වෙබ් ලිපිනය:

Monday, October 30, 2023

සිල්ලර ඉන්ධන මිල සහ බොරතෙල් මිල


ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ ගැන පෙර ලිපියක විස්තර කළා. එම ලිපියේ පෙන්වා දුන් පරිදි ඇමරිකාවේ ඉන්ධන මිල තැනින් තැනට විශාල ලෙස වෙනස් වෙනවා. එයට භූගෝලීය සාධක, එනම් ඉන්ධන නිෂ්පාදනය කරන ප්‍රදේශ වල සිට ඇති දුර වැනි කරුණු, මෙන්ම බදු වල වෙනස්කම් ප්‍රධාන වශයෙන්ම බලපානවා. කෙසේ වුවත්, කිසියම් නිශ්චිත ප්‍රදේශයක් සැලකුවහොත් සිල්ලර ඉන්ධන සැපයුම්කරුවන් අතර පවතින අධික තරඟය නිසා පාරිභෝගිකයින්ට අඩු මිලකට ඉන්ධන මිල දී ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. සිල්ලර ඉන්ධන සැපයුම්කරුවන්ට ලබා ගත හැක්කේ ඔවුන් විසින් ගන්නා අවදානමට සරිලන ඉතා සුළු ලාබයක් පමණයි. 

සිල්ලර ඉන්ධන වෙළඳපොළේ තරඟකාරිත්වය නිසා අඩු වන්නේ ඉන්ධන වල තොග මිල හා සිල්ලර මිල අතර වෙනසයි. මෙම අදියරේදී අගය එකතු වීමක් සිදු වන්නේ එම කොටස තුළ පමණයි. ඉන්ධන වල තොග මිල තීරණය වන්නේ වෙනම වෙළඳපොළකයි. දැඩි තරඟකාරිත්වයක් නොතිබී, ඉන්ධන සිල්ලර වෙළඳාමේ ඒකාධිකාරයක් හෝ කතිපයාධිකරයක් පැවතුණේනම් ඉන්ධන සිල්ලරට විකුණන පිරවුම්හල් දාමයකට විශාල ලාබ ආන්තිකයක් තියාගෙන ඉන්ධන විකිණිය හැකිව තිබුණත් දැඩි තරඟය නිසා ඔවුන්ට එසේ කළ නොහැකියි. ඒ නිසා, ඉන්ධන වල සිල්ලර මිල තීරණය වන්නේ ඉන්ධන තොග මිල, ප්‍රවාහන ගාස්තු, ගබඩා කර තබා ගැනීමේ පිරිවැය, බදු වැනි කරුණු අනුවයි.

ඉන්ධන සිල්ලරට විකිණීම සැලකිය හැක්කේ ඉන්ධන නිෂ්පාදනය කිරීමේ හා බෙදා හැරීමේ කර්මාන්ත වලින් වෙනස් වෙනම කර්මාන්තයක් ලෙසයි. මෙය ලංකාවේ ඉන්ධන වෙළඳපොළ තුළ සිදු වන දෙයට බොහෝ දුරට සමානයි. මෙම කටයුත්තේදී සිදු වන්නේ ඉතාම කුඩා අගය එකතු කිරීමක්. ඒ වෙද්දී, බොරතෙල් නිෂ්පාදන කර්මාන්තය තුළ සහ පිරිපහදු කිරීමේ කර්මාන්තය තුළ අගය එකතු කිරීම් සිදු වෙලා ඉවරයි. මිල තීරණය වෙලාත් ඉවරයි.

ලංකාව තුළ කෙසේ වුවත්, ඇමරිකාව තුළ පිරිපහදු කිරීමේ කර්මාන්තයත් සෑහෙන තරමින් තරඟකාරී කර්මාන්තයක්. 2023 ජනවාරි 1 දින වන විට ඇමරිකාවේ තිබුණු ඉන්ධන පිරිපහදු ප්‍රමාණය 129ක්. ඒවායේ සමස්ත ධාරිතාවය දිනකට බොර තෙල් බැරල් 19,156,781ක්. මීට සාපේක්ෂව (මම දන්නා තරමින්) සපුගස්කන්ද පිරිපහදුවේ ධාරිතාව දිනකට බොර තෙල් බැරල් 50,000ක් පමණයි. 

ඇමරිකාවේ දැනට තිබෙන ඉන්ධන පිරිපහදු අතරින් විශාලතම පිරිපහදුව තිබෙන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ පෝර්ට් ආතර්හියි. එහි ධාරිතාව දිනකට බොර තෙල් බැරල් 626,000ක්. මෙය අයිති මෝටිවා එන්ටර්ප්‍රයිසස් සමාගම සම්පුර්ණයෙන්ම අයිති සවුදි ඇරම්කෝ සමාගමටයි. සවුදි ඇරම්කෝ සමාගම අයිති සවුදි අරාබි රජයටයි. මෝටිවා එන්ටර්ප්‍රයිසස් සමාගම ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ තුළද ක්‍රියාකාරී සමාගමක්. මීට අමතරව ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ තුළ ඉදිරියෙන් සිටින එක්සොන් මොබිල්, බීපී (බ්‍රිටිෂ් පෙට්‍රෝලියම්), ශෙව්රන්, මැරතන් පෙට්‍රෝලියම් වැනි සමාගම්ද ඉන්ධන පිරිපහදු කර්මාන්තය තුළ ඉදිරියෙන් සිටිනවා. 

ඇමරිකාවේ සිල්ලර ඉන්ධන මිල කෙරෙහි පිරිපහදු අදියරේදී යම් බලපෑමක් සිදු වෙනවා. එහෙත්, එම බලපෑම බොරතෙල් වෙළඳපොළේ මිල උච්ඡාවචනයන්ට සාපේක්ෂව කුඩා එකක්. බොරතෙල් වෙළඳපොළේ මිල තීරණය වන විටම ඉන්ධන වල සිල්ලර මිල බොහෝ දුරට තීරණය වී අවසන්. සිල්ලර වෙළඳපොළේ තරඟය නිසා මෙන්ම පිරිපහදු වෙළඳපොළේ තරඟය නිසාද සිදු වන්නේ බොර තෙල් මිල මත අගය එකතු වීම කාර්යක්ෂම ලෙස සිදු වීම පමණයි. එතරම්ම තරඟකාරී නොවන ලෝක බොරතෙල් වෙළඳපොළ තුළ බොර තෙල් මිල විචලනය වීමේ බලපෑම තව දුරටත් එලෙසම තිබෙනවා.

මේ සමඟ පළ කරන ප්‍රස්ථාරයෙන් පැහැදිලිව දකිය හැකි පරිදි ඇමරිකාව තුළ ඉන්ධන ගැලුමක සිල්ලර මිල තීරණය කරන ප්‍රධාන සාධකය බොරතෙල් බැරලයක මිලයි. එහෙත්, ඇමරිකාවේ ඉන්ධන මත අය කරන බදු සාමාන්‍යයෙන් බොර තෙල් මිලට හෝ සිල්ලර ඉන්ධන මිලට අනුපාතික නොවන නිසා බොර තෙල් මිල විශාල ලෙස ඉහළ යද්දී ඉන්ධන වල සිල්ලර මිල ඉහළ යන්නේ සාපේක්ෂව අඩු ප්‍රතිශතයකින්. එමෙන්ම, බොර තෙල් මිල විශාල ලෙස පහළ යද්දී සිල්ලර මිල අඩු වෙන්නේත් තරමක් අඩු ප්‍රතිශතයකින්. එම වෙනස හැරුණු විට ඉන්ධන ගැලුම් 20ක මිල සහ බොරතෙල් බැරලයක මිල සැසඳූ විට විචලනයන් සිදු වන්නේ එකම රටාවකටයි. 

Tuesday, October 10, 2023

චීනයත් කැමති වෙලාද?


අද (ඔක්තෝබර් 10) දින පැවති චීන විදේශ අමාත්‍යාංශයේ පුවත්පත් සාකච්ඡාවේදී චීන මධ්‍යම රූපවාහිණී සේවයේ (CCTV) මාධ්‍යවේදියෙකු විසින් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව විමසීමක් කළා. මෙම විමසීමට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැන්ග් වෙන්බින් විසින් දැනුම් දුන් පරිදි, සැප්තැම්බර් මාසය අවසන් වෙද්දී ලංකාවේ ප්‍රධාන ණය හිමියකු වන චීන එක්සිම් බැංකුවද ඔවුන් විසින් ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ මූලික එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවා. 

මෙය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ඉක්මණින් අවසන් කර ගැනීමට ඉඩ ලැබිය හැකි බව පෙන්වන සුබ ලකුණක්. මේ අතර ඊයේ (ඔක්තෝබර් 9) දින නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මගින් තවත් භාණ්ඩ ගණනාවක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කර තිබෙනවා.

Monday, October 9, 2023

මළ ගිය නැත්තෝ


"අපි ඇයට ෆර්නැන්ඩා කියා කියමු. ෆර්නැන්ඩා අපට හමු වන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ බේස්ටේට් වෛද්‍ය මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ බී කුටියෙන්. 

ෆර්නැන්ඩා පෘතුගීසි සම්භවයක් ඇති, වයස අවුරුදු පනස් හතක කාන්තාවක්. ඇඳ ඇතිරිල්ල මත කැපී පෙනෙන ඔලිව් පැහැති ඇගේ නිරෝගී සම දෙස බැලු විට දැකිය හැක්කේ මේ දැන් සාප්පු සවාරියක් ගොස් පැමිණි කාන්තාවකගේ පෙනුමක්. එහි දුකක හෝ වේදනාවක කිසිදු සලකුණක් පෙනෙන්නට නැහැ. පියැවී ඇති ඇගේ දෑස් වලට උඩින් දැකිය හැක්කේ කළු, ඝන ඇහි බැමි දෙකක්. තැනින් තැන පැසී ඇති කැරලි ගැසුණු කළු කොණ්ඩය මනාව සකස් කර තිබෙනවා. පාද පියකරුයි. මුහුණේ තිබෙන්නේ නිස්කලංක පෙනුමක්. සාමාන්‍ය මිනිසෙකු හුස්ම ගන්නා විට දැකිය හැකි රිද්මයෙන්ම ඇගේ පපුව උස් පහත් වෙනවා. ඈ හරියටම සුරංගනා කතා වල සිටින මායාකාරියක විසින් නින්දට යවා ඇති අයෙකු වගෙයි. ඇගේ පෙනුම මගේ පෙනුමට වඩා හොඳයි.

වෛද්‍ය සිසුන් හා සීමාවාසික පුහුණුව ලබන්නන් ඇතුළු අප කණ්ඩායම බලා සිටින්නේ වෛද්‍ය තෝමස් හිගින්ස් විසින් ෆර්නැන්ඩාගේ මොළය මිය ගොස් ඇති බව නිවේදනය කරන තුරුයි. කාර්යාල පරිශ්‍රයේ බිම වැටී සිටියදී ඇගේ කාර්යාල සගයින්ට ඇයව හමු වෙනවා. ඔවුන් ඇගේ මුහුණට වතුර ගැසුවත් එය ආඝාතයට පිළියමක් නෙමෙයි. වෛද්‍ය හිගින්ස්ට අනුව, ඇයට කුඩා හිසරදයක් හැදී ඒ එක්කම වගේ සිහි විසංඥව යන්න ඇති. බේස්ටේට් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්ට අනුව ඇය නැවත යථා තත්ත්වයට පත් වීමේ ඉඩක් නැහැ. මොළය මිය යාම තහවුරු කරන කණ්ඩායම පැමිණ තිබෙන්නේ මේ බව නිල වශයෙන් තීරණය කිරීමටයි.

විදුලි පන්දමක් හා අයිස් වතුර ආදිය යොදාගෙන ඇගේ ප්‍රතිචාර දැක්වීම් නිරීක්ෂණය කිරීම පිණිස සරල පරීක්ෂාවන් කිහිපයක් කරනු ලබනවා. ඇස් වලට විදුලි පන්දම් එළිය. කන් වලට අයිස් වතුර. ඉන් පසුව ඔලුව දෙපසට හරවා බලනවා. මෙසේ කිරීමෙන් පසුව ඇයව වෙන්ටිලේටරයෙන් ගලවා ඇයට තනිව හුස්ම ගත නොහැකි බව තහවුරු කර ගැනෙනවා. 

අක්ෂි වෛද්‍යවරයෙකු විසින් ඇස් පරීක්ෂා කිරීම සඳහා ගන්නා කාලයට වඩා අඩු කාලයක් තුළ ෆර්නැන්ඩාගේ මොළය මිය ගොස් ඇති බව තීරණය කෙරෙනවා. ඒ අනුව, එතෙක් නීතිය අනුව ජීවත් වන පුද්ගලයෙකු වූ ඇය නීතිය අනුව මිය ගිය අයෙකු වෙනවා. හදවත නැවතුනු අයෙකු නීතිය අනුව මිය යාම සහ මෙම මරණය අතර නීතිමය වෙනසක් නැහැ. 

ඒ එක්කම ඇයගේ "මිය ගිය" සිරුර නැවත වෙන්ටිලේටරයට සම්බන්ධ කෙරෙනවා. ඒ වෙනත් කිහිප දෙනෙකුට බද්ධ කිරීම සඳහා ඇගේ සිරුරේ අවයව නිරෝගීව තබා ගැනීමටයි. ඇගේ හෘදය නැවතත් පෙර මෙන්ම හොඳින් ස්පන්දනය වෙනවා. පෙනහළු පෙර මෙන්ම ක්‍රියාත්මක වෙනවා. මේ වන විට මිය ගොස් සිටියත් ටික වෙලාවකට පෙර "පණ පිටින්" රෝහල් ඇඳ මත සිටි ෆර්නැන්ඩා සහ දැන් එහි "මිය ගොස්" සිටින ෆර්නැන්ඩා අතර කිසිම වෙනසක් නැහැ. ඈ මිය යාම භෞතික වෙනසකට වඩා සම්මුතියක්."

ඉහත කොටස ඩික් ටෙරසිගේ "මළ ගිය නැත්තෝ (The Undead)" පොතේ පූර්විකාවෙන්. මේ පූර්විකාවෙන් පටන් ගන්නා ජීවිතය හා මරණය පිළිබඳ සාකච්ඡාව පරිච්ඡේද ගණනක් දිගට ඇදී යනවා. එය වෛද්‍ය විද්‍යාව, නීතිය, දර්ශනය, සංස්කෘතිය ආදී මාන ගණනාවක් පිළිබඳ සාකච්ඡාවක්. 

"මරණය නියතයි" කියන එක ලංකාවේ ගොඩක් අයට පුරුදු පාඨයක්. ඇත්තටම මරණය නියතද? මරණය කියා නියත, නිශ්චිත අවස්ථාවක් තිබෙනවාද? එහෙමත් නැත්නම් මරණය කියා කියන්නෙත් සාපේක්ෂ සමාජ සම්මතයක් පමණක්ද? 

මරණය ගැන වැඩි වැඩියෙන් දැන ගනිද්දී වැඩි වැඩියෙන් පෙනෙන්නේ මරණය ගැන අපේ නොදැනුමයි. ජීවිතය හා මරණය අතර බෙදුම් ඉර සම්මතයක් මිසක් භෞතික වෙනසක් නෙමෙයි. එය පැහැදිලිව පෙනෙන්නේ එවැනි ඉරක් හොයා ගෙන ජීවිතය හා මරණය අතර සීමාව වෙත යන තරමටයි. තාක්ෂනය නිසා මේ ඉර කාලයක් තිස්සේ ජීවිතය පැත්තට ක්‍රමක්‍රමයෙන් තල්ලු වී ඇතත් ජීවිතය හා මරණය අතර වෙනස තනි ඉරකින් වෙන් කළ නොහැකි බව කාලයත් සමඟ වෙනස් වී නැහැ. 

පුද්ගලයෙකු මිය යාම කියා කියන්නේ සමාජ සම්මතයක් පමණයි. උපත වගේම තමයි. සම්මුතියක් නැත්නම් මිනිසෙකු උපදින හෝ මිය යන නිශ්චිත මොහොතක්ද නැහැ. කවුරු හෝ අයෙකු ජීවත් වන්නෙකු විය යුතුද නැත්නම් මිය ගිය අයෙකු විය යුතුද කියන එක තීරණය කරන්නේ වෙනත් අයයි. ඉතිහාසය පුරාම සිදු වුනෙත්, දැන් වෙන්නෙත් එයයි. වෙනත් කරුණු අතර ආර්ථික කරුණුද මෙම තීරණය කෙරෙහි විශාල ලෙස බලපානවා.

නිල විදේශ සංචිත - සැප්තැම්බර් 2023

 


අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට ඩොලර් මිලියන 3,600 දක්වා පහත වැටුණු නිල විදේශ සංචිත ප්‍රමාණය සැප්තැම්බර් මාසය අවසන් වෙද්දී ඩොලර් මිලියන 3,530 දක්වා තව දුරටත් පහත වැටී තිබෙනවා. මේ අනුව පෙනී යන පරිදි, ඩොලර් මිලියන 200ක බංග්ලාදේශ ණය ආපසු ගෙවීම සඳහා මහ බැංකුව විසින් කලින් මාස වලදී එකතු කරගත් සංචිත යොදාගෙන තිබෙන අතර ඒ වෙනුවෙන් වෙළඳපොළෙන් අලුතෙන් සංචිත මිල දී ගැනීමක් සිදු වී නැහැ. ඒ වෙනුවට සිදුව ඇත්තේ ශුද්ධ වශයෙන් යම් සංචිත ප්‍රමාණයක් විකුණා දැමීමයි.

ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය ශුද්ධ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් (clean float) නෙමෙයි. එය පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් (managed float). පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමයකදී විණිමය අනුපාත වල ස්ථිර වෙනස්වීම් පාලනය නොකෙරෙන නමුත් කෙටිකාලීන විචලනයන් මහ බැංකුව මැදිහත් වී පාලනය කරනවා. නමුත් මෙහිදී මතු වන ප්‍රශ්නය ස්ථිර වෙනස්වීම් හා කෙටිකාලීන විචලනයන් පහසුවෙන් වෙන් කර හඳුනා ගත නොහැකි වීමයි. ඒ නිසා, මෙහිදී මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට තමන්ගේ වෛෂයික රුචිකත්වයන් (subjective preferences) මත පදනම්ව මැදිහත්වීම් කිරීමට (හෝ නොකිරීමට) ඉඩ සැලසෙනවා. ලංකාවේ සන්දර්භයේදී බොහෝ විට ප්‍රතිපත්ති වැරදි සිදුව තිබෙන්නේ මෙම සන්දර්භය තුළයි.


අගෝස්තු මාසය අවසන් වන විට අන්තර්බැංකු වෙළඳපොළේ ඩොලරයක මැදි මිල රුපියල් 330 සීමාව ආසන්නයට ගියා. ඉන් පසුව, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම වෙනුවට කලින් මිල දී ගත් ඩොලර් විකුණමින් ඩොලරයක මිල ඉහළ යාම පාලනය කර ඇති බව මේ වන විට පැහැදිලියි. පසුගිය දෙමස තුළ ඩොලරයක මිල රුපියල් 320-330 සීමාව තුළ පවත්වා ගැනීමේ උත්සාහයක් පැවති බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. මහ බැංකුවට මෙය දිගටම කළ හැකිද?

අරමුදල විසින් ලබා දී ඇති ඉලක්ක අනුව, වසර අවසාන වන විට මහ බැංකුව විසින් ඩොලර් මිලියන 4,431 දක්වා සංචිත වර්ධනය කර ගත යුතුයි. ඒ අනුව, ඩොලර් මිලියන 333ක් පමණ වන අරමුදලේ දෙවන වාරිකය ලබා ගත හැකි වුවද, වසරේ අවසන් මාස තුන තුළ වෙළඳපොළෙන් තවත් ඩොලර් මිලියන 568ක විදේශ විණිමය ප්‍රමාණයක් මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් මිල දී ගත යුතුව තිබෙනවා. ඩොලරයක මිල ඉහළ යාමට ඉඩ නොදී එම ඉලක්කයට යාම පහසු කටයුත්තක් නෙමෙයි. පොලී අනුපාතික පහත වැටෙමින් ඇති පසුබිමක කෙටිකාලීන ආයෝජන පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාවක්ද නැහැ. යම් හෙයකින් අරමුදලේ දෙවන වාරිකය වසර තුළ නොලැබුනහොත් මෙම ඉලක්කය යා නොහැකි තරම් දුරස්ථ ඉලක්කයක්. 

දැනට පවතින උද්ධමන මට්ටම අනුව, ඩොලරයක මිල යම් තරමකින් ඉහළ ගියද උද්ධමනය විශාල ප්‍රශ්නයක් වන්නේ නැහැ. එහෙත්, ඉන්ධන, විදුලි ගාස්තු ඇතුළු රාජ්‍ය ඒකාධිකාරය තුළ තීරණය වන මිල ගණන් ඉහළ යාම ආණ්ඩුවට දේශපාලන අභියෝගයක් වෙනවා. ආණ්ඩුව මැතිවරණ ඉලක්කයක සිටින බව පෙනෙන පසුබිමක ආණ්ඩුවේ කැමැත්ත වනු ඇත්තේ ඩොලරයක මිල හැකි තාක් කාලයක් පහළින් තබා ගැනීමයි. 

ඩොලරයක මිල දැනට පවතින මට්ටමේ තියෙන්නේ ආනයන සීමාවන්ද සමඟයි. එමෙන්ම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කරගතහොත් එතැන් සිට දැනට නොගෙවන විදේශ ණය යම් ප්‍රමාණයක්ද ගෙවන්නට සිදු වෙනවා. මේ තත්ත්වයන් හමුවේ ඩොලරයක මිල ඉහළ යාම සීමා කර ගැනීමටනම් කවර හෝ ආකාරයකින් ඩොලර් ආදායම් ඉහළ යා යුතුයි. ස්ථායීකරණ වැඩ පිළිවෙළේ අනාගතය හා අදාළව තිබෙන ප්‍රධාන අවිනිශ්චිතතා දෙකෙන් එකක් වන්නේ රටේ ඩොලර් ආදායම් ඉහළ යා හැකි ආකාරයන් පැහැදිලිව පෙනෙන්නට නොතිබීමයි.

Tuesday, October 3, 2023

ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ


වසර ගණනාවක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් අඩු වීමෙන් පසුවත්, දැනට ඇමරිකාවේ ඉන්ධන පිරවුම්හල් 132,000කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා [1]. මීට වසර තිහකට පමණ පෙර මෙම ප්‍රමාණය 200,000 ඉක්මවා තිබුණත් [2] දැඩි තරඟකාරිත්වය හා නියාමනය හමුවේ වසරින් වසර ඉන්ධන පිරවුම්හල් එකින් එක වැසී යාම නිසා දැනට ඉතිරි වී තිබෙන්නේ මෙම ප්‍රමාණයයි.  

ඉහත පිරවුම්හල් ප්‍රමාණයෙන් 45%කට ආසන්න ප්‍රමාණයක්, එනම් පිරවුම්හල් 58,000ක් පමණ අයිති ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ තුළ සිටින ප්‍රධාන පිරවුම්හල් දාම 10ට වුවත් තවත් තරඟකරුවන් සිය ගණනක් හෝ දහස් ගණනක් මේ වෙළඳපොළේ ඉන්නවා. පිරවුම්හල් වැඩි ප්‍රමාණයක් අයිති එම කුඩා සමාගම් වලටයි. මේවායින් සැලකිය යුතු ප්‍රමාණයක් පවුලේ ව්‍යාපාර. ප්‍රධාන තරඟකරුවන් 10 දෙනා සහ ඔවුන් සතු පිරවුම්හල් ප්‍රමාණය පහත තිබෙනවා [3].

1. ෂෙල් - 12,306

2. එක්සොන් මොබිල් - 11,892

3. බීපී (බ්‍රිටිෂ් පෙට්‍රෝලියම්) - 7,078

4. ශෙව්රන් - 7,014

5. සර්කල් කේ - 6,792

6. සිට්ගෝ - 4,396

7. ස්පීඩ්වේ - 3,284

8. පිලිප්ස් 66 - 2,511

9. 76 - 1920

10. කනකෝ - 1,716

ඉහත ලැයිස්තුවේ සඳහන් කිසියම් පිරවුම්හල් දාමයක පිරවුම්හල් ප්‍රමාණය යන්නෙන් අදහස් වන්නේ එම පිරවුම්හල් අදාළ සමාගම් විසින්ම කළමනාකරණය කරන බව නෙමෙයි. මෙම පිරවුම්හල් කළමනාකරණය කරන්නේ වෙනත් ස්වාධීන පුද්ගලයින් විසින්. කැමති අයෙකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර ආසියානු රටවලින් සංක්‍රමණය වූ බොහෝ අයද මෙම ව්‍යාපාරයේ නියැලී ඉන්නවා. එහෙත්, ඔවුන් ව්‍යාපාරය මෙහෙයවන්නේ අදාළ සන්නාමය අයිති සමාගමේ කොන්දේසි අනුවයි. ඒ නිසා, කළමනාකරණය කවුරු කළත් පිරවුම්හල් වල බාහිර ආකෘතිය සමානයි. මෙය ලංකාවේ පෞද්ගලික පිරවුම්හල් හිමියන්ගේ ව්‍යාපාරික ආකෘතියට සමානයි. 

ඉහත පිරවුම්හල් දාම 10ට අමතරව මීට වඩා කුඩා තවත් පිරවුම්හල් දාම ගණනාවක් මෙන්ම කිසිදු පිරවුම්හල් දාමයකට අයත් නැති ස්වාධීන පිරවුම්හල් ගණනාවක්ද තිබෙනවා. දාමයකට අයිති වුවත් නැතත් ඉන්ධන පිරවුම්හල් බොහෝ විට ක්‍රියාත්මක වන්නේ වෙනත් සිල්ලර බඩු විකුණන ව්‍යාපාරයක්ද (convenience stores) සමඟයි. එසේ නැත්නම්, සිල්ලරට ඉන්ධන විකිණීමෙන් පමණක් ලාබ ලබමින් වෙළඳපොළේ රැඳී සිටින්න අමාරුයි. 

මේ වසරේ ක්‍රියාත්මකව පැවති මේ ආකෘතියේ කුඩා සිල්ලර වෙළඳසැල් 150,174ක් අතරින් 118,678ක්, එනම් 79%ක් පමණ ඉන්ධන විකිණීමද කර තිබෙන අතර, මුළු සිල්ලර ඉන්ධන වෙළඳාමෙන් 80%ක් සිදුව තිබෙන්නේ මේ තැන් වලයි. මේ අතරින් 60%ක් පමණම කළමනාකරණය කර තිබෙන්නේ එක් පිරවුම්හලක් පමණක් අයිති අයයි. මීට අමතරව තවත් පිරවුම්හල් 13,346ක සිල්ලර වෙළඳාමද සුළු වශයෙන් සිදුව ඇතත් ප්‍රධාන වශයෙන්ම සිදුව තිබෙන්නේ ඉන්ධන විකිණීමයි. 

ඉන්ධන සිල්ලරට විකිණීම සැලකිය හැක්කේ ඉන්ධන නිෂ්පාදනය කිරීමේ හා බෙදා හැරීමේ කර්මාන්ත වලින් වෙනස් වෙනම කර්මාන්තයක් ලෙසයි. (ප්‍රධාන පිරවුම්හල් දාම ගණනාවක්ම ඉන්ධන නිෂ්පාදනය හා බෙදා හැරීමද කිරීම වෙනම කරුණක්.) මෙම කර්මාන්තය තුළ සිදුවන්නේ ඉතා සුළු අගය එකතු කිරීමක් පමණක් නිසා ඉන්ධන මිල කෙරෙහි මෙම සිල්ලර වෙළෙන්දන්ට විශාල බලපෑමක් කළ නොහැකියි. ඇමරිකාවේ සිල්ලර ඉන්ධන මිල උච්ඡාවචනය වන්නේ තොග මිල වෙනස් වන ආකාරය අනුවයි. එහෙත්, දැඩි තරඟකාරිත්වය නිසා පාරිභෝගිකයාට ලැබෙන මිල අඩු නොවන බවක් එයින් අදහස් වන්නේ නැහැ. 

සිල්ලර ඉන්ධන වෙළඳපොළේ තරඟකාරිත්වය නිසා අඩු වන්නේ ඉන්ධන වල තොග මිල හා සිල්ලර මිල අතර වෙනසයි. මෙම අදියරේදී අගය එකතු වීමක් සිදු වන්නේ එම කොටස තුළ පමණයි. ඉන්ධන වල තොග මිල තීරණය වන්නේ වෙනම වෙළඳපොළකයි. දැඩි තරඟකාරිත්වයක් නොතිබී ඉන්ධන සිල්ලර වෙළඳාමේ ඒකාධිකාරයක් හෝ කතිපයාධිකරයක් පැවතුණේනම් ඉන්ධන සිල්ලරට විකුණන පිරවුම්හල් දාමයකට විශාල ලාබ ආන්තිකයක් තියාගෙන ඉන්ධන විකිණිය හැකිව තිබුණත් දැඩි තරඟය නිසා ඔවුන්ට එසේ කළ නොහැකියි. ඒ නිසා, ඉන්ධන වල සිල්ලර මිල තීරණය වන්නේ ඉන්ධන තොග මිල, ප්‍රවාහන ගාස්තු, ගබඩා කර තබා ගැනීමේ පිරිවැය, බදු වැනි කරුණු අනුවයි. මෙම මිල පිරවුම්හලෙන් පිරවුම්හලට වගේම දවසින් දවසටද වෙනස් වන මිලක්. 

මේ වන විට ජෝජියා ප්‍රාන්තයේ වේක්‍රොස් වැනි තැනක පැට්‍රෝල් ගැලුමක් ඩොලර් 2.91කට පමණ (ලීටරයක් රුපියල් 249ක් පමණ) විකිණෙද්දී, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ෆෝට් ජෝන්ස් වැනි තැනක පැට්‍රෝල් ගැලුමක් විකිණෙන්නේ ඩොලර් 6.49ක පමණ මිලකටයි (ලීටරයක් රුපියල් 555ක් පමණ) [4]. වෙළඳපොළ තරඟය තුළ යම් නගරයක ඉන්ධන මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. එහෙත්, ඉන්ධන ඉල්ලුම එතරම් නම්‍ය නොවන නිසා මිල කෙරෙහි වැඩි බලපෑමක් කරන්නේ සැපයුම් සාධකයි.

තැනින් තැනට මිල මේ විදිහට වෙනස් වෙද්දී. පසුගිය මාසයේදී ඇමරිකාවේ පැට්‍රෝල් ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 3.958ක්. එනම් ලීටරයක් රුපියල් 339ක පමණ මිලක් [5]. 

1. https://www.convenience.org/Research/Convenience-Store-Fast-Facts-and-Stats/FactSheets/IndustryStoreCount

2. https://www.fueleconomy.gov/feg/quizzes/answerquiz16.shtml

3. https://www.scrapehero.com/location-reports/10-largest-gas-stations-in-the-usa/#:~:text=Shell%2C%20Exxon%20Mobil%20and%20BP,7%2C078%20locations%20in%20the%20US.

4. https://www.gasbuddy.com/gaspricemap?lat=38.822395&lng=-96.591588&z=4

5. https://www.eia.gov/dnav/pet/PET_PRI_GND_DCUS_NUS_M.htm

වෙබ් ලිපිනය: