වෙබ් ලිපිනය:

Thursday, August 12, 2021

වේරම්භ වාතයට යට වූ දකුණු හුළඟ


 ‘‘ඡ ඛොමෙ, ගහපතිපුත්ත, ආදීනවා විකාලවිසිඛාචරියානුයොගෙ. අත්තාපිස්ස අගුත්තො අරක්ඛිතො හොති, පුත්තදාරොපිස්ස අගුත්තො අරක්ඛිතො හොති, සාපතෙය්‍යංපිස්ස අගුත්තං අරක්ඛිතං හොති, සඞ්කියො ච හොති පාපකෙසු ඨානෙසු, අභූතවචනඤ්ච තස්මිං රූහති, බහූනඤ්ච දුක්ඛධම්මානං පුරක්ඛතො හොති."

“ගෘහපති පුතේ, නුසුදුසු අවස්ථා වල වීථි සංචාරයෙහි නැවත නැවත යෙදීමේ දෝෂ හයක් තිබෙනවා. තමා ප්‍රවේසම් නොවේ, ආරක්ෂා නොවේ. තමාගේ අඹුදරුවෝද ප්‍රවේසම් නොවේ, ආරක්ෂා නොවේ. තමාගේ වස්තුවද ප්‍රවේසම් නොවේ, ආරක්ෂා නොවේ. අනුන්ගේ සැකයට බඳුන් වේ. නොකළ වැරදි වලට අසු වේ. නොයෙක් දුක් කරදර වලට මුහුණ දෙන්නට සිදු වේ."

මම හිතන්නේ බුදු හාමුදුරුවෝ සිඟාලක ගෘහපතියාට දුන් ඉහත අවවාදය මේ දවස් වල ලංකාවේ වැසියන්ට වෙන කවරදාකටත් වඩා වටිනවා. තමනුත්, අඹුදරුවනුත් රැක ගන්න අවශ්‍යනම් අත්‍යාවශ්‍ය නොවන වීථි සංචරණ සීමා කරන්නම වෙනවා. 

බුදුහාමුදුරුවන්ට සිඟාලක ගෘහපතියාව දකින්න ලැබෙන විට ඔහු උදේ පාන්දරම තෙත හිස කෙස් පිටින් සය දිසාවට වඳිනවා. මෙය ඔහුට ඔහුගේ පියා මියයන්න කලින් උගන්වා තිබුණු වතාවතක්. මේ බව දකින බුදුහාමුදුරුවෝ පරම්පරාවෙන් ආ සම්ප්‍රදායික දැනුමක් වුවත් තේරුමක් නැති දේ කිරීමෙන් යහපතක් නොවන බව සිඟාලකට පැහැදිලි කරනවා. මේ වගේ තේරුමක් නැති සම්ප්‍රදායික දැනුම් ප්‍රශ්න කිරීම බුදුහාමුදුරුවන් විසින් බොහෝ අවස්ථා වල කර තිබෙන දෙයක්. එවැනි වෙනත් අවස්ථා වලදී වගේම මේ අවස්ථාවේදීත් බුදුහාමුදුරුවෝ කරන්නේ භාෂාවට අලුත් අර්ථකථනයක් දීම හරහා සම්ප්‍රදාය වෙනස් කිරීම. ඒ අනුව, බුදුහාමුදුරුවෝ සය දිසාව නැවත අර්ථකථනය කරනවා.

සිගාලෝවාද සූත්‍රයට අනුව දකුණු දිශාව කියන්නේ ගුරුවරු. පසුගිය දවස් වල ලංකාවේ දකුණු දිශාවේ කැළඹීමක් ඇති වුනා. අපි දකුණු සුළඟ කියා කියමු. දකුණු සුළඟ හමද්දී ලංකාවේ ආර්ථිකය හරහා ප්‍රචණ්ඩ කුණාටුවක් හමමිනුයි තිබුණේ. දැන් දකුණු සුළඟ නැවතිලා. හැබැයි එය සිදු වී තිබෙන්නේ රට හරහා වේරම්භ වාතයක් හමා යාමට සමාන්තරවයි. ලෝකයේ හොඳින්ම කෝවිඩ් පාලනය කළ ආණ්ඩුවකට දැන් කෝවිඩ් ප්‍රශ්නයක් වෙලා!

මේ වෙලාවේ කෝවිඩ් වලට අවධානය යොමු වී තිබුණත්, ගුරු ප්‍රශ්නය වගේම ඊට වඩා ගොඩක් බරපතල රටේ ආර්ථිකයේ ප්‍රශ්නත් ඒ විදිහටම තිබෙනවා වගේම මේ ප්‍රශ්න එකිනෙකට සම්බන්ධයි. ගුරු ප්‍රශ්නය හදාගත් ප්‍රශ්නයක් වුවත් එය මේ ආණ්ඩුව විසින් හැදූ ප්‍රශ්නයක් නෙමෙයි. ආර්ථිකයේ ප්‍රශ්නයත් හදාගත් ප්‍රශ්නයක්. එයද මේ ආණ්ඩුව විසින් හැදූ ප්‍රශ්නයක් නොවූවත්, මේ වන විටද මේ ආණ්ඩුව පෙනී සිටින ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වූ ප්‍රශ්නයක්. කෝවිඩ් මර්දනයේදී ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියාමාර්ග කිසි ලෙසකින්වත් සර්ව සම්පූර්ණ නැතත්, වසංගතය හා ආශ්‍රිත ප්‍රශ්න මේ ආණ්ඩුවේ හෝ වෙනත් ආණ්ඩුවක වරදකින් ඇති වූ ප්‍රශ්න නෙමෙයි. 

කෝවිඩ් පැතුරුණේ දකුණු හුළඟ නිසා කියා කියන්න බැහැ. එය කොයි වෙලාවක හෝ සිදු විය හැකිව තිබුණු දෙයක්. මේ බව අප සටහන් කළේ ලංකාව කෝවිඩ් මර්දනයෙන් ලෝකයේ හොඳම රටක්ව සිටින බව ප්‍රචාරය කෙරුණු කාලයේදීමයි. කෝවිඩ් පැතිරීම ආණ්ඩුවේ වැරැද්දක් නොවනාවක් මෙන්ම ගුරුවරුන්ගේ වැරැද්දක්ද නෙමෙයි. දිගින් දිගටම නොකල්හි වීථි සංචාරය කළ ගුරුවරුන්ට දැන් සිඟාලක ගෘහපතිට බුදු හාමුදුරුවන් විසින් කියූ පරිදිම නොකළ වැරදි වලට අසු වී, අනුන්ගේ සැකයට බඳුන් වී, නොයෙක් දුක් කරදර වලට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා.

ප්‍රශ්න ඇති වුනේ මොන විදිහට වුනත් පවතින ආණ්ඩුවට එම ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. කෝවිඩ් වේරම්භ වාතය හමුවේ දකුණු සුළඟ සමහර විට යටපත් වෙලා යයි. කෝවිඩ් ප්‍රශ්නයත් කාලයත් එක්ක විසඳී යයි. ස්වභාවිකව ඇති වන ප්‍රශ්න නරකම තත්ත්වයක් යටතේ වුවත් කාලයත් සමඟ ස්වභාවිකවම විසඳෙනවා. හැබැයි ඊට පෙර තත්ත්වය දැන් තිබෙනවාට වඩා නරක අතට හැරෙන බවත් පැහැදිලියි.

කෝවිඩ් මර්දන කාර්යයේදී ලංකාවේ ආණ්ඩුව අසමත්ව ඇති බව දැන් වෙද්දී වැඩි පිළිගැනීමක් තිබෙන මතයක්. වසංගතයේ ආරම්භක අවදියේදී ගොඩක් අය එහෙම කිවුවේ හෝ හිතුවේ නැහැ. මෙහිදී ආණ්ඩුව අසමත් වන්නේ වෙන අයෙකුට කළ හැකිව තිබුණු දේ නොකළ නිසා නෙමෙයි. ආණ්ඩුවකට නොකළ හැකි දේ කළ හැකි සේ සලකා කරන්න යාම තුළයි.

ආර්ථික කළමනාකරණයේදීත් කෝවිඩ් වලින් උගත් පාඩම අමතක නොකළොත් එය ආණ්ඩුවේ පැවැත්මට හොඳ වෙයි. ආර්ථිකයේ ප්‍රශ්න වසංගතය මෙන් ස්වභාවිකව ඇති වූ ප්‍රශ්න නොවන නිසා එම ප්‍රශ්න කාලය විසින් විසඳන්නේ නැහැ. ඒ ප්‍රශ්න විසඳන්නම වෙනවා. ප්‍රශ්න වල මුල ආණ්ඩුවකට කළ නොහැකි දේ කරන්න යාමයි. නොකළ හැකි දේ කරන්න දිගින් දිගටම උත්සාහ දරන තුරු ආණ්ඩුවේ අසමත් බව සැඟවිය නොහැකි ලෙස මතු වීමේ අවදානම එලෙසම තිබෙනවා.

6 comments:

  1. සලකා උපා-උපමාරුත් සටන් විදී
    කළ යුතු දේ කළොත් නිසි කල නිසි පරිදී
    දිනන්නට හැකිය සටනක් යුද බිමදී;
    වැරදි හදා ගන්නට කල් ඇති විටදී

    ධම්මික පැණිය උඩ දාගෙන ගෙනිහිල්ලා
    විශ්ව බලැති මුට්ටි ගඟට අතහැරලා
    සේරම දහංගැට ගහලත් බැරි වීලා
    සිටිති ගලේ පැහැරූ පූසෝ ලීලා

    ReplyDelete
  2. චෙන්කල්අඩි අධිවේගය සාදමු. අදික වේගයෙන් ගමන් යමු.

    ReplyDelete
  3. ඇමරිකාවේ මේ දවස් වල කෝවිඩ් රෝගීන් ගනන සීග්‍රයෙන් ඉහල යනවා කියන්නේ ඇත්ත ද?

    ReplyDelete
    Replies
    1. ඔව්, ඇනෝ, ඇත්ත. එන්නත ලබා නොගත් අය අතර සීඝ්‍රයෙන් කෝවිඩ් පැතිරෙනවා. එන්නත ලබාගත් අය හරහාද ඩෙල්ටා ප්‍රභේදය යම් තරමකින් පැතිරෙනවා.

      Delete
    2. පැතිරුනාට මරන අඩුයි නේද

      Delete
    3. එන්නත ලබාගත් අය අතර මරණ ඉතාම අඩුයි. එන්නත ලබා නොගත් අය අතර තත්ත්වයේ වෙනසක් නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: