෑම සාධාරණීකරණය කරන සදාචාරාත්මක පදනමක් හදනවා. දැන් කුරුම්බා හොරු තව දුරටත් හොරු, මංකොල්ලකාරයෝ නෙමෙයි. සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින අය. වඩා සාධාරණ ලෝකයක් හැදීම වෙනුවෙන් පෙරමුණ ගන්න පෙරටුගාමියෝ.
සත්‍යාසත්‍යතාවය පරීක්ෂා කරන්න පදනමක් නැතත් දූපතේ කිසියම් පිරිසක් විසින් ඔය කතාව විශ්වාස කරනවා. විශ්වාස නොකළත් කුරුම්බා කඩන්නාගේ කුරුම්බා තොගය පොදු අයිතියට යටතේ කර සමසමව බෙදා ගැනීම කියන අදහස ඇතුළේ මහන්සියක් නැතිව කුරුම්බා කන්න ලැබෙන එක පිළිබඳ බලාපොරොත්තුවක් තිබෙනවා. මේ පිරිස විසින් කුරුම්බා කඩන්නා විසින් කඩන කුරුම්බා සියල්ල තමන්ගේ අයිතිය යටතට ගෙන දූපතේ සියල්ලන්ටම සමානව හෝ සමාන සේ පෙනෙන ලෙස බෙදා දෙනවා.
දූපතේ බොහෝ දෙනෙක්ට දැන් සතුටුයි. ඒ අයට නිකම් ඉඳලා කුරුම්බා ලැබෙනවා. නමුත්, කුරුම්බා කඩන්නා සතුටු නැහැ. ඔහු කොයි තරම් මහන්සි වී කුරුම්බා කැඩුවත් ඔහුට ලැබෙන්නේ වෙනත් අයෙකුට ලැබෙන කුරුම්බා ප්‍රමාණයමයි. එහෙත්, ඔහුට කරන්න දෙයක් නැහැ. අකැමැති වුනා කියා ඔහුට කුරුම්බා නොකඩා ඉන්නත් බැහැ. අනෙක් එය එයට ඔහුට ඉඩ දෙන්නේ නැහැ. ඒ පිරිස බලවත්. ඔහු තනි පුද්ගලයෙක්. ඉඳහිට ඔහු වෙනුවෙන් හඬක් නගන කෙනෙක්ව නිහඬ කරන්න වෙනම පිරිසක් ඉන්නවා.
මේ ක්‍රමයත් සමතුලිතතාවයක් ලෙස කාලයක් තියෙන්න පුළුවන්. පළමු දූපතට සාපේක්ෂව දෙවන දූපතේ කුරුම්බා සමානව බෙදී යනවා. පළමු දූපතේ බොහෝ දෙනෙක්ට කුරුම්බා නොලැබුණත් දෙවන දූපතේ එවැනි ප්‍රශ්නයක් නැහැ. එහෙත් කාලයත් සමඟ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වෙනවා.
පළමු දූපතේ දෙවන කුරුම්බා කඩන්නෙකු බිහි වී සමස්ත කුරුම්බා නිෂ්පාදනය ඉහළ යනවා. දෙවන කුරුම්බා කඩන්නා පොල් ගස් නගින්න පුරුදු වෙන්නේම පළමු පොල් කඩන්නා විසින් ගෙවන වඩා යහපත් ජීවිතය ඉලක්ක කරගෙනයි. එහෙත්, දෙවන දූපතේ එවැනි ප්‍රශ්නයක් නැහැ. එහි කාටත් සමානව කුරුම්බා ලැබෙනවා. මහන්සි වී කුරුම්බා කඩන්න පුරුදු වුනා කියා අමුතුවෙන් ලැබෙන දෙයක් නැහැ. කඩන කුරුම්බා අනෙක් අය සමඟ බෙදාගන්නයි වෙන්නේ. එහි සමාජ සම්මතය අනුව සාධාරණ දෙය ඒ ආකාරයට කුරුම්බා ටික සමසමව බෙදාගැනීමයි.
පළමු දූපතේ දෙවන කුරුම්බා කඩන්නා කුරුම්බා කඩන්න පුහුණු වීමෙන් පසුව ඔහු වෙනුවෙන් කාලයක් තමන්ගේ කුරුම්බා කැප කළ පුද්ගලයාට පොලියත් එක්ක කුරුම්බා ලැබෙන්න ගන්නවා. එයින් දිරිමත් වන ඔහු තවත් අයව ගස් නැගීම සඳහා උනන්දු කරවනවා. ගස් නගින්න පුරුදු වන කෙනෙකුට පුහුණු වන කාලය ඇතුළත ඔහුගෙන් කුරුම්බා සංග්‍රහ ලැබෙනවා. කුරුම්බා කැඩීමේ කුසලතාවය ලබා ගැනීමෙන් පසුව ඒ වෙනුවෙන් ඔහුට කුරුම්බා ආපසු ලැබෙනවා.
මේ දිරිගැන්වීම නිසා තවත් කුරුම්බා කඩන්නන් බිහි වී පළමු දූපතේ කුරුම්බා නිෂ්පාදනය තවතවත් ඉහළ යනවා. දැන් එම දූපතේ හැමෝම එක්කෝ කුරුම්බා කඩනවා. නැත්නම් කුරුම්බා කඩන අයව සතුටු කළ හැකි වෙනත් දෙයක් කරනවා. ඔය දෙකම නොකරන්නේ එවැන්නක් කළ නොහැකි කුඩා ළමුන්, ආබාධිතයින්, මහළු පුද්ගලයින් වැනි අය පමණයි. අනෙක් අයගේ අනුකම්පාව මත ඒ අයටත් කුරුම්බා ලැබෙනවා.
පළමු දූපතේ හැමෝගෙම ප්‍රධාන ඉලක්කය වෙනත් කාව හෝ හැකි තරම් සතුටු කිරීමයි. තමන්ගේ සතුට තමන්ට ලැබෙන්නේ වෙනත් අයව සතුටු කළ තරමට බව පළමු දූපතේ බොහෝ දෙනෙකු විසින් තේරුම් අරගෙනයි ඉන්නේ. එය ප්‍රත්‍යක්ෂයෙන්ම පෙනෙන්න තිබෙන දෙයක් නිසා කවුරුවත් බලහත්කාරයෙන් ඒ බව ඒත්තු ගන්වන්න අවශ්‍ය නැහැ. දෙමවුපියන් තමන්ගේ දරුවන්ට කුඩා කළ සිටම වෙනත් අයව සතුටු කරන්න පුරුදු කරනවා. ඒ දෙමවුපියන් තමන්ගේ දරුවන්ට ආදරේ නිසයි. දරුවන් සතුටු වනු දකින්න දෙමවුපියන් කැමති නිසයි. ඔවුන්ට සතුටු විය හැක්කේ ඔවුන්ටද වෙනත් අයව සතුටු කළ හැකිනම් පමණක් බව දෙමවුපියන් දන්නා නිසයි.
දෙවන දූපතේ මේ ආකාරයට "ඉබේටම" කටයුතු සිදු වන්නේ නැහැ. දෙවන දූපත පාලනය කරන "සමානතා පක්ෂය" විසින් නිෂ්පාදනය වැඩි කර ගැනීමේ අරමුණින් කුරුම්බා කැඩීම සඳහා තවත් අය යොදවන්න උත්සාහ කරනවා. එහෙත්, කඩන කුරුම්බා තමන්ට නොලැබෙන බව දන්නා නිසා බොහෝ දෙනෙකු ඒ ගැන උනන්දු වන්නේ නැහැ. මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට සමාජය වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කළ යුතු බව අනෙක් අයට ඉගැන්වීමට සමානතා පක්ෂය විසින් පිරිසක් යොදවනවා.
කුරුම්බා කඩන්න ගස් නගිනවාට වඩා මේ වැඩේ පහසු නිසා කට්ටිය හොයා ගන්න අමාරු වෙන්නේ නැහැ. ඒ පිරිස විසින් සමාජය වෙනුවෙන් පුද්ගලයින් විසින් ඉටු කළ යුතු යුතුකම් ගැනත්, සමානතා මූලධර්මයේ විද්‍යාත්මක බව ගැනත් කුඩා කාලයේ සිටම අනෙක් අයට උගන්වනවා. දිගින් දිගටමත් මේ දැනුවත් කිරීම විවිධ මාධ්‍ය හරහා සිදු වෙනවා. මේ දැනුවත් කිරීම් නිසා බොහෝ දෙනෙක් පවතින ක්‍රමය ප්‍රශ්න කරන්නේ නැහැ. එම ක්‍රමය ඇත්තටම විශ්වාස කරනවා.
එහෙත්, වරින් වර පවතින ක්‍රමය පිළිබඳව ඇතැම් අයට සැක සංකා ඇති වෙනවා. එවැනි අය තමන්ගේ අදහස් පතුරවන්න පෙර හඳුනාගෙන "පුනරුත්ථාපනය" කිරීම සඳහා තවත් පිරිසක් යෙදවෙනවා. අවසානයේදී දෙවන දූපතේ ටික දෙනෙක් කුරුම්බා කඩද්දී වැඩි දෙනෙක් විසින් කරන්නේ පවතින ක්‍රමය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය විවිධ දේ කරන එකයි.
ක්‍රමය පවතිනවා. එහෙත්, එය පළමු දූපතේ ක්‍රමය තරම් සාර්ථක නැහැ. දෙවන දූපතේ කාටත් සමානව කුරුම්බා ලැබුණත් ඒ හැමෝටම ලැබෙන්නේ සීමිත පිරිසක් විසින් කඩන කුරුම්බා ටිකක්. පළමු දූපතේ එවැනි සමාන බෙදී යාමක් නැතත්, කුරුම්බා කඩන්නන් වැඩි නිසා පහළම මට්ටමේ සිටින අයට පවා දෙවන දූපතේ එක් අයෙකුට ලැබෙනවාට වඩා වැඩියෙන් කුරුම්බා ලැබෙනවා. මේ බව බොහෝ දෙනෙකු විසින් දැන ගන්නා තුරු දෙවන දූපතේ ක්‍රමය නොවෙනස්ව පවතිනවා. එහෙත්, පළමු දූපත ගැන තොරතුරු ලැබෙන තරමට දෙවන දූපතේ ක්‍රමය එහි පවත්වා ගන්න අසීරු වෙනවා. කාලයක් යද්දී ඒ ක්‍රමය බිඳ වැටෙනවා.
දෙවන දූපතේ සමාජ ආර්ථික ක්‍රමය මෙහෙයවන "සමානතා මූලධර්මය" විශ්වාසය මත පමණක් පදනම් වන සත්‍යාසත්‍යතාවය තහවුරු කළ නොහැකි මූලධර්මයක්. එහෙත්, එය සැබෑවක් බව බොහෝ දෙනෙකු විසින් විශ්වාස කරන තාක් එම සමාජ ආර්ථික ක්‍රමය පවතින්න පුළුවන්. එවැනි විශ්වාසයක් පවත්වාගත හැක්කේ ඒ මූලධර්මය ඇත්තටම විශ්වාස කරන හෝ ඒ මූලධර්මය මත පදනම් වූ සමාජ ආර්ථික ක්‍රමයකින් වාසි ලබන පිරිසක් විසින් මාධ්‍ය ප්‍රචාරණ, මාධ්‍ය වාරණ, සාහිත්‍යය, කලාව ආදිය යොදාගෙන එම මතවාදයේ ආධිපත්‍යය නඩත්තු කරන තාක් පමණයි.
පළමු දූපතේ බොහෝ දෙනෙක් විශ්වාස කරන අනුන්ගේ දේ සොරකම් නොකළ යුතුය කියන මූලධර්මයත් ඒ වගේම සත්‍යාසත්‍යතාවය තහවුරු කළ නොහැකි මූලධර්මයක්. එම මූලධර්මය බොහෝ දෙනෙකු විසින් විශ්වාස කිරීමටද මාධ්‍ය ප්‍රචාරණ, සාහිත්‍යය, කලාව ආදිය උපකාරී වෙනවා. එහෙත්, ඒ මාධ්‍ය ප්‍රචාරණ ආදිය නැතත් මේ මූලධර්මය පිළිගැනීම බොහෝ දෙනෙකුට අපහසු නැහැ. ඒ නිසා, පළමු දූපත ඇතුළේ පවතින ක්‍රමය දිගටම පවත්වා ගන්න විකල්ප මතවාද වාරණය කරන්න අවශ්‍ය නැහැ. සමානතා මූලධර්මය මෙන් නොව එය සැබෑවක් බව බොහෝ දෙනෙකුට ප්‍රත්‍යක්ෂයෙන් තේරෙනවා.
පෞද්ගලික දේපොළ අයිතිවාසිකම් පිළිගැනීම වසර දහස් ගණනක් පැරණි සමාජ සම්මතයක්. මේ සමාජ සම්මතය, සාපේක්ෂව මෑතකදී බිහි වූ මාක්ස්වාදය වැනි ආගම් වල හැර, ලෝකයේ හැම ප්‍රධාන ආගමික මතවාදයකම පිළිගැනෙන කාලයේ පරීක්ෂාවට ලක් වූ මූලධර්මයක්. විවිධ ආගම් මගින් පෙන්වා දෙන අනුන්ගේ දේ සොරකම් කරන අයට මුහුණ දෙන්නට වෙන ප්‍රතිවිපාක අසත්කරණයට ලක් කර පරීක්ෂාවට ලක් කළ නොහැකි වුවත්, දේපොළ අයිතිය පිළිගැනීමේ හා නොපිළිගැනීමේ වෙනස සමාජ සංවර්ධනයට බලපාන ආකාරය අනුභූතික දත්ත ඇසුරින් පරීක්ෂාවට ලක් කළ හැකි දෙයක්.
මහත්මයා කලක පටන් ඇමරිකාවේ වැදගත් ලෙස ජිවත්වන අයෙක් බව ඔබගේ ලිපි වලින් පෙනේ.
ReplyDeleteනමුත් මෑතක පටන් ඇමරිකාවේ ජිවත්වන කාන්තාවක් ලංකාවට හා ලංකාවෙන් පිටරටට සංක්‍රමනයවුනු අය කෙරේ ඇති අධික ක්‍රෝධයකින් බ්ලොග් ලියයි. එහිදී ඔබ ඇතුළු සිංහල (බෞද්ධ) ඩයස්පෝරාව එකාට එකා නැති කුහක උද්දච්ච සාමූහිකව කිසිම වැඩක් කරගන්න බැරි සෙට් එකක් යයි කීම සත්‍යයක්ද? නැත්නම් ඇගේ අධික හීනමානය හා ඊර්ශ්‍යාව පෙන්නීමක්ද
ඇය ලියා තිබෙන්නේ මෙසේය.
මගේ අදහස Q&A-
1. කමලා හැරිස් සිoහල බෞද්ධ ඩයස්පෝරාවට තමන්ට බැහැල වැඩ කරන්න එපා කිව්වද? නැත
2. සිoහල බෞද්ධ ඩයස්පෝරාවට ඇමරිකාවේ ප්‍රබල හඞක් නැත්තේ ඇයි? සිoහල බෞද්ධ ඩයස්පෝරාව එකාට එකා නැති කුහක උද්දච්ච සාමූහිකව කිසිම වැඩක් කරගන්න බැරි සෙට් එකක් නිසා
3. ඒකට කමලා හැරිස් පළිද? නැත
4. දෙමල ඩයස්පෝරාවට කමලා හැරිස් හෝ වෙන කාටහෝ උදව් කරන්න අයිතියක් නැතිද? අයිතියක් ඇත
5. කමලා හැරිස් දින්නොත් ලoකාවට කෙළ වේද? කවුරැ දින්නත් ඔවුන් හිතන්නේ ඇමරිකාවේ දියුණුව සඳහා ලoකාව යොදා ගන්නේ කෙසේද යන්නයි.
6. සිoහල බෞද්ධයන්ට ඇත්තටම හිතට අමාරැ මොකක් ගැනද ? එකාට එකා නැති කුහක උද්දච්ච ඊරිසියාකාර මොවුන්ට දුරින් හරි තමන්ගෙ එකෙක් ඉහළ යන විට ඉවසන්නට අමාරැය.
End of the story.
එතුමියට ලියූ ප්‍රතිචාරය
Deleteඔයාගේ ලමයි සිංහලයෝ නෙමෙයිනේ.
විජයදේවේන්ද්‍රම් රවින්ද්‍රන් සහ ශෝභනා රවින්ද්‍රන්ගේ ලමයිනුත් දෙමෙල්ලු නෙමෙයි.
ඔවුන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට අයත් අය.
ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවා කියලා ජර්මනියට වාසියක් වුනෙත් නෑ.
ඔබාමා දිනුවා කියලා කෙන්යාවට වාසියක් වුනෙත් නෑ.
අනික මේ ගෑනි උප ජනාධිපතිවත් නෙමෙයි.
මම හිතන්නේ මේ පාරත් ට්‍රම්ප් දිනයි.
:D