වෙබ් ලිපිනය:

Wednesday, June 20, 2018

ලංකාවට වාහන වැඩිද?

ගත වෙමින් පවතින්නේ මෙවර ග්‍රීෂ්ම නිවාඩුව තුළ ලංකාවේ ගෙවන අවසන් සතියයි. නිවසෙන් බැහැරව මසක කාලයක් ගෙවන විට සාමාන්‍යයෙන් කරන බොහෝ දේ මඟ හැරී යාම අසාමාන්‍ය දෙයක් නොවේ. ප්‍රමුඛතාවන් වෙනස්වීම, අන්තර්ජාල සම්බන්ධතා වල සීමාවන් ආදී විවිධ හේතු මත ඉකොනොමැට්ටාගේ වියුණු යාවත්කාලීන කිරීමද එසේ මඟ හැරුණු කටයුතු ලැයිස්තුවට එකතු වී ඇති අතර අවසන් වියුණු සටහන ලියා පළ කර තිබෙන්නේ මසකටද පෙරය.

කෙසේ වුවද, මෙවර ලංකාවේ ගත කළ මසකට ආසන්න කාලය සාපේක්ෂව ඵලදායී වූ බැව් කිව මනාය. ජීවිතයේ විවිධ කාල වලදී සමීපව ඇසුරු කළ මිතුරු මිතුරියන් රැසක් නැවත හමු වන්නට ඉඩ සැලසුණු අතර ඉදිරි දින කිහිපය තුළද එවැනි හමු ගණනාවක්  සිදුවීමට නියමිතව තිබේ. එමෙන්ම දිවයිනේ පළාත් හයක් ආවරණය කරමින් ප්‍රදේශ රැසක සංචාරය කිරීමටද මෙවර ඉඩ ලැබුණේය.

මෙවර කළ "වෙනස් දෙයක්" වූයේ සෑහෙන කලකට පසු රියැදුරෙකුගේ සේවය ලබා නොගනිමින් ලංකාවේ දී මෝටර් රථයක සුක්කානම අතට ගැනීමේ සංකීර්ණ කටයුත්තට අත ගැසීමයි. ලංකාවේ වාහන ධාවනය කිරීමේ සමාචාර විධි (etiquette) නැවත අලුතෙන් ඉගෙන ගැනීම මුලින් හිතූ තරම්ම අමාරු වුණේ නැත.

ඇමරිකාව දකුණෙන් වාහන එළවන රටකි. පොතේ හැටියට මෙන්ම ඇත්තටමද එය එසේමය. ඇමරිකාවේ පාරක වම් පැත්තේ වාහනයක් දකින්නට ලැබීම සුලභ සිදු වීමක් නොවේ.

පොතේ හැටියට ලංකාව වමෙන් එළවන රටකි. එහෙත්, වාහන එළවීමේ සමාචාර විධි අනුව පාරේ වාහනයක් ධාවනය කළ යුතු පැත්ත වාහනයේ විශාලත්වය හා එහි වටිනාකම වැනි කරුණු මත තීරණය වේ. පෞද්ගලික මෙන්ම ලංගම බස් රථ වලටත්, මිල අධික ජීප් රථ හා මෝටර් රථ ආදිය සඳහාත් බලපාන්නේ ඇමරිකානු නීතිය බව පෙනේ. ඒ වාහන වැඩි වෙලාවක් තිබෙන්නේ පාරේ දකුණු පැත්තේය. නැත්නම් පාරේ මැදය. මෙවැනි වාහනයක් හෙඩ් ලයිට් ගසා සංඥා කළ විට පාරේ වමෙන් එන වාහන පාරෙන් ඉවත් වී කාණුවට බැස ඉදිරියෙන් එන වාහනයට ඉඩ දිය යුතුය.

ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල් වැනි වැනි කුඩා වාහන වලට කැමති පරිදි පාරේ දකුණු පැත්තෙන් හෝ වම් පැත්තෙන් ගමන් කිරීමට තහනමක් නැත. අතුරු පාරවල් වලින් ප්‍රධාන පාරකට ත්‍රිරෝද රථයක් ඇතුළු කිරීමට පෙර ත්‍රිරෝද රථ රියැදුරෙකු සෑහෙන වෙලාවක් පරීක්ෂාකාරීව බලා සිටී. පාරේ වාහනයක් නැත්නම් එසේ සෑහෙන වෙලාවක් බලා සිටින එවැනි රියැදුරෙකු වාහනය පාරට දමන්නේ හරියටම වෙනත් වාහනයක් පැමිණෙන අවස්ථාවකදීය.

ලංකාවේ වාහන වල සංඥා එළි භාවිතය හොඳ තත්ත්වයක තිබේ. කොයි තරම් හොඳද කියනවානම් බොහෝ රියැදුරන් විසින් දකුණු පස සංඥා එළිය වරක් දැල්වීමෙන් පසු එය නැවත නිවා දමන්නේ ගමන අවසන් කිරීමෙන් පසුව විය යුතුය. වාහනය වමට හැරවුවත්, දකුණට හැරවුවත්, දකුණෙන් ඉස්සර කළත්, වමෙන් ඉස්සර කළත් සංඥා එළියනම් දකුණටමය. කිසියම් පාරක මංතීරු දෙකක් සලකුණු කර ඇත්නම් එයින් අදහස් වන්නේ ලොකු වාහන තුනකට ගමන් කිරීමට ඉඩකඩ ප්‍රමාණවත් බවයි. ඊට අමතරව ත්‍රිරෝද රථ වලට හා මෝටර් සයිකල් වලට මේ ලොකු වාහන අතරින් රිංගන්නට ඉඩ තිබේ.

බොහෝ දෙනෙක් කියන්නේ ලංකාවේ තිබෙන පාරවල් ප්‍රමාණයට වාහන ඕනෑවට වඩා වැඩි බවයි. මේ කතාවේ කිසියම් ඇත්තක් තිබෙන්නට පුළුවන. පසුගිය කාලයේ සැලකිය යුතු තරමේ මාර්ග සංවර්ධනයක් සිදු වී ඇතත් එයට අනුරූපව වාහන භාවිතයද ඉහළ ගොස් ඇති නිසා වාහන එළැවීමේ සමාචාර ලොකුවට වෙනස් වී නැත. එහෙත්, සාපේක්ෂව පාරවල් හොඳ හා වාහන අඩු කුරුණෑගලින් උතුරේ ප්‍රදේශ වල තත්ත්වයේ පැහැදිලි වෙනසක් දැකිය හැකිය. බෙදාගන්නට ඇති සම්පත් ප්‍රමාණය වැඩි වන විට මිනිසුන්ගේ චර්යාවන්ද වඩා හොඳ වීම සාමාන්‍ය දෙයකි.

මගේ අදහස අනුව ලංකාවේ මහාමාර්ග වල දැකිය හැකි මහා වියවුලට එකම හේතුව පාරවල් ප්‍රමාණවත් නොවීම හා වාහන ප්‍රමාණය වැඩිවීමම නොවේ. වාහන ධාවනය විධිමත් ලෙස සිදුවේනම් පවතින මහාමාර්ග පද්ධතිය මීට වඩා බොහෝ කාර්යක්ෂම සේ භාවිතා කළ හැකි බව මගේ අදහසයි.

පහත වගුවේ තිබෙන්නේ ලෝකයේ එක් එක් රටවල මහා මාර්ග වල දිග, ලියාපදිංචි වාහන සංඛ්‍යාව හා මහා මාර්ග කිලෝමීටරයකට වාහන ගණනයි. රට කුඩා වන තරමට මහා මාර්ග කිලෝමීටරයකට වාහන ගණන වැඩි වීම සාමාන්‍ය තත්ත්වයකි. මාල දිවයිනේ මහාමාර්ග කිලෝමීටරයකට වාහන 700ක් පමණ තිබේ. (වාහන ගණන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාගත් දත්ත වන අතර වසර පහක් පමණ පැරණි දත්ත වේ. මහා මාර්ග වල දිග විකිපීඩියාවෙනි.) සිංගප්පූරුවේ 293කි. දකුණු කොරියාවේ 218ක්ද, මැලේසියාවේ 165ක්ද, ජපානයේ 75ක්ද, නේපාලයේ 68ක්ද වේ. බංග්ලා දේශයේ 61කි. චීනයේ 52කි. ඇමරිකාවේ 39කි. ඉන්දියාවේ හා පකිස්ථානයේ 35ක් පමණ වේ. ලංකාවේ 46කි.

ඉන්දියාව, පකිස්ථානය හා ඇමරිකාව වැනි ලොකු රටවලට මහාමාර්ග කිලෝ මීටරයකට ඇති වාහන ගණනට වඩා ලංකාවේ ගණන තරමක් වැඩි වුවත් ලංකාව සමඟ සැසඳිය හැකි බොහෝ රටවල් වලට සාපේක්ෂව එවැනි වැඩි කමක් පෙනෙන්නට නැත. එහෙත්, මහාමාර්ග කිලෝ මීටරයකට ඇති වාහන ගණන ලංකාවේ ගණනට වඩා වැඩි බොහෝ රටවල දැකිය නොහැකි තරමේ අවුලක් ලංකාවේ මහාමාර්ග වලදී දැකිය හැකිය. ලංකාවේ වාහන එළවීමේ සමාචාර විධිද මෙයට එක් හේතුවක් විය යුතුය.


14 comments:

  1. මං ඒත් හිතුවා ට්‍රම්ප් ඉකොන් ලියන ඒවා වාරණය කරලද කියලා. ඔය ලංකාවේ වාහන එළවීම ගැන නං කතා කරල වැඩක් නෑ. මොකද අපි ඔව්වා ගැන කලින් කතා කරපු නිසා. අද මේ පැයකට විතර කලින් මහ ට්‍රැෆ්ක් එකක මට පස්සේන් ආපු බයික් එකක් ඇම්බියිලන්ස් සයිරන් එක ගහනවා. මං බය වෙලා පාරේ අයිනට ගන්න කොට තමා දැක්කේ ස්කූටියක් කියලා. හැක්

    ReplyDelete
    Replies
    1. දේශක,

      ඔබ ලංකාව හැර වෙනත් රටවල් කීයක වාහන පදවා තිබේද යන්නත් (රියදුරු බලපත්‍ර සහිතව) එම රටවලට සාපේක්ෂව ලංකාවේ මාර්ගවල ඇති බරපතල වැරදි මොනවාදැයි පැහැදිලි කල හැකිද? සාමාන්‍යයෙන් මෝටර් සයිකල් සහ ත්‍රීරෝද රථ වමෙන් ඉස්සර කිරීම, පාර හරහා ලේන් කපමින් වෙට්ටු දමා ඉස්සර කිරීම / හැරවීම සහ බස් පාර මැද නැවැත්වීම වැනි කොමන් වැරදි හැරුණු විට ලංකාවේ පළපුරුදු රියදුරෙකු මුහුණදෙන බරපතල අවුල් මොනවද? (ඉකොනොමැට්ටා වැනි විදේශිකයින් නුහුරු බව නිසා ගැටලු වලට මුහුණ දිය හැකියි )

      එමෙන්ම ඔබගේ රථයට හෝ හෙල්මට් එකට කැමරාවක් (ඩෑෂ් කැමෙරා) සවි කර එය ශ්‍රී ලංකා ට්‍රැෆික් වයලේශන්ස් ((https://www.facebook.com/srilankantrafficviolations) සමූහයට හෝ එවැනි ක්‍රියාකාරී ස්ථානයකට යොමුකිරීම මගින් මේ සම්බන්ධයෙන් ඔබට ක්‍රියාකල හැකියි.

      ලංකාවේ ධාවනය වන සියළු වාහන සඳහා බලපැවැත්වෙන පරිදි අධික ශබ්දය නිකුත් කරන නලා භාවිතය තහනම්, නව පනත අනුව ඩෙසිබල් 105 ඉක්මවන ශබ්ද නිකුත් කරන රිය නළා සඳහා නීති මාර්ගයෙන් කටයුතු කළ හැක, එමෙන්ම පොලිස් සහ ඇම්බියුලන්ස් සයිරන් අනොතෝරයිස්ඩ් ලෙස යොදාගැනීම තහනම් වේ. ඇම්බියුලන්ස් එකක් වුණත් ලෙඩෙක් නැතුව ආතල් එකට සයිරන් දැමීම දඬුවම් ලැබෙන වරදකි.

      ජූලි 01 වන දින සිට හදිසි සංඥා එළි සහ අනතුරු ඇඟවීමේ නලා හඬවල් සහිත පොලිස් වාහන හා අනෙකුත් හදිසි වාහන ධාවනය වන විට මාර්ගයේ ධාවනය වන අනෙකුත් සියලුම රථවල වේගය පැයට කිලෝ මීටර් 40 ක් උපරිම වේගයකට යටත් විය යුතු බව දැනටමත් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඊට එරෙහිවූ විට දඩ මුදලක් එම ස්ථානයේදීම ගෙවීමට සිදු වන අතර නැතහොත් අධිකරණය තෙක් ගිය විට දඩ මුදලකට යටත් වීමට සිදු වන බවත් වාර්තා වේ. මීට අමතරව ධාවනය කරන විට පාපැදි සහ යතුරු පැදිකරුවන් තම ජංගම දුරකථනය භාවිතා කළහොත් එම ස්ථානයේම දඩ මුදලක් ලබා දීම වැනි නව නීති මේ වන විටත් ප්‍රසිද්ධ කර තිබේ. කෙසේවෙතත්, මෙම නව නීති ද ඇතුළත් සම්පූර්ණ මාර්ග නීති 408 ක් ඇතුළත් පිටු 547 ක පොතක් මේ වන විට සම්පාදනය කර තිබෙන බව ටීවී නිව්ස් වල දැක්කෙන් නැද්ද? මේ ගැන සොයා බලා දැනුවත්වන්න.

      Delete
  2. දවසක් මම මංසන්ධි කො‍ටුවක නවතන් හිටියා ඉස්සරහා ක්ලියර් වෙනකම්... පිටිපස්සේ එකෙක් හෝන් ගහලා ගහලා බැරිම තැන ඉඩ තියන තැනකින් ඉස්සරහට ගිහින් හරියටම කො‍ටුව උඩ නැවැත්තුවා.. ඒ යන ගමන්, පොර සංඥා බාසාවෙන් "තොට පිස්සුද බූරුවො?" කියලා මගෙන් අහන්නත් අමතක කළේ නෑ....

    ලංකාවේ වාහන එලවනකොට ඇමරිකාවෙදි නොලැබෙන එක වාසියක් තියනවා. ඒ නොමිලේ හම්බෙන ඉවසීම ප්‍රගුණ කිරීමේ පාඨමාලාව...

    ReplyDelete
    Replies
    1. මංසන්ධි කොටුවෙන් පිටවීමට නොහැකි නම් දකුණට හරවන වාහනය හැර අනිත් කිසිදු වාහනයක් ඇතුලු නොකල යුතුය. මෙන්න මේ වීඩියෝ වල විස්තර තිබේ;

      https://www.youtube.com/watch?v=VNgDxKiEwpU

      https://www.youtube.com/watch?v=3penZ7xsPpA

      ලංකාවේ පැරණි රියදුරන් බොහෝ දෙනෙක් ප්‍රායෝගිකව රියදුරු පරීක්ෂ්ණවලදී යෙලෝ බොක්ස් ජන්ක්ෂන් හරහා යනවිදිය පුහුණු නොවු අයයි, මේ ගැන ටීවී සහ සමාජ ජාල හරහා කතිකාවතක් ඇතිකළ යුතුයි.

      Delete
    2. අපොයි ඕක මොකක්ද?
      මරදානේ පොලීසිය ඉස්සරහ ජන්ක්ශන් බොක්ස් එක උඩින් වාහන එලවලා නැද්ද?
      සාමාන්‍ය නීතිය යටතේ පදිකයින්ට පය තැබීමට තහනම් විය යුතු මංසන්ධි කොටුව එතැනදී භාවිතා වෙන්නේ පදික මාරුවක් ලෙසටයි.
      එතනදී පාර පනින උන්ට ඉඩ නොදුන්නොත් පාර පනින පොලිස් රාලහාමිලා අපිට රවන්නේ මං තෝව උසාවි දානවා වගේ බැල්මකින්.
      ඉතින් කාට කියන්නද?

      Delete
    3. නයනේ මහතා,

      ඔබ දන්නෙ නැත්ද පොලිසිය එහා පැත්තෙ සහිරා විද්‍යාලය තියෙන බව? අනෙක එම ප්‍රදේශය භක්තිමත් ඉස්ලාම් භක්තිකයින් බහුලව වෙසෙන පෙදෙසක්, ඉස්ලාම් දහම අනුව රටේ නීතියට වඩා සර්වබලධාරී අල්ලාහ් තාලා දෙවිඳුන්ගේ දේව නීතියයි උතුම්, එමනිසා එම ජන්ක්ෂන් බොක්ස් එක ඉවත් කොට එම ස්ථානයට කහ ඉරක් දැමීම නැතිනම් එය එසේ තිබියදී ගුවන් පාලමක් සවිකිරීම අත්‍යාවශ්‍යයි. මෙහි සම්පූර්ණ වරද පසුගිය දූෂිත රාජපක්ෂ රෙජීමයේයි, ඔවුන් එවැන්නක් සිදු කළේ නැහැ, ඔවුන්ට ගුවන් පදික මාරුවක් ඉදිකිරීමට තිබුණා.

      Delete
  3. ලංකාවේ මාර්ග නීතිය කියන්නේ ලෝකයේ කොහෙවත් නැති අමුතුම ජාතියේ එකක්. වරක් මම නිවාඩුවකට ලංකාවේ ගිහින් වාහනය එලවාගෙන යනකොට රවුන්ඩ් එබවුට් එකක දකුණෙන් එන වාහනේට ඉඩ දී ස්ලෝ කළා. එතකොට මාත් සමග හිටිය මගේ මල්ලි (ඌ ඩොකෙක්, එහෙම කිව්වේ මාර්ග නීති කැඩීම ත්‍රි වීල් කාරයන් පමණක් කරන දෙයක් කියලා හිතන නිසා) මට කිව්වේ "" එයා ගෑනු කෙනෙක්, අයියා එයාට ඉඩ දෙන්න ඕනෑ නැහැ අපි යං " කිව්වා. මම බැලුවේ වාහනය දිහා මිසක් රියදුරාගේ ලිංග භේදය නොවෙයිනේ. නමුත් ලංකාවේ ඒ ඒ වාහනයේ විශාලත්වය, දුර යන එකක්ද, පටවාගෙන යන්නේ මොනවද, රියදුරා ගැහැනුද පිරිමිද, සියලුම කරුණු නීතිය කැඩීමේ උපකරණ ලෙස පාවිච්ච් කරනවා.

    ReplyDelete
    Replies
    1. සෑම් අංකල්,

      මෙන්න මේ වීඩියෝ එක බලන්න, "මෙන්න ලින්ක් එක Linked"

      මේ එකක් විතරයි, මේ ඩෑශ් කැම් ඔව්නර්ස් ඔස්ත්‍රේලියා Dash Cam Owners Australia කියන ගෲප් එක සබ්ස්ක්‍රයිබ් කොරා නම් ඔසී වල ඉන්න "මහා ඥාණවන්ත" අතිසුපිරි අතිශ්‍රේශ්ට මිනිසුන්ගේ සුපිරි වැඩකිඩ බලාගත හැකිවනු ඇත, එයින් පසු ලංකාවේ ඩැයිවරලා තව හොඳයි කියල කියන්ට වෙයිද මන්දා.

      මෙන්න ඔසී පොලීසිය ඩෑශ් කැම් ගැන කියන කතා:

      Dashcam videos make for some insane viewing, but the cops are kind of sick of you sharing it online.

      Following an incident in Tasmania where a teenager played chicken with a vehicle on a highway, police have urged citizens to hand in their dashcam footage for investigation.

      Speaking to the ABC, Tasmania Police Sergeant Troy Morrisby said that the police would be keen to investigate incidents captured on dashcams.

      "Come and see us," the Sergeant said. "We will certainly investigate all matters that are reported to us," he added.

      The Sergeant's pleas come as Victoria Police have charged a driver with offences relating to doing a burnout at an intersection. The cops were tipped off to the crime when a citizen came forward with a smartphone photo of the incident. The driver's car has since been impounded for a month, and he's facing towing costs almost $1000.

      Source: "Aussie Police Want You To Stop Uploading Dashcam Footage"

      Delete
    2. Unfortunately you or the idiot you wrote the article to Gizmodo has not read the ABC article properly. Police requested the motorists to give the footage to authorities not ONLY share it online.

      Why don't you join the Dashcam Australia FB page and see what people think about the drivers who break the law. The difference is Police are willing to investigate these matters rather than turning a blind eye based on the type of the vehicle or who owns it.

      Unfortunately idiots like you contributes more to the problem.

      Delete
    3. Anonymous June 20, 2018 at 10:34 AM

      හහ් හා, ඉතින් ඉඩියට් මහත්මයා, මමත් කිව්වෙ ඒකම තමයි. ලංකාවේ ට්‍රැෆික් වයලේසොං වීඩියෝ වල කමෙන්ට් කරන කට්ටියත් ඔහොම්මමයි, කොටින්ම ලංකාවෙ පොලෝසියත් කියන්නෙ මේ වගේ සාක්කි උන්නැහේලට දෙන්ට කියල තමයි. හැබැයි මචන් ඉඩියට් මහත්තයෝ මේකෙ අවුල තියෙන්නෙ මේකයි.

      ලංකාවට ඔස්ට්‍රේලියා, ඉන්ග්ලන්ඩ්, කැනඩා, ඩොයිච්ලන්ඩ්, ල ෆ්‍රොන්ස්, ඉතාල්යා, එස්පණ්‍යා, පොර්හ්තුගාල් ආදී බොහෝ රටවලින් එන හමේ පාට සුදු වූ විදෙස් සංචාරකයින් ලංකාවේ වාහන එලවීම දකින්නේ වෙනස් ආතල් එකක් විදිහටයි. නමුත් එම රටවලින්ම එන අප වැනිම දුඹුරු හම ඇති විදේශිකයින්ට මේක හෙන විසාල ප්‍රස්නයක් වීමයි. ගොඩක් වෙලාවට මෙහෙම කතා කියන හාල්පාරුවෝ ලංකාවට එන්නෙත් අවුරුදු ගාණකට වතාවක්, ඒ ඇවිත් සති කීපයක් ඉන්න එකේ මුන්ට මෙහේ වැරදි අටෝරාසියක් පේන එක පුදුමාකාර්යි නේද?

      අනෙක් පැත්තෙන් ඔය කිව්ව පිටරටවල ඒකපුද්ගල ආදායම ලංකාවට වඩා බොහෝ වැඩි නිසා මෙවුන්ට සල්ලිත් නැතුවයෑ? ඉතින් දෙය්යනේ ලංකාවට ආවම ඔච්චර අමාරුනම් මෙහේ ඉන්න හොඳ පළපුරුදු එක්ස්පර්ට් සේෆ් ඩ්‍රයිවර්කෙනෙක් එක්ක වාහනයක් / හොඳ සේෆ් කැබ් සර්විස් එකක් හොයාගෙන ඒකෙන් ශෆාන් ගමන් යන්න පුලුවන් වුණත් එම උත්තමයින්ගේ තියෙන කුණු ලෝබකමට ඒකත් කරන්නෙ නැතුව එක්කො ලංකාවෙ ඉන්න එකෙක්ගෙ වාහනයක් ටික දොහකට එල්ලගෙන තමුන්ම පැදගෙන යනව, නැත්නම් රෙන්ට් එකට රු. 2500 මරුටි ඇල්ටෝ කබලක් අරන් ඒක පැදන් යනවා.

      අනෙක ඉතින් ඔය අප වගේ දුඹුරු හම තියෙන ලාංකික සම්භවයෙන් යුත් විදෙශිකයින් බොහෝ දෙනෙක් ලංකාවට "හොලිඩේ" යනවා කියන්නේ දෙමව්පියන්ගේ සහ නෑයන්ගේ ගෙවල්වල ලැගීම තමයි , නැතුව සල්ලි ගෙවලා හොලිඩේ ගත කරන එවුන් නෙවෙයි. එහෙම එද්දි (අල්ඩි වගේ චීප් සුපර්මාකට් වලින්) එහෙන් ලාබෙට ස්පෙශල් ඔෆර් දාල තියෙන ස්වීට්ස් (චොකලට් වගේ) මෙහෙට අරන් ඇවිත් දීල ඒකෙන් ශේප් වෙලා ලංකාවෙ එවුන්ටත් ඇණයක් වෙලා තමයි ආපහු යන්නේ, ඉතින් සමහර විට උන් තරහටම මුන් ඩ්‍රයිව් කරද්දි එක එක ගොන් කතා කියල අවුල් කරනවත් ඇති. මොකෝ නැතෙයි මිස්ට ඉඩියට්?

      Delete
    4. Sam & Ano,

      You can see below link about road rage in Australia,

      https://www.youtube.com/watch?v=smnlC30HUdE

      There are many other video footage about Australian & other stupid drivers. Drivers in Australia / USA also not that good as you think, only thing is they have much better roads and space for roads as Australia & USA etc. are much larger countries. Aus is one of the largest countries with much less population to its size as opposed to the congested urban areas of SL & they have enough resources & excessive income to develop infrastructure. Still, Aus has worst drivers & SL seems much better comparing the circumstances. Thus we must appreciate Sri Lankan drivers with their limited facilities, non safe cheap vehicles they drive & much smaller compact roads they use for transport, I can tell you, as the conclusion, I had to say Sri Lankan drivers are much better than stupid Australian drivers considering the facts, that's the bitter truth.

      Delete
    5. This is very informative video for Aussies and the ones who willing to migrate oz - www.youtube.com/watch?v=sCXtcXD17qU

      These ones also might informative I guess - www.youtube.com/watch?v=ZmI3iN4Djfg

      www.youtube.com/watch?v=J_8iREBOs2c

      www.youtube.com/watch?v=ZCuFaXswzG8

      www.youtube.com/watch?v=al5kPWpXLmA

      Delete
  4. හොඳ ටොපික් එකක් ඉකොනො,

    හැබැයි මම නම් හිතන්නේ ඔබ වාහන වැඩිදැයි බැලීමට යොදාගත් සමස්ත මාර්ග දුර: වාහන සංඛ්‍යා අනුපාත ක්‍රමය එතරම්ම නිවැරැදි නොවන බවයි. ඇතැම් දිස්ත්‍රික්ක/ නාගරික ප්‍රදේශවල මාර්ග අධික ලෙස භාවිත වන අතරම ඇතැම් ග්‍රාමීය මාර්ග භාවිත නොවන තරම්. අනෙක ඔබ කියන්නේ මේ දත්ත වසර 5කට පෙර ඒවා බවයි. කෙසේ නමුත් පසුගිය දූෂිත රාජපක්ෂ කල්ලිය බලයේ සිටි 2010-2014 සහ පසුව 2015දීත් වාහන විශාල ලෙස ලංකාවට ආනයනය කල අතර මාර්ගද අතිවිශාල ලෙස පළල් කිරීමත් අලුත් මාර්ග ඇතිකිරීමත් වුණා.

    කොහොම වුණත් ඔබ වැනි රයිට් හෑන්ඩ් ට්‍රැෆික් ඇති රටක සිට වමෙන් පදවන ලංකාව වැනි රටකට පැමිණෙන අයට මූලික වශයෙන් මාර්ගයේ නුහුරු බව, සිග්නල් / වයිපර් ටැපලීම මැනුවල් ගියර් නම් ගියර් දැමීමේ නුහුරු බව වැනි ප්‍රශ්න ඉතා සාමාන්‍යයි.

    ඔබ ලංකාවේ පළාත් 6ක සැරිසැරුවානම් දකුණු වෙරළ තීරය, නුවර දම්ම්බුල්ල වැනි පළාත්වලදී මෙන්ම කොළඹදීත් සංචාරක සුදු ජාතිකයින් ස්කූටර්, මහීන්ද්‍රා මැxඉ ට්‍රක්/ බොලෙරෝ, ඩිමෝ බට්ටන් (ටාටා ඒස්) / ටාටා කැබ් ආදිය පදවනවා දකින්න ඇති. ඔවුන්ගේ ධාවනය කෙසේද? දඹුල්ල පැත්තෙනම් අත්ට්‍රැක්ටර්/ කුබෝටා රෝද හතරේ ට්‍රැක්ටර් හෙමත් එලවනවා. ඔවුන්ගේ ප්‍රියතම වාහනය හොන්ඩා ඩියෝ ස්කූටර් බයික් එකයි. (සර්ෆ් බෝඩ් හෙම බැඳන් ඇරල යන්නෙ,) ඔවුන් ලාංකිකයින්ටත් වඩා වෙට්ටු කාපර්ලා, මාර යෑමක් යන්නෙ.

    කොහොම වුණත් මට හමුවූ "සුදු හම ඇති" විදේශිකයින් නම් ලංකාවේ වාහන පැදවීමට බොහෝ ප්‍රියයි, ටුවරිස්ට් බස් වල නම් ඉදිරිපස වම් සීට් එකට ඔවුන් පොරකන්නේ ලංකාවේ ඇඩ්වෙන්චරස් මාර්ග අත්දැකීමට ඔවුන් බොහෝ ආස නිසයි. මේ ගැන ටුවරිස්ම් ෆීල්ඩ් එකේ අය සාක්ෂි දරාවි. ඔවුන් ලංකාවේ රිය පැදවීම සොෆ්ට් රෝලර් කෝස්ට් රයිඩ් එකක් මෙන් එන්ජෝයි කරන බව එක සුදු විදේශිකයෙක් මා හා පැවසුවා.

    කෙසේ නමුත් තලෙලු සම ඇති (ලාංකීය සංක්‍රමණික ) විදේශිකයින් නම් නිතර ලංකාව දෙස බලන්නේ නුහුරට බව මගේ පුද්ගලික නිරීක්ෂණයයි. විශේශයෙන්ම ඔස්ට්‍රේලියා/ එංගලන්තය වැනි රටවල අප මෙන්ම ලෙෆ්ට් හෑන්ඩ් ට්‍රැෆික් ඇති නිසා ඔවුන්ට මෙහි පැදවීම ගොඩක්ම අමාරු නැතිවුණත් බොහෝවිට කරුණු අතිශයෝක්තියෙන් දක්වමින් අවමන් සහගත කතා කීම සුලභයි. ඇතැම් ලාංකිකයින්ද ඒවාට හූමිටි තබමින් අනුමත කරන අතර ඔවුන් ඇතැම්විට ලංකාවෙන් පිට රටවල් ගැන එතරම් දන්නා අයත් නොවෙයි. මටනම් එය තරමක් ගැටලුකාරීයි. තවත් සමහරු කියන්නේ මෙය හීනමානය නිසා කියන කතාවක් බවයි.

    කොහොම වුණත් ඔබ ඇතැම් වාහන පාර මැදි ඇවිත් හෙඩ්ලයිට් ගහන බව කීවා, ලංකාවේ ඇතැම් පුද්ගලයින් මෙසේ කරන බව ඇත්ත, නමුත් බොහෝ විට පාර පටු නිසාද වාහන මැදින් එනවා මෙන් පෙනෙන්නටත් පුළුවන්. මෙවන් පටු මාර්ග ජපානය (උදා: ශිබමතා/ චිබාකෙන් - ජපානයේ ඇතැම් නාගරික මාර්ග ලංකාවටත් වඩා ඉතාම පටුයී) මෙන්ම එංගලන්තය/ අයර්ලන්තය වැනි රටවලත් මෙවැනි පටු මාර්ග තිබේ.

    ලංකාවේ සාමාන්‍යයෙන් ත්‍රීරෝද රථ සහ ඇතැම් යතුරු පැදි/ බස්/ ටිපර් සහ ඇතැම්විට කාර්/ වෑන් ද පාර පුරා අන්තුරුදායක ලෙස යාම පාලනය කිරීමට පොලීසිය විවිධ ක්‍රියාමාර්ග ගත්තත් තවමත් ඇතැමුන් අවිධිමත් ලෙස ධාවනය නවතා නැහැ. මේ සම්බන්ධයෙන් හොඳ කතිකාවතක් ඇතිකර රියදුරන්ගේ විනය දියුණු කිරීමට ක්‍රියාකල යුතුයි.

    ReplyDelete
  5. වටිනා ලිපියක් ඉකොනොගේ සාමාන්‍ය ආකරයෙන්ම දත්ත සහිත ලිපියක්.
    හැබැයි සමස්තය ගැන සැලකීමේදී ඉන්දියාවේ වාහන සැසඳීමෙන් අඩු වූවාට, රට අතිශයින් විශාල වූවාට ඉන්දියාවෙ බොහෝ නගර වල ඇති ට්‍රැෆික් තත්වය ලංකාව හා සසැඳීමේදී අතිශයින්ම කනගාටු දායකයි. ලංකාවේ ත්‍රීවීල් රියදුරා පවා ඉන්දියානු රියැදුරන්ට සාපේක්ශව ආචාරශීලීයි.

    ලංකාවේ තත්වයට හේතුව ලෙස මා දකින්නේ පොලීසිය නියමා කාරයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට දක්වන මැලි කමයි.
    වමෙන් ඉස්සර කිරීම ධාවන තීරු අනුගමනය නොකිරීම ආදිය පොලීසිය මුලුමනින්ම නොසලකා හැර ඇති මාර්ග හැසිරීම්. ඒවා නිවැරදි කලා නම් බොහෝ දුරට මාර්ගය සාමකාමී වන්නට ඉඩ තියෙනවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: