වෙබ් ලිපිනය:

Tuesday, September 10, 2019

පොත් මිල අඩු කරගත හැක්කේ කොහොමද?


පොත් වල මිල වැඩියි කියා මැසිවිලි නගන ගොඩක් අයට තිබෙන ප්‍රශ්නය ආකල්පමය ප්‍රශ්නයක් මිසක් පොත් වල මිල පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයේ මුල තිබෙන්නේ ලංකාවේ බොහෝ දෙනෙකු සමාජවාදී ක්‍රමයට හිතන්න පුරුදු වී හෝ පුරුදු කරනු ලැබ තිබීමයි.

සමාජවාදය, වඩාත් නිවැරදිව කියනවානම් මාක්ස්වාදය, කියා කියන්නේ ද්‍රව්‍යවාදය මත පදනම්ව බිහි වූ කතන්දරයක්. මාක්ස්වාදී ආර්ථික විද්‍යාව ගොඩ නැගී තිබෙන්නේත් මේ කතන්දරයට ගැලපෙන ආකාරයටයි. ඒ අනුව කිසියම් දෙයක වටිනාකම තීරණය වෙන්නේ එය නිෂ්පාදනය කරන්න යෙදවූ අමුද්‍රව්‍ය ආදී සාධක මතයි. මේ අනුව, පොතක් මිල දී ගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ අකුරු මුද්‍රණය කර තිබෙන කඩදාසි මිටියක් තමා සන්තක කර ගැනීමයි.

සමාජවාදී චින්තනය අනුව දැන් මේ පොතක් කියා කියන කඩදාසි මිටියේ වටිනාකම කීයද? එය තීරණය වන්නේ එහි නිෂ්පාදන වියදම මතයි. පොත තිබෙන්නේ කා සන්තකවද කියන එක අනුව පොතේ වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. මේ පදනමෙන් බැලූ විට රුපියල් දෙසීයක වියදමින් නිපදවූ පොතක් රුපියල් හාරසීයකට විකිණීම පෙනෙන්නේ පොත් ප්‍රකාශකයා විසින් අසාධාරණ ලාබයක් ඉපැයීමක් ලෙසයි.

ධනවාදය මාක්ස්වාදය මෙන් ද්‍රව්‍යවාදය මත පදනම්ව බිහි වූ කතන්දරයක් නෙමෙයි. ධනවාදී ආර්ථික විද්‍යාව අනුව ගනුදෙනු වල යෙදෙන්නේ හිතන පතන මිනිස්සු මිසක් යන්ත්‍ර නෙමෙයි. ඒ අයට එකිනෙකාගෙන් වෙනස් වූ රුචිකත්වයන් තිබෙනවා. ධනවාදී චින්තනය අනුව කෙනෙක් පොතක් මිල දී ගැනීමේදී ඒ මිල ගෙවන්නේ පොත තමා සන්තක කර ගැනීමේ සතුට වෙනුවෙන් මිසක් පොතක් කියා කියන කඩදාසි මිටිය වෙනුවෙන් නෙමෙයි.

බොහෝ දෙනෙකු හා අදාළව පොතක් තමා සන්තක කර ගැනීමෙන් ලැබෙන සතුට කියා කියන්නේ පොත කියවීමෙන් ලැබෙන සතුට මිසක් පොත ගෙදර රාක්කයක තියාගෙන සිටීමෙන් ලැබෙන සතුට නෙමෙයි. අවශ්‍ය අයෙකු දෙවන ආකාරයේ සතුටක් ලැබීම ධනවාදී චින්තනය සමග ගැටෙන දෙයක්ද නෙමෙයි. පොතක් තමා සන්තක කර ගෙන යමෙක් මේ කවර ආකාරයෙන් හෝ ලබන සතුට පුද්ගලයා අනුව වෙනස්වන දෙයක් නිසා පොතක වටිනාකම කියන එකත් පුද්ගලයා අනුව වෙනස් වන දෙයක්. එහි නිශ්චිත නිරපේක්ෂ අගයක් නැහැ.

ධනවාදී ක්‍රමයට හිතනවානම් වැදගත් වෙන්නේ පොතක් තමන් සන්තක කර ගැනීමෙන් ලැබිය හැකි සතුටේ වටිනාකම ගෙවන මිල නිසා අහිමිවන සතුටට වඩා අඩුද වැඩිද කියන එක පමණයි. යමෙක් පොතක් මිලදී ගන්නේ ඔහුට හෝ ඇයට සාපේක්ෂව පොතේ වටිනාකම ගෙවන මිලට වඩා වැඩිනම් පමණයි. ඒ නිසා, පොතක් මිල දී ගන්නා කෙනෙකුට හැම විටම වාසියක් වෙනවා මිසක් පාඩුවක් වෙන්නේ නැහැ. මේ ගනුදෙනුවේදී පොත් ප්‍රකාශකයා කොයි තරම් ලාබයක් උපයනවාද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. වැදගත් වන්නේ තමන්ට ලාබයක් ලැබුනේද යන්නයි.

ධනවාදී ක්‍රමයට හිතුවොත් පොතක් කියවා අවසන් වූ පසුව ඒ පොත මිල දී ගැනීමෙන් ලබන්න අපේක්ෂා කළ සතුට ලබා අවසන්. ඒ නිසා, තව දුරටත් ඒ පුද්ගලයාට ඒ පොතේ වටිනාකමක් නැහැ. මේ කරුණ හැම පොතකටම අදාළ නැහැ. කිසියම් විෂයයකට අදාළ පාඨ ග්‍රන්ථයක් වගේ එකක්නම් එහි තිබෙන්නේ තරමක් දිගුකාලීන වටිනාකමක්. එවැනි පොතක වුවත් වටිනාකම වසරකට හෝ කිහිපයකට පසුව නැති වී යනවා. එසේ නොවන්නේ ශබ්දකෝෂයක් වැනි පොතක් හා අදාළව පමණයි.

නවකතා වැනි පොත් වලට බොහෝ විට මෙවැනි දිගුකාලීන වටිනාකමක් නැහැ. පොත කියවා අවසන් වූ පසු එය මිල දී ගැනීමෙන් අපේක්ෂා කළ සතුට ලබා අවසන්. හරියට චිත්‍රපටයක් හෝ වේදිකා නාට්‍යයක් බැලුවා වගේ. නමුත්, සමාජවාදී ක්‍රමයට හිතුවොත්නම් කියෙවුවත් නැතත් පොතේ වටිනාකම එක ලෙසම පවතිනවා. ඒ වටිනාකම නැති වෙන්නේ පොත භෞතිකව විනාශ වුවහොත් පමණයි.

තමන් කියවා අවසන් කළ, නැවත වරක් කියවන්න කිසිදු ඉඩක් නැති පොත් එකතු කර ගෙන ඉන්න ලංකාවේ ගොඩක් අය පෙළඹෙන්නේ ඔවුන් හුරු වී සිටින සමාජවාදී චින්තනය නිසා. ලංකාවේ ඉන්න තාක් කල් මම හිටියේත් ඔය ගොඩේම තමයි. පොත් මිල දී ගෙන නොකියවා ගොඩගහගෙන ඉන්න හේතුවත් මෙයමයි. කවදාවත් වාඩි නොවෙන පුටු සෙට්, ක්‍රියාත්මක නොකරන ශීතකරන, මාසයකට වරක් ස්ටාට් කරන කාර් ගෙවල් වල තියා ගෙන ඉන්නේත් තමන් මිල දී ගෙන තිබෙන්නේ අදාළ භාණ්ඩය කියා හිතන්න පුරුදු කරනු ලැබ ඇති නිසයි. ධනවාදී ක්‍රමයට හිතනවානම් කෙනෙක් මුදල් ගෙවන්නේ සුවපහසුවට අසුන් ගැනීමෙන් ලබන සතුට, කෑම නරක් කර නොගෙන සීතල බීම වීදුරුවක් බීමේ සතුට හා පහසුවෙන් ගමනක් යාමේ සතුට වෙනුවෙන් මිස අදාළ භාණ්ඩ තමා සන්තක කර ගැනීම වෙනුවෙන් නෙමෙයි. ඒ නිසා, මේ වාසි නොලබනවානම් අදාළ භාණ්ඩ වෙනුවෙන් වැය කළ මුදලේ තේරුමක් නැහැ.

බටහිර රටවල මිනිස්සු සාමාන්‍යයෙන් තමන් පරිභෝජනය කරන භාණ්ඩ මිස අනාගතයේදී පරිභෝජනය කරන්න හිතාගෙන ඉන්න භාණ්ඩ හෝ අතීතයේදී පරිභෝජනය කළ භාණ්ඩ ගොඩ ගසා ගෙන ඉන්නේ නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට මිල දී ගන්නවා. අවශ්‍ය නැති වෙලාවට කීයකට හෝ විකුණලා දමනවා. සක්‍රිය හා පුළුල් වෙළඳපොළක් තියෙන නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙයක් අවශ්‍ය මිලකට මිල දී ගන්න ගන්න බැරි වෙයි කියන බය ඔවුන්ට නැහැ. අලුත් බඩුවක් ගන්න සල්ලි නැත්නම් අතේ තිබෙන මුදලට සෙකන්ඩ් හෑන්ඩ් බඩුවක් හරි ගන්න පුළුවන්.

පෞද්ගලික අයිතියට මුල් තැන ලැබෙන සමාජ ක්‍රමයකදී භාණ්ඩයක් පරිභෝජනය කිරීමේ අයිතිය වෙනුවෙන් වැය කළ යුත්තේ තමන්ගේම ප්‍රාග්ධනය නිසාත්, ඒ ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැයක් තිබෙන නිසාත් වර්තමානයේ පරිභෝජනය නොකරන භාණ්ඩයක් වෙනුවෙන් මුදල් යට කිරීම අවාසිදායකයි. එක්කෝ ඒ මුදලින් වර්තමානයේ පරිභෝජනය කරන්න කැමැත්තෙන් ඉන්න වෙනත් දෙයක් මිල දී ගත හැකියි. එහෙම නැත්නම්, මුදල් ආයෝජනය කර (ණයට දී) ආදායමක් ඉපැයිය හැකියි. ධනවාදී චින්තනය තියෙන මිනිස්සු හිතන්නේ ඔය විදිහටයි.

අනෙක් අතට පොදු දේපොළ ක්‍රමය යටතේ ඕක වෙනස් විදිහකට සිදු වෙනවා. භාණ්ඩයක් පරිභෝජනය කරන්න තමන්ගේම මුදලක් වැය කළ යුතු නැත්නම්, හොඳම දේ ඉඩක් ලැබුණු වෙලාවට පුළුවන් තරම් පරිභෝජනය කරන එකයි. තමන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ පරිභෝජනය කරන්න ලැබෙයි කියා විශ්වාසයක් නැති නිසා ආණ්ඩුවෙන් දෙන දේ දෙන වෙලාවට පරිභෝජනය නොකළොත් ඒ අවස්ථාව ගිලිහී යනවා. ලංකාවේ රජයේ සේවකයින් උදාහරණයට ගත්තොත් සහන දුම්රිය ප්‍රවේශපත්, රජයට අයත් නිවාඩු නිකේතන, අඩු පොලී ණය (උත්සව අත්තිකාරම්) වගේ වසරකට වරක් හෝ කලාතුරකින් ලැබෙන සහන තමන්ට අවශ්‍යම නොවුනත් ගන්න පෙළඹෙන්නේ මේ පදනමිනුයි.

ලංකාවට වෙලා තිබෙන්නේ, ධනවාදී ක්‍රමයක තිබෙන, අවශ්‍ය වෙලාවට අවශ්‍ය මිලකට අවශ්‍ය දේ මිල දී ගන්න ඉඩ සැලසෙන වෙළඳපොළ යාන්ත්‍රණයක් රටේ නැහැ. මිනිස්සු වෙළඳපොළ ක්‍රමය විශ්වාස කරන්න පටන් ගන්න තුරු එවැනි යාන්ත්‍රණයක් හැදෙන්නේ නැහැ. ඒ වගේම, පරිභෝජනයට අවශ්‍ය බොහොමයක් දේවල් ආණ්ඩුවෙන් නිකම් ලැබෙන තරමේ සමාජවාදයකුත් නැහැ. එවැනි ක්‍රමයක් පවත්වාගත හැකි ආර්ථික ශක්තියක් රටට නැහැ. ඒ නිසා, ඉඩක් ලැබෙන වහාම පොදු දේපොළ ඕනෑවටත් වඩා පරිභෝජනය කර නාස්ති කරන අතරම පෞද්ගලික දේපොළ පරිභෝජනය නොකර ගොඩ ගසා ගන්නවා. ඔතැන තියෙන්නේ ගොඩක් මිනිස්සු දැන හෝ නොදැන මතවාදී ලෙස සමාජවාදීන් වුවත්, රටේ සමාජ ආර්ථික ක්‍රමය ඔවුන්ට අවශ්‍ය තරමටම සමාජවාදී කරගත නොහැකි වීමේ අවුලයි.

දැන් මගේ ධනවාදී යෝජනාව මෙයයි. පොතක් කියවා අවසන් වුනාට පස්සේ, එය නැවත වරක් කියවන්න අදහසක් නැති පොතක්නම් පොඩ්ඩක් අඩුවෙන් කාට හෝ විකුණන්න. උදාහරණයක් විදිහට රුපියල් පන්සීයකට මිල දී ගත් පොතක් රුපියල් තුන්සීයකට විකිණුවා කියා ඔබට පාඩුවක් වෙන්නේ නැහැ. රුපියල් පන්සීය ඔබ වැය කර අවසන්. එය නැවත නොලැබෙන ගිලුණු පිරිවැයක්. ඒ වගේම, පොත කියැවීමෙන් පසුව ඔබට එයින් ලැබිය හැකි සතුටත් ඔබ විසින් ලබා අවසන්. එසේ තිබියදී පොත ඔබ සන්තකයේ තබා ගැනීමෙන් ඔබට ලැබෙන විශේෂ වාසියක් නැහැ. නමුත්, කියවා අවසන් වූ පොත රුපියල් තුන්සීයකට විකිණුවොත් ඔබට අතට මුදලක් ලැබෙනවා. මේ විදිහට කියවා අවසන් පොත් දෙකක් විකිණුවොත් තවත් අලුත් පොතක් මිල දී ගන්න මුදලක් අතට ලැබෙනවා.

රුපියල් පන්සීයක පොතක් මුද්‍රණද්වාරයෙන් පැමිණි අලුතම අයෙක් වරක් කියවූ පොතක් රුපියල් තුන්සීයකට මිල දී ගන්න කෙනෙක් හොයා ගැනීම අමාරු නැහැ. ඔබ මේ වැඩේ කරනවානම් හොඳම ක්‍රමය පොත ගැන හා ඔබ එය විකුණන මිල ගැන වත්පොත හෝ වට්ස්ඇප් වැනි තැනක් හරහා ඔබේ මිතුරන්ට දැනුම් දීමයි. එවිට ඔබේ කාර්යාලයේම සේවය කරන හෝ දුම්රිය සගයෙකු වන මේ පොත මිල දී ගන්න හිතාගෙන ඉන්න අයෙකු ඉදිරිපත් වෙන්න පුළුවන්.

යහළුවන් විසින් කියවීම සඳහා පොත් ඉල්ලාගෙන යාම ලංකාවේ සුලබව සිදුවන දෙයක්. මේ පොත් ඇතැම් විට ආපහු ලැබෙන්නේ නැහැ. එය යහළුවන් අතර නොහොඳ නෝක්කාඩු වලටත් හේතු වෙනවා. බොහෝ විට මේ විදිහට යාළුවෙකුගෙන් ඉල්ලාගෙන යන පොත ආපසු නොදෙන්නේ යාලුවා එය කියවා නැති නිසයි. යාලුවා හිතාගෙන ඉන්නේ කියවා අවසන් වූ පසු පොත ආපහු දෙන්නයි. නමුත්, එය කවදාවත් වෙන්නේ නැහැ. කියවන්න ලොකු උනන්දුවක් නැතුව යාලුවා පොත අරන් යන්නේ එය නිකම් ලැබෙන නිසයි.

පොත නිකම් කියවන්න නොදී අඩු මුදලකට විකිණීම දෙන්නාටම හොඳ විකල්පයක්. පොත යාළුවාට දෙන්නේ මුදලක් අරගෙන නිසා පොත එතැනින් අමතක කර දැමිය හැකියි. ඒ වගේම, යාලුවා මුදල් ගෙවා පොත ගන්නේ එය ඔහුට වටිනවානම් පමණයි. මේ වගේ වැඩක් රැල්ලක් විදිහට බෝ කළොත්, ඉතා ඉක්මණින් පොත් වලට සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳපොළක් හැදෙනවා. එවිට, ඔබටත් පොත් සාප්පුවේ මිල නොගෙවා යාළුවෙක් කියවූ පොතක් අඩු මිලකට මිල දී ගත හැකියි. ගනුදෙනුව සිදුවන්නේ යාළුවෙක් සමඟ වුවත් නිසි පරිදි ගනුදෙනු පියැවීම වැදගත්.

රුපියල් පන්සීයක පොතක් ඔබ මිල දී ගත්තේ රුපියල් තුන්සීයකට වුවත් ඔබට එය නැවත රුපියල් දෙසීයකට හෝ දෙසිය පණහකට විකිණිය හැකියි. වැඩි දෙනෙකු මේ කටයුත්තට සහභාගී වන තරමට ඔබට පොතක් මිල දී ගන්න වැය වන මුදල හා කියැවූ පොත නැවත විකිණිය හැකි මුදල අතර වෙනස, එනම් ඔබ පොත කියවා ලැබූ සතුට වෙනුවෙන් ගෙවිය යුතු මුදල අඩු වෙනවා.

මේ විදිහට පොතක් අතින් අත යද්දී ක්‍රමක්‍රමයෙන් එහි මිල පහළ වැටී අන්තිමේදී අලුත් පොතක් වෙනුවෙන් ලොකු මුදලක් වැය කළ නොහැකි පාසැල් සිසුවියක හෝ රැකියා විරහිත තරුණියක වැනි අයෙකුට සුළු මුදලක් ගෙවා පොතක් මිල දී ගැනීමේ අවස්ථාව ලැබෙනවා. නමුත්, පොත ලැබෙන්නේ නිකම්ම නොවන නිසා එය අනවශ්‍ය අයෙකුගේ අතට යාමත් වැළකෙනවා. සමහර විට මාස කිහිපයකට පෙර රුපියල් පන්සීයකට මිල කර එළියට දැමූ පොතක් මේ ආකාරයට අතින් අත යාමෙන් පසු රුපියල් පණහකට මිල දී ගන්න පුළුවන් වෙයි. නැවත විකිණීමේ බලාපොරොත්තුව නිසා පොත කියවන හැම කෙනෙක්ම පුළුවන් උපරිමයෙන් පොත පරිස්සම් කරන්නත් පෙළඹෙනවා.

අවසාන වශයෙන් සිදු වන්නේ පන්සලේ මල් වට්ටි වෙන්දේසියේදී වගේ පොතේ මිලට හත් අට දෙනෙක් සම්මාදම් වීමකුයි. මෙය ධනවාදී ලෙස හිතන මිනිසුන් සිටින තැනක කටයුතු සිදුවන සාමාන්‍ය පිළිවෙළ මිස අමුතු දෙයක් නෙමෙයි. ලංකාවේ කාර් ගන්න මිනිස්සු හිතන්නේ ධනවාදී ක්‍රමයට වුනත්, පොත් ගන්න මිනිස්සු තවමත් හිතන්නේ සමාජවාදී ක්‍රමයටයි. ඒ නිසා, ලංකාවේ මිනිස්සු පරණ කාර් ගෙවල් වල ගොඩ ගහගෙන ඉන්නේ නැතත් පරණ පොත් ගොඩගහගෙන ඉන්නවා. මම මේ කියන්නේ මූලාශ්‍රයක් සේ නිතර පරිශීලනය කළ යුතු වර්ගයේ පොත් ගැන නෙමෙයි.

කවුරු හෝ තමන් කියැවූ පොත් යාළුවන් අතර නැවත විකිණීමේ වැඩේ පටන් ගත්තොත් තත්ත්වය ඉක්මණින් වෙනස් වෙයි. එවිට දැන් රුපියල් පන්සීයකට අලුත් පොතක් කියවීමේ සතුට මිල දී ගන්නා කෙනෙකුට ඒ මිලටම පොත් දහයක් කියවීමේ සතුට මිල දී ගන්න පුළුවන් වෙයි.

ඒ වගේම, රටේ තරුණ පරම්පරාව අතර පොත් කියවීමේ පුරුද්ද ඇති කරන්න බොක්කෙන්ම උවමනාවක් තිබෙනවානම් තමන්ගේ රාක්කයේ තිබෙන කියවා අවසන් වූ පොත් හා කවදාවත් නොකියවනු ඇති අලුත් පොත් වලින් කිහිපයක් අඩු මිලකට ප්‍රසිද්ධියේ විකුණා දමන්න. කණ්ඩායමක් එකතු වී සංවිධානාත්මකව පාසැල් සිසුන් හෝ සාමාන්‍යයෙන් පොත් නොකියවන ජන කණ්ඩායම් සිටින තැන් ඉලක්ක කළ හැකි තැනක මේ පොත් විකිණිය හැකිනම් වඩාත් හොඳයි. හැබැයි රුපියල් පණහක් හෝ අය කර මිස නිකම් පොත් දෙන්න එපා. නිකම් දුන්නොත් වෙන්නේ නැවතත් මේ පොත් පොත් නොකියවන අයෙකු ළඟ රැඳෙන එක පමණයි.

වැදගත් වෙන්නේ පොත් කියවීමේ පුරුද්ද ප්‍රවර්ධනය කරනවාත් එක්කම වෙළඳපොළ යාන්ත්‍රණයටත් පොඩි තල්ලුවකුත් දීමයි. එසේ නැත්නම්, මෙවැනි හුදෙකලා වැඩකින් දිගුකාලීනව ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. නමුත්, පොත් වලට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් මොන විදිහකින් හෝ හැදුනොත් දිගුකාලීනව එයින් බොහෝ දෙනෙක්ට යහපතක් සැලසෙනවා.

16 comments:

  1. හොදයි වැඩේ.. මම පටන් ගන්නවා මෙතනින්ම.. හෙට බලලා ලිස්ට් එක දාන්නම්.. අව්ශ්‍ය අය ඉදිරිපත් වෙයි කියලා අපි හිතමු..

    ReplyDelete
    Replies
    1. ලිස්ට් එකේ තිබෙන පොත් ගැන පොඩි විස්තරයකුත් එක්ක (පොඩි ඇඩ් පාරක් එක්ක) දැම්මනම් ඉල්ලුම තවත් වැඩි වෙයි.

      Delete
    2. මම බැලුවේ බිස්නස් එකක් විදියටම පටන් ගන්න.. :))))))))))) විකුනන්න ඉන්න උන්ගෙන් අඩුවට අරගෙන 10% වගේ තියාගෙන දීලා දානවා.. මට නොමිලේ කියවන්න හම්බ වෙන එක බෝනස් එකක්!

      Delete
  2. මට නම් පොත් තණ්හාවක් ටිකක් විතර තියෙනවා. ගොඩ ගහ ගෙන ඉන්න තමා කැමති. හැබැයි කෙනෙක් ඉල්ලුවොත් ආපසු නොලැබෙන බව දැනගෙන වුනත් නොදී ඉන්නේ නැහැ. එහෙම දීල පස්සේ වෙලාවක මම ආයේ ඒ පොත ගන්නවා. :)

    ReplyDelete
  3. මං රස්සාවක් කරන්ඩ පටං ගත්තට පස්සෙ අප්පච්චි ඉස්සරෝම පවරපු වගකීමක් තමයි ගෙදර පුස්ථකාලය පවත්තගෙන යන එක. එදා එක රාක්කෙකින් භාර ගත්තු වගකීම අද රාක්ක 10 විතර වෙනකල් මං ඉස්සරහට ගෙනිහිං තියනවා. ධනවාදී ක්‍රමය තුල ඒ වගේ මනෝමූලික අවශ්‍යතාවන්ටත් යුටිලිටියක් ලැබෙනව නේද? එහෙම නැත්තං ඔය පැතුම් හේරත් තුමා හා මං වැනි අයගේ හැසිරීම ධනවාදී ඇහැකින් බලන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. //ධනවාදී ක්‍රමය තුල ඒ වගේ මනෝමූලික අවශ්‍යතාවන්ටත් යුටිලිටියක් ලැබෙනව නේද? එහෙම නැත්තං ඔය පැතුම් හේරත් තුමා හා මං වැනි අයගේ හැසිරීම ධනවාදී ඇහැකින් බලන්නෙ කොහොමද?//
      මේ වගේ මනෝමූලික අවශ්‍යතාවන් නිසා සතුටක් (යුටිලිටියක්) ලැබීම හා ඒ විදිහට කවුරු හෝ කෙනෙකු ලබන සතුට වෙනුවෙන් එවැන්නෙකු ඒ සතුටේ වටිනාකම ගෙවන්න කැමැත්තෙන් සිටීම ධනවාදී ආර්ථික විද්‍යාව අනුව පැහැදිලි කළ හැකියි. නමුත්, මේ වැඩේ වෙන්න ධනවාදී ක්‍රමයක් තිබීම අත්‍යවශ්‍ය නැහැ. ධනවාදී ආර්ථික විද්‍යාවෙන් පැහැදිලි කරන්නේ මිනිස්සුන්ගේ හැසිරීම්. මේ හැසිරීම් වල මූලික ස්වභාවය ධනවාදී ක්‍රමයක් තිබුණත්, සමාජවාදී ක්‍රමයක් තිබුනත් වෙනස් වෙන්නේ නැහැ. ක්‍රම දෙක වෙනස් වෙන්නේ මේ සතුට ලබන්න මිනිස්සුන්ට කොයි තරම් ඉඩ ලැබෙනවාද කියන කරුණේදීයි. ක්‍රමය මොකක් වුනත්, මිනිස්සු හැම වෙලේම උත්සාහ කරන්නේ පවතින රාමුව ඇතුළත තමන්ගේ සතුට (යුටිලිටිය කියන එකේ හරිම තේරුම නොවුනත් තේරෙන බාසාවෙන් සතුට කියා කියමුකෝ) පුළුවන් තරම් වැඩි කර ගන්නයි. ධනවාදය කියන්නේ කෙනෙක් මේ ආකාරයට තමන් විඳින සතුට වැඩි කර ගැනීමට තිබෙන බාධා අවම කරන ක්‍රමයක්. මේ සතුට පුද්ගලික දෙයක් නිසා එය වෙනත් අයෙකුට සෘජුව නිරීක්ෂණය කරන්න බැහැ. ධනවාදී ආර්ථික විද්‍යාව අනුව මේ පෞද්ගලික දෙය මනින නිර්ණායකය පුද්ගලයෙකුගේ වෙළඳපොළ හැසිරීමයි. කවුරු හෝ රුපියල් පන්සීයකට පොතක් මිල දී ගන්නවා කියන්නේ ඔහුට එහි වටිනාකම රුපියල් පන්සීයක් හෝ ඊට වඩා වැඩියි කියන එකයි. මිල දී නොගන්නවා කියා කියන්නේ වටිනාකම රුපියල් පන්සීයට වඩා අඩුයි කියන එකයි. මේ කරුණ හැර පුද්ගලයෙකුට පොත හරියටම වටින්නේ කීයද කියන එක දැන ගන්න ගොඩක් අමාරුයි. හෙට්ටු කිරීමක් වගේ අවස්ථාවකදී පුද්ගලයෙක් යන්න ගිහින් පොඩ්ඩක් මිල අඩු කළාම නැවත ආපහු ඇවිත් බඩුවක් ගන්නවනම් අදාළ මිල බඩුවේ වටිනාකමට ආසන්නයි කියා උපකල්පනය කරන්න පුළුවන්.

      Delete
    2. ධනවාදී ආර්ථික විද්‍යාව අනුව කිසියම් භාණ්ඩයක් හදන්න ගිය වියදම හා පාරිභෝගිකයෙකුට එහි ඇති වටිනාකම අතර සම්බන්ධයක් නැහැ. වටිනාකම නිෂ්පාදන වියදමට වඩා අඩු වෙන්න වුනත් පුළුවන්. රටේ තිබෙන්නේ සමාජවාදී ක්‍රමයක් වුනත් එය එහෙමයි. රටක තිබෙන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයක්නම්, සමාජවාදී ආර්ථික ක්‍රමයක් තිබෙන තැනකට සාපේක්ෂව, පුද්ගලයෙකුට තමන්ගේ සතුට ඉහළ නංවා ගත හැකි විකල්ප විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ උදාහරණයට ආවොත්, පොතක් ගන්න වැය කරන මුදල වැය කර කළ හැකි තවත් බොහෝ දේවල් තිබෙනවා. ඒ දේවල් නොකර පොතක් මිල දී ගැනීම සඳහා යමෙක් රුපියල් පන්සීයක් වියදම් කරන්නේ ඒ මුදල වැය කර කළ හැකි අනෙක් සියලු දේට වඩා පොත මිල දී ගැනීමෙන් ලැබෙන සතුට වැඩි නිසයි. පොත ගන්නේ කියවන්නද නැත්නම් රාක්කයේ තියාගෙන එය රාක්කයේ තිබීම නිසා සතුටු වෙන්නදකියන එක අදාළ කරුණක් නෙමෙයි. වැදගත් වෙන්නේ ගෙවන මුදල වෙනුවෙන් ලබන සතුටයි. පොත නැවත කීයකට හෝ විකුණා නොදමන්නෙත් එසේ පොත විකුණා ලබන මුදල නිසා ලැබිය හැකි සතුටට වඩා පොත රාක්කයේ තියාගෙන සිටීමේ මනෝමූලික සතුට වැඩි නිසයි. මේ සියල්ල ඔබ කියා ඇති කරුණ හා ගැලපෙන කරුණු. හැම බටහිර රටකම වගේ පරණ කාසි, පරණ කාර් ආදී විවිධ දේ එකතු කර තමන්ගේ ඒ එකතුව නිසා සතුටු වන අය ඉන්නවා.නමුත්, සීමිත පිරිසක්. මම මෙහි කියන්නේ ඒකම නෙමෙයි. මම කතා කරන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක්ට තමන්ට අනවශ්‍ය දේවල් ගොඩ ගසා ගෙන සිටීමේ පුරුද්ද එන්නේ කොහොමද කියන එක ගැනයි. මේ වැඩේ කරන්නේ යුටිලිටියක් ලැබෙන නිසා තමයි. නමුත්, ඒ යුටිලිටියේ ප්‍රභවය කුමක්ද? යුටිලිටි කියන ඒවාත් ස්වායත්ත නැහැනේ. කෙනෙක් දුම්පානයට පුරුදු වූ පසු එයින් යුටිලිටියක් ලැබෙනවා. නමුත්, දුම්පානය නොකරන කෙනෙකුට ඒ යුටිලිටිය ලැබෙන්නේ නැහැ.

      Delete
    3. අපි 1970-77 කාලයට යමු. ඒ කාලයේ මිනිහෙක්ට අතේ සල්ලි තිබුණා කියා අවශ්‍ය වෙලාවට අවශ්‍ය මූලික දෙයක්වත් කඩේකින් මිල දී ගැනීමේ විකල්පය තිබුණේ නැහැ. අපි හිතමු සීනි කියා. දැන් ඔබේ ගෙදරට අල්ලපු වැටේ කීල්ස් එකක් තියෙනවානම් ඔබට ඔබේ ගෙදර සීනි ගොඩගහගෙන ඉන්න අවශ්‍ය නැහැ. සතියකට හෝ දෙකකට ප්‍රමාණවත් සීනි වරකට මිල දී ගත්තහම ඇති. නමුත්, එහෙම අවශ්‍ය වෙලාවට සීනි ගන්න හැකියාවක් නැත්නම් ඔබ කරන්නේ ලැබුණු වෙලාවට හැකිතාක් සීනි මිල දී ගෙන ගොඩ ගහ ගන්න එකයි. එසේ කිරීමෙන් ඔබට යුටිලිටියක් ලැබෙන එක ඇත්ත. මෙයින් ඔබේ ගෙදර සීනි නැති වීමේ අවදානම නැති වෙනවා වගේම කාට හෝ සීනි අවශ්‍ය කෙනෙකුට වැඩි මිලට සීනි විකුණා ලාබයක් ලැබීමේ අවස්ථාවත් ඔබට ලැබෙනවා. එහි සමස්ත යුටිලිටිය සැලකිය යුතු තරමේ එකක්. නමුත්, ඒ යුටිලිටිය ලැබෙන්නේ පවතින සමාජ ආර්ථික ක්‍රමය ඇතුළේ. අල්ලපු වත්තේ කීල්ස් එකක් තිබුනානම් ගෙදර සීනි කිලෝ දහයක් ගොඩ ගසාගෙන සිටීමෙන් යුටිලිටියක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම එයින් වෙන්නේ යුටිලිටිය අඩු වීමක්. එක පැත්තකින් යට කරපු සල්ලි වල ආවස්ථික පිරිවැය. අනික් පැත්තෙන් ගෙදර ඇහිරුණු ඉඩේ ආවස්ථික පිරිවැය. මේ ක්‍රියාව වාසියක් හෝ අවාසියක් වෙන්නේ පවතින සමාජ ආර්ථික ක්‍රමය අනුවයි. දෙවන අවස්ථාවේදී ඔබ ගෙදර සීනි ගොඩ ගහගන්නේ නැත්තේ අවශ්‍ය වෙලාවට කීල්ස් එකෙන් සීනි ගැනීමේ යුටිලිටිය වඩා වැඩි නිසයි. මුල් අවස්ථාවේදී ඔබ සතුව ඒ විකල්පය තිබුණේ නැහැ. ඒ නිසා ඉතිරිව තිබුණු හොඳම විකල්පය ගෙදර සීනි ගොඩ ගසා ගෙන සිටීම. වෙළඳපොල කාර්යක්ෂමතාවය කියන්නේ මේකටයි. අලුත් විකල්පය ලැබුනාට පස්සේ ඔබට කලින් මෙන් සල්ලි යට නොකර, ගෙදර ඉඩ වෙන් නොකර, කලින් ලැබුවාට වඩා වැඩි යුටිලිටියක් ලබන්නත් හැකි වෙනවා. දැන් අපි මෙහෙම තත්ත්වයක් ගැන හිතමු. සමාජ ආර්ථික ක්‍රමය වෙනස් වෙලා. අල්ලපු වත්තට කීල්ස් එකක් ඇවිත්. ඒ වුනත්, ඔබ මානසිකව තවමත් අලුත් තත්ත්වයට පුරුදු වෙලා නැහැ. ඔය කීල්ස් එක තිබුණට කොයි වෙලාවක හෝ සීනි නැති වෙයි කියන බය ඔබට තවමත් තියෙනවා. ඒ නිසා, අල්ලපු වත්තේ කීල්ස් එක තිබුනත් ගෙදර සීනි කිලෝ හත අටක් තියා ගැනීමේ පුරුද්ද ඔබ අත් අරින්නේ නැහැ. ගෙදර සීනි තියා ගැනීමෙන් ඔබ ඇත්තටම සතුටක් ලබනවා. නැත්නම් එහෙම කරන්න අවශ්‍ය නැහැනේ. අතීතයේ වහලෙකු වීම නිසා හෝ වෙන කවර හෝ හේතුවක් නිසා ඔබ වගේම තවත් ගොඩක් අය ඔය වැඩේම කරනවා. ඒ විතරක් නෙමෙයි "ඔය කීල්ස් තිබුණට ඕවයේ කොයි වෙලේ සීනි නැති වෙයිද කියා දන්නේ නැහැ" කියා ඔබ ඔබ අවට ඉන්න අයටත් කියනවා. එතකොට මේකේ නෙට්වර්ක් ඉෆෙක්ට් එකකුත් හැදෙන නිසා කවුරුවත් පවතින තත්වයෙන් වෙනස් වෙන්න බයයි. කීල්ස් එකේ සීනි නැති නොවන බවට මට සෑහෙන විශ්වාසයක් තියෙනවා. ඒත් හැම ගෙදරකම සීනි කිලෝ දහයක්වත් එක්රැස් කරගෙන ඉන්න නිසා මට විතරක් එසේ නොකර ඒ අවදානම ගන්න බයයි. ඒ නිසා, අන්තිමට මමත් රැල්ලට සීනි කිලෝ දහයක් ගන්නවා. දේශපාලනඥයෝ, කලාකාරයෝ, පූජ්‍ය පක්ෂය, ජනමාධ්‍ය මේ විදිහට ගෙදර සීනි තියා ගෙන සිටීම අගය කරනවා. අන්තිමට හැමෝම කීල්ස් එකෙන් අවශ්‍ය වෙලාවට සීනි මිල දී ගැනීමේ අවස්ථාව තිබියදීත් ගෙදර කාමරයක කෑල්ලක් සීනි වලට වෙන් කර ගෙන ඉන්නවා. දැන් කාගේ හරි ගෙදරක සීනි නැත්නම් ඒක මදිකමක්. සීනි වැඩිපුර තිබුණොත් ආඩම්බරයට කරුණක්. ඒ නිසා, සීනි නොකන අයත් සීනි ගෙදර එක්රැස් කරනවා. හැමෝම හැමවිටම කියා මා කියන්නේ නැතත් පොත් එකතු කිරීමේ පුරුද්දේත් ඔය වගේ දෙයක් තියෙනවා.

      Delete
    4. ඔබේ දීර්ඝ පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි ඉකොනො...හේමසිරි කොටගම සර්ගෙ ඉකොනොමික්ස් පන්තිය මතක් උනා පොඩි නොස්ටැල්ජියාවකුත් එක්කම....

      Delete
  4. alibris.com වගේ එකක් ලංකාවටත් අවශ්‍යයි.

    ReplyDelete
  5. සෑර්ගේ යෝජනාවේ වැරැද්දක් නැහැ. නමුත්;
    පුස්තකාල කියල තැනකත් පොත් තියෙනවා නේද ? ඒක මෙතනට සම්බන්ද කොරාගන්න එක මට නං ටිකක් විතර අවුල් වගේ.
    ලොකුමලය සෑර්, පැතුම් සෑර් වගේ සල්ලි දීල පොත් ගන්න බොහොමයක් දෙනා පොත් එකතු කොරන අය තමා. ඒ හැර අනෙක් අයට අඩුගානට සෙකන්ඩ් හෑන්ඩ් පොතක් ගන්නවට වඩා ලාබෙට පුස්තකාලෙකින් පොතක් කියවන්ඩ ඇහැක් නේද.

    බටහිර රටවල මිනිස්සු 'අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට මිල දී ගන්නවා. අවශ්‍ය නැති වෙලාවට කීයකට හෝ විකුණලා දමනවා.' කියන කතාවත් නිවැරදිම නැහැ නේද සෑර්.
    ජයවේවා!
    Myself Hattor.

    ReplyDelete
  6. අම්මෝ! යන දුරක්!!

    හරිම සිත් ගත් පෝස්ටුවක් හා කමෙන්ට්ස්. මාත් පොත්වලට නං තන්හාපතියෙක්.
    බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන්වහන්සේටත් දිගු කාලයක්ම පොත-පතට තියෙන තෘෂ්ණාවෙන් මිදෙන්න බැරි වුණු කතාවක් මට මතකයි.

    තවම කාගෙන්වත් නොකියවුණු දේකුත් තියෙනවා. පොතක් නැවත මුද්‍රණය වෙන්නේ නැති නම් කොහොමද ඒක ලබාගන්නේ සල්ලි තිබුණත්? සමහර පොතක ඕනෙකම මතුවෙන්නේ හදිසියේ කරුණක් හොයද්දී. ඉතින් ගත්තු පොත විකුණලා දාලා නම්.....

    අපේ රටේ නම් හොඳම පුස්තකාල නෙවෙයිනේ තියෙන්නෙත්!

    ReplyDelete
    Replies
    1. //පොතක් නැවත මුද්‍රණය වෙන්නේ නැති නම් කොහොමද ඒක ලබාගන්නේ සල්ලි තිබුණත්?//
      මේ කරුණ විසින් තහවුරු කරන්නෙත් ද්වීතියක වෙළඳපොළක වැදගත්කමයි. ඇතැම් විට කෙනෙකුට දැනට මුද්‍රණය වූ පිටපත් විකිණී අවසන් පොතක විශාල වටිනාකමක් තිබෙනවා වෙන්න පුළුවන්. ඇය එහි මිල ගෙවන්න සූදානම්ව සිටිනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම, කලින් පොත මිල දී ගත් අය අතර දැන් මේ පොත අවශ්‍ය නැති අය ඕනෑ තරම් ඉන්න පුළුවන්. මේ වගේ වෙලාවක ගනුදෙනුවකින් දෙන්නාටම වෙන්නේ වාසියක්. පොත හිමි කෙනාට ගන්න කෙනා කැමතිනම් ගත් මිලට වඩා වැඩියෙන් වුවත් පොත විකිණිය හැකියි. කවුරු හෝ එසේ වැඩි මිලට පොත ගන්නවානම් එසේ කරන්නේ ඒ පොතට ඇගේ වටිනාකම ඊටත් වඩා වැඩි නිසයි. ඒ නිසා වැඩි මිලක් ගෙවා ගත්තත් ගනුදෙනුවෙන් ඇයට වෙන්නේ වාසියක්.

      Delete
    2. //සමහර පොතක ඕනෙකම මතුවෙන්නේ හදිසියේ කරුණක් හොයද්දී. ඉතින් ගත්තු පොත විකුණලා දාලා නම්.....//
      පොතක් තමන් අතේ දිගටම තියා ගැනීම වාසිදායක වෙන්නේ මේ විදිහට නිතර නිතර පොත බලන්න අවශ්‍ය වෙනවනම්. දැන් ඔය මහාවංශය, ක්වේරෝස් පියතුමාගේ පොතේ වෙළුම් තුන, කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය, බයිබලය, ත්‍රිපිටකයේ පොත්, රොබට් නොක්ස්ගේ පොත වගේ ඒවා (මා හා අදාළව) මේ ගොඩට දමන්න පුළුවන්. නමුත්, බොහෝ විට මේ කතාව ඔය පොත කියා කියන කඩදාසි මිටියට තියෙන ආසාව වහගෙන තමන්වම රවට්ටගන්න කරන අහිංසක උප්පරවැට්ටියක්. මම මේ කරුණ තවත් ටිකක් හොඳින් පැහැදිලි කරන්නම්. මේ කියන විදිහට කිසියම් පොතක් (අපි කියමු එදා හෙළදිව කියලා) ඉදිරි කාලයේදී මට කොපමණ වරක් ඕනෑ වෙයිද? අපි හිතමු දහ වරක් කියා. ඒ එක වරකදී මගේ අතේ පොත නොතිබීම නිසා මට වෙන උපරිම පාඩුව කීයද? ඕක සංකල්පීය විදිහට මේ ආකාරයට ඇස්තමේන්තු කළ හැකියි. හරියටම මට ඕනෑ වෙලාවට කවුරු හෝ කෙනෙක් පොත මා ලඟට ගෙනත් දෙනවනම් මා ගෙවන්න කැමති උපරිම මිල කීයද? අපි හිතමු රුපියල් 25ක් කියලා. මේ වැඩේට රුපියල් 26ක් ගෙවන්න වෙනවනම් මම කරන්නේ වැඩේ අතාරින එක. ඒ කියන්නේ හරියටම ඒ වෙලාවේ පොත පරිශීලනය කිරීමේ වටිනාකම රුපියල් 25යි. එතකොට දහ පාරට වටිනාකම රුපියල් 250යි. එක් එක් වාරයේදී උවමනාවේ තීව්‍රකම අනුව පොත අතේ තිබීමේ වටිනාකම අඩු වැඩි වෙන්න පුළුවන්. එය හැම වාරයේම එකම ගණන විය යුතු නැහැ. කොහොම වුනත් වැදගත් කරුණ මේ විදිහට හදිස්සියේ පොත උවමනා වූ විට එය ළඟ නැති වීමේ පාඩුව ඇස්තමේන්තු කළ හැකි නිශ්චිත පාඩුවක්. මේ පාඩුව රුපියල් 250නම් (අවශ්‍ය වෙලාවට පොත නොලැබීමේ අවදානමද සැලකිල්ලට ගැනීමෙන් පසු), පොත විකුණලා රුපියල් 300ක් ගන්න පුළුවන්කම තිබියදී කවුරු හෝ පොත තියාගෙන ඉන්නවානම් ඉතුරු රුපියල් 50 වැය කරන්නේ පොත කියන කඩදාසි ගොඩ අතේ තියාගෙන සිටීමේ සතුට වෙනුවෙන්. හොඳින් හිතා බැලුවොත්, රාක්කයේ තියෙන පොත් අතර නැවත කවදාවත් මේ විදිහට හදිසියේ ඕනෑ වෙන්නේ නැති පොත් ඕනෑ තරම් තියෙනවා. කිසියම් පොතක් හදිසියේ ඕනෑ වුනත්, ඒ උවමනාව බොහෝ විට ලොකු මිලක් ගෙවන්න පුළුවන් තරමේ උවමනාවක් නෙමෙයි. පොත තියෙන නිසා බලනවා. පොත අතේ නැත්නම් මිලක් ගෙවා එය කියවන්න පුළුවන්කම තිබුණත් බොහෝ විට කියවන්නේ නැහැ. ඒ කියන්නේ අර හදිස්සිය එතරම් ලොකු හදිස්සියක් නෙමෙයි.

      Delete
    3. ඊළඟට තාක්ෂනය හා වෙළඳපොළ පුළුල්වීමත් එක්ක කලින් නොතිබූ අලුත් විකල්ප ලැබෙනවා. දැන් මම උඩ ලැයිස්තුවේ දැමූ පොත් සියල්ලම අන්තර්ජාලයේ තිබෙනවා. කියවන්න අමුතුවෙන් මිලක් ගෙවිය යුතුත් නැහැ. ඒ නිසා, මේ පොත් රාක්කයේ තිබුණත් බොහෝ විට පරිශීලනය කරන්නේ අනතර්ජාලයේ තිබෙන පිටපත මිස රාක්කයේ තිබෙන පිටපත නෙමෙයි. රාක්කයේ පොත තියාගෙන ඉන්නේ තනිකරම මේ පොත කියන කඩදාසි මිටියට තියෙන තණ්හාවට.

      Delete
    4. [රාක්කයේ පොත තියාගෙන ඉන්නේ තනිකරම මේ පොත කියන කඩදාසි මිටියට තියෙන තණ්හාවට.]

      මේ වගේ අහිංසක තන්හාත් නැති කරගෙන ජිවත් වෙන එක හෙන බොරින් නේ ඉකොනොමැට්ටෝ... හෙහ් හෙහ්... ඔන්න ඔහේ වැඩි දුර හිතන්නේ නැතුව ආතල් එකේ ඉමු ...

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: