වෙබ් ලිපිනය:

Thursday, February 2, 2017

ඔය පර්මිට් ප්‍රශ්නය දීපං ළමයෙකුට

ඉහත මාතෘකාව යටතේ ලසන්ත වික්‍රමසිංහ නැමැත්තෙකු විසින් වසරකට පමණ පෙර යුතුකම සංවාද කවය වෙබ් අඩවියේ පළ කර තිබුණු ලිපියක් වෙත පාඨකයෙකු ඉකොනොමැට්ටාගේ අවධානය යොමු කර තිබුණේය. ලිපියට මුල් වූ රජයේ ප්‍රතිපත්ති තීරණය එලෙසම ක්‍රියාත්මක වුනාද නැත්නම් පසුව වෙනස් වුනාද යන්න මට හරියටම මතක නැත. කෙසේ වුවද, තීරුබදු රහිත වාහන බලපත්‍ර නිසා සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට එය මා බාධාවක් කර ගන්නේ නැත.

ලසන්ත වික්‍රමසිංහගේ ලිපිය මෙසේ ඇරඹේ.

"වාහන බලපත්‍රය නිසා වසරකට කෝටි 40 ක ආදායමක් රජයට අහිමි වන බව රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහුගේ ගණන් හැදිලි නම් තඹ දොයිතුවකට විශ්වාස කළ නොහැකිය. අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිත්යෙන් 5.4% ක් වෙන් කළ බව ඔහු පැවසීය. පසුව හෙළි වූයේ කාලයක් පුරා පැවති පාසල් ගොඩනැගිලි හා ඉඩම් වල වටිනාකමද (ඒවා පවතින වසර ගණනට බෙදා) එකතු කර මේ ඉලක්කම ඔහු සාදා ගත් බවයි. ඒ අනුව ඔහුගේ කිසිදු ඉලක්කමක් විශ්වාස නැතත්, මේ කෝටි හතළිහ හදා ගන්නට ඇත්තේ වසරකට නිකුත් කරන බලපත්‍ර ගණනට සමාන ප්‍රමාණයක් බලපත්‍ර රහිතව වාහන ගෙන්වූවා නම් දළ වශයෙන් කීයක් බදු වශයෙන් රජයට වැඩිපුර ලැබෙනවාදැයි බැලීමෙන් විය හැකිය. නමුත් සත්‍යය වශයෙන්ම බලපත්‍ර නොතිබුනා නම් එම වාහන ප්‍රමාණය හා ගෙන්වන වාහනවල වටිනාකමද අඩුවනවා ඇත. ඒ නිසා බලපත්‍ර දීමෙන් රජය මඟින් අඩු කරන බදු මුදලම බලපත්‍රය නොදීම මඟින් රජයට ලැබෙන්නේ නැත. එනිසා එම සම්පූර්ණ බඳු මුදල රජයේ පාඩුව ලෙස හැඳින්වීම දෝෂ සහගතය."

රවී කරුණානායක විසින් ඉදිරිපත් කළ පළමු අයවැයෙන් අධ්‍යාපනයට හා සෞඛ්‍යට වැඩිපුර මුදල් වෙන්කර තිබීම ඒ දවස්වල බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්විය. මේ සල්ලි වෙන් කිරිල්ලේ ඇත්ත නැත්ත ගැන ඉකොනොමැට්ටා විසින් පසුගිය මාර්තු මාසයේදී පෙන්වා දෙනු ලැබීය. මේ ගැන බන්දුල ගුණවර්ධන විසින් කතානායක වරයාව දැනුවත් කරනු ලැබ ඒ ගැන කතිකාවක් ඇති වී ඇති බව මෑතකදී බන්දුල ගුණවර්ධන සහභාගී වූ රූපවාහිනී සාකච්ඡාවකදී කියවුනේය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර අයවැය ඉදිරිපත් කරන විට අදාළ 'සංඛ්‍යාලේඛණ විජ්ජාව' නිසා විකෘති වූ සංඛ්‍යා නිවැරදි කර තිබුණේය. ඇණයා විසින් දමා තිබුණු කමෙන්ටුවකින් පෙනෙන පරිදි ඉකොනොමැට්ටා විසින් පෙන්වා දෙන්නට පෙර බන්දුල ගුණවර්ධන විසින් මේ සංඛ්‍යාලේඛණ විජ්ජාව තේරුම් ගෙන සිටියා විය හැකිය. එවැනි එක් අයෙකු හෝ පාර්ලිමේන්තුවේ සිටීම සතුටට කරුණකි.

අයවැය සංඛ්‍යාලේඛණ මත පදනම්ව ලසන්ත වික්‍රමසිංහ විසින් රවී කරුණානායකගේ ගණන් හැදිලි නම් තඹ දොයිතුවකට විශ්වාස කළ නොහැකිය කියා කියන කියමනෙහි ගතයුත්තක් නැත්තේ නොවේ.

දෙවනුව ලසන්ත වික්‍රමසිංහ විසින් හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශයක් වෙත අවධානය යොමු කරයි. හර්ෂ ද සිල්වාගේ එම ප්‍රකාශයෙන් වාහන බලපත්‍රය වෙනුවට රාජ්‍ය සේවකයින්ට සෘජුව මුදලක් ගෙවීමට රජය විසින් ගත් තීරණය ගැන කියැවේ. ලසන්ත වික්‍රමසිංහ විසින් මූලිකවම විචේචනයට ලක්වන්නේ මෙසේ වාහන බලපත්‍රය වෙනුවට රාජ්‍ය සේවකයින්ට සෘජුව මුදලක් ගෙවීමට රජය විසින් ගෙන ඇති තීරණයයි. ඒ ගැන ඔහු මෙසේ කියයි.

"මහදැන මුත්තා එලුවාගේ බෙල්ල කැපුවා මිස එළුවාගේ අයිතිකාරයාගේ (ගමරාළගේ) බෙල්ල කපා ගත්තේ නැත. නමුත් මේ ආර්ථික ඔස්තාර්ලා එළුවාගේ බෙල්ල කපා නවතින්නේ නැත. එළුවාට අහිමි කළ හිස සවි කරන්නට උත්සාහ කරන්නේ ගමරාළගේ බෙල්ල කපාගෙනවිත්ය."

ඉන්පසුව ඔහු මේ ප්‍රශ්නය ළමයෙකුට දුන්නොත් ලැබෙන පිළිතුරු ඉදිරිපත් කරයි. ඒ පිළිතුරු පහත උපුටා පළ කෙරෙන අතර, ඉකොනොමැට්ටාගේ පිළිතුරුද ඒ සමඟම පළවේ.

1). වාහන බලපත්‍ර ලබා දීම සදහා රජයට වැයවන මුදල කීයද? (කඩදාසි සහ මුද්‍රණ වියදම් ආදිය නොසළකා හරින්න)

ළමයා: බිංදුවයි.

ඉකොනොමැට්ටා: වාහන බලපත්‍ර ලබා දීම සදහා රජය විසින් සෘජුව කිසිදු මුදලක් වෙන් කළ යුතු නැත. එහෙත් එයින් අදහස් වන්නේ වාහන බලපත්‍ර දීමෙන් රජයට කිසිදු අවාසියක් සිදු නොවන බව නොවේ. වාහන බලපත්‍ර දීමේ වියදම වන්නේ එහි ආවස්ථික පිරිවැයයි. එනම්, වාහන බලපත්‍ර නොදී සිටීමේ විකල්පයට සාපේක්ෂව රජයට සිදුවන වාසිය හා අවාසියයි. මෙහි සාකච්ඡා වී ඇති රජයේ ප්‍රතිපත්ති තීරණයට රට මුහුණ දෙන ගෙවුම් ශේෂ අර්බුදයද සම්බන්ධ නිසා මේ තීරණයෙන් ගෙවුම් ශේෂයට වන බලපෑම ගැනද අපි කතා කරමු.

ලංකාවේ වාහන බලපත්‍ර ලබාගන්නා පිරිස් එහි ආර්ථික බලපෑම අනුව කණ්ඩායම් දෙකකට වර්ග කළ හැකිය.

පළමු කණ්ඩායම තමන්ගේ පාවිච්චියට වාහනයක් මිලදී ගැනීමට මේ බලපත්‍රය පාවිච්චි කරන අයයි. වෛද්‍යවරුන් බහුතරයක් වැටෙන්නේ මේ පළමු කණ්ඩායමටය. ලංකාවේ වෛද්‍යවරයෙකුට වාහනයක් නැතුවම බැරි ඇයි කියාත්, වඩා මිල අධික වාහන ඕනෑ වෙන්නේ ඇයි කියාත් පෙර ලිපියකින් පැහැදිලි කර තිබේ.

දෙවන කණ්ඩායම බලපත්‍රය විකුණා මුදලක් හොයා ගන්නා අයයි. දේශපාලනඥයින් බොහෝ දෙනෙකු සිටින්නේ මේ කාණ්ඩයේය. තමන්ගේ වාහන අවශ්‍යතාවය රජයේ වාහන වලින් පිරිමසා ගන්නා මේ බොහෝ දෙනෙක් වාහන බලපත්‍රය යොදා ගන්නේ ක්ෂණික ආදායම් මාර්ගයක් වශයෙනි. මේ කාණ්ඩයේ ඇතැම් රජයේ සේවකයෝද සිටිති.

මේ එක් එක් කණ්ඩායමට වාහන බලපත්‍ර ලබා දීමේ ප්‍රතිඵලය ගැන හැදෑරීමට පළමුව සරල උපකල්පනයක් ලෙස සියලුම වාහන සඳහා රජය විසින් වාහනයේ වටිනාකම මෙන් 100%ක බද්දක් අයකරන බවත්, වාහන බලපත්‍රය ඇති අය මේ බදු මුදල ගෙවිය යුතු නැති බවත්, වාහන හා අදාළ වෙනත් බදු නැති බවත් අපි උපකල්පනය කරමු. මේ අනුව, බලපත්‍රයක් ඇත්නම් සාමාන්‍ය වෙළඳපොළ මිලෙන් 50%කට වාහනයක් මිලදී ගත හැකිය.

පළමුව, අපි පළමු කණ්ඩායම දෙස බලමු. බලපත්‍රය ඇති විට රුපියල් ලක්ෂ 40ක් ගෙවා වාහනයක් මිල දී ගන්නා අයෙකුට බලපත්‍රය නැත්නම් රුපියල් ලක්ෂ 80ක් ගෙවන්නට සිදුවේ. එමෙන්ම, බලපත්‍රය ඇති විට රුපියල් ලක්ෂ 20ක් ගෙවා වාහනයක් මිල දී ගන්නා අයෙකුට බලපත්‍රය නැත්නම් රුපියල් ලක්ෂ 40ක් ගෙවන්නට සිදුවේ. වාහන බලපත්‍රය මඟින් මෙවැන්නෙකුට ලැබෙන වාසි කිහිපයකි. පළමුව, බලපත්‍රය නොතිබුණේනම් තමන්ට පාවිච්චි කරන්නට නොලැබෙන මිල අධික වාහනයක් පාවිච්චි කරන්නට ලැබේ. දෙවනුව, මෙය විකුණන විටක සැලකිය යුතු ලාබයක් ලැබිය හැකිය. මේ වාසි දෙකම වැඩි වන්නේ වාහනයේ මිල වැඩි වූ තරමටය. ඒ නිසා, වාහන බලපත්‍රයක් ඇති මේ කණ්ඩායමේ අයෙකු හැම විටම වගේ කරන්නේ තමන්ට යෙදවිය හැකි උපරිම මුදල වාහනය වෙනුවෙන් යෙදවීමයි.

මේ අනුව, රුපියල් ලක්ෂ 40ක් ගෙවා වාහනයක් මිල දී ගන්නා වාහන බලපත්‍රයක් ඇති අයෙකුට බලපත්‍රය නැත්නම් රුපියල් ලක්ෂ 80ක් ගෙවා එම වාහනයම මිල දී ගැනීමේ හැකියාවක් නැත. ඒ, ඔහුට හෝ ඇයට වැය කළ හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ 40ක් බැවිනි. ඒ නිසා මේ තැනැත්තා කරන්නේ එයින් අඩක වටිනාකම ඇති වාහනයක් මිලදී ගැනීමයි. එනම්, බදුද සමඟ වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 40ක් හා බදු රහිත වටිනාකම රුපියල් ලක්ෂ 20ක් වන වාහනයක් මිල දී ගැනීමයි.

මේ අනුව, බලපත්‍රය අහෝසි කළහොත් රටෙන් පිටතට ඇදී යන ඩොලර් ප්‍රමාණය 50%කින් අඩු වේ.  එමෙන්ම, දැනට මේ කාණ්ඩයේ අයෙකු ආනයනය කරන වාහනයකට ගෙවිය යුතු බදු මුදල රජයට නොලැබෙන නමුත්, ඒ මුදලින් අඩක් රජයට බදු ලෙස ලැබේ. මේ කණ්ඩායමේ අයට වාහන බලපත්‍ර ලබා දීම නිසා රජයට සිදුවන පාඩුව මෙසේ අහිමි වන බදු මුදලයි. එය දැනට තීරු බදු රහිතව ආනයනය කරන වාහනයකට ගෙවිය යුතු බදු මුදලට නොව එයින් අඩකට සමානය.

මේ කණ්ඩායමේම සිටින රුපියල් ලක්ෂ 20ක් ගෙවා වාහනයක් මිල දී ගන්නා වාහන බලපත්‍රයක් ඇති අයෙකු වෙත දැන් අවධානය යොමු කරමු. බලපත්‍රය අහිමි වූ විට මේ පුද්ගලයාට ආනයනය කරන්නට එයින් අඩක වටිනාකමට ගත හැකි (එනම් තීරු බදු රහිතව රුපියල් ලක්ෂ 10කට ගත හැකි) සුදුසු වාහනයක් නැත. ඒ නිසා ඔහුට වාහනයක් මිලදී ගැනීමේ අදහස අත්අරින්නට සිදුවේ. රටට ඩොලර් ඉතුරු වේ. එහෙත් රජයට වැඩිපුර බදු මුදලක් නොලැබේ.

පළමු කණ්ඩායම යටතේ වැටෙන ඉහත අවස්ථා දෙකම සැලකූ විට තමන්ගේ පාවිච්චිය සඳහා වාහන ගෙන්වන අයට බලපත්‍ර දීම නිසා රජයට අහිමි වන බදු ආදායම එම කාණ්ඩයේ වාහන සඳහා අයවිය යුතු තීරුබදු වලින් අඩකට වඩා අඩුය. ඒ නිසා බලපත්‍ර දීම නැවැත්වුවහොත් රජයට සිදුවන පාඩුව බලපත්‍ර යටතේ ආනයනය කර ඇති වාහන සඳහා වන තීරුබදු වලින් අඩකට වඩා අඩුය. රටට ඉතිරි වන ඩොලර් ප්‍රමාණය මේ ආනයන වියදමෙන් අඩකට වඩා වැඩිය.

දැන් අපි දෙවන කණ්ඩායම වෙත හැරෙමු. මේ කණ්ඩායමේ සිටින්නෙකු වාහන බලපත්‍රය යොදා ගන්නේ එය වෙනත් අයෙකුට විකුණා, ඒ වෙනුවෙන් හැකි ඉහළම මිල ලබා ගැනීම සඳහාය. එවැන්නෙකු තමන්ගේ මුදල් යොදවා වාහනයක් මිල දී නොගන්නා බැවින් පළමු කණ්ඩායමේ අයෙකුට මෙන් "අතේ ඇති මුදල" සීමාකාරී සාධකයක් නොවේ.

වාහන බලපත්‍රයක මිල තීරණය වන්නේ කෙසේද? ඉල්ලුම හා සැපයුම අනුවය. සැපයුම ඇති වන්නේ වාහන බලපත්‍ර හිමි එහෙත් තමන්ටම වාහනයක් මිල දී ගැනීමට අවශ්‍යතාවයක් නැති දෙවන කණ්ඩායමේ අයගෙනි. ඉල්ලුම ඇතිවන්නේ අළුත් වාහනයක් තමන්ගේ මුදලින් ආනයනය කිරීමේ අවශ්‍යතාවය ඇති අයගෙනි.

කිසියම් මුදලක් ගෙවා වාහනයක් තමන්ගේ පාවිච්චියට ආනයනය කරන වාහන බලපත්‍රයක් අහිමි අයෙකු මේ වාහනය සඳහා (අපේ පෙර උපකල්පනය අනුව) 100%ක බදු මුදලක් ගෙවිය යුතුය. වාහන බලපත්‍රයක් ලබා ගැනීමෙන් මේ බදු මුදල නොගෙවා ඉතිරි කර ගත හැකි වුවත්, බලපත්‍රය මිල දී ගැනීම සඳහා එයින් කොටසක් ගෙවිය යුතුය. මෙහිදී බලපත්‍රය මිල දී ගන්නා පුද්ගලයා හැකි අඩුම මිලකට එය ගන්නට උත්සාහ කරද්දී විකුණන පුද්ගලයා වැඩිම මිලක් සොයයි.

රුපියල් ලක්ෂ 20ක බදු රහිත වටිනාකමක් ඇති වාහනයක් මිල දී ගන්නට සිටින අයෙකු වාහන බලපත්‍රයක් සඳහා රුපියල් ලක්ෂ 20 ඉක්මවන මිලක් කිසිසේත්ම නොගෙවන බව පැහැදිලිය. එහෙත්, රුපියල් ලක්ෂ 40ක බදු රහිත වටිනාකමක් ඇති වාහනයක් මිල දී ගන්නට සිටින අයෙකු වාහන බලපත්‍රයක් සඳහා රුපියල් ලක්ෂ 40 ක් දක්වා මිලක් ගෙවන්නට ඉඩ තිබේ. ඒ නිසා, වාහන බලපත්‍රයකට වැඩිම මිලක් ගෙවන්නට ඉදිරිපත් වන්නේ වැඩිම මිලකට වාහනයක් ගෙන්වන්නට සූදානමින් සිටින අයෙකි. වාහන බලපත්‍රයෙන් ලැබෙන උපරිම බදු සහනය ලක්ෂ 100නම් (උදාහරණයක් ලෙස) අවසානයේදී සියළුම බලපත් හිමියන් නවතින්නේ එවැනි අධික මිලකට වාහනයක් ගෙන්වන්නට අවශ්‍යව සිටින අයෙකු හමුවේය. වාහන බලපත්‍රය නිසා එවැන්නෙකුට ලක්ෂ 100ක බදු මුදලක් ඉතිරි වේ. ඒ නිසා වාහන බලපත්‍රය සැලකිය යුතු මුදලකට මිලදී ගත්තද එවැන්නෙකුට ලාභයක් තිබේ.

මේ අවස්ථාවේදී රජයට සිදුවන අලාභය වාහන බලපත්‍රයකින් ලැබෙන උපරිම බදු සහනයට සමානය. නමුත්, වාහන බලපත්‍රය විකිණෙන්නේ ඊට වඩා අඩු මිලකටය. ආනයනය කෙරෙන්නේ කොහොමටත් ආනයනය කෙරෙන්නට තිබුණු වාහනයක් බැවින් මෙහිදී ගෙවුම් ශේෂයට බලපෑමක් නොවේ.

2). අළුතෙන් යෝජනා වී ඇති පරිදි බලපත්‍රය වෙනුවට රජයේ නිලධාරීන්ට මුදල් ලබා දීමට රජයට මුදලක් වැය වේද?

ළමයා: නැතුව. මුදල් දෙන්න මුදල් වැය වෙනවා නේන්නම්. ගොන් ප්‍රශ්නයක්නේ.

ඉකොනොමැට්ටා: මුදල් දීමට මුදල් වැය වුවත්, ඒ හේතුවෙන් මුදල් ඉතිරියක් වේනම් ශුද්ධ ලෙස රජයට මුදල් වැයවීමක් සිදු නොවේ. රජයට මුදල් වැය වනවාද යන්න තීරණය වන්නේ බලපත්‍රයක් වෙනුවෙන් ගෙවන මුදලේ ප්‍රමාණය අනුවය. මෙසේ ගෙවන මුදල වාහන බලපත්‍රයකින් ලැබෙන උපරිම බදු සහනය වන රුපියල් ලක්ෂ 100ක් යැයි සිතමු. දැන් දෙවන කාණ්ඩයේ අයගේ අවශ්‍යතාවය ඉටුවී ඇති නිසා ඔවුන් මේ මුදල තියාගෙන ඉන්නවා මිස වාහන ගන්නට යන්නේ නැත. වාහන බලපත්‍රය විකුණා ලැබෙන මුදලට වඩා වැඩි මුදලක් ඔවුන්ට ලැබී ඇත. බලපත්‍රය නැති වුනා කියා බලපත්‍ර මිලදී ගෙන වාහන ගෙන්වන්නට සිටි අය එය නොකර ඉන්නේ නැත. ඒ නිසා, ඔවුන් වාහන ගෙන්වන අතර එමඟින් රජයට කලින් නොලැබුණු බදු මුදලක් ලැබේ. රජය වැය කළ මුදලට ඉතා ආසන්න මුදලක් රජයට බදු ලෙස නැවත ආපසු ලැබේ. ගෙවුම් ශේෂයට විශේෂ බලපෑමක් නැත.

පළමු කාණ්ඩයේ අයට දැන් සැලකිය යුතු මුදලක් අතට ලැබී ඇති නිසා වැඩි වටිනාකමක වාහනයක් ගෙන්වන්නට පුළුවන. එහෙත්, බදු මුදල් ගෙවිය යුතුය. බදු රහිතව ලක්ෂ 40ක වාහනයක් ගන්නට සිටි තැනැත්තා අතේ දැන් ලක්ෂ 140ක් ඇති නිසා ලක්ෂ 70ක වාහනයක් ගෙන්වා තවත් ලක්ෂ 70ක් බදු ගෙවන්නට පුළුවන. එමෙන්ම, බදු රහිතව ලක්ෂ 20ක වාහනයක් ගන්නට සිටි තැනැත්තා අතේ දැන් ලක්ෂ 120ක් ඇති නිසා ලක්ෂ 60ක වාහනයක් ගෙන්වා තවත් ලක්ෂ 60ක් බදු ගෙවන්නට පුළුවන. අවසානයේ රජය ගෙවූ ලක්ෂ 100න් කොටසක් පමණක් ආපසු රජයට ලැබේ. පෙරට සාපේක්ෂව, වැඩි මිල වාහන ආනයනය කෙරෙන නිසා ගෙවුම් ශේෂයට ඇති වන්නේ නරක බලපෑමකි.

වාහන බලපත්‍රයක් වෙළදපොලේ විකිණෙන්නේ එයින් ලැබෙන උපරිම බදු සහනයට වඩා අඩු මිලකටය. රටේ විකිණෙන වාහන බලපත්‍ර ප්‍රමාණය මිල අධික වාහන සඳහා වන ඉල්ලුමට වඩා බෙහෙවින් වැඩියයි සිතුවොත් බලපත්‍රයක් විකුණන අයෙකුට සැලකිය යුතු හෙට්ටු කිරීමේ හැකියාවක් ඇති නිසා සිය බලපත්‍රයට තරඟකාරී මිලක් ලබා ගත හැකි වීමට ඉඩ තිබේ. මෙහිදී බලපත්‍රයකට ලැබෙන උපරිම බදු සහනය රුපියල් ලක්ෂයක්නම් ඒ මුදලින් අනුන්ගේ බලපත්‍රයකින් වාහනයක් මිලදී ගැනීම නිසා සිදුවන අපහසුතාවය වෙනුවෙන් මුදලක් අඩු කළ පසු ඉතිරි මුදල බලපත්‍රයක වෙළඳපොළ මිල වනු ඇත. මේ මිල ලක්ෂ 75ක් ලෙස සලකමු. ඒ නිසා, රජයට රුපියල් ලක්ෂ 100ක්ම නොගෙවා ලක්ෂ 80ක් වැනි මුදලක් පමණක් ගෙවන්නට බලපත්‍ර හිමියන් කැමති කරගන්නට බැරිකමක් නැත. එවිට පළමු කාණ්ඩයෙන් රජයට වන අවාසිය අඩුවන අතර දෙවන කාණ්ඩයෙන් ලාභයක් ලැබීමට පුළුවන. ගෙවුම් ශේෂ බලපෑමද අවම කර ගැනීමට හෝ හොඳ අතට හරවා ගැනීමට පුළුවන.

3) වාහන බලපත්‍ර ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් කීයක් වෙන් කළ යුතුද?

ළමයා: ඒ මොකටද? කීයක් වත් වෙන් කරන්න ඕනා නෑ. බලපත්‍රය අච්චු ගහලා දෙන එකනේ.

ඉකොනොමැට්ටා: වාහන බලපත්‍ර ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ යුතු නැති වුවත් පළමු ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් පැහැදිලි කළ පරිදි රජයට ලැබෙන ආදායම් අඩුවන නිසා වෙනත් කටයුතු සඳහා වන මුදල් වෙන් කිරීම් සීමා කිරීමට සිදුවේ.

4) නව ක්‍රමයට මුදල් ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ යුතුද?

ළමයා: නැතුව. සල්ලි දෙන්නේ පොලීසියෙන්ද?

ඉකොනොමැට්ටා: නව ක්‍රමයට මුදල් ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ යුතුය. එහෙත්, දෙවන ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් පැහැදිළි කළ පරිදි, මෙසේ වෙන් කරන මුදලෙන් කොටසක්, එම මුදලම, හෝ වැඩි මුදලක් බදු ආදායම් ලෙස රජයට ආපසු ලැබේ. මෙය තීරණය වන්නේ බලපත්‍රලාභියෙකු වෙනුවෙන් ගෙවන මුදල, වාහන බලපත්‍රයකින් ලැබෙන උපරිම බදු සහනය,  බලපත්‍රහිමියෙකු විසින් ලබා ගන්නා සාමාන්‍ය බදු සහනය හා බදු අනුපාතිකය යන කරුණු මතය.

5) ඒ මුදල සොයා ගත යුත්තේ කෙසේද?

ළමයා: අපේ අම්මලා තාත්තලා කඩෙන් ගන්න බඩු ටිකට බදු ගහලා තමා ඉතින්. ලංකාවේ වක්‍ර බදුනේ වැඩි.

ඉකොනොමැට්ටා: මේ තීරණය නිසා රජයේ වියදම වැඩි වුවහොත් එය පියවෙන්නේ බදු මුදලිනි. වියදම අඩු වුවහොත් වාසියද එසේමය. අමතර මුදල් සොයා ගැනීමට අවශ්‍ය වන්නේ වියදම වැඩි වුවහොත් පමණි.

6) කොහොමද රවීල හර්ෂල මලික්ල රනිල්ල එකතු වෙලා රාජ්‍යය වියදම අඩු කරපු හැටි?

ළමයා: වෙනස සැපද?

ඉකොනොමැට්ටා:සිදුවී ඇත්තේ රාජ්‍ය වියදම අඩුවීමක්ද නැත්නම් වැඩිවීමක්ද කියන්නට තරම් කරුණු ප්‍රමාණවත් නැත. කෙසේ වුවද, මේ තීරණය හේතුවෙන් රජයේ අයවැය හිඟයට හෝ ගෙවුම් ශේෂ හිඟයට සිදු විය හැකි හොඳ හෝ නරක බලපෑම එතරම් විශාල විය නොහැකිය. ලාබ පාඩු කෙසේ වුවත් වාහන බලපත්‍රය වෙනුවට සෘජුව මුදල් දීම වඩා පාරදෘශ්‍ය ක්‍රමයකි.

(Image: https://www.colombotelegraph.com/index.php/mp-tax-free-vehicle-permits-abuse-ciaboc-charged-for-condoning-corruption/)

14 comments:

  1. කෙලින් ම මේ සාකච්ඡාවට අදාල නැති වුනත්, මේ හා සම්බන්ධ කරුණක් ලියන්නම්.

    මේ "තීරු බදු රහිත" වාහන බලපත්‍ර යැයි හැඳින්වෙන බලපත්‍රයකින් වාහනයක් ආනයනය කරන විට, මට මතක විදියට නම් (1994), ඇත්තටම 25% ක බද්දක් ගෙවයි යුතුයි. සමහර විට ඒ වෘත්තිකයින්ට පමණක් වී, දේශපාලුවන්ට කිසිම බද්දක් නොතිබුණා ද විය හැකියි.

    ඒ 25% සහන බද්ද, පසු කලෙක අහෝසි කළා ද කියා මා දන්නේ නෑ.

    නමුත් එලෙස 25% බද්දට ගෙන්ව වාහනයක්, අපට වැයවුණු මුදළට රක්‍ෂණය කළොත්, එයට අනතුරක් සිදුවී, අමතර ඛොටස් පිටරටින් ගෙන්වන්නට සිදුවුණහොත්, ඒ සඳහා ලැබෙන්නේ අමතර කොටස් සඳහා ගිය පිරිවැයෙ බදු කොටසින් 25%ක් පමණකි කියාත් මගේ මතකය කියනවා.

    වැයවුණු මුදළට ණොව වෙළඳපොලේ වටිනාකමට වාහනය රක්‍ෂණය කළ හැකිදැයි මා සොයා බැලුවේ නෑ!

    ReplyDelete
  2. "තීරු බදු රහිත" වාහන බලපත්‍රයකින් ගෙන්වන වාහනයක් සඳහා සඳහා ගෙවිය බදු මුදල මේ වන විට සාමාන්‍ය බදු මුදලින් 50% බව කියවෙනවා.

    ඔය බලපත්‍ර නිසා සිදුවන දුෂණය නැති කිරීමට රජය කළ යුත්තේ මේ බලපත්‍ර වෙනුවට මුදල් දීම නොව, බලපත්‍ර ක්‍රඟය අහෝසි කර දමා, වාහන ආනයනය සඳහා බදු දැනට ඇති මට්ටමෙන් 50% කිරීමයි.

    එයින් රජයේ බදු ආදායමට හෝ විශේශ මුදල් සංචිතයන්ට ලොකු වෙනසක් වේ යැයි මා සිතන්නේ නෑ.

    ReplyDelete
  3. මං හිතන්නේ ඔය ඩියුටී ෆ්‍රී පර්මිට්වලට කලින් වාහනයක් ආනයනය කරන්නට හැකිවුණේ විදේශයක සිට පැමිණෙන අයට පමණයි. සමහර විට ඒ රී-කන්ඩිෂන් වාහන සඳහා කොන්දේසියක් විය යුතුයි.

    මා මිලට ගත් මුල්ම වාහනයේ අයිතිකාරිය ලෙස සඳහන්ව තිබුණේ වයඹ පලාතේ ගමක කාන්තාවක ගේ නමක්.

    ReplyDelete
    Replies
    1. මම දන්නා පරිදි නම් දැන් විදේශයක වැඩ කර පැමිණෙන අයටත් බදු සහන ලැබෙන්නේ නෑ.. විදේශ රටවලදී භාවිතා කරන වාහන ලංකාවට ගෙනයාමේදීත් බදු සහන නැති බවයි මට නම් දැන ගන්න ලැබුනේ.. දැන් තත්වය ගැන නිවැරදි විස්තර දන්නා කෙනෙක් ඉන්නවද?

      Delete
  4. මෙතන අවධානය ලක් නොවෙච්ච දෙයක් තියෙනවා. ඇත්ත කතාව නම් ඔය වාහන ගැනීමේ උන්මාදය පිරිමි අයට වැඩියි. (රථ ගාය) ඒ වගේම ගෙවල්වල ආර්ථික තීරණ ගන්නේ බවලත් හෙවත් බලවත් උදවියනේ. කාර් පර්මිට් හම්බෙන හින්දම දැන් කාර් එකක් ගන්න හිතන අයත් ඉන්නවනේ. ඒත් එකපාර සල්ලි කන්දක් ලැබෙන කොට ඒ බලවත් ඈයෝ තමන්ගේ ස්වාමිපුරුෂයාට (ස්වාමියා?) ඒකෙන් වෙන දෙයක් කරන්න බලපෑම් කරනවා. මොකද පර්මිට් වගේ නෙවෙයිනේ මෙතන සල්ලි කුට්ටියක්නේ එන්නේ. එතකොට වාහන ගෙන්වනවාට වඩා පර්මිට් වෙනුවට සල්ලි ගන්න ඈයෝ කැමති වෙනවා. ඒත් ඕකට කට්ටිය අකැමැති වෙන්නේ උද්ධමනයත් එක්ක මුදලේ අගය අඩු වෙන හින්දා.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, මෙය තීරණය වෙන්නේ ගෙවන මුදල මත නේද? පහළ ඇනෝ කියා ඇති පරිදි ගෙවන්නේ උපරිමය ලක්ෂ 10කට යටත්වනම් මෙය වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒත් ගණන වැඩිනම් ඔබ කියන දෙය යම් තරමකට සිදුවිය හැකියි.

      Delete
  5. බලපත් නිසා දේශපාලකයින්ට නිළධාරින්ට යම් වාසියක් ලැබෙන්නේ නම් එම දීමනාව වෙනත් ක්‍රමයකට මුදලින් ගෙවනවා නම් මම සතුටුයි..
    අපේ නගර වාහන වලින් පිරිලා.. මේ බදු සහ සහ ආයතන මගින් වාහනම ගන්න දිරිගැන්වීම් නිසා පාරේ වාහන වැඩිවෙනවා..වාහනේට ලීස් එක ගෙවනවා..ෆුවල් එලවන්ස් කකුත් ලිබෙනවා..ඉතිං ඒ සී නෙමෙයි මොන විදියෙේබස් දැම්මත් නිළධාරින් වාහනේ පාරට දාගෙන බලාගෙන ඉන්නවා කවද හරි ඉඩක් ලැබෙනකල්.. ඉන් පස්සේ අපි පාරවල් හදන්න ඕනි..දියුනු කරන්නට ඕනි..

    ලංකාව කිලෝමීටර දාස් ගනන් එහෙ මෙහෙ යන්න තියෙන රටක් නෙමෙයි.. සාපේක්ෂව ගමන් දුර බොහොම අඩුයි.. වරප්‍රසාදයක් විදියට අතීතයේ වාහන දුන්නේ ඒ කාලේ වාහනේක තියෙන වේගය ගැන සලකලා වෙන්න ඇති..ඒත් දැන්නම් වාහන පිණිස රජය මගින් කරන දිරිගැන්වීම් සැබැවින්ම තේරුමක් නැහැ..ඊට වඩා හොදයි ආයතන පද්ධති වල මට්ටම් අනුව පොදු වූ විශාල බස් සේවා වැනි වඩාත් ඉදිරිගාමී සේවාවන් ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරන එක..

    ReplyDelete
  6. ඉකොනෝ ලිපිය අවසන් කරලා තියෙන්නේ රජයට වාසියක්ද පාඩුවක්ද වෙන්නේ කියන්න ප්‍රමාණවත් සාධක නැහැ කියමින්. නමුත් එය හුදෙක්ම ලිපියේ කර ඇති උපකල්පන මත පදනම් වූ ප්‍රකාශයක් පමණයි.
    මේ අයවැය තීරණය තිබුනේ බලපත්‍රය වෙනුවට ලක්ෂ 10ක් වගේ උපරිමයකට යටත්ව මුදලක් දෙනවා කියල මට මතක විදියට. ලක්ෂ 100 කොහෙත්ම නැහැ. මේකෙන් රජයට ලාබයක්ද පාඩුවක්ද වෙන්න තිබුනේ කියන්න වෙන දේවල් ගැන හිතන්න ඕනේ නැහැ. රජයේ සේවකයෝ පරල වෙලා මේකට විරුද්දව අවි අමෝරා ගත්තු විදියම ඇති. මෙතන තියෙන්නේ සීරෝ සම් ගේම් එකක්. යම් පිරිසකට වාසියක්ව වෙනවා කියන්නේ ඒ වාසිය වෙනත්ක පිරිසකට අලාබයක් වෙනවා කියන එකයි. රජයේ සේවකයෝ කොන්ඩේ බැඳපු චීන්නු නෙමෙයිනේ කාටද අලාභේ වෙන්නේ කාටද ලාබ වෙන්නේ කියල තෙරුම් නොගෙන ඉන්න. හැබැයි මේ ඔරිජිනල් ලිපිය ලියපු එකා නම් පට්ට ගොබ්බයෙක් ඌ සිරාවටම ලාබ පාඩු ගණනය කරලා තියෙන්නේ මෙහෙම හිතලනම්.
    ඉකොනොටත් මම ආරාධනය කරනවා පෙර ඩොලර් 25000ක තීරුබදු රහිත වටිනාකමක් ඇති වාහනයක් ගෙන්වන්න සම්පුඋර්ණ බදු සහනය ලැබුණු කාණ්ඩයකට ඒ වෙනුවට රුපියල් ලක්ෂ 10ක් ලැබුනම කාටද ලාබ කාටද පාඩු වෙන්නේ කියල ගණන් හදල පෙන්නන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඇනෝ! මීට වඩා දෙයක් නිශ්චිතව කියන්න තරම් තොරතුරු මට සොයාගත හැකි වුණේ නැහැ. මම ලාබ පාඩු හරියටම කියන්න බැහැ කියන එකෙන් අදහස් කළේ එය මේ ගෙවන මුදල මත තීරණය වන දෙයක්, එය නොදැන කියන්න බැහැ කියන එකයි. ගණන දන්නවනම් එය කියන්න බැරිකමක් නැහැ. මේ ලක්ෂ 10 මුදල අයවැය යෝජනා වල තිබුණා වෙන්න ඇති. මම ලිපිය ලියන්න කලින් අයවැය යෝජනා වල ඒ ගැන සොයා බැලුවේ නැහැ. මෙසේ දෙන මුදල රුපියල් ලක්ෂ 10ක උපරිමයකට යටත්නම් රජයට ශුද්ධ වාසියක් වෙනවා කියන එක පැහැදිලියි. මේ ගැන දැන නොසිටි නිසා මගේ උපකල්පනය වුනේ මෙසේ ගෙවන මුදල දැනට වාහන බලපත්‍ර හිමි අය කැමති කරගැනීමට ප්‍රමාණවත් මුදලක් විය යුතු බවයි. එහෙමනම් එය සීරෝ සම් ගේම් එකක් වෙන්නේ නැහැ. ලක්ෂ 10ක් වැනි අඩු මුදලක් ගෙවා ඔවුන්ගේ කැමැත්තෙන් මේ යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි බව පැහැදිලියි. එවැනි අඩු මිලක් ගෙවා බලපත්‍රය නැති කරන විටනම් මෙය සීරෝ සම් ගේම් එකක් වෙනවා තමයි. අදාළ අනෙක් අවශ්‍ය දේ නම් දැනට වාහනයකට ගෙවිය යුතු බදු ප්‍රතිශතය ආසන්නව කොපමණද? බදු සහන ප්‍රතිශත, උපරිමයන් හා ලැබෙන අය ගැනනම් මුදල් අමාත්‍යංශ චක්‍රලේඛ වලින් තොරතුරු සොයාගත හැකියි. මගේ අදහස වසරකට ලබා දෙන බලපත්‍ර ප්‍රමාණය 5000-10000 අතර බවයි. එය නිවැරදිද? අමතර කරුණු තිබේනම් වැඩි යමක් කියන්න පුළුවන්. ඇත්තටම ලිපිය සංශෝධනය කර නැවත පලකරන්න වුනත් පුළුවන්.

      Delete
    2. මගේ ලඟත් බලපත්‍රය වෙනුවට දෙන්න හදපු මුදල ගැන නිල දත්ත නැහැ. මම හිතන්නේ නිල දත්තයක් කොහෙවත් නැහැ ඒ ගැන මොකද බජට් ප්රෝපොසල් එක ක්‍රියාත්මක වෙන තත්වෙකට ආපු නැති නිසා.
      නමුත් මට මතක විදියට රවී හෝ හර්ෂ ඩ සිල්වා ප්‍රවෘත්ති සාකච්චාවකදී තමයි ඔය ලක්ෂ 10 කතාව කිව්වේ.
      වසරකට දුන්න පෙර්මිට් ගැන නම් මහිතේ වසරකට 10000කට ආසන්න ගණනක්
      http://www.treasury.gov.lk/documents/10181/48912/01+2016-07272016001934/85244e53-1138-43a6-b0b1-fe6ea0583efa?version=1.0

      බදු ප්‍රතිශතයත් මේ ලිපිය අනුව සංශෝධය කල පසු 30000ට යටත්ව 50% බදු ප්‍රතිශතයක්. ඉස්සරනම් තිබුනේ ඩොලර් 10000, 20000 වගේ එක එක කැටගරි වලට 100% බදු රහිත කිරීමක් නේද?
      මම ඉස්සර හොයල බලපු විදියට බලපත්‍රයක් වෙලදපොලේ විකුනුනේ බදු වටිනාකමින් 50% වගේ ගානකට. (ලක්ෂ 20 බදු සහන බලපත්‍රයක් ලක්ෂ 10 වගේ මිලකට)
      සමාවෙන්න. නිවැරදිම ගණනය කිරීම සඳහා දත්ත ප්‍රමාණවත් නැහැ. මම අදහස් කලේ දල වශයෙන් වෙන්න යනදේ ගැන අපිට අදහසක් ලබා ගත්හකිව තිබුන කියන එකයි.

      Delete
    3. http://www.divaina.com/2015/10/28/news14.html

      Delete
    4. මෙයට පෙර තිබිල තියෙන්නේ 50%-70% පරාසයක වගේ මට පෙන්නේ.
      2010 චක්‍රලේකයක් ලිපිය අනුවනම්
      http://rama-auto.com/?page_id=1245

      Delete
    5. බොහොම ස්තුතියි මේ විස්තර හොයල දැම්මට. මටත් හොයා බැලුවහම තව විස්තර ටිකක් ලැබුණා. පසුව වැඩි යමක් ලියන්නම්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: