වෙබ් ලිපිනය:

Thursday, August 8, 2019

අලි දමනය හා නවක වදය


අලියෙක්ගේ රූපයක් එක්ක රට පුරා ගහපු පෝස්ටරයක් පහුගිය දවස්වල ආන්දෝලනයක් ඇති කරලා තිබුණා. ඒ එක්කම වගේ රජයේ සරසවි වල නවක වදය ගැන කතාබහත් ආපහු ඇදිලා ආවා. ඔය දෙක අතර බැලූ බැල්මටම පේන සම්බන්ධයක් නැහැ. වඩා විමසිල්ලෙන් බැලුවත් එහෙම සම්බන්ධයක් පෙනෙන්න නැහැ.

පෝස්ටරේ පැත්තකින් තියමුකෝ. ලංකාවේ අලි මිනිස් ගැටුම හා ලංකාවේ රජයේ සරසවි වල නවක වදය අතර කුමක් හෝ සමානත්වයක් තියෙනවද?

ඔය දෙකම හිටපු ගමන් නැගලා යන මාතෘකා. හැබැයි නැගල යනවා වගේම බැහැලත් යනවා. එක්කෝ නවක වදය හේතුවෙන් අගතියට පත් සිසුවෙකු හෝ සිසුවියක ගැන ප්‍රසිද්ධ වුනාම, එහෙමත් නැත්නම් කුමක් හෝ කටයුත්තකට සරසවි ප්‍රජාවෙන් ලොකු විරෝධයක් මතු වෙන වෙලාවට නවක වදය ගැන කතාබහ නැගලා යනවා. ඊට පස්සේ කතාව කාලෙකට අමතක වෙනවා. ඔය විදිහටම අලියෙක් ගහලා මිනිහෙක් මැරුණහම, එහෙමත් නැත්නම් මිනිස්සු එකතු වෙලා අලියෙක් මරල දැම්මහම අලි මිනිස් ගැටුම ගැන කතාබහ නැගලා යනවා. බැහැලත් යනවා. හිතලා බැලුවොත් අර පෝස්ටරේ පිටිපස්සේ තියෙන කතාවත් ටිකක් ඔය වගේ එකක්!

කොයි තරම් කතා කළත්, විවිධ විසඳුම් යෝජනා වී තිබුණත් රජයේ සරසවි වල නවක වද ප්‍රශ්නය වගේම අලි මිනිස් ගැටුමත් තවම ඒ විදිහටම තියෙනවා. සරසවි නවක වදය තිබෙන්නේ ලංකාවේ රජයේ සරසවි වල පමණක් නෙමෙයි. නමුත්, ලංකාවේ රජයේ සරසවි වල තරම් දරුණු නවක වදයක් වෙනත් කිසිදු රටක පවතිනවා කියා මා හිතන්නේ නැහැ. මෙය යම් තරමකට ලංකාවටම සුවිශේෂී ප්‍රශ්නයක්.

අලි මිනිස් ගැටුම සරසවි නවක වදය තරමට ලංකාවටම ආවේණික ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නයට මුහුණ දෙන තවත් ආසියානු හා අප්‍රිකානු රටවල් ගණනාවක් තිබෙනවා. ඒ රටවල් විසිනුත් මේ ප්‍රශ්නයට විවිධාකාරයේ විසඳුම් ලබා දෙන්න උත්සාහ දරා තිබෙනවා.

අලි වැළැක්වීම සඳහා මී මැසි වැටක් යොදා ගැනීම අප්‍රිකානු රටවල් ගණනාවකදී සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙන ක්‍රමයක්. මෙහිදී කරන්නේ මීටර දහයක පමණ පරතරයක් ඇතිව ලණුවක් හෝ කම්බියක් මඟින් එකිනෙකට සම්බන්ධ කර මී මැසි ජනපද සහිත හෝ රහිත මී මැසි පෙට්ටි එල්ලීමයි. අලියෙක් මේ ලණුවේ හෝ කම්බියේ වැදුණු වහාම මී මැසි පෙට්ටි සියල්ලම හෙල්ලී මී මැස්සන් එළියට ඇවිත් අනින්න පටන් ගන්නවා. මේ අත්දැකීමට මුහුණ දෙන අලියෙක් ආයේ පැත්ත පළාතේ එන්නේ නැහැ. බොරු මී මැසි පෙට්ටි වලටත් බය වෙනවා.

මී මැසි වැට ක්‍රමය මේ වෙද්දී ලංකාවේත් අත් හදා බැලෙමින් තිබෙනවා. මෙවැනි වැටක් නිසි පරිදි හදා ගන්නා ආකාරය පිළිබඳ අත් පොතක් (ඉංග්‍රීසි බසින්) මෙහි තිබෙනවා.

අලි පාලනයට මීට පෙර යොදාගත් විදුලි වැට ක්‍රමයට සාපේක්ෂව මී මැසි වැට ක්‍රමයේ වාසි ගණනාවක් තිබෙනවා. විදුලි වැට වෙනුවෙන් වියදමක් දරන්න අවශ්‍ය වෙද්දී මී මැසි වැටකින් අමතර ආදායමක්ද ලැබෙනවා. ඒ වගේම කෘෂිකාර්මික බෝග හොඳින් පරාගනය වීම නිසා අස්වනු වැඩි වීමේ වාසියත් තිබෙනවා. අලින්ට ලී කොට දමා විදුලි වැට පහත් කර වැට පනින්න හැකි වුවත් මී මැසි වැටත් එක්ක ඒ වැඩේ කරන්න බැහැ. මෙය පාරිසරික ප්‍රශ්නයකට පාරිසරික විසඳුමක්.

සරසවි වල නවක වද ප්‍රශ්නයටත් බොහෝ විට යෝජනා වී තිබෙන්නේ විදුලි වැට විසඳුම්. නමුත්, වැටට කොට ගෙනත් තියලා අලි වැට පනිනවා. අවශ්‍ය වන්නේ විදුලි වැටක් වෙනුවට මී මැසි වැටක්.

(Image: http://www.readthehook.com/88743/elephant-can-they-avoid-bees-all-costs)

5 comments:

  1. This is again a result of weak leadership, this issue clearly effect educated young, murderous JVP is the main contributor for this. I think we should have Premadasa, Ranjan Wejerathna kind of leaders to address this. Hope in 2020 Premadasa or Gota will become our leader. Trying to stop this might again create 88/89 kind of situation (JVP killed Daya Pathirana to stop Independent winning CMB UNI and UNP killing started) However if we have strong leader, JVP will become underdogs.

    ReplyDelete
  2. විජේබාහු කියන විදියට රටේ නායකත්වය විතරක් නෙවෙයි වෙනස් වෙන්න ඕනේ. සරසවිවල පරිපාලනයටත් කොන්ද පණ තියෙන පරිපාලකයන් පැති වෙන්න ඕනේ.

    ඒ එක්කම නීතියත් හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ.

    නිවටුන්-පවිටන් වෙන දරුවන් වෙනුවට ගුණවතුන්-නැණවතුන්-මනුස්ස පැටවුන් හැදීමේ රාජකාරියත් ගෙදර නායකයන් අතින් හරියට ඉටුවෙන්න ඕනේ, ළමුන් බිලිඳු වියේ රටම.

    ReplyDelete
  3. 😀

    විශ්වවිද්‍යලවල මල් කැඩීම සහ පැණී හැලීම තව තවත් වර්ධනය වුණොත් නවකවදය නැති වී යාවි!

    එහෙම නැතිනම් බඹර පදමට මල් පැනි බොන සංස්කෘතියක් ඇති කළ යුතුයි!!

    ReplyDelete
  4. අලි මිනිස් ගැටුම් වලදී මිනිසාට ගනුදෙනු කරන්න වෙලා තියෙන්නෙ තිරිසන් සතෙක් එක්ක. සරසවි නවක වදයත් එහෙම එකක්ද?

    ReplyDelete
  5. ලංකාවේ සරසවිවල නවක වදය නතර කරන්න බැරි ඒකට නියමින් හෝ අනියමින් සහය දෙන ආචාර්යවරු නිසා. මොකද මේ හැමෝම උපකුලපති පවා හදන්නේ ළමයි එක්ක ඩීල් එකක් දාලා තමන්ගේ ජාම බේර ගන්න. නවක වදය හෝ වෙනත් සිද්ධියකට ඇස් පනා පිටම පෙනි පෙනී අහුවෙන වදකයෙකුට වුනත් ලිස්සලා යන දඬුවම් හෝ කිසිම දඬුවමක් දෙන්නෙ නෑ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: