වෙබ් ලිපිනය:

Sunday, July 26, 2015

සල්ලි මොටද බඩගින්නට කන්න බැරී?




මේ ප්‍රශ්නය පිස්සු ප්‍රශ්නයක් මෙන් බැලූ බැල්මටම පෙනේ. ගස්වල සල්ලි තිබේනම් කෙල්ලෝ වඳුරන්ටත් ආදරේ බව ත්‍රිරෝද රථ හිමියෙක් කියා තිබේ. සල්ලි නැත්නම් පොදු වැසිකිළියක මුත්‍රා කිරීමටවත් නොහැකිය.

ප්‍රශ්නයේ වැදගත්කම තේරුම් ගැනීමට ටිකක් ගැඹුරට යා යුතුය. තව මේ වගේම ප්‍රශ්න කිහිපයක් ඇසූ විට ප්‍රශ්නය පැහැදිලි වේ.

-පාන් මොකටද? බඩගින්නට කන්නටය.
-මෝටර් සයිකල් මොකටද? පයින් යනවාට වඩා ඉක්මණින් ගමනක් යන්නටය.
-කුඩ මොකටද? වැස්සට නොතෙමී ඉන්නටය.

මේ ගොඩක් දේවල් වල නිශ්චිත ප්‍රයෝජනයක් හෝ ප්‍රයෝජන කිහිපයක් තිබේ. ඒ නිසා මේ දේවල් ලබා ගැනීමට මහන්සි වී වැඩ කිරීමේ තර්කානුකූල පදනමක් තිබේ. එහෙත්, බොහෝ විට අපි මහන්සි වී වැඩ කරන්නේ 'මුදල්' ලෙස හඳුනාගන්නා කඩදාසි විශේෂයක් ලබා ගැනීම සඳහාය.



රුපියල් පන්දාහේ නොට්ටුවකින් කළ හැක්කේ කුමක්ද? අපි වේයන් නොවන නිසා බඩගින්නට කන්නට නොහැකිය. විලි වසා ගැනීමට ලොකු මදිය. වැස්සට නොතෙමී සිටීමටද උදවු නොකරයි. ඕනෑනම් ගෑස්‌ ලිපේ දැල්ලට අල්ලා පත්තුකර සිගරැට්ටුවක් පත්තු කර ගැනීමට භාවිතා කළ හැකිය. එවැන්නක් ලබා ගැනීම සඳහා කෙල්ලන් වඳුරන්ට ආදරය කරන්නේ ඇයිද යන්න සිතා බැලිය යුතු කරුණකි.

සාමාන්‍ය භාවිතයේ 'සල්ලි' හෝ මුදල් යන වචනය එකිනෙකට කිට්ටුවෙන් සමාන, එහෙත් වෙනස්, අර්ථ කිහිපයකින් භාවිතා වේ.

පහත ඇත්තේ උදාහරණ කිහිපයකි.

සල්ලි උනන ෆෙංෂුයි රහසක් දැනගන්න කැමතිද?
ඡන්දෙට නොඑන්නේ සල්ලි නැති නිසාලු.
ආණ්ඩුවට පඩි ගෙවන්න සල්ලි නෑ.. දැන් ආතල්ද?

මෙහි පළමු වැකියේ සල්ලි යන වචනය යොදාගෙන ඇත්තේ ආදායම යන අර්ථයෙනි. දෙවැන්නේ වත්කම් යන අර්ථයෙනි. තුන් වැන්නේදී ගෙවීම් මාධ්‍යයක් යන අර්ථයෙනි. මේ අරුත් තුනෙන් ආර්ථික විද්‍යාවේ එන 'මුදල්' යන අර්ථය වඩාත් ආසන්න තුන්වැන්නටය. ආර්ථික විද්‍යාවේ 'මුදල්' ලෙස අර්ථදැක්වෙන්නේ ගෙවීම් මාධ්‍යයක් ලෙස යොදා ගැනීම සඳහා සුදුසු වත්කම් අතුරින් එක්තරා විශේෂ කොටසකි.

මුදල් යනු හෝමෝ සේපියන්ස්ලා විසින් නිර්මාණය කර ගත් තවත් සුවිශේෂී සංකල්පයකි. මේ නව නිර්මාණය මඟින් හෝමෝ සේපියන්ස් සමාජයේ ප්‍රගතිය උදෙසා සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කර තිබේ. මුදලේ වැදගත්කම අවබෝධ කර ගැනීමට මුදල් නමැති සංකල්පය සොයා ගැනීමට පෙර වූ අතීතයට ගමන් කළ යුතුය.

පුරා විද්‍යාත්මක සාධක අනුව මුදල් භාවිතයට වසර දහස් ගණනක අතීතයක් ඇත. එහෙත් වෙළඳාම ඇරඹෙන්නේ මුදල් සොයා ගැනීමට බොහෝ පෙරය.

වෙළඳාමේ මුල් අවදිය භාණ්ඩ හුවමාරු යුගයකි. මේ යුගයේදී දඩයම්කරුගේ ගෝනමස් ගාතය එඬේරාගේ කිරි කලය හා කෙළින්ම හුවමාරු විය. සමාජ අවශ්‍යතා වඩා සංකීර්ණ වෙද්දී මේ ක්‍රමය පවත්වා ගැනීමට තිබුණු ප්‍රධාන බාධකය 'දෙදෙනෙකුගේ අවශ්‍යතා සම්පාත වීම' හැමවිටම සිදු නොවීමයි.

සාර්ථක භාණ්ඩ හුවමාරුවක් සඳහා දෙදෙනෙකුගේ අවශ්‍යතා සම්පාත වීම අත්‍යවශ්‍ය සාධකයකි. උදාහරණයක් ලෙස ඉකොනොමැට්ටා කරන්නේ දවස පුරාම බ්ලොග් ලිවීමයැයි සිතමු. පරිගණක නැති ඉකොනොමැට්ටා බ්ලොගය ලියන්නේ පුස් කොළයකය. මෙසේ ලිය ලියා සිටින විට ඉකොනොමැට්ටාට බඩගිණි වේ. පාන් සමඟ මස් කරියක් කෑමට ආශාවක් ඇතිවේ. දැන් ඉකොනොමැට්ටාට පළමුව ඉකොනොමැට්ටාගේ සටහන් කියවීමට කැමති බේකරිකාරයෙකුත්, දෙවනුව එවැනිම මස්කඩ කාරයෙකුත් සොයාගැනීමට සිදුවේ. එහෙම අය හිටියොත් ඉකොනොමැට්ටා ගොඩය. නැත්නම් බඩගින්නේය. (ඉකොනොමැට්ටාට මස් කරිය උයා ගත හැකි නිසා හොඳ වෙලාවට කෝකියෙක් අවශ්‍ය නොවේ.)

ඔය අස්සේ තැබෑරුම්කාරයාට ඉකොනොමැට්ටාගේ සටහන් කියවීමට ආශාවක් ඇති වේ. එහෙත්, ඉකොනොමැට්ටා සැර දේවල් වලට කැමති නැත්නම් තැබෑරුම්කාරයාට ඉකොනොමැට්ටාගේ සටහන් කියවීමට අවස්ථාවක් නොලැබේ.

මුදල් නමැති සංකල්පය මේ ප්‍රශ්නයට විසඳුමක් විය. දැන් ඉකොනොමැට්ටා තැබෑරුම්කරුගෙන් මුදල් අයකරගෙන ඔහුට පුස්කොලයේ ඇති සටහන කියවීමට අවස්ථාව සලසයි. ඒ මුදල් ගෙවා ඉකොනොමැට්ටාගේ සටහන් කියවීමට අකැමැති බේකරිකාරයෙකුගෙන් වුවද පාන් මිලදී ගැනීමට ඉකොනොමැට්ටාට හැකි වන නිසා ඔහුගේ සටහන් කියවීමට කැමති බේකරිකාරයෙක් හමුවන තුරු ඔහුට බඩගින්නේ සිටීමට සිදු නොවේ.

මුදලේ ඇති එකම ප්‍රයෝජනය මෙය පමණක් නොවේ. මුදල් මඟින් භාණ්ඩ වල වටිනාකම් සැසඳීම පහසු කරයි. උදාහරණයක් ලෙස භාණ්ඩ වර්ග 100ක් ඇති ආර්ථිකයක මේ භාණ්ඩ හුවමාරු විය හැකි 'මිලවල්' 5050ක් තිබිය යුතුය. සෑම භාණ්ඩයක්ම අනෙතුත් සියළු භාණ්ඩ සමඟ හුවමාරු වියයුතු මිලක් තිබිය යුතු නිසාය. මුදල් හඳුන්වා දීමෙන් පසු මේ ගණන 100කට අඩුවේ. මෙය තීරණ ගැනීම විශාල ලෙස පහසු කර වෙළඳාම කාර්යක්ෂම කරවයි.

මුදලෙහි තුන්වන ප්‍රයෝජනයක්ද තිබේ. ඒ තමන් සතු වත්කම් වර්තමානයේ සිට අනාගතය දක්වා සුරක්ෂිත කර ගැනීමේ හැකියාවයි. උදාහරණයක් ලෙස දඩයම්කරුවෙකු ගෝනෙකු මරාගනී. ඔහු වියලි හෝ වෙනත් අයුරකින් කල් තබාගත් ගෝනමස් වලට වඩා අමු ගෝනමස් වලට කැමතිය. එහෙත්, ගෝනාගේ මස් සම්පුර්ණයෙන්ම ආහාරයට ගැනීමට ඔහුට නොහැකිය. ගෝනමස් නරක් නොවී ඒ අයුරින්ම කල් තබා ගැනීමටද නොහැකිය. කිරි වැනි වෙනත් දෙයකට හුවමාරු කළ හැකි වුවත් ඒ ද්‍රව්‍යද කල් තබා ගත නොහැකිය.

මුදල් භාවිතය මෙයට විසඳුමකි. අද ඔහුගේ අතිරික්තය මුදල් කිරීමෙන්, වසරකට පසු වෙනත් දඩයක්කරුවෙකු ගෝනෙකු එලාගත් විට ඔහුට මුදල් ගෙවා අමු ගෝනමස් ලබාගත හැකිය.

මුදල් වශයෙන් මුල් කාලයේදී භාවිතා වූයේ මේ කාර්යයන් තුන ඉටුකිරීමේ හැකියාව ඇති ද්‍රව්‍යයන්ය. මෙවැනි ද්‍රව්‍යයක් සුලභ නොවිය යුතුය. කල් තබා ගත හැකිවිය යුතුය. යම් තරමකට ආකර්ශනීය විය යුතුය. සිප්පි කටු, වර්ණවත් ගල්, ධාන්‍ය වර්ග, සත්ව හම් ආදිය මුල් කාලයේදීත්, රන් රිදී වැනි ලෝහ වර්ග පසු කාලයකදීත් මේ කාර්යය ඉටුකර ඇත. කඩදාසි මුදල් සහ විද්‍යුත් මුදල් මේ පරිණාමයේ පසුකාලීන අදියරයන්ය.

මුදල් වලට හුරු වූ සමාජයක පුද්ගලයෙකු තමාට වටිනාකමක් ඇති භාණ්ඩයක් (හෝ සේවාවක්) තමාට වටිනාකමක් නොමැති 'මුදල්' නම් වූ දෙයක් වෙනුවෙන් හුවමාරු කරයි. එසේ කරන්නේ මේ 'මුදල්' නම් වූ දෙය ලබාගෙන තමාට වටිනාකමක් ඇති භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීමට සූදානම් බොහෝ දෙනෙකු සිටින බවට ඇති විශ්වාසය නිසාය.

මුදලක වටිනාකම රඳා පවතින්නේ මේ සාමුහික විශ්වාසය මතය. ඒ විශ්වාසය බිඳුණු විට මුදල් නිකම්ම කඩදාසි කෑලි පමණි. යමෙකු තම මහන්සියෙන් උපයාගන්නා මුදල්ම වෙනත් අයෙකු ඉතා පහසුවෙන් මුද්‍රණය කර ගනු පෙනීම මුදලක් මත වන විශ්වාසය බිඳ වැටීමට හේතුවකි.

(ඡායාරූප http://uncyclopedia.wikia.com සහ www.e-allmoney.com වෙබ් අඩවි වලිනි.)

10 comments:

  1. //ඉතා පහසුවෙන් මුද්‍රණය කර ගනු පෙනීම මුදලක් මත වන විශ්වාසය බිඳ වැටීමට හේතුවකි
    හ්ම් එක තමා එහෙනං හොර සල්ලි ගහන එවුන් අහුවුණාම ඒවා ආයෙත් නොකරන්න පොලෝසිය ආදරයෙන් සලකන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. හොර සල්ලි පැවතීම මුදල් පිලිබඳ විශ්වාසයට ලොකු තර්ජනයක්. හොර සල්ලි පවතින්නේ මුදල් නෝට්ටුවක් මුද්‍රණය කිරීමට යන වියදම එහි හුවමාරු අගයට වඩා ගොඩක් අඩු නිසයි. මේ දෙක අතර වෙනස, ලාභය, මුද්‍රණය කරන කෙනාට. හොර සල්ලි ගහන එවුන් අහුවුණාම ඒවා ආයෙත් නොකරන්න පොලෝසිය ආදරයෙන් සලකන්නේ මෙයින් ලැබෙන ලාභය ලබා ගැනීමේ පරම අයිතිය ආණ්ඩුවට මිසක් වෙන කෙනෙකුට දෙන්න ආණ්ඩුව කැමති නැති නිසා. රන් කාසි, රිදී කාසි වලින් ආණ්ඩුවට හෝ පුද්ගලයෙක්ට මෙවැනි ලාභයක් ලැබිය නොහැකියි. ඒවා සැදීමට යන වියදම හුවමාරු අගයට සමානයි හෝ ආසන්නයි.

      Delete
    2. //පොලෝසිය ආදරයෙන් සලකන්නේ මෙයින් ලැබෙන ලාභය ලබා ගැනීමේ පරම අයිතිය ආණ්ඩුවට මිසක් වෙන කෙනෙකුට දෙන්න ආණ්ඩුව කැමති නැති නිසා//
      ++++++++++++++++++++++
      රාජ්‍ය ඉස්කාගාර සංස්ථාව වගේ

      Delete
    3. හරියට හරි. රජයක් කියන්නේ වෙනත් පුද්ගලයෙකුට ලබා ගත හැකි ලාභයක් බලයෙන් තමන්ට ලබා ගැනීමේ හැකියාව ඇති ආයතනයක්. මහජනතාව රජයකට එසේ කිරීමට ඉඩ දී තියෙන්නේ ඒ ලාභය නැවත මහජනතාව වෙනුවන් වඩා හොඳ දෙයකට යොදවනු ඇතැයි යන විශ්වාසයෙන්. එසේ නොකරනවානම් ඔවුන් කරන්නේ නීත්‍යානුකූල හොරකමක්.

      Delete
  2. අර පුස්කොලය කියවන්නට දී සල්ලි ගැනීමට නම් තැබෑරුම්කාරයා බීපු වෙලාවක් ම විය යුතුයි නේද? මස්කඩකාරයටා දෙන විට ඔහු අත මස් කපන පිහිය නැති මොහොතක් යොදා ගන්න.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමයි නේද? එහෙමනම් ඉතිං ගන්න ගානට අවදානම් අධිභාරයකුත් එකතු කරන්න වෙනවා.

      Delete
  3. ඒක හරි...................... කවුරුත් ගණන් ගත්තේ නැත්තං සල්ලි මොකටද???? ඒත් කට්ටිය ඒහෙම වෙන්නෑනේ... සල්ලි කිව්වොත් බෙල්ලත් කඩාගෙනනේ.....???? මොනවා කරන්නද???/ අපිත් ඒ හින්දාම ගණන් ගන්නවා.....

    ReplyDelete
    Replies
    1. ඕක තමයි සල්ලි වල, විශේෂයෙන්ම මුද්‍රිත මුදල් වල, තියෙන විශේෂත්වය. සුමානෙකින් ලෝකේ විනාශ වෙනවා කියලා සහසුද්දෙන්ම දන්නවනම් ඔය සල්ලි කාටවත් ඕනැ වෙයිද? (බය වෙන්න එපා ලෝක විනාසෙට තව සුමාන තුනක් තියෙනවා!)

      Delete
  4. දැන් හොර සල්ලි අච්චු ගැහිල්ල ගැන නිව්ස් එකක් දැක්කෙ නෑ සෑහෙන කාලෙකින්

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: