Thursday, October 31, 2019
පෑඩ් එකේ වැදී නිකම්ම ලැබුණු බවුන්ඩරිය
සමාජ ආර්ථික තත්ත්වය අනුව පහළින් සිටින ජන කණ්ඩායම් වෙනුවෙන් ආධාර ලෙස ලබා දීම පිණිස භාණ්ඩ එකතු කිරීම (supply drives) ඇමරිකාවේ සුලභ දෙයක්. පාසැල්, කාර්යාල, සරසවි, සුපිරි වෙළඳසැල් වැනි බොහෝ තැන් වල මේ වැඩේ නිතර කෙරෙනවා. පාසැල්, කාර්යාල වගේ තැන් වල මේ වගේ ආධාර එකතු කිරීමක් තිබෙන දවසක ඒ ගැන කලින් දැනුම් දී නියමිත දිනයේ විවිධ අය රැගෙන එන බඩු දමන්න ලොකු පෙට්ටියක් තැබීම සාමාන්‍ය ක්‍රමයයි. සුපිරි වෙළඳසැලකදීනම් අපට මේ ආකාරයට කිසියම් ජන කණ්ඩායමකට අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවේ (needs list) ඇති දෙයක් මිල දී ගෙන එය මුදල් ගෙවීමේ කවුන්ටරයටම ආපසු දුන් විට අදාළ භාණ්ඩය කවුන්ටරය අසල තිබෙන පෙට්ටියකට දමනවා.
පසුගිය සතියේත් මෙවැනි භාණ්ඩ එකතු කිරීමක් ගැන විද්‍යුත් ලිපියක් ලැබුණා. එහි තරමක විශේෂත්වයක් තිබුණා. විද්‍යුත් ලිපිය එවා තිබුණේ සමාජ විද්‍යා මහාචාර්යවරියක් විසින්. ඇය මේ සෙමෙස්ටරයේ ප්‍රථම උපාධිය හදාරන සිසුන්ට "ඒඩ්ස් සහ සමාජය" නම් පාඨමාලාවක් උගන්වනවා. ඇමරිකාවේ සරසවි වල පාඨමාලා වල විෂය නිර්දේශ සෑම වසරකම අලුත් වෙනවා වගේම උගන්වන විෂයනුත් අලුත් වෙනවා.
කෘතිම බුද්ධිය වැනි අලුත් දේවල් එකතු කරමින් රටේ අවශ්‍යතා අනුව වෙනස් වෙන්නේ තාක්ෂණ විෂයයන් පමණක් නෙමෙයි. සමාජ විද්‍යා විෂයනුත් රටේ අවශ්‍යතා අනුව අලුත් වෙනවා. ඒ නිසා, උපාධියක් හදාරන කෙනෙකුට රස්සාවක් හොයා ගන්න පිකටිං කරන්න අවශ්‍ය නැහැ. උසස් අධ්‍යාපනය වෙනුවෙන් අතින් මුදල් ගෙවිය යුතු නිසා කරන ආයෝජනයට ප්‍රතිඵලයක් ලැබෙන බව තහවුරු නොවන පාඨමාලා වලට තිබෙන ඉල්ලුම ටිකෙන් ටික නැති වෙලා එවැනි පාඨමාලා අහෝසි වෙලා යනවා. ඒ වෙනුවට අලුත් පාඨමාලා එනවා.
ඔය විදිහට ලංකාවේ සරසවි වල සමාජ විද්‍යා පීඨ වල ඉගැන්විය හැකි "මැද පෙරදිග රැකියා වල නිරත කාන්තාවන්ගේ පවුල් වල සමාජ ප්‍රශ්න", "යුද්ධයට සහභාගී වී ආපසු ආ සෙබළුන් හා සමාජය", "අන්තර්-වාර්ගික ආතතීන් හා සමාජය" වගේ ඕනෑ තරම් අලුත් විෂයයන් ගැන හිතන්න පුළුවන්. ඒ වගේ අලුත් විෂයයන් ලංකාවේ සරසවි වල උගන්වනවාද නැද්ද කියා මම දන්නේ නැහැ. ඇමරිකාවේනම් එසේ වෙනවා. ඔය "ඒඩ්ස් සහ සමාජය" පාඨමාලාව එක උදාහරණයක්.
දැන් මේ පාඨමාලාව හදාරන සිසුන් විසින් එය සමත් වෙන්න කළ යුතු දේවල් අතර විභාග වලට අමතරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගණනාවක් තියෙනවා. සහභාගිත්ව පරීක්ෂණයක් කරමින් අවම පැය ගණනක් ඒඩ්ස් රෝගීන් බහුල ප්‍රජාවන් සමග ගත කළ යුතුයි. ඒ වගේම, එච්අයිවී ආසාදනය වීමේ අවදානම වැඩිම ජන කොටස් වෙනුවෙන් නිශ්චිත අවම පැය ගණනක් ස්වේච්ඡාවෙන් සේවය කළ කළ යුතුයි. ඔවුන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය දේ එකතු කර බෙදා දීමත් මේ පාඨමාලාවේම කොටසක්. මා මුලින් කී විද්‍යුත් ලිපිය ලැබුණේත් මෙවැනි ආධාර එකතුවක් හා අදාළවයි.
අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවේ ඉහළින්ම තිබුණේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා. සබන්, ෂැම්පු, දත්බෙහෙත්, දත් බුරුසු ආදී භාණ්ඩ ගණනාවක් පහළින් තිබුණා. අදාළ දවසේ මේ වෙනුවෙන් තබා තිබුණු පෙට්ටියට ඔය දේවල් ගොඩක් එකතු වී තිබුණා. ගොඩක් අය පැකිලීමක් නැතුව සනීපාරක්ෂක තුවා ගෙනත් පෙට්ටියට දැම්මා.
මේ වටෙන් ගොඩෙන් එන්නේ සජිත්ගේ සනීපාරක්ෂක තුවා කතාවට බව කියවන අයට නොතේරෙන්න හේතුවක් නැහැනේ. මේ ගැන අජිත් පැරකුම්, රසික, අජිත් ධර්මා වගේ තවත් ගොඩක් අයත් ලියා තිබුණා. සජිත් ඔය කතාව කිවුවේ කොයි තරම් සීරියස් විදිහටද කියා මම දන්නේ නැහැ. ඒ වගේම, සජිත් යම් විදිහකින් දිනුවොත් ඔය වැඩේ කරයිද කියන්නත් මම දන්නේ නැහැ. කොහොම වුනත් මේ කතාව නිසා දැන් සජිත්ට ලොකු ගැම්මක් ඇවිත් තිබෙනවා. බෝලෙට හරියට පාරක් ගහගන්න බැලුව දඟල දඟල හිටපු මනුස්සයගෙ පෑඩ් එකේ වැදිලා බවුන්ඩරියක් ගියාම කොහොමද ආතල් එක?
ඔසප් දරිද්‍රතාවය කියන එක දැන් ලෝකය පුරාම කතාබහට ලක්වන කරුණක්. මේ ප්‍රශ්නය තුන්වන ලෝකයේ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. සංවර්ධිත රටවල් බොහොමයක කාන්තාවන් මුහුණ දෙන ගැටලුවක්. මේ සම්බන්ධව අවධානය යොමු කිරීම සඳහා පසුගිය 19 වෙනිදා පළමු වරට ඇමරිකාවේ ජාතික ඔසප් දිනයකුත් පැවැත් වුනා. වෙන මොනවා නැතත් සජිත් නිසා මේ ප්‍රශ්නය ගැන කතාබහක් ඇති වීමම ලොකු දෙයක්.
මෙවර ජනාධිපතිවරණයේ විශේෂත්වය වුනේ වැඩි සද්දයක් නැති වීමයි. එක පැත්තකින් එයට හේතු වී තිබෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමයි. ලෝකයේ ස්වාධීන මිනිස්සු හෝ ස්වාධීන කොමිසම් නැහැ කියා කාට හෝ තර්ක කරන්න පුළුවන්. ඒ තර්ක කොහොම වුනත්, මැතිවරණය පැවැත්වෙන ආකාරය සෑහෙන තරමකින් නියාමනය කරන්න මැතිවරණ කොමිසම සමත් වී සිටින බව කාට වුනත් පිළිගන්න වෙනවා.
ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සාපේක්ෂව එතරම් සක්‍රිය නැති වීමට එකම හේතුව ස්වාධීන මැතිවරණ කොමිසම කියා මා හිතන්නේ නැහැ. මෙහි ඊට වඩා දෙයක් තිබෙනවා. බොහෝ දෙනෙක් නිරීක්ෂණය කර තිබෙන ආකාරයට ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයෙක් වන ගෝඨාභය රාජපක්ෂ වැඩි සද්දයක් නැහැ. ඇතැම් අය හිතන්නේ එයට හේතුව ඔහුට ටෙලිප්‍රොම්ටරයක් නැතිව කතා කරන්න බැරිකම කියලයි. එයත් එක් හේතුවක් වෙන්න පුළුවන්. නමුත්, එකම හේතුවනම් නෙමෙයි. මේ සාපේක්ෂ නිහඬතාවයට, මම හිතන හැටියට, ප්‍රධාන හේතුව මේ වන විට ලංකාවේ ඡන්දදායකයින් සිටින තැනයි.
හැත්තෑ හතේ ඉඳන් අවුරුදු දාහතක් බලයේ සිටි එජාප ආණ්ඩුව පරාජය කරලා මිනිස්සු චන්ද්‍රිකාව පත් කරගත්තේ ඒ වන විට එජාපය එපාවටම එපා වෙලා හිටපු නිසයි. එයින් පස්සේ එජාපය කවදාවත් කලින් තිබුණු එජාපය වුනේ නැහැ. 2015දී මිනිස්සු එජාපය ප්‍රමුඛ සන්ධානයට ඡන්දය දුන්නේ රාජපක්ෂලා පරාජය කරන්න මිසක් එජාපය නැවතත් ආකර්ශනීය වූ නිසා නෙමෙයි. 2015දී වුනෙත් ඔය වගේම දෙයක්. සැලකිය යුතු පිරිසකට රාජපක්ෂලා එපාවටම එපා වුනා. ඒ එපා වුනු රාජපක්ෂලාව ඒ පිරිසට තවමත් නැවත ආකර්ශනීය වෙලා නැහැ. නමුත්, රාජපක්ෂලා වෙනුවට තෝරාගත් එජාපයත් ඒ තරමටම හෝ වැඩිපුර එපා වෙලා.
වත්පොතේ කෙනෙක් පළ කර තිබුණු අදහසක් වුනේ ලංකාවේ මිනිස්සුන්ට කළ හොඳ ඉක්මනින් අමතක වන නමුත් කළ නරක ලේසියෙන් අමතක වෙන්නේ නෑ කියන එකයි. මේ හේතුව නිසා එජාප හා රාජපක්ෂලා දෙගොල්ලන්ම එපා වීමේ වාසිය ජවිපෙට ලොකුවට ලැබෙන්නෙත් නැහැ. දැන් වෙනස් වී හිටියත් ජවිපෙ අපකීර්තිමත් ඉතිහාසයත් මිනිස්සුන්ට තවම මතකයි. ඒ නිසා, මේ පාර ගොඩක් දෙනෙක් ඡන්දය දෙන්නේ තමන් අකැමැතිම පුද්ගලයාව පරද්දන්න මිසක් කැමැතිම පුද්ගලයාව දිනවන්න නෙමෙයි. විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිඵලය තීරණය කරන පාවෙන ඡන්දදායක පිරිස. සාපේක්ෂ නිහඬතාවයට හේතුව ඔන්න ඕකයි.
ගෝඨාභය රාජපක්ෂ කතා කරන තරමට ඔහුව වැඩි අවධානයට ලක් වෙනවා. එවිට ඔහුගේ හොඳට වඩා මතක් වෙන්නේ අඩුපාඩුයි. ඒ නිසා, ඔහු කතා කරන තරමට වාසිය සජිත්ටයි. ඕකේ අනිත් පැත්තත් ඔහොමමයි. සජිත් කතා කරන තරමට ඡන්ද වැඩිවෙන්නේ ගෝඨාභයටයි. ඒ නිසා, මේ වෙලාවේ ප්‍රතිවාදී අපේක්ෂකයාට මතු වෙන්න දී නිහඬව සිටීම තමයි සජිත්ට වගේම ගෝඨාභයටත් වාසි. දෙන්නම වේගවත් ප්‍රහාර එල්ල කරන්න ගියොත් වෙන්නේ දෙන්නම අවුට් වෙලා ජවිපෙ පැත්තට වාසිය කැරකෙන එකයි.
මෙච්චර දවස් වැඩිපුර කතා කළේ සජිත්. ගෝඨාභයගෙන් වැඩි සද්දයක් ඇහුණේ නැහැ. සජිත් කතා කරන තරමට ඡන්ද වැඩි වුනේ ගෝඨාභයට. සජිත් තමන්ට ඡන්ද එකතු කරන හැටි ගෝඨාභය පැත්තකට වෙලා බලා හිටියා. දැන් පෑඩ් කතාවෙන් පස්සේ තත්ත්වය ටිකක් වෙනස් වෙලා. මේ කතාව අල්ලාගෙන කරපු විවේචන නිසා වුනේ ගෝඨාභය කඳවුරේ වහගෙන හිටපු අඩුපාඩු මතු වුන එකයි.
ගැහැණු කියන්නේ ඡන්දදායකයින්ගෙන් 50%ක් හෝ ඊටත් වැඩි ප්‍රතිශතයක්. මතුපිටින් නිරීක්ෂණය කරලා ඔවුන් හිතන හැටි තේරුම් ගන්න ලේසි නැහැ. ගැහැණු නැගිට්ටහම නොහිතන දේවල් වෙන්න පුළුවන්. සජිත් සනීපාරක්ෂක තුවා නිකම් දෙයිද, නොදෙයිද, දෙනවානම් කවර ආකාරයකින් දෙයිද කියන එක වගේ දේවල් එතරම් වැදගත් කරුණු නෙමෙයි. හිතාමතා හෝ අහම්බෙන් සජිත්ට අහුවුනේ නිලයක්. මේ කතාව කරපු දවසේ ඉඳලා පොදුජන පෙරමුණු පාක්ෂිකයෝ සජිත්ට ඡන්ද එකතු කරනවා.
Labels:
අධ්‍යාපනය,
ආකල්ප,
ඇමරිකාව,
ජනාධිපතිවරණය,
සජිත් ප්‍රේමදාස,
සෞඛ්‍යය
Subscribe to:
Post Comments (Atom)
සජිත්ගෙ වේදිකාවට
ReplyDeleteපායපු අලුත්ම තරුව
වික්ටර් අයිවන්
මට හිතෙන්නෙ වැරදීමකින් හරි සජිත්ගෙ කැම්පේන් එක හරිම තැනක් අල්ලලා තියෙනවා. ඒ තමයි පෑඩ් එක. සජිත් ඒ මාතෘකාව සමාජගත කිරීම හරහා ගෝටා අපේක්ෂාවෙ තියෙන බරපතලම අවුල් ටික එලියට එනවා. දැඩි පුරුෂ මූලිකබව, ලිංගික කාරණාවලට දක්වන බය සහ කුහකකම, කාන්තාවන් කෙරෙහි එල්ලවෙන පීඩනකාරී දෘෂ්ටිය, විවෘතබවට දක්වන බය, ග‍්‍රාම්‍යත්වය, පසුගාමීත්වය, කවර් වෙලා තිබුන මේ හැම එකක්ම එක පෑඩ් එකකින් එලියට ගලන්න ගන්නවා. ගෝටා කියන දැඩි පිරිමියා පරදින්නෙ වෙන කිසි දෙයක් හින්ද නෙමෙයි. ගෑනු යටට අඳින පෑඩ් එකක් හින්ද...
ReplyDeleteස්ත්‍රීන්ට සහ නපුංසකයන්ට ජාතික හැඟීම අඩුයි. එමනිසා දේශපාලන කටයුතුවලදී ඔවුන් පිරිමියෙක්ගේ උපදෙස් අනුව වැඩකිරීම වඩා සුදුසුයි.
ReplyDeleteමේ තත්වය වාසිදායක ලෙස යොදාගන්නත් පුළුවන්
ඒ තමයි සිංහල නොවන ගැහැණුන්ට හැකිතාක් ඉහල සමාජ තත්වයක් ලබා දීමත් . සිංහල ගැහැණිය පාගා දැමීමත් මඟින්.
මට නම් හිතෙන්නෙ නිලය අල්ල ගත්තට, ඉස්සරහට ගෙනියන්න බැරි උනා. MCC ආව. රනිල් අගමැති කිවුවා. බලමු!
ReplyDeleteපේන විදිහට වාසියක් වුණා තමයි. ඒත් ඒක තාම තීරණාත්මක මට්ටමට වාසිදායක වී නැහැ.
ReplyDeleteඔය ප්‍රකාශය නිසා ගම් වල ඉන්න සනීපාරක්ෂක තුවා ගන්න ආර්ථික ශක්තියක් නැති ගැහැණුන්ගේ ඡන්ද ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. වැඩිපුරම වෙනස් වෙන්නේ නාගරික හා අර්ධ නාගරික ගැහැණුන්ගේ හා පිරිමින්ගේ ඡන්ද. ඡන්ද වෙනස් වෙන්නේ කතාව නිසා මිස පෑඩ් ලැබෙන නිසා නෙමෙයි. ඔබ කියනවා වගේම මෙහි තීරණාත්මක බලපෑමක්නම් නැහැ,
Deleteදවසකින් දෙකකින් වුණත් ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. ප්‍රශ්නය වෙන්නේ 'පිස්සන්' කරන-කියන දේවල් ගැන කලින් හිතන්නවත් බැරිකම.
ReplyDeleteලිපියට බොහොම කැමතියි!!
මට කොමඩ් එකක් සහ උක්කුටියෙන් හිඳගෙන මලපහකරන වැසිකිලි දෙකකින් එකක් තෝරගන්න ලැබුනොත් මම තෝරාගන්නේ දෙවැනි විකල්පය.
ReplyDeleteඒ වගේම වැසිකිලිය තුල ජල කරාමයක් තියෙද්දිත් පිටින් වතුර බාල්දියක් උස්සන් වැසිකිලි යන අය ඉන්නවා.
ඒ වගේම නානකාමර තියෙද්දී ලිඳෙන් ඇදන් නාන අය වගේම, නානකාමරයට ගිහින් බේසමකට වතුර පුරවාගෙන නාන අයත් ඉන්නවා.
ඒ වගේම මත්පැන් බෝතල්වලට කිරල ඇබ ගැහීම. මස් පුච්චා කෑම. වගේ චාරිත්‍ර කරන අයත් ඉන්නවා. ඒවගේම නැප්කින් පාවිච්චි නොකරන සෑම ස්ත්‍රියක්ම ඒක නොකරන්නේ ආර්ථික හෝ සංස්කෘතික හේතු මතම නෙමෙයි.
anthoniyo bahijata ඇත්තම කියපං මේ බොරු නැතුව.
Deleteඔය දෙකම තිබ්බත් උඹ නං යන්නේ පඳුරක් අස්සට.
සල්ලි නැතිකම කියල හිතුනේ නැත්ද
Deleteගෙදර උඩ තට්ටුව හදනකොට එක කාමරයක් හරිතාගාරයක් විදියට හදලා වටේට මීවන පෝච්චි තියලා, උඩට උඩවැඩියා මල් පඳුරු එල්ලලා මැද වැසිකිලියක් හදන්න ඔ්නේ. සල්ලි නැතුව ඉන්නේ.
Deleteඅ.කු.දි.ට දෙන්න තිබ්බ මගේ ජන්දේ දැන් මේ පෑඩ් කතාව නිසා සජිත්ට.
ReplyDeleteඔයා ජයම්පති ද?
Deleteහරි ගොන් !
පෑඩ් එකකින් හෝ සජිත්ට වාසියක් ලැබේ නම් ඔබට දැනෙන සතුට පිළිබඳව ගැටළුවක් නැත. මේ කියා ඇති දිග කතා කුමක් වුවත් සජිත්ට චන්දය දෙන සාමාන්‍ය ලාංකික කාන්තාවන් ඔබ සහ ඔබ ඇසුරු කරන හිටපු සිංහල කාන්තාවන් මෙන් සිතන්නේ නැත. පියාණෝ කළ දේ මිස අලුතින් දෙයක් සිතීමට මොළයක් නැති පුතාණෝ නිකං දීමට තව ඇත්තේ මොනවාදැයි තම ප්‍රචාරක ව්‍යාපාරයේ නිරත ඉන්දීය උපදේශකයින්ගෙන් ඇසූ විට ඉන්දීය මානසිකත්වය හේතුවෙන් "පෑඩ්" යැයි උත්තර දෙන්නට ඇත.
ReplyDeleteසජිත්ගේ කරුමයට,
- ඔය ප්‍රකාශයෙන් උදම් වී පොස්ට් දමන ලේඩිලා ආණ්ඩුවෙන් නිකං දෙන පෑඩ් ගැනීමට තරම් අහේනියක් නැත.
- එතරම් අහේනියක් ඇති කාන්තාවන් ඔය ප්‍රකාශයෙන් ලැජ්ජාවට පත් වනු මිස ඔබලා මෙන් ඒ ගැන උදම් අනන්නේද නැත.
එසේම, පෑඩ් ගැනීම වැනි සිල්ලර කාරණාවක් ඉදිරිපත් කරන මට්ටමට ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු පත් වීම ඇමරිකානුවන්ට කෙසේ වෙතත් ලාංකික අපටනම් සතුටට කාරණාවක් නොවේ.
සජිත් එය කියන්නේද කිරීමටම යැයි නොසිතමි. බැරි වෙලාවත් ඔහු ජනපති වී එය කිරීමට ගියහොත් ආණ්ඩුවට ඇති වන අමතර වියදම හෙවත් බදු ගෙවන ජනතාව මත පැටවෙන අමතර බර සහ එහි ඇති විය හැකි දූෂණය (potential corruption) ගැන කතා කරනු වෙනුවට පෑඩ් එකේ වැදී ගිය බෞන්ඩරියක් ලෙස මෙවැනි තකතීරු කතාවක් උත්කර්ෂයට නැගීමට ආර්ථික ඔස්තාඩ් කෙනෙක් තුට්ටු දෙකට වැටීම ගැන අපගේ බලවත් මෙව්වා එක !
//පෑඩ් ගැනීම වැනි සිල්ලර කාරණාවක්//
Deleteඅප හිතන ආකාරයන්හි වෙනස මේ වචන කිහිපය ඇතුළේ තිබේ. ඇමරිකාවේ පවා මෙය සිල්ලර කාරණාවක් නොවේ. ගණනින් 50% ඉක්මවූවත් ගැහැණු කියන්නේ පිරිමින්ගේ ලෝකයක සුළුතරයකි. බහුතර පිරිමින් සුළුතර ගැහැනුන්ගේ මේ ප්‍රශ්නය දකින්නේ සිල්ලර කාරණාවක් ලෙසිනි. පිරිමින්ගේ සංස්කෘතික ආධිපත්‍යය නිසා (එය පවත්වාගෙන යන්නට ගැහැණුද උදවු කරති) ලංකාවේ ගැහැණු (ඉහළ මධ්‍යම පන්තිය හැර) මේ ප්‍රශ්නය කතා නොකරති.
මම දැන් ටික වෙලාවකට කලින් මගේ නෑයෙක්ගේ කඩේකට ගිය වෙලාවේ නැප්කින් පැකැට්ටුවක මිල ඇහුවා.
Deleteමිල රු. 100යි.
අනිත් අතට අයවැය යෝජනාවක් හැටියට නැප්කින් බදු අඩුකරීම යෝජනා කරන්න කරන්න තිබුනානේ. ඔ්කට ජනාධිපතිකම් ඔ්නැද?
//පෑඩ් ගැනීම වැනි සිල්ලර කාරණාවක්//
Deleteඔයා හරිම සිල්ලර මට්ටමට වැටිල, අංකල්.
සජිත් එය කියන්නේද කිරීමටම යැයි නොසිතමි. බැරි වෙලාවත් ඔහු ජනපති වී එය කිරීමට ගියහොත් ආණ්ඩුවට ඇති වන අමතර වියදම හෙවත් බදු ගෙවන ජනතාව මත පැටවෙන අමතර බර සහ එහි ඇති විය හැකි දූෂණය (potential corruption) ගැන කතා කරනු වෙනුවට පෑඩ් එකේ වැදී ගිය බෞන්ඩරියක් ලෙස මෙවැනි තකතීරු කතාවක් උත්කර්ෂයට නැගීමට ආර්ථික ඔස්තාඩ් කෙනෙක් තුට්ටු දෙකට වැටීම ගැන අපගේ බලවත් මෙව්වා එක !
Deleteමට හිතුනෙ පෑඩ් කතාවෙන් සජිත් කුණු ලේ නා ගත්තා කියලා.. බලන් යනකොට ඒකෙන් සජිත්ට වාසි වෙලාලු..
ReplyDeleteමම හිඅතෙන්න් නැහැ සජිත්ට ලොකු වාසියක් ආව කියල. නමුත් ගෝඨා ගේ පැත්තේ ඉන්න නරුමවාදී පිරිස් ගැන හෙළි වුනා. ඕක ගෝඨාභයට අවාසියක් වෙන්න පුළුවන්
ReplyDelete