Tuesday, August 20, 2019
අනුර කුමාර ඉදිරිපත් වුනේ ඇයි?
අනුර කුමාර දිසානායක මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව බර තබා දැනුම් දී තිබෙනවා. එහෙත්, එජාප අපේක්ෂයාව එළි දැක්වීමෙන් අනතුරුව අනුර කුමාර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී ලිස්සා යනු ඇතැයි ඇතැම් අය අදහස් පළ කරනවා. සාධක ගණනාවක් මත එය එසේ වේයැයි මා හිතන්නේ නැහැ.
මගේ අදහස අනුව මෙවර ජනපතිවරණයට ජවිපෙ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම 2015 ට පෙර සිටම ජවිපෙ සැලසුම් කළ ඉදිරි ක්‍රියාමාර්ග හා ගැලපෙන්නක්. 2015දී ජවිපෙ ප්‍රමුඛතාවය දුන්නේ රාජපක්ෂ රෙජීමය බලයෙන් පහ කිරීමටටයි. ඔවුන් එය කිරීමට සමත් වුනා. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය සඳහා ජවිපෙ දායකත්වය තීරණාත්මක ලෙස බලපෑවා. එහෙත්, ජවිපෙ ඒ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටියේ වක්‍ර ලෙසයි. ඔවුන් ජනතාවට "අන්න ඉබ්බා. මෙන්න ගින්දර" කියා පෙන්නුවා මිසක් ඊට වඩා වැඩි දෙයක් කිවුවේ නැහැ. එසේ කළේ "ඉබ්බා පුච්චන්න කියා අපි කවදාවත් කියා නැහැ" කියා පසුව කීමේ ඉඩකඩ වෙනුවෙනුයි. නමුත්, තමන්ට වාසිදායක තත්ත්වයන් යටතේදී "ඉබ්බව වගේම ගින්දරත් පෙන්නුවේ අපි. අනෙක් අය කළේ අපි පෙන්නුවාට පස්සේ ඉබ්බව පුච්චපු එක විතරයි" කියා කීමේ විකල්පයත් ඔවුන් ඉතිරි කර ගත්තා.
පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේදී යහපාලනය වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙකුගේ අපේක්ෂාවන්ට සාපේක්ෂව යහපාලන ආණ්ඩුව ඉතා ඉක්මණින්ම අසාර්ථක වීමට නියමිතව තිබුණු බව මුල සිටම පැහැදිලිව පෙනුණු දෙයක්. ජවිපෙත් මේ බව නිවැරදිව ඇස්තමේන්තු කළා. පැවති තත්ත්වය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාම සඳහා රනිල් වික්‍රමසිංහ සතුව මාර්ග සිතියමක් තිබුණා. එහි මූලික හා ප්‍රධානම උපාය මාර්ගය වූයේ ශ්‍රීලනිපය දෙකඩ කිරීමයි. එහෙත්, ශ්‍රීලනිප දෙකඩ වීම වෙනුවට සිදු වුනේ ශ්‍රීලනිපය නැති වීම නිසා රනිල්ගේ සැලසුම් සාර්ථක වූයේ නැහැ.
ජවිපෙ සැලසුම් පදනම් වූයේද රනිල්ගේ සැලසුම් වලට සමාන්තරවයි. ශ්‍රීලනිපය දෙකඩ වී දුර්වල වීමෙන් පසුව එජාපයටද මතු වෙන්නට ඉඩ නොදී පක්ෂ දෙක කෙරෙහිම කලකිරෙන විශාල පිරිස තමන් වෙත ආකර්ශනය කර ගැනීම ජවිපෙ අභිලාශය වුනා. ජවිපෙ විසින් බැඳුම්කර සිදුවීම උපයෝගී කරගෙන එජාපයට මුලදීම මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළේ එජාපයේ ගමනට තිරිංග දමා තමන්ගේ ගමන වේගවත් කර ගැනීමට මිස රාජපක්ෂලාට නැවත බලයට එන්න තිබෙන ඉඩකඩ වැඩි කරන්න නෙමෙයි.
එජාප හා ජවිපෙ සැලසුම් වෙනස් වුනේ මහින්ද විසින් ශ්‍රීලනිප සභාපතිකම මෛත්‍රීට දී පැත්තකට වීමත් සමඟයි. බැලූ බැල්මටට මෙය පෙනුණේ මෛත්‍රීට වගේම එජාපයට හා ජවිපෙටත් ලැබුණු අනපේක්ෂිත වාසියක් විදිහටයි. එහෙත්, ඉත්තන් කිහිප දෙනෙක් කැපෙන්නට ඇරීමෙන් රාජපක්ෂලාට දාන් යන්න පාරක් ඇරුණා.
ජවිපෙ ඇතුළේ සිටිමින් එජාපයට අවශ්‍ය පරිදි කටයුතු කරන බවට චෝදනාවක් කලක සිටම අනුර කුමාරට එල්ල වී තිබෙනවා. ඒ වගේම ජවිපෙට පොදුවේ "රතු අලි" ලේබලයක් වැදී තිබෙනවා. මේ ලේබල් ගහන කණ්ඩායම් අතර රාජපක්ෂවාදීන් වගේම ජවිපෙන් කැඩී ගිය කණ්ඩායම් දෙකේ අයත් කැපී පෙනෙනවා.
කිසියම් දේශපාලන පක්ෂයක් ඇතුළේ වෙනත් පක්ෂයක ඉත්තන් සිටීම අමුතු දෙයක් නෙමෙයි. ජවිපෙ ඇතුළෙත් එවැනි අය සිටිය හැකියි. විමල් වීරවංශ වැනි අය ජවිපෙ ඇතුළේ සිටියදී රාජපක්ෂලාට අවශ්‍ය පරිදි කටයුතු කර ඇති බව පැහැදිලියි. ඒ ආකාරයටම අනුර කුමාර එජාපයට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරනවා කියා මට සහතික විය නොහැකියි. හැබැයි එවැනි තත්ත්වයක් තිබේනම් එය ජවිපෙ සාමාජිකයින්ගේ හා නිලධාරී මණ්ඩලයේ ප්‍රශ්නයක්. ඔවුන්ට එය ප්‍රශ්නයක් නොවේනම් හෝ එවැනි ප්‍රශ්නයක් නොපෙනේනම් ජවිපෙට පිටින් සිටින අය එය ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ.
බාහිර නිරීක්ෂකයෙක් ලෙස මා දැකපු ආකාරයටනම් සිදු වුනේ ඇතැම් තත්ත්වයන් යටතේදී ජවිපෙ හා එජාප අවශ්‍යතා සමපාත වීමක්. එය ජවිපෙ එජාපය වෙනුවෙන් කඩේ යමක් ලෙස ලඝු කරන්න බැහැ. ජවිපෙ උත්සාහ කළේ මුලින් එජාපයේ උදවුවෙන් රාජපක්ෂ කල්ලිය ඇතුළු ශ්‍රීලනිපත්, දෙවනුව එජාපයත් දුර්වල කර 2020දී රාජ්‍ය බලය වෙත කිට්ටු කරන්නයි. ඔවුන් ඉලක්ක කළ පරිදි බොහෝ දේ සිදු වුනේ නොමැති තත්ත්වයක් යටතේ වුවත් වෙනම තරඟ කිරීම ඔවුන්ට මේ වෙලාවේ ගත හැකි හොඳම ක්‍රියා මාර්ගයයි. මේ මා දකින පළමු හේතුව.
පසුගිය දෙවරම ජවිපෙ විසින් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේ එම පක්ෂයේ සැලකිය යුතු ව්‍යුහමය වෙනසක් සිදු වීමෙන් පසුවයි. පළමු කැරැල්ලෙන් පසුව නිදහස ලබා නැවත සංවිධානය වීමෙන් පසුව 1982දී රෝහණ විජේවීර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනා. මෙය කළේ බලහත්කාරයෙන් රාජ්‍ය බලය ලබා ගැනීමේ අරමුණින් හැදූ ජවිපෙ පක්ෂ ව්‍යුහය මැතිවරණ ඉලක්ක කර යම් තරමකින් වෙනස් කර ගැනීමෙන් පසුවයි. මේ ආකාරයෙන්ම දෙවන කැරැල්ලෙන් පසුව පක්ෂ ව්‍යුහය ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් පසුව 1994දී නිහාල් ගලප්පත්තිව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට උත්සාහයක් ගත්තත්, ඒ වන විටත් දෙවන කැරැල්ලේ තුවාල සුව වී නොතිබූ නිසා ඔවුන්ගේ දෙවන ජනාධිපතිවරණ පරීක්ෂණය 1999 දක්වා කල් දමන්න සිදුවුණා.
මෙවර ජවිපෙ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ජවිපෙ තුන්වන කැරැල්ලේ තුවාල සුව කරගැනීමෙන් පසුවයි. පළමු කැරලි දෙකේදී මෙන් ජවිපෙ තුන් වන කැරැල්ලේදී රටට හානියක් සිදු වුනේ නැහැ. දැනෙන බලපෑමක් සිදු වුනෙත් නැහැ. එහෙත්, මුල් කැරළි අවස්ථා දෙකේදී වගේම පක්ෂයේ ආකෘතිමය රාමුවට හානි සිදු වුනා. ඉන් පසුව, මේ හානි ප්‍රතිසංස්කරණය කර ගනිමින් ජවිපෙට ව්‍යුහමය වෙනස්කම් කර ගන්න සිදු වුනා.
පක්ෂ අභ්‍යන්තරයට සීමා වූ ජවිපෙ තුන් වන කැරැල්ල 2012දී සිදු වූ කුමාර් ගුණරත්නම් ඇතුළු කණ්ඩායමේ වෙන් වීමයි. ඊට පෙර 2008දී සිදු වූ විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමේ වෙන්වීම නිසා ජවිපෙ ඡන්ද පදනම විශාල ලෙස බිඳ වැටුණත්, එම කණ්ඩායමේ වෙන් වීම ජවිපෙ පක්ෂ ව්‍යුහයට බලපෑවේ නැහැ. ප්‍රසිද්ධියේ මොනවා කිවුවත්, 2012 වන තුරුම ජවිපෙ යනු මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කළ පක්ෂයක් නෙමෙයි. ඔවුන් මැතිවරණ ජයග්‍රහණ උපයෝගී කර ගත්තේ පක්ෂයේ ආරම්භයේ සිටම පැවතුනු අවසාන අරමුණ වූ අවි බලයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ ඉලක්කය කරා යාමට උදවු වන අතරමැදි ඉලක්ක ලෙස පමණයි. නමුත්, ජවිපෙ ක්‍රමයෙන් මැතිවරණ ජයග්‍රහණ ලබා ගනිද්දී මුල් අරමුණ වෙනුවෙන් පෙනී සිටින කොටස් ක්‍රමයෙන් පක්ෂය තුළ දුර්වල වී 2012දී ඔවුන්ව තීරණාත්මක ලෙස පරාජය කෙරුණා.
විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට වෙන්ව යාමට සිදු වීමත් මෙයට සම්බන්ධයි. ඔවුන් ජවිපෙ ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදී ඉලක්ක වෙනුවෙන් මුලින්ම පෙනී සිටි කණ්ඩායමක්. එහෙත්, බාහිර නිරීක්ෂකයින්ට ඔවුන් පෙනුනේ පක්ෂයේ ප්‍රබලයින් ලෙස වුවත්, ඔවුන්ට පක්ෂය ඇතුළේ බලයක් නොතිබුණු නිසා පක්ෂය ප්‍රතිසංස්කරණය වීම වෙනුවට සිදු වුනේ ඔවුන් එළියට විසි වීමයි.
කුමාර් ගුණරත්නම් කණ්ඩායම ඉවත් වීමෙන් පසුවත් ජවිපෙ පක්ෂ ව්‍යුහය ඇතුළේ භක්තිමත් මාක්ස්වාදීන් ඉතිරිව සිටිනවා. ඔවුන් ඇතැමෙකුට පක්ෂය ඇතුළේ තවමත් විශාල බලයක් තිබෙනවා. ටිල්වින් ද සිල්වා උදාහරණයක් ලෙස පෙන්වන්න පුළුවන්. පක්ෂයේ නියමුවා පුවත්පත වැනි තැන් වල තවමත් ප්‍රමුඛතාවය ලැබෙන්නේ ලෙනින්ලාගේ මූලධර්මවාදී ආගමික පාඨ වලටයි. එසේ වුවත්, ජවිපෙ මේ වන විට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස රූපාන්තරණය වෙමින් පවතින බව පැහැදිලියි.
එක් වෙබ් අඩවියක පෙන්වා දී තිබුණේ අනුර කුමාර මෙවර රතු කමිසයක් ඇඳ නොසිටි බව හා සමාජවාදය යන වචනය ඔහුගේ කතාවේ කිසි තැනක සඳහන් නොකළ බවයි. එමෙන්ම, අනුරගේ මෙවර කතාවේ ලෙනින්, මාක්ස් හෝ එංගල්ස් කියූ දේවල් කිසිවක් නැහැ. අඩු වශයෙන් රෝහණ විජේවීර කියූ දේවල් හෝ නැහැ. ඒ වෙනුවට ඔහු උපුටා ගන්නේ ඇමරිකානු සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වූ මාටින් ලූතර් කිංග්වයි. මෙයින් පෙනෙන්නේ ජවිපෙ සමාජවාදය අතහැර ඇති බවයැයි අප කියන්නේ නැහැ. මෙය හිතා මතාම කරන රැවටීමක් විය හැකියි. එහෙත්, ඒ ආකාරයේ රැවටීමක් වුවත් ජවිපෙ ඉතිහාසයට සාපේක්ෂව විශාල වෙනසක්. ආරම්භයේදී ජවිපෙ මැතිවරණ වලට ඉදිරිපත් වූයේත් රැවටිල්ලක් ලෙස වුවත්, ඒ රැවටිල්ල නිසා දිගුකාලීනව ජවිපෙ පක්ෂ ව්‍යුහයේ සැබෑ වෙනසක් සිදු වුනා.
අනුර කුමාරගේ කතාවේ වැදගත්ම කොටස ලෙස මා දකින්නේ පහත කොටසයි.
"ඒ වගේම පුද්ගල නිදහස පිළිබඳ ප්‍රශ්නය. මිනිස් සංහතිය මානව වර්ගයාගේ උසස්තතම නිර්මාණයන් අත්පත් කර ගත්තේ කෙසේද? ඒ නිර්මාණයන් අත්පත් කර ගත්තේ ඇතිවන අදහස් ඇතිවන සිතුවිලි පෙට්ටගමක් අස්සට දාල ඉබියතුරු දාල වසා තැබීමෙන් නෙමෙයි. මානව සංහතියේ ප්‍රගමනය නිර්මාණය වී තිබෙන්නේ නිදහස් අදහස් ගැටීමෙන්. ඒ නිදහස් අදහස් අතර සමාජ ප්‍රගමනයට හිතකර මතයන් උරා ගැනීමෙන්. එසේ නැතිව වසා තැබීමෙන් නෙමෙයි. ඒ නිසා අපේ සමාජය ඉදිරියට ගෙන යා හැකි වන්නේ පුද්ගල නිදහස වගේම නිදහස් මතයන් දැරීමේ අයිතිය පිළිගැනීමෙන් පමණයි. සමාජයට විනයක් නිර්මාණය කළ හැක්කේ එතැනින් පමණයි. සමාජය ඇතුළේ නීතියේ සහ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ හැකි වන්නේ එතැනින් පමණයි. එසේ නැතිව ඇති කර ගන්නා ලද කවර වර්ගයේ විනයක්, එසේ නැතිව ඇති කර ගන්නා ලද කවර වර්ගයේ නීතියේ සහ විධානයේ ආධිපත්‍යයක් ජනතාව පීඩාවට පත් කරන්නක් හැර අන් කවරක් නෙමෙයි. ඒ නිසා අපි පුද්ගලික නිදහස පිළිබඳව විවෘතව කටයුතු කළ යුතු අවදියකට අප අවතීර්ණ වී සිටිනවා."
අන් මත දරන්නන් කුරුරු ලෙස ඝාතනය කළ පක්ෂයක් මෙවැනි තැනකට පැමිණීම ඉතා වැදගත් පරිවර්තනයක්. මෙහි අනුර කුමාර විසින් කතා කරන පුද්ගලික නිදහස කියන සංකල්පයේ ඉතා වැදගත් අංගයක් වන්නේ ඒකීය පුද්ගලයින්ට නිදහස් ගනුදෙනු වල යෙදීමට තිබෙන අයිතියයි. සමාජවාදය ධනවාදයෙන් වෙනස් වන්නේ සමාජවාදය තුළ රාජ්‍ය මැදිහත්වීම් හරහා ඒ නිදහසට බාධා කිරීමත්, ධනවාදය තුළ එසේ නොකිරීමත් යන කරුණ මතයි. අනුර කුමාරගේ කතාවේ රටේ හා ජනතාවගේ ආර්ථික දියුණුව ගැන කතා කළත් ඒ වෙනුවෙන් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග ගැන කිසිවක් සඳහන් වන්නේ නැහැ. ඇතැම් විට සමාජවාදී ඉතිහාසයක් තිබෙන පක්ෂයක් විදිහට තවමත් ජවිපෙට නිදහස් වෙළඳපොල සංකල්පය වෙනුවෙන් පෙනී සිටින්න අමාරු ඇති.
යම් සීමාවන් තවමත් තිබුණත් මේ එළැඹෙන්නේ පක්ෂය ඇතුළට සීමා වූ ජවිපෙ තෙවන කැරැල්ලෙන් පසුව පක්ෂ ව්‍යුහය ප්‍රතිසංවිධානය කරගැනීමෙන් පසුව එළැඹෙන පළමු ජනාධිපතිවරණයයි. ඒ නිසා, මෙවරත් පෙර අවස්ථා දෙකේදී වගේම මේ වෙනසට ජනතාව ප්‍රතිචාර දක්වන ආකාරය දැන ගැනීමේ උවමනාවක් ජවිපෙට තිබෙනවා. මෙය ඔවුන් තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන දෙවන හේතුවයි.
ජවිපෙ මින් පෙර ජනාධිපතිවරණයකට සිය අපේක්ෂකයින් ඉදිරිපත් කළ අවස්ථා දෙකම බොහෝ දෙනෙකුට යම් තරමකින් හෝ ප්‍රධාන පක්ෂ දෙකම එපා වී තිබුණු අවස්ථාවන්. නිදහසේ සිට හැත්තෑ හත දක්වාම ලංකාවේ සිදුවුනේ එජාපය හා ශ්‍රීලනිපය (හෝ එම පක්ෂ මුල් වූ සන්ධාන) මාරුවෙන් මාරුවට බලයට පැමිණීමයි. නමුත්, 1982 වන විටත් ලංකාවේ මිනිස්සුන්ට සමගි පෙරමුණු ආණ්ඩුවේ සමාජවාදය අමතක වී තිබුණේ නැහැ. ඒ නිසා, ජේආර්ගේ ආණ්ඩුව පෙරළා නැවත ශ්‍රීලනිපය බලයට පත් කර ගැනීමේ සූදානමක් ඒ වන විටත් රටේ තිබුණේ නැහැ. අනෙක් අතට ජේආර්ගේ ආණ්ඩුව ගැන කළ කිරුණු විශාල පිරිසක් ඒ වන විට රටේ හිටියා. එවර ජවිපෙ විසින් ඉලක්ක කළේ මෙසේ ප්‍රධාන පක්ෂ දෙකම ගැන කළ කිරුණු පිරිසයි.
චන්ද්‍රිකා දෙවන වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට තිබුණේත් මේ වගේ තත්ත්වයක්. ඒ වන විට 62.3%ක ජනවරමකින් බලයට පත්ව සිටි නූතන විහාර මහා දේවිය චෞර රැජින සේ බෞතීස්ම ලබා සිටියත්, ජනතාවටට එජාපයේ "දාහත් අවුරුදු සාපය" අමතකව තිබුණේත් නැහැ. ජවිපෙ උත්සාහ කළේ මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නයි. දැන් නැවතත් එවැනිම වටපිටාවක් සකස් වී තිබෙනවා. ජවිපෙ තරඟයට එන්නේ ඒ නිසයි.
කිසියම් ඡන්ද පදනමක් තිබෙන තෙවන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන විට හැමවිටම වගේ නැගෙන චෝදනාවක් වන්නේ මේ අපේක්ෂකයා එන්නේ ඡන්ද කඩන්න කියන එකයි. මට මතක ඇති කාලයේ මේ චෝදනාවට වැඩිපුරම ලක් වුනේ මෙතෙක් ලංකාවේ ජනාධිපතිවරණයකදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වූ තෙවන අපේක්ෂකයා වන ඔසී අබේගුණසේකරයි. මේ චෝදනාව අප මේ වියුණුවේ ලිපියක් පළ කළ විට අපව කිසියම් දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට සම්බන්ධ කර සිතීමට තරමක් සමානයි.
අප ලියන ඇතැම් දේ වලින් ඇතැම් දේශපාලන පක්ෂ වලට හෝ පුද්ගලයින්ට වාසියක් හෝ අවාසියක් වෙන්න පුළුවන්. නමුත්, එය අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ආකාරයටම තෙවන අපේක්ෂකයෙකු ඉදිරිපත් වන හැම විටකම ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ඡන්ද කැඩෙනවා. දෙදෙනාගෙන් එක් අයෙකුගේ ඡන්ද වැඩියෙන් කැඩෙන නිසා තෙවන අපේක්ෂකයෙකු ඉදිරිපත් වීමෙන් ප්‍රතිඵලය වෙනස් වෙන්නත් පුළුවන්. නමුත්, ගෝඨාභයගේ හෝ එජාප අපේක්ෂකයාගේ ඡන්ද කැඩෙනවාද නැද්ද කියන එක ජවිපෙ ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම හෝ නොකිරීම ඔවුන්ගේ අයිතියක්.
ඒකීය පුද්ගලයින්ගේ තේරීම් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකුට, වැඩි විකල්ප ගණනක් ලැබීමට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ. තෝරා ගැනීමට තිබෙන විකල්ප ප්‍රමාණය ඉහළ යන තරමට සිදු වන්නේ යහපතක්. අලුතෙන් එකතු වෙන විකල්පයක් තමන්ට සාපේක්ෂව නරක එකක් වුවත් මෙහි වෙනසක් නැහැ. විකල්පය නරක එකක්යැයි පෙනේනම් එය තෝරා නොගෙන සිටීමේ අයිතිය පුද්ගලයෙකුට තිබෙනවා. එහෙත්, විකල්ප අඩු වූ විට වෙන්නේ අඩු නරක තෝරා ගන්න වෙන්න පුළුවන්.
ඒ වගේම ලංකාවේ ජනාධිපතිවරණයකදී මනාප භාවිතා කිරීමේ නිදහසද තිබෙන නිසා මේ ඡන්ද කඩන කතාව කොහෙත්ම අදාළ එකක් නෙමෙයි. තෙවන අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දය භාවිතා කරන අයෙකුට ඒ හේතුවෙන් තමන් අකැමැති අයෙකු බලයට පත් වේයයි බයක් තිබේනම්, එය වළකනු පිණිස තමන්ගේ දෙවන මනාපය භාවිතා කළ හැකියි. එවිට අවසන් ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. 1982 ජනාධිපතිවරණයේදී තමන්ට පළමු මනාපය දෙන අයගේ දෙවන මනාපය සිරිමාවෝ බණ්ඩාරනායක වෙත ලබා දෙන මෙන් කොල්වින් ආර් ද සිල්වා විසින් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියා.
පොදුජන පෙරමුණ හා එජාපය යන පක්ෂ දෙකටම එරෙහි විකල්ප අපේක්ෂකයෙකු සේ පෙනී සිටින අනුර කුමාරට හෝ ඔහුගේ පක්ෂය වන ජවිපෙට කොල්වින් ආර් ද සිල්වා විසින් කළ ආකාරයේ ඉල්ලීමක් ප්‍රසිද්ධියේ කරන්න අමාරුයි. එහෙත්, ජවිපෙ සාමාජිකයෙකු ලෙස පෙනී නොසිටින ජාතික ජන බලවේගයේ ප්‍රකාශකයෙකුට එවැනි ඉල්ලීමක් කළ හැකියි. ජවිපෙටම වුවත් අප්‍රසිද්ධියේ තමන්ගේ විශ්වාසවන්ත සාමාජිකයින් දැනුවත් කළ හැකියි. ජවිපෙ සතුව මේ විකල්පය තිබෙන නිසා, අවසාන මොහොතේ අනුර කුමාර තරඟයෙන් ඉවත් වේයැයි හිතන්න පුළුවන් කමක් නැහැ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පක්ෂයක් ලෙස ජවිපෙට ඉතා වැදගත් දෙයක්.
පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ එජාපය හා ජවිපෙ විසින් රාජපක්ෂලාට කළ චෝදනා හා රාජපක්ෂලාගේම හැසිරීම් නිසා විශාල පිරිසකට රාජපක්ෂලාව එපා වුනා. ඔවුන් යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන්නා. ඉන් පසුව රාජපක්ෂලා හා ජවිපෙ විසින් වගේම මෛත්‍රීපාල පාර්ශ්වය විසින්ද බැඳුම්කර චෝදනාව එල්ල කරමින් එජාපයට විශාල පහරක් ගැහුවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රාජපක්ෂලා එපා වී යහපාලනයට ආ විශාල පිරිසකට එජාපයත් එපා වුනා. නමුත්, මේ පිරිස් ජවිපෙ මුලින් ගණන් හදා බලා තිබූ ආකාරයට ඔවුන් වෙත ආවේ නැහැ. මහින්ද පාර්ශ්වයේ රතු අලි ලේබල් එක නිසා එජාපයෙන් ඉවත් වන පිරිස් ජවිපෙන්ද ඉවත් වුනා. ඉන් පසුව, මේ පිරිස් නැවතත් දින පණහේ ඔක්තෝබර් විප්ලවය වෙලාවේ මහින්දට හා මෛත්‍රීට එරෙහිව නැගී සිටියා. එහෙත්, ඔවුන් එජාපය වෙත හෝ ජවිපෙ වෙත නැවත ආකර්ශනය වුනේ නැහැ.
අවසාන ප්‍රතිඵලය විදිහට මේ වෙද්දී එජාප, ශ්‍රීලනිප (පොදුජන පෙරමුණද ඇතුළුව) හා ජවිපෙ තුනම එපා වී 225ම එපා කියා කියන පිරිසක් රටේ බිහි වී සිටිනවා. ඒ අයගේ ඉල්ලුම සපුරමින් අපේක්ෂකයින් කිහිප දෙනෙක්ද කරලියට පැමිණ තිබෙනවා. දැන් තිබෙන තත්ත්වය අනුව, රාජපක්ෂ කඳවුරේ ඡන්ද තමන් වෙත ආකර්ශනය කර ගැනීමේ හැකියාවක් ජවිපෙ සතුව නැහැ. මෑතකාලීන ඉතිහාසය පුරාම ජවිපෙ වෙත ආකර්ෂණය වුනේ ශ්‍රීලනිප ඡන්ද වුවත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. ජවිපෙට යම් තරමකින් හෝ ගෝඨාභයට සෘජු බලපෑමක් කළ හැක්කේ ඔහුට ලැබෙන්නට ඉඩ තිබෙන පාවෙන ඡන්ද යම් ප්‍රමාණයක් ආකර්ශනය කර ගැනීමෙන් පමණයි.
ජවිපෙ විසින් තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර එජාප අපේක්ෂයෙකුට සෘජුව හෝ වක්‍රව සහාය පළ කිරීම මඟින් මේ පාවෙන ඡන්ද එජාපය වෙත තල්ලු කළ නොහැකි තරමට ජවිපෙ විසින් බැඳුම්කර සිද්ධිය උපයෝගී කර ගනිමින් එජාපයට බැට දී අවසන්. ඒ නිසා, ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට ඉඩ ඇති නාගානන්ද කොඩිතුවක්කු හෝ රොහාන් පල්ලෙවත්ත වැනි අයෙකුට ලබා ගත හැකි කිසියම් ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. මේ ඡන්ද මෙතෙක් ජවිපෙට ලැබුණු ජවිපෙ නොවන ඡන්ද. ජවිපෙ විසින් අනුර කුමාර වෙත ආකර්ශනය කර ගැනීමට බලාපොරොත්තු වන්නේ මේ පාවෙන ඡන්දයි.
එහෙමනම්, ජවිපෙ විසින් ගාමිණී විජේසිංහ වැනි අයෙකු නොදා තමන්ගේ නායකයාම තරඟයට ඉදිරිපත් කළේ ඇයි? අපේ පහසුව සඳහා අපි අර විකල්ප අපේක්ෂකයා නාගානන්ද කියා හිතමු. දැන් නාගානන්ද වෙනුවෙන් ඡන්දය දෙන්නේ පක්ෂ තුනම එපා කියා කියන අයයි. මේ ඡන්ද සඳහා තරඟ කරන්න ගාමිණී විජේසිංහ දැම්මා කියා කියමු. දැන් තේරීම තියෙන්නේ දේශපාලන පක්ෂයක ඉත්තෙක්ව සිටින ස්වාධීන පුද්ගලයෙක් හා එසේ නොවන ස්වාධීන පුද්ගලයෙක් අතරයි. මේ වැඩෙන් අවශ්‍ය කාර්යය නොකෙරෙන බව පැහැදිලියි. ජවිපෙට ස්වාධීන පුද්ගලයෙක් තරඟයට දමා 225ම එපා කියන අයගේ ඡන්ද ලබා ගන්න බැහැ.
මේ තත්ත්වය යටතේ ජවිපෙ විසින් උත්සාහ කරන්නේ 225ම එපා කියන අදහසට මතවාදීව එරෙහි වෙමින් මේ පාවෙන ඡන්ද ආකර්ශනය කර ගන්නයි. විකල්ප අදහසක් ලෙස ඔවුන් කියන්නේ ජනතාව අතර කාලයක් සිටි කෙනෙකුට ආදේශකයක් වීමට රොකට් කාරයෙකුට නොහැකි බවයි. මේ කතාව ගැලපෙන්නේ ජවිපෙ දැනට සිටින නායකයෙකුටයි. වඩාත්ම ගැලපෙන්නේ එහි නායකයාටයි. ඔහුට අවම වශයෙන් ජවිපෙ ඡන්ද සියල්ලම ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
අනුර කුමාරව ඉදිරිපත් කිරීමේ තිබෙන ප්‍රශ්නය වන්නේ ඔහුව "රතු අලියෙක්" සේ හඳුනා ගෙන තිබීමයි. එහෙත්, මෙය ප්‍රශ්නයක් වන්නේ රාජපක්ෂ කඳවුරේ ඡන්ද ඉලක්ක කරනවානම් පමණයි. ජවිපෙ දැන් ඉලක්ක කරන්නේ යහපාලනයට ලැබුණු, මේ වන විට යහපාලනයෙන් ගිලිහී ඇති ඡන්දයි. ජවිපෙ මෙවර තනිව තරඟ කරන තෙවන හේතුව මෙන්ම, ජවිපෙ අපේක්ෂකයා අනුර කුමාර වන්නේද මේ නිසයි.
අනුර කුමාර ඉදිරිපත් පත් වීම නිසා අවසන් ප්‍රතිඵලයට සිදු වන බලපෑම මෛත්‍රීපාල සිරිසේනගේ හැසිරීම, එජාප අපේක්ෂකයා කවුරුන්ද යන වග හා ඉදිරිපත් විය හැකි නාගානන්ද වැනි "ස්වාධීන" අපේක්ෂකයින් මත තීරණය වනවාක් මෙන්ම ඒ දේවල් සිදුවන ආකාරයද අනුර කුමාරගේ ඉදිරිපත් වීම මත යම් තරමකින් වෙනස් විය හැකියි.
Labels:
අනුර කුමාර දිසානායක,
ජනාධිපතිවරණය,
දේශපාලනය
Subscribe to:
Post Comments (Atom)
කෙලින්ම ජවිපෙට චන්දය දෙන්න හිත හදාගන්න බැරි අයටත් තම දෙවෙනි මනාපය ජවිපෙට දෙන්න පුළුවන්. නාගානන්ද දැන් චන්දයෙන් ඉවත් විය යුතුය.සද්ධර්මයේ බලය පෙන්නන්න පුළුවන් වන්නේ එවිටයි.
ReplyDelete/* බාහිර නිරීක්ෂකයෙක් ලෙස මා දැකපු ආකාරයටනම් සිදු වුනේ ඇතැම් තත්ත්වයන් යටතේදී ජවිපෙ හා එජාප අවශ්‍යතා සමපාත වීමක්. */
ReplyDeleteමෙය සරල රේඛාවක්, යම් මොහොතක වක්‍රාකාර ශ්‍රිතයක් හා සමපාතවීමක් (ස්පර්ශකයක්) හා සමානයි!
https://kathandara.blogspot.com/2012/05/wth-is-that.html
මහත්තයාටත් ගෝටාබය මහත්තය බැනල එලෙව්වද එයා ගැන පෝස්ටර් ගහන්න, ලිපි දාන්න එපා කියලා? මහත්තයා ඒ හින්ද ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයට එක්කාසු උනාද?
ReplyDeleteඉකොනෝ මහත්තයාව මීට කලින් රනිල් මහත්තයාගේ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයෙනුත් එලෙව්ව නේද?
ඉකොනොමැටටෝ මේකේ ප්ලෑන් එක ජනතා විමුක්ති පෙරමුණෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර ඇති අනුර කුමාර දිසානායක එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන සන්ධානය විසින් පොදු අපේක්‍ෂකයෙකු බවට පත් කර ඔහුට සහාය දිය යුතු බව එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් තම පුද්ගලික අදහසක් ලෙස යෝජනා කර ඇති බව එජාපයේ සමීප අන්තර්ජාල වෙබ් අඩවි රැසක් වාර්තා කර ඇති නිසා සාපේක්ෂ වශයෙන් මෙහෙමයි.
ReplyDeleteරනිල්ට අනුව 2015 වසරේදී මහින්ද රාජපක්‍ෂ සමග සිටි බලවේග අදද ඒ ආකාරයෙන්ම සිටින නිසා එම කදවුර පැරදවීමට නම් 2015දී යහපාලනය වෙනුවෙන් කටයුතු කල සියළු දෙනා එකට එකතු වී ඡන්දේට ඉදිරිපත් විය යුතු බව අගමැති රනිල් දරන මතය වී ඇත.
මේ තීරණාත්මක අවස්තාවේ තම කදවුර විසිරී යනවාට වඩා අනුර දිසානායකට සහයෝගය දීම වඩාත් උචිත බවද අගමැතිවරයා පවසා ඇතැයි එම ආරංචි කියයි.
///මෙයට සජිත් පිල කිසිසේත්ම එකඟ නොවන බවත් එම නිසා
(1) රනිල් විසින් අනුරව යෝජනා කිරීම හා ඒ ඔස්සේ ගෙන එන 2015 සන්ධානය රැකගැනීමේ යෝජනාව හා එමගින් ගෝඨභයව පැරදවීමේ වැඩපිළිවෙල සහ
(2) සජිත් හරහා නැවතත් යූ. ඇන්. පී. ජනාධිපතිවරයෙකු වසර 25 කට පසු පත් කරගැනීමේ එජාප සිහිනය
යන දෙක විසින් පක්ෂය තුල විශාල බෙදීමක් ඇති කරනු ලබන බවත් රනිල් දන්නවා.
රනිල් ට අවශ්‍යවන්නේ මෙන්න මේ බෙදීමයි.(ඒ මිස අනුර ගේ නායකත්වයෙන්යුත් සන්ධානය තැනීමට නෙවෙයි. ජවිපෙ සාමාජිකයකු ජනාධිපති කරවීම සඳහා දර දිය ඇදීමට යූ. ඇන්. පී. කරයන් සුදානම් නති බවත්, ජවිපෙ සාමාජිකයකු ජනාධිපති කිරීම වෙනුවෙන් සමජ ජාල තුල මිස බිම්මට්ටමේ ගම්මට්ටමේ රැල්ලක් නිර්මාණය නොව් අන් බවත් රනිල් දන්නවා.) රනිල් ට අවශ්‍යවන්නේ පක්ෂය සමගි කිරීමේ ගැලවුම්කාරයා යන තේමාව යටතේ කරු ජයසූරියට ජනාධිපතිවරණ අපේක්ෂ්කත්වයට සම්ප්‍රාත්තවීමට ඉඩ හොඳාකාරවම ලැබෙන විදියේ තියුණු බෙදීමක් පක්ෂය තුල නිර්මාණය කිරීමටයි. ජනාධිපතිවරණ අපේක්ෂ්කත්වය සජිත් ට නොදී සිටීමේ හැකියාව තමන්ට ලැබෙන්නේ එතැනින් බව රනිල් දන්නවා. ජවිපෙ ගාලුමුවදොර පුටු පිරෙව්වේ රනිල් ගේ මෙන්න මේ උපායමාර්ගය වෙනුවෙනුයි. සජිත් හැර වෙනත් විකල්පයක් තමන්ට ඇති බව පක්ෂය ට කීමට රනිල් ට අවස්ථාවක් ලබා දීමටයි, අගොස්තු 18 ජවිපෙ සාමාජිකයන් කොලඹ ගියේ මේ වගේ තවත් සැලසුම් රැසක් ඇති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයේ නායකත්වයට.
දැන් ආරංචි උන විදියට ජේවීපී එක එයාලගේ පක්ෂ සාමාජික සාමාජිකාවන්ට දෙවැනි මනාපය යූන්පී එකට දෙන්න කියලා තියෙනවා. එතකොට ගෝටට 50% නොලැබුනොත්, ජවිපේ දෙවැනි මනාප ටික එකතු වෙන්නෙ යූන්පී අපේක්ශකයට. කොහොම හරි රාජපක්ෂ කල්ලියේ අපේක්ෂකයා පරද්දන්න ජවිපෙ විසින් සම්පුර්ණ සහය දක්වන්න උවමනා වේ.
ReplyDelete