වෙබ් ලිපිනය:

Friday, March 26, 2021

අන්දරේ සීනි කෑ හැටි (හයවන කොටස)

අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

පළමු කොටසින් අපි ඉල්ලුම් වක්‍රය ගැන කතා කළා. දෙවන කොටසෙන් අපි සැපයුම් වක්‍රය ගැන ඉගෙන ගත්තා. තෙවන කොටසින් ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන කතා කළා. මිල පාලනය ගැනත් කතා කළා. සිවුවන කොටසින් බදු ගැන කතා කළා. පස් වන කොටසින් ලංකාවේ සීනි වෙළඳපොළේ මූලික ලක්ෂණ ගැන කතා කළා. මේ කොටසින් අපි ලංකාවේ සීනි වෙළඳපොල ගැන තව ටිකක් කතා කරමු.

ලංකාවේ සීනි ඉල්ලුමෙන් කොටසක් රට ඇතුළේම නිපදවෙන නමුත් එම ප්‍රමාණය මුළු ඉල්ලුමෙන් 5-10% අතර ප්‍රමාණයක් පමණයි. ඉල්ලුමෙන් 90-95% පමණම සැපිරෙන්නේ ආනයනික සීනි වලින්. ඉන්දියාව, බ්‍රසීලය, තායිලන්තය වගේ රටවල් වලින් ලංකාව සීනි ආනයනය කරනවා. මේ රටවල් වල සීනි මිලත් ඉල්ලුම හා සැපයුම වෙනස් වන ආකාරය අනුව ඉහළ පහළ යනවා. ඉල්ලුම හා සැපයුම අනුව කිවුවත් බොහෝ විට විචලනය වන්නේ සැපයුමයි. ඉල්ලුම සාපේක්ෂව ස්ථාවරයි.

ලෝක වෙළඳපොළේ සීනි මිල ඉල්ලුම හා සැපයුම අනුව විචලනය වුවත් ලංකාවේ ආනයනික සීනි ඉල්ලුම ලෝක වෙළදපොළේ සීනි මිලට බලපෑමක් කළ හැකි මට්ටමක එකක් නෙමෙයි. ලංකාව සීනි ඇටයක්වත් ආනයනය නොකළත් එය ලෝක සීනි ඉල්ලුමට දැනෙන බලපෑමක් කරන්නේ නැහැ. ඒ නිසා, සෛද්ධාන්තිකව කොහොම වුවත් ප්‍රායෝගිකව ලෝක වෙළඳපොළේ සීනි මිල ලංකාවේ සීනි ඉල්ලුමෙන් ස්වායත්තයි. ලංකාවට සීනි ආනයනය කරන කෙනෙකුට ලෝක වෙළඳපොළේ පවතින මිලට සීනි මිල දී ගන්න වෙනවා. 

ලංකාවේ සීනි ආනයනකරුවෙක් වෙනත් රටකින් සීනි මිල දී ගත්තා කියමු. ඒ සීනි ලංකාවට ගේන්න නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ගෙවන්න වෙනවා. ආනයනික සීනි මිල එහෙමත් නැත්නම් CIF මිල කියා කියන්නේ ලෝකයේ කොහේ හෝ රටකින් සීනි මිල දී ගෙන නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ගෙවා ලංකාවට සීනි කිලෝවක් ගේන්න යන වියදම. ඉන් පසු ඒ මිලට ලංකාවේ රජය විසින් අය කරන බදු එකතු වෙනවා. ආනයනකරුගේ, තොග වෙළෙන්දාගේ හා සිල්ලර වෙළෙන්දාගේ ලාබ ආන්තිකද එකතු වෙනවා. ලංකාවේ දේශීය සිල්ලර වෙළඳපොළේ සීනි වල සැපයුම් වක්‍රය හැදෙන්නේ ඔය සියල්ල එකතු වී හැදෙන සීනි කිලෝවක පිරිවැය වෙනස් වන ආකාරය මතයි.

ලංකාවේ සිල්ලර වෙළඳාම බොහෝ දුරට තරඟකාරී එකක්. තොග වෙළඳාම හා සීනි ආනයනය වුවත් සෑහෙන තරමකට තරඟකාරීයි. වෙළඳපොළක් තරඟකාරී වන්නේ සැපයුම්කරුවන් වැඩි වන තරමටයි. ඇතැම් තත්ත්වයන් යටතේ සැපයුම්කරුවන් විශාල පිරිසක් නැතිවත් වෙළඳපොළක් තරඟකාරී වෙනවා. රජයේ නියාමනයක් නැත්නම් ලංකාවේ සීනි ආනයනය තරඟකාරී ලෙස සිදු නොවෙන්න හේතුවක් නැහැ. මොකද සීනි කියන්නේ සෑහෙන තරමකට සමජාතීය භාණ්ඩයක්. 

පාරිභෝගිකයෙකුට ඉන්දියාවෙන් ගේන සීනි සහ බ්‍රසීලයෙන් ගේන සීනි වෙන් කර හඳුනා ගන්න බැහැ. ඒ නිසා සීනි ආනයනකරුවන් හැම වෙලාවකම පුළුවන් තරම් අඩු මිලකට ලංකාවට සීනි ගේන්න උත්සාහ කරනවා. ඔවුන්ට ලාබ ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ තරඟකරුවන්ට වඩා අඩුවෙන් සීනි කිලෝවක් ලංකාවට ගෙනාවොත් පමණයි. ලෝකයේ ඕනෑ තරම් සීනි නිෂ්පාදකයෝ හා අතරමැදියෝ ඉන්න නිසාත්, ඒ අයට ඕනෑ කරන්නේ තමන්ගේ සීනි කාට හරි විකුණන්න නිසාත් එක සීනි ආනයනකරුවෙකුට අනෙක් අයට වඩා ගොඩක් අඩුවෙන් ලංකාවට සීනි ගේන්න බැහැ. ලංකාවට කවුරු ආනයනය කළත් ආනයනික සීනි කිලෝවක පිරිවැය බොහෝ දුරට සමානයි.

ලංකාවට ආනයනය කරන සීනි වලට රජයෙන් ගහන බද්ද සාමාන්‍යයෙන් ආනයනකරු අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තොග හා සිල්ලර වෙළඳුන්ගේ ලාබ ආන්තිකත් ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, ලෝක වෙළඳපොළේ සීනි මිල, විණිමය අනුපාතිකය හා සීනි වලට ගහන බදු වෙනස් නොවෙනවානම් සපයන සීනි ප්‍රමාණය මත සීනි වල සිල්ලර මිල ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ආර්ථික විද්‍යා භාෂාවෙන් කියනවානම් සීනි සැපයුම පූර්ණ නම්‍යශීලී සැපයුමකට කිට්ටුයි. ඒ කියන්නේ සැපයුම් වක්‍රය තිරස් රේඛාවක්. 

ලෝක වෙළඳපොළේ මිලට වඩා අඩුවෙන් සීනි ගන්න කිසිම හැකියාවක් නැහැ. ලෝක වෙළඳපොළේ මිලට ඕනෑ තරම් සීනි ආනයනය කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රමාණය වෙනස් වුනා කියා මිල වෙනස් වෙන්නේ නැහැ. ලෝක වෙළඳපොළේ මිලට නැව් හා රක්ෂණ ගාස්තු, බදු හා අතරමැදියන්ගේ ලාබ ආන්තික එකතු කළ විට ලැබෙන මිල මට්ටමේ සැපයුම් වක්‍රය දිගටම තිබෙනවා. මේ දේවල් වලින් එකක් හෝ කිහිපයක් වෙනස් වෙද්දී සැපයුම් වක්‍රය ඉහළ පහළ යනවා. නමුත් හැඩය වෙනස් වෙන්නේ නැහැ.

හැබැයි මේ කියපු කතාව සතොස වගේ රජය යටතේ තිබෙන ආයතන වලට අදාළ නැහැ. පෞද්ගලික අංශයට සීනි පාඩුවට දෙන්න බැරි වුනත් රජයට සීනි පාඩුවට විකුණන්න පුළුවන්. නිකම් දෙන්න වුනත් පුළුවන්. ඒ නිසා, සැපයුම්කරුවෙකු විදිහට රජය විසින් සපයන සීනි ප්‍රමාණය සැපයුම් වක්‍රයේ නිරූපණය කරන්නේ පූර්ණ අනම්‍යශීලී සැපයුමක්. රජය හරහා සපයන සීනි ප්‍රමාණය ඉල්ලුම මත තීරණය වෙන්නේ නැහැ. ඒ අනුව සැපයුම් වක්‍රයේ මුල් කොටස සිරස් රේඛාවක්. කෙසේ වුවත් රජය විසින් පාඩුවට සීනි විකුණන්නේ යම් සීමාවක් දක්වා පමණක් නිසා සැපයුම් වක්‍රයේ අපට වැදගත් කොටස තව දුරටත් තිරස් රේඛාවක්.

සැපයුම් වක්‍රයේ අපට වැදගත් කොටස තිරස් රේඛාවක් හෝ ඊට ආසන්න එකක් කියා දන්න නිසා ඉල්ලුම් වක්‍රයේ හැඩය හරියටම නොදැන වුවත් අපට යම් නිගමන වලට පහසුවෙන් එළඹෙන්න පුළුවන්. පළමු එක මේ විශේෂිත තත්ත්වය යටතේ මිල පාලනයේ බලපෑම කුමක්ද කියන එක. තෙවන කොටසේ විස්තර කළ සාධාරණ තත්ත්වයන් යටතේ මිල පාලනයේ ප්‍රතිඵලයක් විදිහට සීනි හිඟයක් ඇති විය යුතුයි. හැබැයි හිඟයක් තිබුණත් සීනි නැත්තටම නැති වෙන්නේ නැහැ. මොකද මිල මට්ටම ටිකක් අඩු කළත් සැපයුම් වක්‍රය කැපෙන තැනක් තිබෙනවා. අපේ සැපයුම් වක්‍රයේ ස්වභාවය අනුව මිල පාලනය යටතේ සැපයෙන්නේ රජය මගින් පාඩුවට සපයන සීනි ප්‍රමාණය පමණයි.

ලංකාවේ සීනි වෙළඳපොළේ ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය කියන කාරණාවට නැවත ආවොත් ඉහත පැහැදිලි කළ ආකාරයට මේ වෙළඳපොළේ සැපයුම් වක්‍රය මේ ලිපි මාලාවේ පෙර කොටස් වල විස්තර කළ, පාඨ ග්‍රන්ථයක දැකිය හැකි ආකාරයේ, සම්මත වක්‍රයක් නෙමෙයි. එහි මුල් හරියේ තිරස් කොටසකුත් ඉන් පසුව සිරස් කොටසකුත් තිබෙනවා. මෙහි තිරස් කොටස කොයි තරම් දුරකින් ආරම්භ වෙනවාද කියන එක වගේම කොයි තරම් උසකට යනවාද කියන එකත් තීරණය කරන්නේ රජය විසින්. තිරස් කොටස ආරම්භ වන තැන සතොස හෝ වෙනත් එවැනි ආයතන හරහා රජය විසින් සපයන සීනි ප්‍රමාණයයි. එහි උස, ආනයනික මිල අනුව තීරණය වන නමුත් ඒ මත පනවන බදු ප්‍රමාණය වරින් වර වෙනස් කිරීම හරහා රජය විසින් පාලනය කෙරෙනවා. 

මේ විදිහට සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රය රජයේ අත් අඩංගුවේ පසු වුනත් ඉල්ලුම් වක්‍රය අඳින්නේ පාරිභෝගිකයන් විසින්. ඒ නිසා රජයට වෙළඳපොළ සමතුලිතතාවය පාලනය කළ හැක්කේ සැපයුම් වක්‍රය වෙනස් කිරීම මගිනුයි. ඉල්ලුම් වක්‍රයේ හැඩය කුමක් වුවත් එය සැපයුම් වක්‍රයේ තිරස් කොටස කපනවානම් මිල නිශ්චිත මිලක්. එම මිල තීරණය වන්නේ සැපයුම් වක්‍රයේ තිරස් කොටස තිබෙන්නේ කොපමණ උසකින්ද කියන කරුණ මතයි. එම උස තීරණය වන්නේ ආනයනික මිල හා බදු ප්‍රමාණය මතයි. කවර හෝ මිල පාලනයකින් වෙළඳපොළට බලපෑමක් වෙන්නේ පාලිත උපරිම මිල මේ මිලට වඩා අඩුනම් පමණයි. එසේ අඩු වූ පාලිත මිලක් යටතේ ඉල්ලුම් වක්‍රය සැපයුම් වක්‍රය කපන්නේ එහි සිරස් කොටසේදී. එවිට ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නේ නැහැ. එසේ සමතුලිත විය හැක්කේ රජය විසින් පිරිවැයට වඩා අඩුවෙන් රටේ සමස්ත සීනි ඉල්ලුමම සපයනවානම් පමණයි.

දැන් අපි හිතමු කවර හෝ හේතුවක් නිසා ලංකාවේ සීනි වෙළඳපොළේ ඉල්ලුම වැඩි වුනා කියලා. අපේ එක පාඨකයෙක් පෙර ලිපියකට ප්‍රතිචාරයක් විදිහට සිංහල අවුරුදු කාලය ගැන මතක් කර තිබුණා. සිංහල අවුරුදු කාලයට ගෘහස්ථ සීනි ඉල්ලුම වැඩි වෙනවා. එහෙත් බොහෝ නිෂ්පාදන කර්මාන්ත ක්‍රියාත්මක නොවන නිසා කාර්මික සීනි ඉල්ලුම අඩු වෙනවා. මෙහි සමස්ත ප්‍රතිඵලය කුමක්ද කියා මම හරියටම දන්නේ නැහැ. ලංකාවේ ගෘහස්ථ සීනි ඉල්ලුම 36%ක් පමණ බව මම පෙර ලිපියේ සටහන් කළානේ. 

කොහොම හරි අවුරුදු කාලේ ඉල්ලුම වැඩි වුනා කියා කියමු. එවිට වෙන්නේ තාවකාලිකව ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙන එකයි. එක ඇමති වරයෙක් ලංකාවේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා වන සීනි ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් ඇති බවක් කියා තිබුණා. එය කොයි තරම් දුරට සමීක්ෂණ දත්ත මත පදනම් වූ ප්‍රකාශයක්ද කියලා මම දන්නේ නැහැ. අපි කියමු එහෙම වුනා කියලා. දැන් මේ නිසා වෙන්නෙත් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙන එකයි. 

සාමාන්‍යයෙන් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වූ විට, ඒ කියන්නේ ඉල්ලුම වැඩි වූ විට, මිල ඉහළ යනවා. එසේ වෙන්නේ සැපයුම් වක්‍රය ඉහළට බෑවුම් වී තිබෙන නිසයි. නමුත් මෙහි දැනටම විස්තර කර තිබෙන පරිදි ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ එවැනි බෑවුමක් නැති තරම්. එයින් අදහස් වෙන්නේ කුමක්ද? 

ඉල්ලුම කොයි තරම් අඩු වැඩි වුනත් මිල වෙනස් වෙන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ මිල තනිකරම වගේ තීරණය වන්නේ සැපයුම් වක්‍රය මත. කලින් පැහැදිලි කර ගත් විදිහට සැපයුම් වක්‍රය අඳින්නේ රජය විසින්. ඒ අනුව ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවයක් ගැන ආර්ථික විද්‍යාවේදී සාධාරණ වශයෙන් කතා කරන්න පුළුවන් වුනත් මෙහි රජය විසින් පාලනය කරන සැපයුම් වක්‍රයට මිසක් ඉල්ලුමට කළ හැකි දෙයක් නැහැ. ඒ නිසා නීති විරෝධී මත්පැන් හදන්න හෝ උත්සව සමයේ ඉල්ලුම නිසා හෝ වෙනත් හේතුවකට ඉල්ලුම වැඩි වුනා කියලා ඒ හේතුව මත මිල ඉහළ යන්නේ නැහැ. එවැනි මිල ඉහළ යාමක් යම් හෙයකින් සිදු වුවත් එය ඉතාම සුළු, නොසලකා හැරිය හැකි මට්ටමේ එකක්.

ඊළඟට අපි බදු වලට යමු. රජය විසින් බද්දක් පැනවුවහම එම බද්දේ බර පාරිභෝගිකයන් හා සැපයුම්කරුවන් අතර බෙදී යනවා. එසේ බෙදී යන්නේ ඉල්ලුම් වක්‍රයේ හා සැපයුම් වක්‍රයේ බෑවුම් වල අනුපාතයට. අපි පැහැදිලි කර ගත් විදිහට ලංකාවේ සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රය තිරස් එකක්. එහි කිසිම බෑවුමක් නැහැ. එයින් අදහස් වන්නේ කුමක්ද? සීනි මත බද්දක් පැනවූ විට එහි බර මුළුමනින්ම වැටෙන්නේ පාරිභෝගිකයින් මතයි. ඒ නිසා පවතින බද්දක් ඉවත් කළ විට එහි වාසියද මුළුමනින්ම වාගේ පාරිභෝගිකයන්ට ලැබිය යුතුයි.

රජය බදු අඩු වැඩි කරද්දී සැපයුම් වක්‍රය ඉහළ පහළ යනවා. සීනි මිල වෙනස් වෙනවා. ඒ වගේම ලෝක වෙළඳපොළේ සීනි මිල විචලනය වෙද්දීත්, විණිමය අනුපාතය විචලනය වෙද්දීත් මේ වැඩේම වෙනවා. පිරිවැය වෙනස් වීමේ වාසිය හෝ අවාසිය මුළුමනින්ම යන්නේ පාරිභෝගිකයින්ට නිසා සැපයුම්කරුවන්ට අමුතුවෙන් ලාබයක් ගන්න විදිහක් නැහැ. හැබැයි ඔය විදිහට පිරිවැය වෙනස් වෙද්දී පිරිවැය අඩු වෙලාවක් බලලා සීනි ආනයනය කරන සැපයුම්කරුවෙකුට තමන්ගේ තරඟකරුවන්ට සාපේක්ෂව තරමක වාසියක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අහම්බෙන් මිසක් එක සැපයුම්කරුවෙකුට පමණක් එවැනි අවස්ථාවක් ඇහැ ගැහෙන්න විදිහක් නැහැ. ඒ නිසා විශේෂ තත්ත්වයක් යටතේ මිසක් සාමාන්‍ය තත්ත්වයක් යටතේ සීනි ආනයනකරුවෙකුට ලංකාවට සීනි ආනයනය කරලා විශාල ලාභයක් ලබන්න බැහැ.

7 comments:

  1. මෙලෝ රහක් නැති,ලිපි ලිවීමේ ගිනස් වාර්තාව ගන්නටවත් තැත් කරනවද ඉකොනෝ?

    ReplyDelete
    Replies
    1. සීනිත් රහ නැත්නම් වෙන මොනවද රහ, ඇනෝ?

      Delete
  2. ඉකොනො,

    හොඳ ලිපි පෙළක් නමුත් මෙම ලිපි පෙළ මගින් රාජ පක්ස කල්ලියේ කාලකන්නි විසින් සීනි මගින් කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි හොරකම් කරලා තියෙනවා කියලා ඔප්පු කල හැකි මට්ටමේ කරුණු කාරණා කිසිම දෙයක් තවම දැක්කේ නැහැ නේ?

    අපට ඕන හොඳින් හරි නරකින් හරි මොන ජාතියෙන් හරි රාජ පක්ෂ චෞරයන් විසින් සොරකම් කළ මුදල් ප්‍රමාණය බිලියන දහසයක් පමණ බව පැහැදිලි කිරීමක් කරන එකයි. ඊට වැඩි තවත් දේවල් එකතු කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

    ඒ වගේම මේ දවස් වල ලංකාවේ නැගල යන්නේ රාජ පක්ෂ චෞරයන් විසින් ලංකාවේ පරිසරය සම්පූර්ණයෙන්ම විනාශ කරන බව, ගස් කපනවා කියන එක. මේ ගැනත් පෝස්ට් දාල රාජ පක්ෂ චෞරයන් විසින් අතිබලසම්පන්න ලෙස පරිසර විනාශයක් කරන බවත් සමාජ ගත කිරීමට කටයුතු කරන්න අත්‍යවශ්‍යයි.

    ඒ වගේම මේක ඇත්ත ද?

    https://www.bbc.com/sinhala/world-56484272?at_custom4=4D402D00-8B8B-11EB-BF46-F7250EDC252D&at_campaign=64&at_custom1=%5Bpost+type%5D&at_custom2=facebook_page&at_custom3=BBC+Sinhala&at_medium=custom7

    එහෙම නම් ඔබට ගොඩක් පරිස්සමින් ඉන්න වෙනවා ඉදිරි කාලයේදී. ප්‍රවේසමෙන් ඉන්න ඉකොනොමැට්ටා.

    ReplyDelete
  3. නොයෙකුත් චෝදනා මත නීතිපති දෙපාර්තමේන්තුව මඟින් ගොනු කල නඩු තිස් ගණනක් ඉල්ලා අස්කර ගන්නට යන බවට පුවතක් දැක්කා. මෙය රාජකෑරිය හරියට ඉටු නොකිරීමක්- පැහැර හැරීමක් නේද? එයට විරුද්ධව කටයුතු කල යුත්තේ කවුද?

    ReplyDelete
    Replies
    1. එතෙර කරනට සසර සිදුහත්
      පතල දැනුමට නොහැකි වන මුත්
      පතුලටම ගිය පතිනියක නෙත්
      එළි පෙහෙලි කල මගකි නිවනත්

      කවි කතන්දර මොනව ලීවත්
      ප්‍රශ්ණ ගත ලෝකයේ කොහොමත්
      ගෙයිත් ගෙයි වැට එහා ගෙදරත්
      ගැහැණු ජීවිතයේදි පොහොසත්

      ...සමා...

      Delete
    2. අගෙයි කවිකම්
      අරුත් මනරම්
      අදයි මම නම්
      දුටුවේ නම නම්!

      Delete
  4. අන්තිම පැරා එකේ තියෙන කරුනු ටික තමයි ඉතා වැදගත්.

    මන් හිතන්නෙ හුගක් දෙනෙකුට ඔව්, නැහැ උත්තරයක් මිසක් මෙහෙම හෙමින් පසුබිම හදාගෙන එන ක්‍රමය හරියන්නෙ නැහැ/අගය කරනවා අඩුයි . කොහොමත් අපි වැඩි දෙනෙක් පුරුදු වෙලා තියෙන්නෙ අපේ මතයම තව කෙනෙක් කිව්වොත් සතුටු වෙන්න සහ නොකිව්වොත් කෑගහගන්න. විවිද perspectives අනුව යමක් දෙස බැලීමට, critical analysis වලට අපිට තියෙන නැඹුරුව මදි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: