වෙබ් ලිපිනය:

Saturday, July 10, 2021

දැන් රාජ්‍ය ණය කොපමණද?


අප්‍රේල් අවසානය වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 16,288 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බිලියන ගණන් ඇඟට නොදැනෙන නිසා මේ ණය ප්‍රමාණය ලංකාවේ ජනගහණයෙන් බෙදූ විට එක් අයෙකුට රුපියල් ලක්ෂ හත හමාරක පමණ ප්‍රමාණයක්. ඒ වගේම, පසුගිය වසරේ රජයේ සමස්ත ආදායම මෙන් දොළොස් ගුණයකට ආසන්න මුදලක්. 2019 අවසානයේ පැවති මට්ටමට සාපේක්ෂව, මාස 16ක කාලයක් තුළ, දේශීය ණය 46%කින්ද විදේශීය ණය වල රුපියල් අගය 3%කින්ද සමස්ත ණය 25%කින්ද ඉහළ ගොස් තිබෙනවා.

රාජ්‍ය ණය ප්‍රශ්නය හා විදේශ ණය ප්‍රශ්නය ප්‍රශ්න දෙකක්. විදේශ ණය වලින් කොටසක් රාජ්‍ය ණය වන අතර රාජ්‍ය ණය වලින් කොටසක් විදේශ ණයයි. විදේශ ණය ප්‍රශ්නයටද හේතු වී තිබෙන්නේ රාජ්‍ය ණය ප්‍රශ්නය වුවත් එය එකම හේතුව නෙමෙයි. ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තියත් විදේශ ණය ප්‍රශ්නයට හේතුවක්. 

සල්ලි අච්චු ගසා රාජ්‍ය ණය ප්‍රශ්නය තාවකාලිකව විසඳා ගත හැකි වුවත් විදේශ ණය ප්‍රශ්නය එසේ විසඳා ගන්න බැහැ. මේ මොහොතේ ලංකාවේ රජය මුහුණ දී සිටින ගැටලුව එයයි. 

(Image: dailymirror.lk)

22 comments:

  1. හතේ හත වැදී ඉන්නා රටවැසියෝ
    වගේ-වගක් නොම දන්නා පුරවැසියෝ
    හුරේ දමන් යති පස්සෙන් නායකයෝ
    අනේ මක් කොරන්නද අපි වෙමු ගවයෝ!

    ReplyDelete
    Replies
    1. නිදී,

      මගේ නම සමන්ත, ගෙවල් පානදුරින් ඇතුලට යන්න ඕනෙ. මම විවාහ වෙලා අවුරුදු දෙක හමාරක දුවෙක් ඉන්නවා. ගෙදර මගෙ අම්මයි නෝනයි බබයි විතරයි. මගේ තාත්තා නැතිවෙලා. ඉතින් ගෙදර නඩත්තු සේරම මගෙ රියදුරු රස්සාවෙන් තමයි කලේ. වාසනාවට අපේ ගෙදර තියන ඉඩම අක්කර දෙකක් තිබ්බ නිසා ඒකෙ මම නිවාඩු ආවම පුළුවන් තරම් වගා කරනව. අම්මයි නෝනයි ඒ වගාවට සාත්තු කරල හම්බෙන ආදායමත් අපිට ලොකු දෙයක් උනා.

      ඔහොම යනකොට මම කලින් වැඩ කල කුඩා ආයතනය දිගින් දිගට පාඩු ලබන්න වුන හින්ද අපිට වන්දි දීලා ආයතනය වහල දාන්න ප්‍රධාන පුටු වල හිටපු සර්ල තීරණය කලා. ඉතින් ඒ ආයතනයේ ලොරියක් පදවපු මමත් කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා රියදුරු රස්සාවක් හොයන් දස අතේ ඇවිද්දා.

      ඔයවගේ කලින් රස්සාව කරද්දී ඩිලිවරි යන වෙනත් ස්ථාන වලින් දැන අඳුන ගත්ත මහත්වරු කිහිප දෙනෙක් හිටිය. මම නිකමට ඒ මහත්වරුන්ට මට උන දේ කිව්වම ඔවුන් මට රස්සාවක් හොයල දෙන්න බලන්නම් කිව්වා, ඒ මහත්වරු හිටපු ආයතන වල දැනට පුරප්පාඩු නෑ කියල කියද්දි ඇත්තටම පුදුම අසරණ කමක් හිතට ආවේ. මෙහෙම දවස් දෙකක් වගේ යද්දී මට හිතවත් සර් කෙනෙක් කෝල් එකක් ගත්ත.

      "හෙලෝ සර්.. ගුඩ් මෝනින් සර්!!!
      මුලින්ම මම කතා කලා..

      "ආ...ගුඩ් මෝනින් සමන්ත. මල්ලි ඩ්‍රයිවින් ජොබ් එකක් නම් තියනව කොළඹ මහත්තයෙක් ගාව, කරන්න තියෙන්නේ ඒ සර්ගෙ කාර් එක ඩ්‍රයිව් කරන්න. පොර ටිකක් වසයි මල්ලි. එයා ගාව ඉන්න ඩ්‍රයිවර්ල සතියයි දෙකයි ඉන්නේ මාරු වෙලා යනව. ඉතිං මොකද කියන්නේ සමන්ත?"

      මම කල්පනා කලේ දැන් තත්වෙත් එච්චර හොඳ නැති එකේ මෙහෙම එකක් හරි හොදයි. අනික ඒ මහත්තයා මාව මරන් කන්නෙ නෑනේ. ඕනෙ නම් බනී. කමක් නෑ මේකට යනව කියල.

      "සර්.. මම එන්නම් ඒ රස්සාවට, මම මොකද කරන්න ඕනෙ සර්?"

      "මල්ලි SMS බලන්න දන්නවානේ?"

      "පුළුවන් සර්"

      "මම නම්බර් එකක් එවන්නම්, ඒක කොල්ලුපිටියෙ තියන කම්පැණියක්. එතන තමා මම කිව්ව සර් ඉන්නෙ. ඔය නම්බර් එකට කතා කලාම කරන්න ඕනෙ එව්වා කියයි. ආන්සර් කරන්නේ අයිති සර් නෙමේ ස්ටාෆ් එකේ ක⁣ට්ටිය. මල්ලි යද්දි නවතින්න බලන් යන්න කෝකටත්. සුදු අත් කොට කමිස ටිකකුයි, කළු කලිසම් දෙක තුනකුයි අරන් යන්න. පරිස්සමෙන් වැඩ කරන්න මල්ලි"

      "අනේ ගොඩක් ස්තුතියි සර් මේ උදව්වට"

      "හරි සමන්ත. මම නම්බර් එක එවන්නම්"

      "අනේ ගොඩක් පින් සර් මේ උදව්වට."

      "හරි බන්.. පරෙස්සමින් රස්සාව කරහන්. මට මොකද උනේ කියල කියහන් හොදේ.."

      "හරි සර්. මම අනිවාර්යයෙන් කතා කරනව"

      ඊට පස්සෙ ටිකකින් SMS එකක් ආවා. බලද්දී SMS එකේ තිබ්බෙ 011 මුලට ආව නම්බර් එකක්. ගත්ත එවෙලෙම කෝල් එකක්. බලද්දී මිස් කෙනෙක් කතා කලේ. මම විස්තරේ කිව්වම පොඩ්ඩක් ඉන්න කියල වෙනත් තැනකට මාව සම්බන්ධ කලා. එතනින් වෙන මහත්තයෙක් කතා කලේ. ඒ මහත්තයාට මම විස්තරේ ආපහු කිව්වා, ඒක අහන් ඉඳල ඒ මහත්තයා මගෙන් විස්තර වගයක් අහල මගෙ ෆෝන් නම්බර් එක ඉල්ල ⁣ගෙන මුල් අකුරු එක්ක නමත් ගත්ත, වයස හිටන් ඇහුවා. ටිකකින් කෝල් කරන්නම් කිව්වා.

      Delete
    2. පැය භාගයක් වගේ යද්දි වෙන නම්බර් එකකින් මට කෝල් එකක් ආවා. ඒකෙන් අර කලින් මගෙ විස්තර ගත්ත මහත්තයා කතා කලේ.

      "මිස්ට සමන්ත ඔයාට හෙට අපේ කොල්ලුපිටියෙ කම්පැණි එකට එන්න පුළුවන්ද?"

      "පුළුවන් සර්"

      "මල්ලි බුද්ධාගමේද?"

      "ඔව් සර්"

      "එහෙනම් එද්දී චරිත සහතික දෙකක් ගේන්න, එකක් මල්ලිලාගෙ පැත්තෙ පංසලේ ලොකු හාමුදුරුවන්ගෙන් ඕනෙ කිව්වා ලොකු සර්.. පුළුවන්ද ගන්න හෙට වෙද්දී?"

      "පුළුවන් සර්"

      "හරි එහෙනම් හෙට උදේ දහය වගේ වෙද්දී ඇවිත් පල්ලෙහා රිසෙප්ෂන් එකට කියන්න. රාජ් මහත්තයා හම්බෙන්න ආවෙ කියල, එතකොට එයාලා මට කියයි"

      "හරි සර්"

      "එඩ්රස් එක දන්නවද?"

      "නෑ සර්"

      ඒක ලියාගන්න කියල ඒ සර් එන විදිය පවා මට හරි කරුණාවන්ත විදියට කියල දුන්න.

      හැබැයි මට දැන් සතුට, බය මුසුවුන අමුතුම හැඟීමක් හිතට ආවා. අම්මටයි නෝනටයි විස්තරේ කිව්වම එයාලටත් හරී සතුටෙන් හිටියෙ.

      මම පරක්කු නොවී පංසලට ගියා ලොකු හාමුදුරුවෝ හම්බෙන්න. මගෙ වෙලාවට උන්වහන්සේ විහාරස්ථානයේ වැඩ හිටිය. මම දණගහල වැඳල අවසර අරගෙන උන්වහන්සේට කාරනේ කිව්ව.

      "සමන්ත මහත්තයාට ඉතින් ටික දවසක් ගෙදර ඉන්න උනානේ රස්සාව නැතුව. මෙතන හොඳින් රස්සාව කරන්න. මම සහතිකේ ලියල දෙන්නම්... යමුකො.."

      "එහෙමයි අපේ හාමුදුරුවරුනේ.."

      එතකොට ලොකු හාමුදුරුවෝ විස්තර අහල චරිත සහතිකයක් දුන්න. ඒකෙ මගෙ ගැන හොඳ ලියල තිබ්බ. මම ලොකු හාමුදුරුවන් වහන්සේට ආපහු දණ ගහල වැදල පංසලෙත් ටිකක් ඉඳල මම දන්න විශ්‍රාමික විදුහල්පතිතුමෙක් ඉන්නවා ගමේ කෙලවර, එතුමා හමුවෙන්න ගියා දෙවනි චරිත සහතිකේ ගන්න. යද්දි එතුමත් ඉන්නවා ගෙදර.

      ඉතින් මම විස්තරේ කිව්වම ඒ මහත්තයා සතුටු වෙලා ආ ගිය විස්තර, ගෙදර විස්තර එහෙම කතා කරල චරිත සහතිකයක් දුන්න. මම ඒ සර්ටත් ස්තුති කරල ගෙදර ගිහින් පහුවදා යන්න ඕනෙ බඩු ලැහැස්ති කර ගත්ත. හවස සැලුන් එකට ගිහින් කොණ්ඩෙ එහෙම නීට් එකට කපා ගත්ත කෝකටත් කියල.

      පහුවදා උදේම නැඟිටල ලැහැස්ති වෙද්දි අම්මා කෑම උයල. උදේට කාලා කෑම එකකුත් බැඳගෙන ඒ තුන් දෙනාගෙන් සමු අරන් මම පානදුරට ඇව්ත් කොල්ලුපිටියට යන්න දුම්රියට ගොඩ උනා.

      කොල්ලුපිටියෙන් බැහැල ගාලු පාර දිගේ ගියාම හම්බුන වාළුකාරාරාම පාරෙ ගිහින් මෙල් මාවතට ඇවිත් එතන හිටපු රාළහාමි මහත්තෙයෙක්ගෙන් ඇහුවම මට යන්න ඕනෙ තැන පෙන්නුවා.

      එතන ඇත්තටම පුදුම ලස්සනට හදල තිබ්බ තට්ටු පහක විතර ඔෆිස් එකක්. ඇතුලට යන්නත් බයක් වගේ ආවා හිතට. ඇතුලට යද්දි ඇඟට වැදුන සීතල AC පාර මගෙ තිබුන ගමන් විඩාව ටිකක් දුරු කලා. යද්දි පිළිගැනීමේ නිළධාරිණිය හිටියා. ඇය ඉතාම ලස්සන යුවතියක්. ඇයට විස්තරේ කිව්වම දුරකථනයෙන් තව කාටදෝ කතා කලා. පස්සේ මට කිව්වා තුන් වෙනි තට්ටුවේ රාජ් මහත්තයා හම්බෙන්න කියල.

      මමත් ගෙනාපු ලොකු බෑග් එකත් උස්සන් ගියා රාජ් මහත්තයා හම්බෙන්න. යද්දි ඒ සර් ආවා. ඇත්තටම කරුණාවන්ත පෙනුමක් තිබ්බට මගෙ දිහා බැළුවේ හරිම තීක්ෂණ විදියට. පාදාන්තයේ සිට ඔළුවටම බලල ආයෙ පල්ලෙහාටම බැළුවා. මම පාඩුවේ හිටියා.

      "සර්...ගුඩ් මෝනින්!!!"

      "ගුඩ් මෝනින්, මේ සමන්ත නේද?"

      "ඔව් සර්"

      "සමන්ත එන්න වාඩිවෙන්න"

      "තෑන්ක් යු සර්"

      පසුව ඔහු මා සමඟ පැය කාලක් පමණ කතා කලා. ඉගෙනගත්ත පාසල, කලින් රැකියාවල් කරපු තැන්. පවුලේ විස්තර වගේ දේවල් කතා කරල මගෙ සහතික එහෙම බලල ඩ්‍රයිවින් ලයිසන් එකත් බැළුවා. පස්සේ ඇහුවෙ BMW, Merc Benz වගේ සුපිරි මාදිලියේ වාහන එලවන්න පුළුවන්ද කියල. ඇත්තටම මට ඒවා පදවන්න පුළුවන්. පස්සේ ඇහුවා කොළඹ පාරවල් දන්නවද කියල. මම කලින් කම්පැණියෙ ඉද්දි වැඩ වලටම ඇවිත් කොළඹ පහලවේම පාරවල් සාමාන්‍යයෙන් දන්නවා. ඒ බව මම රාජ් සර්ට කිව්වා. පස්සේ සර් කාටදෝ කෝල් එකක් අරන් ඉංග්‍රීසියෙන් විස්තර වගයක් කියල යමුකො සමන්ත කියල මාව ඒ බිල්ඩිමේ ඉහලම මාලයට එක්කන් ගියා.

      දොරවල් ඇරන් එක ඔෆිස් එකකට යද්දි මට ඇත්තටම බයත් හිතුනා. ඒක සුරපුරයක් වගේ ඔෆිස් එකක්. ඒක අනිවාර්යයෙන් මේක අයිති මහත්තයාගෙ වෙන්න ඇති කියල ඉවෙන් වගේ දැනුන. මගෙ ඇස් දෙකට දැක්ක දේවල් අනුව ලෝකෙ තිබ්බ හොඳම දේවල් වලින් වෙන්න ඇති ඒ ඔෆිස් එක හදල තිබ්බෙ.

      මට ටිකක් ඉන්න කියල රාජ් මහතය ඔෆිස් එක ඇතුලට ගිහින් ටිකකින් මාව ලොකු මහත්තයා හිටපු තැනට එක්කන් ගියා..

      Delete
    3. ඇත්තටම නිදී ඒ සර්ගෙ පෙනුම මම දැක්ක දරුණුම පෙනුමක් තිබ්බ කෙනෙක්. ඇස් රතු වෙලා, කරකපු රැවුල, ගිරා හොටක් වගේ නහය, රෞද්‍ර ඇස් වලින් ඒ සර්ගෙ දිහා එක එල්ලෙ බලන්න අමාරු ගතියක් තිබ්බෙ. මට ඇත්තටම අමුතු බයක් ආවා හිතට.

      "මොකක්ද නම ?"

      "සර්..ගුඩ් මෝනින්..මම සමන්ත සර්"

      "හොදයි.. සමන්ත ගෙවල් කොහෙද?"

      "පානදුර සර්"

      "කලින් වැඩකලේ"

      "පොඩි කම්පැණි එකක සර්. ඒක පාඩු පිට දුවල වහල දැම්මා"

      ඒ සර් මොකුත් නොකියා එක එල්ලේ මගෙ ඇස් දෙක දිහා බලන් හිටියා. ඒ බැල්ම දරා ගන්න අමාරු හින්ද මම හිනාවෙලා බිම බලාගත්ත.

      "රාජ් මෙයාගෙ විස්තර බැලුවනේ..?"

      "ඔව් සර්.. චරිත සහතික මොකුත් ප්‍රශ්නයක් නෑ සර්.."

      "මගෙ වාහනේ මෙයාට දීල ඔයත් එයා එක්ක ගිහින් බලන්න කොහොමද කියල"

      "හොදයි සර්.." කියල ලොකු සර් දුන්න වාහනේ යතුරත් අරන් රාජ් සර් එක්ක ලිෆ්ට් එකෙන් බිම් මහලෙ පිහිටි වාහන පාක් එකට ගියා. යද්දි එතන නවත්තල තිබ්බෙ ලංකාවේ තියන සුපිරි පංතියේ වාහන ටිකක්. ඒවා කාගෙද කියල අහන්න බෑනේ... මම කරබාගෙන රාජ් සර් කියන දෙයක් කලා. පස්සේ රාජ් සර් මට එතන තිබුන BMW මාදිලියේ නවීන කාර් එකක් පෙන්නල මේක ගන්න එලියට කියල මට කී එක දුන්නේ.

      ඒ කාලේ තඩි ලොරි එලවපු මට මේක භවනක් වගේ වාහනයක්.. මම වැඳල එහෙම හිමිහිට පස්සට අරන් රාජ් සර්වත් නග්ග ගෙන ඒ සර් කියන පාරවල ගිහින් හිමින් හිමින් මෙල් මාවතෙන් ගාලු පාරට වාහනේ ගත්ත. දැන් රාජ් සර් කියපු පාරවල් වල මම පරෙස්සමින් වාහනේ පදවල ආපහු ආයතනයට ආවා.

      ආයෙ ගියේ ලොකු සර් ගාවට.

      "සමන්ත හොඳටම හොදයි සර්.."

      රාජ් සර් හොද සහතිකයක් දුන්න.

      "සමන්ත දැන් කීයක් වගේ පඩිය බලාපොරොත්තු වෙනවද?" ලොකු සර් ඇහුවා.

      "සර් ගාව හිටපු අයට දුන්න ගානම දෙන්න සර්, කීයක් හරි කමක් නෑ.." මම අන්ත අසරණව කිව්වා.

      එතකොට සර් මොකුත් නොකියා මගෙ දිහා බලන් හිටපු සර් මට එළියෙන් ඉන්න කිව්වා. දවල් ⁣වෙනකම් මොකුත් ප්‍රශ්නයක් නෑ. මම රාජ් සර්ට කෝල් එකක් දීල අවසර අරන් දවල්ට කෑවා. මොකද හදිස්සියෙ ලොකු සර් කතා කලොත් ප්‍රශ්නයක් වෙයි කියල හිතල. පස්සේ දවල් ලොකු සර් මට කතා කලා.

      "සමන්ත ගෙවල් කොහෙද කිව්වේ?"

      "පානදුර සර්"

      "හරි...බැදල නේද?"

      "ඔව් සර්.. එක දුවෙක් ඉන්නවා.."

      "හරි.. දැන් මගෙ වාහනේට තෙල් ගහන් එන්න මල් මාවතේ ශෙඩ් එකෙන්..ගහන්නේ සුපර් ඩීසල්. ආ මේ හය දාහෙම ගහනව...ගහල ඇවිත් වාහනේ සුද්ධ කරල දාලා එනවකො.."

      "හොදයි සර්" කියා සර් මට දුන්න පන්දාහෙ කොලෙයි දාහෙ කොලෙයි අරන් මල් මාවතේ ශෙඩ් එක හොයන් ගියා. යද්දි ටිකක් විතර ට්‍රැෆික් එකේ යන්න උනේ. මම හරී පරෙස්සමින් වාහනේ අරන් ගියා. ටිකකින් ෆුල් ෆේස් දාපු බයික් එකක් මගෙ පස්සෙන් එනව වගේ තේරුම් ගියා. කෝකටත් කියල දොරවල් හතරම ලොක් කරගෙන මල් පාරට දාලා ශෙඩ් එක හොයාගත්ත. අර බයික් එකත් ඒ ශෙඩ් එකේම ප්‍රෙට්‍රල් ගහන තැන තිබ්බ. හැබැයි ඒකෙ හිටපු කෙනා මගෙ ගැන අවධානයෙන් දෝ කියලත් හිතුනා. මම රුපියල් හයදාහෙම සුපර් ඩීසල් ගහල ආයෙ අපේ ආයතනයට ආවා. අර බයික් එක ආපහු දැක්කෙ නෑ.

      Delete
    4. ඒ වගේම ආයතනයට ඇවිත් සිකුරිටි එකෙන් අහගෙන වාහන සුද්ධ කරන වෙනම තැනක් තිබුණා. එතෙන්ට අරන් ගිහින් මුල ඉඳන් වහනේ ඇතුල සුද්ධ කරන්න ගත්ත. ඇත්තටම ඒ වාහනේ ඇතුලෙ සුද්ධ කරන්න තරම් දෙයක් නෑ. හොඳම තත්ත්වයට තිබුන. ඒත් සර් කියපු එකනෙ මම කරන්න ඕනෙ. ඉතින් ඉස්සරහ සුද්ධ කරගෙන ගිහින් පස්සේ සුද්ධ කරද්දී පිටිපස්සෙ සීට් එකේ අස්සෙ තිබිල පන්දාහෙ කොලයක් සීට් එකේ අස්සට ගිහින් තිබිල හම්බුනා. ඒක දැක්කම මට අමුත්තක් දැනුන. සර් මගෙ ගැන හොයන්න මේක දාලද, නැත්නම් ඇත්තටම වැටුන එකක්ද, ඇත්තටම මම අනුන්ගේ දේවල් ගන්න කෙනෙක් නෙමේ. මොනව උනත් ඒක ලොකු සර්ට දෙන්න මම තියාගත්තා. පස්සේ වාහනේ හොඳට හෝදල ආයෙ තිබ්බ විදියට පාක් කරල ලොක් කරල කී එකයි, අර සල්ලි කොලෙයි අරන් මම උඩට ගියා ලොකු සර් හම්බෙන්න.

      "සර් හයදාහෙ සුපර් ඩීසල් ගහල සර් කිව්ව විදියට වාහනේ සුද්ධ කරල හේදුවා සර්. අනේ සර්, සුද්ධ කරද්දී පිටිපස්සෙ සීට් එක අස්සට ගිහින් තිබිල මේ පන්දාහෙ කොලේ හම්බුනා සර්.." කියල ඒ පන්දාහෙ කොලේ ලොකු සර්ට අත් දෙකෙන්ම දුන්න.

      "හරි.. දැන් පහලින් ඉන්න. අද හවස මාව ගෙදරින් දාලා යන්න. හෙට උදේ හත වෙද්දී මොරටුවෙ ඉන්න ඕනෙ.. පුළුවන්ද?'

      "පුළුවන් සර්"

      ඇත්තටම එදා ගෙදර යන්න පුළුවන් වෙනව කියන්නේ ලොකු දෙයක්. රෑ කීයට ගියත් ගෙදරටනේ. ඒකත් ලොකු දෙයක් උනා. හවස් වෙනකම් තේ එකක්වත් නෑ මට. ඒත් අහල පාරට යන්නත් මොකක්ද වගේ කාගෙන හිටිය වතුර බීලා. හවස හතරට විතර ලොකු සර් කතා කලා. එයාගෙ බෑග් එකයි කෑම ගෙනාපු පිඟන් වගේකුයි අරන් වාහනේට යන්න කිව්වා මට. මම ඉක්මනට මගෙ බෑග් එකත් අරන් ගිහින් ඩිකියට දැම්මා. දාලා වාහනේට වෙලා හිටියා. ලොකු සර් ඇවිත් වාහනේ පස්සෙ සීට් එකට නැග්ග. පස්සේ සර් කියපු විදියට මම වාහනේ පාරට ගත්ත.

      "සමන්ත මගෙ ගෙවල් මොරටුවෙ දන්නවද යන්න මොරටුවට?"

      "දන්නව සර්"

      "එහෙනම් යමුකො" කියල සර් කිව්වා.

      මම මොරටුවට සාමාන්‍යයෙන් යන්න පුළුවන් ඉක්මනට ගියා. යද්දි කිසිම මාර්ග නීතියක් කඩ කලේ නෑ. මගෙ දිහා සර් බලන් හිටියද දන්නෑ. මම ඉස්සරහ බලානම ගියා. පස්සේ සර් මොරටුව ටවුමෙන් මට වාහනෙන් බහින්න කියල සර් වාහනේ ගත්ත. මම සර්ට කියල වාහනෙන් මගෙ බෑග් එක ගත්තා.

      "හෙට උදේ හතට මෙතන ඉන්න"

      "හොඳයි සර්"

      කියද්දි සර් ගිහින් ඉවරයි. මම කෝච්චියෙ නැගල ගෙදර ආවා.

      මම මගෙ නෝනට අද උන එව්වා සේරම කිව්වා. එයා කිව්වෙම අර කාර් එක ඇතුලෙ තිබිල හම්බුන සල්ලි කොලේ සර් මාව චෙක් කරන්න දැම්ම එකක් කියලයි.

      පහුවදා උදේම ගිහින් කියපු තැන ඉද්දි හරියට හත වෙද්දී සර් ආවා. එයා බැහැල මට වාහනේ දුන්න. මම හරි පරෙස්සමින් ඔෆිස් එකට ආවා.

      "සමන්ත මෙතන ඉන්න කියල රිසෙප්ෂන් එක ගාව පුටුවක් පෙන්නල කියල සර් ගියා" සර්ගෙ බෑග් අරන් යන්න වෙන කෙනෙක් ඇවිත් හිටිය. කාර් එකේ කී එක මට තියාගන්න කිව්වා. මම සර් කියන එකක් අහන් හිටියා.

      දැන් රිසෙප්ෂන් එකේ ඊයෙ හිටපු ලස්සන ළමයයි මමයි විතරයි. සර් මට කතා කරන පාටකුත් නෑ. රිසෙප්ෂන් එකේ කෙල්ල ටිකකින් මට අමුතු විදියට හිනා උනා. මමත් හිනා වෙලා පාඩුවේ හිටිය. ටිකකින් ඒ කෙල්ල මගෙ විස්තර අහනව. මම කෙටියෙන් අහන එව්වට උත්තර දීල පාඩුවේ හිටිය. බැදලද බබාල ඉන්නවද කියල අහද්දී මම ඇත්තම කිව්වා. එදත් ඊයෙ වගේම සාමාන්‍ය විදියට ගෙවුනා.

      පහුවදත් උදේ හතට එන්න කිව්වා. මම උදෙන්ම ඇවිත් හිටිය. එදත් අර කෙල්ල ගාවින් ඉන්න කියාපි සර්.

      ටිකක් වෙලා යද්දි ආයෙ මේ කෙල්ල මගෙ එක්ක කතාව. බැදපු මගෙ එක්ක මොන මඟුල්ද කියල පාඩුවේ හිටියා. පස්සේ මේකි නම්බර් එක ඉල්ලන්න ගත්ත. එවෙලෙ නම් මට සැකයක් ආවා මේක සර් මගෙ ගැන හොයන්න කරන වැඩක්දෝ කියල. මම ඇහුවෙ මගෙ නම්බර් එක මිස්ට මොකටද මිස් කියලයි. අපෝ මෙයාගෙ ගණන් කියල එයා පාඩුවේ හිටිය.

      පස්සේ සර් මාව ආයතනයේ ඩ්‍රයිවර්ල ඉන්න තැනක් තියනව. එතන ඉන්න කියල කිව්වා. මාත් එතෙන්ට ගියා. යද්දි කොල්ලො කීප දෙනෙකුයි ටිකක් වයසක වගේ කීපදෙනෙකුයි හිටිය. උන් මගෙන් සර්ගෙ ගැන අහනව. සර්ට බනිනවා. මම සර්ට මොකුත් කිව්වේ නෑ. සර්ගෙ හොඳමයි කිව්වේ.

      පස්සේ දවසක් එතන හිටපු අය මගෙන් සිගරැට් බොනවද ඇහුවා. මම කවදාවත් සිගරැට් බීල නෑ. අරක්කු බොන්නෙත් නෑ.. ඉඳල හිටල උත්සවයකට ගියොත් ටිකක් විතර බොනව. ඒත් ආයතනයේ බොන එක හොද නෑ.. මොකද ආයතන ප්‍රධානියගෙ ඩ්‍රයිවර් මම. කොහොමත් මම වැඩ කරපු තැනක කවදාවත් මොනම හේතුවක් හින්ද වත් බීල නෑ.

      මෙහෙම කාලෙ ගෙවෙද්දී දවසක් සර් කිව්වා

      "සමන්ත හෙට නිකවැරටියට යන්න තියනව. යන්නේ ඩබල් කැබ් එකේ උදේ හයට පිටත් වෙනව" කියල.

      මම දන්න තරමට සර්ගෙ ලොකු පොල් වත්තකුයි කිරි හරක් ඉන්න වත්තකුයි තිබ්බ නිකවැරටිය පැත්තෙ. ඒකෙ සේවකයන්ගෙ පඩි බේරන්නයි වතු දෙක බලන්නයි වෙන්න ඇති සර් යන්නේ මේ.

      Delete
    5. පහුවදා උදේම මම සර් කිව්ව විදියට පහ හමාරට මොරටුවට ගියා. ගිහින් සර්ට කතා කරද්දී ටිකකින් සර් ආවා. සර් කිව්වා කෙලින්ම නිකවැරටියට යමු කියල. මම ඉතින් ඒ පැත්ත ටිකක් දන්නවා. වෙනද සර් යන්නේ කුරුණෑගලින් පුත්තලම් පාරෙ දාලලු. මම කිව්වා එහෙ යන්න ඕනෙ නෑ සර් පන්නලින්, කුලියාපිටියෙන් දාලා කඩිගාවට දාලා යමු එහෙන් ළඟයි කියල.

      දැන් නිකවැරටියට ගිහින් වත්ත පැත්තට යද්දි ඒක හරි පාළු පාරක්. වලවල් ටිකක් තිබ්බ හින්ද මමත් හිමින් ගියේ. මිනිස්සු නෑ වගේ ඒ පැත්තට වෙන්න. ගෙවල් තිබ්බෙ නෑ. ලොකු පොල් වතු තිබ්බෙ පාර දෙපැත්තේ.

      එක තැනක ලොකු බෝක්කුවක් තිබ්බ. එතන වලවල් ටිකක් තිබ්බ හින්ද මම හිමින් හිමින් වාහනේ ඉස්සරහට ගද්දි එකපාරටම කොහෙන්දෝ ඉදන් මිනිස්සු තුන්දෙනෙක් පාරට ආවා. දැන් උන් තුන්දෙනා අපේ පැත්තට එනව. එකෙක්ගෙ අතේ පිස්ටල් එකක්. මේක දැක්කම සර් "ෆෝ වීල් දාලා යන් සමන්ත කියල"

      මම සර් කිව්ව විදියට හිමින් ගිය වාහනේ නවත්තල ෆෝවීල් දාලා අර යක්කු යට උනත් කමක් නෑ කියල ඇල්ලුවා පිස්ටල් එක තියන් හිටපු එකාගෙ පැත්තට යන ගමන් මම කිව්වා "සර් නැමෙන්න" කියල. උන් පැත්තට පැනල බේරුනා. වෙඩි තිබ්බෙ නෑ. ඒක සෙල්ලම් පිස්ටල් එකක් වෙන්න ඇති. මගෙ පපුව ගැහෙන්න උනා ගොඩක් වෙලා යනකම්.

      එකෙන් මොකුත් අනතුරක් නොවී අපි ගියා. පස්සේ වත්තට ගියාම. සර් කිව්වේ වතු දෙකේ මිනිස්සුන්ට පඩි දෙන්න සල්ලි අරන් ආවෙ සමන්ත. කියල ලොකු බෑග් එකක් පස්සේ සීට් එක අස්සෙ තිබිල ගත්ත. සේවකයන්ගෙ පඩි සල්ලි දෙන්න සර්ගෙ අත්දෙකෙන්. සර් ඒ මිනිස්සුන්ට ටිකක් වැඩිපුර මුදලකුත් දුන්න. අනේ මන්ද සර් පෙලක් වෙලාවට හරි සැරයි. පෙලක් වෙලාවට හිත උණු වෙනව. තේරුම් ගන්න බෑ.

      ඒ වත්තෙ සල්ලි ගෙවල ඉවර වෙලා වත්ත බලල ඉවර වෙලා අනිත් වත්තට යන්න අපි ⁣ටිකක් දුර උනත් වෙන පාරකින් ගියා. ඒ වත්තෙ සේවකයන්ගෙ සල්ලි ගෙවල ඒ වත්තත් බලල, කිරි හරක් ගැන හොයල බලල ආපහු කොළඹ යන්න පිටත් උනා.

      යද්දි සර් අහනව "සමන්ත අර බෝක්කුව ගාවින් පිස්ටල් එක අරන් ආපු එකා දකිද්දී බයක් ආවෙ නැද්ද?" කියල. මම කිව්වා "ඌ වෙඩි තිබ්බනම් තියන්නේ මට සර්. එවෙලෙ සර්ව කොහොම හරි බේරගන්න විදියක් මම කල්පනා කලේ. බයක් ආවෙ නැතුව නෙමේ සර්." කියද්දි සර් අමුතු විදියට හිනා උනා විතරයි. ඒකත් සර්ගෙම ප්ලෑන් එකක්ද මන්ද කියලත් හිතුනා.

      මම ආයතනයට ගිහින් මාසයක් වෙන දවසෙ දවල් වෙලා සර් මට ඔෆිස් එකට එන්න කිව්වා. කියල "සමන්ත අදට ඇවිත් මාසයක් උනානේ. මෙන්න ඔයාගෙ පඩි සල්ලි" කියල ලස්සනට හදපු ලියුම් කවරයක් මට අත් දෙකෙන්ම දුන්න. දීල කිව්වා "මගෙ ඩ්‍රයිවර් කියන්නේ සමන්ත මගෙ ගාවම ඉන්න මිනිහ. මට ඒකව ගෙදර එකෙක් වගේ විස්වාස වෙන්න ඕනෙ. මගෙ ටෙස්ට් වලින් සමන්ත පාස්. අද ඉදන් සමන්ත ඉන්නේ මගෙ ඔෆිස් එකේ. මම දෙන වැඩ හරියටම කෙරෙන්න ඕනෙ සමන්ත. විස්වාසෙ අංක එක. ඒක නැති උනොත් මම උන්ව එලවනව. මගෙ ගාවට ආපු උන්ට උනෙත් ඒක සමන්ත. සතියයි දෙකයි. ටෙස්ට් වලින ෆේල්. හරි සමන්ත දවල්ට කාලා ඇතුලට එන්න." කියල කිව්වා.

      මම එලියට ගිහින් අර ලියුම් කවරෙ ස්ටේපර් කටු ගලවල බැළුවා. මගෙ පපුව ගැහෙන්න උනේ ඒකෙ තිබ්බ සල්ලි දැකල. එතන ඇත්තටම මම හිතුවට වඩා ලොකු මුදලක් තිබුනා. සර්ලට වැරදිලාවත්ද? ඩ්‍රයිවර් කෙනෙකුට හැත්තෑ පන් දාහක් ගෙවන්නේ? මට කන්න පිරියක් තිබ්බෙත් නෑ මේක දැකල.

      පස්සේ සර්ගෙ ඔෆිස් එකට ගිහින් "සමාවෙන්න සර් අනේ මගෙ පඩිය සර්ලට වැරදිලාද මන්ද" කියල අහද්දී. "ඇයි සමන්ත පඩි මදිද?" කියල සර් අහනව. මම කිව්වා නෑ සර් හැත්තෑ පහක් තිබ්බ. ඒකද හරි ගාන කියල.

      සර් කියනව හිනාවෙලා "සමන්ත මේක දැන් ලොකු ලාභයක් ලබන කම්පැණි එකක්. ඒකෙ ඉන්නේ මට විස්වාස මිනිස්සු ටිකක්. මම පුළුවන් උපරිමෙන් ඒ අයට සලකනව. හැබැයි එයාලගේ විස්වාසෙ ගැනත් මම නිතරම බලනව. සමන්ත අද ඉදන් මගෙ සල්ලි පැත්තෙ වැඩ ටිකක් සමන්තට දෙනව. ඒවත් බලන්න ඔයා. හෙට ඉදන් අපේ ගෙදරින් කෑම ගේනව මම සමන්තට. ජොබ් එක ස්ථිරයි කියල හිතාගන්න මගෙ ගාව." කියල කියද්දි අර ලොරියක දවස පුරා දුවල රෑටත් දුවල ගන්න හතලිස් පන්දාහක් පනස් දාහක් හොයන්න විදපු දුකයි, මෙතන බවන වගේ වාහනේක ඉදන් ඇවිත් දිව්‍ය ලෝකෙ වගේ සර්ගෙ ඔෆිස් ඒකේ දවසම ඉඳල සර්ව ගෙනිහින් බස්සනවට හම්බෙන මුදලයි ගැන. අනික මට අද ඉදන් කෑම වියදමකුත් නෑ. නිකමට හිතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කලා වගේ විස්වාසය පරම ඥාතියා වෙලා මට පිහිට උනා වගේ කියලයි.

      Delete
    6. ගොඩක් ස්තුතියි සමන්ත. මෙච්චර විස්තර ලිව්වට.
      ඒ වගේම ඉකොනෝ මහත්තයාට- මොකද සමන්ත ලියලා තියෙන්නේ මගේ නමටනේ.

      සමන්තට 'ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී' අමුතුවෙන් කියා දෙන්න ඕනි නැ කියලා බුදු ෂුවර්!

      Delete
    7. යකෝ ඒ සර් කාරය මාර මෝඩයෙක්නෙ. ඔච්චර පඩි හම්බෙන රස්සසාවක් උගෙ කම්පනියෙම තියෙද්දි ඌ ඒක වෙන එකෙකුට දීල.

      Delete
  2. ආර්ථික විශාරද බැසිල් රාජපක්ෂ ඕක කජු කනවා වගේ විසඳයි. ඔයා බව නැතුව ඉන්න.දැනටමත් ආයෝජකයෝ පෝලිමේ.

    ReplyDelete
  3. මේ තරමට හරි අල්ලාගෙන ඉන්නේ මැදපෙරදිග රැකියාවල් කරණ මිනිස්සු එවන සල්ලි වලින්.(ඒ අය රටගැන හිතලා එහෙ නොගිය එක වෙනම කාරණාවක්) එත් ඉතින් ඒ මිනිස්සුන්ටත් සලකපු හැටි මතකයිනේ. ඉන්දියාව, පාකිස්තානේ,බංග්ලාදේශය ගුවන් යානා දහස් ගණන් එවලා තමන්ගේ මිනිස්සු ගෙන්න ගන්නකොට අපේ මිනිස්සුන්ට උනේ පාරවල් වල හිගා කන්න.

    ReplyDelete
  4. Rajapaksha naya aragena matiya gahala karapu sanwardanaye prathipala thama

    ReplyDelete
  5. ඉකොන්, රාජ්‍ය ණය ප්‍රමාණය කෙසේ වෙතත් ලංකාවේ දැනට පවතින විශාලතම සහ කේන්ද්‍රීය ප්‍රධානතම ප්‍රශ්නය තමයි විදේශ මුදල් සංචිතය සිඳී ගෙවුම් ශේෂ හිඟය සහ ඩොලර් වලට සාපේක්ෂව රුපියල් අවප්‍රමාණ වීම සමග ආනයන සඳහා මුදල් නොමැති වීම සහ ගත් විදේශ ණය ගෙවීමට බැරුව අසරණ වීම. මේ සඳහා වහාම පැරණි ණය සහ වාරික ගෙවන ආකාරය නැවත ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දැනට පවතින සාකච්ඡා සාර්ථක කර ගත යුතුයි. පහුගිය 2010-15 කාලයේ සහ 2915 -2020 කාලයේ චීනයේ මූල්‍ය සේවා වලින් ගත් ණය බොහෝ දුරට බැලන්ස් කර ගන්න පුළුවන් වෙයි කියලා ආරංචියක් ආවා, නමුත් ප්‍රශ්නය වන්නේ පහුගිය යහපාලන රජය සමයේ අතිවිශාල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය සමාගම්, සහ යුරෝපයේ පුද්ගලික ආයෝජන ආයතන වලින්, ඉන්දියාව සහ ජපානයෙන් ගත් ණය නැවත ප්‍රතිව්‍යුහගත කිරීම ඉතා අසීරු කටයුත්තක් විය හැකි බව. මොකද මේ අවුරුද්දේ මුලදී ඉන්දියාවට ඩොලර් මිලියන 400 ක් එකවරම ගෙවන්න සිදු වුණා රනිල් සහ මංගල ඇතුළු පිරිස විසින් ආදානි සමාගමට නැගෙනහිර ජැටිය ලබාදීමට එකඟ වූ ගිවිසුම බිඳ වැටීම සමග. ඒ වගේම ලංකාවේ පුද්ගලික ආයතනත්, පුද්ගලික බැංකු ආදියෙන් ගත් පුද්ගලික විදේශ ණය ගෙවීමට ඩොලර් නිකුත් කළ යුතුයි මහ බැංකුවෙන්.

    මේ ප්‍රශ්නයේ මුල ගැන කතා කරනවා නම් 1977 ලංකාවේ බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය 1977 නොවැම්බර් 16 දින රුපියලට ස්ථාවර විනිමය අනුපාතයක් ලබාදෙනු වෙනුවට වෙළඳපොල ඉල්ලුම සහ සැපයුම අනුව එය තීරණය වීමට අවස්ථාව දී රුපියල පාකර හැරීමත් සමගම ඩොලරයක වටිනාකම රු 9 සිට රු16 දක්වා පිරිහුණු අතර එදා සිට අද දක්වා අඛණ්ඩව රුපියල අවප්‍රමාණය වී 2021 ජූලි වන විට එය නිල වශයෙන් රුපියල් 200 සීමාවේ කෘත්‍රිමව තබා ගෙන සිටින නමුත් සැබෑ වශයෙන් රුපියල් 225 පමණ වී තිබෙනවා. ඒ අනුව රුපියල 25 ගුණයකින් පමණ පිරිහී ඇත. නමුත් මේ ගැන ජේ ආර් සහ එවෙලේ රජයට උපදෙස් දුන් ඇතැම් ආර්ථික විද්‍යාඥයින් විශ්වාස කළේ රුපියල් අවප්‍රමාණ වීම සමග ආනයන අඩු වෙලා අපනයන ආදායම ඉහළ යන බවයි. ඒ මතය සත්‍යයක් නම් අපේ වෙළඳ ශේෂය වාසිදායක වී තිබිය යුතුයි.

    නමුත් 1984 දී අපනයන ආදායමෙන් -27% ක් වූ වෙළඳ ශේෂය 2010 දී -40% දක්වා පිරිහී 2019 වන විට -56% තරම් ඉහළ ගියා. 2020 /21 තාවකාලිකව ආනයන අඩු කරගෙන යම් තරමකින් මේ ප්‍රශ්නය පාලනය කරගෙන සිටින නමුත් එය ස්ථිර විසඳුමක් නෙවෙයි.

    මේ ලෙස ලංකාවේ මුදල් ඒකකය අවප්‍රමාණය කළ 1977 - 2019 වසර 42 තුල අපනයන ආදායම යම් තරමකින් වැඩි වී ඇති බව සැබෑවක් නමුත් ඊට වඩා බෙහෙවින් වැඩි වේගයකින් ආනයන වියදම වැඩි වීම නිසා එහි අවසන් ප්‍රතිඵලය වූයේ වෙළඳ ශේෂය තිබුණාටත් වඩා අධික වශයෙන් පිරිහීමයි. මෙයට සරල හේතුව ලංකාවේ ආනයන භාණ්ඩ ඒවායේ මිළ ඉහළ යෑමට සංවේදි නොවීමයි.

    එනම් ලංකාවේ ආනයන වලින් දළ වශයෙන් 60% ක් පමණම ඛණිජතෙල්, පොහොර, රසායනික ද්‍රව්‍ය සහ රෙදි වැනි අන්තර් භාණ්ඩයි.

    ඒ වගේම ආනයන 25%ක් පමණ (2019 වන විට) වාහන, යන්ත්‍ර සූත්‍ර වැනි ආයෝජන භාණ්ඩ, ජංගම දුරකථන, ලැප්ටොප් සහ ටැබ් පරිගණක, රවුටර් ආදී උපකරණ ද මේ වගේ අත්‍යවශ්‍ය ආයෝජන භාණ්ඩයි.

    සාමාන්‍යයෙන් පාරිභෝගික භාණ්ඩ consumer goods ලෙස ඇත්තේ 18% - 20% පමණි. එයින් ද විශාල ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ආනයනය කළ යුතු තිරිගු පිටි, පරිප්පු/ කඩල, ටින් මාළු සහ සීනි වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩයි.

    මේ නිසා ආනයන භාණ්ඩ මිළ කොතරම් ඉහළ ගියත් එයට ඇති ඉල්ලුම අඩු නොවේ. රුපියල අවප්‍රමාණය වීමෙන් සිදු වී ඇත්තේ ආනයන වියදම ඉහළ යෑම පමණයි.

    මේ ලංකාවේ මුදල් අවප්‍රමාණය වීමෙන් පසුගිය යුගයේ සිදුවුණේ වෙළඳ හිඟය අඩුවීම නොව තව දුරටත් විශාල වශයෙන් වැඩිවීම පමණි.

    එනමුත් ලංකාවේ වාසනාවට මැද පෙරදිග, දකුණු කොරියාව ආදී රටවල් වල විදේශ රැකියාවන්හි නිරතවී ලංකාවට මුදල් එවන ලාංකිකයින් ඉහළ යෑම, සෘජු සහ වක්‍ර විදේශ ආයෝජන ඉහළ යෑම සහ දැඩි ලෙස විදේශ ණය ලබා ගැනීම සමග වෙළඳ ශේෂයේ පිරිහීම සමස්ත ගෙවුම් ශේෂයට බල නොපා යම්තාක් දුරකට හෝ සමනය කළ හැකි වුවත් ගෝලීය වසංගත තත්ත්වය සමග වර්තමානයේ මතු වී ඇති ලෝක ආර්ථික අර්බූදය හමුවේ එවැනි විදේශ විනිමය ලැබීම් මත තවදුරටත් අපේක්ෂා තැබිය නොහැකියි.

    ReplyDelete
    Replies
    1. මේ දිනවල තියෙන ගෝලීය වසංගත තත්ත්වය නිසා ලාංකීය ශ්‍රමිකයින් සඳහා වූ විදේශ රැකියා වෙළඳ පොළ මේ වෙනවිට හැකිලෙමින් පවතියි. 2019 ලංකාවේ විදේශ රැකියා සඳහා රටින් පිටවී ගිය 225,000 වෙනුවට 2020 ගියේ 52,000 ක් පමණයි. මේ වසරේ මෙය කෙසේ හෝ වැඩිකර ගත යුතුයි. ඒ වගේම ගෝලීය අර්බුදය නිසා ඇමෙරිකා සහ යුරෝපයෙන් අපනයන භාණ්ඩ සඳහා තිබූ ඉල්ලුම ඇද වැටීමෙන් ජපානයේ, සහ කොරියාවේ රැකියා වෙළඳපොල බිඳ වැටී ඇති අතර 2020 ඛණිජතෙල් මිළ පහළ යෑමෙන් පසු මැද පෙරදිග රටවල් ගත් ආරක්ෂණවාදී පියවර නිසා ඒ රටවල රැකියා වෙළඳපොල ද සිඳී ගොස් ඇති අතරම ලංකාවට ලැබුණු විදේශ ආයෝජන, ණය සහ ප්‍රදාන ද වියැකි යමින් පවතියි. තව ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ යාම සමග මූල්‍ය ආයතන ණය දීමට මැලි වීම සහ ඉහළ පොළියක් ඉල්ලීම ද ප්‍රශ්නයක්.

      ඒ අනුව මේ අනුව කරුණු කාරණා ගලපා බැලූ විට පෙනෙන්නේ රුපියල අවප්‍රමාණය කලොත් අපනයනකරුවන්ට යම් තාවකාලික සහනයක් ලැබුණත් පොදුවේ ගෙවුම් ශේෂයට සහ එමගින් නිල විදේශ විනිමය සංචිතයන්ට අහිතකර බලපෑමක් ඇතිවන බවයි.

      අනෙක් පැත්තෙන් ඒ සමගම විදේශ ආයෝජන අධෛර්යමත් වීමත් වෙනවා. පසුගිය යහපාලන රජය සමයේ බොහෝ ආයෝජකයන් ලංකාව හැර යාමට හේතුවක් තමයි රුපියල් අවප්‍රමාණ වීම සමග ඔවුන් ලංකාවේ කරණ ආයෝජන නැවත ඩොලර් කරගැනීමේදී වන පාඩුව.

      මේ නිසා පසුගිය වසර කිහිපය පුරාවටම දැඩි ලෙස පහත වැටුණු ලංකාවේ විදේශ විනිමය සංචිත ඉහළ නංවා ගැනීමට කළ යුත්තේ රුපියල අවප්‍රමාණය කිරීම නොව රට තුලට විවිධාකාර නිර්මාණශීලී උපක්‍රමයන් හරහා වැඩි වශයෙන් විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීමට උත්සුක වීමයි.

      මේ වනවිට රජය ක්‍රියාත්මක කර ඇති විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඩොලර් සුරැකුම්පත්හි ආයෝජන කිරීමට ඇරයුම් කිරීම සහ අනේවාසික විදේශ විනිමය ගිණුම් ශේෂ මත ඉහළ ප්‍රසාද පොලී ගෙවීම වැනි උපක්‍රම අතරේ රුපියලට ඇති ඉල්ලුම සහ සැපයුම අනුව එය ස්වාභාවිකව අවප්‍රමාණය වීමට ඉඩ හැරීම කොතරම් දුරට ප්‍රායෝගික ද? එහි අතුරු ප්‍රතිඵල කෙසේ විය හැකි ද?
      ඒ සමගම පහළ යන විදේශ සංචිත ඉහළ නංවා ගැනීම සඳහා අපනයන (භාණ්ඩ හා සේවා දෙඅංශයෙන්ම අපනයන සඳහා ගෙවීම්) ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීම අවශ්‍යයි. ඒ නිසා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අප කළ යුතු වන්නේ කුමන උපක්‍රමයන් ද?

      පේන විදියට කුමන ආර්ථික ප්‍රතිපත්ති හැදුවත් ක්‍රියාත්මක කළත් වැඩේ ලේසි නැහැ. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති (මුල් කාලයේ) ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුවානම් යම් ප්‍රගතියක් මේ වන ලංකාව අත් කරගන්න ඉඩ තියෙනවා. ඒත් එහෙම කරන්න බැරි වුනා. මොකද ගෝලීය තත්වය හා අපට නොපෙනෙන භූ දේශපාලනික බල අරගල නිසා. රටක් ගැන කතා කරද්දි ඒ රටේ අභ්‍යන්තරය පමණක් අරන් කතා කරන්න අපට බැහැ. එහෙම උනොත් ඒ අදහස් පක්ෂපාතී. මිත්‍යාවකුත් වෙනවා. මොකද ඕනෑම රටක් ලෝකයේ අනිත් රටවල් මත යැපෙනවා. සමාජවාදී කියුබාව හා උ. කොරියාවත් චීනය හා රුසියාව වගේ රටවලින් යැපෙනවා. මේ දවස් වල ලෝකයේ හැම රටකම ආර්ථික වේගය අඩු වෙමින් පවතිනවා. චීනයේ යම් තරමකින් හෝ ස්ථාවර තත්ත්වයක් තිබුණාට බොහෝ රටවල් විශාල වශයෙන් දුර්වලව පවතින බව පේනවා. එහෙම ආර්ථික වේගය වැඩි උන රටක් තියෙනවානම් කියන්න.

      ඒ වගේම ලංකාවේ සහ පිටරටත් ප්‍රශ්න ගැන කතා කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. බනින්න දොස් කියන්න වරද පටවන්න විවිධ දේශපාලන පක්ෂ වල හතුරෝ ද හොයාගන්න පුළුවන්.

      නමුත් මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න කවුරුත් නෑ. අපට ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල, IMF වගේ වැඩපිළිවෙලකට යන්න අමාරුයි. එතකොට ඒ කොන්දේසි අනුව රාජ්‍ය ආදායම් වැඩි කරන්න බදු පිට බදු ගහලා රජයේ ආදායම් වැඩි කරන්න වෙනවා. එතකොට ආණ්ඩුවට ජනතාව අමු තිත්ත කුණුහරුප වලින් අමතලා රනිල්, රවී, මංගල පාර්ලිමේන්තුවෙන් එළවලා 2019/ 2020 එජාපය හැඳි ගෑවිලා ගියා වගේ මේ ආණ්ඩුවත් ගෙදර යවයි. අනිත් පැත්තෙන් අධික බදු බර නිසා කර්මාන්ත වැසී රැකියා විරහිත තරුණ තරුණියන් විශාල අර්බුදයක් ඇතිවිය හැකියි. භාණ්ඩ හා සේවා මිල ඉහළ යමින් දැඩි විෂම චක්‍රයක් නිර්මාණය වෙයි. දැනටමත් කොවිඩ් නිසා අධ්‍යාපනයට බාධා, රැකියා අවස්ථා විරල වීම, විවාහ කල්යාම, ආනයන භාණ්ඩ සීමා නිසා විශාල ප්‍රමාණයේ පීඩනයක් රජයට ඇති වෙලා තියෙන්නේ, මේකට මොකද කරන්න පුළුවන් සැබෑ ප්‍රායෝගික විසඳුම්?

      Delete
  6. රාජ්‍ය ණය කියන එකේදී රාජපක්ෂලාට දොස් පවරලා තියෙනවා. ඒක වැරදිග ටිකක් හොයලා බලන්න ගිය ආණ්ඩුවේ ණය ගැනිල්ල. ඒවායෙන් කරපු සංවර්ධනය ගැන. ඒ නිසා පටු විදියට වර්ථමාන ආර්ථිකය දිහා බලලා විග්‍රහ කරන්න බෑ. රජය තමා වැරදි ජනාධිපති තමා වැරදි කියන එකෙන් අදහස් වෙන්නේ ඒ අයගේ දැනුමේ මට්ටම. දේශපාලන පක්ෂවලට කඩේ යෑමක්. විපක්ෂය කියන දේ අයගෙන ලොකු දේශපාලන විශ්ලේෂකයෝ ආර්ථික විශ්ලේෂකයෝ වගේ කතා කරනවා. ඇත්තටම ඕනෑම රටක ආර්ථිකයක් ගැන කතා කරද්දි ලෝක ආර්ථිකය සැලකිල්ලට ගත යුතුමයි.

    ReplyDelete
    Replies
    1. @ ධම්මික,

      ලංකාවේ මූල්‍ය කළමනාකරණය ඉතාමත්ම දුර්වල මට්ටමක පැවතුණේ අද ඊයේ නෙවෙයි ඉතින්. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා ගත් දිනයේ සිට මේ දක්වා ලංකාව 16 වතාවක් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇප වී අපිව බංකොලොත් වීමෙන් බේරාගෙන තිබෙනවා. ඒනිසා මුලින්ම අවබෝධ කර කරගන්න ඕන අපේ මූල්‍ය කළමනාකරණයේ තිබෙන දුර්වල බව.

      උදාහරණයක් විදියට 1988 වසරේ ඓතිහාසික ලෙස ලංකාවේ විදේශ සංචිත ඩොලර් මිලියන 200 ගණනකට පමණ සිඳී සති කිහිපයකට ආනයන කිරීමට මුදලක් පමණක් තිබී බංකොලොත් භාවයට ඉතාමත් සමාන තත්ත්වය උද්ගත වුණා. නමුත් එවකට මහබැංකුවේ ආචාර්ය වර්ණසේන රාසපුත්‍ර ඇතුළු පිරිසක් ඉතාමත් වෙහෙස මහන්සි වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැඩි ලෙස බැගෑපත් වී සහන ණයක් ලබාගෙන යාන්තම් රට බේරාගත් අතර මේ ගැන දන්නේ මූල්‍ය ක්ෂේත්‍රයේ අය හැරුණු කොට ඉතාමත් සුළු පිරිසක්. ඒ සමගම ක්ෂණිකව දකුණේ කැරැල්ල මර්දනය කර උතුරේ යුද්ධය ඉන්දියන් හමුදාවලට භාරදී රටේ භාණ්ඩ හිඟය හා ඉන්ධන හිඟය කැරලිකරුවන්ගේ පිට වැටුණු නිසා ආර්ථිකය අමාරුවෙන් ගොඩ දාගන්න එවර ලංකාවේ ආණ්ඩුවට පුළුවන් වුණා.

      ඒ වගේම 2008/09 කාලේ ලංකාවේ යුද්ධය සහ ගෝලීය ආර්ථික අවපාතය හමුවේ ලංකාවත් මේ වගේම දුර්වල වී සංචිත ඩොලර් බිලියන දෙකක් පමණ අඩුවූ අතර එවෙලේ කබ්රාල් ඇතුළු පිරිසක් එසේම බැගෑපත් වී ඩොලර් බිලියන එක හමාරක් ඉල්ලා සිටියා. නමුත් මේක තරමක් කල්ගිය නිසා ජනපතිවරයා ලිබියාවේ මුවම්මර් ගඩාෆි ජනපතිගෙන් ඩොලර් මිලියන පන්සියයක් අතමාරුවක් ඉල්ලුවා. ඒ සමගම යුද්ධය අවසන් වී ආර්ථිකය ෂේප් කරගැනීමට අවස්ථාව ලැබුණා.

      කෙසේ නමුත් ලංකාවේ මේ ණය අර්බුදයට මූලිකම හේතුව ඇමරිකන් ඩොලර් වලින් වෙළඳපොලේ ඉතා ඉහල පොළියට කෙටි කාලීනව ලබාගත් ණය කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන කටයුතු වෙනුවෙන් වියදම් කිරීමයි.

      එහි වරද එක රජයක් මත පමණක් පැටවිය හැකි වරදක් නොවේ.

      ඩොලර් වලින් ණය ලබා ගත් විට ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වන නිසා එම ණය නැවත ගෙවිමේදී රුපියල අවප්‍රමාණය වන මුදලත්, පොලියත්, ලබාගත් ණය මුදලත් යන තුනම රජයට වියදමක් වන අතර එය කෙසේ හෝ රජයෙන් ගෙවිය යුතුයි.

      ප්‍රාග්ධන වියදම් ව්‍යාපෘති ගත්තාම ලංකාවේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට අනුව නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය, අධිවේගී මාර්ග ආදිය ඉතා ලාභදායී ව්‍යාපෘති වන නමුත් එතරම් ප්‍රතිලාභ ලබන ඇතැම් ව්‍යාපෘති වල අවම තරමේ ලබාගත් ණයෙන් කොටස්ක්වත් ගෙවා ගත නොහැකියි. ඇතැම් ව්‍යාපෘති වලට සාර්ථක ලෙස මූල්‍ය ශක්‍යතා අධ්‍යයනයන් කළ බව පෙනෙන්නට නෑ.

      රජයට ණය ලබාගැනීමේ අනෙකුත් ක්‍රම වලටවලට සාපේක්ෂව මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීමේදී ණය මුදල එකවර ගෙවීමට සිදුවනවා. ඊළඟ කාරණේ ණය කළමනාකරණය හා මූල්‍ය ප්‍රතිපත්තිය ගැන ලංකාවේ ජනතාව කෙසේ වෙතත් මූල්‍ය ප්‍රතිපත්තිය හසුරුවන ඉහළ පුටුවල ඉන්න බොහෝ දෙනකුට ඇති අනවබෝධයයි. උදාහරණයක් විදියට ලංකාවේ රජය අනවශ්‍ය ලෙස මුදල් සැපයුම් නිකුත් කරන එක (අච්චු ගැසීම) ආනයන දිරිගැන්වීමක් බව බොහෝ මූල්‍ය විශ්ලේෂකයන්ට තවමත් නොතේරෙන කාරණයක්. එබැවින් හැමදාටම මූල්‍ය අර්බුදයකදී ඔවුන් ලබා දෙන විසඳුම වුණේ ආනයන තහනම් කර වැඩි වැඩියෙන් මුදල් අච්චු ගැසීමෙන් රජයේ වියදම් පියවා ගැනීමට යෑමේ උපක්‍රම‍යයි. අවාසනාවකට මෙන් මේ රජය ද අවස්ථා ගණනාවක්දී අසාර්ථක වූ එම උපක්‍රමයම අනුගමනය කරමින් සිටියි.

      මෙය තහවුරු කිරීමට 2020 ජනවාරි මාසේ ලංකාවේ ආර්ථිකය සහ දැන් පවතින ආර්ථික තත්වය සංසන්දනය කිරීම ප්‍රමාණවත්. 2020 ජනවාරි මාසයේදී Covid 19 තත්ත්වයට පෙර දළ වශයෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 184 ක් අගයකටත්, ආර්ථික වර්ධනය ධන අගයක් ලෙසත් පැවතුණා. 2020 මුල භාගයේ ඩොලර් බිලියන පහකට ආසන්න විදේශ සංචිත ප්‍රමාණයක් පැවතුනත් 2021 ජූලි වල වාහන ආනයන සහ අනෙක් ආනයනත් සෑහෙන කපාහැර පවා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 226ක සත්‍ය අගය (නිල අගය 200 යි) කට ආසන්න වෙලාත් ආර්ථිකය ඍණ වේගයක් සහ රටේ සංචිත ඩොලර් බිලියන 4 ක පමණ ප්‍රමාණයකටත් අඩු වෙලා. ඊට අමතරව ලෝක වෙළදපොලේ බොර තෙල් මිල 2020 වසර පුරාම ඉතා විශාල ලෙස අවම වී, ඇමරිකා එක්සත් ජනපදයද ඉතිහාසගත ලෙස ඩොලර් ට්‍රිලියනය ඉක්මවායන විශාල මුදල් ප්‍රමාණයක් සැපයුම් (මුද්‍රණය) කළ නිසා ලංකාවේ රුපියලට එල්ල වීමට තිබූ බලපෑම් අවම වී ඇති එකත් අපි සැලකිල්ලට ගත යුතුයි නේද?

      Delete
    2. මේ දවස්වල තියෙන ගෝලීය වසංගත තත්වයන් යටතේ ලංකාවේ ආර්ථිකය වර්ධනය නොවීම පැහැදිලි නමුත් අපේ අපනයන ආදායම කොවිඩ් 19 තත්ත්වයට කලින් තත්වයටම හෝ ඊට ආසන්න ගානකට ගෙන ඒමට දැන් ලංකාවට හැකි වෙලා. 2021 ජනවාරි ඉඳලා මැයි දක්වා හැම මාසෙකම USD බිලියන 1ක් හෝ ඊට ආසන්න අගයක්. මේ වගේම විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් ද එම ගානට පැමිණ ඇතත් අපට මූලිකව බරපතල ලෙස බලපා ඇත්තේ මේ කොවිඩ් 19 තත්ත්වයන් නිසා සහ කලින් 2019 ප්‍රහාරය සමග සංචාරක ක්ෂේත්‍රයට සිදු වූ දැඩි බලපෑම.

      ඉතින් මේ වගේ තත්වයකදී මේ තරම් ආනයන තහනම් කරත් ආර්ථිකය මේ තරම් අසීරු තත්ත්වයකට පත්වීමේ මූලික හේතුව ලංකාවේ රජය අනවශ්‍ය ලෙස මුදල් සැපයුම (අච්චු ගැසීම) සහ එසේ කරමින් රජයේ වියදම් කිරීමට උත්සාහ කිරීම.

      ලංකාවේ ආණ්ඩුව හිතන්නේ අපනයන අදායම් වලින් සහ ප්‍රේෂණ ලෙස ලැබෙන මුදල් වලින් රටේ ණය කළමණාකරණය කල හැකිය කියලා නම් පසුගිය ණය වාරික සහ ඉන්දියාවෙන් ලබා ගෙන තිබූ SWAP පියවීමේදී රටේ විදේශ සංචිත භාවිතා කිරීමට වුණේ ඇයි?

      මේකට හේතුව විදියට ආනයන තහනම් කර මුදල් අච්චු ගැසීම සහ සංචිත වල ඇති ඩොලර් යොදාගනිමින් රුපියල ස්ථාවර කිරීමට උත්සාහ කිරීම විශාල ගුණයකින් ආනයන වැඩි කිරීමට උල්පන්දම් දීමක්.

      මේ නිසා එහි බලපෑම ආනයන තහනම් කර ඉතුරු කිරීමට උත්සහ කරන ඩොලර් ගණනට වඩා ඉතාමත් විශාල අගයක්. මේ නිසා ආනයන වැඩි වීමට අමතරව ඉදිරියට උද්ධමනය වැඩි වීමෙන් ජනතාව දුප්පත් වී ජීවන තත්වයට විශාල බලපෑමක් එල්ල වෙන්න පවා අවදානමක් තියෙනවා.

      Delete
    3. රජයේ මුදල් සැපයුම් වැඩි කිරීමත් සමග (අච්චු ගැසීම) ආනයන වැඩිකිරීම හා විදෙස් සංචිත ක්ෂයකිරීමේ ක්‍රියාවක්, ඒ ලංකාවේ මූල්‍ය වෙළදපොලේ හැටි.

      ලංකාවට මේ වෙලාවේ විශාල රිස්ක් එකක් ගන්න වෙනවා, ඒ උනත් හොඳ මූල්‍ය ප්‍රතිපත්ති (Monetary policy) සහ රාජ්‍ය මූල්‍ය කළමණාකරණයක් (Fiscal policy) තියෙනවා නම් ලංකාවෙ රජයට මේ ණය අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වේවි. ලංකාවට ණය අර්බුදයේ බොහෝ ප්‍රශ්න ඇතිවීමට ප්‍රධාන හේතුව විදියට ලංකාවේ මූල්‍ය ක්‍රමය ගැන පවතින මිථ්යා අදහස් සහ එය කළමණාකරණය කිරීමට ඇති නොදැනුවත් භාවයයි. ලංකාවට රාජ්‍ය ණය ගෙවීමේ තත්ත්වය පිළිබඳව රජය මීට වඩා ගැඹුරින් කල්පනා කරලා සෑහෙන දුරට උපක්‍රමශීලීව වැඩ කරමින් රට ඇතුලට එන සහ රටින් පිටයන ඩොලර් වලින් පමණක් ලංකාවේ ණය කළමනාකරණය ගැන හිතන එක ඒ තරම් හොඳ මදි වගේ. මොකද ලංකාවතුළට අපනයන ආදායම් (Export), ප්‍රේෂණ (Remittences) සෘජු විදේශ ආයෝජන (FDI- Foreign Direct Investments) වගේ දේවල් වලින් වැඩිපුර ඩොලර් එන එක ඉතාමත් වැදගත්. හැබැයි එහෙම එන කිසිම ඩොලරයක් අයිතිය ලංකාවේ රජය සතු නොවන බව දැඩිව අවධාරණය කළ යුතුයි. ඒ ඩොලර් වල අයිතිය තියෙන්නේ ඒ පෞද්ගලික මුදල් එවන අදාළ පුද්ගලයන්ට.

      මේ හින්දා ඒ ඩොලර් ලංකාවේ රජය සතු රුපියල් වලට හුවමාරු කරවීමට ගලපෙන මූල්‍ය ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. නමුත් රජයේ විදෙස් ණය ගෙවීම රජයේ වගකීමයි.

      මේ නිසා ලංකාවේ බැංකු පද්ධතිය හරහා ඒ ඩොලර් හිමි අයගෙන් ඩොලර් මිලදී ගැනීමටත් එහෙම එකතු වන ඩොලර් මහ බැංකුව මගින් මිලදී ගැනීමත් සක්‍රියව කිරීමට අවශ්‍ය මූල්‍ය පරිසරය සකස් කළ යුතුයි.

      මේක ආණ්ඩුව බලෙන් කරන්න යන එක අවදානම්. ඇමරිකන් ඩොලර් ගිණුමකට දෙන පොළී අනුපාත ලංකා රුපියල් වලට දෙන පොලී අනුපාතෙට වඩා වැඩි මූල්‍ය පරිසරක ඩොලර් අතේ ඇති අපනයනකරුවන් තමන්ගේ ඩොලර් රුපියල් බවට පත් කරගෙන රුපියල් ගිණුමක ඉතුරු කිරීම වෙනුවට ඩොලර් ගිණුමේම තබා ගැනීම ඉතාමත්ම ස්වභාවිකයි (වැඩි පොළියක් වගේම රුපියල අවප්‍රාමාණය වීමෙන් එන වාසියත් පසුව ලැබෙනවා). ඒ නැතත් රුපියල අවප්‍රාමාණය වීමෙන් සිදුවන පාඩුව නෑ. රජය මේකට උදැල්ල දදා තහංචි පැනවීමෙන් ඔවුන් පිටරට ගිණුම් වල මුදල් තැන්පත් කර එම මුදල් ලංකාවට නොගෙන්වීමට පෙළඹිය හැකියි.

      Delete
    4. අපේ මහා බැංකුවේ අධිපති තුමා ආර්ථික විද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තුමෙක්.
      මේ ලඟකදී බැසිල් තුමාට තමා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්ට පුළුවන් කිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර මහතාත් ආර්ථික විද්‍යාව පිලිබඳ මහාචාර්ය තුමෙක්. ඔබ කියන්නේ මේ දෙන්නාම ආර්ථික විද්‍යාව ගැන නොදන්නා ය බවද? එසේ නම් මෙතෙක් කල් ඔවුන් විශ්ව විද්‍යාලවල උගන්වා ඇත්තේ මොනවාද?
      බරපතල ප්‍රශ්න.

      Delete
  7. Economatta,

    You may aware about the G7's new concept of B3W (Build Back Better World) which seems to be another carrot to cheat developing countries to deprive their development with the help of Chinese investments.

    However my doubt is these so called developed world powers were so much worried about the so called Chinese debt trap in the last decade or so.

    Then why G7 wants to copy China's BRI if its a debt trap? Could you please explain?

    Isn't IMF loans a debt trap charging high interest rates and no infrastructures to jointly build in the countries like what China does and even provides job opportunities to the locals.

    In my opinion BRI might be the China’s way to make it easier for them to do business with the rest of the world. get their raw materials easier, ship it to China, then produce high value goods to be send to the rest of the world easily. I see good economic sense in that but as usual, politics get in the way, like East vs West… ... hmmm… ... sigh… ...

    ReplyDelete
    Replies
    1. //Isn't IMF loans a debt trap charging high interest rates//

      This assertation is incorrect. IMF charges only 0.05% on its SDR loans now. That is virtually 0% and by no means a high rate.

      Delete
  8. ඉකොනොමැට්ටා,

    ඔබ දන්නවා ඇති නේද ලංකාවේ රජයට අයත් කෙරවලපිටියේ පිහිටි යුගදනවි ඉන්ධන විදුලි බලාගාරයෙන් 40%ක කොටස් ප්‍රතිශතයක් පමණක් ඇමෙරිකා එක්සත් ජනපදයේ පෞද්ගලික අංශයේ ආයතනයක් වන New Fortress Energy සමාගමට අලෙවි කිරීමට ළඟදී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඇමති ලෙස පත් වූ ඇමරිකන් ජාතිකයා සහ ඇමරිකානු පුරවැසි නන්දසේන ජනපතිවරයාගේ දැඩි බලපෑම් මත මුදල් අමාත්‍යාංශය මූලික එකඟතාව අත්සන් තබා ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා?

    ඒ වගේම ලංකාවේ විශාලතම ව්‍යාපෘතිය වන ඩොලර් බිලියන එක හමාරක් විතර වූ පෝට් සිටි එකේ ඉදිකිරීමටත් වඩා වැඩි ඩොලර් බිලියන තුනක් ඉක්මවා යන නව බොරතෙල් පිරිපහදුව ලංකාවටත් ලාභදායී ලෙස නයිජීරියාවේ සමාගමක් ආයෝජනය කිරීමට සූදානම් වූ නමුත් මේ වන විට එයත් ඇමරිකානු එක්සත් ජනපදයේ සමාගමකට බීඕටී ලෙස ලබා දීමට ලංකාවේ ආණ්ඩුව මෙහෙයවන ඇමරිකානු පුරවැසියන් කටයුතු කරන බව ජවිපෙ සහ සජබ විසින් හෙළිදරව් කළා.

    ඒ වගේම පහුගිය දවස් වල ලංකාවෙ ආණ්ඩුව සල්ලි වලට ඉන්දීය, රුසියානු සහ චීන කොවිඩ් එන්නත් මිලදී ගැනීම ගැන ජවිපෙ සහ සමගි ජන බලවේගය විසින් මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ මේ වැක්සීන් සියල්ල නොමිලේම ලංකාවට ලබාගත හැකිව තිබූ බවත් රාජපක්ෂ හොර මුල විශාල වශයෙන් කෝටි ප්‍රකෝටි ගණනින් කොමිස් ගැසීමට මේවා රජයේ මුදල් වියදම් කරලා ගෙන ආ බවයි. ජවිපෙ පැවසුවේ චීනයෙන් නොමිලේ සයිනොෆාර්ම් ලබාගත හැකි බව සහ සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ කැනඩාව වැනි රටවල් තම ජනගහනය මෙන් කීප ගුණයක් එන්නත් ලබා ගෙන ඇති බවත් ලංකාවට පහසුවෙන්ම එම වැඩිපුර තියෙන එන්නත් නොමිලේම ලබා ගැනීමට පුළුවන් බවයි.

    කරුණු කාරණා එසේ තිබියදී නූතන දූෂිත රාජපක්ෂ රෙජීමය මෙහෙයවන ඇමරිකානු ජාතික බැසිල් රාජපක්ෂ විසින් ඉතාමත් මිල අධික ඇමරිකානු පෛසර් එන්නත් ලක්ෂ දෙක හමාරක් රජයේ මුදලින් මිලදී ගෙන ලංකාවට ගෙනා අතරම තවත් ඇමරිකානු මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් ලබන සිකුරාදා ජූලි දාසයදා ඇමරිකා එක්සත් ජනපදයේ සිට ලංකාවට ගෙන එන බව සොෟඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මාධ්‍ය වලට කියූ කතාව අනුව මෙම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 න් 750,000 කට පළමු මාත්‍රාව ලෙසත්, මසකට පසු ඉතිරි මාත්‍රා 750,000 දෙවන මාත්‍රාව ලෙසත් ජනතාවට ලබා දීමට සොෟඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කරනවා.

    ඇමරිකානුවන් විසින් මෙහෙයවනු ලබන මේ දූෂිත අසික්කිත කාලකන්නි ඇමරිකානු ගැති රාජපක්ෂ මිලිටරි රෙජීමයේ මෙම ජඩ ප්‍රතිපත්ති නිසා ලංකාවේ ආර්ථිකය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයද ඉතා අර්බුදකාරී තත්ත්වයකට පත්වීම නිසැකයි. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද?

    ReplyDelete
  9. ඉකො, යුනයිටඩ් කිංඩම් හෙවත් මහා බ්‍රිතාන්‍ය එක්සත් රාජධානියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළකරමින් චීනය විසින් සකස් කළ ඒකාබද්ධ ප්‍රකාශයකට ලංකාවත් අත්සන් තබා තිබෙනවා කියල මේ දවස්වල ලංකාවේ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

    ඒ අනුව මේ ඒකාබද්ධ ප්‍රකාශය ජිනීවා වල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මේ වන විට පැවැත්වෙන 47වැනි සැසිවාරය හමුවට ඉදිරිපත් කරලා තියෙනවා.

    “රටවල් සමූහයක් වෙනුවෙන් කතා කිරීමට ලැබීම අපට මහත් ශක්තියක් සහ ගෞරවයක්.
    බ්‍රිතාන්‍ය එක්සත් රාජධානිය නමැති නොදියුණු ගෝත්‍රික රටේ තියෙන අශිෂ්ට පහත් මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අපගේ ගැඹුරු කනස්සල්ල ප්‍රකාශ කරමු. බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් පතුරවන ගෝත්‍රික වර්ගවාදය, වාර්ගික වෙනස්කම් කිරීම, වෛරී කථාව (Hate speech), භීතිකා රෝගී තත්ත්වය (Xenophobia) සහ ඒ හා සම්බන්ධ ගෝත්‍රික වර්ගවාදී ප්‍රචණ්ඩත්වය එක්සත් රාජධානියේ බොහෝ කලක සිට පවත්වාගෙන යන ඉතාමත් අශික්ෂිත අශිෂ්ට පහත් සංස්කෘතික අංගයක්” බව ජිනීවා වල චීන දූත පිරිස ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අනතුරුව පවසා තිබුණේ.

    ඒ සමගම යටත් විජිතකරණය හරහා අන්තිම අශික්ෂිත වහල් මෙහෙය නිත්‍යානුකූලභාවයක තබාගෙන අප්‍රිකානුවන් මිනිස් වෙළඳාම් ජාවාරමේ සිටම එක්සත් රාජධානියේ ඉතිහාසය පුරා අද දක්වාම මේ වාර්ගික වෙනස්කොට සැලකීම් දක්නට ලැබෙන බවද චීන දූත පිරිස එහිදී අවධාරණය කරමින් ප්‍රකාශ කළා.

    මේ වගේම එක්සත් රාජධානියේ හමුදා සේවයේ නියුතු පිරිස් විදේශ රටවල් අත්පත් කරගැනීම සඳහා ආක්‍රමණශීලී මෙහෙයුම් වලදී නිරායුධ අහිංසක සිවිල් වැසියන් බුරුතු පිටින් විශාල වශයෙන් ඝාතනය කර ඇති අතර නව නීති සම්පාදනය මගින් නිසි වගවීමකින් තොරව අදාළ ඝාතකයන් ආරක්ෂා කිරීමට උත්සාහ කළ බවට එක්සත් රාජධානියට චෝදනා එල්ල වී තිබෙන බවද මෙහිදී ඉතාමත්ම පැහැදිලි ලෙස සියලු සාධක සහිතව පෙන්වාදීලා තියෙනවා.

    මේ වගේම එක්සත් රාජධානිය තමන්ට කිසිසේත්ම අදාල නොවන වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට බලහත්කාරයෙන් ඇඟිලි ගැසීමට මානව හිමිකම් යන වැදගත් අදහස කඩතුරාවක් ලෙස යොදා ගනිමින් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට මානව හිමිකම් ගණිකා වෘත්තියේ යෙදවීමට කටයුතු කරන බවටද චීනය වැඩිදුරටත් චෝදනා කර තිබෙන අතර මේ චෝදනා මීටත් වඩා ගොඩාක් බරපතළ ලෙස ඇමරිකානු එක්සත් ජනපදයට අදාළවන බව පේනවා නේද? මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: