ලංකාව මේ වෙද්දී මුහුණ දෙන ඩොලර් හිඟයට හේතුව ලංකාවේ ඇතැම් ආණ්ඩු විසින් අනුගමනය කළේයැයි කියන නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය කියන මතය මේ වෙද්දී ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පාර්ශ්ව විසින් ජනගත කරමින් සිටිනවා. මේ අදහසට ආණ්ඩුවට විරුද්ධ ඇතැම් කණ්ඩායම් අතරත් පිළිගැනීමක් තිබෙනවා. අදාළ ප්‍රවාදය මේ වගේ එකක්.
"නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය අනුව ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආ යුතුයි. අපේ ආනයන වියදම් වැඩි වෙලා ඩොලර් හිඟයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මේ නිසා. කොඩියේ සිංහයා අපේ වුනත් කොඩිය හදන්නේ චීනා."
දැන් මෙතැනදී දැකිය හැක්කේ ආණ්ඩුවේ වැරැද්ද රටේ මිනිස්සු මත පටවලා ආණ්ඩුව අත හෝදා ගන්න දරන උත්සාහයක්. පිටරටකින් ලාබෙට ගේන්න පුළුවන් දෙයක්, කවර හෝ විශේෂ හේතුවක් නැත්නම්, නොගෙනත් ඉන්න කිසිම හේතුවක් නැහැ. එසේ කළා කියලා සිදුවන වාසියක් මිසක් කිසිදු අයහපතක් නැහැ. අඩුවට ගේන්න පුළුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන්නුවා කියලා කිසිසේත්ම රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ.
ඉහත ප්‍රකාශයේ පළමු කොටස ඇත්ත. නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය අනුව ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආ යුතුයි. මෙහිදී මුල් කතාව කියන අය නොකියන එහිම අනෙක් පැත්ත වන්නේ වැඩි ගාණකට විකිණිය හැකි හැම දෙයක්ම පිටරටට විකිණිය යුතු වන්නේත් නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය අනුවම බවයි.
ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන එන්නට යෝජනා කරන නිදහස් වෙළඳ ප්‍රතිපත්තියට විරුද්ධ අයම අනෙක් පැත්තෙන් වැඩි ගාණකට විකිණිය හැකි හැම දෙයක්ම පිටරටට විකුණන්න මිනිස්සුන්ට උපදෙස් දෙනවා. ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන එන ප්‍රතිපත්තියට ලංකාව මෙන්ම ලෝකයේ අනෙක් හැම රටක්ම විරුද්ධ වුනොත් මොකද වෙන්නේ?
පාරිභෝගිකයෙක් හැටියට කවුරු හෝ ශ්‍රී ලාංකිකයෙක් තමන්ට අඩුම මිලට මිල දී ගන්නට ලැබෙන තැනින් භාණ්ඩයක් මිල දී ගන්න එකේ කිසිම වැරැද්දක් නැහැ. කොඩිය චීනගේද, ඉන්දියානුවාගේද කියන එක නෙමෙයි වැදගත්. කොඩිය කීයද කියන එකයි. මොකද මේ ශ්‍රී ලාංකිකයා විසින් වියදම් කරන්නේ තමන් අමාරුවෙන් උපයා ගත් රුපියල්.
ශ්‍රී ලාංකිකයෙක් විසින් කොඩියක් මිල දී ගනිද්දී ඩොලර් හෝ යුවාන් වලින් ගෙවන්නේ නැහැ. ඇය ගෙවන්නේ රුපියල් වලින්. කොඩිය ලංකාවේ හදපු එකක් වුනත්, චීනයේ හදපු එකක් වුනත් ගෙවන්නේ එකම රුපියල්. එහෙමනම් එකම කොඩියට එය ලංකාවේ හැදුවා කියා වැඩිපුර ගෙවන්න අවශ්‍ය නැහැ.
මේ කොඩිය විකුණන්නේ ශ්‍රී ලාංකිකයෙක්. බොහෝ විට ඔහු ලොකු පෝසතෙක් නෙමෙයි. ඔහු චීනෙට ගිහින් මේ කොඩි අරගෙන එන්නේ නැහැ. කවුරු හෝ තොග වෙළෙන්දෙක්ගෙන් කොඩි මිල දී ගන්න එකයි කරන්නේ. කොඩිය මිල දී ගන්න ගෙවන රුපියල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල්. මේ ගනුදෙනුව අවසන් අදියරේදී තනිකරම ශ්‍රී ලාංකිකයි. ඩොලර් වලට හෝ යුවාන් වලට කිසිම සම්බන්ධයක් නැහැ.
හැබැයි කවුරු හෝ විසින් මේ කොඩි චීනයෙන් ආනයනය කළ යුතුයිනේ. ඒ සඳහා, ඩොලර් වලින් (හෝ යුවාන් වලින්) ගෙවන්න ඕනෑ. එහෙම ගෙවන්නනම් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඩොලර් මිල දී ගන්න වෙන්නේ රුපියල් ගෙවලා. ඒ කියන්නේ අවසාන වශයෙන් ආනයනකරු චීනයෙන් කොඩි ගෙන්වන්න වැය කරන්නේත් රුපියල්ම මිසක් ඩොලර් නෙමෙයි. ඩොලර් හිඟයක් තිබේනම් එයට හේතුව මේ ආනයනකරු වෙන්න බැහැ. ඔහු රුපියල් ගෙවා ඩොලර් මිල දී ගන්නේ රටේ කොහේ හරි ඩොලර් තිබෙන නිසා.
නිදහස් වෙළඳපොළක් තිබුණා කියා හෝ ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආවා කියලා කිසිසේත්ම රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුවට හෝ ලංකාවේ වෙනත් අයෙකුට ලංකාව ඇතුළේ ඩොලර් අච්චු ගහන්න හෝ ඩොලර් මවන්න බැහැ. මොන විදිහකින් හෝ පිටරටකින්ම ඩොලර් රටට ගේන්න වෙනවා. ඒ සඳහා, එක්කෝ මොනවා හෝ භාණ්ඩයක් හරි සේවාවක් හරි පිටරටකට විකුණන්න වෙනවා. නැත්නම් ශ්‍රමය විකුණන්න වෙනවා. නිදහස් වෙළඳපොළ ක්‍රමයක් යටතේ ආනයන වෙනුවෙන් වැය කළ හැක්කේ ඔය විදිහට රට ඇතුළට එන ඩොලර් පමණයි.
ඉහත කී පරිදි උපයන ඩොලර් වලට වඩා වැඩියෙන් ආනයන වෙනුවෙන් ලංකාව දිගින් දිගටම ඩොලර් වැය කර තිබෙනවානම් එසේ සිදු වී තියෙන්නේ ඩොලර් ණයට ගත් නිසා. මහරගම පදික වේදිකාවෙන් ඔය කොඩිය මිල දී ගන්න සෝමලතා අක්කා හරි, ඒ කොඩි චීනයෙන් ආනයනය කරන නවුෂාඩ් නානා හරි ඩොලර් ණයට ගන්නේ නැහැ. නවුෂාඩ් නානා කරන්නේ රට ඇතුළේ කොහෙන් හරි ඩොලර් මිල දී ගන්න එක. අපනයන ආදායම් වලින් ලැබෙන ඩොලර් වලට වඩා වැඩියෙන් රටට ඩොලර් ආවේ කොහොමද?
මේ විදිහට රටට වැඩිපුර ඩොලර් ඇවිත් තියෙන්නේ දිගින් දිගටම ලංකාවේ රජය විසින් ඩොලර් ණයට අරගෙන ඒ ඩොලර් රට ඇතුළේ විකුණපු නිසා. මේ විදිහට විකුණන ඩොලර් බැංකු පද්ධතිය ඇතුළට ආවහම බැංකු වල ඩොලර් ඉල්ලුම හා සැපයුම අසමතුලිත වෙනවා. වැඩිපුර තියෙන ඩොලර් ටික බැංකු වලට කීයකට හරි විකුණලා දමන්න වෙනවා. කුණු කොල්ලෙට ඩොලර් මිල දී ගන්න පුළුවන් වුණාම අඩු රුපියල් ගණනක් ගෙවලා භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්.
නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය අනුව යෝජනා කෙරෙන්නේ ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආ යුතු බව පමණයි. ලාබෙට ගේන්න බැරි දේවල් "ලාබ කර" ගෙන ආ යුතුයැයි එයින් යෝජනා කෙරෙන්නේ නැහැ. රජය විසින් දිගින් දිගටම ඩොලර් ණයට අර ගනිමින් ඒ ඩොලර් ලාබෙට විකුණද්දී වෙන්නේ ලාබෙට ගේන්න බැරි දේවලුත් ලාබ වෙන එකයි. ලංකාවේ විශාල ආනයන අපනයන පරතරයක් හැදී තිබෙන්නේ ඔය විදිහට ලාබෙට ගේන්න බැරි දේවලුත් රජය විසින් ලාබ කර දුන් නිසා මිසක් ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආ නිසා නෙමෙයි.
මේ ක්‍රමය පිරමිඩ් ක්‍රමයක්. කොඩිය විතරක් නෙමෙයි කොඩිය ගේන්න ගෙවන සල්ලිත් අන්තිමට චීනගේ. ලංකාවට කොඩිය එන්නේ කිසිම වියදමක් නැතුව. මේ ක්‍රමය සැප ක්‍රමයක්. ඇයි කිසිම මහන්සියක් නැහැනේ. කුම්බලාවෝ මාළු කෑවානම් දුක් විඳපන් බළලෝ කිවුවා වගේ දැන් ඩොලර් හිඟ වෙලා තියෙන්නේ මේ ගත්ත ණය ගෙවන්න ඩොලර් අවශ්‍ය නිසයි. ගත්ත ඩොලර් විකුණලා රුපියල් කළා වගේ දැන් රුපියල් ගෙවා ඩොලර් මිල දී ගන්න වෙනවා. එසේ කරද්දී කාලයක් තිස්සේම ඩොලර් විකුණද්දී කෘතිමව ටිකෙන් ටික පහළ ගිය ඩොලරයේ මිල තිබිය යුතු මට්ටමට ඉහළ යනවා. ඩොලර් එකකට සැලකිය යුතු තරම් වැඩි මිලක් නොගෙවා අවශ්‍ය පමණ ඩොලර් මිල දී ගන්න බැහැ.
ඩොලර් දේශීය වෙළඳපොළට ටිකෙන් ටික පොම්ප කරද්දී, ඒ හරහා ඩොලර් කුණු කොල්ලෙට විකිණෙද්දී, ආනයන කෘතීම ලෙස ලාබ වී, දේශීය නිෂ්පාදන ටිකෙන් ටික වැටුණා. මෙය වසර දහයක පහළොවක සිට ක්‍රමක්‍රමයෙන් සිදු වූ දෙයක්. දැන් ඩොලර් එකේ අගය නිවැරදි වුනා කියලා ඒ සියලු කර්මාන්ත වලට එක වර ඔලුව උස්සන්න බැහැ. නැවත අපනයන වෙළඳපොළවල් හොයා ගන්න කාලයක් යනවා. එහෙම හරි ඒ වැඩේ වෙන්නේ ඩොලර් එකේ අගය නිවැරදි වුනොත් පමණයි. ඩොලර් එක හිර කරගෙන අපනයන වැඩි කරන එකනම් කොහොමටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
ඩොලර් හිඟයට තාවකාලික විසඳුමක් විදිහට ආනයන පාලනය කරන්න පුළුවන්. එයින් වෙන්නෙත් ඩොලර් එකේ මිල ඉහළ ගිය විට මෙන්ම ආනයන සීමා වන එකයි. හැබැයි එක පැත්තකින් එයින් අපනයන වල වෙනසක් වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන්, මේ ආනයන පාලන ඉවත් කළ වහාම නැවත ප්‍රශ්නයේ මුලට යනවා. ඊට අමතරව තෙවන ප්‍රශ්නයක්ද තිබෙනවා. ආනයන පාලනයේදී වෙන්නේ කිසියම් පිරිසකට අනෙක් අයට නැති විශේෂ වරප්‍රසාදයක් ලැබෙන එක. ඒ පිරිස තෝරා ගන්නේ ආණ්ඩුව විසින්. මේ හරහා තමන්ගේ ගජ මිතුරන්ට සලකන්න අවස්ථාවක් ලැබෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
ලංකාව මේ වෙද්දී මුහුණ දෙන ඩොලර් හිඟයට හේතුව ලංකාවේ ඇතැම් ආණ්ඩු විසින් අනුගමනය කළේයැයි කියන නිදහස් වෙළඳ ප්‍රතිපත්තියයැයි කියන මතය ජනගත කිරීමේදී වෙන්නේ ඇත්ත වහලා, වැරැද්ද මිනිස්සු මතම පටවලා, ආනයන පාලනය දිගටම ක්‍රියාත්මක කරන්න අවකාශයක් සකස් කර ගන්න එකයි.
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම බලෙන් නතර කරගන ඉන්න එකේ විපාකය විදේශ සම්ප්‍රේෂණ කළු කඩේට යාම බව දැනටමත් ඔප්පුවෙලා. මේ තීරණයත් හෙට අනිද්දම "රිවස්" කරන්න වෙනවා. රටට එන ඩොලර් වලින් ටිකක් උන්ඩියල් වෙන්න ඇරලා බංගලිදේශයයෙන් ණය ගන්නවා! ශ්‍රමික ප්‍රේෂණ වලින් කොටසක් අහිමිවීමේ පාඩුව බංගලිදේශයයෙන්ගත් ණයට වඩා වැඩියි!!
ReplyDeleteඉකොනෝ,
ReplyDeleteඔයාගේ ලිපිය කියවනකල්ම මගේ හිතේ මතු වෙවී ආව කාරණයක් නොකියා බෑ. වෙළෙඳාමට අදාළ වුණත් ඔයාගේ ලිපියට එච්චර අදාළ නෑ.
ගිය සතියේ දවසක මගේ හිතවත් කෙනෙක් ඇවිත් රුපියල් විසි දාහක් ඉල්ලා ගත්තා. රෙදි වගයක් ගන්න. 'ලබන සිකුරාදාට කලින් නොවැරදීම දෙන්නං. 'ෂුවර් එකටම මට සෑහෙන ගණනක් තියාගෙන ඒවා විකුණාගන්න පුළුවන්' කියලත් කිව්වා.
ඊයේ උදෙන්ම එයා ඒ සල්ලි ගෙනැවිත් දුන්නා. 'අනේ ගොඩක් ස්තුතියි. ඒ බිස්නස් එකෙන් මට හොඳ වාසියකුත් වුණා. මට රුපියල් නව දාහක් තිබුණා.' කියලත් කිව්වා. මං විස්තර නං ඇහුවේ නෑ.
මට හිතෙන්නේ ලංකාවේ වෙළෙඳාම ඔන්න ඔය වගේ කියලයි!
මෙහෙමයි වැඩේ නිමල් අංකල්, සාමූහිකව කටයුතු කළ යුතුයි නැතුව ගොඩ යන්න පුළුවන් කමක් නෑ ඉතින්, මම අහල තියන ස්ටෝරියක විදියට දවසක් එක්තරා මනෝ වෛද්‍යවරයෙක්ගේ ස්පීච් එකක් අතරතුර, ඔහු ඒ වේලාවේ එතනට පැමිණි සියළු දෙනාටම බැලුම ගානේ අතට දීලා කියල තියෙනවා ඒක පුම්බල තම තමන්ගේ නම ඒකේ ලියන්න කියලා. දැන් ඔක්කොම බැලුම් පුම්බල ඉවර වෙලා එක එක්කෙනාගෙ නම් තමන් ලඟ තියෙන බැලුමේ ලිව්වා.
Deleteඊට පස්සේ මනෝ වෛද්‍යවරයා එතන තිබුන කාමරයක් පෙන්නලා කියනවා හැමෝම ගිහින් ඒ කාමරේට ඔයගොල්ලෝ ලඟ තියෙන බැලුම ගිහින් දාන්න කියලා. දැන් ඔක්කොම දුවලා ගිහින් ඒ කාමරේට බැලුම් ඔක්කොම දාලා ආපහු ආවා. ආවාට පස්සේ ආපහු මනෝ වෛද්‍යවරයා මෙහෙම කියනවා ..
" දැන් කට්ටියම දුවලා ගිහින් විනාඩි දෙකක් ඇතුලත තමන්ගේ නමට අදාල බැලුම තෝරාගෙන එන්න " කියලා ..
දැන් හැමෝම දුවලා ගිහින් තමන්ගේ නම ගහල තියෙන බැලුම හොයනවා. විනාඩි දෙක ගෙවුන බව මනෝ දේශකතුමා සංඥා කලා. ඒත් කවුරුත් තමන්ගේ නම තියෙන බැලුම හොයාගෙන නෑ. පස්සේ දේශක තුමා හැමෝටම අඬගහලා මෙහෙම කියනවා ..
" ඔබලාට මං තව අවස්ථාවක් දෙන්නම්. හැමෝම කාමරේට ගිහින් තමන්ට මුලින්ම හම්බවෙන බැලුමේ නම සඳහන් කෙනාට කතා කරලා ඒක භාර දෙන්න " ..
ඇත්තටම විනාඩියක් වත් ගියේ නෑ තම තමන්ට අදාල බැලුන් එක තමන්ගේ අතට ඇවිල්ලා තිබුණා. අවසානයේ දේශකතුමා කට්ටියට අඬ ගහල කතා කරනවා ..
" අපේ නියම සතුට රැකගන්න නම් අනික් කෙනා සතුටින් තියන්න ඕන. එවිට අපගේ මානසික සහනයද අපට නොඅඩුව ලැබෙනවා. ආත්මාර්ථකාමී විදිහට තමන් ගැනම පමණක් හිතන කෙනාට ජීවිතයේ සැබෑ සතුට, සැහැල්ලුව කවදාවත්ම ගන්න බෑ". මේ ගැන මොහොතක් සිතන්න.
ඒ වගේම ජ්‍යේෂ්ඨ වැඩිහිටියෙක් වුණත් ඔබ සිනමා නිර්මාණ රසවින්දනයට කැමති කලාකාමී හදවතක් තියෙන රසවතෙක් නිසා මේවා ගැන ඔත්තුවක් දෙන්නයි මේ සූදානම;
මේක නම් trailer එකක්;
https://youtu.be/SCZUWAMPTVg
වෙනස්ම විදියේ කතාවක් ��
මේකත් හොඳ උදාහරණයක් මම හිතන්නේ පවුල් සබඳතා ගැන අලුත්ම විදියකට හිතන්න;
FYI;
https://youtu.be/NtPdGHGrsSk
ඇනෝ, Bubbles බැළුවා. ඇත්තටම දෙපාරක්ම බැළුවා. නියමයි! ලින්ක් එක පිළිබඳව ස්තුතියි! ජංගි හොරා බලන්න අවස්ථාවක් ලැබෙනකම් බලා ඉන්නවා.
Deleteගොඩාරියක් ස්තුතියි. ජංගි හොරා එනකන් ඉන්නේ, බලන්නම. පැසසුමටත් ස්තුතියි.
ReplyDeleteBubbles බලල ඉවර වෙලයි උත්තරය ලියන්න ගත්තේ. ජීවිතේ කියන්නේ සරල; ඊට යටින් හිතාගන්න බැරි තරම් සංකීර්ණ කතන්දරයක් නේද කියලා තවම හිතනවා.....
One of the best articles Iko. It is unfortunate that the country could not gain your knowledge. This blog too is viewed with much difficulty due to censorships in here.
ReplyDeleteඔබතුමා ඉන්නේ උතුරු කොරියාවේ ද? චීනයේ පවා බ්ලොග් තහනම් නෑ නේද?
DeleteType and search Ikanomatta blog on Chrome from Sri Lanka. No results are shown.
DeleteSearch for "economatta".
Deleteවැඩේ කියන්නේ "අරුන්ගෙන් " ඕවා අහල ඒවා විශ්වාස කරන අති විශාල ජනකායක් ලංකාවේ ඉන්න එක
ReplyDeleteප්‍රශ්නය අපේ රටේ ප්‍රසිද්ධ කිසිම චරිතයක් හෝ නාලිකාවක වැඩසටහනක් වත් ප්‍රශ්නය මේ වගේ පැහැදිලි කරලා රටේ මිනිස්සුන්ට කියන්නේ නැති එක. එක්කෝ මුන් එකෙක්ටවත් ඉකොන් තරම් මොලයක් නෑ. නැත්නම් තාමත් කරන්නේ මිනිස්සුන්ව රවටන එක.
ReplyDeleteඇනෝ,
Deleteඔය දෙකම තියෙනවා. බහුතරයක් ජහමනයා මේවා දන්නෙ නෑ. අනික ඉතින් මීඩියා කට්ටිය ජහමනයව හොඳට අන්දල තියෙන්නෙ.
ලංකාවේ මේ ආර්ථික අර්බුදයට ප්‍රදාන හේතුව අවුරුදු 15-20 තිස්සේ ඩොලරය හිර කරන් හිටපු එක කියලා මොනම දේශපාලන ක්‍රියාකාරිකයෙක් වත් පැහැදිලිව කියලා තියෙනවද නවින්. ඔබ කියනවත් වගේ එහෙම කිව්වත් බහුතරයක් මහජනයා ඕක පිළිගන්නේ නෑ. පොහොට්ටු කාරයෝ ටික මහින්ද කිව්වොත් නම් පිළිගනී. අනුර කිව්වොත් ජවිපෙ කට්ටිය පිළිගනී. හර්ෂ කිව්වොත් සජබේ බහුතරය පිළිගනී. ඕකනේ අපි අවුරුදු 72 තිස්සෙම කලේ.
Deleteඅනික අපි පිළිගන්න ඕන අනිත් කරනේ තමා ලංකාවේ හිටපු සහ වෙන්න හිටිය සුපිරි මොළ ටික මේ රට අතහැරලා ගිහින් ඉවරයි. ඉතිරි වෙලා ඉන්න ටිකගේ ජනමතයෙන් කවදාවත් 50% ගන්න බෑ. ඉතින් චන්දෙකදී කවදාවත් නිවැරදි, කාලයට ඔබින ජනමතයක් චන්ද පෙට්ටි වලට වැටෙන්නේ නෑ.
ඒක ඇත්ත ඇනෝ.
Deleteලංකාවට ලොකු මතවාදී වෙනසක් ඕනි.
හැබැයි ජහමනයා උනත් ඒකට සූදානම් නෑ. මේ තියෙන විදියටම පොඩි පොඩි පැලැස්තර දාලා යමු කියල තමා කියන්නෙ.
නැත්නම් කවුරුහරි රට හදන්න කෙනෙක් පහල වෙලා රට හදන කල් තමා බලාගෙන ඉන්නෙ දියසෙන් පහල වෙනව වගේ.
අඩුම....
කතා කරලා වැඩක් නෑ.
අනික කතා කරන අය ක්‍රියා කරන්න කැමති නෑ
ඉකොනො,
ReplyDeleteරජය විසින් දිගින් දිගටම ඩොලර් ණයට අර ගනිමින් ඒ ඩොලර් ලාබෙට විකුණද්දී වෙන්නේ ලාබෙට ගේන්න බැරි දේවලුත් ලාබ වෙන එකයි.
මේක පැහැදිලි කරලා දෙන්නකො.
පැහැදිලි කිරීම සඳහා මනඃකල්පිත උදාහරණයක් ගන්නම්. ලංකාවේ හාල් කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 100යි. අර්තාපල් කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 200යි. වෙනත් රටක හාල් කිලෝවක නිෂ්පාදන වියදම ඩොලර් ශත 50යි. අර්තාපල් කිලෝවක නිෂ්පාදන වියදමත් ඩොලර් ශත 50යි.
Deleteරටේ නිපදවන භාණ්ඩ හා සේවා විකුණා රටට කොහොමටත් එන ඩොලරයක නියම මිල රුපියල් 250යි. ඒ මිලට ඩොලර් අරගෙන හාල් කිලෝවක් ගේන්න රුපියල් 125ක් යනවා. අර්තාපල් කිලෝවක් ගන්නත් රුපියල් 125ක් යනවා. අර්තාපල් රටින් ගෙන්වන එක ඇත්තටම ලාබයි. නමුත් හාල් රටින් ගෙන්වන එක ඇත්තටම ලාබ නැහැ. නිදහස් වෙළඳපොළක් ඇති විට වෙන්නේ අර්තාපල් රටින් ගෙන්වා හාල් රට යවන එක. හාල් විකුණා ලැබෙන ඩොලර් අර්තාපල් ගේන්න වැය වෙනවා. රටේ ඩොලර් හිඟයක් හෝ අතිරික්තයක් නැහැ.
දැන් රජය විසින් විශාල ඩොලර් ණයක් අරගෙන ඒ ඩොලර් රුපියල් 180 බැගින් කුණු කොල්ලෙට විකුණනවා. එවිට මොකද වෙන්නේ? දැන් ආනයනික හාල් කිලෝවක් රුපියල් 90යි. ආනයනික අර්තාපල් කිලෝවකුත් රුපියල් 90යි. ඇත්තටම ලාබ නැති ආනයනික හාල් දැන් ලාබ වෙලා. රජය විසින් කෘතීම ලෙස ලාබ කරලා. එහි ප්‍රතිඵලයක් විදිහට අර්තාපල් වලට අමතරව හාලුත් ආනයනය කරනවා. අපනයනය කරන දෙයක් නැහැ. ඩොලර් රටින් එළියට යනවා මිසක් රටට ඒමක් නැහැ. නමුත්, ණයට ගත් ඩොලර් තිබෙන නිසා ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. හැබැයි හැමදාම දිගටම ඩොලර් ණයට ගන්න වෙනවා. ණය ගන්න බැරි වූ දවසට දැන් වෙලා තියෙන දේ වෙනවා.
නියම උදාහරණය
Deleteඕ ඒක තමයි.
Deleteනියම උදාහරණයක් ඉකොනො..👌👌👌
ඒකියන්නෙ කොහොම නමුත් විනිමය අනුපාතය රජය මැදිහත් නොවී ඉල්ලුම සැපයුම මතම තීරණය වීමට ඉඩ දිය යුතුයි කියන එක නේද?
ලංකාව වගේ පොඩි ආර්ථිකයක් තිබෙන රටක විනිමය අනුපාතයට යම් මැදිහත් කිරීමක් කර එය ස්ථායී කර ගත යුතුයි. නමුත්, එය කළ යුත්තේ දැන් කරන ක්‍රමයට ණය අරගෙන නෙමෙයි. අපනයන ආදායමෙන් යම් කොටසක් සංචිත ලෙස ඉතිරි කරගෙන එම සංචිත කළමනාකරණය කිරීම හරහා. දැන් සිටින තත්ත්වය අනුව අඩු වශයෙන් වසර 20ක්වත් යන තුරු ඒ තරමට අපනයන ආදායම් වර්ධනය කර ගන්න බැහැ. එතෙක් තියෙන ණය ගෙවන්න වෙනවා. දැන් මේ මොහොතේ විනිමය අනුපාතය ඉල්ලුම සැපයුම මතම තීරණය වීමට ඉඩ දෙමින් වෙළඳපොළෙන් ඩොලර් බිලියන 6-7ක් මිල දී ගන්න බැහැ. එහෙම කරන්න ගියොත් ඩොලරයක මිල අසීමිත ලෙස ඉහළ යනවා. ඒ නිසා, මේ අවස්ථාවේ කොහෙන් හෝ ඩොලර් හොයා ගන්නම වෙනවා. ඒ කියන්නේ තව ණය ගන්නම වෙනවා. ඒ සඳහා මේ ආණ්ඩුව කරන්න හදන දේවල්, එජාප/සජබ, ජවිපෙ යෝජනා කරන දේවල් ඕනෑ එකක් කරන්න උත්සාහ කළ යුතුයි. හොඳම දෙය IMF යන එක. එහෙත්, ඒ අතරම දිගුකාලීන ප්‍රශ්නය විසඳාගත යුතුයි. වෙළඳපොළෙන් ටික ටික ඩොලර් මිල දී ගෙන තිබෙන ණය ගෙවා දමමින්, සංචිත ගොඩ නගා ගත යුතුයි. ඩොලර් වෙළඳපොළ ඉල්ලුම සැපයුම මත පදනම් වූ දිගුකාලීන සමතුලිතතාවයකට එන තුරු පාලනයක් ඇතිව විනිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න අරිමින් ආනයන අපනයන පරතරය අඩු කරගත යුතුයි. ණය ගෙවන්න ණය ගන්න සිදු වුනත්, ආනයන වෙනුවෙන් තව දුරටත් ණය නොගත යුතුයි.
Deleteඅහ් හරි තේරුනා
Deleteබොහොම ස්තුති ඉකොනො🤗🤗