අද (සැප්තැම්බර් 8) ජාත්‍යන්තර සාක්ෂරතා දිනයයි. 1966 ඔක්තෝබර් 26 වන දින පැවැත්වුණු යුනෙස්කෝ සංවිධානයේ 14 වන මහා සභා සැසි වාරයේදී මේ දිනය ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ලෙස නම් කොට ඊළඟ වසරේ සිට එදිනට ලොව පුරා විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලැබීමට යෝජනා සම්මත කර ගනු ලැබුවා.
ජාත්‍යන්තර සාක්ෂරතා දිනය යෙදෙන සැප්තැම්බර් මාසය ලංකාවේ ජාතික සාහිත්‍ය මාසය ලෙසත්, ඇමරිකාවේ ජාතික සාක්ෂරතා මාසය ලෙසත් හැඳින්වෙනවා. මේ මාසයේ ආරම්භය සනිටුහන් කරමින් ඇමරිකාවේ කොන්ග්‍රස් පුස්තකාලය මඟින් 2001 වසරේ සිට වාර්ෂිකව පවත්වන ජාතික පොත් සැණකෙළිය මෙවරද පැවැත්වුනා.
නමුත්, මේ සැණකෙළිය හෝ ජාත්‍යන්තර සාක්ෂරතා මාස සැමරුම් කටයුතු ඇමරිකාවේදී ලංකාවේ තරම්ම උත්කර්ෂවත් ලෙසින් පැවැත්වෙනවා කියා කියන්න බැහැ. 1999 සිට වාර්ෂිකව පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊට වඩා දෙවසරකින් පැරණියි වගේම ඊට වඩා ගොඩක් සාර්ථක බවත් කිව හැකියි. ඇමරිකාවේ පොත් සැණකෙළිය ලාභ ලැබීම අරමුණ කර නොගත් රාජ්‍ය ආයතනයක් විසින් පවත්වන්නක් වීමත්, ලංකාවේ පොත් ප්‍රදර්ශනය පෞද්ගලික ව්‍යවසායකයින් විසින් සංවිධානය කරන ලාභ අරමුණු කරගත් කටයුත්තක් වීමත් මේ වෙනසට හේතුව බව පෙනෙනවා.
ලංකාවේ මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹුණු කාලය මට ඉතා හොඳින් මතකයි. මුල් වසර වලදී මා දිගටම මේ පොත් ප්‍රදර්ශනයට සහභාගී වුනා වගේම පොත් සැලකිය යුතු ප්‍රමාණයක් මිල දී ගත්තා. ඒ කාලය මගේ ආදායමෙන් සෑහෙන කොටසක් පොත් වෙනුවෙන් වැය කළ කාලයක්.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිල දී ගැනීමෙන් ලැබුණු වාසි රැසක් තිබුණා. ඒ අතර වූ ප්‍රධාන වාසිය එහිදී ලැබුණු වට්ටම් නෙමෙයි. ලංකාවේ පොත් ප්‍රකාශකයින් විසින් සාහිත්‍ය මාසය තුළ අඩු මිලට පොත් විකිණීම ආරම්භ වුණේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කරනු ලැබීමෙන් පසුව නෙමෙයි. ඒ වට්ටම් ඊට පෙරත් තිබුණා. අවම වශයෙන් අසූව දශකයේ මුල් කාලයේ සිට ලංකාවේ ප්‍රධාන පොත් ප්‍රකාශකයින් විසින් සාහිත්‍ය මාසය පුරා වට්ටම් මිලකට පොත් විකිණුවා. හරියටම මතක නැතත්, හැත්තෑව දශකයේදීත් සැප්තැම්බර් මාසයේදී මේ අයුරින් වට්ටම් දීම සිදු වුනා කියා මා හිතනවා.
ඒ දවස් වල ලංකාවේ පොත් ප්‍රකාශකයින් අතර ඉදිරියෙන්ම සිටියේ ගුණසේන සමාගමයි. එම සමාගමට රට පුරා ව්‍යාප්ත වූ පුළුල් ශාඛා ජාලයක්ද තිබුණා. දෙවැනි තැන හිටියේ ගොඩගේ සමාගම වෙන්න ඇති. දයාවංශ ජයකොඩි සමාගම, මොඩන් පොත් ප්‍රකාශකයෝ වගේ අයත් පොත් ගැහුවා. අනූව දශකයේදී වේගයෙන් ඉදිරියට ආ සරසවි සමාගම ඒ කාලය වෙද්දී ලොකුවට මතු වී තිබුණු එකක් නෙමෙයි.
සාහිත්‍ය මාසයේදී අඩු මිලට පොත් ගන්න ගුණසේන සමාගමට එන එක මා පටන් ගත්තේ වැඩිහිටියෙකු සමඟ මිස තනිව නිවසින් බැහැර යා නොහැකි තරම් කුඩා කාලයේදීයි. මේ කටයුත්ත මගේ පියා වගේම මවගේ පියා විසිනුත් කළ දෙයක්. ඉන් පසුව, තනිව පොත් හලකට යා හැකි වයසකට පැමිණ අතට මුදලක්ද ලැබුණු කාලයේ සිට දිගටම මා මේ පොත් මිල දී ගැනීම කළා.
මේ ආකාරයට කොළඹදීනම් බොහෝ විට ගියේ ගුණසේන එකටයි. ඒ දවස් වල කොළඹ කියා හොඳින් දැන සිටියේ පිටකොටුව පමණයි. වෙන කොහේ හරි යන්න අවශ්‍ය වුනත් කළේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට ඇවිත් ආපහු යන එකයි. නුගේගොඩ ඉඳලා නාරාහේන්පිට වගේ තැනකට යන්න පිටකොටුවට යන්න අවශ්‍ය නැති බව දැන ගන්න කොළඹ අවට ජීවත් නොවූ අයෙකුට කාලයක් යනවා.
ගුණසේන එකේ තිබුණු වාසිය එම පොත්හළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට ඉතා කිට්ටුවෙන් තිබීමයි. අපේ ප්‍රාදේශීය නගරයේත් ගුණසේන ශාඛාවක් තිබුණත්, එහිත් කොළඹදී ලැබෙන වට්ටම්ම ලැබුණත්, කොළඹදී මෙන් විශාල පොත් තොග එහිදී දැකිය හැකි වුනේ නැහැ. කොළඹ පැමිණි විට අතේ ඇති මුදලට වැඩි තේරීමක් තිබුණා.
ඒ දවස්වලත් සාහිත්‍ය මාසයේදී ගුණසේන එකේ හැම පොතකටම දැන් ලැබෙන 20% වට්ටම ලැබුණා. ඇතැම් පොත් වලට 50%, 75% වැනි වට්ටම්ද ලැබුණා. ඒ විකුණාගත නොහැකිව ඉතිරිව තිබූ දශකයකට හෝ දෙකකට පෙර මුද්‍රණය කළ පොත්. දිලිසෙන කවර තිබුණු පොත් නෙමෙයි. ඒ පොත් වල සාමාන්‍ය මිල සේ සටහන්ව තිබුණේද බොහෝ අඩු මිලක් නිසා වට්ටම් ලැබුණු පසුව මේ පොත් අලෙවි වුනේ හොඳටම අඩු මිලකටයි. ගුණසේන සමාගම වැනි පොත් සමාගම් සාහිත්‍ය මාසය යොදාගත්තේ විකිණෙන පොත් වැඩියෙන් අලෙවි කර ගන්න වගේම නොවිකිණෙන පොත් කීයකට හෝ විකුණා නිදහස් වීමේත් අරමුණිනුයි.
ගුණසේන සමාගම වගේම අනෙක් පොත් ප්‍රකාශකයනුත් සාහිත්‍ය මාසයට වට්ටම් දෙන එක කළා. එම සමාගම් තිබෙන තැන් වලට යා හැකි ආකාරය හොයා ගැනීමෙන් පසුව මම ගුණසේන එකට අමරතව ඒ තැන් වලටත් ගියා. එහෙත්, ප්‍රශ්නය වුනේ ගුණසේන එකට මුලින්ම යාමෙන් පසුව බොහෝ විට අතේ වූ මුදල් අවසන් වීමයි.
කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීමෙන් පසුව ලැබුණු ප්‍රධානම වාසිය වුනේ මේ ප්‍රධාන පොත්හල් සියල්ලේම තිබෙන පොත් සසඳා බලා අතේ ඇති මුදලට හොඳම තේරීමක් කළ හැකි වීමයි. ඒ හැර, ලැබුණු වට්ටම් වල අමුතු වාසියක් තිබුණේ නැහැ. ඒ වගේම, ඉතාම අඩු මිලකට විකිනුණු "නොවිකිණෙන පොත්" කොළඹ පොත් ප්‍රදර්ශනයේදී දකින්න ලැබුනේත් නැහැ.
මම හිතන විදිහට මුල් අවුරුදු වලනම් කොළඹ පොත් ප්‍රදර්ශනයට සහභාගී වුනේ ඇත්තටම පොත් මිල දී ගන්න අවශ්‍ය අය මිස සෙල්ෆි ගහන්න හෝ යාලුවෝ හමු වෙන්න අවශ්‍ය අය නෙමෙයි. සෙල්ෆි ගැහිල්ලක් හෝ ෆේස්බුක් ඒ කාලයේ තිබුණෙත් නැහැ. කොහොම වුනත්, අවශ්‍ය කෙනෙක් එවැනි වෙනත් අරමුණකින් කොළඹ පොත් ප්‍රදර්ශනයට සහභාගී වෙනවානම් එහි ඇති වැරැද්දකුත් නැහැ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පොත් ප්‍රකාශකයින්ගේ පැත්තෙන් වගේම පාරිභෝගිකයන්ගේ පැත්තෙනුත් හොඳ දෙයක් කියලයි මම හිතන්නේ. පොත් ප්‍රකාශකයින්ගේ සංගමය හරහා ප්‍රකාශකයින් විසින් ඒකාධිකාරයක් (කතිපයාධිකාරයක්) ඇති කර ගෙන තිබීමේ අවුලක් තිබුණත්, එය පොත් ප්‍රදර්ශනය නිසා ඇති වී තිබෙන දෙයක් නෙමෙයි. පාරිභෝගිකයන්ගේ පැත්තෙන් බැලුවොත් මෙහි තිබෙන වාසිය වට්ටම් නෙමෙයි. පොත් ප්‍රදර්ශනය නැතත් ඔය වට්ටම් වෙන කවර හෝ ආකාරයකින් ලැබෙනවා. පාරිභෝගිකයින්ට ලැබෙන වාසිය තමන්ගේ අතේ තිබෙන මුදලට පොතක් මිල දී ගන්න පෙර වැඩි විකල්ප ගණනාවක් පහසුවෙන් සසඳා බැලිය හැකි වීමයි. පොත් ප්‍රකාශකයින්ට වැඩි අලෙවියේ වාසිය ලැබෙනවා.
දෙපැත්තටම වාසි තිබෙන නිසා, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉදිරි වසර කිහිපයේදීත් ඔය විදිහටම පැවැත්වෙයි කියා හිතන්න පුළුවන්. නමුත්, අන්තර්ජාල වෙළඳාම් ක්‍රමයෙන් ප්‍රචලිත වන විට පාරිභෝගිකයින් විසින් පොත් ප්‍රදර්ශනයේදී කරන විකල්ප සසඳා බැලීම ගෙදර සිටම කළ හැකි වන නිසා කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් පාරිභෝගිකයින්ට හා පොත් වෙළෙන්දන්ට වාසි සැපයෙන ව්‍යාපාරික වාතාවරණය කාලයත් සමඟ නැති වී යා හැකියි.
සාහිත්‍ය මාසයේ ගුණසේන පොත් සල්පිලට යන්නට අවුරුද්ද පුරා සල්ලි එකතු කරගත් ජාතියට මාත් අයිතියි.
ReplyDeleteපොත් ප්‍රකාශකයන්ගේ සංගමය දැන් ප්‍රදර්ශකයන් හැමෝටම 20%ට වඩා වට්ටම් දීම තහනම් කර තිබීම නම් වැරදියි. නොවිකිණෙන පොත්මය කියමුකො එහෙම අඩු මිලට දෙන්නේ. එහෙම හරි ඒ පොත් විකිණුනොත් ඒ ප්‍රකාශකයාට යහපතක් වෙනවා නේද? එහෙම පොත් ගන්නා අයත් ගන්නේ කියවන්නට මිසක් අත පිහදාන්න නෙවෙයිනේ.
ප්‍රදර්ශනය සංවිධානය කිරීමේදී වගේම මෙවන් තීරණ ගැනීමේදීත් ඒවා කෙරෙන්නේ හැමෝගෙම අදහස්වලට ගරු කරමින්ද? නැති නම් එහෙයියන් හා කොන්ද පණ නැති අහිංසකයන්ගේ එකඟතාව විදිහට අඟවලා බලවතුන්ගේ කැමැත්ත පරිදිද?
මේ අවුරුද්දෙ නම් චන්ද උණුසුම නිසා සැප්තැම්බර් කියන්නෙ පොත් කියවන අයට වඩා පොත් පෙරලන අයගෙ මාසයක්!
ReplyDelete