Sunday, October 6, 2019
රනිල් වික්‍රමසිංහ- ගමනක අවසානය?
නොවැම්බර් 16 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා දීමට පෙර ඇප මුදල් තැන්පත් කළ හැකිව තිබුණු කාලය මේ වන විට අවසන්ව තිබෙන අතර විවිධ පක්ෂ යටතේ හා ස්වාධීනව පුද්ගලයින් 41 දෙනෙකු විසින් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ අනුව, ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා වනු ඇත්තේ මේ 41 දෙනාගෙන් එක් අයෙකුයි. ඒ කවුද කියා හරියටම කීමේ හැකියාවක් තවමත් නැහැ.
ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා පිළිබඳව එක් දෙයක්නම් දැන් ස්ථිරවම කිව හැකියි. ඒ, ඔහු අලුත් කෙනෙක් බවයි. මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරී නැහැ. ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා අලුත් කෙනෙක් වනවාට අමතරව ඔහු මෙතෙක් ලංකාවේ අගමැති ධුරය හෙබවූ අයෙකුද නොවෙයි. මහින්ද රාජපක්ෂට හෝ රනිල් වික්‍රමසිංහට ලංකාවේ මීළඟ ජනාධිපති වීමේ ඉඩක් දැන් නැහැ. ගෝඨාභය කඳවුර හා සජිත් කඳවුර විසින් අදාළ පක්ෂ ඇතුළේ ගෙනගිය අරගල මේ වෙද්දී ජයග්‍රහණයෙන් කෙළවර වී තිබෙනවා.
රනිල් වික්‍රමසිංහට එජාපයට පිටින් වගේම එජාපය ඇතුළෙනුත් කලක සිටම විශාල ප්‍රතිරෝධයක් තිබුණා. බොහෝ දෙනෙකු ඔහුව හැඳින්වූවේ විශාල වාර ගණනක් පරාජය වීත් එජාප නායකත්වය අත නොහරින අයෙකු ලෙසයි. ඔහු තවමත් එජාප නායකත්වය අතහැර නැහැ.
රනිල් වික්‍රමසිංහ මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ 1977දී අටවෙනි පාර්ලිමේන්තුවේ බියගම මන්ත්‍රීවරයා ලෙසයි. එවිට ඔහු වයස අවුරුදු 28ක තරුණයෙක්. එදා සිට අද දක්වාම ඔහු දිගටම ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් රනිල් වික්‍රමසිංහට වඩා පැරණි පාර්ලිමේන්තු ඉතිහාසයක් තිබෙන්නේ මහින්ද රාජපක්ෂට පමණයි. මහින්ද රාජපක්ෂ 1970දී පාර්ලිමේන්තුවට තේරී පත්වන විට ඔහුගේ වයස අවුරුදු 24ක් පමණයි. එහෙත්, මහින්ද රාජපක්ෂට ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අඛණ්ඩව රැක ගැනීමට හැකි වූයේ නැහැ. 1977දී මහින්ද රාජපක්ෂ රන්ජිත් අතපත්තුට පරාද වුනා. ඉන්පසු, මහින්දට නැවත පාර්ලිමේන්තු එන්න ලැබුණේ 1989දීයි.
අටවෙනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ රනිල්ට ජේආර්ගේ ආණ්ඩුවේ කැබිනට් මන්ත්‍රීධුරයක්ද හිමි වුනා. රැකියා හා යෞවන කටයුතු ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ කටයුතු කළ මේ කාලයේදී ඔහු විසින් සංවිධානය කළ යොවුන්පුර කඳවුරු වැඩසටහන් ඒ කාලයේ විවිධ විවේචන වලටද පාත්‍ර වුනා.
සමානුපාතික ක්‍රමයට පැවැත්වුණු 1989 මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වීමට රනිල් වික්‍රමසිංහට හැකි වුවත් ගම්පහ මනාප ලැයිස්තුවේ ඔහු සිටියේ තෙවැනි තැනයි. ජෝශෆ් මයිකල් පෙරේරා හා ජෝන් අමරතුංග රනිල්ට වඩා ඉදිරියෙන් සිටියා. ඒ වෙද්දී එජාපයේ දෙවන පෙල නායකයන් සේ කැපී පෙනුණේ ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායකයි. 1989 මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ලලිත් ඇතුලත්මුදලි දිවයිනේ වැඩිම මනාප වාර්තා කරද්දී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ගාමිණී දිසානායක දිවයිනේ වැඩිම මනාප ප්‍රතිශතය (තමන් තරඟ කළ දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද වල ප්‍රතිශතයක් ලෙස) වාර්තා කළා. ඒ වෙද්දී, රනිල් වික්‍රමසිංහ එජාපයේ සිටි මේ දැවැන්ත චරිත වල අහලකින්වත් හිටියේ නැහැ.
ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව ලලිත්, ගාමිණී ඇතුළු කණ්ඩායම විසින් ගෙන ආ දෝෂාභියෝග යෝජනාව, ඉන්පසුව එම කණ්ඩායම එජාපයෙන් ඉවත් වීම හා ප්‍රේමදාස, ලලිත්, ගාමිණී ඝාතන ආදී සිදුවීම් රැසකින් පසුව රනිල් වික්‍රමසිංහ එජාප නායකයා බවට පත් වුනා. ඉන්පසුව, එජාපය පක්ෂයක් ලෙස ලබාගත් ජයග්‍රහණයන් කෙසේ වුවත්, දිගින් දිගටම එජාපය ඇතුලෙ සිටි ජනප්‍රියම නායකයා වූයේ රනිල් වික්‍රමසිංහයි. එතෙක් මෙතෙක් පැවති සෑම මහා මැතිවරණයකදීම විශාල ඡන්ද ප්‍රමාණයක් හා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත් වුනා.
රනිල් වික්‍රමසිංහ කිහිප වරක්ම ලංකාවේ අගමැති ධුරය දැරුවත් ඔහුට කිසි විටෙකත් ලංකාවේ ජනාධිපති ධුරය දැරීමේ වාසනාව හිමි වුනේ නැහැ. ඔහු දෙවරක්ම එම ධුරය සඳහා තරඟ කළත් පළමු වර චන්ද්‍රිකා කුමාරතුංගටත්, දෙවන වර මහින්ද රාජපක්ෂටත් පරාජය වුනා. ඒ පරාජයන් දෙකටම එල්ටීටීඊ සංවිධානයෙන් දායකත්වයක් ලැබුණා.
චන්ද්‍රිකා කුමාරතුංග පළමු වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ජනප්‍රියතාව අතින් ඉතා ඉහළ තැනක හිටියත් ඇය 1999දී දෙවන වර තරඟ කරන විට ඒ තත්ත්වය බොහෝ දුරට වෙනස් වී තිබුණා. ඒ නිසා රනිල් වික්‍රමසිංහට එවර ජයග්‍රහණය කරා යාමට සැලකිය යුතු ඉඩක් තිබුණා. නමුත්, ජනාධිපතිවරණයට දින තුනක් තිබියදී අවසන් ප්‍රචාරණ රැළියේදී චන්ද්‍රිකා කුමාරතුංගට එල්ටීටීඊ ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ රටේ බොහෝ දෙනෙකුගේ අනුකම්පාව දිනා ගැනීමට ඈ සමත් වුනා. මේ සිදුවීම නොවන්නට ඇතැම් විට එවර රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළ හැකිව තිබුණා.
මේ අයුරින්ම 2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ පරාජයට හේතු වූයේත් එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේ ඡන්ද වර්ජනයක් ක්‍රියාත්මක කිරීමයි. එවර රනිල් මහින්දට පැරදුනේ ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයකින්. එල්ටීටීඊ සංවිධානය විසින් එජාපයේ ප්‍රමුඛ නායකයින් තිදෙනෙකුම කෙටි කලක් තුළ ඝාතනය කිරීමේ වාසිය නිසා එජාප නායකත්වයට පත් වුනු රනිල්ට ලංකාවේ ජනාධිපති වීමට තිබුණු අවස්ථාව එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියා හේතුවෙන්ම දෙවරක්ම වැළැකීම දෛවයේ සරදමක්.
ඉහත කී සුවිශේෂී තත්ත්වයන් යටතේ ජනාධිපතිවරණ දෙකකින්ම පරාජය වුවත්, මා දන්නා තරමින්, රනිල් වික්‍රමසිංහ ඔහු පෞද්ගලිකව තරඟ කළ අනෙක් මැතිවරණ සියල්ලම ජයගත් අයෙක්. ඔහු ඇතැම් අය කියන ආකාරයට දිගින් දිගටම මැතිවරණ පැරදුණු අයෙක් නෙමෙයි. රනිල්ට දිගින් දිගටම එජාප නායකත්වයේ ඉන්න හැකි වුනෙත් ඔහු දිගින් දිගටම එජාපය තුළ සිටි ජනප්‍රියම නායකයා වූ නිසයි. තමන්ගේ පක්ෂ නායකත්වයට එරෙහිව වරින් වර නැගුනු විවිධ අභියෝග හමුවේ නායකත්වය රැක ගැනීමට ඔහු මෙතෙක් සමත් වුනා. එහෙත්, මේ වෙද්දී රනිල් වික්‍රමසිංහ හැරවුම් ලක්ෂ්‍යයක් කරා එළැඹ සිටින බව පැහැදිලියි. සජිත් ප්‍රේමදාස එජාප අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම රනිල්ගේ අවශ්‍යතාවය ඉටුවීමක් සේ සැලකිය නොහැකියි. එය රනිල්ගේ පරාජයක්!
රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ මාමණ්ඩිය වන ජේ ආර් ජයවර්ධන අතර සමානතා ගණනාවක් තිබෙනවා. ඔවුන් දෙදෙනාම කිසියම් දැක්මක් තිබුණු නායකයින්. ඒ දැක්ම කෙතරම් පරිපූර්ණ දැක්මක්ද කියන එක වෙනම කරුණක්. ඔවුන් දෙදෙනාම තමන්ගේ දැක්ම පරිදි කටයුතු කිරීමට අවස්ථාවක් එළැඹෙන තුරු බලා සිටියා මිස කෙටි මං හොයන්න ගියේ නැහැ. ජේ ආර්ට ඔහු විසින් දශක ගණනාවක් බලා සිටි අවස්ථාව ලැබෙන විට ඔහු සෑහෙන තරමකට වයස්ගත පුද්ගලයෙක්. රනිල් වික්‍රමසිංහට ඒ අවස්ථාව කවදාවත් ලැබුණේ නැහැ.
ජේ ආර් ජයවර්ධනට 1977දී හයෙන් පහක බලයක් ලැබුණේ හදිසියේම ලංකාවේ ඡන්දදායකයින්ට ජේ ආර්ගේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ගැන පැහැදීමක් ඇතිවූ නිසා නෙමෙයි. සමඟි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ නිසා බොහෝ දෙනෙක් ඒ වන විට හොඳටම හෙම්බත් වී සිටි නිසයි. එසේ නොවන්නට, ජේ ආර්ට ඔහුගේ ඉදිරිගාමී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ජේ ආර්ගේ දැක්ම සමකාලීන දේශපාලනඥයින් බොහෝ දෙනෙකුට වඩා ඉදිරිගාමී වූ බව කැපී පෙනෙන්නේ මේ වෙද්දී ශ්‍රීලනිපය වැනි පක්ෂ වලට පමණක් නොව ජවිපෙ වැනි පක්ෂ වලට පවා තමන්ගේ පසුගාමී ආර්ථික දේශපාලන ව්‍යාපෘති අතහැර අඩු වැඩි වශයෙන් ජේ ආර් ගිය මඟම යන්නට සිදු වී තිබීමෙනුයි.
ජේ ආර්ට ඔහුගේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳව දෘඪ විශ්වාසයක් තිබුණත්, ඒ වැඩ පිළිවෙල රටට තබා පක්ෂයට හෝ අළෙවි කිරීමේ දක්ෂතාවයක් ඔහුට තිබුණේ නැහැ. ඇතැම් විට ඔහුට ඒ සඳහා උවමනාවක් නොතිබුණා වෙන්නත් පුළුවන්. ජේ ආර්ගේ මේ දුර්වලතාවය රනිල් වික්‍රමසිංහටත් එළෙසම තිබෙනවා. කොහොම වුනත්, හයෙන් පහක මැතිවරණ ජයග්‍රහණය සමඟ ලැබුණු පිටියේ වාසිය නිසා ජේ ආර්ට තමන්ගේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අසීරු වුනේ නැහැ. ඔහු සීමාවෙන් ඉදිරියට පැන අත දිග හැර ප්‍රහාර එල්ල කළා.
රනිල් වික්‍රමසිංහ ඔහුගේ මාමණ්ඩිය තරම් වාසනාවන්තයෙක් වුනේ නැහැ. ඔහුට කිහිප වරක්ම පන්දුවට පහර දීමට පිත්ත අතට ලැබුණත්, එසේ ලැබුණේ ජේ ආර්ට ලැබුණු ආකාරයේ පිටියේ වාසියක් සමඟ නෙමෙයි. කඩුල්ල රැක ගැනීම ගැන මිස ලකුණු රැස් කිරීම ගැන හිතන්න ඔහුට වැඩි ඉඩකඩක් ලැබුණේ නැහැ. නමුත්, කඩුල්ල රැක ගනිමින් ඔහු තමන්ට හැකි තරම් ලකුණු රැස් කළා. මා හිතන ආකාරයට, තමන්ට සැලකිය යුතු දේශපාලන බලයක් ලැබුණානම් දැකිය හැකිව තිබුණු රනිල් වික්‍රමසිංහගේ සැබෑ ස්වරූපය කිසිදා මුළුමනින්ම නිරාවරණය වී නැහැ. සුවිශේෂී තත්ත්වයන් යටතේ පමණක් දැකිය හැකි වූ, ලංකා ඉතිහාසයේ රනිල් වික්‍රමසිංහගේ භූමිකාව ගැන තව අවුරුදු දහයකින් අදට වඩා ගොඩක් දේවල් කතා කෙරෙයි.
මේ මොහොත වෙද්දී පවතින තත්ත්වය අනුව, ඉදිරි ජනාධිපතිවරණය ජයගන්න ඉඩ තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස යන දෙන්නාගෙන් එක් අයෙක්. යම් හෙයකින් සජිත් ප්‍රේමදාස ජයග්‍රාහකයා වුවහොත්, රනිල් වික්‍රමසිංහගේ අතේ තියාගෙන සිටින එජාප නායකත්වයේ වගේම ඔහුගේ දේශපාලනයේත් අවසානය එය විය හැකියි. අනෙක් අතට, ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයකින් පසුව තවත් ටික කලක් එජාප නායකත්වයේ සිටීමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහට ලැබෙන්න පුළුවන් වුවත්, ඔහුට අනාගතයේදී නැවතත් බලයට එන්න අවස්ථාවක් ලැබේද යන්න සැක සහිතයි. ඒ නිසා, රනිල් වික්‍රමසිංහ ඉතිහාසයට එකතු වනු ඇත්තේ ටික දෙනෙක් ටිකක් කියවූ, කිසිවකු සම්පූර්ණයෙන්ම නොකියවූ ලොකු පොතක් ලෙසයි.
Subscribe to:
Post Comments (Atom)
රාමයනයේ විභීශණ චරිතය දෙවිදියකට විස්තර කරන්න පුළුවන්.
ReplyDelete1. බල කාමය වෙනුවෙන් රටට, සහෝදරයට ද්‍රෝහි වූවෙක් හැටියට
2. යුද්ධෙ පැරදිලා හනුමට අයිතිවෙන්න නියමිතව තිබුණු රට සහෝදරයා කැපකරලා බේරගත්ත වීරයෙක් හැටියට.
රනිල් මොනවගේ එකෙක්ද?
සමනලයෙක්!
Deleteඉකෝන්,
ReplyDeleteමම නම් හිතන්නෙ ගෝටා දිනුවොත් රනිල්ව මේ කපේදි එළවන්න වෙන්නෙ නෑ එජාප නායකත්වයෙන්...සජිත් දිනුව උනත් සූත්තර පුංචා මොන දහංගැටයක් හරි ගහයි අගමැතිකමයි පක්ෂ නායකත්වයයි රැකගන්ට....
රනිල්ට තිබ්බ ලොකුම අඩුපාඩුව තමයි දූරදර්ශීයත්වය නැතිකම. ඒ එක්කම කොමන් සෙන්ස් කියන එක බිංදුවයි..
2001 මහ මැතිවරණයෙන් යූ.ඇන්.පී. එක දිනල අවුරුදු දෙකයිනෙ රනිල් අගමැතිවෙලා හිටියෙ. චන්ද්‍රිකාගෙ ගැටේට අහුවුනා.ඒ වෙලාවෙ මොළේ කළඳක් තිබ්බ නම් කරන්න තිබ්බෙ දෝෂාභියෝගයක් ගෙනල්ල පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුල් කරල තියන එක. එතකොට චන්ද්‍රිකාට පාර්ලිමේන්තුව විසිරවන්න බැහැ. රනිල් ඒක කලේ නෑ. ඕනවට වඩා ශීලාචාර උනාද නැත්නම් චන්ද්‍රිකා අඩු තක්සේරුවකින් සැළකුවාද නම් මන්දා. මොහොම හරි එජාප පාක්ෂිකයින් හුඟ දෙනෙක් රනිල් ගැන කළකිරුනා එදා.
මට හිතෙන්නෙම රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ මහ පොළොවේ ඉන්න මිනිස්සුන්ව තේරුම් ගන්න බැරි, ඒත් දහම්ගැට තේරෙන කෙනෙක් හැටියටයි!
ReplyDeleteරනිල්ට ඕන ගෝඨා දිනවන්න . රනිල් ගේ අයියාගේ TNL එක දැන් ගෝඨාට පක්ෂව සජිත්ට විරැද්ධව ප්‍රචාරය පටන්ගෙන
ReplyDelete