මේ වන විට මෙම (2025) වසරේ සැප්තැම්බර් මාසය දක්වා මාස නවයක කාලය හා අදාළ රාජ්‍යමූල්‍ය ගිණුම් පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම සංඛ්‍යාලේඛණ අනුව, වසර අවසන් වන විට සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍යමූල්‍ය ගිණුම් වල දශක ගණනාවකින් දැකිය නොහැකි වූ යහපත් තත්ත්වයක් දැක ගත හැකි වීමේ විභවයක් පෙන්නුම් කරනවා.
රාජ්‍ය ආදායම් හා අනෙකුත් ලැබීම්
පළමු මාස නවයේ රාජ්‍ය ආදායම් හා අනෙකුත් ලැබීම් රුපියල් බිලියන 3,835ක් ලෙස වාර්තා වන අතර මෙය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 31.0%ක වර්ධනයක්. බදු ආදායම පෙර වසරට සාපේක්ෂව 32.5%කින්ද, බදු නොවන ආදායම් 14.9%කින්ද ඉහළ ගොස් තිබෙනවා. වර්ෂාවසාන බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 4,590ක මුදලින් 77.6%ක්ම (රුපියල් බිලියන 3,563ක්) දැනටමත් එකතු වී අවසන්. මේ අනුව, මෙම වසරේ බදු ආදායම ඉලක්කය ඉක්මවා යන බව පැහැදිලියි. සමස්ත ආදායම් හා ලැබීම් සැලකුවද, ඉලක්කය වන රුපියල් බිලියන 4,990ක මුදලින් 76.9%ක් දැනටමත් එකතු වී තිබෙනවා. බදු ආදායම් මෙපමණ ඉහළ යාමට හේතුව වාහන ආනයන ඇස්තමේන්තු ඉක්මවා ඉහළ යාමයි.
රාජ්‍ය වියදම්
රජයේ ලැබීම් ඉහත සඳහන් පරිදි විශාල ලෙස ඉහළ ගොස් තිබුණද, රාජ්‍ය වියදම් ඉහළ ගොස් තිබෙන්නේ පෙර වසරට සාපේක්ෂව 9.7%කින් පමණයි. පුනරාවර්තන වියදම් 11.2%කින් ඉහළ ගොස් ඇති අතර, ප්‍රාග්ධන වියදම් 1.7%කින් පහළ ගොස් තිබෙනවා. හරියටම කියන්නට කල් වැඩි වුනත්, මෙම වසර තුළ නාමික දදේනිය වර්ධනය වීමට ඉඩ තිබෙන්නේ 10%කට ආසන්න වේගයකින්. එබැවින්, දදේනි අනුපාතයක් ලෙස පුනරාවර්තන වියදම තරමක් ඉහළ යාමේ විභවය බැහැර කළ නොහැකියි. එසේ වුවද, ප්‍රාග්ධන වියදම් විශාල ලෙස සීමා වී තිබීමේ ප්‍රතිඵලයක් ලෙස, සමස්ත රාජ්‍ය වියදම දදේනි අනුපාතයක් ලෙස පෙර වසරේ පැවති මට්ටම ආසන්නයේම පැවතිය හැකියි. කෙසේ වුවද, අවසන් මාස තුනක කාලය තුළ රාජ්‍ය වියදම් සිදු වන ආකාරය අනුව, මෙම තත්ත්වය කවර අතකට වුවද වෙනස් විය හැකියි.
මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් වන්නේ පළමු මාස නවයේ පුනරාවර්තන වියදම වන රුපියල් 3,821ක මුදලින් 50.0%ක් හෙවත් රුපියල් බිලියන 1,907ක්ම පොලී වියදම් බවයි. සමස්ත රාජ්‍ය වියදම සැලකුවද, පොලී වියදම එයින් 44.6%ක් තරම් විශාල කොටසක්.
පළමු මාස නවයේ පොලී වියදම් පෙර වසරට සාපේක්ෂව 8.6%කින් ඉහළ ගොස් තිබෙනවා. රජයට මෙම වියදම අඩු කරගත හැක්කේ පොලී අනුපාතික තවදුරටත් පහත වැටේනම් පමණයි. එහෙත්, එය රජයේ පාලනයෙන් තොර, වෙළඳපොළ සාධක මත නිර්ණය වන්නක්. වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් පොලී අනුපාතික පහත හෙළීමේ හැකියාවක් මහ බැංකුව සතුව ඇතත්, එවැන්නක් කිරීම මහ බැංකුවේ විදේශ සංචිත ගොඩ නගා ගැනීමේ අභිප්‍රායට බාධාවක් බැවින් සිදු වීමේ හැකියාවක් නැහැ. මෙම පසුබිම තුළ, දේශීය වෙළඳපොළෙන් ඩොලර් ණය ලබා ගැනීමට රජය විසින් තීරණය කර තිබීම හොඳ අත්හදා බැලීමක් විය හැකියි.
සමස්ත අයවැය හිඟය
වියදම් වැඩි වන වේගයට වඩා සැලකිය යුතු වේගයකින් ආදායම් ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 441කට සීමා වී තිබෙනවා. පෙර වසරේ පළමු මාස නවයක කාලය තුළ රුපියල් බිලියන 970ක අයවැය හිඟයක් වාර්තා වුනා.
ප්‍රාථමික අයවැය අතිරික්තය
ප්‍රාථමික අයවැය ශේෂය යනු පොලී වියදම් හැර අයවැය ශේෂයයි. ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළෙහි ප්‍රධානම ඉලක්කය වන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය අවම මට්ටමට (එනම් දදේනියෙන් 2.3%කට) ඉහළින් පවත්වා ගැනීමයි. පළමු මාස නවයක කාලය අවසන් වන විට ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1,465ක් ලෙස වාර්තා වෙනවා. මෙම අතිරික්තය අයවැයෙන් ඉලක්ක කර තිබුණු රුපියල් බිලියන 750ක අතිරික්තය මෙන් දෙගුණයකට ආසන්න මුදලක්. මේ අනුව, දදේනියෙන් 4% ඉක්මවන හා 5%කට ආසන්න විය හැකි ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වීමේ විභවයක් පෙන්නුම් කරනවා. මෙවැනි තත්ත්වයක් වසර කිහිපයක් පැවතුනහොත්, වැඩි කල් නොයා සමස්ත අයවැය තුලනය කර ගැනීම සිහිනයක් නෙමෙයි.
ජංගම ගිණුමේ අතිරික්තය
පළමු මාස නවයක කාලය තුල රාජ්‍ය අයවැය ගිණුමේ ජංගම ගිණුම් ශේෂය තුලනය වී තිබීම ඉතාම සුවිශේෂී තත්ත්වයක්. මෙම ගිණුම රටේ විදේශ අංශය හා අදාළව කතා කරද්දී අවධානයට යොමු කෙරෙන ජංගම ගිණුම හා පටලවා නොගත යුතු අතර, මෙයින් අදහස් වන්නේ පොලී වියදම්ද ඇතුළු සියලු පුනරාවර්තන වියදම් සලකා බලන අතර ප්‍රාග්ධන වියදම් නොසලකා හරිමින් ගණනය කරන අයවැය ශේෂයයි. එනම් සමස්ත රාජ්‍ය ආදායම (ප්‍රදාන හැර) සහ සමස්ත පුනරාවර්තන වියදම අතර වෙනසයි. වර්ෂාවසාන තත්ත්වය පිළිබඳව අනාවැකි කීමට කල් වැඩි වුනත්, පළමු මාස නවයක කාලය අවසන් වන විට ඉහත ගිණුමෙහි රුපියල් බිලියන 6ක සුළු අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. සංඛ්‍යාලේඛණ පරීක්ෂා කර තහවුරු කර ගැනීමට ඉඩක් නොලැබුණත්, මෑත ඉතිහාසයේ මෙවැනි අතිරික්තයක් වාර්තා වූ අවස්ථාවක් මගේ මතකයට එන්නේ නැහැ.
රටේ ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම ඉතා වැදගත් වන අතර, එයින් ඔබ්බට ගොස් ජංගම ගිණුමේ අතිරික්තයක්ද පවත්වා ගත හැකිනම් එමගින් දිගුකාලීන ආර්ථික වර්ධනය හා අදාළව සැලකිය යුතු දායකත්වයක් ලැබෙනවා. පෙර ලිපි කිහිපයක විස්තර කර ඇති පරිදි, ජාතික ඉතිරි කිරීම් අනුපාතය රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක්. එම අනුපාතය ඉහළ යන තරමට දදේනියට සාපේක්ෂව රටේ ප්‍රාග්ධන සංචිතය ඉහළ යනවා. මෙතෙක් කල් ජාතික ඉතිරි කිරීම් අනුපාතයට රාජ්‍ය අංශයෙන් ලැබී තිබුනේ සෘණ දායකත්වයක් බැවින් රටේ ජාතික ඉතිරි කිරීම් අනුපාතය පැවතුනේ පෞද්ගලික අංශයේ ඉතිරි කිරීම අනුපාතයට වඩා පහළින්.
ජාතික ඉතිරි කිරීම් අනුපාතය අඩු මට්ටමක පැවතීම රටක ආයෝජන අනුපාතය සීමා කර ආර්ථික වර්ධන වේගයද සීමා කරනවා. පසුගිය කාලය මුළුල්ලේම ලංකාව මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා කළේ විදේශ ණය ලබා ගැනීම මගින් ජාතික ඉතිරි කිරීම් අනුපාතයට වඩා ඉහළින් ආයෝජන අනුපාතය පවත්වා ගැනීමයි. රටේ විදේශ අංශය තුළ ජංගම ගිණුම් හිඟයක් නඩත්තු වීමද මෙහි අනිවාර්ය ප්‍රතිඵලයක්. රට අර්බුදයකට ගෙන ගියේ මෙම ක්‍රමයයි.
ඉකොනොමැට්ටා, මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. පුළුවන්නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න.
ReplyDeleteඅපි උද්දමනයක් පවත්වාගෙන යනවානේ නිශ්පාදන දිරිමත් කරන්න. හැබැයි පහුගිය මාස ටිකේම පැවතුනේ අවධමනයක් කියලා ඔබතුමා කලින් ලිපි කීපෙකම ලියලා තිබ්බා. එහෙම අවදමනයක් තිබිලත් ලංකාවේ භාණ්ඩ හා සේවා වල මිළ අඩු වෙලා නැත්තේ ඇයි? අනික අවධන්මනයක් තියෙද්දිත් භාණ්ඩ හා සේවා වල මිළ ඉහල යනවා නම් උද්දමනයක් පවත්වාගෙන යෑමේ තේරුමක් නෑනේ.
උද්ධමනය හෝ අවධමනය කියන්නේ මිල ගණන් වැඩි වීමේ හෝ අඩු වීමේ සාමාන්‍ය අගයක්. නමුත් තියෙන්නේ උද්ධමනයක් වුනත් අවධමනයක් වුනත් තනි භාණ්ඩයක මිල අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. තක්කාලි අස්වැන්න ගොඩක් වැඩි වුනොත් මිල පහත වැටෙනවා. වගාව හානි වුනොත් මිල ඉහළ යනවා. ලෝක තෙල් මිල අනුව තෙල් මිල අඩු වැඩි වෙනවා. ඒ වගේ දේවල් වෙන්නේ උද්ධමනය හෝ අවධමනය නිසා නෙමෙයි. ලංකාවේ අවධමනයක් තිබුණත් ඒ තිබුණේ ඉතාම සුළු අවධමනයක්. ඒ නිසා ආසන්නව මිල ගණන් වලින් බාගයක් පමණ අඩු වෙද්දී අනෙක් බාගය වැඩි වෙනවා. සියල්ල එකතු කළාම තමයි පොඩි අඩු වීමක් තියෙන්නේ. ඒ වගේම පොඩි උද්ධමනයක් තිබුණත් සමහර මිල ගණන් අඩු වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නේ උද්ධමනය විශාල මට්ටමකට යන අවස්ථාවකදී පමණයි.
Deleteඉකොනොගේ ආර්ථික විද්‍යාව නම් කියලා වැඩක් නෑ.
Deleteමේ සංඛ්‍යාලේකන නං එහෙට මෙහාට කර කර පෙන්වන්න පුළුවන්.
ReplyDeleteඔය කියන දේ මහා පොළොවේ නැහැනේ.
ඉකොනො බත් ඩිංගක් කන්ඩනේ මෙච්චර මේ පච වෙන්නේ
Deleteමල්ලියා දඟලන්නේ මහ බැංකුවේ පියන් කෙනෙක් ලෙස සේවයට බැදෙන්නද
ReplyDelete@ Economatta
ReplyDeleteඔබ පවසන 2025 මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය (GDP Growth) ධනාත්මක අගයක් ගෙන ඇති නමුත් (පළමු කාර්තුවේ 4.8% සහ දෙවන කාර්තුවේ 4.9% පමණ) කෙසේ වෙතත්, මෙම වර්ධනය පැමිණ ඇත්තේ ආර්ථික අර්බුදයකින් පසු පහළට වැටුණු මට්ටමක සිට බැවින්, මෙය යථා තත්ත්වයට පත්වීමේ අසම්පූර්ණ තත්ත්වයක් ලෙස ලෝක බැංකුව පවා පෙන්වා දී තිබේ. ලංකාවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයන් පවසන ආකාරයට පහත ගැටලු ලංකාවේ ආර්ථිකය තුල දක්නට ඇත.
අධික බදු බර (Heavy Taxation)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් එකඟතා යටතේ රජයට දමා ඇති බරපතල කොන්දේසි අනුව දැවැන්ත බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා පුද්ගල සහ ව්‍යාපාර බදු (VAT, APIT) ඉතිහාසයේ නොවූ විරූ මට්ටම්වලට ඉහළ නංවා ඇත. 2025 මුල් භාගයේදී බදු ආදායම අපේක්ෂිත මට්ටම් ඉක්මවා යාමට මෙය ප්‍රධාන හේතුව වී ඇත.
2022 අර්බුද සමයේ ජනතාවට දැනුනු ආර්ථික පීඩනය උද්ධමනය තරමකට පාලනය වී තිබුණද, ඉහළ ගිය බදු හේතුවෙන් ජීවන වියදම තවමත් දරාගත නොහැකි ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන්ම ආදායම් බද්දට යටත් වූ සේවක පිරිස, අධික බදු බර නිසා තමන්ට විඳින්නට සිදු වූ ආදායම් අහිමිවීම පිළිබඳව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
නොපැහැදිලි සමාජ ආරක්ෂණ වැඩසටහන් මෙන්ම රජයේ වියදම් ඉහළ යාමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ ණය සේවාකරණයයි. එසේම 'අස්වැසුම' වැනි සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක වුවද, සමස්තයක් ලෙස දරිද්‍රතාවය තවමත් 2019 ට වඩා දෙගුණයකින් පමණ ඉහළ මට්ටමක පවතී. දුර්වල හා අවදානම් සහිත කණ්ඩායම් අතර පෝෂණ ඌනතා බරපතළ ප්‍රශ්නයක් ලෙස ඉතිරිව ඇත.
අසම්පූර්ණ ආර්ථික ප්‍රකෘතිය
ආර්ථිකය වර්ධනය වුවද, එය තවමත් අර්බුදයට පෙර මට්ටමට පැමිණ නැත. රැකියා වෙළෙඳපොළ යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වන අතර, බොහෝ පවුල්වලට අහිමි වූ ජීවනෝපාය නැවත ලබා ගැනීමට නොහැකි වී ඇත.
ලංකාවේ එක දිගට වසර පහකට ආසන්න කාලයක් පැවති වාහන ආනයන තහනම 2025 වසරේ මුලදී (විවිධ සීමා යටතේ) ඉවත් කිරීම, රජයේ මූල්‍ය තත්ත්වයට තීරණාත්මක බලපෑමක් එල්ල කළේය. ඒ ගැන කෙටියෙන් කියන්නම්
DeleteA. ක්ෂණික බදු ආදායම් ඉහළ යාම
වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමඟම, වසර පහක සමුච්චිත ඉල්ලුම (Pent-up Demand) හේතුවෙන් විශාල වාහන සංඛ්‍යාවක් රටට ගෙන්වා ඇත.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2025 මුල් මාස හය තුළ පමණක් වාහන ආනයනයෙන් රුපියල් බිලියන 429 ක විශාල ආදායමක් වාර්තා කර ඇත. මෙය රේගු ආදායම 47% කින් ඉහළ යාමට ප්‍රධාන හේතුවක් විය.
නන්දලාල් මහ බැංකු අධිපතිවරයා පවා ප්‍රකාශ කළේ, අධික බදු අය කිරීම නිසා මෙම ක්ෂණික වාහන ආනයනයන්ගෙන් රජයේ ආදායම අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ ගොස් ඇති බවයි.
B. ඉදිරි වසරේ ආදායම් අඩුවීමේ දැඩි අවදානම
බොහෝ විශේෂඥයන් පෙන්වා දෙන පරිදි, වාහන ආනයන ආදායම් සම්බන්ධයෙන් දැඩි අවදානම් තත්ත්වයක් මතු වී ඇත
ඉහළ බදු සහ මිල අඩුවීම:
ඉහළ බදු අනුපාත හේතුවෙන් වාහනවල මිල ගණන් සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි තත්ත්වයක පවතී.
ඉල්ලුම සාමාන්‍යකරණය වීම:
මුල් වසරේ පැවති සමුච්චිත ඉල්ලුම ක්‍රමයෙන් පහව යමින් පවතී. ආනයනකරුවන් පවා තොග විකිණීමට නොහැකි වීම නිසා අලාභයට විකුණන බවට වාර්තා වී ඇත.
අඩු වන ආනයන:
මෙම අධික මිල සහ ඉල්ලුම සාමාන්‍යකරණය වීම හේතුවෙන් 2026 වසරේදී වාහන ආනයන සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලබන වසරේ බදු ආදායම් හිඟය සහ රජයේ ප්‍රතිචාරය පිළිබඳ අනාගත දැක්ම
වාහන ආනයනයෙන් ලැබුණු තාවකාලික බදු ආදායම් ඉහළ යාම ලබන වසරේදී අඩුවීම ස්ථිරය. එසේ වූ විට රජය මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ IMF ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය ආදායම් හිඩැස පියවා ගන්නේ කෙසේද යන්නයි.
අධික බදු බර තවදුරටත් ඉහළ දැමීම:
රජයේ ප්‍රධානතම විකල්පය වන්නේ පවතින අධික බදු බර තවදුරටත් ඉහළ නැංවීම හෝ දැනට බදු පදනමෙන් බැහැරව සිටින අංශ වෙත ව්‍යාප්ත කිරීමයි. උදාහරණයක් ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වන විටත් බදු ගෙවන්නන්ගේ පදනම පුළුල් කිරීම සඳහා (තව තවත් TIN අංක ලබා දීම වැනි) ක්‍රියාමාර්ග ගෙන ඇත.
ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ:
රජයේ බදු ආදායම් ඉහළ නැංවීම පමණක් නොව, රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීමට රජයට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවනු ඇත. එනම්, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම වේ. මේවා ක්‍රියාත්මක කිරීමේ වේගය සහ සාර්ථකත්වය මත ජනතාවට එල්ල වන බදු බරේ අනාගතය රඳා පවතී.
මේ අනුව 2025 වසරේ මුල් මාස නමය තුළ ආර්ථිකය යම් වර්ධනයක් පෙන්නුම් කළද, එය සාක්ෂාත් කර ගනු ලැබුවේ ජනතාව මත පැටවූ අධික බදු බර මගිනි. වාහන ආනයන බුබුලෙන් ලැබුණු තාවකාලික ක්ෂණිව ලද අධික බදු ආදායම ලබන වසරේදී පහළ යනු ඇත. මෙම රාජ්‍ය මූල්‍ය අවදානම කළමනාකරණය කිරීමට රජය අසමත් වුවහොත්, එහි ප්‍රතිවිපාකය වනු ඇත්තේ ජනතාවට තවදුරටත් බදු බර පැටවීම හෝ අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා සඳහා වන වියදම් කප්පාදු කිරීමයි. මේ ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
නිකං මිනිස්සු රවට්ටන්ඩ එපා ඉකුනෝමැට්ට.
ReplyDeleteඅපායේ යන්න තමයි වෙන්න ඔයාට මේ වගේ බොරු ලියල බ්ලොග් පඩංගුවක් හදාගෙන.
හිනා යනව අප්ප.......
Delete