වෙබ් ලිපිනය:

Sunday, December 27, 2020

කෝවිඩ් එන්නත් හා ඇමරිකන් සල්ලි



ඊයේ (26) උදේ වන විට ඇමරිකානුවන් මිලියන දෙකකට ආසන්න පිරිසක් (1,944,585 දෙනෙකු) විසින් කෝවිඩ් එන්නත ලබාගෙන තිබෙනවා. එතරම්ම නරක තත්ත්වයක් නෙමෙයි.

මේ වන විට කෝවිඩ් එන්නත් තරඟය තුළ ඉදිරියෙන්ම සිටින්නේ පයිසර්-බයෝඑන්ටෙක් එන්නතයි. මෙම එන්නත සඳහා හෝ වෙනත් කෝවිඩ් එන්නතක් සඳහා ඇමරිකාව තුළ පූර්ණ අනුමැතිය ලැබී නැහැ. එහෙත්, පවතින හදිසි තත්ත්වය යටතේ පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් ඇමරිකාව තුළ තාවකාලිකව භාවිතා කිරීම සඳහා මේ වන විට අනුමැතිය ලබා දී තිබෙනවා.

පයිසර්-බයෝඑන්ටෙක් එන්නත අනුමත කර තිබෙන්නේ වයස අවුරුදු 16ට වඩා වැඩි අයටයි. මොඩර්නා එන්නත අනුමත කර තිබෙන්නේ වයස අවුරුදු 18ට වඩා වැඩි අයටයි. ඇමරිකාවේ ජනගහණය මිලියන 330ක් පමණ වෙනවා. එයින් 20%ක් පමණ වයස අවුරුදු 16ට අඩු අයයි. ඒ අනුව, වයස අවුරුදු 16ට වැඩි ඇමරිකානුවන් ප්‍රමාණය මිලියන 264ක් පමණ වෙනවා. කෝවිඩ් එන්නත් සඳහා ඉල්ලුම එන්නේ මේ පිරිස අතරිනුයි.

ඇමරිකානු රජය විසින් පසුගිය ජූලි මාසයේදී ඩොලර් බිලියන 1.95ක මුදලකට පයිසර්-බයෝඑන්ටෙක් එන්නත් මිලියන 100ක් ලබා ගැනීම සඳහා (එක් එන්නතක් ඩොලර් 19.50 බැගින්) එම සමාගම් සමඟ ගිවිසුමක් අත්සන් කළා. ඒ එම සමාගම් විසින් තෙවන අදියරේ සායනික පරීක්ෂණ ආරම්භ කරමින් සිටියදී. මේ වෙද්දී ඇමරිකාව තුළ බෙදා හැරෙමින් තිබෙන්නේ එම ගිවිසුම අනුව ඇමරිකාවට හිමි විය යුතු පළමු වටයේ නිපදවන එන්නත්. මේ එන්නත් වලින් මිලියන 25ක් දෙසැම්බර් 31 වන විටත්, ඉතිරි එන්නත් මිලියන 75 මාර්තු 31 වන විටත් ලැබෙන්නට නියමිතයි.

ඉන් පසුව, පසුගිය සතියේ ඇමරිකානු රජය හා පයිසර්-බයෝඑන්ටෙක් සමාගම් අතර දෙවන ගිවිසුමක්ද අත්සන් කළා. ඒ අනුව, ඩොලර් බිලියන 1.95ක මුදලකට පයිසර්-බයෝඑන්ටෙක් එන්නත් තවත් මිලියන 100ක් ඇමරිකානු රජය විසින් මිල දී ගෙන තිබෙනවා. ගිවිසුම අනුව මේ එන්නත් වලින් මිලියන 70ක් ජූනි මාසය අවසන් වන විටත්, ඉතිරි මිලියන 30 ජූලි මාසය තුළත් ඇමරිකානු රජයට සැපයිය යුතුයි.

මේ අයුරින්ම ඇමරිකානු රජය විසින් පසුගිය අගෝස්තු මාසයේදී මොඩර්නා එන්නත් මිලියන 100ක් මිල දී ගැනීම සඳහාද ගිවිසුම් අත්සන් කළා. ඒ ඩොලර් බිලියන 1.525ක මුදලකට. ඒ වන විට ඇමරිකානු රජය විසින් එන්නත වැඩි දියුණු කිරීම සඳහා එම සමාගමට ඩොලර් මිලියන 955ක මුදලක්ද ලබා දී තිබුණා. එම එන්නත් වලින් මිලියන 20ක් දෙසැම්බර් 31 වන විට ලැබෙන්නට නියමිතයි. 

ඇමරිකානු රජය හා මොඩර්නා සමාගම අතර ඇති කරගත් මුල් ගිවිසුම අනුව ඇමරිකානු රජයට අවශ්‍යනම් තවත් එන්නත් මිලියන 400ක් දක්වා එන්නතක් ඩොලර් 16.50 බැගින් මිල දී ගත හැකියි. ඒ අනුව, මේ වන විට ඩොලර් බිලියන 1.65ක මුදලකට මිලියන 100ක දෙවන එන්නත් තොගයක්ද ඇමරිකානු රජය විසින් මොඩර්නා සමාගමෙන් මිල දී ගෙන තිබෙනවා. එම එන්නත් මිලියන 100ද ඇතුළුව ඉතිරි එන්නත් මිලියන 180ක ප්‍රමාණය ජූනි අවසානය වන විට ලැබෙන්නට නියමිතයි.

මේ අනුව, මේ වන විට අනුමත කර තිබෙන එන්නත් දෙකෙන් එකකින් මිලියන 200 බැගින් එන්නත් මිලියන 400ක් ජූලි මාසය අවසාන වන විට ඇමරිකානු රජය වෙත ලැබෙනවා. ඇමරිකානු රජය විසින් මිලක් අය නොකර මෙම එන්නත් ඇමරිකානුවන් වෙත බෙදා හරිමින් සිටිනවා. 

මිලියන 264ක් පමණ වන වයස අවුරුදු 16 ඉක්මවූ ඇමරිකානුවන්ගෙන් 75%කට වඩා වැඩි පිරිසකට මෙම එන්නත් ප්‍රමාණය ප්‍රමාණවත්. ඊට වඩා වැඩි ඇමරිකානුවන් පිරිසක් එන්නත ලබා ගැනීම සඳහා පැමිණේද යන්න සැක සහිතයි. දැනට කර ඇති සමීක්ෂණ අනුව එන්නත ලබා ගැනීමට සූදානමින් ඉන්නේ ඇමරිකානුවන්ගෙන් 60%ක් පමණයි. වැඩිහිටි ඇමරිකානුවන්ගෙන් 75%ක් පමණ මේ එන්නත් දෙකෙන් එකක් ලබා ගත්තොත් ඇමරිකාව තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති වී වසර මැද වන විට කෝවිඩ් උවදුර ඇමරිකාවෙන් තුරන් වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. එසේ සිදු නොවුනොත් ඒ අවශ්‍ය පමණ ඇමරිකානුවන් පිරිසක් විසින් එන්නත ලබා නොගැනීම නිසා මිස එන්නත් ප්‍රමාණවත් නොවීම නිසා නෙමෙයි. 

එන්නත් තරඟය තුළ මුලින්ම ඉදිරියෙන් සිටියේ ඇස්ට්‍රසෙනිකා එන්නතයි. මා සේවය කරන ආයතනය මුල්වද මාස ගණනක සිට ඇස්ට්‍රසෙනිකා එන්නතේ ඵලදායීතාවය පිළිබඳ සසම්භාවී සායනික පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතිනවා. ඇමරිකානු රජය විසින් ඩොලර් බිලියන 1.2ක මුදලකට ඇස්ට්‍රසෙනිකා එන්නත් මුල් තොගයෙන් මිලියන 300ක් ඇණවුම් කර තිබුණත්, මේ වන විට මේ එන්නතේ ඵලදායීතාවය පිළිබඳ සැක සංකා මතු වී තිබෙනවා. සාර්ථක වුවහොත්, මේ එන්නත සාපේක්ෂව මිල අඩු එන්නතක් වනු ඇති.

ඇමරිකානු රජය විසින් ජොන්සන් සහ ජොන්සන් සමාගමටද එන්නත් සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 456ක් ලබා දී තිබෙන අතර එම එන්නත සාර්ථක වුවහොත් ඩොලර් බිලියනයක මුදලකට එන්නත් මිලියන 100ක් ලබා ගැනීමට නියමිතයි. දැනට සිදු කෙරෙන එම එන්නතේ තෙවන අදියරේ සායනික පරීක්ෂණ වල ප්‍රතිඵල ජනවාරි මාසයේදී ලැබෙන්නට නියමිතයි. මේ එන්නත සාර්ථක වුවහොත් ප්‍රතිශක්තිකරණය ඇති වීමට තනි එන්නතක් ප්‍රමාණවත් විය හැකියි. ඒ නිසා එන්නත් මිලියන 100 එම ප්‍රමාණයේ පිරිසකට ප්‍රමාණවත්.

සනෝෆි සමාගමේ එන්නත වැඩි දියුණු කිරීම සඳහා සහ එන්නත් මිලියන 100ක් ලබා ගැනීම සඳහා ඇමරිකානු රජය විසින් ඩොලර් බිලියන 2.1ක් වැය කළා. එහෙත්, මේ වන විට පෙනී ගොස් ඇති පරිදි එම එන්නතෙන් අපේක්ෂා කළ පරිදි ප්‍රතිශක්තිය ඇති වී නැහැ. 

ඇමරිකානු රජය විසින් නොවාවැක්ස් සමාගමටද එන්නත් සංවර්ධනය සඳහා ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබා දී තිබෙනවා. මෙම එන්නතේ තෙවන අදියරේ සායනික පරීක්ෂණද මේ වන විට පැවැත්වෙනවා. එන්නත සාර්ථක වුවහොත් ලබන වසරේ පළමු කාර්තුව තුළ ඇමරිකාවට නොවාවැක්ස් එන්නත් මිලියන 100ක් ලැබෙනවා.

මේ අනුව, සහතිකයක් නැතත්, ඉදිරි මාස කිහිපය තුළ ඇස්ට්‍රසෙනිකා, ජොන්සන් සහ ජොන්සන් හා නොවාවැක්ස් එන්නත් වල ඵලදායීතාව තහවුරු වී ඇමරිකාවට තවත් එන්නත් මිලියන 500 දක්වා ප්‍රමාණයක් ලැබෙන්නට ඉඩ තිබෙනවා. එම ප්‍රමාණය මිලියන 300කට ප්‍රමාණවත්. එසේ වුවහොත්, ඇමරිකාවේ එන්නත් ඉල්ලුම ජූලි මාසයට මාස ගණනක් කලින්ම සම්පූර්ණ වෙන්න පුළුවන්. 

සමහර විට ඇමරිකන් රජය විසින් වැඩියෙන් ඇණවුම් කළ වෙන්ටිලේටර් රටින් රටට බෙදා ගෙන ගියා වගේ ලබන වසර මැද වෙද්දී අඩු ආදායම්ලාභී රටවලට එන්නත් බෙදාගෙන යන්න වුනත් බැරිකමක් නැහැ.

දැනට වැඩි දියුණු වී තිබෙන හා වැඩි දියුණු වෙමින් පවතින කෝවිඩ් එන්නත් ඉක්මණින් බිහිවීම සඳහා ඇමරිකන් රජයෙන් ලැබුණු තල්ලුවේ දායකත්වය ඉතාම විශාලයි. ඇමරිකන් රජය විසින් එන්නත් සංවර්ධනය සඳහා ලෝබ නැතිව වියදම් කරන්නේ ණයට ගන්නා සල්ලි. ඒ සල්ලි වලින් ඇමරිකානුවන්ට වැඩක් වුනත්, ඇමරිකානුවන් නොවන අයට වැඩක් වුනත්, කාටවත් වැඩක් නොවී අපතේ ගියත්, අවසාන වශයෙන් මේ ණය ගෙවන්න වෙන්නේ ඇමරිකානුවන්ටයි.


5 comments:

  1. වෙන්ටිලටර් ආවා වගේ
    එන්නතත් නොමිලේ එතැයි
    හිතුනොත් අපට
    පැනිය තව කාලයක්
    යා හැකිය ඇදගෙන
    එනතුරුම එන්නත

    ReplyDelete
  2. එකොනෝ,

    ඇමරිකානු රජය (රොනල්ඩ් රේගන්) විසින් ⁣රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වා ඉතා නිර්මාණාත්මක අයුරින් පිලිගත් ලංකාවේ අවසාන රාජ්‍ය නායකයා ජේ.ආර්.ජයවර්ධන (JRJ) ජනාධිපතිවරයා විය. මගේ මතකයට අනුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එකම සතියේ දෙවරක් ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් වෝකර් බුෂ් මහතාව මුණ ගැසුනි. එහෙත් ඒ දෙවතාවේදීවත් වික්‍රමසිංහ මහතා JRJ ලෙස අලි පැටවකු රැගෙන ගියේ හෝ බුෂ් මහතා විසින් ෆුෑන්ක් සිනාත්‍රා ගෙන්වා වික්‍රමසිංහ මහතාව ගායනයෙන් හෝ වාදනයෙන් පිනවූයේ නැත. පසුවට ආ ලංකාවේ රාජ්‍ය නායකයන් හ⁣ට ඇමරිකානු රජයෙන් ලැබුනේ සාමාන්‍ය නිල  පිලිගැනීමකි. ලංකාවේ  අං තට්ටු ජනතාව විසින් වර්තමානයේදී සහ අනාගතයේදී පත් කර ගන්නා රාජ්‍ය නායකයන්ගේ හැටි දන්නා ඇමරිකානු රජය, ප්‍රතිපත්තිය ලෙස ලංකාව කෙරෙහි අනුගමනය කරනු ඇත්තේ මෙම සාමාන්‍ය නිල ක්‍රමය විනා වෙනස් ක්‍රමයක් නොවනු ඇත.

    කෝවිඩ් වසංගතය නිසි අයුරින් පාලනය නොකිරීමත්,  එම වසංගතය කෙරෙහි විද්‍යාත්මක නොවන අවධානයක් හෙලීමත් ට්‍රම්ප් රජයට ආ බරපතල මහජන චෝදනා අතර වෙයි. ලංකාවේ ජන මාධ්‍යයද ඒවා පුනරුච්චාරණය කලේ ට්‍රම්ප්ට කෙල වුනාම අපිට මොකෝ යන අදහසින් මෙනි. එහෙත් මයික් පොම්පියෝ
    ලංකාවට ආවේ හිස් අතින් නොවේ. ඔහු කොළඔ කොච්චිකඩේ සන්තන්තෝනි පල්ලියට ගොස් මල් වඩමක් තබා බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියවුන් සිහි කලේය. ඒ එන අතරදී ඔහු ට්‍රම්ප් රජය විසින් ලංකාවට ප්‍රධානය කල VENTILATOR දෙදහසකු (2000) රැගෙන ආවේය. දිනපතා මිය යන ඇමරිකානු ජනතාව ගැන සටහන් තැබූ ලංකාවෙි ජඩමාධ්‍ය මේ ඇමරිකානු ප්‍රධානය ගැන කිසිම ප්‍රවෘත්තියක් නොකරන්නට වග බලා ගත්හ. ඔය ජනමාධ්‍යවල එදා USAID විසින් ලංකාවේ පාසැල්වලට නොමිලේ බෙදා දුන් 'ඇදිහැස' විස්කෝතු කාපු එවුන් සිටින්නට ඇත. නමුත් සිංහල බෞද්ධ ජාතික හීනමානය ඇමරිකානු රජය නොහොත් ජනතාව විසින් සිදු කරන මනුෂ්‍ය ආධාර අගයන්නේ නැත. එහිදී වීරවංස හඬ තැළුවේ පොම්පියෝ පඅමිණියේ ලංකාවෙන් කෑල්ලක් ඩැහැ ගන්නට ආවා කියාය. එහෙත් XiJinpen  ආණ්ඩුව ඒ වන විටත් ලංකාවම ගිලගෙන ඇති බවට ඒ  වාචාලයාට අමතක විය. MCC ප්‍රදානය වෙනත් රටකට ලැබුණ අතර ලංකා රජය මිදි ඇඹුල් නරි කතාවක් කියා ඒ ලැජ්ජාව වහ ගත්තේය.

    මේ ලංකාවේ හැටිය...

    ReplyDelete
  3. එකොනො විසින් මෙහි ලියා ඇති දත්ත පාදක කොට ගෙන අප වැනි නොරැටියන්ට ඒමට හැකි නිගමනය නම් මේ වූහාන් වෛරසය නිසා ඇමරිකානු ජනතාව US$ බිලියන  11.786 ලෝකයට ණය වෙන්නට යන බවයි. දැනටමත් ඇතැම් ඇමරිකානුවන් සහ කොකේසියාණුවන් මෙි එන්නත ගැන conspiracy theory එකකින් බලන්නට යොමුව ඇති නිසා ඔබ කියන පරිදි නුදුරේදී එන්නත ලබා ගන්නා මුලු ඇමරිකානු ජන සංඛ්‍යාව,  සපයා ගත් මුලු එන්නත් ගණනට වඩා බෙහෙවින් අඩු විය හැකියි. එවිට ඇතිවන එන්නත් අතිරික්තය , ඇමරිකානු පූර්වාදර්ශයක් ලෙසට, බයිඩන් රජය විසින් ලොව පුරා බෙදා හරිනවා ඇත. එතැනදී ගැටළුව පැන නඟින්නේ ඉස්සෙල්ලාම මේ එන්නත ඇමරිකාව විසින් නොමිලේ දෙන්නේ කාටද යන්නය. ඒ කෙසේ වෙතත් ඇමරිකානු ජනතාව විසින් නොමිලේ බෙදන මේ එන්නත වෙනුවෙන් ඔවුන්ට ලොව පුරා ජනතාවගෙන් ස්තුතියට අමතරව යම් tangible  දෙයක් ලැබිය යුතුමය.

    මට හිතෙන්නේ , තවදුරටත් ලංකාව යනු JRJ ගේ ලංකාව නොවන නිසා ලංකාව ඉන්නේ  මේ නොමිලේ ලැබෙන පෝලිමේ අන්තිමට වාගේ. චීනයේ උසි ගැන්වීම මත ලංකාව MCC එපා කියපු එකේ රඟ ලංකාවට දැනෙන්නේ එතකොටයි. එතකොට හොඳටම පරක්කු වැඩියි.

    USAID විස්කෝතු ඒ දවස්වල අපි බෙදුවේ විදුහල්පති කාමරය ඉදිරියේ තියාගෙනයි.⁣ හිඟ සම්පතක් වූ ඒ "ඇදිහැස' පෙට්ටි ටික තිබුනේ විදුහල්පති කාර්යාලය ඇතුලේමයි.
    ඒවා අනිකුත් සිසුන් අතර බෙදා දීමට විදුහල්පතිතුමා කැඳවූයේ තමාට විශ්වාසවන්ත සිසුන්වයි. ලොකු පන්තිවල චන්ඩි, බොරු ගංනං කාරයෝ, හිගන්නෝ පෝලිමෙන් පැන  ඇවිත් විස්කෝතු කලින් අරගෙන යන්න හැදුවත් විදුහල්පති නියමය වන පෝලිමේ සිට පැමිණ විස්කෝතු ගැනීම අනිවාර්යයි. ක්‍රමයෙන් විස්කෝතු පෙට්ටිවල විස්කෝතු  අවසන් වන විට, පසු පෙල හිටපු චන්ඩි හිඟන්නන්ට ලැබුනේ විස්කෝතු කෑලි සහ කුඩු. උන් ඉතිං ඒවා හොඳයි කිය කිය 'පිනාට' බැන බැන අපිටත් ගොරවලා නොමිලේ ලැබුණ  විස්කෝතු කෑලි සහ කුඩු අරගෙන ගෙදර යනවා මං දැකලා තියෙනවා.

    ලංකාවට ඒ "ඇදිහැස' සන්තෑසිය නොම වේවා!
    CP-C
    P/S
    ඇදිහැස= ඇමරිකානු දීමනා හැමතැනටම සපයන්නෝ.
    තවමත් අපි මේ ඇදිහැස acronym එකට දුන් නම!

    ReplyDelete
    Replies
    1. තුනේ පංතියේ ඉන්නකොට අපි දවස කීපයකට බිස්කට් එක ගානේ කප්පම් ගෙව්වා 4 පංතියේ ගනංකාරයෙකුට, ඔයි බිස්කට් කොල්ලය නවත්තගන්න බිස්කට් ලැබෙන පුංචි එවුන්ගේ පංති ලොකෙට් කරල තිබුනේ ලොකු අය්යලා අක්කලා වෙනුවෙන් දැල් ගසා තිබූ විද්‍යාගාර ගොඩනැගිල්ලේ. සමහරු ඔයි කප්පම් විදිහට ගෙවන බිස්කට් එකේ කෙල ගාල දෙන එක, ජංගිය අස්සේ දාලා පස්සේ අතුල්ලායි තියාගත්තේ, සමහරු බිස්කට් ලැබුනු ගමන් ඒවායේ හැමෝටම පෙන්න කෙළ අතුල්ලනවා.

      Delete
  4. ලෝකේ බොහෝ රටවල් මේ වෙනකොටත් කුමක් හෝ එන්නතක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරලා ඇති. අපි තාමත් උපදේශන කමිටු දාගෙන ඒවගේ නිර්දේශ එනකම් කල් මරනවා. මේ යන විදියට 2021 දී වත් අපිට එන්නතක් ලැබෙන්න තියෙන අවස්තාව ගොඩක් අඩුයි ඔය කියන විදියට නිකන් ලැබුනොත් හැරෙන්න.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: