Wednesday, August 14, 2019
ගෝඨාභය දිනයිද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විදිහට මේ වන විට ගෝඨාභය රාජපක්ෂව නම් කර තිබුණත්, එජාපය හෝ කිසියම් ඡන්ද පදනමක් තිබෙන වෙනත් පක්ෂයක් තවමත් තමන්ගේ අපේක්ෂකයකු නම් කර නැහැ.
සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්න සෑහෙන සටනක් කරනවා. අවසානයේදී සජිත් එජාප අපේක්ෂකයා වෙයි කියා අපේ වියුණුවේ ප්‍රතිචාර දමන කිහිප දෙනක්ම හිතන බව පෙනෙනවා. වෙනත් නම්ද කියැවෙනවා. ජවිපෙ විසින් ඔවුන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරෙන බවක්ද කියැවෙනවා. මුස්ලිම් පක්ෂ එකතු වී අපේක්ෂකයෙකු දමන කතාවක්ද තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂව පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස පත් කරනු ලැබූ බව කීවත් ඇත්තටම වුනේ පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ඔහුට නොදී බැරි වීමයි. එජාප අපේක්ෂකත්වය සජිත්ට ලැබෙනු ඇතැයි ඇතැම් අය හිතන්නේත් ඒ පදනමින්ම වෙන්න පුළුවන්.
නමුත්, ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් සජිත් කරන සටනේත්, ගෝඨාභය වෙනුවෙන් කෙරුණු සටනේත් වෙනසක් තිබෙනවා. ගෝඨාභය වෙනුවෙන් සටන් කළේ ගෝඨාභය අවශ්‍යයැයි සිතූ වෙනත් අයයි. ගෝඨාභය කළේ මේ ඉල්ලීමට අවනත වීමයි. නමුත්, සජිත්ගේ සටන බොහෝ දුරට ඔහුගේ පෞද්ගලික සටනක්.
එයින් කියන්නේ සජිත්ව ඉල්ලා සිටින වෙනත් අය නැති බව නෙමෙයි. සජිත් ඔය සටන කරන්නේ ඒ වෙනත් අයගේ බල කිරීම නිසා නොවන බවයි. නමුත්, ගෝඨාභයට එවැනි ඉල්ලුමක් නොතිබුණානම් ඔහු තමන්ගේ ඇමරිකානු පුරවැසිකම තියාගෙන පැත්තකට වී සිටිය හැකිව තිබුණා.
නලින් ද සිල්වා විසින් ගෝඨාභයව හඳුන්වා තිබෙන්නේ reluctant politician කෙනෙක් ලෙසයි. ඒ කියන්නේ වෙනත් අයගේ බල කිරීම නිසා දේශපාලනයට පැමිණි කෙනෙක් ලෙස. මේ කතාව බොරුවක් නෙමෙයි. ඇමරිකාවට වී සිටි ගෝඨාභය ලංකාවට පැමිණ ආරක්ෂක ලේකම් ධුරය භාර ගත්තේත් ඔය වගේ පසුබිමකයි. ඉන් පසුව, ගෝඨාභය පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස කටයුතු කළා.
ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවෙකු වූ බව කිවුවත්, ගෝඨාභය විසින් බොහෝ විට කළේ ඔහුට ලබා දුන් විශේෂිත වගකීම් හෝ ඉලක්ක හා අදාළ කටයුතුයි. එයට ඔහුගේ හමුදා විනය හේතු වෙන්න ඇති. හමුදා නිලධාරියෙක් සාමාන්‍යයෙන් ලබා දුන් ඉලක්කයක් කරා යාම ගැන හිතන්න වෙහෙසෙනවා මිස සාමාන්‍ය වෘත්තීය දේශපාලනඥයෙකු මෙන් ධුරාවලියේ ඉහළට යාම ප්‍රධාන ඉලක්කයක් කර ගන්නේ නැහැ. මේ ලක්ෂණය සරත් ෆොන්සේකාගෙනුත් දෘශ්‍යමාන වෙනවා.
වෘත්තීය දේශපාලනඥයින් හිතන්නට හා ක්‍රියා කරන්නට පුහුණු වී තිබෙන ආකාරය අනුව ඔවුන්ගේ ඔලු හැම විටම වැඩ කරන්නේ බලය කරා යාම හා ලබා ගත් බලය රැකගැනීම ගැන හිතන්නයි. අනෙක් දේවල් කරන්නේ බලය කරා යාමට හා බලය රැක ගැනීමට උදවුවක් ලෙසයි. මහින්ද, රනිල්, සජිත්, චම්පික වැනි ගොඩක් අය ඉන්නේ ඔය ගොඩේ. ගෝඨාභයම වුවත් වෘත්තීය දේශපාලනඥයෙක් සේ පරිණත වීමේදී මේ තත්ත්වයටම පත් වෙන්න පුළුවන්.
ලංකාවේ මෙතෙක් පැවති සෑම ජනාධිපතිවරණයකදීම ජයගත් අපේක්ෂකයා විසින් 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණත් ලංකාවේ ජනාධිපති වීම සඳහා 50%ක ඡන්ද ගැනීම අවශ්‍යම නැහැ. රටේ වැඩි දෙනෙකුගේ වැඩි කැමැත්ත තිබෙන අපේක්ෂකයා වීම ඒ සඳහා ප්‍රමාණවත්. ජනාධිපතිවරණයකදී අනුපිළිවෙලින් මනාප තුනක් ලකුණු කරන්න අවස්ථාව දී තිබෙන්නේ මේ වැඩි කැමැත්ත හොයා ගන්නයි. එහෙත්, මෙතෙක් කිසි විටෙකත් මේ දෙවන තුන්වන මනාප ගණන් කරන්න අවශ්‍ය වී නැහැ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමි තනි දේශපාලන පක්ෂයයි. පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී එම පෙරමුණ හා එම පෙරමුණේ අනුග්‍රහය ලැබූ ස්වාධීන කණ්ඩායම් විසින් ලබාගත් 41.24% යනු ගෝඨාභය රාජපක්ෂට ලබා ගත හැකි ඡන්ද ප්‍රමාණයේ අවම සීමාවක්.
පළාත් පාලන මැතිවරණ පැවැත්වෙද්දී පොදුජන පෙරමුණ ඉතිහාසයක් නැති, හරියකට අයිතිකාරයෙක් නැති පක්ෂයක්. එතරම් වැදගත්කමක් නොතිබුණු පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය භාවිතා කළ අය විසින් කළේ යහපාලන ආණ්ඩුවේ පාර්ශ්ව දෙකට තමන්ගේ විරෝධය පෙන්වීම පමණයි. එසේ කිරීමෙන් ඒ අය බලාපොරොත්තු වූ වෙනත් දෙයක් නැහැ. ඒ වගේම, වෙනත් වචන වලින් කිවුවොත්, මේ ඡන්දදායකයින් විසින් කළේ මහින්ද රාජපක්ෂ කෙරෙහි තමන්ගේ වූ පක්ෂපාතීත්වය පෙන්වීමයි.
කොහොම වුනත්, පළාත් පාලන ඡන්ද පැවැත්වෙන විට මහින්ද නිල වශයෙන් ශ්‍රීලනිප සාමාජිකයෙක්. ශ්‍රීලනිපයත්, ශ්‍රීලනිප හෝ එජනිස ලෙස පළාත් පාලන මැතිවරණ වලට තරඟ කර 12.07%ක ඡන්ද ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. පැරණි ශ්‍රීලනිපයේ තැනට පොදුජන පෙරමුණ පත් වී ඇති බව පැහැදිලිව තිබෙන පසුබිමක, ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ සන්ධානගත නොවූවත් මේ ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් ශ්‍රීලනිප හා තවමත් රැඳී සිටින දේශපාලනඥයින් ගණනාවක්ද සමඟ පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වීම නොවැලැක්විය හැකියි. නමුත්, එම ප්‍රමාණය ගෝඨාභයට 50% සීමාවට යාමට අවශ්‍ය වන 8.74%ට වඩා අඩුද වැඩිද කියන එක තවත් සාධක ගණනාවක් මත තීරණය වන්නක්.
වෙනත් තැනකින්, එනම් 2015 ජනවාරි ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් විශ්ලේෂණය පටන් ගත්තොත්, මහින්ද රාජපක්ෂ විසින් එම මැතිවරණයේදී 47.58%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. ශ්‍රීලනිප හා තවමත් රැඳී සිටින දේශපාලනඥයින් හා ඡන්දදායකින්ගෙන් කොටසක් ජනාධිපතිවරණයට පෙර නිරුත්සාහයෙන් ආකර්ෂණය කර ගැනීමේ උපකල්පනය මත, එම ඡන්ද ප්‍රතිශතය ඉදිරි ජනාධිපතිවරණයකදී ගෝඨාභයට ලබා ගැනීම අසීරු කටයුත්තක් නොවන නිසා ඔහුගේ අවම සීමාව පහසුවෙන්ම 47.58% මට්ටම දක්වා ඔසොවන්න පුළුවන්.
කෙසේ වුවත්, 2015 ජනවාරියේදී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ නැහැ. එම මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් 51.28%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කළා. ඒ නිසා, ගෝඨාභයට පළමු වටයෙන් 50% මට්ටමට ළඟා වී පහසු ජයග්‍රහණයක් ලබන්නනම් 2015 ජනවාරියේදී මහින්දට එරෙහිව මෛත්‍රීපාල විසින් ලැබූ ඡන්ද වලින් කිසියම් ප්‍රමාණයක්ද ලබා ගත යුතු වෙනවා. මේ ප්‍රමාණය විශාල ප්‍රමාණයක් නොවූවත් එම සුළු ඡන්ද ප්‍රමාණය මැතිවරණ ප්‍රතිඵලයට ඉතා තීරණාත්මක ලෙස බලපානවා.
කෙසේ වුවත්, පෙර කී පරිදි, ගෝඨාභයට ජයග්‍රහණය පිණිස 50%ක ඡන්ද ලබා ගැනීම අවශ්‍ය වන්නේ 2015 ජනවාරියේදී මෙන් ඔහුට එරෙහිව පොදු අපේක්ෂකයෙකු මැතිවරණයට ඉදිරිපත් වන පසුබිමකදීයි. සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගත හැකි තෙවන අපේක්ෂකයින් ඡන්දයට ඉදිරිපත් වේනම්, ගෝඨාභයට ජයග්‍රහණය කිරීමට 50%ක ඡන්ද අවශ්‍ය වන්නේ නැහැ.
පොදුජන පෙරමුණ හැරුණු විට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමි තනි පක්ෂය එජාපයයි. එජාපය පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී ලබාගත්තේ 29.41%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මෙය ගෝඨාභයට ලබා ගැනීමට අසීරු නොවන ඉලක්කයක් වන 47.58% මට්ටමට වඩා බොහෝ අඩු ප්‍රතිශතයක්. ඒ නිසා, කවර හෝ එජාප අපේක්ෂයෙකුට පටන් ගන්න වෙන්නේ ගෝඨාභයට වඩා බොහෝ අවාසිදායක තැනක සිටයි. එජාප හෝ එජාප සහයෝගය ලබන අපේක්ෂකයෙකුට පළාත් පාලන මැතිවරණ වලදී දෙමළ හා මුස්ලිම් පක්ෂ විසින් ලබාගත් ඡන්ද වැඩි ප්‍රමාණයක්ද ලබාගත හැකි නිසා මේ පරතරයෙන් කොටසක් අඩු වෙනවා.
ඉකොනොමැට්ටාගේ ඇස්තමේන්තු අනුව, 2015 ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ඡන්ද වලින් 57.9%ක්ද, දෙමළ නොවන කතෝලික හා ක්‍රිස්තියානි ඡන්ද වලින් 44.7%ක්ද, ශ්‍රී ලාංකික දෙමළ ඡන්ද වලින් 18.2%ක්ද, ඉන්දියානු දෙමළ ඡන්ද වලින් 19.6%ක්ද, ඉස්ලාම් භක්තිකයින්ගේ ඡන්ද වලින් 11.5%ක්ද ලබාගත්තේ මහින්ද රාජපක්ෂ විසිනුයි. ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලාංකික දෙමළ හෝ ඉස්ලාම් ඡන්ද වලින් මීට වඩා වැඩි ප්‍රතිශතයක් ලැබේයැයි සිතන්න බැහැ. ඇතැම් විට මේ ප්‍රතිශත යම් තරමකින් අඩු වෙන්න වුවත් පුළුවන්. ඉන්දියානු දෙමළ පදනමක් ඇති දේශපාලන පක්ෂ වල සහයෝගය ලැබීම මත ඉන්දියානු දෙමළ ඡන්ද ප්‍රතිශතය තරමක් වාසිදායක ලෙස වෙනස් කර ගැනීමේ හැකියාවක් තිබුණත් එහි සමස්ත බලපෑම එතරම් විශාල නැහැ. ඒ නිසා, 50% මට්ටමට යන්නනම්, ගෝඨාභයට ඉලක්ක කරන්න වෙන්නේ සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ඡන්ද ප්‍රතිශත ඉහළ දමා ගැනීම කෙරෙහියි.
සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ඡන්දදායකයින්ගේ ප්‍රතිශතය ආසන්න වශයෙන් 75%ක් පමණ වෙනවා. 50% මට්ටමට යාමට ගෝඨාභයට අඩු 2.42%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. සිංහල ඡන්ද වලින් 2015දී නොලැබුණු ඡන්ද 3.23%ක් ලබා ගත්තොත් මේ ඉලක්කය සම්පූර්ණ වෙනවා. මෙය සිංහල බෞද්ධ ඡන්ද වලින් 61.1%ක් හා සිංහල කතෝලික හා ක්‍රිස්තියානි ඡන්ද වලින් 47.9%ක ඉලක්කයක් කියා කියන්නත් පුළුවන්.
ප්‍රතිවාදී අපේක්ෂයෙකුට ගෝඨාභයව අභිබවන්නටනම්, පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අමතරව ගෝඨාභය විසින් මෛත්‍රීපාල සිරිසේන විසින් 2015දී ලබාගත් සිංහල ඡන්ද වලින් 3.23%ක් ලබා ගැනීම වලක්වන්නටද සිදු වෙනවා. ඒ සඳහා උත්සාහයක් හෝ දරන්නනම් දෙමළ හා මුස්ලිම් ඡන්ද අඩු කර නොගෙන 2015දී මෛත්‍රීපාල සිරිසේන වෙත ලැබුණු සිංහල ඡන්ද ද රඳවාගත හැකි පුද්ගලයෙකු පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරන්න සිදු වෙනවා.
ලංකාවේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ බොහොමයක්ම අපේක්ෂකයින් දෙදෙනෙකු අතර පැවති තරඟයි. ප්‍රතිඵලයට බලපෑමක් කළ හැකි තෙවන තරඟකරුවෙකු සිටියේ අවස්ථා තුනකදී පමණයි. ඒ, ජවිපෙ වෙනම තරඟ කළ අවස්ථා දෙකේදී හා ඔසී අබේගුණසේකර තරඟ කළ අවස්ථාවේදීයි. ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර තරඟ කළ 1982දී ඔහු 4.19%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. 1999දී ජවිපෙ අපේක්ෂක නන්දන ගුණතිලක විසින් 4.08%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. ජවිපෙ තරඟ නොකළ හා ඡන්දය දැමූවන්ට මරණ තර්ජන කළ 1989දී ඔසී අබේගුණසේකර විසින් 4.63%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. කිසිදු තෙවන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයකදී 5% මට්ටමට ගොස් නැහැ.
මෙවර දෙමළ පක්ෂ වලින් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරෙන බවක් පෙනෙන්නට නැහැ. එම පක්ෂ වල අභිලාශය වන්නේ ගෝඨාභයට එරෙහිව ඉදිරිපත් වන ප්‍රධාන ප්‍රතිවාදියාගේ ජයග්‍රහණය බව පැහැදිලියි. මුස්ලිම් දේශපාලන පක්ෂ එකතු වී අපේක්ෂයෙකු ඉදිරිපත් කරන බව කීවත්, එවැන්නක් සිදු වේයැයි මා හිතන්නේ නැහැ. මේ වෙලාවේ, ජන වාර්ගික කණ්ඩායමක් ලෙස සැලකූ විට ගෝඨාභයට වඩාත්ම ප්‍රතිපක්ෂව ඉන්නේ මුස්ලිමුනුයි. ඒ නිසා, ඔවුන්ට ගෝඨාභය බලයට පැමිණීම වලක්වන්න තිබෙන්නේ දෙමළුන්ට තිබෙනවාටත් වඩා උවමනාවක්. ගෝඨාභයගේ ප්‍රතිවාදියාට ඡන්දය නොදී මුස්ලිම් අපේක්ෂකයෙකුට ඡන්දය දීමෙන් තමන්ගේ අපේක්ෂාව ඉටු නොවන බව සාමාන්‍ය මුස්ලිමුන් දන්නා නිසා යම් හෙයකින් එවැනි අපේක්ෂකයෙකු ඉදිරිපත් වුනත් එවැන්නෙකුට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකි වන එකක් නැහැ. මුස්ලිම් දේශපාලන පක්ෂ මේ බව හොඳින්ම දන්නා නිසා ඔවුන් එවැනි අපේක්ෂකයෙකු දමන්න ලොකු ඉඩක් නැහැ.
ජවිපෙ අද ඉන්නේ 1982දී හා 1999දී හිටියාට වඩා තරමක් හෝ දුර්වල තැනකයි. ඒ නිසා, ජවිපෙට මෙවර තනිව තරඟ කර 4% මට්ටමෙන් ඔබ්බට යන්න අසීරුයි. කෙසේ වුවත්, 2015දී මහින්ද හා මෛත්‍රී අතර වූ පරතරය 3.7%ක් පමණයි. ජවිපෙට මේ මට්ටමට එන්න බැරිකමක් නැහැ. ඒ නිසා, ජවිපෙ විසින් වෙනම අපේක්ෂයෙකු ඉදිරිපත් කරනවාද නැද්ද කියන එක තීරණාත්මක කරුණක්. ජවිපෙ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ගෝඨාභයට ශ්‍රීලනිප නිල සහායක් නොමැතිව හා 50% නොලබා වුවත් ජනාධිපති ධුරයට පත් වීමේ ඉඩකඩක් විවර වෙනවා.
පසුගිය වකවානුව තුළ නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලෙවත්ත වැනි වෙනත් තරඟකරුවන්ද කරලියට ආවා. මෙවර ජනාධිපතිවරණයද රාජපක්ෂවාදීන් හා රාජපක්ෂ විරෝධීන් අතර සටනක් වන පසුබිමකදී නාගානන්ද පන්නයේ තරඟකරුවෙකුට මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් කළ හැකි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකි වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ.
තමන්ට ජයග්‍රහණය කළ නොහැකි ජනාධිපති හටනකදී ඔලුව හප්පා ගන්නවා වෙනුවට ඔලුව බේරාගෙන පැත්තකට විය හැකිනම් එය කිරීම හෝ මුට්ටියක් දමා බැලීම ජවිපෙ සාමාන්‍ය ක්‍රමයයි. ඒ නිසා, තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු වෙනුවට ජවිපෙ විසින් සලකා බැලීමට ඉඩ තිබෙන තවත් විකල්ප දෙකක් තිබෙනවා. එකක් අවසාන මොහොතකදී පොදු අපේක්ෂකයෙකුට සහාය දීමයි. දෙවැන්න, නාගානන්ද වැනි වෙනත් තෙවන අපේක්ෂකයෙකුට සහාය දීමයි. යම් හෙයකින්, ජවිපෙ සහාය ලබන "ස්වාධීන" අපේක්ෂකයෙකු තරඟයට ඉදිරිපත් වුවහොත් 5%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇතැයි මා සිතන නමුත් එයින් ඔබ්බට යා හැකියැයි සිතන්නේ නැහැ.
ජවිපෙ විසින් ඔවුන්ගේම අපේක්ෂකයෙකු දැම්මොත් හෝ වෙනත් තෙවන අපේක්ෂකයෙකුට සහාය පළ කළහොත් එයින් ලොකුම බඩේ පාර වදින්නේ මෛත්‍රීපාල සිරිසේනටයි. ඔහුට රාජපක්ෂ කඳවුර සමඟ හෙට්ටු කිරීමට ඉඩකඩක් විවර වන්නේ ජවිපෙ සහායද ලබන පොදු අපේක්ෂකයෙකු ගෝඨාභයගේ ප්‍රතිවාදියා වන පසුබිමකදී පමණයි.
ශ්‍රීලනිපය සමඟ දැනට ඉතිරිව සිටින දේශපාලනඥයින් ටික දෙනාගෙන් වැඩි දෙනෙක් ඉදිරි කාලයේදී පොදුජන පෙරමුණ හෝ එජාපය සමඟ එක් වද්දී ඔවුන්ගේ ආධාරකරුවන්ගේ ඡන්දත් ශ්‍රීලනිපයෙන් ගිලිහී යාම නොවැලැක්විය හැකියි. ඒ නිසා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහු විසින් 2-3%ක ඡන්ද ප්‍රතිශතයක්වත් ලබා නොගැනීමට ඉඩ තිබෙනවා. නමුත්, මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කරන ආකාරය අනුව මෙවැනි අවාසිදායක තත්ත්වයක් හමුවේ වුවත් ඔහු මැතිවරණයට ඉදිරිපත් වෙන්න බැරිකමක් නැහැ. ගෝඨාභය විරෝධී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් වන පසුබිමකදී මිස මේ ඡන්ද වෙනුවෙන් රාජපක්ෂ කඳවුරෙන් නොවටිනා මිලක් ලබා ගැනීමේ හැකියාවක් ඔහුට නැහැ.
බොහෝ විට සිදු විය හැකි පරිදි, පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය සන්ධානගත වුවත් ගෝඨාභයට 50% මට්ටටට යාමේ හැකියාව 100%ක් තහවුරු වෙන්නේ නැහැ. එයට හේතුව පළාත් පාලන මැතිවරණ වලදී ශ්‍රීලනිපය හා එජනිසය විසින් ලබාගත් 12.07%ක ඡන්ද ප්‍රතිශතයේ විෂමජාතීය ස්වභාවයයි. මෙයින් කොටසක් 2015දී මහින්ද වෙනුවෙන් භාවිතා වුනු ඡන්ද. ශ්‍රීලනිපය විසින් මේ ඡන්ද ලබාගත්තේ ඒ වෙද්දී මහින්ද යනු තවදුරටත් ශ්‍රීලනිපය නොව පොදුජන පෙරමුණ බව තේරුම් ගෙන නොසිටි පිරිසක් සිටි නිසයි. ඒ ඡන්ද, කොහොමටත් පොදුජන පෙරමුණ වෙත ආකර්ශනය වෙනවා. තවත් කොටසක් මෛත්‍රීපාලගේ හා ඒ වන විට ශ්‍රීලනිප සමඟ සිටි තවත් කිහිප දෙනෙකුගේ පෞද්ගලික ඡන්ද. ඒ වෙනත් අයගේ ඡන්ද වලින් කොටසක් ඒ වෙනත් අයද සමඟ පොදුජන පෙරමුණට හෝ එජාපයට යාමෙන් පසු ඉතිරි වන කොටස එතරම් විශාල නැහැ. තෙවන කොටස පාවෙන ඡන්ද. මේ ඡන්ද වලට ජනවාරි ඡන්ද කියා කියන්නත් පුළුවන්.
ජනවාරි ඡන්ද කියන්නේ 2015 වන විට රාජපක්ෂ විරෝධී වූ, එහෙත් ඊට පෙර මහින්ද වෙනුවෙන් වැටුණු සිංහල, බෞද්ධ, නාගරික ඡන්ද. මේ ගොඩක් ඡන්ද මහින්දගෙන් ගිලිහුණේ රාජපක්ෂලාගේ හොරකම් ගැන ප්‍රසිද්ධ වූ කතා එක්කයි. නමුත්, යහපාලන ආණ්ඩුව මේ හොරකම් කිසිවක් එළිදරවු නොකිරීමත්, ඊටත් වඩා ලොකු බැඳුම්කර හොරකමක පැටලීමත් හමුවේ (මේ අයගේ කෝණයෙන්) පළාත් පාලන මැතිවරණ වලදී මේ කණ්ඩායමේ තේරීම වුනේ යහපාලන ආණ්ඩුවේ "පිරිසිදු පාර්ශ්වය" ලෙස පෙනුණු මෛත්‍රීපාල සිරිසේනයි. ඔවුන් තව දුරටත් රාජපක්ෂ විරෝධීන් වූ බවත්, පළාත් පාලන මැතිවරණ වලදී ශ්‍රීලනිපය හිටියේ රාජපක්ෂලාට වඩා එජාපයට කිට්ටුවෙන් බවත් අමතක කළ යුතු නැහැ.
මේ ඡන්ද ගෝඨාභයට ආකර්ශනය කර ගත නොහැකි ඡන්ද නොවූවත්, මෛත්‍රීපාල සිරිසේනට පාලනය කළ හැකි ඡන්ද නෙමෙයි. ඒ නිසා ශ්‍රීලනිප එකතු කර ගැනීමෙන් පොදුජන පෙරමුණට ලැබෙන ආන්තික වාසිය ඉතා සුළු එකක්. එය 50% මට්ටමට යාමට ප්‍රමාණවත් එකක් නෙමෙයි. එහෙත්, 2015 ජනවාරියේදී ගිලිහුණු සිංහල, බෞද්ධ, නාගරික ඡන්ද එකතු කර ගැනීමේ වටිනාකම ඊට වඩා ගොඩක් වැඩියි. ගෝඨාභය කඳවුරට මේ සමතුලනය ගැන පැහැදිලි අදහසක් තිබෙන බව පේනවා. ඔවුන් ශ්‍රීලනිපය එකතු කර ගැනීමට වඩා ජනවාරි ඡන්ද එකතු කර ගැනීමට බර දමමින් සිටීමෙන් පෙනෙන්නේ එයයි.
මෙතෙක් කතා කළ පදනම මත, ශ්‍රීලනිප/එජනිස පළාත් සභා ඡන්ද වලින් ආසන්න වශයෙන් අඩක්, එනම් 12.07%න් 6.34%ක් (=47.58% - 41.24%), කොහොමටත් පොදුජන පෙරමුණ වෙත ආකර්ශනය වන පසුබිමක 50% මට්ටම පහු කරන්න ගෝඨාභයට අවශ්‍ය වන්නේ ඉතිරි ශ්‍රීලනිප/එජනිස පළාත් සභා ඡන්ද වලින් ( 5.73%න්) අඩකට වඩා අඩු (2.42%ක) ප්‍රතිශතයක්. ගෝඨාභය පරද්දන්නනම් කාට හෝ පොදු අපේක්ෂකයෙකුට ශ්‍රීලනිප/එජනිස පළාත් සභා ඡන්ද වලින් අවම වශයෙන් 3.31%කට වඩා වැඩි කොටසක් ගෝඨාභය වෙත යාම වලක්වා තමන් වෙත ආකර්ශනය කරගන්න සිදු වෙනවා. එය කළ හැකි පොදු අපේක්ෂකයෙකු සොයා ගත හැකිනම් ගෝඨාභයට තරඟයක් දිය හැකියි.
රනිල් වික්‍රමසිංහට මෙය කළ නොහැකි බව පැහැදිලියි. ඔහු ඒ බව අවබෝධ කරගෙන සිටින බවත් පැහැදිලියි. ඒ වගේම, ඒ ඉලක්කයට යා හැකි අයෙකුට අවස්ථාවක් දීමට ඔහු පැකිළෙන එකක් නැහැ. වෙනත් අයෙකු ජනාධිපති කරගෙන තමන්ට අගමැති විය හැකිනම් එය නරක ප්‍රතිඵලයක් ලෙස සලකන්න හේතුවක් රනිල්ට නැහැ.
මේ ආකාරයට ශ්‍රීලනිප/එජනිස පළාත් සභා ඡන්ද ගොඩෙන් තුනෙන් එකක් පමණවත් ලබා ගැනීමේ හැකියාවක් රනිල්ට මෙන්ම රාජිත, රවී, මංගල වැනි අයෙකුටද නැහැ. මේ ඡන්ද සිංහල, බෞද්ධ, නාගරික ඡන්ද. සජිත්ට එය කළ හැකිද?
සජිත් කියන්නේ තවමත් ඔහුගේ පියාගේ යුගයේ ජීවත් වන අයෙක්. මට එක පාරටම මතක් වෙන්නේ අපේ පාසැල් කාලයේදී කියපු සිංදුවක්.
"අර බලපන්කෝ මේ බලපන්කෝ
අර බලපන් මේ බලපන් බුරි නැති කොල්ලෝ //"
ඕක කෝරස් එක. ඊට පස්සේ ඕකට එක එක පුද්ගලයින්ගේ නමින් කෑලි එකතු වෙනවා.
"ප්‍රේමදාස බුරිය දැකල මෙහෙම කියනවා
ප්‍රේමදාස බුරිය දැකල මෙහෙම කියනවා
බුරිය මැද්දෙ උදාගමක්
බුරිය මැද්දෙ උදාගමක්
බුරිය මැද්දෙ උදාගමක් හදමු කියනවා"
ඔය කියන්නේ සජිත්ගේ තාත්තා ප්‍රේමදාස ගැනයි. අවුරුදු තිහ හතළිහකට පස්සේ සජිත්ගේ ලෝකය තාමත් තියෙන්නේ ඔය බුරිය මැද්දෙමයි.
අනෙක් පැත්තෙන් සජිත් කියන්නේ අමු ගෝත්‍රවාදියෙක්. ඔහුගේ තේමාව වන්නේම යූඇන්පී කාරයින්ට සැලකීමයි. පාක්ෂිකයාට සැලකීම කියා කියන්නේ බොහෝ කලකට පෙර අසාර්ථක වූ අදහසක්. රාජපක්ෂලා කරන්නෙත් තමන්ගේ හිතවතුන්ට සලකන එක තමයි. නමුත්, වෙනසකට තියෙන්නේ ඕනෑම කෙනෙකුට වැඩි අමාරුවක් නැතිව රාජපක්ෂ හිතවතෙකු වීමේ ඉඩකඩක් විවරව තිබීමයි.
දැනට ඉතිරි වෙලා ඉන්න යූඇන්පී කාරයින් අතරින් පහළ සමාජ ස්ථර වල අය චූන් එකේ තියා ගන්න හා ඔවුන්ව චූන් කර ඡන්ද පොළට දක්කන්න සජිත්ට පුළුවන්. නමුත්, මේ වර්ගයේ අය දැන් එජාපයේ වැඩිපුර නැහැ. එහෙම අය හිටියේ සජිත්ගේ තාත්තගේ කාලයේ. ඒ වගේම මහින්ද එක්ක ඉන්න එවැනි අය මහින්දගෙන් කඩලා තමන් වෙත ආකර්ශනය කර ගැනීමේ හැකියාවක්ද සජිත්ට නැහැ. 2015දී මෛත්‍රීට ලැබුණු හා පළාත් පාලන මැතිවරණ වලදී ශ්‍රීලනිපයට ලැබුණු සිංහල බෞද්ධ නාගරික ඡන්ද ගෝඨාභයට යන එක වලක්වා තමන් වෙත ආකර්ශනය කර ගැනීමේ හැකියාවක් සජිත්ට කොහෙත්ම නැහැ. ඒ නිසා, ඔහුගේ ජනාධිපති සිහිනය සිහිනයක්ම පමණයි.
සිංහල, බෞද්ධ, නාගරික ඡන්ද සඳහා ගෝඨාභය සමඟ තරඟ කළ හැකි එජාප පිලේ සිටින අපේක්ෂකයින් වන්නේ චම්පික හා කරු ජයසූරියයි. චම්පික වැනි එජාප නොවන අයෙකුට ජනාධිපති අපේක්ෂකත්වය පිරිනමන්න තවමත් එජාපය සූදානම්ද යන්න සැක සහිතයි. ඒ වගේම, තමන් සෙල්ලම් කරන්නේ අනුන්ගේ පිට්ටනියක බව දන්න නිසා චම්පික දැනට ක්‍රීඩා කරන්නේ කඩුල්ල ආරක්ෂා කර ගෙනයි. සීමාවන් ඉදිරියට පැන පහර දී දුවද්දී දැවී යාමේ අවදානමට මුහුණ දෙන්න සූදානම් බවක් ඔහු පෙන්වන්නේ නැහැ. චම්පික කියා කියන්නේ අවස්ථාව ලැබෙන තුරු ඉවසා සිටින කෙනෙක්.
ප්‍රතිවාදී ලැයිස්තුවට සරත් ෆොන්සේකාවත් දැමිය හැකියි. එහෙත්, ඔහු එජාප අපේක්ෂකයා ලෙස ඉදිරියට පැමිණීමේ හෝ එසේ පැමිණියත් ගෝඨාභයව අභිබවා යාමේ ඉඩකඩක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, එජාප පිලේ සිටින්නන් අතරින් පොදු අපේක්ෂකයෙකු වීමේ විභවයක් වැඩිපුරම පෙන්වන්නේ කරු ජයසූරියයි. මම හිතන විදිහට රනිල්ගේ තේරීම වන්නේත් කරු ජයසූරියයි.
එක අතකින් බලන කොට මේ පොදු අපේක්ෂක කතාවම විහිළුවක්. 2015දී වුනේ රාජපක්ෂ විරෝධය කියන පොදු තේමාව යටතේ නොගැලපෙන රෝද අමුණාගත් කරත්තයක් ඉදිරියට තල්ලු කරන්න උත්සාහ කිරීමක්. කරත්තය වැඩි දුරක් ගියේ නැහැ. එසේ තිබියදී, නැවතත් ඒ රෝදම දාගෙන අලුත් කරත්තයක් තල්ලු කරන්න පුලුවන්ද කියන එක වලංගු ප්‍රශ්නයක්.
කොහොම වුනත්, මහින්ද අගමැති සේ දිවුරුම් දීමෙන් පසුව පැහැදිලි වූ පරිදි මෙවැනි නොගැලපෙන රෝද එකතු කර කරත්තයක් හැදීමේ විභවයක් රාජපක්ෂ විරෝධයට තවමත් තිබෙනවා. ඒ නිසා, රාජපක්ෂ විරෝධය මත පමණක් විවිධ අදහස් දරන කොටස් එකතු කිරීම තවමත් කළ හැකි දෙයක්. එසේ කළත්, ගෝඨාභය අභිබවා ජයග්‍රහණය කිරීම අමාරු ඉලක්කයක්. නමුත්, කෙසේවත්ම සිදු නොවිය හැක්කක් නෙමෙයි.
පොදු අපේක්ෂක සිහිනය බිඳ වැට්ටවීමට ලොකුම දායකත්වයක් දෙන්නේ සජිත් විසිනුයි. සජිත්ගේ අරගලය හමුවේ එජාප ජනාධිපති අපේක්ෂකත්වය ඔහුට ලැබුණොත් ඔහුට ජය ගැනීමේ හැකියාවක් නැති බව පැහැදිලි නිසා ජවිපෙ විසින් තෙවන පාර්ශ්වයකට සහයෝගය දීමේ හෝ තමන්ගේම අපේක්ෂකයෙකු දැමීමේ ඉඩකඩ ඉහළ යනවා. එයින් වෙන්නේ ගෝඨාභයගේ ජයග්‍රහණය පැහැදිලි ලෙස තහවුරු වීමයි.
Labels:
ගෝඨාභය රාජපක්ෂ,
දේශපාලනය,
මැතිවරණ ප්‍රතිඵල
Subscribe to:
Post Comments (Atom)
අන්තෝ ජටා - බහි ජටා!
ReplyDelete2015 පසු වැඩිවූ අලුත් තරැණ ජන්ද පිළිබඳ ඔබ සලකා බලා නෑ.අනිත් කාරනය තමයි ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජන්දය දීමේ ප්‍රතිශතය 65% ගණනක් . ජනාධිපති වරනයකදී මේක 78,80% ප්‍රමාණයක් වෙනවා.
ReplyDeleteඔබ කියනවා වගේම සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණ වලදී භාවිතා වෙන්නේ ඡන්ද වලින් 65%ක් පමණයි. නමුත්, ජනාධිපතිවරණයකදී 80% මට්ටමට යනවා. නමුත්, පසුගිය පළාත් පාලන මැතිවරණය මේ කරුණේදී සුවිශේෂී එකක්. එහිදී කවදාවත් නැතුව 80%ක් ඡන්දය දැම්මා. මෙය කිසිවෙකු කලින් අපේක්ෂා කළ තත්ත්වයක් නෙමෙයි. පොදුජන පෙරමුණ ඉදිරියට ආවේ මෙසේ ඉහළ ගිය ඡන්දය දැමීමේ ප්‍රතිශතයද සමඟයි.
DeleteGood analysis, Sajith is the front runner, but few more like Ranil, Karu, SF, Ranawaka, Rajitha in UNF trying (Muttiya damamin innwa)
ReplyDeleteI do not believe any other party will field a candidate except JVP. Even if they did (as you said) they will get less than 5%.
Most likely JVP will support UNP since JVP ruined the brand by joining UNP (who murdered their leader and most comrades).
යාපනේ රැස්වීමකට යනකොට නළලේ අළු ගාන්න එපා කියන්න තරම් තම පෞද්ගලික අයිතිය ගැන හැඟීමක් තියෙන කෙනෙක්ට මම චන්දේ දානවා.
ReplyDelete2015 දී මෛත්‍රී වෙනුවෙන් (රනිල් වෙනුවෙන්) ඡන්දය දුන් සමහරුන් මේ වන විට පරලෝකප්‍රාප්ත වී ඇත, උදාහරණය සෝභිත හිමි. සමහරු වෙන් වී මිනීමරු JVP වෙනුවෙන් කඩේ යත්, උදාහරණය නිර්මාල් රංජිත් දේවගැති.
ReplyDelete2015 දී මෛත්‍රී (රනිල්) බලයට ගෙන ඒමේ තීරණාත්මක ඡන්දය බවට පත් වූයේ, මගේ තක්සේරුව අනුව, පළමු වරට තම ඡන්දය භාවිතා කළ නව යොවුන් ප්‍රජාවයි. මෙහිදී ගම නගරය කියා වැඩි වෙනසක් නැත. අතිශය ප්‍රසිද්ධ ෆ්‍රී වයි ෆයි පොරොන්දුව සහ කඩා වැටුණු ගූගල් බැලුම ඒ අයට වික්‍රමසිංහගෙන් ලැබුණු දායාදයයි. පුංචි කාර් දුන්නේ සමහරවිට මීට ප්‍රථම ඡන්දයක් භාවිතා කර තිබුණු (ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කී ඒ කාලයේ නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්විණ) මුත් දේශපාලන වශයෙන් එතරම් පරිණත වී නොසිටි කණ්ඩායමකටයි. මංගලගේ කටකතා බලකාය මගින් නිර්මාණය කර ජනතා එවකට අමුඩය සහිතව සිටි (දැන් අමුඩයත් නැත) අනුර කුමාරගේ JVP man power කොම්පැණිය හරහා තොරතෝංචියක් නැතුව සමාජගත කළ මහින්දගේ බිලියන් 18, බැසිල්ගේ 10% කොමිස්, නාමල්ගේ ලම්බෝගිණි, ගෝඨාභයගේ මිනී මෝරු ආදී ප්‍රලාප වලින් මංමුලාවට පත් කළ මේ තරුණයන් zombi (අවතාර) ලෙස ක්‍රියා කරමින් දුන් මනාපයෙනි මහින්ද පරාජය කෙරෙන ලද්දේ. අද ඒ තරුණයන් දේශපාලන වශයෙන් පරිණත ය. එසේම එදා කර ගත් ගොන් කම නිවැරදි කර ගැනීමටද අවස්ථාවක් සොයමින් සිටී. ප්‍රජාතන්ත්‍රවාදය ලබා දී ඇතැයි කියන මේ කාලයේ මැතිවරණ නැති වීමට හේතුවත් එයම බව සිතමි.
මේ වර්ෂයේ අභිනවයෙන් ඡන්ද බලය ලබන නව යෞවනයන් දන්නේ මහබැංකු මංකොල්ලය, සයිටම් නාඩගම හෙවත් අපේ සල්ලි වලින් නෙවිල් ගේ ණය ගෙවීම, ඔක්තෝබර විප්ලවය, විල්පත්තු වන සංහාරය, මිල සූත්‍රය, පාස්කු ඉරිදා අල්ලාහු අක්බාර් කුරබාන් බිල්ල, ජනසංහාර සාෆිට සුදු රෙදි ඇන්දවීම, බද්යුර්දින් සුද්ද කරන පාර්ලිමේන්තු කුණු කමිටුව සහ ලැජ්ජා බය නැති අගමැති ගැනත් සිංහල බෞද්ධ ඡන්ද තව තවත් එජාපයෙන් දුරස් කරන අන්දරේ පරම්පරාවේ ගොන්ජා ගැනත් ය.
එජාපය තමන්ට එකතු කර ගත හැකි කොල්ලන් බල්ලන් තානාපතිලා UN නියෝජිතයන් මොකා එකතු කරගෙන මොකා ඉල්ලුවත් (මා සිතන්නේ ජඩසූරිය පිස්සු මහල්ලා ඉල්ලනු ඇති බවයි - රනිල් හැරුණු කොට සෘජුව ඇමරිකානු තානාපති කාර්යාලයෙන් මෙහෙයවෙන ප්‍රධානම දේශපාලනඥයා ඔහුය) 50% ලබා ගත නොහැක. වෙන පක්‍ෂ හෝ ස්වාධින කණ්ඩායම් වලින් ඉල්ලන නාගයා, පත්තෑයා, දහ ජරාවා ආදී ඕනෑම සතෙකුට කළ හැක්කේ ගෝඨා විසින් ලබා ගැනීමට ඉඩ ඇති 50% ඊට වඩා අඩු කිරීමට යම් තෙරපුමක් ගැනීමයි.
ගෝඨාභයට මුස්ලිම් ඡන්ද නොලැබෙනු ඇති බව (ඔබ කියන අන්දමට අඩුවෙන්ම ආකර්ෂණය වන) තාර්කික නිගමනයක් නොවේ. මුස්ලිම්හු ස්වභාවයෙන් අවස්ථාවාදියෝ ය. වාසි පැත්තට කොක්ක ගසා ගැනීම ඔවුන්ගේ ක්‍රමය වේ. වෙනත් වචන වලින් කිවහොත් කපන්න බැරි ඇත සිඹිමයි ඔවුන් කරන්නේ. ගෝඨා නිවැරදිව සිංහල ඡන්දදායකයන් ආමන්ත්‍රණය කර සිංහල ඡන්ද වලින් අඩු තරමින් 60% ලබා ගන්නා බව පෙනී ගියහොත් ගෝඨාට කොක්ක ගසා ගන්නා මුස්ලිම් නායකයන් හරහා මුස්ලිම් ඡන්ද විශාල ප්‍රමාණයක් ඔහු වෙත ආකර්ෂණය වනු ඇත. ගෝඨාට පක්‍ෂ බොහෝ දෙනා විසින් අනුමත නොකළත් සිදු වීමට ඉඩ ඇත්තේ එයයි.
බොහෝ සිංහලයින් එසේ සිතන්නට කැමති උනත් පුද්ගලයෙක් වශයෙන් ගත් කළ ගෝඨා මුස්ලිම් විරෝධියෙක් නොවේ. ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය දක්වා ඔහු පැමිණි ගමනේ දී ඔහු විසින් visit කළ මුස්ලිම් පල්ලි ගණන අපමණය. ඔහු ජනාධිපති වී එක රැයින් තම්බින්ගේ රිස්ස අරිනු ඇතැයි කෙනෙක් බලාපොරොත්තු වෙයි නම් ඊට වඩා මෝඩ කමක් තවත් නැත. අළුත්ගම මුස්ලිම් කෝළාහලය ගෝඨා විසින් සැළසුම් කර ක්‍රියාත්මක කළ දෙයක් බව විශ්වාස කරන්නෝ අද ඇත්ද ?
ලංකාව යනු ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. සිංහලයා යනු රටක් නැති ජාතියක්. නමුත් සිංහලයන්ට ලංකාව වැදගත්. මන්ද සිංහලයන්ට සිංහලයන් හැටියට වර්ගය බෝකල හැක්කේ ලංකාව තුල පමණක් නිසයි. හරියට සැමන් මසුන්ට වර්ගය බෝ කිරීමට මිරිදියට යෑමට අවශ්‍යයි වගේ.
Deleteමේ තත්වය තුල සිංහලයා රටගැන හිතන්න අවශ්‍ය නෑ. තම වර්ගය ගැන පමණක් හිතුවාම ඇති.
මම චන්දේ දෙන්නේ කාටදැයි තවම තීරණය කර නෑ. බොහෝවිට ඒ ගොඨාභයට විය හැකියි.
මම අනිත් සිංහලයන්ටත් කියන්නේ සිංහල ජාතියට වඩාත් වාසියැයි ඔබලාට අවංකව හිතෙන කෙනෙක්ට චන්දය දාන ලෙසයි. සෑම සිංහලයෙක්ම "සුළුජාතික මානසිකත්වයෙන්" වැඩකල යුතුයි
දේශපාලනයේදී ආර්ථික ප්‍රතිපත්ති ගැන සැලකිලිමත්වීම මේ වනවිට ලංකාව සම්බන්ධයෙන් තේරුමක් නැති දෙයක්. මුස්ලිම් මිනිහෙක් ඔබ සමඟ දේශපාලනය ගැන කතා කිරීමේදී ආර්ථික ප්‍රතිපත්ති ගැන කියවයි. ඒත් ඌ චන්දේ දාන්නේ ආර්ථිකය ගැන හිතලා නෙමෙයි.
බඩගින්න යනු ඕනෑම හොරෙකුගේ අවසාන නවාතැනයි.
මම සජිත් ප්‍රේමදාසගේ දකින ලොකුම වරද ඔහු බඩගින්න ගැනම කියවීමයි.
"රටක් රාජ්ජයක්" යනු සිංහල ව්‍යවහාරයකි. රට එකකි - රාජ්‍යය තවෙකකි.
Deleteලංකාව මොකා මොක කීවත් සිංහල බෞද්ධ රටකි, නමුත් එය සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවේ. ක්‍රි.ව. 1815 දක්වා එය ස්ථිර වශයෙන්ම සිංහල බෞද්ධ රාජ්ජයක් ව පැවතිණ. පසුව ක්‍රම ක්‍රමයෙන් වෙනස් වී අඩු තරමින් 1833 න් පසු එය ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක් බවට පත් විය. 1947 දී ත් එය ඇන්ග්ලිකන් රාජ්‍යයකි - තවමත් එසේමය. අප 1956 දීත් 1972 දීත් 1978 දීත් යම් යම් බෞද්ධ සැරසිළි එයට එක් කළත් සිංහල බෞද්ධ රාජ්‍යය තවම පිහිටුවාගෙන නැත. අප තකහනියේ එය පිහිටුවා ගැනීමට ගියහොත් මේක සිංහල බෞද්ධ රටක් ය කියා ප්‍රසිද්ධියේ වදාරණ කාදිනල් තෙමේත් අපට නැති වනු ඇත. අන්න එයයි අභාග්‍යය.
කාදිනල් ලොක්කා ගැනනම් බලාපොරොත්තු තියාගන්න බෑ. එයාට මේක සිංහල බෞද්ධ රටක් කියලා මතක්වුනේ. සහරාන්ගෝ බෝම්බයට පින්සිද්ධ වෙන්න. ඒ වුනත් දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක් ආව ගමන් එයා අපහු දෙමළ ජාතිවාදයට කඩේ යනවාමයි.
Delete"කාදිනල් ලොක්කා ගැනනම් බලාපොරොත්තු තියාගන්න බෑ. එයාට මේක සිංහල බෞද්ධ රටක් කියලා මතක්වුනේ. සහරාන්ගෝ බෝම්බයට පින්සිද්ධ වෙන්න. ඒ වුනත් දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක් ආව ගමන් එයා අපහු දෙමළ ජාතිවාදයට කඩේ යනවාමයි."
Deleteනෑ නේද? ඊට කලින් එයා මානව හිමිකම් දෙසන්න ආපු අයට හොදට ඇමතුවා නේද?