වෙබ් ලිපිනය:

Sunday, August 25, 2019

දත්ත මත පදනම් වූ ආර්ථික ගමනක්!

"සත්‍ය තොරතුරු, සත්‍ය දත්ත මත අපි අපේ ඉදිරි ගමන ක්‍රියාත්මක කරන්න ඕනෑ. විශේෂයෙන්ම දත්ත මත පදනම් වූ, දැනුම මත පදනම් වූ ආර්ථික ගමනක්, සමාජීය ගමනක්, ජාතික ගමනක් අපි ක්‍රියාත්මක කරන්න ඕනෑ."


මේ කතා කරන්නේ සජිත් ප්‍රේමදාස. ඔහුට තවමත් නිල වශයෙන් එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය හිමි වී නැහැ. එය ඔහුට හිමි වේදැයි අප දන්නේ නැහැ. ඔහුට අපේක්ෂකත්වය ලැබුණත්, එතැනින් එහාට කොයි තරම් දුරක් ඔහුට යන්න හැකි වේදැයි අපි දන්නේ නැහැ. කොහොම වුනත්, අවස්ථාවක් ලැබුනොත් ඔහු යන්න හිතාගෙන ඉන්න ගමන ගැනයි මෙහි ඔහු කියන්නේ. ඔහු

මෙහි කියන සත්‍ය තොරතුරු හා සත්‍ය දත්ත මොනවාද කියා ඔහු කියන්නේ නැහැ. එහෙත් මෙහි සත්‍ය කියන විශේෂණය යෙදීමෙන් ඔහු පෙන්වන්න හදන්නේ බොරු තොරතුරු හා බොරු දත්ත මත ඔහුගේ ඉදිරි ගමන ක්‍රියාත්මක නොකරන බව වෙන්න පුළුවන්. එහෙත්, බොරු තොරතුරු හා බොරු දත්ත වලින් සත්‍ය තොරතුරු හා සත්‍ය දත්ත වෙන් කර ගන්නා ආකාරය ගැන ඔහු කිසිවක් කියා නැහැ.

සජිත් විසින් මේ කතාව කළ රැළිය සංවිධානය කර තිබුණේ මංගල සමරවීර විසිනුයි. මංගල සමරවීර දැනටත් ලංකාවේ මුදල් ඇමති. ලංකාවේ රජයේ අයවැය හදන්නේ කවුරු වුනත්, එය පාර්ලිමේන්තුවේ කියවන්නේ මුදල් ඇමති විසින්. ඒ නිසා, සජිත්ගේ රැළියේදී මුදල් ඇමති මංගල විසින් ඉදිරිපත් කළ තොරතුරු හා දත්ත වලට අපේ අවධානය යොමු විය යුතුයි.

හැත්තෑ හත දක්වාම ලංකාවේ ආණ්ඩු මාරු වලට නිකම් ලැබෙන ආහාර සලාකය හා බඩු මිල බලපෑවා. සිරිමාවෝ බණ්ඩාරනායකගේ හඳෙන් හාල් වලට වගේම ජේආර්ගේ ඇට අටටත් අදාළ මැතිවරණ වලදී ඡන්ද වැටුනා. ජේආර් විසින් නැති කළ හාල්පොත නැවත ලබාදීම අසූ දෙකේ ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව කඳවුරේ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වුනා. එහෙත්, අසූ දෙකේදී  හෙක්ටර් කොබ්බෑකඩුවට හාල්පොත පෙන්නා ඡන්ද ගන්න බැරිවුනා.

හැත්තෑ හතෙන් පස්සේ ලංකාවේ බඩු මිල සෘජුව රජය මඟින් පාලනය කළ ක්‍රමය වෙනස් වුනා. ඉන් පසු, අද වන තුරුම බොහෝ පාරිභෝගික භාණ්ඩ වල මිල තීරණය කෙරෙන්නේ විවෘත වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම මතයි. ඒ වෙනසින් පසුව, ලංකාවේ මැතිවරණ වලදී නිකම් ලැබෙන හාල් හෝ හාල් සේරුවක මිල වැනි නිර්ණායක වලට ලැබුණේ අඩු වැදගත්කමක්.

රණසිංහ ප්‍රේමදාස මැතිවරණයට ඉදිරිපත් වෙමින් ප්‍රකාශ කළේ නැති බැරි අය ඇති හැකි අය කරන බවයි. මෙය එතෙක් කල් සමාජවාදීන් විසින් පට්ට ගැසූ ධනපතියන් භංග කිරීමේ විකල්පයට වඩා බොහෝ ඉදිරිගාමී අදහසක්. අද වන විට ලංකාවේ ජන බලයක් සහිත සියලුම දේශපාලන පක්ෂ පෙනී සිටින්නේ රටේ මිනිස්සුන්ට ජීවත්වීමට අවශ්‍ය මූලික දේ මිල දී ගත හැකි තරම් ආදායමක් ඉපැයීමට අවස්ථා සැපයෙන ක්‍රමයක් වෙනුවෙන් මිස, දැනට ලබන ආදායමට මිල දී ගත හැකි තරම් අඩු මට්ටමකට  භාණ්ඩ මිල සීමා කරන ක්‍රමයක් වෙනුවෙන් නෙමෙයි. මිල පාලනය බොහෝ යල් පැන ගිය අදහසක්.

සෘජු මිල පාලනය යල් පැනගිය අදහසක් වුවත් ලෝකයේ හැම ආණ්ඩුවක්ම වක්‍ර ලෙස භාණ්ඩ හා සේවා මිල පාලනය කරනවා. මෙය කරන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හා මුදල් ප්‍රතිපත්ති උපයෝගී කර ගනිමිනුයි. ඒ නිසා, ලංකාවේ හෝ වෙනත් රටක කිසියම් භාණ්ඩයක මිල මුළුමනින්ම වෙළඳපොළ සාධක මත පමණක් නිර්ණය වනවා කියා කියන්න බැහැ.



මාතර රැළියේදී මංගල සමරවීර විසින් යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ලංකාවේ ප්‍රධාන ආහාර ද්‍රව්‍ය ගණනාවක හා ඉන්ධන වල මිල වෙනස් වූ ආකාරය දත්ත ඉදිරිපත් කරමින් පෙන්නා දෙනවා. දත්ත වල මූලාශ්‍රය පිළිබඳවනම් සඳහනක් නැහැ. ඔහු පෙන්වන ආකාරයට මේ හැම භාණ්ඩයකම වාගේ මිල ගණන් යහපාලන ආණ්ඩුව පැවති කාලය තුළ අඩු වී තිබෙනවා. සීනි වල පමණක් එදා මිල ගැන මිස අද මිල ගැන ඔහු කතා කරන්නේ නැහැ. සමහර විට ඔහු සතු දත්ත අනුව සීනි මිල වැඩි වී තිබෙන නිසා ඔහු එය හිතාමතා මගහැරියා වෙන්න පුළුවන්.


මංගලගේ ලැයිස්තුවේ තිබෙන ආහාර ද්‍රව්‍ය සියල්ලේම වාගේ සාමාන්‍ය මිල ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකියි. ඔවුන් සාමාන්‍යයෙන් එක කඩයකින් මිල ගණන් ලබා ගන්නේ නැහැ. දිවයින පුරා පිහිටි වෙළඳසැල් ගණනාවකින් මිල ගණන් ලබාගෙන සාමාන්‍ය අගයකුයි ඔවුන් ප්‍රකාශයට පත් කරන්නේ. ඒ වගේම, සෑම සතියකම එකම තත්ත්වයේ භාණ්ඩ වල මිල ගණන් ලබා ගැනීමටත් ඔවුන් සැලකිලිමත් වෙනවා. මේ සතියේ ලොකු පොල් ගෙඩියක මිලත්, ලබන සතියේ ඊට වඩා පොඩි පොල් ගෙඩියක මිලත් ගන්නේ නැහැ. ඒ නිසා,  ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මිල දත්ත වඩා නිවැරදියි. ඉන්ධන වර්ග වල මිල ගණන් තෙල් සංස්ථාවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. පහත තිබෙන්නේ මංගලගේ ලැයිස්තුවේ තිබෙන පාරිභෝගික භාණ්ඩ වල (ගෑස් වල හැර) 2015 ජනවාරි පළමු සතියේදී හා 2019 අගෝස්තු දෙවන සතියේදී මිල ගණන් පිළිබඳ නිල සංඛ්‍යාලේඛනයි.

මංගලගේ තොරතුරු නිල සංඛ්‍යාලේඛන තරමටම "සත්‍ය තොරතුරු, සත්‍ය දත්ත" බව පෙනෙන්නේ නැතත්, පොදු වශයෙන් බැලූ විට මේ ලැයිස්තුවේ තිබෙන බොහෝ පාරිභෝගික භාණ්ඩ වල මිල පසුගිය කාලය තුළ අඩු වී තිබෙන බව හෝ ලොකුවට වැඩි වී නැති බව පෙනෙනවා. එසේ වුවත්, මෙවැනි තෝරාගත් භාණ්ඩ කිහිපයක මිල අඩු වීමට හේතුව රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය බව කියන්න බැහැ. කිසියම් නිශ්චිත භාණ්ඩයක මිලට සැපයුම් සාධක වලින් විශාල බලපෑමක් සිදුවිය හැකියි. උදාහරණයක් විදිහට වී අස්වනු හොඳ වන විට හාල් මිල අඩු වෙන්නේ ආණ්ඩුව විසින් කරන දෙයක් නිසා නෙමෙයි. ඒ නිසා, රටේ භාණ්ඩ මිල විචලනය වීම ගැන පොදුවේ බලන විට භාණ්ඩ හා සේවා රැසක් අඩංගු පැසක මිල වෙනස් වූ ආකාරය විමසා බලන්න වෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් එය කරනවා.

පහත තිබෙන්නේ පවුලක සාමාන්‍ය වියදම් මත පදනම්ව, ජාතික පාරිභෝගික මිල දර්ශනය පිළියෙළ කිරීමේදී උපයෝගී කරගන්නා දත්ත අනුසාරයෙන් කළ එවැනි සංසන්දනයක්.


යහපාලන ආණ්ඩුව පැවති කාලයේ පොදු වශයෙන් බැලූ විට කිසිදු කාණ්ඩයක භාණ්ඩ හා සේවා මිල අඩු වී නැහැ. මංගල විසින් තෝරා ගෙන තිබෙන ආහාර හා ඉන්ධන කියන්නේ අඩුවෙන්ම මිල වැඩි වී ඇති කාණ්ඩ තුනෙන් දෙකක්. එහෙත්, එම කාණ්ඩ වලත් මිල පොදු වශයෙන් ගත් විට වැඩි වී තිබෙනවා. ඔහු විසින් තෝරා ගෙන ඇත්තේ එම කාණ්ඩ වලට අයත් මිල අඩු වී ඇති අයිතමයන් කිහිපයකුයි.

කොහොම වුනත්, රටක භාණ්ඩ හා සේවා සියල්ලකම මිල දිගින් දිගටම අඩු වෙනවානම් එය හොඳ තත්ත්වයක් නොවන බව සජිත්ගේ රැළියට සහභාගී වී සිටින මිනිස්සු හා ලන්ඩන් ස්කූල් ඔෆ් එකොනොමික්ස් උපාධිධාරියෙකු වන සජිත් කෙසේ වුවත් වේදිකාවේ සිටින හර්ෂ වැනි අය දැන නොසිටින්න හේතුවක් නැහැ. හාල් මිල පහළ යාම පාරිභෝගිකයින්ට සතුටට කරුණක් වුවත්, වී ගොවියන්ට සතුටු විය හැකි කරුණක් නෙමෙයි. රතු පරිප්පු ලංකාවේ වවන්නේ නැති වුනත්, ආනයනික රතු පරිප්පු මිල පහළ යන විට ලංකාවේ වවන මුං ඇට කවුපී ආදියේ මිලත් පහළ යනවා.

පසුගිය සිවු වසර තුළ ලංකාවේ බඩු මිල පහළ ගොස් නැතත් විශාල ලෙස වැඩි වී නැහැ. පොදුවේ රටක මිල මට්ටම තීරණය වෙන්නේ රටේ සමස්ත ඉල්ලුම හා සමස්ත සැපයුම මතයි. රටේ ආර්ථික වර්ධනය එහි විභව මට්ටමට වඩා අඩු වූ විට මිල මට්ටම පහත වැටෙනවා. එය සිදුවෙන්නේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති නිසා ඉල්ලුම පහත වැටීමෙනුයි. පසුගිය වසර හතර ඇතුළත ලංකාවේ ආර්ථිකය වර්ධනය වුණේ සාමාන්‍ය  මට්ටමට වඩා අඩු වේගයකින්. එහි ප්‍රතිඵලයක් ලෙස මිල මට්ටම පහත වැටීම ආණ්ඩුවකට ආඩම්බර විය හැකි කරුණක් නෙමෙයි.

ආර්ථික වර්ධනය විභව මට්ටමට වඩා පහත වැටීම අයහපත් දෙයක් වන්නේ එය රටේ විරැකියාව ඉහළ දැමීමට හේතු වන නිසයි. ආර්ථික වර්ධනය අඩු වන වකවානු වලදී රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති උපයෝගී කරගනිමින් ආර්ථිකයට මුදල් පොම්ප කර සමස්ත ඉල්ලුම ඉහළ දැමීම බොහෝ රටවල ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ ඒ නිසයි. නමුත්, ලංකාවේ රජය  දැනටමත් දරා සිටින විශාල ණය බර නිසා විරැකියාව අඩු කරමින් ආර්ථිකය පුම්බනවාට වඩා ණය බර අඩු කර ගැනීමට ප්‍රමුඛතාවය දීමට ලංකාවේ රජයට සිදු වී තිබෙනවා. මා එහි වරදක් දකින්නේ නැහැ.

රටේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍ය මට්ටමට වඩා අඩු වුණාම එක්කෝ ණය අරගෙන, එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගසා ආර්ථිකය පුම්බන්න වෙනවා. එසේ නොකළොත් එක පැත්තකින් මිල මට්ටම පහත වැටෙද්දී අනෙක් පැත්තෙන් විරැකියාව ඉහළ යනවා. නමුත්, මංගල සමරවීර කියන ආකාරයටනම් පසුගිය කාලයේදී අලුතින් රැකීරක්ෂා ලක්ෂයකට වඩා ඇති වී තිබෙනවා.


මංගල සමරවීර මෙසේ කිවුවත් රැකියා නියුක්තිය පිළිබඳව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුවනම් 2015 පළමු කාර්තුවේ සිට 2019 පළමු කාර්තුව දක්වා කාලය තුළ සිදු වී තිබෙන්නේ ලංකාවේ රැකියාවක නියුතු ජනගහණය 8,502,270 සිට 8,182,970 දක්වා 319,300කින් අඩු වීමයි. එහෙත්, මේ කාලය තුළ පෞද්ගලික අංශයේ රැකියා නියුක්තිය 71,760 කින් ඉහළ ගොස් ඇති බවද කිව යුතුයි. රජය ප්‍රසාරණය කරමින් රැකියා සැපයීමට යහපාලන රජය කටයුතු නොකිරීම අගය කරනවා මිස අප එහි වරදක් නොදකින බවද කිව යුතුයි.

5 comments:

  1. Awa mangala is the one said USD 80 Bil is in Dubai Bank in MR's name, eventually it went down to 12bil USD.

    In 2015, did anyone said USD 80 Bil more than GDP of SL? And since (09/11/2001) it is impossible to move even 1000 USD without being traced by US/EU/AUS?

    This guy is our finance minister(LOL), good luck to Sajith.

    ReplyDelete
  2. ඔක්කොම හොරු - සේරම බොරු
    මිනිස්සුන්ව රවට්ටන්න
    රෙදි ඇඳගෙන කියනව බොරු
    මුන්ට වැඩිය හොඳයි 'මෝරු'!

    ReplyDelete
  3. හැමදෙයක්ම ආර්ථික විද්‍යාවෙන් පැහැදිලිකිරීම කසිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්. ඒ අනුව
    http://www1.kalaya.org/2019/08/blog-post_26.html
    මෙහි හෙක්ටර් කොබ්බෑකඩුවට දෙමළ චන්ද ලැබීම ගැන කියා ඇති දේත් කසිකබල් අදහසක්.
    දෙමළු හෙක්ටර් කොබ්බෑකඩුවට චන්දය දැම්මේ රටේම බහුතරයකගේ කැමැත්තෙන් පත්වූ සිංහල බෞද්ධ ජනපති උතුමාට හා විධායක ජනාධිපති ධූරයට එරෙහිවයි. නැතුව කොබ්බෑකඩුව යාපනේ ලූනු වගාව දියුණුකල නිසා නෙමෙයි.
    ආමෙන්!

    ReplyDelete
  4. මංගල කියන්නෙ ජීවමාන ගොබෙල්ස්. එයා කියන රවුම් බයිලා පයි ආර් වර්ගයෙන් බෙදලා ගන්න ඕනා...

    ReplyDelete
  5. ඉකොනොමැට්ටා ඇහුවාද ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහයෝගය දෙන්නේ කුමන අපේක්‍ෂකයාටදැයි ඉදිරියේදී නාම යෝජනා දුන් පසු තීරණය කරව බව ගරු ඇමති රිෂාඩ් බදියුදීන් සදහන් කරපු බව?

    ඉදිරියේදී සහාය දෙන්නේ කාටදැයි දැන්ව කිව නොහැකි බවත් රටට වැඩදායක ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා සහ ඉස්ලාම් දහම අදහන මිනිසුන් සහ එම සංස්කෘතියට ආරක්ෂාව සලසා මුස්ලිම් ප්‍රජාව වර්ධන කිරීමට සහය ලබාදීමට කටයුතු කරන හොඳ අයෙකුට පක්‍ෂයේ සහයෝගය ලබා දෙන බවත් ඔහු පැවසීය. අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: