වෙබ් ලිපිනය:

Monday, December 14, 2020

බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය


කලින් ලිපියෙන් මම පෙන්වා දුන්නේ මෙවර ඇමරිකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය යාන්තමින් තීන්දු වූවක් බවයි. ඒ එක්කම මම කියපු තවත් දෙයක් වුනේ මේ වෙද්දී ඇමරිකානු සමාජය ඉතා විශාල ලෙස දේශපාලනිකව බෙදී ඇති බවයි. ඒ නිසා, දෝලන ප්‍රාන්ත කිහිපයක අවසන් ප්‍රතිඵලය "කෙස් ගහෙන්" තීරණය වුනත්, අනෙකුත් ප්‍රාන්ත ගණනාවකම අපේක්ෂකයින් දෙදෙනා අතර ඉතා විශාල පරතරයක් දැකිය හැකියි. 

හරියටම කියනවානම් වොෂින්ටන් ඩීසීද ප්‍රාන්තයක් සේ සැලකුවොත් ඇමරිකාවේ ප්‍රාන්ත 51න් 31කම අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය 15% ඉක්මවනවා. මේ බෙදීම කාලයක් තිස්සේම වර්ධනය වෙමින් පවතින ප්‍රවණතාවක්. ට්‍රම්ප් ජයග්‍රහණය කළ ප්‍රාන්ත 25න් 17කදීම ඔහු බයිඩන්ට වඩා 15% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා. ඒ වගේම බයිඩන් විසින් ජයග්‍රහණය කළ ප්‍රාන්ත 25න් 13කදී හා වොෂින්ටන් ඩීසීහි ඔහු විසින් ට්‍රම්ප්ගේ ඡන්ද ප්‍රතිශතයට වඩා 15% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා.

ඉහත දත්ත අනුව පැහැදිලි වෙන්නේ අදාළ ප්‍රාන්ත වල ඡන්දදායකයින්ගේ ඡන්ද වලට ඇමරිකාවේ ජනාධිපතිවරයා තේරීමේ කටයුත්තේදී ආන්තික වටිනාකමක් ඇත්තේම නැති තරම් බවයි. මම කලින් ලිපියෙන් ඡන්දදායකයෙකුගේ ඡන්දය දීමේ හෝ නොදීමේ තීරණය සූත්‍රගත කළානේ. ඒ අනුව ඡන්දය දැමීමෙන් ඡන්දදායකයෙකුට ලැබෙන වාසිය B ලෙස සැලකුවොත් එම අගය අපට පහත පරිදි ලියන්න පුළුවන්.

B = (U1 - U0)p + C 

U1 - තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ වාසිය/අවාසිය හෝ සතුට/අසතුට  

U0 - ප්‍රතිවාදී අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ වාසිය/අවාසිය හෝ සතුට/අසතුට  

p - තමන්ගේ ඡන්දය නිසා තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ ඉඩකඩ වැඩි වීමේ සම්භාවිතාව 

C - ඡන්දය දැමීමේ ක්‍රියාවලිය නිසා ලැබෙන වාසිය/අවාසිය හෝ සතුට/අසතුට

මෙහි B>0 වූ විට කිසියම් අයෙක් ඡන්දය දමනවා. B<0 වූ විට ඡන්දය දමන්නේ නැහැ.

දැන් අර 15%ක පරතරයක් තිබෙන ප්‍රාන්ත වල ඡන්දදායකයෙකුගේ තත්ත්වය සලකා බැලුවොත් එවැන්නෙකු හා අදාළව ඉහත p අගය ඉතාම අඩුයි. ඒ කියන්නේ එවැන්නෙකු ඡන්දය දැම්මා හෝ නොදැම්මා කියා ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් ඒ ප්‍රාන්ත වල ඡන්දදායකයෝත් වැඩියෙන් ඡන්දය දැම්මේ ඇයි? 

එක හේතුවක් වන්නේ U1 හා U0 අතර පරතරය විශාල ලෙස ඉහළ යාම. එවිට (U1 - U0) අගය ඉහළ යන නිසා p අගය අඩු වීමේ අවාසිය නිශේධනය වෙනවා. දෙවැන්න පෙර ලිපියෙන්ද කියූ පරිදි C අගය ඉහළ යාම. එය සෘණ අගයක් බව සැලකුවහොත් එහි මාපාංකය අඩු වීම. 

ඇත්තටම කියනවානම් මේ 15%ක පරතරය මගින් ඉහත සූත්‍රය පැහැදිලි කරනවාට වඩා සූත්‍රය ඇසුරෙන් පරතරය පැහැදිලි කිරීම පහසුයි. මෙවැනි පරතරයක් ඇති වී තිබෙන්නේම පක්ෂ දෙකේ ආධාරකරුවන් එක් එක් ප්‍රාන්තයේදී ඡන්දය දැමීම හෝ නොදැමීම සිදු වී තිබෙන්නේ එකම රටාවකට නොවන නිසා. 

කොහොමටත් රිපබ්ලිකන් පක්ෂය දිනන ප්‍රාන්තයක ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු ඡන්දය දමන්න වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. තමන් කාට ඡන්දය දුන්නත් ප්‍රාන්තයේ ඡන්ද ටික යන්නේ රිපබ්ලිකන් පක්ෂයට බව එවැනි අයෙකු දන්නවා. ඒ වගේම, කොහොමටත් ඩිමොක්‍රටික් පක්ෂය දිනන ප්‍රාන්තයක රිපබ්ලිකන් පාක්ෂිකයෙකු ඡන්දය දමන්න වැඩි උනන්දුවක් දක්වන්නේත්  නැහැ. මෙහි ප්‍රතිඵලය වන්නේ දෙපැත්තෙන් එක පැත්තකට පැහැදිලිවම බර ප්‍රාන්තයකදී දිනන පක්ෂයේ අපේක්ෂකයා උඩින්ම දිනන එකයි. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ප්‍රාන්තයක බහුතරයට වඩා වාසිදායක ප්‍රතිඵලයක් ලැබෙන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ප්‍රාන්තයක බහුතරයට වඩා වාසිදායක ප්‍රතිඵලයක් ලැබෙන එකම හේතුව ඉහත කරුණ නෙමෙයි. ප්‍රාන්තයක බලයේ ඉන්නේ බහුතරය කැමති පක්ෂයේ ආණ්ඩුවක්. ඒ වගේම ඇමරිකාවේ ප්‍රාන්තයක මැතිවරණ නීතිය හා මැතිවරණය ක්‍රමවේදය හැදෙන්නේ අදාළ ප්‍රාන්තයේ ආණ්ඩුවට, ඒ කියන්නේ අදාළ ප්‍රාන්තයේ බහුතර ඡන්දදායකයින්ට අවශ්‍ය විදිහටයි. ඒ කියන්නේ බහුතරයට වාසිදායක වන ආකාරයට. මෙවර මැතිවරණයේදී මේ තත්ත්වය විශේෂයෙන්ම පෙනෙන්නට තිබුණා.

ඉතාම සරල හා අසම්පූර්ණ විග්‍රහයක් වුනත් කෝවිඩ් වසංගතය හමුවේ රිපබ්ලිකන් පක්ෂයේ ස්ථාවරය වුනේ රට වසා නොදමා, වසංගතයට බය නොවී, සාමාන්‍ය පරිදි කටයුතු කළ යුතු බවයි. ඩිමොක්‍රටික් පක්ෂය වසංගතය හමුවේ පසු බැස සැඟවී සිටින ස්ථාවරයක හිටියා. මේ පක්ෂ දෙකේ ඡන්දදායකයින්ගෙනුත් මේ වෙනස පිළිබිඹු වුනා. ඡන්දය දමන්න ඡන්ද පොළට යන්න බය අය වැඩිපුර සිටියේ ඩිමොක්‍රටික් කඳවුරේ. ඒ කියන්නේ, ඉහත සූත්‍රයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ C අගය රිපබ්ලිකන් පාක්ෂිකයින්ගේ C අගයට වඩා විශාල සෘණ අගයක්ව පැවතුණා. ඒ නිසා, සාමාන්‍ය ආකාරයට ඡන්දය පැවැත්වුවානම් සමස්තයක් ලෙස ඩිමොක්‍රටික් පක්ෂයට අවාසියක් වෙනවා. 

මේ තත්ත්වය හමුවේ ඩිමොක්‍රටික් පක්ෂය විසින් කළේ ඔවුන්ට බලය තිබුණු ප්‍රාන්ත වල තැපැල් ඡන්ද ක්‍රමය ඇතුළු ක්‍රමවේද හඳුන්වා දී ඡන්දදායකයින්ගේ C අගය විශාල ලෙස පහළ දැමීමයි. ඒ නිසා, එම ප්‍රාන්ත වල ඩිමොක්‍රටික් ඡන්ද ප්‍රමාණය ඉහළ ගොස් අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය ඉහළ ගියා. නමුත්, රිපබ්ලිකන් ප්‍රාන්තයට බලය තිබුණු ප්‍රාන්ත වල එවැන්නක් සිදු වුනේ නැහැ. රිපබ්ලිකන් පාක්ෂිකයින් ඡන්ද පොළට යාමට බය නොවූ නිසා එම ප්‍රාන්ත වල රිපබ්රිකන් ඡන්ද අඩු නොවුනත් ඩිමොක්‍රටික් ඡන්ද අඩු වුනා. එයින් වුණෙත් අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය ඉහළ යාමයි.

ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ සර්ව සම්පූර්ණ ක්‍රමයක් නෙමෙයි. කොයි රටක වුනත් ප්‍රජාතන්ත්‍රවාදය බහුතරයේ පැත්තට නැමෙන එක වලක්වන්න බැහැ. පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදය කියා කීවත් බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රාමුව හැදෙන්නේ බලය ඇති පාර්ශ්වයේ අවශ්‍යතාවය ඉටු වන ආකාරයටයි. එයින් කියන්නේ ඒකාධිපති ක්‍රමයක් වඩා හොඳයි කියන එක නෙමෙයි. ඒක කොහොමටත් නරකයි. 

බලය විමධ්‍යගතව තිබීම ප්‍රජාතන්ත්‍රවාදය බහුතරයේ පැත්තට නැමෙන එකේ අවාසිය හෝ අසාධාරණය නිශේධනය කෙරෙන එක් ප්‍රධාන යාන්ත්‍රණයක්. ඇමරිකාවේ බොහෝ දේවල් සිදු වන්නේ ප්‍රාන්තයේ බහුතරයේ මතය අනුව නිසා ප්‍රාන්ත වැසියන්ට රටේ වැසියන්ගේ බහුතර මතයට යටත් වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. ප්‍රාන්තයේ බහුතරයේ මතයට යටත් වෙන්න වීම විශාල ප්‍රශ්නයක් සේ පෙනෙන කෙනෙකුට වෙනත් ප්‍රාන්තයකට සංක්‍රමණය වෙන්න බාධාවකුත් නැහැ. 


9 comments:

  1. 'U0 ප්‍රතිවාදී අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ වාසිය/අවාසිය' කොටස විස්තර කරන්නෙ කොහොමද අර කැපුවත් අර පාට, මේ පාට කියන අයට අදාලව. ඒ කියන්නෙ රට බේරාගැනිමට තමන්ගෙ අපේක්ශකයාට චන්දය දෙන අතරෙ අනිත් කෙනා දිනුවොත් නොමිලේ සනීපාරක්ශක උපකරන ලැබෙන/(නොලැබෙන) එක වාසියක්/(අවාසියක්) විදිහටද.

    Lotus

    ReplyDelete
  2. දැන් මම ජන්දේ දුන්නේ මම කැමතිම අපේක්ෂකයාට නෙමෙයි. මම අකමැති කෙනාගේ පක්ශකයට. ඒක කොහොමද මේකෙන් පහදන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔබ කැමති කෙනාට නොදී අකැමැති කෙනාට දුන්නේ ඇයි කියා කිවුවොත් පහදන්නම්!

      Delete
    2. කැමති අපේක්ෂකයා ජන්දේ දිනලා අනික් අය වගේ හොරකං කියලා හිතුන නිසා.

      Delete
    3. මෙය මම විග්‍රහ කරන ආකාරය අනුව ඔබ කැමති අපේක්ෂකයා ලෙස හඳුන්වන පුද්ගලයා ජයග්‍රහණය කරනවාට ඔබ ඇත්තටම කැමති නැහැ. මම මෙහි "තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා" කියා කියන එකෙන් අදහස් කරන්නේ තමන් විසින් ජයග්‍රහණය කරනවාට වඩාත්ම කැමති අපේක්ෂකයා කියන එකයි. මෙහිදී ඔබ වඩාත්ම කැමති "අකැමති අපේක්ෂකයා" ජයග්‍රහණය කරනවාටයි. ඒ නිසා, ඉහත ආකෘතිය සෘජුවම යොදාගන්න පුළුවන්. ඊළඟට ඔබ මගෙන් අහන්න පුළුවන් එහෙමනම් U1>U0 වෙන්නේ කොහොමද කියලා. මොකද ආකෘතිය අනුව එය එසේ විය යුතුයි. ඒ ගැන මගේ පැහැදිලි කිරීම මෙවැන්නක්.

      ඔබ කැමති එහෙත් ඡන්දය නොදෙන අපේක්ෂකයා A ලෙසත් ඔබ අකැමැති එහෙත් ඡන්දය දෙන (එනම් මගේ ආකෘතිය අනුව ඔබ වඩාත්ම කැමති) අපේක්ෂකයා B ලෙසත් සලකමු. දැන් ඔබ A අපේක්ෂකයා ඔබේ කැමතිම අපේක්ෂකයා ලෙස හඳුන්වන්නේ ඔහුගේ (හෝ ඇයගේ) දේශපාලන පක්ෂය, දේශපාලන භාවිතාව, අධ්‍යාපනය සුදුසුකම්, ජාතිය, ආගම, වයස, කුලය, ගම් ප්‍රදේශය වගේ මොනවා හරි දේවල් ටිකක් නිසානේ. ඒ වගේම ඔබ B අපේක්ෂකයා අකැමැති අපේක්ෂකයා ලෙස හඳුන්වන්නේත් ඔය වගේ මොනවා හරි දේවල් ටිකක් නිසා. ඊට අමතරව ඔබ විශ්වාස කරන විදිහට හා මෙතෙක් භාවිතාව අනුව B අපේක්ෂකයා දිනුවට පස්සේ අනිවාර්යයයෙන්ම හොරකම් කරනවා. A අපේක්ෂකයා මෙතෙක් හොරකම් කරලා නැහැ. ඔබ ඔහුට කැමති ඒ නිසා. එහෙත් ඔහු දිනුවට පස්සේ හොරකම් නොකරයි කියලා ඔබට පැහැදිලි විශ්වාසයක් නැහැ.

      ඔබේ අවිඥානක මනසට දේශපාලනඥයින් හොරකම් කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඔබේ යටිහිත එය ලෝක ස්වභාවය ලෙස පිළිගන්නවා. ඔබ ඔය තනතුරට පත් වුනත් අවස්ථාව ලැබෙනවානම් හොරකම් කරනවා කියලා ඔබේ යටිහිත කියනවා. නමුත්, එහෙම හොරකම් නොකරන පරමාදර්ශී දේශපාලනඥයෙක්ව හිතින් මවාගෙන ඔබ ආතල් එකක් ගන්නවා. ඒ එක්කම එහෙම කෙනෙක් නැති වීම ඔබට හිතට වද දෙනවා. B අපේක්ෂකයාට මොනවා හෝ හේතු නිසා, ඇතැම් විට තේරුමක් නැති හේතු නිසා, ඔබ කැමති නැහැ. ඒ අකැමැත්ත සාධාරණීකරණය කරගන්න ඔබට අවශ්‍යයි. B අපේක්ෂකයාට ඔබේ තිබෙන අකැමැත්ත සාධාරණීකරණය කරගෙන ඔබේ අදහස නිවැරදි වීම පිළිබඳව සතුටු වෙමින් ආතල් එකක් ගන්න පුළුවන් වෙන්නේ B අපේක්ෂකයා හොරකම් කරන නිසයි. නමුත්, ඒ ආතල් එක ගන්න හොරකම් නොකරන අනෙකෙක් අවශ්‍ය වෙනවා. එහෙම කෙනෙක් නැති බව ඔබේ යටිහිත දන්නා නමුත් ඔබේ මනසේ මවාගෙන තිබෙන හොරකම් නොකරන පරමාදර්ශී චරිතය A අපේක්ෂකයා සමඟ ඈඳාගෙන ඔබ ආතල් එකක් ගනිමින් සිටිනවා. ඒ එක්කම A අපේක්ෂකයා දිනුවොත් ඔබේ ආතල් කුඩු වෙන බවත් ඔබ දන්නවා. ඔබ එයට බයයි. ඒ නිසා ඔබ ඔහු දිනනවාට කැමති නැහැ. එයින් වෙන්නේ දැන් ඔබේ තිබෙන සතුට අඩු වෙන එක. හොරකම් කරන අපේක්ෂකයා බලයේ ඉන්න තුරු ඔබට ඔහුගේ හොරකම් ගැන විවේචනය කරමින් ආතල් එකක් ගන්න පුළුවන්. ඔබ විඳින සකලවිධ දෝමනස්සයන්ට හේතුව බලයේ සිටින දේශපාලනඥයින් හොරකම් කිරීම මිස ඔබේ අඩුපාඩුවක් හෝ පොදුවේ සමාජ ක්‍රමයේ අඩුපාඩුවක් නොවන බව හිතාගෙන මේ වැරැද්ද පිළිබඳ වගකීමෙන් ඔබේ යටිහිතට නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම, හොරකම් නොකරන පරමාදර්ශී අපේක්ෂකයෙක් ගැන සිහින මවමින්, දියසේන කුමාරයෙක් පහළ වී ඔබේ ප්‍රශ්න සියල්ල විසඳන එක ගැන සිහින මවමින්, එයිනුත් ආතල් එකක් ගන්න පුළුවන්. ඔය ආතල් දෙකම ලැබෙන්නේ B අපේක්ෂකයාට ඡන්දය දුන් විට පමණයි. A අපේක්ෂකයා වැරදිලා හරි දිනුවොත් ආතල් ඔක්කොම ඉවරයි. A අපේක්ෂකයා ඔබේ "කැමති" අපේක්ෂයා වී සිටින්නේම ඔහු දිනන්නේ නැති නිසා.

      Delete
  3. "මේ වෙද්දී ඇමරිකානු සමාජය ඉතා විශාල ලෙස දේශපාලනිකව බෙදී ඇති බවයි."

    ඇමෙරිකානු ටොයියන් සහ බයියන්...

    ReplyDelete
  4. කොරෝනාව එකවරටම ඇවිදින්
    සුනාමිය වගේ ජීවිත ගෙනිහින්

    වසරකටත් අඩු කලක් බලාසිටි
    එන්නත දැන් දොරකඩටම ඇවිදින්

    අපේ මායියට හරිම ප්‍රශ්නයක්
    විදිනවාද නැද්ද බේත
    සිතමින් ඇය ලතවෙනවා!

    ReplyDelete
  5. බයිඩන්ට චන්දෙ දාපුවුන් බල්ලො බලල්ලු වගේ මැරිලා යනවා.

    උන්ගේ මිනීවලටත් පනුවෝ ගහනවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: