ආදායම් බදු ඉහළ දැමීමේ බලපෑම සමහර අයට තේරිලා තියෙන්නේ ජනවාරි පඩිපත ආවට පස්සේ. ලිපියට හේතු වූ උත්තේජක ගැන සමාජ ජාලා පරිශීලනය කරන හැමෝම වගේ දන්න නිසාත්, පොදු අවකාශයකට එකතු කරලා තිබුණත් මේවා පෞද්ගලික තොරතුරු නිසාත්, මම නැවත ප්‍රචාරය කරන්න යන්නේ නැහැ.
මේ සමහර අය කවුද?
මේ ගොඩේ ඉන්නේ පොදු අරමුදල් වලින් රුපියල් ලක්ෂ හතර පහක මාසික වැටුපක් ලබා ගන්න වෘත්තිකයෝ. ඒ අයට බදු කැපිල්ල දරුණුවටම බලපාලා තියෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
මාසයකට රුපියල් 115,000ක් උපයන අයෙක් කියා කියන්නේ ලංකාවේ ආදායම් උපයන්නන් අතර ඉහළම 5%ට අයිති කෙනෙක්. මාසයකට රුපියල් ලක්ෂ හතර පහක මාසික වැටුපක් ලබා ගන්න අයෙක් කියා කියන්නේ බොහෝ විට ආදායම අනුව ඉහළම 1%ට අයත් වෙන කෙනෙක්. දැන් මේ බදු වැඩි කිරීමෙන් පස්සේ ජීවත් වෙන්න අමාරුයි කියා කියන්නේ එහෙම අය.
මේ ගැන පළවන අදහස් වල පැහැදිලි බෙදීමක් දකින්න පුළුවන්. සමහර අය බදු ඉහළ දැමීම විවේචනය කරමින් එහි අහිතකර ප්‍රතිඵල ගැන කතා කරනවා. තවත් අය බදු වැඩි කිරීම ගැන කණස්සල්ලෙන් කතා කරන අයගේ පෞද්ගලික මූල්‍ය කළමනාකරණය විවේචනය කරමින් කතා කරනවා. වැරැද්ද ණය ගත්ත අයගේද? එහෙම නැත්නම් ආණ්ඩුවේද?
මේකේ දෙපැත්තක් තියෙනවා. ඒ නිසා, අපි නිගමන වලට යන්නේ නැතුව දෙපැත්තම කතා කරමු. ඊට කලින් අපි අදාළ ආදායම් කාණ්ඩයට බදු සංශෝධනයේ බලපෑම කුමක්ද කියා විමසා බලමු.
මාසික ආදායම - රුපියල් 400,000යි.
කලින් ගෙවූ බදු ප්‍රමාණය - රුපියල් 9,000යි.
දැන් ගෙවිය යුතු බදු ප්‍රමාණය - රුපියල් 70,500යි.
මාසික ආදායම - රුපියල් 500,000යි.
කලින් ගෙවූ බදු ප්‍රමාණය - රුපියල් 15,000යි.
දැන් ගෙවිය යුතු බදු ප්‍රමාණය - රුපියල් 106,500යි.
රුපියල් ලක්ෂ 5ක මාසික වැටුපක් ලබන කෙනෙක් රුපියල් 106,500ක් බදු ගෙවුවත් තව රුපියල් ලක්ෂ හතරකට කිට්ටු මුදලක් ඉතිරි වෙනවා. EPF හා ETF වලට 15%ක් අයින් කළත්, ලක්ෂ තුනකට වඩා අතේ ඉතිරි වෙනවා. එහෙමනම්, ජීවත් වෙන්න විදිහක් නැති කතාව මොකක්ද?
මෙතැන ප්‍රශ්නය ලක්ෂ තුනකට වඩා ණය ගෙවන්න සිදු වී තිබීමයි. මේක බොරු කතාවක් නෙමෙයි. ඕක තමයි ඔය වගේ ආදායමක් උපයන ගොඩක් ලාංකිකයන්ගේ ඇත්ත තත්ත්වය. මෙතැන තිබෙන මූලික ප්‍රශ්නය, මේ විදිහට ණය වුන එකේ වැරැද්ද කාගේද?
ලක්ෂ පහක මාසික වැටුපක් හා ලක්ෂ හතරක මාසික වැටුපක් ගන්න වෘත්තිකයින් යුවලක් ගැන හිතමු. ඔහොම අය ඉන්නවනේ. දැන් මේ යුවලට මාසයකට අතට ලැබෙන මුදල එක පාරටම රුපියල් 177,000කින් අඩු වෙලා. රුපියල් 177,000ක් කියන්නේ ගෙයක් වාහනයක් (වාහන දෙකක්) තියෙන කෙනෙකුට ණය ගෙවීම් හැර කෑම බීම, ඉන්ධන, බිල්පත්, දරුවන්ගේ අධ්‍යාපන වියදම්, ලොකු අසනීපයක් හැදුනේ නැත්නම් සෞඛ්‍ය වියදම් ආදී සියල්ල වෙනුවෙන් වැය කිරීමට ප්‍රමාණවත් මුදලක්. ඔය තරමේ ආදායමක් උපයන යුවලක් එදිනෙදා වියදම් වලට රුපියල් ලක්ෂ දෙකක් වගේ මුදලක් තියා ගෙන ඉතිරි කොටස් ඉඩම්, ගෙවල්, වාහන වගේ දේවල් වෙනුවෙන් යට කරන එක සාමාන්‍ය තත්ත්වයක්. මොකද එදිනෙදා වියදම් වලට මාසයකට රුපියල් ලක්ෂ දෙකක් තියා ගත්තහම හොඳටම ඇති.
දැන් එක පාරටම කලින් ගාණට වඩා රුපියල් 177,000ක් වැඩියෙන් බදු ගෙවන්න වුනහම අතට ඉතුරු වෙන්නේ රුපියල් 23,000ක් පමණයි. ඕකෙන් ජීවත් වෙන්න බැහැ. ඒ නිසා, මේ කණස්සල්ල ඉතාම සාධාරණයි. දැන් මෙතැන වැරැද්ද ණය වෙලා ඉඩම්, ගෙවල්, වාහන ගත්ත එකද? බංකොලොත් වෙන තරමට රට ණය වුනේ මිනිස්සු ඔය විදිහට ණය වුන නිසාද?
ඇත්තටම මේ ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නය ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රශ්නයේ පිළිබිඹුවක්. පැහැදිලි කර ගන්න තියෙන්නේ ප්‍රශ්නයේ මුල ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නයද නැත්නම් සාර්ව ආර්ථික ප්‍රශ්නයද කියන එකයි. තේරෙන විදිහට කිවුවොත්, මිනිස්සුන්ගේ අධිපරිභෝජනය නිසා රට ණය වුනාද නැත්නම් රට ණය වුනු නිසා මිනිස්සු අධිපරිභෝජනයට පෙළඹුණාද?
පළමුවැන්න වුනා කියලා කියන්න සහ කතාවක් ගොතන්න ලේසියි. නමුත් ඇත්තටම පළමුවැන්න දෙවැන්නේ ප්‍රතිඵලයක්. ඒ කියන්නේ ඇත්තම ඔය ණය වෙච්ච මිනිස්සු අහිංසකයි.
මෙහි ස්වායත්ත ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නයකුත් නැහැ කියලා මම කියන්නේ නැහැ. සමාජවාදී හා ආගමික අදහස් නිසා ඇති වූ, කලාව හරහා කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කෙරුණු, දෘෂ්ඨිවාදයේ ප්‍රශ්නයකුත් මෙහි තිබෙනවා. කොහෙන් හෝ එදිනෙදා හොයා ගන්න දෙයක් කාලා බීලා වියදම් කරලා ආතල් එකක් ගන්න, හෙට ගැන නොහිතන බොහීමියානුවා පට්ට වීර චරිතයක්. නොකා නොබී ඉතිරි කරන මුදලාලි මෙලොව වගේම එලොවත් නැති කර ගත්ත සමාජයට කිසිම වැඩක් නැති මසුරෙක්. ඕක තමයි කලාව හා සාහිත්‍යය හරහා ප්‍රවර්ධනය කරන දෘෂ්ඨිවාදය. මේ හා අදාළව කතා කරන්න තව වැඩිපුර දේවල් තිබුණත්, ඒක අවශ්‍ය නොවන්නේ ඇත්ත ප්‍රශ්නය මේක නොවන නිසා.
ඉහත දෘෂ්ඨිවාදය නිසා ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා, මිනිස්සු ණය වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා රට ණය වෙන්නේ නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒ නිසා, ඉහත දෘෂ්ඨිවාදය වෙනස් කළ හැකි මානසික මෙහෙයුමකින් රටේ සාර්ව ආර්ථික ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ වගේම, සාර්ව ආර්ථික ප්‍රශ්නය විසඳන තුරු, දෘෂ්ඨිවාදය වෙනස් කරන මෙහෙයුම් වලින් අඩු වශයෙන් ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නය වුනත් විසඳන්න බැහැ. එක්කෙනෙක් ඊනියා පරිභෝජනවාදයෙන් ඉවත් වෙද්දී අනිවාර්යයෙන්ම වෙන කෙනෙක් ඒ අඩුව පුරවනවා.
ලාංකිකයින්ගේ අධිපරිභෝජනය සැබෑවක් වුවත්, එය සාර්ව ආර්ථික අසමතුලිතතා වල පිළිබිඹුවක් මිසක් ඊට හේතුව නෙමෙයි. සාර්ව ආර්ථික අසමතුලිතතා නැති කළොත් ඊනියා අධිපරිභෝජනයත් නැති වෙනවා. ඕක අනෙක් පැත්තට වෙන්නේ නැහැ.
ණය වෙලා පරිභෝජනය කරනවද එහෙම නැත්නම් පරිභෝජනය සීමා කරලා ඉතිරි කරනවද කියන එක පෞද්ගලික තේරීමක්. පෞද්ගලික තේරීමක් කියා කිවුවත්, මේක සෑහෙන තරමකින් පුද්ගලයෙකුගේ පුද්ගලභාවය එක්ක සම්බන්ධ වන දෙයක්. පුද්ගලයෙකුගේ අනන්‍යතාවයේ කොටසක්. ඇතැම් විට උපදින කොටම යම් තරමකින් ජාන වලින්ම තීරණය වී තිබෙන දෙයක්. ඉපදුනාට පස්සේ හැදෙන පරිසරය එක්ක, පුද්ගල අනන්‍යතා ගොඩ නැගෙද්දීම ගොඩ නැගෙන දෙයක්. ඒ නිසා, බොහෝ දෙනෙක්ට තමන් ණය ගන්නෙක් වෙනවද නැත්නම් ඉතිරි කරන්නෙක් වෙනවද කියන එක සවිඥානිකව පාලනය කරන්න අමාරුයි. ඒ හේතුව නිසාම තමන්ට සාපේක්ෂව බලලා වෙනත් අයව විවේචනය කරන එකත් නිවැරදි නැහැ. කොයි තරම් අමාරු තත්ත්වයකදී වුනත් සමහර අයට ණය වෙන්න හිත හදා ගන්න අමාරුයි. තවත් අයට කොයි තරම් ආදායම ඉහළ ගියත් ණය නොවී ඉන්න අමාරුයි. මේවා යම් තරමකින් නළලේ කෙටිලා තියෙන දේවල්.
ක්ෂුද්‍ර ආර්ථික හැසිරීම් තීරණය වෙන්නේ ඔය පුද්ගල බද්ධ තත්ත්වයන් එක්කයි. ඇතැම් අය අනාගතයට සාපේක්ෂව වර්තමානයට වැඩි බරක් තබනවා. එවැනි අය ණයකාරයෝ වෙනවා. තවත් අය වර්තමානයට අඩු බරක් තියලා අනාගතයට වැඩි බරක් තියනවා. ඒ අය ණයහිමියෝ වෙනවා. හැබැයි මේ කාණ්ඩ දෙක ඉරක් ඇඳලා වෙන් කරන්න බැහැ. පුද්ගලයෙක් අනාගතයට සාපේක්ෂව වර්තමානයට කොයිතරම් බරක් තියනවද කියන එක සන්තතික විචල්‍යයක්. ඒ කියන්නේ මේක දර්ශකයක් ලෙස සැලකුවොත් 0 සහ 100 අතර හැම තැනකම කවුරු හරි ඉන්නවා. 100 කිට්ටුව ණයකාරයෝ. 0 කිට්ටුව ණයහිමියෝ.
මිනිස්සුන්ට ණය ගන්න අවශ්‍ය වුනා කියලා එපමණකින්ම ණය ගන්න බැහැ. ණය දෙන්නත් කවුරු හරි ඉන්න ඕනෑ. ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ මැදිහත්වීමක් නැත්නම් ඔය දෙපැත්ත අනිවාර්යයෙය්න්ම තුලනය විය යුතුයි. පෙර කී දර්ශකයට ගියොත්, 51-100 අතර අය ණයකාරයෝ වෙනවා. 0-50 අතර අය ණයහිමියෝ වෙනවා. වෙළඳපොළ සමතුලිත වෙනවා. ඒ නිසා, රට ණය වෙන්නේ නැහැ.
දෘෂ්ඨිවාදයේ වෙනස්කම් ඉහත කී සාර්ව ආර්ථික තුලනය කෙරෙහි බලපාන්නේ නැහැ. මොකද මොන තත්ත්වය යටතේ වුවත් රටේ 50%ක් ණයකාරයෝ. ඉතිරි 50% ඉතිරිකරන්නෝ. දෘෂ්ඨිවාදය විසින් කරන්නේ ඔය ගොඩවල් වල ඉන්න පුද්ගලයින් එහාමෙහා කරන එක පමණයි. ගොඩවල් වල ප්‍රමාණ වෙනස් වෙන්නේ නැහැ. මොකද ණය දෙන්නෝ නැතුව ණය ගන්නා අය නැහැ.
සල්ලි අච්චු ගැසීමත් එක්ක, එහෙම නැත්නම් බැංකු පද්ධතිය විසින් මුදල් සැපයුම වැඩි කිරීමත් එක්ක, ඉහත සමතුලිතතාවය වෙනස් වෙනවා. මොකද දැන් ණය ගන්නන් තරමටම ණය දෙන්නන් අවශ්‍ය වන්නේ නැහැ. අලුතෙන් මුදල් නිර්මාණය වෙද්දී අලුතෙන් ණය නිර්මාණය වීමක් සිදු වෙනවා.
අපි හිතමු ඉහත දර්ශකයේ 0-100 අතර සිටින එක් එක් පුද්ගලයා විසින් රුපියල් ලක්ෂය බැගින් ණය ගන්නවා හෝ දෙනවා කියලා. මුදල් සැපයුම වෙනස් වෙන්නේ නැත්නම්, ණය ගන්නෝ ලක්ෂ 50ක ණය ගන්නවා. ණය දෙන්නෝ එම ලක්ෂ 50ක ණය ප්‍රමාණය දෙනවා. ඉල්ලුම හා සැපයුම අනුව පොලී අනුපාතිකය තීරණය වෙනවා. ඒ පසුබිමේ තිබෙන ප්‍රධාන සාධකය මුදලේ කාල වටිනාකම. ඒ කියන්නේ අනාගත පරිභෝජනයට සාපේක්ෂව වර්තමාන පරිභෝජනය කොයි තරම් වටිනවාද කියන එක. මේකත් මැද සිටින, ඒ කියන්නේ දර්ශක අගය 50 වූ පුද්ගලයාගේ කාල වටිනාකම.
දැන් ඔය වගේ සමතුලිත ආර්ථිකයකට අලුත් සල්ලි රුපියල් ලක්ෂ 20ක් දැම්මොත් වෙන්නේ කුමක්ද? ඉතිරි කරන්නෝ ප්‍රමාණය 40ට බහිනවා. ණය ගන්නන් ප්‍රමාණය 60 දක්වා ඉහළ යනවා. ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 60යි. නමුත්, ඉතිරි කිරීම් ප්‍රමාණය රුපියල් ලක්ෂ 40ක් පමණයි. අඩු රුපියල් ලක්ෂ 20 අච්චු ගහපු, එසේ නැත්නම් බැංකු පද්ධතිය විසින් මවපු සල්ලි.
ඒ විතරක් නෙමෙයි. දැන් පොලී අනුපාතික තීරණය කරන්නේ ඉහත දර්ශකයේ 50 මට්ටමේ හිටපු පුද්ගලයා නෙමෙයි. 40 මට්ටමේ ඉන්න පුද්ගලයා. ඒ පුද්ගලයාගේ කාල වටිනාකම අඩුයි. ඒ නිසාම, සමතුලිත පොලී අනුපාතිකයත් අඩුයි. අනෙක් පැත්තෙන් උද්ධමන අපේක්ෂා ඉහළයි. මේ තත්ත්වය එක්ක ණය ගන්න එක කලින්ට වඩා ආකර්ශනීයයි. ණය දෙන එක පාඩුයි. කලින් ණය දුන් දහ දෙනෙක් දැන් ණයකාරයින් වී සිටින්නේ ඔය නිසා.
මුදල් සැපයුම වැඩි කිරීම වේගවත් වන තරමට, පොලී අනුපාතික අඩු වන තරමට, ඔය සමතුලිතාවය 0 පැත්තට විතැන් වෙනවා. ණයකාරයෝ වැඩි වෙනවා. ඉතිරි කරන්නෝ අඩු වෙනවා. මුදල් සැපයුම හා පොලී අනුපාතික නිවැරදි වන තුරු මිනිස්සුන්ට පරිභෝජනය සීමා කරන්න උපදෙස් දුන්නා කියලා ඔය තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ.
ලංකාවේ ප්‍රශ්නයේ පළමු කොටස තියෙන්නේ ඔතැන. සෑම වසරකම සැලකිය යුතු ලෙස මුදල් සැපයුම ඉහළ යද්දී, උද්ධමනයට සාපේක්ෂව පොලී අනුපාතික පහළින් තියෙද්දී, ණයකාරයෝ බෝ වෙනවා. ඉතිරි කරන්නෝ වඳ වෙනවා. ඒක මිනිස්සුන්ගේ වැරැද්දක්ම නෙමෙයි.
ප්‍රශ්නයේ දෙවෙනි කොටස විදේශ ණය. අපි හිතමු රුපියල් ලක්ෂ 20කින් මුදල් සැපයුම වැඩි කරන අතර තව රුපියල් ලක්ෂ 20ක විදේශ ණය ගත්තා කියලා. දැන් ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 70 දක්වා ඉහළ යනවා. ඉතිරි කිරීම් රුපියල් ලක්ෂ 30 දක්වා පහළ යනවා. අඩු රුපියල් ලක්ෂ 40න් රුපියල් ලක්ෂ 20ක් විදේශ ණය. ඉතුරු රුපියල් ලක්ෂ 20 අච්චු ගහපු හෝ මවපු රුපියල්. විදේශ ණය සහ මුදල් මැවීම තවත් ටිකක් වැඩි කළොත් රටම ණයකාරයෝ වෙලා ඉතිරි කරන්නෝ නැත්තටම නැති වෙලා යන්න වුනත් පුළුවන්. ඔය වගේ සාර්ව ආර්ථික තත්ත්වයක් යටතේ ඕනෑම කෙනෙක් ඉතිරි කරන්නෙක් නොවී ණය ගන්නෙක් වෙනවා.
විදේශ ණය ගනිද්දී තවත් දෙයක් වෙනවා. ණය විදිහට ගන්න ඩොලර් වෙළඳපොළේ විකුණලා රුපියල් කරද්දී ඩොලර් එකේ මිල බහිනවා. ආනයන ලාබ වෙනවා. ඊට පස්සේ ණය ගන්නවාට අමතරව, ණය අරගෙන වැඩි වැඩියෙන් ආනයන කරන එකත් ප්‍රවර්ධනය වෙනවා.
රුපියල් ලක්ෂ හතර පහක වැටුප් ලබන අය වියදමට ලක්ෂයක් දෙකක් පමණක් තියාගෙන ඉතිරි කොටස යොදාගෙන ගෙවන්න ණය අරගෙන තියෙන්නේ ඔය සාර්ව-ආර්ථික තත්ත්වය තුළයි. ණය වෙලා වාහන, ගෙවල් ගොඩ ගහගෙන ඉන්නේ ඔය සාර්ව-ආර්ථික තත්ත්වය තුළයි. එහෙම නොකරපු අයයි ඇත්තටම තාර්කික නොවන තීරණ අරගෙන තියෙන්නේ. මොකද පැවති තත්ත්වයන් තුළ ඉතිරි කරන්නා මෝඩයෙක්. ණය නොගන්නා පුද්ගලයා මෝඩයෙක්.
පසුගිය බදු කැපිල්ලට පෙර, 2019දී රුපියල් ලක්ෂ හතර හා පහ බැගින් මාසික වැටුප් ලැබූ අයට පිළිවෙළින් රුපියල් 42,000 සහ 66,000 ලෙස බදු ගෙවන්න සිදු වී තිබුණා. ඒ අනුව, දැන් වැඩිපුර ගෙවන්න සිදු වී තිබෙන මුදල රුපියල් 69,000ක්. නමුත්, 2020 බදු කැපිල්ලෙන් පසු මෙම බදු මුදල පිළිවෙලින් රුපියල් 9,000 හා 15,000 දක්වා අඩු වුනා. ඒ කියන්නේ රුපියල් 85,000ක ඉතිරියක්.
ඉහත පරිදි බදු කැපිල්ල හරහා වැය කළ හැකි ආදායම ඉහළ යද්දී එයට අනුරූපව පරිභෝජනය ඉහළ නොදැමුවේනම් දැන් සිදුකර තිබෙන බදු වැඩි කිරීම මේ තරම් දරුණු ලෙස දැනෙන එකක් නැහැ. නමුත්, බදු කැපිල්ල සිදු කළේම සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස පරිභෝජනය ඉහළ දැමීම ඉලක්ක කරගෙනයි. එම ප්‍රතිපත්තියට අනුරූපව මුදල් සැපයුම වැඩි කර පොලී අනුපාතික පහත හෙළනු ලැබුවා. ඒ මගින්, පරිභෝජනය ප්‍රවර්ධනය කෙරුණා. ඒ අනුව, බදු කැපිල්ලෙන් පසුව, පසුගිය දෙවසර තුළ බොහෝ දෙනෙකු තව තවතවත් ණය වී ඇති බව පැහැදිලියි. ලංකාව ආසියාවේ ඓශ්චර්යය වී රටේ මෙන්ම තමන්ගේද ආදායම් ඉහළ යද්දී ගත් ණය ආපසු ගෙවීම ප්‍රශ්නයක් නොවනු ඇතැයි මේ අය සිතන්නට ඇති.
ඓතිහාසික තොරතුරු දෙස බැලුවොත්, බදු සීමා ලිහිල් කිරීම මිස දැඩි කිරීම ලංකාවට සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා, ලබා දුන් බදු සහන ආපසු හැරවෙනු ඇතැයි මේ බොහෝ දෙනෙක් නොසිතන්නට ඇති. ඇත්තටම මේ බොහෝ දෙනෙක් මේ වෙද්දී පීඩාවට පත්ව සිටින්නේ තමන්ගේම වැරදි මූල්‍ය කළමනාකරණය නිසා නෙමෙයි. රටේ කාලයක් තිස්සේ පැවති අසංගත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිසා.
ඒ අය පැවති සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ ගොදුරු. හැබැයි එහෙමයි කියලා ඒ වැරදි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි නොකර වෙන කළ හැකි දෙයකුත් නැහැ. මොකද රජය හිර වෙලා ඉන්න හිරවිල්ල මිනිස්සුන්ගේ හිරවිල්ලට වඩා ගොඩක් දරුණු හිරවිල්ලක්.
මේ වගේ හිර වෙලා අයට දැන් කරන්න පුළුවන් කුමක්ද? රජයට කරන්න වෙලා තියෙන දෙයම තමයි. ණය ගෙවන්න බැරි ද්‍රවශීලතා ප්‍රශ්නයක් තියෙනවානම්, ගත්ත ණය ඵලදායී නොවන වත්කම් වල හිර වෙලානම්, එකම විසඳුම එම වත්කම් විකුණන එක. ඒක කරන්න හිත හදාගන්න බැරිනම් වෙන්නේ තව තව හිරවෙන එක විතරයි.