වෙබ් ලිපිනය:

Thursday, February 25, 2021

විස්ස දී හිස් අතින්?


මට මතක ඇති කාලයේ සංසරණයේ තිබුණු ලොකුම වටිනාකමක් තිබුණු කාසිය රුපියලේ කාසියයි. ඉඳහිට රුපියලේ කොළයක් හමු වුනත්, ඒ වෙද්දී රුපියලේ කොළය සංසරණයෙන් ඉවත් වෙලා. රුපියලේ කාසියෙන් පහළට සත පණහ, සත විසිපහ, සත දහය, සත පහ, සත දෙක හා සතය භාවිතයේ තිබුණා. සතයකින් හෝ සත දෙකකින් මිල දී ගත හැකි දෙයක් නොතිබුනත් මොනවා හෝ දෙයක් මිල දී ගනිද්දී සතයක් අඩුනම් එය මිල දී ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඉතුරු දෙනකොටනම් සතය නොදී ඉන්න වෙලාවල් තිබුණා. 

රුපියලෙන් ඉහළට කාසි තිබුණේ නැහැ. රුපියල් දෙකේ කොළයෙන් පටන් ගත්තහම රුපියල් පහේ, දහයේ, පනහේ හා සීයේ කොළ තිබුණා. ලොකුම කොළේ රුපියල් සීය. විස්සේ කොළ තිබුණේ නැහැ. දැනුත් ඔය කතාවට කියනවනේ දෙකේ කොළේට වැටුනා කියලා. මම මුලදී හිතාගෙන හිටියේ ඔය කියන්නේ රුපියල් දෙකේ කොළේ ගැන කියලා. ඇයි ඒ දවස් වල තිබුණු වටිනාකමෙන් අඩුම කොළේ ඒකනේ. පස්සේ තමයි බූරු කුට්ටම ගැන දැන ගත්තේ. බූරු කුට්ටමේ වටිනාකම අඩුම කොළේ දෙකේ කොළේ කියා කිවුවත් දෙකේ කොළේ ගොඩක් සෙල්ලම් වලට ගන්නවා. එහෙමවත් ගන්නේ නැති කොළ දෙකකුත් තියෙනවා. 

කොහොම වුනත් දෙකේ කොළේට ඒ දවස් වල සැලකිය යුතු වටිනාකමක් තිබුණා. ගෙදරට ආපු කෙනෙක් දෙකේ කොළයක් මිට මෙලෙවුවානම් එය වටිනා මුදලක්. ඒ කාලයේ සත ගණන් වලට මුද්‍රිත පොත් මිල දී ගන්න පුළුවන්කම තිබුණා.

විස්සේ කොළයක් මුලින්ම ආවේ ජේආර් බලයට ඇවිත් සල්ලි අච්චු ගහන මැෂිම දවල් රෑ නැතුව වැඩ කරන්න ගත්තට පස්සේ. හරියටම කියනවනම් 1979 මාර්තු මාසේ.  මම හිතන්නේ ජේආර් අලුතෙන් හදපු සමාජවාදී ජනරජය මොන වගේ එකක්ද කියලා හරියටම තේරෙන්න පටන් ගත්තේ ඔය කාලයේදී. අළුතෙන් ජපන් වාහන, විශේෂයෙන්ම රීකන්ඩිෂන් මෝටර් සයිකල්, රට පුරා සුලභ වෙද්දී රෝහල් වල අලුතෙන් "හොන්ඩා වාට්ටු" හැදෙන්න පටන් ගත්තා. කාන්තාවෝ ඩුබායි යන්න පටන් ගත්තා. ෂොපින් බෑග් මුලින්ම දකින්න හම්බ වුනා. 

මුලින්ම මේ ෂොපින් බෑග් වලට කිවුවේ ඩුබායි බෑග් කියලා. රුපියල් පහ ගානේ මුලදී විකුණපු ඩුබායි බෑග් සතියක් දෙකක් යද්දී පහට තුන වුනා. සැපයුම්කරුවන් වැඩි වෙද්දී ඉල්ලුම සමානුපාතිකව වැඩි නොවුන නිසා ඉතාම කෙටි කාලයක් තුළ ඩුබායි බෑග් ෂොපින් බෑග් වෙලා සත විසිපහට හෝ සත දහයට බැස්සා. පස්සේ කඩදාසි ගොටු වෙනුවට ආදේශ වුනා. නිකම් දෙන ගානට වැටුනා. 

ඔය කාලයේ දවසක් මගේ පන්තියේ යාළුවෙක් ලස්සන දිලිසෙන සුදු සත පහක් පෙන්නුවා. ඒ දවස් වල තිබුණේ සත පහේ හා දහයේ තඹ කාසි. තඹ සත පහක් අරගෙන සුදු සත පහක් ගෙදරින් ගෙනත් දෙන්න මේ යාලුවා මට පොරොන්දු වුනා. පොරොන්දුව ඒ විදිහටම ඉටු වුනා. 

යාළුවාට බැගෑපත් වී තඹ සතයකට ඇලුමිනියම් සත පහක් මාරු කරගත්තත් අවුරුද්දක් පමණ යද්දී තඹ සත පහේ හා තඹ සත දහයේ කාසි අතුරුදහන් වී ඇලුමිනියම් සත පහේ හා සත දහයේ කාසි සුලභ වුනා. ගනුදෙනු වලදී සතයට හා සත දෙකට තිබුණු වැදගත්කම නැති වෙලා ගිහින් ෂොපින් බෑග් තත්ත්වයට පත් වුනා. අසූව දශකයේ මුල් කාලය වෙද්දී ප්‍රායෝගික තත්ත්වයන් යටතේ අඩුම වටිනාකමක් තිබෙන කාසිය සත පහ බවට පත් වුනා. සතයට රවුම් වී තිබුණු බොහෝ මිල ගණන් සත පහට රවුම් වුනා.

රට සංවර්ධනය කිරීම සඳහා විදේශ ණය ගන්නවාට අමතරව ජේආර්ගේ ආණ්ඩුව මහා පරිමාණයෙන් සල්ලි අච්චු ගැහුවා. රජයේ සේවකයින්ගේ වැටුප් එලෙසම තියෙද්දී බඩු මිල විශාල ලෙස ඉහළ ගියා. ඔය පසුබිමේ ජූලි වර්ජනය ආවා. වර්ජකයින්ව ගෙදර යවපු ජේආර් සල්ලි අච්චු ගහන මැෂිම අක්‍රිය කළේ නැහැ. අසූ එකේදී පන්සීයේ හා දාහේ කොළ ආවා. දෙසීයේ කොළ ආවේ ඊට පස්සේ. චන්ද්‍රිකාගේ කාලයේදී දෙදාහේ කොළ ආවා. ඊටත් පස්සේ මහින්ද රාජපක්ෂ හා කබ්රාල් අත්සන් කරලා පන්දාහේ කොළයක් එළියට දැම්මා. 

ලොකු කොළ සංසරණයට එකතු වෙද්දී පොඩි කොළ එකෙන් එක අතුරුදහන් වෙමින් කාසි ආදේශ වුනා. දෙකේ කාසි, පහේ කාසි වලින් දෙකේ කොළ, පහේ කොළ විස්ථාපනය වුනා. ඊට පස්සේ දහයේ කාසිය ආවා. සත වලට වටිනාකමක් නැතුව ගියා. මම හිතන්නේ රුපියලේ කාසියකට වුනත් දැන් ප්‍රායෝගිකව වටිනාකමක් නැති තරම්.

දැන් මහ බැංකුව සිය හැත්තෑ වන සංවත්සරය සමරන්න රුපියල් විස්සේ කාසියක් සංසරණයට එකතු කරනවා. වැඩි කල් නොයා රුපියල් විස්සේ කොළත් සංසරණයෙන් ඉවත් වෙලා යයි. මහ බැංකුවේ හැත්තෑ වසරක කාර්ය භාරය දෙකේ කොළේට දැමිය හැකි නොවූවත්, අවුරුදු හැත්තෑවක් තිස්සේ මහ බැංකුව විසින් කරලා තියෙන්නේ ලොකු කොළ එකින් එක දෙකේ කොළේට දැමීම කියන එකනම් නොකියාම බැහැ. 

විස්සයි විස්ස ඉවර වෙන්නේ විස්සත් ඉවර කරගෙනයි. වේගවත් ආර්ථික සංවර්ධනයක් කරා යාම සඳහා තුනෙන් දෙක මදි වී විස්ස හරහා උපරිම බලතල ලබාගත් ආණ්ඩුව දැන් විසි හතර පැයේම සල්ලි සල්ලි අච්චු ගහනවා. ඒ අච්චු ගහන්නේ ලොකු කොළ. විස්ස හොඳටම බාල වෙලා නිසා විස්ස අච්චු ගහලා එළියට දමන එක නවත්වලා. ඒ වෙනුවට විස්සේ කාසියක් එනවා. මේ දවස් වල සල්ලි අච්චු ගහන හැටියට විස්සේ කාසියකින් ගන්න පුළුවන් දෙයක් ඉතුරු වෙයිද? විස්ස දැනටමත් දෙකේ කොළේට වැටිලද? විස්ස දීලත් අන්තිමට ලැබෙන කිසිම දෙයක් නැති වෙද්දී ඇති වන අපේක්ෂා භංගත්වය මොන විදිහට පුපුරයිද? 

20 comments:

  1. ඉකොනෝ ඇමරිකාවේ නේද ඉන්නේ? මේ තරං ලංකාව දීලා බලං ඉන්නේ ඇයි? මම ඇමරිකාවේ ගියා නං ලංකාව දිහා බලං බොකක් වත් දාන්නේ නැහැ. ලියනවකෝ ඇමරිකාවේ විස්තර සිංහලෙන්. ට්‍රම්ප් එලෙව්ව එක ගැන, ඇමරිකාවේ ප්‍රජාත්‍රන්තවාදය ගැන එහෙම. ලංකාව ගැන ඇමරිකාවේ ඉන්න ඉකොනෝ ලිව්වොත්, නොලිව්වත් අපි දන්නා එකනි කොහොමත්.

    ReplyDelete
    Replies
    1. මෙහි ලියන්නේ මට අවශ්‍ය දේවල්. ඒවා වෙනත් අය දන්න දේවල්ද නැද්ද කියන එක මට අදාළ කරුණක් නෙමෙයි. ඒ වගේම මම ඇමරිකාවේ හිටියත් ලංකාව දිහා බලාගෙන ඉන්නවා. ඇනෝ වගේ අය ලංකාවේ හිටියත් ලංකාවට වඩා උනන්දුවෙන් බලා ඉන්නේ ඇමරිකාව දිහා නිසා ඇමරිකාව ගැන නොලියා ඉන්නේත් නැහැ. බය වෙන්න එපා.

      Delete
    2. ලංකාවේ ඉන්න අපි ඇමරිකාව ගැන පොඩ්ඩක් හරි හොයලා බලන්නේ ඒ ලෝකේ ලොක්කා නිසා. නැතුව වෙන අහවල් එකකට නෙමෙයි. ඉකොනෝ ඇමරිකාවේ කොන් වෙලා ඉන්න නිසා ඒ ගැන ලියන්න බැරි නිසා, ලංකාව ගැන හොයා හොයා උදේ ඉදන් රෑ වෙනකන් ඒක ගැන ලියනවා. අනික ඉකොනොට කැමති දේ කියලා එහෙම හැම එකම ලියන්න බැහැ.දැන් ඔය ෆේස්බුක් එකෙනුත් ඉකොනොව එලෙව්වේ ඒ නිසානි, බ්ලොගර් වලිනුත් එලවයි ඊළගට.

      Delete
    3. //අනික ඉකොනොට කැමති දේ කියලා එහෙම හැම එකම ලියන්න බැහැ.දැන් ඔය ෆේස්බුක් එකෙනුත් ඉකොනොව එලෙව්වේ ඒ නිසානි, බ්ලොගර් වලිනුත් එලවයි ඊළගට.//

      ඇනෝ ඇත්තටම ඉකොනොව ෆේස්බුක් එකෙන් එලෙවුවේ ඇයි?

      Delete
    4. මීට කලින් සැරේකත් මේ වගේ කතාවක් ඇදිලා ආවම ඉකොනෝ පඩි ටෝකක් දුන්නා මම මේකේ ලියන්නේ මට ඕනි දේවල් කියලා. ඒ පාර මම හොයලා බලලා ෆේස්බුක් එකෙන් රිපෝර්ට් කරා. එහෙම ඉකොනොට පනී දේවල් කියලා හැම දේම ලියන්න බැහැ කියන එක තේරුම් කරලා දෙන්න ඕනි උනේ. මේ වගේ තව කට්ටිය ඉන්න ඇති. ඉදිරියත් මෙහෙම උනොත් බ්ලොගර් වලටත් දැනුම් දෙන්න ඕනි. ඒ ඔප්ෂන් එක මේ වගේ ෆ්ලැට්ෆෝරම් වල තියෙන එකක්, පාඨකයන්ට භාවිතා කරන්න. මම නං භාවිතා කරනවා.

      Delete
    5. දැන් ඇනෝ හිතන්නේ මම ඇමරිකාවේ ඉන්න නිසා ලංකාව ගැන ලියන්න අයිතියක් නැහැ කියලද? මට ඕනෑ දේවල් ලියනවා කියන්නේ හැම දේම ලියනවා කියන එක නෙමෙයි. මේකේ හැම දේම ලියන්නේ නැහැ. මට ඕනෑ දේවල් ලියනවා කියන්නේ මට අවශ්‍ය නැත්නම් ඔබට හෝ වෙනත් අයට අවශ්‍ය දේ මෙහි නොලියන බව. ගූගල් සම්මත අනුව ප්‍රජා සම්මුතීන් උල්ලංඝනය වන දේ මෙහි පළ කළ නොහැකියි. වෙනත් දේවල් පළ කිරීමට තහනමක් නැහැ. ඇමරිකාවේ ඉන්න කෙනෙක් ලංකාව ගැන ලිවීමෙන් ගූගල් ප්‍රජා සම්මුතීන් උල්ලංඝනය වෙන්නේ නැහැ. ඔබ එසේ හිතනවානම් කරුණාකර පැහැදිලි කරන්න.

      Delete
  2. ඉකොන්,

    ඔය දූෂිත ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වර්තමාන දූෂිත ෆැසිස්ට්වාදී රාජ පක්ස පවුල් ගස් රෙජීමයෙන් මේ අමන විසි වැනි අශිෂ්ඨ සංශෝධනය ගෙන එන විට ඊට එරෙහිව කටයුතු කළේ ජවිපෙ ජා.ජ.බ. පිරිස පමණයි. සජබ ඇතුලූ පිරිස වැඩි මැදිහත් වීමක් කළේ නෑ.

    අනුර කුමාර දිසානායක සහෝදරයා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ජාතික ජන බලවේගය (ජාජබ) විසින් සංවිධානය කරන ලද ජාතික ආර්ථිකය ගොඩනැගීමේ ව්‍යාපාරික හමුවේදී ශ්‍රී ලංකාවේ මේ “ආර්ථික අර්බුදය විසඳීමේ” සැලැස්මක් ඉදිරිපත් කලා, ජවිපෙ මූලිකත්වයෙන් පිහිටුවා ඇති ජා.ජ.බ. ව්‍යාපාරික සහ ආයෝජන කටයුතු වල දී ඒවාට පවතින නීතිමය බාධාවන්, දේශපාලකයන් විසින් කොමිස් ඉල්ලීම, විවෘත ටෙන්ඩර් ක්‍රමවේදයකින් තොරව රාජ්‍ය ව්‍යාපෘති පවුලේ සාමාජිකයන්ට හා තම හෙන්චයියන්ට ලබාදීම ආදියෙන් තොරව සහ ව්‍යාපාරිකයන්ට ලාභ පොදිගසා ගැනීමට ඉඩ සලසා නොදී ජනතා හිතවාදී ප්‍රබල ව්‍යාපාර ප්‍රතිප්සංස්කරණයක් ගැන ජාජබ උත්සුකවී සිටිනවා.

    ඒ අනුව රටේ ආර්ථිකය සැලසුම් කිරීම ජා.ජ.බ. වාමවාදී බුද්ධිමතුන් කණ්ඩායමක් විසින් විශාල පුළුල් කමිටුවක් හරහා ක්‍රියාත්මක වෙනවා. මේ සැලසුම් රජය විසින් ක්‍රියාත්මක කිරීමෙන් පසු ලාභ ප්‍රයෝජන වැඩි පංගුව රජයට හිමිවන පරිදි පුද්ගලික අංශය ආර්ථිකයට සම්බන්ධ කර ගත යුතු බව අනුද දිසානායක සහෝදරයා අවධාරණය කරනවා. ඔහු විසින් ඉතා පැහැදිලිව ඉදිරිපත් කරනු ලබන මෙම ආර්ථික මොඩලය කියුබාවේ සමාජවාදී ජනරජය, චීනය, සෝවියට් සංගමය සහ පසුව රුසියාව, උතුරු කොරියාව සහ වියට්නාමයේ රජයේ නිලධාරින් විසින් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

    ලංකාවේ ආර්ථික සංවර්ධනය ගැන සාකච්චා කිරීමේ දී මූලික ස්ථම්භ තුනක් තිබෙන බව අනුර දිසානායක සහෝදරයා ඉතා ගම්භීර සහ පැහැදිලි ලෙස සඳහන් කළා. ඒ අනුව එම ස්ථම්භ තුන මෙහෙමයි,

    01. දැනට වෙලඳ ව්‍යාපාරයක් කරගෙන තිබෙන දේශපාලනය ලාභ නොලබන පූර්ණ කාලීන මහජන සේවයක් බවට පත් කිරීම.

    02. ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම.

    03. ජාතික සමගිය ගොඩනැගීම යි.

    මේ වගේම ලංකාවේ නූතන ආර්ථිකය, “ණය අර්බුදය, ආනයන අපනයන වෙලඳපොලේ ඇතිවී තිබෙන විකෘතිය, නිෂ්පාදනය කඩා වැටීම, ආදායම් බෙදීයාමේ විෂමතාවය” යන කරුණූ හතරකින් පීඩා විඳින බව අනුර කුමාර දිසානායක සහෝදරයා අවධාරණය කළා.

    දැනට මෙම ප්‍රශ්න ජය ගැනීම සම්බන්ධයෙන් රාජපක්ෂ කල්ලියට කිසිම සැලසුමක් නැතිව වල්මත්ව පිස්සු බල්ලන් මෙන් හිස හැරුණු අතේ ඔහේ දුවන බවත් මේ සඳහා නොවරදින අතිප්‍රබල ප්‍රත්‍යක්ෂ විසඳුමක් ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයාගේ සහ ජාජබ විසඳුම වන්නේ “නිෂ්පාදනය වැඩිකිරීම, ජා.ජ.බ. කමිටුවක් හරහා ක්‍රියාත්මක වන නිලධාරීන් විසින් තීරණය කරනු ලබන විශේෂිත භාණ්ඩ, මෘදුකාංග වැනි ක්ෂේත්‍ර වලින් ලෝක වෙලඳපොලේ කොටසක් නියෝජනය කිරීම සහ ලෝකයේ ඉහල ආදායම් ලැබිය හැකි ජාත්‍යන්තර ශ්‍රම වෙලඳ පොලේ සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීම සඳහා අනාගත ඉල්ලුමට ගැලපෙන ශ්‍රමිකයන් රජයෙන් බිහි කිරීමයි. එනම් නිෂ්පාදන ඵලදායිතාවය ඉහල දැමීම සඳහා කම්කරු පන්තිය කැමති කර ගැනීම සහ ඒ අතරම වැඩ වේගවත් කිරීමේ රුදුරු කොන්දේසි නොපණවන අතරම රජයේ සැලසුම් සඳහා විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා පුහුණු ශ්‍රමය සම්පාදනය කිරීමකි.

    අනුර කුමාර දිසානායක සහෝදරයාට සහ ජවිපෙට ආර්ථික ප්‍රතිපත්ති සකස්කර දෙන ජාජබ වටා පෙල ගැසී සිටින බුද්ධිමත් වාමවාදී පුළුල් පෙරමුණක් හරහා මෙය ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි බව ඉතා පැහැදිලිය. හුදෙක් අවශ්‍ය වන්නේ මහජන සහයෝගය සහ ඡන්දය පමණකි.

    ReplyDelete
  3. විසිපහ පනහ ඇත්තෙම නැත තුරන් වෙලා
    රුපියල වුණත් භාවිතයෙන් අයින් වෙලා
    දහය පහ යනව අන්තිම ගමන බලා
    විස්සෙ කාසි? විස්සත් දී පරවීලා

    ReplyDelete
  4. සල්ලි අච්චු ගහලා මුළු රටම විනාශ කරන මෙම කාලකණ්ණි අමන ආණ්ඩුවේ හොර දැල රටේ සම්පත් රකිනවා කියලා තමයි බලයට පත්වුණේ. ඒ වගේම වර්තමාන දූෂිත ෆැසිස්ට්වාදී රාජ පක්ශ ආණ්ඩුව රටේ සම්පත් විකුණමින් කොළඹ වරාය නැඟෙනහිර ජැටියත් විකුණන්න යනවා. මේක බරපතළ අපරාධයක් බව අප දකින නිසා ජනතාව නැවත නැවත දැනුවත් කිරීමට සිදුවී තිබෙනවා. පසුගිය කාලය පුරාම වරාය සේවකයන් සහ ජවිපෙ වෘත්තීය සමිති මෙය විකිණීමට විරුද්ධව විශාල උද්ඝෝෂණයක් කරමින් සිටියා. ඒ වගේම පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ මේ ක්‍රියාවලියට විරුද්ධව දැඩි ලෙස අදහස් පළ කරමින් සටන් කළ නිසාම පමණක් ජාතික සම්පත් රැක ගැනීමට හැකි වුණා.

    වර්තමාන ආණ්ඩුව ජනමතයට ඇහුම්කන් නොදී රටට ඩොලර් කෝටි ප්‍රකෝටි ගනන් ගලා ගෙන එන කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවේ දූෂිත කොල්ලකාරී ‘අදානි’ සමාගමට දීමට කටයුතු කරගෙන යනවා. වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ මීට කලින් තිබුණු රනිල් - මෛත්‍රී ආණ්ඩුවේ ධනපතිවාදී ආර්ථික ප්‍රතිපත්තියම තමයි.

    ආණ්ඩුවේ ජනතා විරෝධී රටට හානිකර ක්‍රියාමාර්ගවලට විරුද්ධව මැදිහත් වෙන්න ශක්තිමත් ලෙසින් නැගී සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණකි. කලින් ආණ්ඩු වගේම මේ ආණ්ඩුවත් අනුගමනය කරන්නේ අපේ රට ණයට කාලා ජීවත්වෙන හිඟන රටක් බවට පත්කිරීමේ ක්‍රියාමාර්ගයි. රුපියල් බිලියන 15,000කට ආසන්න ණය කන්දරාවක් අපේ රට මත තියෙනවා. මේ අවුරුද්දෙත් තව ණය ගන්න ලෑස්තිවෙලා ඉන්නේ. ඒ අතරින් විදේශ ණය විශාල පංගුවක් වී තිබෙනවා. රජයේ සමස්ත ණයවලින් 47%ක් විදේශ ණයයි. මේ ණය ගෙවා ගන්න විශාල අර්බුදයකට ආණ්ඩුව මුහුණදී ඉන්නවා. ඩොලර්වලින් ණය ගෙවන්න ආදායම් උපයන මාර්ග ආණ්ඩුවට නැහැ. දැන් තියෙන මාර්ගත් විදේශ රටවලට දෙන්න හදනවා. ආණ්ඩුව උත්සාහ කරන්නේ ඩොලර් උපයන මාර්ගත් විකුණගෙන කන්නයි. ඩොලර් උපයන මාර්ග දියුණු කර ගන්නවා වෙනුවට තියෙන මාර්ගත් විකුණන්න දේශප්‍රේමිත්වයේ සළුපිළි ගලවාගෙන යනවා.

    අපේ රට දියුණු කරනවා නම්, දියුණු කරන්න මොළේ තියන ආණ්ඩුවක් වරායවල් සම්පතක් විදිහට සලකනවා. ලංකාවේ වරාය අධිකාරියට අයිති විශාල නැව් මෙහෙයවන්න පුළුවන් එකම පර්යන්තය නැඟෙනහිර පර්යන්තයයි. ඒ පර්යන්තයත් ඉන්දියාවට දෙන්න හදන එක මොනතරම් අපරාධයක්ද? දෙන්න හදන්නෙත් ඉන්දියාව තුළ විශාල විරෝධයකට ලක්වුණු දූෂිත මංකොල්ලකාරී සමාගමකට. කොල්ලකාරී සමාගමක් හැටියට ඒකට ඉන්දියාවේ ගොවීන්ගේ විශාල විරෝධයක් තියෙනවා. අපේ රටේ වටිනා සම්පතක් දියුණු කර ගන්න මේ ආණ්ඩුවට කිසිම ඕනෑකමක් නැහැ. කීයක් හරි අතට අරගෙන තියෙන අර්බුදයෙන් මඟහැරලා යන්න උත්සාහ කරනවා. කොළඹ වරාය ආර්ථිකය පැත්තෙන් ගත්තත්, දේශපාලනය පැත්තෙන් ගත්තත්, ආරක්ෂාව පැත්තෙන් ගත්තත් විශාල වැදගත්කමක් තියෙන තැනක්. මේක දුන්නට පස්සේ ලංකාව වටේ වරායවල් කිහිපයක් තිබුණාට රටට එකම වරායක්වත් අයිති නැති තත්වයට පත්වෙනවා. ඒ නිසා මේක සරල කාරණයක් නොවෙයි. මේකට එරෙහිව ලොකු සටනක් තියෙනවා.

    මේ වරාය විකිණීමට විරුද්ධව පහුගිය ආණ්ඩුව කාලයේ සේවකයෝ උද්ඝෝෂණය කරන කොට වර්තමාන අගමැතිවරයා වරාය සේවකයන්ට පොරොන්දු වුණේ කිසිසේත්ම ඒක නොදෙන බවයි. හැබැයි දැන් ‘අදානි’ සමාගමට දෙන්න කැබිනට් අනුමැතියක් අරගෙන ඊට නැගෙන විරෝධය මඟහරින්න වෙන විවිධ කතා කියනවා. විකුණනවා නොවෙයි ආයෝජන කැඳවන බව කියනවා. හැබැයි වරායේ කොටස්වලින් 49%කුත් පරිපාලනයත් ඉන්දියානු සමාගමට දෙනවා. ඒ අතර කලින් ආණ්ඩුව පටන්ගත් ක්‍රියාවලියක් නිසා අතරමඟ නවත්වන්න බැරි බවක් කියනවා. හැබැයි මේ ආණ්ඩුව බලයට එනකොට කීවේ විකුණපුවත් නැවත ගන්නවා කියලා. ජනතාව රවට්ටලා කොලේ වහලා දීලා දාන්න විවිධ උපක්‍රම යොදනවා.

    දැන් සල්ලි අච්චු ගහලා මුළු රටම විනාශ මුඛයට යමින් තමයි තියෙන්නේ මෙහෙම ගියොත් රටම ඉවරයි. වහාම හැකි ඉක්මනින් ජාතික වශයෙන් සංවිධානවී මෙම දූෂිත හොර රැල පලවා හැර ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීම අත්‍යවශ්‍ය වන අතර ඒ වෙනසට අවශ්‍ය සැබෑ නායකත්වය ලබා දීමට අනුර කුමාර දිසානායක සහෝදරයා සූදානම්.

    ReplyDelete
  5. //රුපියලෙන් ඉහළට කාසි තිබුණේ නැහැ.//

    මේ කියමනට කාල වකවානුවක් දක්වා නැති නිසා එය වැරදි යැයි තර්ක කරන්න බැහැ . ඒ උනත්, ඉකොනෝ ලියලා තියෙන්නේ 60/70 දශක ගැන කියලා සැලකුවොත් ඒ කියමන වැරදියි.
    1956 බුද්ධ ජයන්තිය වෙනුවෙන් රුපියල සහ රුපියල් පහ වටිනාකමට කාසි දෙකක් නිකුත් කළා. 1960 දශකයෙදීත් රුපියල් දෙකේ කාසියක් (පරාක්‍රමබාහු රජ්ජුරුවෝ ගස් ලබු කෑල්ලක්, එහෙම නැතිනම් පුලතිසි ඍෂි වරයා පුස්කොල පොතක් අතේ තියාගෙන ඉන්න) නිකුත් කළා. නොබැඳි සමුලුවටත් 2, 5 කාසි දෙකක් නිකුත් කළා. මේවා නිතර දකින්න නොලැබුනත්, සංසරණය උනා. මගේ කාසි එකතුවේ (ඒක තවම ලංකාවේ) මේවා තවම ඇති.

    ReplyDelete
    Replies
    1. ඔබ සඳහන් කරන කරුණු නිවැරදියි. රුපියල් 2 කාසිය නිකුත් කළේ 1968 ලෝක ආහාර සමුළුව වෙනුවෙන්. මමත් ඔබ මෙන්ම කුඩා කල සිට විනෝදාංශයක් ලෙස කාසි හා නෝට්ටු එකතු කළ කෙනෙක්. ඔබ සඳහන් කරන කාසි බොහොමයක් දැනුත් මගේ ළඟ තිබෙනවා. රුපියල් 500 හා රුපියල් 5000 රන් කාසි වගේම රුපියල් 1500, රුපියල් 2000 වැනි කාසිත් ලංකාවේ නිකුත් කරලා තිබෙනවා. නමුත්, මේවා සැලකෙන්නේ අනුස්මරණ කාසි ලෙස මිස සංසරණ කාසි ලෙස නෙමෙයි. මූලධර්මයක් විදිහට අනුස්මරණ කාසි නිකුත් කරන්නේ කාසි වලට තිබෙන ඉල්ලුම මත පදනම්ව නෙමෙයි. අනුස්මරණ කාසිත් සංසරණයට එනවා, නමුත් සීමිත ලෙස. දැන් රුපියල් 20 කාසිය එන්නේ සංසරණ කාසියක් විදිහට. සංසරණ කාසි නිකුත් කිරීමේ පදනම අවශ්‍යතාවයයි. එය පදනම් වන්නේ උද්ධමනය මත.

      Delete
  6. යන විදිහට බොහොම ඉක්මනට රුපියල් බිලියනයේ කොලයක් එනවා...

    මට් මේ ළඟදි හිගන්නෙක් බැන්නනෙ රුපියල් පහක් දුන්නා කියල්ල. එදායින් පස්සෙ මම හිගන්නන්ට සල්ලි දෙන එක නෑවත්තුවා..

    ReplyDelete
    Replies
    1. එහෙමනම් රුපියල් පහ ඒ තරමටම බාල්දු වෙලා!

      Delete
  7. ඉකොනො,
    මට මතක හැටියට පරණ සත පහේ සහ දහයේ කාසි දෙක තඹ පාට නෙමෙයි පිත්තල පාට ඒවා. තඹ කාසියක් හැටියට තිබුනේ සතයේ කාසිය විතරයි. මමත් මේ බලාගෙන ඉන්නේ කබ්රාල් ලංකාවේ ආර්ථිකය ගොඩදාන්නේ කොහොමද කියලා. එයාගේ තාත්තා , ස්නායු විශේෂඥ කබ්රාල් මහතා පුතාගේ මොළය වෙන කාටද මාරු කල යාන් එකක් නම් අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. //මට මතක හැටියට පරණ සත පහේ සහ දහයේ කාසි දෙක තඹ පාට නෙමෙයි පිත්තල පාට ඒවා.//

      ඔබ හරි. ලෝහ පිත්තල වලට කිට්ටු ඇති.

      Delete
  8. I guess you agree to depreciate the rupee which would be helpful to the exporters. However, when you depreciate the currency the imports would become expensive increasing the inflation level as well. My question is in such a scenario the currency would become devalue and probably the notes would be replaced by coins. As such, can u blame the central bank for devaluing the currency?

    ReplyDelete
    Replies
    1. The value of Rupee drops exactly when more money is added to circulation. For example if the money supply is doubled when a dollar is Rs 200, the implicit value of a dollar increases to Rs 400. If you try to keep the value at Rs 200 it is artificial and hurts exports. That's the point. CB tries to maintain a dollar at Rs 200 when its true value is Rs 400 which causes BOP problems. I do not suggest that the true value of the currency should be depreciated but to correct the price to reflect its true value. Money printing further deteriorates the true value of the currency, no matter whatever the nominal exchange rate, and exerts more pressure on the nominal exchange rate. CB, in one hand, has depreciated the true value of the Rupee by printing money and on the other hand has created a BOP problem by not allowing that true value to be reflected in the exchange rate and maintaining a stronger value than its true value artificially. Did you get the point?

      Delete
    2. When it comes to inflation, the concept itself explains the deterioration of true value of money, not the increase in prices itself. Increase in prices is a reflection of inflation. When the dollar increases, the measured inflation will increase, you are correct. But that's a reflection of the true inflation hidden in numbers which will emerge at some point all of a sudden when the exchange rate can no more be defended. That will be a disaster. A smooth gradual depreciation is always better than a sudden crash.

      Delete
    3. The number I used (Rs 400) is a hypothetical number I used to explain the point.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: