වෙබ් ලිපිනය:

Wednesday, November 30, 2022

උද්ධමනය මනින හැටි

උද්ධමනය මනින්නේ කොහොමද? කොළඹ පාරිභෝගික මිල දර්ශකය හා ජාතික පාරිභෝගික මිල දර්ශකය අතර වෙනස කුමක්ද? මේ දර්ශක වල තිබෙන භාණ්ඩ හා සේවා මොනවාද? උද්ධමනය මනින්න මිල ගණන් එකතු කර ගන්නේ කොහෙන්ද? "මහ පොළොවේ උද්ධමනය" වඩා නිවැරදිද?

#ඉකොනොමැට්ටා




උද්ධමනය තවත් පහළ වැටේ!


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුණු 2022 නොවැම්බර් මාසයේදී උද්ධමනය 61.0% දක්වා පහත වැටී තිබෙනවා. සැප්තැම්බර් මාසයේදී මෙම අගය 69.8% මට්ටමේ පැවති අතර ඔක්තෝබර් මාසයේදී 66.0% දක්වා පහත වැටුණා. මේ අනුව, පසුගිය දෙමස තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන උද්ධමනය ප්‍රතිශතාංක 8.8%කින් පහත වැටී තිබෙනවා. 

උද්ධමනය අඩු වීම යනු බඩු මිල වැඩි වීමේ වේගය අඩුවීමක් මිස බඩු මිල අඩු වීමක් නොවූවත්, පසුගිය දෙමස තුළම බඩු මිලද අඩු වී තිබීම විශේෂත්වයක්. සමස්තයක් ලෙස කොළඹ බඩු මිල පෙන්වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඔක්තෝබර් මාසයේදී 0.4%කින් හා නොවැම්බර් මාසයේදී තවත් 0.5%කින් පහත වැටී තිබෙනවා. 

ආහාර මිල දර්ශකයේ පහත වැටීම පිළිවෙලින් 2.0%ක් හා 1.5%ක්. මේ අනුව, සැප්තැම්බර් මාසයේදී 94.9%ක් වූ ආහාර උද්ධමනය නොවැම්බර් වන විට 73.7% දක්වාම පහත වැටී තිබෙනවා. ආහාර නොවන උද්ධමනයද 54.5% දක්වා පහත වැටී තිබෙනවා. 

නොවැම්බර් මාසය තුළ හාල්, තිරිඟු පිටි, පාන්, පරිප්පු, සීනි, කුකුළු මස්, මාළු, පළතුරු, එළවළු ආදී ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල ගණන් පහත වැටී තිබෙනවා. ආහාර නොවන කාණ්ඩයේ ඉන්ධන මිල පහත ගොස් ඇතත්, ඇඳුම්, පාවහන්, මත්පැන් හා දුම්වැටි, උසස් අධ්‍යාපන පාඨමාලා ගාස්තු, වෛද්‍යවරුන්ගේ චැනල් ගාස්තු හා ෆාමසි වලින් ගන්නා බෙහෙත් මෙන්ම හෝටල් ගාස්තු ආදියේ මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා, ආහාර නොවන උද්ධමනය සුළු වශයෙන් අඩු වී ඇතත් සමස්තයක් ලෙස මිල ගණන් අඩු වී නැහැ. 

ඇතැම් අයගේ විශ්ලේෂණ අනුව පසුගිය මාසයේ උද්ධමනය අඩුවීම අහම්බයෙන් සිදු වූ සුළු අඩුවීමක් මිස මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ප්‍රතිඵලයක් නෙමෙයි. එය එසේ නොවන බව නොවැම්බර් මාසයේදී උද්ධමනය තවදුරටත් අඩු වීමෙන් පැහැදිලිව පේනවා.

Monday, November 28, 2022

ඵලදා වක්‍රය, ද්‍රවශීලතාව හා පොලී අනුපාතික


අතේ කීයක් හරි සල්ලි තියෙන අය අහන පොදු ප්‍රශ්නයක් ගැන කලින් සටහනෙනුත් කතා කළානේ. 

"මගේ අතේ අමාරුවෙන් එකතු කර ගත්ත ලක්ෂ දහයක් තියෙනවා. මම මේ කල්පනා කරන්නේ මේ සල්ලි මාස තුනකට FD දානවද නැත්නම් අවුරුද්දකට දානවද කියලා...."

ඕක තමයි ප්‍රශ්නයේ පොදු ආකෘතිය. මේ ප්‍රශ්නය ඇතුළේ තිබෙන සැඟවුණු ප්‍රශ්නය ඉදිරි කාලයේදී පොලී අනුපාතික අඩු වෙයිද කියන එක. 

අද 25% පොලියට අවුරුද්දකට සල්ලි දමලා මාස තුනකින් ඔය පොලී අනුපාතය 30% වුනොත්, අද ගත්ත තීරණය ගැන පසුතැවීමක් ඇති වෙනවනේ. ඔය විදිහටම, අද අද 25% පොලියට අවුරුද්දකට සල්ලි දමන්න පුළුවන්කම තියෙද්දී මාස තුනකට සල්ලි දමලා තව මාස තුනකින් පොලිය 20% වුනොත්, ඒත් හිතෙනවනේ අපරාදේ කියලා. ප්‍රශ්නයේ පසුබිම ඕකයි.

එහෙමනම්, පොලී අනුපාතික වලට කුමක් වෙයිද? ඒ ගැන කාගෙන් හරි දන්න කියන කෙනෙක්ගෙන් අහලා අදහසක් ගත්තොත් පස්සේ ඔය වගේ පසුතැවීම් වෙන එක වලක්වා ගන්න පුළුවන් වෙන එකක් නැද්ද?

සරල හා කෙටි පිළිතුර "නෑ" කියන එකයි. ඒ ඇයි?

පොඩ්ඩක් ඔය ගණුදෙනුවේ අනෙක් පැත්තේ ඉන්න කෙනාගේ සපත්තුවට බැහැලා බලන්න. ඔබ ණය දෙන්නෙක්නම් ගනුදෙනුවේ අනෙක් පැත්තේ ඉන්නේ ණය ගන්නෙක්. පොලී අනුපාතික අඩු වෙන්න යනවානම්, වැඩි කාලයකට වැඩි පොලියකට සල්ලි ණයට දෙන එක (සල්ලි බැංකුවේ දමනවා කියන්නේ බැංකුවට සල්ලි ණයට දීමක්) ඔබට ලාබයි. නමුත් බැංකුවට (ණය ගන්නා පුද්ගලයාට හෝ ආයතනයට) පාඩුයි. ඔබට ලාබ ගන්න ඉඩ දී බැංකුව පාඩු කර ගනියිද?

බැංකුවක් පාඩුවට ණය දෙන්නේ නැහැ වගේම ණය ගන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට ඔබට බැංකුවකින් ලැබෙන පොලී අනුපාතිකය ණය ඉල්ලුම හා ණය සැපයුම සමතුලිත වන පොලී අනුපාතිකයයි. එක් එක් කල් පිරීම් සඳහා ණය ඉල්ලුම හා ණය සැපයුම වෙනස් වෙන ආකාරය අනුව පොලී අනුපාතිකත් වෙනස් වෙන්න පුළුවන්. 

ඉදිරියේදී පොලී අනුපාතික අඩු වෙන්න යන බව ගොඩක් අයට පේනවානම් වැඩි කාලයකට සල්ලි දමන්න යද්දී ලැබෙන පොලී අනුපාතිකත් අඩු වෙනවා. ඒ නිසා, කෙටිකාලීනව සල්ලි දමනවාද නැත්නම් දිගුකාලීනව දමනවාද කියන එකේ විශාල වෙනසක් නැහැ. එය තීරණය වෙන්නේ බොහෝ දුරට ඔබේ පෞද්ගලික අවශ්‍යතා හා රුචිකත්වයන් මතයි.

බැංකු වල පොලී අනුපාතික තීරණය කරන්නේ අදාළ බැංකු වල නිලධාරීන් විසින්. හැබැයි ඔවුන් ගොඩක් වෙලාවට මේ වැඩේ කරන්නේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ දිහා බලාගෙන. පොලී අනුපාතික වල දිශානතිය මූලික වශයෙන්ම තීරණය වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙළඳපොළ තුළයි. 

පහළ තියෙන්නේ පසුගිය (2022) නොවැම්බර් 23 දිනෙන් අවසන් වූ සතියේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ඵලදා (පොලී) අනුපාතික.

මාස 3 31.25%

මාස 6 28.55%

මාස 12 28.36%

වසර 2 26.22%

වසර 3 27.82%

වසර 4 27.18%

වසර 5 27.60%

වසර 6 26.99%

වසර 8 26.87%

වසර 10 27.59%

වසර 15 25.33%

වසර 20 22.83%

වසර 30 21.44%

මේ පොලී අනුපාතික වලින් කියැවෙන්නේ කුමක්ද? පළමුව, දැන් තිබෙන පොලී අනුපාතික ක්‍රමයෙන් අඩු වීමට නියමිත බව. දෙවනුව, පොලී අනුපාතික එසේ අඩු වුනත්, තව දුරටත් සැලකිය යුතු ඉහළ මට්ටමක පවතිනු ඇති බව.

හැබැයි මතක තියාගන්න මේ තියෙන්නේ පොලී අනුපාතික පිළිබඳව මම කරන පුරෝකථනයක් නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ගනුදෙනු කරන අය මේ මොහොතේ හිතන විදිහ. මේ ගොඩේ ඉන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩිය මූල්‍ය වෙළඳපොළ ගැන දැනුවත් ලොකු සල්ලි කාරයෝ හෝ ආයතන කියන එකත් අපට අමතක කරන්න බැහැ. 

මේ පොලී අනුපාතික වලින් නිරූපණය වෙන්නේ මූල්‍ය වෙළඳපොළ ගැන දැනුවත් ලොකු සල්ලි කාරයෝ හෝ ආයතන හිතන විදිහ වුනත්, ඒ හේතුව නිසාම මේ හිතන විදිහා සියයට සියයක් නිවැරදි බව අදහස් වෙන්නේ නැහැ. කාට වුනත් නිගමන වලට පැමිණිය හැක්කේ දැනට තිබෙන තොරතුරු මත පදනම්වයි. කලින් දැන නොසිටි අලුත් තොරතුරක් හමු වූ විට පරණ නිගමන වෙනස් වෙනවා.

ඉහත ඉදිරිපත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර කල් පිරීමේ කාලය හා පොලී (ඵලදා) අනුපාතික අතර සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරයකට තමයි ඵලදා වක්‍රය කියා කියන්නේ. අලුත් තොරතුරු ලැබෙද්දී ඵලදා වක්‍රය වෙනස් වෙනවා. මේ අලුත් තොරතුරු මහ බැංකුවේ හෝ රජයේ තීරණයක්, ජාත්‍යන්තර සිදුවීමක් හෝ රට ඇතුළේ සිදුවන දේශපාලන පෙරළියක් වැනි ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. නමුත්, මේ මොහොතේ තිබෙන තොරතුරු මත පදනම්ව විශ්ලේෂණය කළොත්, පොලී අනුපාතික වල දිශානතිය පිළිබඳ හොඳම විශ්ලේෂණය තියෙන්නේ ඵලදා වක්‍රය ඇතුළේ කියා කියන්න පුළුවන්. 

මේ මොහොතේ දැකිය හැකි ඵලදා වක්‍රයෙන් කියැවෙන්නේ කුමක්ද? 

ඔබේ අතේ සල්ලි තිබේනම් ඔබට වසර 30ක කාලයක් යන තුරුම වුවත් 21.44%ක වාර්ෂික පොලියක් ලබා ගැනීමේ අවස්ථාව තිබෙන බවයි. භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කර ඒ මට්ටමේ පොලියක් ලබා ගත හැකිනම් බැංකුවක් කීයටවත් ඊට වඩා අඩු පොලියකට ණය දෙන්නේ නැහැ. 

මේ මොහොතේ දැකිය හැක්කේ පහළට නැඹුරු වූ ඵලදා වක්‍රයක්. එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. බොහෝ විට දැකිය හැක්කේ ඉහළට නැඹුරු වූ ඵලදා වක්‍රයක්. පහළින් තියෙන්නේ 2022 මාර්තු 2 දිනෙන් අවසන් වූ සතියේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ඵලදා වක්‍රය.

මාස 3 8.50%

මාස 6 8.61%

මාස 12 8.76%

වසර 2 9.58%

වසර 3 10.96%

වසර 4 12.15%

වසර 5 12.34%

වසර 6 12.38%

වසර 8 12.61%

වසර 10 12.73%

වසර 15 12.77%

වසර 20 12.45%

වසර 30 12.08%

මේ විදිහට තිබුණු ඵලදා වක්‍රය සති පහකට පසුව, එනම් 2022 අප්‍රේල් 6 දිනෙන් අවසන් වූ සතිය වෙද්දී වෙනස් වී තිබුණේ මේ විදිහටයි. 

මාස 3 12.25%

මාස 6 12.21%

මාස 12 12.50%

වසර 2 13.16%

වසර 3 14.49%

වසර 4 14.77%

වසර 5 14.88%

වසර 6 15.10%

වසර 8 15.55%

වසර 10 15.46%

වසර 15 15.67%

වසර 20 15.70%

වසර 30 15.74%

මම හිතන්නේ හැම කල් පිරීමේ කාලයක් සඳහාම පොලී අනුපාතික වල 2.50%-3.75% අතර වැඩිවීමක් සිදු වී ඇති බව කාට වුනත් පැහැදිලිව පේනවා. මේ වැඩිවීමට එක් හේතුවක් වුනේ මාර්තු 4 වනදා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 6.5%-7.5% මට්ටම දක්වා 1%කින් වැඩි කිරීම. ඩොලර් පෙග් එක රුපියල් 200 මට්ටමේ තියා ගන්න බැරුව අත අරින්න වුනෙත් ඔය කාලය ඇතුළතයි. ඊට අමතරව අරගලය පටන් ගත්තෙත් ඔය කාලය ඇතුළත. මේ සියල්ල සිදුවුනේ වත්මන් මහ බැංකු අධිපති විසින් ධුරය භාර ගන්න කලින්. 

අලුත් අධිපති විසින් වැඩ භාරගත් වහාම (අප්‍රේල් 8) මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 13.5%-14.5% දක්වා 7%කින් වැඩි කළා. ඒ අප්‍රේල් 8 වනදා. ඊට පස්සේ ජූලි 6 වනදා තවත් 1%කින් වැඩි කළා. ඒ කියන්නේ දැන් තිබෙන 14.5%-15.5% මට්ටම දක්වා. සමහර විට මුල් වැඩි කිරීම කරන්න ඇත්තේ ඒ වෙද්දී තිබුණු ද්වීතියික වෙළඳපොළ ඵලදා වක්‍රය දිහා බලාගෙන. ඒ වෙද්දී වසර 2-3 අතර කල් පිරෙන බැඳුම්කර වල ඵලදා අනුපාතික තිබුණේ ඔය කිට්ටුව. සාමාන්‍යයෙන් මුදල් ප්‍රතිපත්ති වලින් ඉලක්ක කරන්නෙත් ඔය වගේ කාලයක්. පහළින් තියෙන්නේ 2022 අප්‍රේල් 20 දිනෙන් අවසන් වූ සතියේ ඵලදා අනුපාතික.

මාස 3 19.71%

මාස 6 20.25%

මාස 12 21.24%

වසර 2 20.41%

වසර 3 20.88%

වසර 4 22.14%

වසර 5 22.41%

වසර 6 22.65%

වසර 8 23.97%

වසර 10 23.78%

වසර 15 22.81%

වසර 20 19.67%

වසර 30 15.78%

වසර 15 දක්වා කල් පිරීම් කාල දිහා බැලුවොත් ඵලදා අනුපාතික වල 7%-8%ක පමණ ඉහළ යාමක් දකින්න පුළුවන්. මේ වැඩිවීම ප්‍රතිපත්ති පොලී අනුපාතික වල ඉහළ යාමට ආසන්නව සමානයි. 

අලුත් අධිපති ඇවිත් ප්‍රතිපත්ති පොලී අනුපාතික 7%කින් වැඩි කළාට පස්සේ මහ බැංකුවේ  ප්‍රතිපත්ති පොලී අනුපාතික හා ද්වීතියික වෙළඳපොළ පොලී අනුපාතික අතර ඒ වෙද්දී හැදී තිබුණු 6%-8% මට්ටමේ පරතරය නැති වුනේ නැහැ. ඒ වෙනුවට සිදු වුනේ, ඒ පරතරය ඒ විදිහටම තියෙද්දී ඵලදා වක්‍රය 7%-8%කින් පමණ ඉස්සුණු එකයි. ඒ කියන්නේ ද්වීතියික වෙළඳපොළ ඵලදා අනුපාතික 7%-8%කින් පමණ ඉහළ ගිය එකයි. එහෙම වුනේ ඇයි?

මෙයට හේතුව අලුත් අධිපති වැඩ භාර ගනිද්දී රුපියල් බිලියන 660.5ක දැවැන්ත ද්‍රවශීලතා හිඟයක් තිබීම. ද්‍රවශීලතා හිඟයක් කියා කියන්නේ කුමක්ද? කෙටියෙන් කිවුවොත් ණය ඉල්ලුම සැපිරීම සඳහා ණය සැපයුම ඉක්මවා ණය සැපයීමේ ප්‍රතිඵලය. වෙනත් විදිහකින් කිවුවොත් බැංකු විසින් නැති සල්ලි ණයට දීම.

ද්‍රවශීලතා හිඟයක් හිඟයක් ඇති වීමට ප්‍රධානම හේතුව පොලී අනුපාතික ඕනෑවට වඩා අඩු වීම. පොලී අනුපාතික ඕනෑවට වඩා අඩු බව කිව හැකි නිර්ණායකය කුමක්ද? 

මේ නිර්ණායකය වෙළඳපොළ අපේක්ෂාවන්. මාර්තු මාසය අවසානයේදී බැංකු වල ණය පොලී අනුපාතිකය (Average Weighted New Lending Rate) 10.73%යි. ස්ථිර තැන්පතු පොලී අනුපාතිකය (Average  Weighted  New Fixed  Deposit  Rate) 8.06%යි. කොපාමිද අනුව මාර්තු මාසයේ උද්ධමනය 21.5%යි. ජාපාමිද අනුව, උද්ධමනය 17.3%යි. 

උද්ධමනය 17% හෝ 21% මට්ටමේ තියෙද්දී, තවත් වැඩි වෙන බව පැහැදිලිව පෙනෙද්දී, 11%කට අඩු පොලියකට ණය ගන්න ලැබෙනවා කියන්නේ ඉතාම වාසිදායක ඩීල් එකක්. මේ වගේ තත්ත්වයක් යටතේ ණය ඉල්ලුම ඉහළ මට්ටමක තිබීම අහන්න දෙයක් නෙමෙයි. අනෙක් පැත්තෙන්, උද්ධමනය 17% හෝ 21% මට්ටමේ තියෙද්දී, තැන්පතු වෙනුවෙන් 8%ක් ලැබෙනවා කියන්නේ උද්ධමනය නිසා ක්ෂය වන මුදලේ වටිනාකමින් බාගයක්වත් ලැබෙන්නේ නැහැ කියන එක. මේ වගේ තත්ත්වයක් යටතේ මිනිස්සු තවතව ණය ගන්න මිසක් ඉතිරි කරන්න පෙළඹෙන්නේ නැහැ.

ඔය වගේ තත්ත්වයක් යටතේ, ණය ගන්න ප්‍රමාණය ඉහළ යද්දී බැංකු වල සල්ලි එළියට යනවා. නමුත් තැන්පතු විදිහට ඒ සල්ලි නැවත බැංකු පද්ධතිය ඇතුළට එන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය තමයි කලින් කියපු රුපියල් බිලියන 660.5ක දැවැන්ත ද්‍රවශීලතා හිඟය.

ඔය විදිහට බැංකු "නැති සල්ලි" ණය විදිහට නිකුත් කරන්නේ කොහොමද? මතක තියාගන්න මේ කියන්නේ වාණිජ බැංකු විසින් කරන මුදල් මැවීම ගැන නෙමෙයි. මුදල් මැවීමේදී වෙන්නේ තැන්පතු ලෙස ආපසු බැංකු වෙත එන කලින් දුන් ණයම නැවත ණය විදිහට දෙන එක. මේ කියන්නේ කලින් දුන් ණය නැවත බැංකු වලට ඇවිත් නැති තත්ත්වයක් ගැන.

මේක කළේ මහ බැංකුවෙන් දෛනික පදනම මත ණය අරගනිමිනුයි. මාර්තු අන්තිම වෙද්දී මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තිබුණේ 6.5%-7.5% මට්ටමේ. 6.5% තැන්පතු පොලිය. 7.5% ණය පොලිය. මහ බැංකුවෙන් 7.5% පොලියට ණය ලැබෙද්දී නැවත එම ණය 11% පමණ පොලියකට දෙන්න බැරිකමක් නැහැනේ. ඒ වගේම, මහ බැංකුවෙන් 7.5% පොලියට ණය ලැබෙද්දී ස්ථිර තැන්පතු වලට 8% වගේ පොලියක් මිසක් ඊට වඩා වැඩි පොලියක් දෙන්න බැංකු පෙළඹෙන්නෙත් නැහැනේ. 

දැන් ඔය වගේ රුපියල් බිලියන 660.5ක විශාල ද්‍රවශීලතා හිඟයක් තියෙද්දී තමයි අලුත් අධිපති පත් වෙලා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික 7%කින් වැඩි කළේ.

පෞද්ගලික අංශයට දුන් ණය වලින් බැංකු විසින් 11%ක පමණ පොලියක් අය කරද්දී, වාණිජ බැංකු විසින් රජයට ණය දීලා 12.5% පමණ පොලියක් ලබා ගත්තා. ඒ විදිහට රජයෙන් 12.5% පමණ පොලියකට මිල දී ගත් භාණ්ඩාගාර බිල්පත් අනෙක් අතට මහ බැංකුවේ ඇපයට තියලා 7.5% පොලියට මහ බැංකුවෙන් ණය ගත්තා. ඒ කියන්නේ, බැංකු විසින් මහ බැංකුවේ සල්ලි රජයට ණයට දීලා කෙළින්ම 5%ක පමණ ලාබයක් තියා ගත්තා. රුපියල් බිලියන 660.5ක ද්‍රවශීලතා හිඟයක් කියන්නේ එයින් 5%ක් ඇස් වහගෙන ලාබ වලට එකතු කර ගන්නවා කියන එක.

බැංකු කඩා වැටෙන එක ගැන ලංකාවේ ගොඩක් අය වද වුනත්, ලංකාවේ බැංකු කියා කියන්නේ පට්ට කාර්යක්ෂම ආයතන නෙමෙයි. බැංකු කරන්නේ ලංකාවේ බැංකු පාරිභෝගිකයාගේ අඩු මූල්‍ය සාක්ෂරතාවයෙන් ප්‍රයෝජන අරගෙන ලාබ හොයන එක. එහෙම නැතුව මේ ආයතන සුළු ආන්තික ලාබයකින් දුවන තරඟකාරී ආයතන නෙමෙයි. අනෙක් රාජ්‍ය ආයතන පාඩු ලබද්දී රාජ්‍ය බැංකු වලට ලාබ ලබන්න පුළුවන් වී තියෙන්නෙත් ඒ නිසා. පෞද්ගලික බැංකු වලින් හරියකට තරඟයක් දෙනවානම් රාජ්‍ය බැංකු වලට ඔය විදිහට පවතින්න බැහැ. නමුත් වෙන්නේ ඒක නෙමෙයි. පෞද්ගලික බැංකුත් රාජ්‍ය බැංකු වගේම අකාර්යක්ෂමතා නඩත්තු කරන එක. 

රාජ්‍ය බැංකු තිබීම පෞද්ගලික බැංකු වලටත් අකාර්යක්ෂම වෙන්න විශාල උදවුවක්. පාරිභෝගිකයාගේ අඩු මූල්‍ය සාක්ෂරතාවය එහෙම අකාර්යක්ෂම වෙලත් ලාබ ලබන්න බැංකු වලට ඉඩ සලසනවා. මිනිස්සු කෙළින්ම භාණ්ඩාගාර බිල්පත් ගන්න පෙළඹුනොත් බැංකු වලට අඩු පොලියට ස්ථිර තැන්පතු විදිහට එකතු කරන සල්ලි අනෙක් අතට භාණ්ඩාගාර බිල්පත් වල දාලා අත උඩින් ලාබ ලබන්න බැහැනේ. නමුත් ඒ වැඩේ වෙනවා. 

මහ බැංකුව 7%කින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කරපු ගමන් බැංකු ටික කළේ රජයට ණය දෙන පොලී අනුපාතිකත් වැඩි කරන එක. කලින් මහ බැංකුවෙන් 7.5%ට අරගෙන රජයට 12.5%ට දුන්නා. දැන් මහා බැංකුවෙන් 14.5%ට ගන්න සල්ලි රජයට 19.5%ට දෙනවා. අර 5% ලාබය එහෙම්මයි. 

කොහොම වුනත් මහ බැංකුව පොලී අනුපාතික වැඩි කරපු නිසා එක වැදගත් දෙයක් වුනා. මාර්තු අන්තිම වෙද්දී 8.06% මට්ටමේ තිබුණු ස්ථිර තැන්පතු පොලී අනුපාතික අප්‍රේල් ඉවර වෙද්දී 15.63% මට්ටම දක්වා ඉහළ ගියා. රජයට 19-20% වගේ පොලියකට සල්ලි ණයට දෙන්න පුළුවන්කම තියෙද්දී. මහ බැංකුවෙන් දෛනික පදනමට ගන්න ණය වලටත් 14.5%ක පොලියක් ගෙවන්න වෙලා තියෙද්දී. ඔය වගේ පොලියක් ගෙවලා ස්ථිර තැන්පතු එකතු කර ගන්න එක බැංකු වලට පාඩු නැහැනේ. 

සැප්තැම්බර් අවසන් වෙද්දී බැංකු වල ස්ථිර තැන්පතු පොලිය 22.55% දක්වා වැඩි වෙලා. ඔය වගේ පොලියක් ගෙවලා ගන්න සල්ලි ඊට වඩා අඩු පොලියකට ණයට දෙන්න බැහැනේ. ණය පොලියත් 24.93% දක්වා ඉහළ ගිහින්. ඔය විදිහට තැන්පතු පොලී වැඩි වෙද්දී බැංකු වලට එන තැන්පතු වැඩි වෙනවා. අනෙක් පැත්තෙන් ණය පොලී ඉහළ යද්දී ණය ඉල්ලුම අඩු වෙන නිසා බැංකු වලින් එළියට යන සල්ලි ප්‍රමාණය අඩුයි. ඒ නිසා, සල්ලි බැංකු වල ඉතුරු වෙනවා.  

බැංකු වල සල්ලි ඉතුරු වෙනවා කිවුවට අලුත් මහ බැංකු අධිපති වැඩ භාර ගනිද්දී බැංකු පද්ධතියේ රුපියල් බිලියන 660.5ක විශාල ද්‍රවශීලතා හිඟයක් තිබුණු බව මම කලින්ම කිවුවනේ. ඒ නිසා, බැංකු වල සල්ලි ඉතුරු වෙද්දී වුනේ ඔය ද්‍රවශීලතා හිඟය ටිකෙන් ටික අඩුවෙන එක. අඩු වුනා වුනත් තවමත් තියෙන්නේ හිඟයක්. 

මේ ද්‍රවශීලතා හිඟය දැන් කාලයක සිටම තියෙන එකක්. කලින් අධිපති කබ්රාල් වැඩ භාර ගන්නකොටත් රුපියල් බිලියන 175ක පමණ ද්‍රවශීලතා හිඟයක් තිබුණා. ඔහුගේ කාලය තුළ වුනේ ඔය හිඟය එන්න එන්නම වැඩි වුනු එකයි. ඔය විදිහට ද්‍රවශීලතා හිඟයක් නඩත්තු කරනවා කියන්නෙත් සල්ලි අච්චු ගහනවා වගේම වැඩක්. ලංකාවේ සංචිත මුදල් පිළිබඳ සංඛ්‍යාලේඛණ වලට ද්‍රවශීලතා හිඟය ඇතුළත්ව නැතත් ඇමරිකාව වගේ රටවල සංචිත මුදල් පිළිබඳ සංඛ්‍යාලේඛණ පෙන්නද්දී ඔය ගණනත් එකතු කරනවා. මහ බැංකුව සල්ලි අච්චු ගහලා ස්ථිර පදනමකින් එළියට දැම්මේ නැතත්, හැමදාම හවසට සල්ලි එළියට දමලා උදේට එකතු කර ගන්නවා කියන්නෙත් සල්ලි අච්චු ගහලා එළියට දැම්මා වගේම වැඩක්නේ. 

අධිපතිවරුන්ගේ කාල වකවානු වල සල්ලි අච්චු ගැසීම ගැන හරියටම බලනවානම් අදාළ කාල වකවානු වල ද්‍රවශීලතා හිඟය වෙනස් වුනේ කොහොමද කියන එකත් සලකා බැලිය යුතුයි. මහ බංකු අධිපති විදිහට නන්දලාල් වීරසිංහ පත් වුනාට පස්සේ බැංකු පද්ධතියේ තිබුණු විශාල ද්‍රවශීලතා හිඟය ටිකෙන් ටික අඩු කරන්නත් කටයුතු කළා. කොහොම වුනත් මේ වෙද්දීත් (නොවැම්බර් 25) බැංකු පද්ධතියේ රුපියල් බිලියන 400කට ආසන්න ද්‍රවශීලතා හිඟයක් තිබෙනවා. ඔය ද්‍රවශීලතා හිඟය නැති වෙලා ද්‍රවශීලතා අතිරික්තයක් ඇතිවුනොත් පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වල මට්ටමටම, ඒ කියන්නේ 15% පමණ මට්ටමට බහිනවා. හැබැයි රුපියල් බිලියන 400ක ද්‍රවශීලතා හිඟයක් මහ බැංකුවේ මැදිහත්වීමක් නැතිව එහෙම හදිස්සියෙන් නැති වීමේ ඉඩක් පෙනෙන්න නැහැ. 

ද්‍රවශීලතා හිඟය අඩුවීම ගැන මෑතකදී වත්මන් මහ බැංකු අධිපතිවරයා කියනවා ඇහුණා. කතාව ඇත්ත. ද්‍රවශීලතා හිඟය නැති වුනොත් පොලී අනුපාතික සැලකිය යුතු ලෙස අඩු වෙන බවත් ඇත්ත. හැබැයි මහ බැංකුවේ මැදිහත්වීමක් නැතුව ඔය වැඩේ ඉතා ඉක්මණින් වෙන එකක් නැහැ. නමුත්, මහ බැංකුවට අවශ්‍යනම් ඔය හිඟය ක්ෂණිකව නැති කර දමන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ රුපියල් බිලියන 400ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න එක. ඒ කියන්නේ එපමණකින් සල්ලි අච්චු ගහන එක. මහ බැංකුව ඔය වැඩේ කළොත් 30% මට්ටමේ තිබෙන පොලී අනුපාතික පටස් ගාලා 15% වගේ මට්ටමකට බහිනවා. නමුත් මේ වෙලාවේ පීඩනයට යට වෙලා මහ බැංකුව එහෙම කළොත් ඒක එක හොඳ වැඩක් නෙමෙයි.

මහ බැංකුව විසින් හොඳ විදිහේ මැදිහත්වීමක් කරලා ද්‍රවශීලතා හිඟය නැති කරන්න අවශ්‍යනම් කළ යුත්තේ ඔය රුපියල් බිලියන 400ක මුදලට හරියන්න ඩොලර් මිල දී ගන්න එකයි. ඒ කියන්නේ, දැන් මිල අනුව, ඩොලර් බිලියන 1.1ක් පමණ. මහ බැංකුවට ඒ තරම් ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගැනීමේ ඉඩක් තවම ළඟ පාතකවත් පේන්නෙත් නැහැනේ. හොදම වැඩේ එක්කෝ එහෙම තත්ත්වයක් ඇති වන තුරු බලා ඉඳලා මැදිහත්වීමක් කරන එක. එහෙම නැත්නම් පොලී අනුපාතික ඉහළින් තිබී ඒ හේතුවෙන් කාලයත් එක්ක ද්‍රවශීලතා හිඟය අඩු වෙන්න අරින එක. 

Sunday, November 27, 2022

පොලී අඩුවෙයිද?


පොලී අඩු වෙයිද කියන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම ඉතිරි කිරීම් තිබෙන අයට. මේ ප්‍රශ්නය කිහිප දෙනෙක්ම පෞද්ගලිකවත් අහලා තියෙනවා. එහෙම අහලා තියෙන්නේ තමන්ගේ සල්ලි මාස හයකට බැංකුවේ දමනවාද එහෙම නැත්නම් අවුරුදු පහකට දමනවාද වගේ සන්දර්භයක. කාටත් තේරෙන පරිදි, පොලී අඩු වෙන බව පේනවානම් දිගු කාලයකට සල්ලි බැංකුවේ දමන එක ලාබයි. පොලී වැඩි වෙන බව පේනවානම් කෙටි කාලයකට සල්ලි දමන එක ලාබයි. 

පොලී අඩු වෙනවද නැත්නම් වැඩි වෙනවද කියන එක තීරණය වෙන්නේ කොහොමද? 

පොලී අනුපාතික තීරණය කරන්නේ මහ බැංකුව විසින් හෝ රජය විසින් කියන එක හරිත් නැති, වැරදිත් නැති, සරල උපකල්පනක්. පොලී අනුපාතික කෙරෙහි මහ බැංකුවට මෙන්ම රජයටද විශාල බලපෑමක් කළ හැකි වුවත් මෙය තනිකරම රජය හෝ මහ බැංකුව විසින් තීරණය කරන දෙයක් නෙමෙයි. මූලික වශයෙන් පොලී අනුපාතික තීරණය කරන්නෙත් ඉහත මුලින් සඳහන් කළ ආකාරයේ ප්‍රශ්න අහන සාමාන්‍ය මිනිස්සු. හැබැයි පොලී අනුපාතික වලට මහ බැංකුවේ හා රජයේ බලපෑම සුළුපටු නැහැ. 

බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන විසින් ණය පොලී අනුපාතික හා තැන්පතු පොලී අනුපාතික තීරණය කරන බව මහ පොළොවේ පේන්න තියෙන දෙයක්. නමුත්, බැංකු විසින් ඒ විදිහට පොලී අනුපාතික තීරණය කිරීම පසුබිමේ තියෙන කතාව ඒ තරම් පැහැදිලිව පේන්නේ නැහැ. 

බැංකු විසින් ණය විදිහට දෙන්නේ තැන්පතු ලෙස එකතු කර ගන්න මිනිස්සුන්ගේ සල්ලි. බැංකු විසින් කරන්නේ ඒ විදිහට එකතු කර ගන්න සල්ලි ගාණක් තියාගෙන අනෙක් පැත්තට දෙන එක. ඒක බ්‍රෝකර් වැඩක් පමණයි. ඒ නිසා, තැන්පතුකරුවන් විසින් වැඩි පොලියක් ඉල්ලනවානම් බැංකු වලට පොලී වැඩි කරන්න වෙනවා. 

උද්ධමනය වැඩි වෙද්දී තැන්පතුකරුවන් විසින් තමන්ගේ තැන්පතු වෙනුවෙන් ඉල්ලන පොලියත් වැඩි වෙනවා. එවිට බැංකුවට ණය පොලී අනුපාතිකත් වැඩි කරන්න වෙනවා. 

මහ බැංකුව හා රජය පැත්තකින්ම තිබ්බොත් වෙළඳපොළ පොලී අනුපාතික තීරණය වෙන්නේ ණය ඉල්ලුම හා ණය සැපයුම මතයි. ණය සැපයුම කියන්නේ ඉතිරි කිරීම්. ණය ඉල්ලුම ඉහළ යද්දී පොලී අනුපාතිකත් ඉහළ යනවා. එවිට ණය ඉල්ලුම අඩු වෙනවා. අවසාන වශයෙන් ණය ඉල්ලුම හා ණය සැපයුම සමාන වෙන තැන තමයි වෙළඳපොළ පොලී අනුපාතිකය. මේ පොලී අනුපාතිකය අපේක්ෂිත උද්ධමනයට වඩා සුළු වශයෙන් වැඩිවීම සාමාන්‍ය තත්ත්වයයි. එම වැඩිවීම ණය ආපසු නොලැබීමේ අවදානමත් එක්ක ඉහළ යනවා.

රජයේ අයවැය තුලනය වී ඇත්නම් රජයෙන් පොලී අනුපාතික කෙරෙහි බලපෑමක් නැහැ. රජයට ණය ගන්න හෝ ණය සපයන්න අවශ්‍යතාවයක් නැහැ. අයවැය අතිරික්තයක් තියෙනවානම් ඒ අතිරික්තය මුදල් වෙළඳපොළට එද්දී පොලී අනුපාතික පහළ යනවා. අයවැය හිඟයක් තියෙද්දී වෙන්නේ ඕකෙම අනෙක් පැත්ත. අයවැය හිඟය ඉහළ යන තරමට පොලී අනුපාතිකත් ඉහළ යනවා.

ඔය කිවුවේ මහ බැංකුවේ මැදිහත්වීම් නොසලකා හැරලා. රජයේ අයවැය හිඟයක් තිබුණත්, ඒ හිඟයට හරියන්න සල්ලි අච්චු ගැහුවොත්, රජය විසින් සල්ලි එකතු කර ගැනීම නිසා පහළ යන වෙළඳපොළේ ණය සැපයුම වෙන විදිහකින් නැවත ඉහළ යන නිසා පොලී අනුපාතික වලට තිබෙන බලපෑම නිශේෂණය වෙනවා. මහ බැංකුව විසින් ඊටත් වඩා වැඩියෙන් සල්ලි අච්චු ගැහුවොත් පොලී අනුපාතික පහළ යනවා. ඒ වගේම, මුදල් ගුණකය වැඩි කර මුදල් සැපයුම වැඩි කළොත් වෙන්නෙත් ඕකමයි. 

රටක මහ බැංකුවක ප්‍රධාන වගකීම උද්ධමනය පාලනය කිරීම. ඒ වැඩේ සිදු නොවෙද්දී ඇඟිල්ල දිගු වන්නේත්, ඇඟිල්ල දිගු විය යුත්තේත්, මහ බැංකුව දෙසටයි. උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවක් සතුව තිබෙන ප්‍රධානම අවිය පොලී අනුපාතිකයි. ඒ නිසාම, සාමාන්‍යයෙන්, මහ බැංකුව උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික වැඩි කරද්දී ඒ ගැන මහ බැංකුවට චෝදනා කරන එක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මොකද ස්වාධීනව පොලී අනුපාතික තීරණය කළ නොහැකිනම් මහ බැංකුවට උද්ධමනය පාලනය කරන්න බැහැ. 

රජයේ අයවැය තුලනය වී ඇත්නම් මහ බැංකුවට අයවැය හිඟය පියවන්න සල්ලි අච්චු ගහන්න අවශ්‍ය නැහැ. රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය ඉහළ යද්දී ඉහළ යන මුදල් ඉල්ලුමට හරියන්න සල්ලි අච්චු ගැහුවහම ඇති. ඒ වගේ තත්ත්වයක් යටතේ උද්ධමනය 2% වගේ පහළ මට්ටමක ස්ථාවරව තියා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි.

උද්ධමනය 2% වගේ පහළ මට්ටමක ස්ථාවරව තියෙනවානම් ඊට කිට්ටු පොලියක් ගෙවා තැන්පතු එකතු කරගන්න අමාරු නැහැ. ඒ වගේ පොලියකට තැන්පතු එකතු වෙනවානම් බැංකු වලට පුළුවන් 3%-4% වගේ පොලියකට ණය දෙන්න. 

ඉහත කී ආකාරයේ තත්ත්වයක් යටතේ රජයේ හෝ මහ බැංකුවේ මැදිහත්වීමක් නැතත් ණය වෙළඳපොළ තුලනය වන නිසා රටේ ජනතාව අතරින් ණයකාරයෝ ඉන්නේ ආසන්න වශයෙන් බාගයක් පමණයි. අනෙක් බාගය ණය දෙන්නෝ. ඔය හේතුව නිසාම ණයදෙන්නන්ගේ හා ණයගන්නන්ගේ දේශපාලන බලයද තුලනය වෙනවා. එක කණ්ඩායමකට රජයේ හෝ මහ බැංකුවේ ප්‍රතිපත්ති තීරණ වලට බලපෑම් කරන්න අමාරුයි. පොලී වැඩියි කියලා ණයකාරයෝ කියද්දී නෑ වැඩි නෑ කියලා බර දාන්න ඒ හා සමාන ණය දෙන්නෝ ටිකකුත් ඉන්නවා. 

ලංකාවේ වගේ දිගින් දිගටම රාජ්ය අයවැය හිඟයක් පවත්වා ගනිමින් එය පියවන්න දිගින් දිගටම සල්ලි අච්චු ගහද්දී ණය වෙළඳපොළ තුලනය වගේම ඉහත දේශපාලන බල තුලනයද වෙනස් වෙනවා. ඉතිරි කරන්නන්ගේ දේශපාලන බලය යටපත් වෙලා ණය ගන්නන් අධිපති බලයක් බවට පත් වෙනවා. මොකද ණය ගන්නෝ තරමට ණය දෙන්නෝ නැහැ.

ලංකාවේ අයවැය හිඟයේ තරමට, සල්ලි අච්චු ගැසීම් හා විදේශ ණය නොවන්නට, බොහෝ විට පොලී අනුපාතික 20% මට්ටමටවත් ගිහින්. සමහර විට ඊටත් වැඩි මට්ටමකට. එහෙම නැතුව ණය වෙළඳපොළ තුලනය වෙන්න විදිහක් නැහැ. නමුත්, මහ බැංකුව දිගින් දිගටම සල්ලි අච්චු ගහද්දී, එහෙමත් නැත්නම් විදේශ ණය අරගෙන අයවැය හිඟය පුරවද්දී, රටේ ණය ඉල්ලුමේ තරමට ණය සැපයුමක් රට ඇතුළෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා, රටේ ණයකාරයෝ ගොඩයි. ණය දෙන්නෝ ටිකයි. ඔය වගේ තත්ත්වයක් ඇති වෙලා ණයකාරයෝ ප්‍රබල දේශපාලන බලයක් වුනාට පස්සේ ඕක වෙනස් කරන්නත් අමාරුයි. 

මේ වෙද්දී ණයකාරයින් මහ බැංකුවට විශාල පීඩනයක් එල්ල කරන බවත්, මහ බැංකුවට ඒ පීඩනය දැනෙන බවත් පැහැදිලිව පේනවා. එය මහ බැංකුවේ ස්වාධීනත්වයට බාධාවක් වගේම උද්ධමනය මට්ටු කිරීමේ උත්සාහයට වැටෙන උදැල්ලක්.

මහ බැංකුවේ ස්වාධීනත්වය කියන එක පුළුල් අදහසක් වුනත්, ඔය අදහස ඇතුළේ තිබෙන ප්‍රධානම දෙයක් වන්නේ උද්ධමනය පාලනය කිරීම සඳහා, අනෙක් සාධක වලට වැඩි බරක් නොතියා, පොලී අනුපාතික වැඩි කරන්න මහ බැංකුවට තිබෙන නිදහස. ඒ නිසා ඇතිවන ආර්ථික වර්ධනය පහළ යාම, අයවැය හිඟය වැඩි වීම වගේ අහිතකර ප්‍රතිඵල වලට විසඳුම් හොයන එක රජයේ වැඩක්. මහ බැංකුව සැලකිලිමත් විය යුත්තේ බැංකු පද්ධතිය අස්ථාවර වීමේ අවදානමක් ඇත්නම් ඒ ගැන පමණයි.

සාමාන්‍යයෙන් මහ බැංකුවේ ස්වාධීනත්වයට බාධා කරන්නේ රජය. මොකද අඩු පොලියට ණය ගන්න තරමට රජයට වාසියි. රජයක් උත්සාහ කළ යුත්තේම පුළුවන් තරම් අඩුවට ණය ගන්නයි. ඒ උත්සාහය තුළ උද්ධමනය ඉහළ යනවානම් ඒ ගැන බලාගන්න එක මහ බැංකුවේ වැඩක්. මහ බැංකු ස්වාධීනත්වය අවශ්‍ය වන්නේ රජය හා මහ බැංකුව අතර තියෙන ඔන්න ඔය පිළිසිඳීයා ගැටුම නිසා.

ලංකාවේ මහ බැංකුවේ ස්වාධීනත්වය සීමා වෙන්නේ මහ බැංකුව හදපු මුදල් නීති පණතින්මයි. පණත අනුව, භාණ්ඩාගාර ලේකම් නිල බලයෙන්ම මුදල් මණ්ඩල සාමාජිකයෙක්. ඒ නිසා, භාණ්ඩාගාර ලේකම්ට තමන්ගේ නිල බලය මතම මහ බැංකුවේ පොලී අනුපාතික වැඩි කිරීමේ උත්සාහයන් වලක්වන්න පුළුවන්. පුළුවන් විතරක් නෙමෙයි, දිගින් දිගටම වුනෙත් ඔය වැඩේ. 

අවශ්‍ය පමණ පොලී අනුපාතික වැඩි නොකරනවා කියන්නේ ණය ඉල්ලුම හා ණය සැපයුම තුලිත වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ අඩු සල්ලි ප්‍රමාණය මහ බැංකුව විසින් සැපයිය යුතු බව. වෙන විදිහකින් කිවුවොත් සල්ලි අච්චු ගහමින්, එහි උදවුවෙන් පොලී අනුපාතික පහළින් තියා ගන්න බව.

කාලයක් තිස්සේ ඔය වැඩේ කරපු නිසා ලංකාවේ ඉන්නේ දිගින් දිගටම නියම පොලියට වඩා අඩු පොලියට ණය ගන්න පුරුදු වූ ජනතාවක්. ඒ අඩු පොලියත් වෙන ගොඩක් රටවලට සාපේක්ෂව වැඩි පොලියක් වීම වෙනම කතාවක්. අඩුවට ණය ලැබෙනවා කියන්නේ ආදායම ඉක්මවා වියදම් කරනවා කියන එක. ඒ විදිහට කාලයක් තිස්සේ ආදායම ඉක්මවා වියදම් කරන්න පුරුදු වූ ජනතාවකට එකපාරටම ඒ තත්ත්වය වෙනස් වීම දරා ගන්න අමාරුයි.

මහ බැංකුව පොලී අනුපාතික වැඩි කරද්දී (හෝ වැඩිවෙන්න ඉඩ සලසා තියෙද්දී) එහි බර වැඩියෙන්ම දැනෙන්නේ භාණ්ඩාගාර ලේකම්ට. අලුතෙන් පත් වූ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් ඒ පීඩනය දරාගෙන සිටීම මෑත කාලයකදී සිදු නොවූ, අගය කළ යුතු දෙයක්. ඒ හේතුව නිසාම, මෙවර පොලී අනුපාතික සම්බන්ධව මහ බැංකුවට පීඩනය එල්ල වෙන්නේ රජයට පිටින් ඉන්න වෙනත් පාර්ශ්ව වෙතින්. භාණ්ඩාගාර ලේකම්ගෙන් තමන්ගේ අවශ්‍යතාවය ඉටු වූ නිසා, මීට කලින් මේ කණ්ඩායම් වලට මහ බැංකුවේ තීරණ විවේචනය කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.

මේ පීඩනය මහ බැංකුවට දැනෙන බවයි අධිපතිවරයාගේ මෑතකාලීන ප්‍රකාශ වලින් තේරෙන්නේ. පීඩනය හමුවේ මහ බැංකුව යටත් වෙනවා කියන්නේ මහ බැංකුවෙන් අපේක්ෂා කරන ප්‍රධාන කාර්යයයෙන් විතැන් වෙනවා කියන එකයි.

ණය පොලී පහත වැටෙන්නනම් ණය සැපයුම ඉහළ යා යුතුයි. ණය සැපයුම ඉහළ දැමීම සඳහා මෙතෙක් යොදාගත් සම්ප්‍රදායික ක්‍රමය මුදල් සැපයුම වැඩි කිරීමයි. එම උද්ධමනකාරී ක්‍රමය පොලී අනුපාතික අඩු කළ හැකි එකම ක්‍රමය නෙමෙයි. වඩා තිරසාර ක්‍රමය රාජ්‍ය අයවැය හිඟය අඩු කිරීමයි. එවිට රජයේ ණය අවශ්‍යතාවය අඩු වෙද්දී පෞද්ගලික අංශයේ ණය හිමියන් වෙත සැපයිය හැකි ණය ප්‍රමාණය ඉහළ යනවා. පොලී අනුපාතික පහළ යනවා.

අළුත් අයවැයෙන් අපේක්ෂිත අයවැය ශේෂ ඉලක්ක එක්ක නිවැරදි ක්‍රමයට ණය පොලී අඩු කර ගැනීමේ ඉඩක් විවෘත වී තිබෙනවා. ඒ නිසා, මහ බැංකුව නැවත සල්ලි අච්චු ගහන්න යොමු නොවුණත් පොලී අනුපාතික පහළ යා හැකියි. 

මුහුද හත් ගවුවක් තියෙද්දී කොහොම වෙතත් රැල්ල පෙනෙද්දීවත් සරම අමුඩේ නොගහා සරම රැල්ලට තෙමුනට පස්සේ සරම උස්සගෙන අමුඩේ ගහගත්ත මහ බැංකුව සරම පාත දාන්න ඕනෑවට වඩා හදිස්සි විය යුතු නැහැ. වැල්ලෙන් ටිකක් ඈතට ගිහින්ම සරම පාත දාන එක කෝකටත් හොඳයි.

Friday, November 25, 2022

ආරක්ෂක වියදම්


රජය කුඩා කිරීම වෙනුවෙන් මේ වෙද්දී සැලකිය යුතු ජනමතයක් තිබෙනවා. මේක අලුත් තත්ත්වයක්. විශේෂයෙන්ම ජවිපෙ වැනි සමාජවාදී ආකෘතියක ගොඩ නැගුනු පක්ෂයක් වහෙන් ඔරෝ නැතුව කෙළින්ම කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටින තැනකට තල්ලු කිරීමට ජනමතයේ මේ අලුත් හැරවුම සමත් වී තිබෙනවා. රනිල්ට කාලයක සිටම කරන්න අවශ්‍යව තිබුණා විය හැකි වුවත්, ප්‍රසිද්ධියේ කියන්න පුළුවන්කමක් නොතිබුණු ඇතැම් දේවල් ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් වන තැනකට තල්ලු කිරීමට ජනමතයේ මේ අලුත් හැරවුම සමත් වී තිබෙනවා. රනිල් කියන දේවල් හමුවේ, පූස් පැටවු වගේ ඒ දේවල් අහගෙන වක්‍රව හෝ අනුමත කරන තැනකට රාජපක්ෂ කඳවුරේ හිටපු බොහෝ අයව තල්ලු කිරීමට ජනමතයේ මේ අලුත් හැරවුම සමත් වී තිබෙනවා. බලය ලබා ගන්න ඉන්න විපක්ෂ බලවේග වලට රජය කුඩා කිරීමට එරෙහිව කතා කර ලකුණු රැස් කර ගැනීමේ හැකියාව, ඇතැම් විට තාවකාලිකව විය හැකි වුවත්, අහෝසි වී තිබෙනවා. මෙය වසර හත අටකට පෙර අප මේ සටහන් බ්ලොග් එක හරහා ලියන්න පටන් ගනිද්දී පැවති තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්.

රජය කුඩා කළ යුතුයි කියන තැනට රටක් විදිහට එන්න පුලුවන්නම් එය ඉතා හොඳ තත්ත්වයක්. එතැනින් එහාට, එය කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳව, පුළුල් එකඟතා අවශ්‍ය වන්නේ නැහැ. දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලට වෙනස් අදහස් තියෙන්න පුළුවන්. රටේ ජනතාවට ඒ විදිහේ තේරීමක් තියෙන එක නරක දෙයක් නෙමෙයි. 

දේශපාලනඥයින්ගේ නාස්තිකාර වියදම් අඩු කළ යුතුයි කියන එක ජනප්‍රිය අදහසක් වන තරමටම ප්‍රතිඵලදායක අදහසක් නෙමෙයි. මේක කලින් සටහනකින් පැහැදිලි කළා. ඒ කියන්නේ අනවශ්‍ය වියදම් සීමා කිරීම නොකළ යුතු බව නෙමෙයි. එය අනිවාර්යයෙන් කළ යුතු, එහෙත් කිසිසේත්ම ප්‍රමාණවත් නැති දෙයක්. මම හිතන්නේ මේ වෙද්දී සැලකිය යුතු පිරිසක් මේ බව දන්නවා. ඒ නිසාම, රජයේ වියදම් අඩු කළ හැකි වෙනත් ආකාර ගැන බොහෝ දෙනෙක් හිතන්න පටන් අරන් තිබෙනවා.

ආරක්ෂක වියදම් මේ ගොඩක් අයගේ ඇහැ ගිහින් තියෙන තැනක්. අරගලය දවස් වල ආරක්ෂක වියදම් අඩු කළ යුතුයි කියා අදහස් පළ කළ අය අතර රාජපක්ෂ කඳවුර හැර අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් හැම එකම වගේ සිටියා. 2023 අයවැය ඇස්තමේන්තු එළියට ආවට පස්සේ ඒ අතරින් ඇතැම් අය ආරක්ෂක වියදම් ගැන බර තබා කතා කරන්න පටන් අරගෙන තිබෙනවා.

රටක ජාතික ආරක්ෂාව කියන්නේ වෙළඳපොළ තුළ මිල නිර්ණය කළ නොහැකි සේවාවක්. මේ වැඩේ සාමාන්‍යයෙන් සැලකෙන්නේ රජයක් විසින් කළ යුතු මූලික කාර්යයයක් ලෙසයි. ඇත්තටම කිවුවොත් ජාතික ආරක්ෂාව කියන්නේ රටක රජය ආරක්ෂා කර ගැනීම. රටක් කියා දෙයක් තියෙන්නේම රජයක් තිබෙන නිසා බැවින් මෙය රට ආරක්ෂා කර ගැනීමක් කියා කියන්නත් පුළුවන්. රටේ ජනතාව ආරක්ෂා වෙනවානම් වෙන්නේ වක්‍ර විදිහට. සමහර වෙලාවට රජයට ආරක්ෂා වෙන්න සිදු වන්නේ රටේ ජනතාව අතරින්ම කොටසකගෙන් වෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාද ඇතුළුව හැම විටම ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන පිරිවැය දරන්න වෙන්නේ රටේ බදු ගෙවන ජනතාවට. 

වෙළඳපොළ තුළ මිල නිර්ණය කළ නොහැකි නිසාම රටක ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජනතාව විසින් ගෙවිය යුතු මිල කීයද කියලා තීරණය කළ හැක්කේ දේශපාලනය තුළ පමණයි. ඒ හැර මේ ප්‍රශ්නයට නිරපේක්ෂ පිළිතුරක් නැහැ. ඒ නිසාම, මේ මොහොතේ හෝ වෙනත් මොහොතක, ආරක්ෂක වියදම් අඩු කළ යුතුද, වැඩි කළ යුතුද, එසේම පවත්වා ගත යුතුද වගේ ප්‍රශ්න වලට දේශපාලනික නොවන පිළිතුරක් දෙන්න බැහැ. ඒ නිසාම, මම එවැනි පිළිතුරක් දෙන්න උත්සාහ කරන්නේත් නැහැ. මෙය එක් එක් පුද්ගලයා විසින් තීරණය කර අවසාන වශයෙන් පොදු එකඟතාවය මත නිර්ණය විය යුතු දෙයක්. මම මේ සටහනින් කරන්න හදන්නේ ඒ වැඩේට උදවුවක් ලෙස තොරතුරු ටිකක් ඉදිරිපත් කරන එක පමණයි. 

සමහර අය කියන විදිහට මෙවර අයවැයෙන් ආරක්ෂාව වෙනුවෙන් රුපියල් බිලියන 539ක් වෙන් කරලා. ඒ කතාව ඇත්තද?

මේ ගණන ඇවිත් තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ හා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ වල එකතුව ලෙසයි. ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් කියන්නේ ප්‍රධාන වශයෙන්ම ආරක්ෂක හමුදා වල වියදම්. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් කියා කියන්නේ පොලීසියේ වියදම්.

මෙතැනින් එහාට යන්න කලින් එක දෙයක් පැහැදිලි කළ යුතුයි. සාමාන්‍යයෙන් රටක ආරක්ෂක වියදම් ගැන කතා කරද්දී අදහස් කරන්නේ හමුදා වල වියදම් ගැන. එහෙමත් නැත්නම් මිලිටරි වියදම් ගැන. පොලීසියේ වියදම් ආරක්ෂක වියදම් විදිහට සැලකෙන්නේ නැහැ. ඒවා පෙන්වන්නේ නීතිය හා සාමය රැකීමේ වියදම් විදිහට. සාමාන්‍යයෙන් පොලීසියේ කාර්යය රජය හෝ රට ආරක්ෂා කිරීම නෙමෙයි. සිවිල් ආරක්ෂාව. ඒ නිසා, පොලීසියේ වියදම ආරක්ෂක වියදමක් ලෙස අරගෙන ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් වලට එකතු කරලා පෙන්වන එක හරිද කියන ප්‍රශ්නය මතු වෙනවා.

දෙවන ප්‍රශ්නය ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් ගත්තත් ඒ සියල්ලම ආරක්ෂාව වෙනුවෙන් කරන වියදම් නොවීම. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, විදුලි සංදේශ නියාමන කොමිසම වගේ ආරක්ෂාවට කිසිම සම්බන්ධයක් නැති ආයතනත් ආරක්ෂක අමාත්‍යංශය යටතේ තියෙනවා. ඒ වගේම, ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ තිබෙන "රණවිරු මාපිය රැකවරණ දීමනා" වගේ වියදම් සැලකිය හැක්කේ සුබසාධන වියදම් ලෙසයි. 

ඉහත තත්ත්වයන් යටතේ වුනත් ලංකාවේ ආරක්ෂක වියදම් වැඩියි කියන තර්කය නිශේධනය වන්නේ නැහැ. ඒ වගේම, ලංකාවේ පොලීසිය විසින් කරන ප්‍රධාන කාර්යයත් රජය ආරක්ෂා කරන එකම තමයි කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. 

පහළින් තියෙන්නේ පොලීසියේ වියදම්ද ඇතුළත්ව, ආරක්ෂක වියදම් ලෙස පැහැදිලිව හඳුනා ගත හැකි වියදම්. 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - රුපියල් මිලියන 209,716 යි 

ශ්‍රී ලංකා නාවික හමුදාව - රුපියල් මිලියන 75,739 යි 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව - රුපියල් මිලියන 66,628 යි 

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව - රුපියල් මිලියන 19,913 යි 

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව - රුපියල් මිලියන 435 යි 

ජාතික පොලිස් කොමිසම - රුපියල් මිලියන 157 යි 

විශේෂ කාර්ය බලකාය - රුපියල් මිලියන 12,519 යි 

පොලිස් දෙපාර්තමේන්තුව - රුපියල් මිලියන 116,380 යි 

ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යභට බලකාය - රුපියල් මිලියන 740 යි 

ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - රුපියල් මිලියන 85 යි 

රාජ්‍ය බුද්ධි සේවය - රුපියල් මිලියන 2,985යි 

ආරක්ෂක විද්‍යා පීඨ හා පුහුණු පාසැල් - රුපියල් මිලියන 6,188 යි 

එකතුව - රුපියල් මිලියන 511,485 යි 

පෙර වසරට සාපේක්ෂව ඉහත වියදම් වල 11.2%ක වැඩි වීමක් තිබෙනවා. රුපියල් වලින් මිලියන 51,582ක්. ණය හා පොලී ගෙවීම් ඉවත් කළ පසු රජයේ ඉතිරි වියදම් වැඩි කර තිබෙන්නේ 9.7%කින් පමණයි. මේ අනුව, ඉහත අයිතමයන් යටතේ ආරක්ෂක වියදම් වැඩි වීම, සුළු වශයෙන් වුනත්, අනෙක් වියදම් වැඩි වීමට වඩා වැඩියි.

ඉහත එකතුව රුපියල් බිලියන 511ක්. ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යංශ වල මුළු වියදම රුපියල් බිලියන 539ක්. මේ ගණන් දෙක අතර වෙනස වන රුපියල් බිලියන 28ම ආරක්ෂක වියදම් නොවුනත්, එයින් යම් කොටසක්ද ආරක්ෂක වියදම්. ඒ කොටස හරියටම හඳුනා ගන්න එක තරමක් අසීරු වැඩක්. ඒ ටික අමතක කළත්, පැහැදිලිව හඳුනාගත හැකි ඉහත කොටස පොලී හා ණය ගෙවීම් හැර රජයේ මුළු වියදමෙන් 14.0%ක්. එක පවුලකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක්.

ඕනෑම රටකට ජාතික ආරක්ෂාව වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැහැ. හැබැයි ජාතික ආරක්ෂාව ලාබ නැහැ. දැන් මට්ටමින් ආරක්ෂාව ලබන්නනම් ලංකාවේ පවුලක් ඒ වෙනුවෙන්ම වසරකට රුපියල් ලක්ෂය ඉක්මවන බදු ප්‍රමාණයක් ගෙවිය යුතුයි. ඒ තරමට බදු ගෙවිය නොහැකිනම් ආරක්ෂාව අඩු කරන්න වෙනවා.

එක් එක් හමුදා අංශ හා පොලීසිය වෙනුවෙන් රටේ එක් පවුලක් විසින් 2023දී ගෙවිය යුතු බදු මුදල ආසන්නව පහත තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - රුපියල් 41,120 යි 

ශ්‍රී ලංකා නාවික හමුදාව - රුපියල් 14,850 යි 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව - රුපියල් 13,060 යි 

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව - රුපියල් 3,900 යි 

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව - රුපියල් 90 යි 

ජාතික පොලිස් කොමිසම - රුපියල් 30 යි 

විශේෂ කාර්ය බලකාය - රුපියල් 2,450 යි 

පොලිස් දෙපාර්තමේන්තුව - රුපියල් 22,820 යි 

ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යභට බලකාය - රුපියල් 150 යි 

ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - රුපියල් 20 යි 

රාජ්‍ය බුද්ධි සේවය - රුපියල් 590 යි 

ආරක්ෂක විද්‍යා පීඨ හා පුහුණු පාසැල් - රුපියල් 1,210 යි 

එකතුව - රුපියල් 100,290 යි 


එහෙමනම් මේ වියදම් අඩු කළ යුතුද? 

මම කලින්ම කිවුවනේ මෙය දේශපාලන ප්‍රශ්නයක් කියලා. එය එක් එක් පුද්ගලයා විසින් තනි තනිව තීරණය කළ යුතු දෙයක්. පොලීසිය වෙනුවෙන් එක පවුලක් විසින් ගෙවිය යුතු බදු මුදල රුපියල් 22,820ක්. පොලීසිය සිටීමේ වාසි ඊට වඩා වැඩිනම් මේ වියදම දරන එකේ පාඩුවක් නැහැ. අනෙකුත් හමුදාවන් වෙනුවෙන් වසරකට ගෙවිය යුතු බදු මුදල රුපියල් 77,470ක්. 

පහළින් තියෙන්නේ ලෝකයේ වෙනත් රටවල් වල ජාතික ආදායමෙන් (දදේනියෙන්) ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැය කරන මුදල. මූලාශ්‍රය ලෝක බැංකුව. 2020 වසරේ දත්ත.

1. ඕමානය - 10.9%

2. සවුදි අරාබිය - 8.4%

4. කුවේට් - 6.5%

5. ඊශ්‍රායලය - 5.6%

10. රුසියාව - 4.3%

11. යුක්රේනය - 4.1%

14. ඉරාකය - 4.1%

15. පකිස්ථානය - 4.0%

16. ඇමරිකා එක්සත් ජනපදය - 3.7%

22. සිංගප්පූරුව - 3.2%

27. ඉන්දියාව - 2.9%

29. ග්‍රීසිය - 2.8%

41. එක්සත් රාජධානිය - 2.1%

48. ඕස්ට්‍රේලියාව - 2.1%

52. නෝර්වේ - 1.9%

53. ශ්‍රී ලංකාව - 1.9%

63. චීනය - 1.8%

76. නවසීලන්තය - 1.5%

85. කැනඩාව - 1.4%

90. නේපාලය - 1.4%

94. බංග්ලා දේශය - 1.3%

103. මැලේසියාව - 1.1%

115. පිලිපීනය - 1.0%

118. ජපානය - 1.0%

138. ඉතියෝපියාව - 0.5%

147. කොස්ටරිකා - 0.0%

ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය අනුව රටවල් බෙදී ගොස් ඇති ආකාරයෙන් පෙනෙන්නේ එය එක් එක් රටේ ජනතාවගේ තේරීමක් බවයි. දත්ත තිබෙන රටවල් 147ක් අතරින් ලංකාවේ ස්ථානය 53. 

කෙසේ වුවත්, එක් එක් රට ආරක්ෂාව වෙනුවෙන් මුදල් වැය කරන ආකාරයන්හි විශාල වෙනස්කම් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටක ආරක්ෂක වියදම් වලින් සැලකිය යුතු කොටසක් යුද උපකරණ ආදිය සඳහා යන වියදම්. මෙයින් වෙනස්ව ලංකාව කියන්නේ "මිනිස්සුන්ගෙන්" යුද්ධ කරන රටක්. උපාය මාර්ගික අධ්‍යයන සඳහා වන ජාත්‍යන්තර ආයතනයේ 2021 වාර්තාව අනුව, සක්‍රිය සේවයේ නිරතව සිටින හමුදා සාමාජිකයින් ගණන ලංකාවේ ජනගහණයෙන් 1.13%ක්. මෙම දර්ශකය අනුව, ලෝකයේ රටවල් 172ක් අතරින් ලංකාව ඉන්නේ 13වන තැනයි.

1. උතුරු කොරියාව - 5.04%

2. එරිත්‍රියාව - 3.38%

3. ඊශ්‍රායලය - 2.01%

9. ඕමානය - 1.22%

12. දකුණු කොරියාව - 1.16%

13. ශ්‍රී ලංකාව - 1.13%

17. සිංගප්පූරුව - 0.85%

23. රුසියාව - 0.71%

25. සවුදි අරාබිය - 0.69%

31. කුවේට් - 0.60%

44. කියුබාව - 0.44%

50. නෝර්වේ - 0.43%

52. ඇමරිකා එක්සත් ජනපදය - 0.42%

66. මැලේසියාව - 0.36%

76. පකිස්ථානය - 0.31%

91. ඕස්ට්‍රේලියාව - 0.25%

108. එක්සත් රාජධානිය - 0.21%

111. ජපානය - 0.20%

127. චීනය - 0.16%

135. පිලිපීනය - 0.14%

137. ඉතියෝපියාව - 0.13%

141. ඉන්දියාව - 0.11%

143. බංග්ලා දේශය - 0.10%

172. කොස්ටරිකා - 0.00%

ජනතා කැමැත්ත මත පදනම්ව ලංකාවේ ආරක්ෂක වියදම් අඩු කිරීමට අවශ්‍ය වන තත්ත්වයක් යටතේ වුවත්, එවැන්නක් වහා කිරීම අපහසු ඇයි කියා ඉහත සංඛ්‍යාලේඛනය පෙන්වා දෙනවා. ලංකාවේ සන්දර්භයේ ආරක්ෂක වියදම් අඩු කිරීම යනු ආරක්ෂක හමුදා සාමාජිකයින් ගෙදර යැවීමයි. 

ඉහත දත්ත වල පෙන්වා ඇති පරිදි, ලංකාවේ ආරක්ෂක වියදම් වලින් වැඩිම කොටස එනම් රුපියල් බිලියන 210ක් පමණම වැය වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන්. පහළින් තිබෙන්නේ එම වියදම් මොනවාද යන්නයි. 

වැටුප් හා දීමනා - රුපියල් මිලියන 152,897 යි.

ආහාර හා නිල ඇඳුම් - රුපියල් මිලියන 33,500 යි.

වෛද්‍ය සැපයුම් - රුපියල් මිලියන 1,000 යි.

අනෙකුත් සැපයුම් - රුපියල් මිලියන 3,350 යි.

ජල හා විදුලිබිල් - රුපියල් මිලියන 3,300 යි.

දුරකථන හා අනෙකුත් බිල් හා බදු - රුපියල් මිලියන 767 යි.

ඉන්ධන හා අනෙකුත් ප්‍රවාහන වියදම් - රුපියල් මිලියන 9,325 යි.

ඉදිකිරීම් හා අලුත්වැඩියා කිරීම් - රුපියල් මිලියන 4,427 යි.

වාහන හා යන්ත්‍ර සූත්‍ර නඩත්තුව - රුපියල් මිලියන 1,150 යි.

එකතුව - රුපියල් මිලියන 209,716 යි.

මුළු වියදමෙන් 89.4%ක්ම හමුදා සෙබළුන්ගේ වැටුප්, ආහාර, නිල ඇඳුම් හා වෛද්‍ය සැපයුම්. ඉතිරි සියලුම වියදම් මුළු වියදමෙන් 10.6%ක් පමණයි. හමුදාවේ වියදම් විශාල ලෙස සීමා කර ඇති බව බැලූ බැල්මටම පේනවා. 

එහෙමනම් හමුදාවේ වියදම් වැඩි වෙලා තියෙන්නේ කොහොමද?

වැටුප් හා දීමනා වියදම් පෙර වසරේ වියදමට ආසන්නව සමානයි. පෙර වසරට වඩා රුපියල් මිලියන 13,570කින් හමුදාවේ වියදම් ඉහළ ගොස් ඇතත්, එයින් රුපියල් මිලියන 13,118ක්ම වැඩි වී තිබෙන්නේ ආහාර හා නිල ඇඳුම් කාණ්ඩය තුළයි. එය 64%ක වැඩිවීමක්. මේ වැඩි වීම මූලික වශයෙන්ම ආහාර මිල වැඩි වීම නිසා සිදු වූවක් බව ඉතාම පැහැදිලියි. ඉන්ධන වියදම් වලද රුපියල් මිලියන 560ක පමණ වැඩි වීමක් තිබෙනවා. යුද හමුදාවේ වියදම් වැඩි වී තිබෙන රටාවට සමාන රටාවක් අනෙකුත් හමුදා අංශ වල වියදම් වැඩි වී ඇති ආකාරය තුළද දැකිය හැකියි.

දිගුකාලීනව හමුදා කුඩා කරනවද, දැන් මට්ටමේම පවත්වා ගන්නවද කියන එක දේශපාලනික තීරණයක්. දැන් මට්ටටේම පවත්වා ගන්න එක වෙනුවෙන් පෙනී සිටින අය ඒ වෙනුවෙන් බදු ලෙස තමන්ට ගෙවන්න වෙන මිල ගැනත් අවබෝධයෙන් අදාළ තීරණය ගන්නවානම් වඩා හොඳයි. 

අනෙක් අතට ආරක්ෂක වියදම් අඩු කිරීම වෙනුවෙන් පෙනී සිටින අය දැනගත යුතු දෙය එය කළ හැක්කේ හමුදා භටයින් ගෙදර යැවීම මගින්ම පමණක් බවයි. හමුදා භටයින් සේවයෙන් මුදා හැරලා නිකම්ම ගෙදර යවන්න බැහැ. එක්කෝ යම් වන්දියක් හෝ විශ්‍රාම වැටුපක් වගේ දෙයක් දෙන්න වෙනවා. ඒවටත් සල්ලි යනවා. 

ඊට අමතරව, හමුදා පුහුණුව ලැබූ විශාල පිරිසක් හදිසියේ සේවයෙන් මුදා හැරියොත් ඒ අය ගම් වලට ගිහින් කුලී වැඩ කරන එකක් නැහැ. ඒ වගේ දෙයක් කරනවානම් සැලසුමක් ඇතුව, ක්‍රමිකව කරන්න වෙනවා. කෙටියෙන් කිවුවොත්, දිගුකාලීනව කොහොම වුනත් කෙටිකාලීනව, ආරක්ෂක වියදම් අඩු කරන එක කියන තරම්ම ලේසි නැහැ. 

Thursday, November 24, 2022

දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න වෙයිද?


මේ ප්‍රශ්නය කිහිප දෙනෙක් විසින්ම වරින් වර අසා ඇති, හරියකට පිළිතුරක් දෙන්න ඉඩ නොලැබුණු, ප්‍රශ්නයක්. ප්‍රසිද්ධියේ ප්‍රශ්නය අහපු අයට අමතරව යම් පිරිසක් විසින් මේ ප්‍රශ්නය හෝ කිට්ටුවෙන් යන ප්‍රශ්න පෞද්ගලිකවත් අහල තියෙනවා. පෞද්ගලිකව අහපු ප්‍රශ්න පහත ආකාරයේ ප්‍රශ්න.

"මා ලඟ අමාරුවෙන් එකතු කරගත්ත රුපියල් xxxක මුදලක් තියෙනවා. මේ සල්ලි ආයෝජනය කිරීම (බැංකුවක දැමීම/ භාණ්ඩාගාර බිල්පත් වල දැමීම) සම්බන්ධව ඔබ දෙන උපදෙස කුමක්ද?"

පොදු යහපත සලසා මේ සටහන් ලිවුවත්, මේ ලේඛකයා විසින් ඉහත ආකාරයේ පෞද්ගලික උපදේශන සපයන්නේ නැහැ. තමන්ගේ සල්ලි ගැන තීරණ ගැනීම එක් එක් පුද්ගලයා විසින් සැලකිල්ලෙන් හිතාමතා කළ යුතු දෙයක්. ආයෝජනයක ප්‍රතිලාභ එක්කම ඒ හා බැඳුණු අවදානම්ද තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. කොහොම වුනත්, අප ලියන දේවල් වලින් ඇතැම් විට මේ ප්‍රතිලාභ හා අවදානම් කිරා බැලීමේදී යම් උදවුවක් වෙන්න පුළුවන්. 

ගොඩක් අය ඉහත ආකාරයේ ප්‍රශ්න අහන පසුබිම කුමක්ද?

උද්ධමනය නිසා අපිට හරිම අමාරුයි, අතේ සතේ නැහැ කියා පෙන්නගෙන හිටියත් ලංකාවේ ගොඩක් අය අතේ සල්ලි තිබෙනවා. ණය වෙලා හිරවෙලා ඉන්නේ රජය මිසක් රටේ මිනිස්සු නෙමෙයි. රටේ මිනිස්සුන්ගෙනුත් කොටසක් ණය වෙලා, හිර වෙලා බව ඇත්ත. නමුත් සමස්තයක් ලෙස ගත්තහම මිනිස්සු අතේ ණය වලට වඩා සල්ලි තියෙනවා. උද්ධමනය ඇති වෙන්නේම මිනිස්සු අතේ අතිරික්ත මුදල් තිබෙන නිසා. 

රට ණය වුනාට ඒ ණය වලට හරියන තරමේ වත්කම් රටේ නැහැ කියන බොරුව ගැන මම කලින් සටහනක පැහැදිලි කළා. ක්‍රෙඩිට් සුවිස් ඇස්තමේන්තු අනුව, 2001 වසර අවසානයේදී ලංකාවේ නිවාස ඒකක සතු වූ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 31ක් පමණයි. අවුරුදු විස්සකට පස්සේ, 2021දී, ඔය ප්‍රමාණය ඩොලර් බිලියන 401ක් වෙලා. ඒ කියන්නේ ඩොලර් බිලියන 370ක වැඩිවීමක්. ඔය කාලය තුළ විදේශ ණය වැඩිවීම ඩොලර් බිලියන 42ක් පමණයි. 

එහෙම තත්ත්වයක් තුළ ණය ගෙවාගන්න බැරි වී තිබෙන්නේ හේතු තුනක් නිසා. එකක් ඔය වත්කම් රටේ වත්කම් වුනත් රජයේ වත්කම් නෙමෙයි. රටේ වත්කම් රජයේ වත්කම් වෙන්නේ බදු හරහා. පසුගිය කාලය මුළුල්ලේම රජය විසින් වියදම් කළ තරමට බදු එකතු කරගෙන නැහැ. වියදම් කළේ කා වෙනුවෙන්ද, මොනවටද කියන එක වෙනම කතාවක්. දෙවන හේතුව ඔය වත්කම් සියල්ලම ද්‍රවශීල වත්කම් නොවීම. උදාහරණයක් විදිහට නිවාස ඒකක වල වත්කම් වලින් සැලකිය යුතු කොටසක් ගෙවල්, ඉඩම්, වාහන වගේ මූර්ත වත්කම් මිසක් මූල්‍ය වත්කම් නෙමෙයි. තුන්වෙනි කරුණ, තිබෙන මූල්‍ය වත්කම් ප්‍රමාණය වුනත්, රුපියල් වත්කම් මිසක් ඩොලර් වත්කම් නෙමෙයි. විදේශ ණය ගෙවා ගන්න බැරි වෙන්න ප්‍රධානම හේතුව ඔය තුන්වන කාරණාව.

දේශීය ණය ගැන කතා කරද්දී ඉහත තුන්වන කරුණ අදාළ නැහැනේ. නමුත්, දෙවන කරුණ සෑහෙන දුරකට අදාළයි. රජයට රටේ තිබෙන මූර්ත වත්කම් වලින් කොටසක් බදු හෝ ණය විදිහට ලබාගන්න බැරිකමක් නැතත්, ඒ වැඩේ අමාරු වැඩක්. මූල්‍ය වත්කම් වලින් කොටසක් බදු හෝ ණය විදිහට ලබාගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. රටේ මිනිස්සු අතේ මූල්‍ය වත්කම් කොපමණ තියෙනවද? 

සංචිත මුදල් ප්‍රමාණය හා මුදල් සැපයුම අතර වෙනස මම පෙර සටහනක පැහැදිලි කළා. සංචිත මුදල් කියන්නේ ප්‍රධාන වශයෙන්ම කාසි හා නෝට්ටු. හැබැයි කාසි හා නෝට්ටු පමණක් නෙමෙයි. මහ බැංකුවේ ගිණුම් වල තිබෙන කාගේ හෝ සල්ලිත් සංචිත මුදල්. 

සාමාන්‍ය මිනිස්සුන්ට මහ බැංකුවේ ගිණුම් විවෘත කරන්න බැහැනේ. මහ බැංකුවේ ගිණුම් විවෘත කරන්න පුළුවන් බැංකු වලට. ඒ නිසා, මහ බැංකුවේ ගිණුම් වල තිබෙන සල්ලි කියා කියන්නේ ප්‍රධාන වශයෙන්ම වාණිජ බැංකු වල සල්ලි. මීට අමතරව මහ බැංකුවේ තවත් ගිණුම් තිබෙනවා. එයින් සමහරක් රජයේ ගිණුම්. මේ ගිණුම් ගැන මම විශේෂයෙන් සඳහන් නොකළේ සාමාන්‍යයෙන් ඔය ගිණුම් වල ශේෂය අයිරා (overdraft) වී තිබෙන නිසා. තාක්ෂනික ලෙස නිවැරදි වෙන්නනම් සංචිත මුදල් අර්ථ දක්වද්දී මහ බැංකුවේ තිබෙන රජයේ ගිණුම් වල ශේෂයන්ද එකතු කළ යුතුයි.

හැබැයි, කලින් සටහනක පැහැදිලි කළ පරිදිම, ගණුදෙනු සඳහා රට ඇතුළේ භාවිතා කෙරෙන මුදල් ප්‍රමාණය ඉහත කී සංචිත මුදල් ප්‍රමාණය පමණක් නෙමෙයි. එම ප්‍රමාණය ඉහත ප්‍රමාණයට වඩා ගොඩක් වැඩියි. ඒ, බැංකු පද්ධතිය විසින් ණය දීමේ ක්‍රියාවලිය තුළ සංචිත මුදල් ප්‍රමාණය ගුණනය වීමක් සිදු වෙන නිසා. මෙහි ප්‍රතිඵලයක් විදිහට මහ බැංකුව විසින් නිකුත් කරන රුපියලක් අවසානයේදී රුපියල් දහයක් වගේ ගණනක් වෙන්න පුළුවන්. මුදල් ගුණකය කියා කියන්නේ මේ අනුපාතයට. ඒ විදිහට ගුණනය වීමෙන් පසු මුදල් ප්‍රමාණ M1, M2, M2b, M4 ලෙස හැඳින්වෙනවා. මේවාට පොදුවේ මුදල් සමස්ත කියාත් කියනවා. පහළ තියෙන්නේ මහ බැංකු වෙබ් අඩවියෙන්ම උපුටාගත් ලංකාවේ මුදල් සමස්ත වල අර්ථදැක්වීම්.

"ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුදල් සමස්ත මොනවා ද?

ශ්‍රී ලංකාවේ භාවිත කරන මුදල් සමස්තවල ප්‍රධාන නිර්වචන පහත පරිදි වේ.

සංචිත මුදල්/ පදනම් මුදල්/ අධිබලැති මුදල් (M0) - ව්‍යවහාර මුදල් (මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකු වෙතැති ව්‍යවහාර මුදල්), ශ්‍රී ලංකා මහ බැංකුව වෙතැති වාණිජ බැංකු තැන්පතු සහ මහ බැංකුව වෙතැති රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු ඇතුළත් වේ.

පටු මුදල් (M1) - මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන මහජනයා සතු ඉල්ලුම් තැන්පතුවලින් සමන්විත වේ.

පුළුල් මුදල් (M2) - පටු මුදල් සැපයුම (M1) සහ මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු ඇතුළත් වේ.

පුළුල් මුදල් (M2b) - පටු මුදල් සැපයුම (M1), මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු සහ වාණිජ බැංකු වෙතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පතුවලින් කොටසක් ඇතුළත් වේ.

පුළුල් මුදල් (M4) - පුළුල් මුදල් සැපයුම (M2b) සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙතැති මහජනයා සතු කාලීන හා ඉතිරිකිරීමේ තැන්පතු ඇතුළත් වේ."

ඔය ටික මගේ වචන වලින්ම ලිවුවනම් වඩා හොඳින් තේරෙයි. නමුත්, මුදල් සමස්ත අර්ථ දක්වන්නේ මහ බැංකුව විසින් නිසා  මහ බැංකුවේ නිර්වචනම යොදා ගන්න එක කෝකටත් හොඳයිනේ.

හරි. දැන් ඔය තියෙන්නේ නිර්වචන. පහළින් තියෙන්නේ 2022 සැප්තැම්බර් අවසානයේදී  M0, M2b, M4 මුදල් සමස්ත වල ප්‍රමාණය.

සංචිත මුදල් (M0) - රුපියල් බිලියන 1,379 යි.

පුළුල් මුදල් (M2b)  - රුපියල් බිලියන 12,051 යි.

පුළුල් මුදල් (M4)  - රුපියල් බිලියන 14,540 යි.

සරලව කිවුවොත්, පළමු කොටස නෝට්ටු හා කාසි සහ මහ බැංකුවේ තිබෙන බැංකු වල සල්ලි. සැප්තැම්බර් අවසානයේ ගණන හරියටම දන්නේ නැතත්, 2022 ජූනි අවසානයේදී කාසි හා නෝට්ටු විදිහට මිනිස්සු අතේ තිබුණු මුදල් ප්‍රමාණය පමණක් රුපියල් මිලියන 797,471ක්. ලංකාවේ ගෙවල් ගණන වන මිලියන 5.1න් බෙදුවොත්, එක ගෙදරක සාමාන්‍ය වශයෙන් ගත්තහම කාසි හා නෝට්ටු වලින්ම රුපියල් 156,000කට වඩා තිබිය යුතුයි. 

ගොඩක් ගෙවල් වල ඔය සල්ලි ප්‍රමාණය නැතුව ඇති. හැබැයි මෙය තමයි සාමාන්‍ය ගණන. ඒ කියන්නේ, එක ගෙදරක මේ ගණන නැත්නම්, වෙන ගෙදරක ඒ අඩු ප්‍රමාණයත් තියෙනවා. මතක තියා ගන්න මේ බැංකු වල තියෙන සල්ලි අත ඇරලා. කෑෂ් වලින්ම ගෙවල් වල තිබෙන කොටස පමණයි. 

මිනිස්සු අතේ තිබෙන සල්ලි වලට බැංකු වල තියෙන සල්ලිත් එකතු කරලා ගණන තමයි දෙවන ගණන. නමුත් එහි තියෙන්නේ වාණිජ බැංකු වල තියෙන සල්ලි පමණයි. ජාතික ඉතිරි කිරීමේ බැංකුව වගේ වාණිජ බැංකු නොවන බැංකු වල දමා තියෙන සල්ලි එහි නැහැ. ලියාපදිංචි මූල්‍ය සමාගම් වල දමපු සල්ලිත් නැහැ. ඒ ටික ඔක්කොම එකතු කළාම ගණන තමයි රුපියල් බිලියන 14,540 යි.

දැන් මේ ගණන රටේ නිවාස ඒකක ගණනින් බෙදුවහම ගාන කීයද? රුපියල් ලක්ෂ 28.5ක්! ඒ කියන්නේ බැංකු වල දමපුවත් එක්ක සාමාන්‍ය වශයෙන් එක ගෙදරක තිබෙන සල්ලි ප්‍රමාණය රුපියල් ලක්ෂ 28.5ක්. ලක්ෂ එකහමාරක් පමණ කෑෂ් වලින්. ඉතුරු ලක්ෂ 27 බැංකු ගිණුම් වල!

මේවා ඇස්තමේන්තු නෙමෙයි. බැංකු ලේඛණ වල ඔය රුපියල් බිලියන 14,540න් හැම සතයක්ම අයිති කාටද කියන එක පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. කෑෂ් වලින් තියෙන සල්ලි තියෙන්නේ කා ළඟද කියන එකනම් හරියටම හොයාගන්න බැහැ. හැබැයි ගාණ හරියට සතේටම දන්නවා. 

මේ ගණනට EPF, ETF ආදියේ තියෙන මිනිස්සුන්ගේ සල්ලි නැහැ. මිනිස්සු තමන්ගේ නමට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල දමපු සල්ලි නැහැ. කොටස් වෙළඳපොළ ආයෝජනය කරපු සල්ලි නැහැ. තිලිණි ප්‍රියමාලිලා වගේ අය ළඟ ආයෝජනය කරපු සල්ලි නැහැ. ඒ කියන්නේ මූල්‍ය වත්කම් වලින් වුනත් කොටසක් විතරයි මේ ගණන ඇතුළේ තියෙන්නේ. ගෙවල්, වාහන වගේ මූර්ත වත්කම් කොහොමටවත් නැහැ. 

පසුගිය සතිය අවසාන වෙද්දී (2022 නොවැම්බර් 16) රජය විසින් නිකුත් කර තිබුණු මුළු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 12,480ක්. එයින් විදේශිකයින් සතු වූ ප්‍රමාණය රුපියල් බිලියන 25ක් පමණයි. ඒ කියන්නේ, ඉතිරි රුපියල් බිලියන 12,455 රටේම සල්ලි. එයින් මහ බැංකුව සතු වූ කොටස රුපියල් බිලියන 2,571ක්. ඒ ටිකත් අඩු කළාම රුපියල් බිලියන බිලියන 9,884ක්.

දැන් ඔය සල්ලි කාගේ සල්ලිද? එක්කෝ රටේ මිනිස්සුන්ගේ සල්ලි කෙළින්ම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරපුවා. එහෙම නැත්නම්, රටේ මිනිස්සුන්ගේ සල්ලි බැංකුවක දැම්මට පස්සේ එම බැංකු විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරපුවා. එහෙමත් නැත්නම්, EPF එක විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරපු රටේ මිනිස්සුන්ගේම සල්ලි. 

රජයට ඔය සල්ලි ආපසු නොගෙවා ඉන්න අවශ්‍යනම් එය ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කළාම වැඩේ ඉවරයි. විදේශ ණය වගේ ජාත්‍යන්තර නීති වලින් බැඳීමක් නැහැ. නමුත්, සාමාන්‍යයෙන් රජයකට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අඩු වශයෙන් වෙනත් විකල්ප දෙකක් තියෙනවා. එකක් බදු වැඩි කරන එක. අනෙක් එක සල්ලි අච්චු ගහන එක.

දැන් බොහෝ දුරට බදු වැඩි කරලා ඉවරයි. බදු තවත් වැඩි කරයි කියලා මම හිතන්නේ නැහැ. කියන විදිහට සල්ලි අච්චු ගහන්නෙත් නැහැ. එහෙමනම්, ඒත් ඔය ණය ප්‍රශ්නයක් නැතිව ගෙවන්න පුලුවන්ද? 

අපි නැවතත්, කලින් සටහනේ කතා කළ, යෝජිත 2023 අයවැය ඇස්තමේන්තු වෙත යමු. 

පොලී ගෙවීම් හැර වසරේ රාජ්‍ය වියදම - රුපියල් බිලියන 3,665 යි.

දේශීය ණය හා පොලී ගෙවීම් - රුපියල් බිලියන 3,586 යි.

විදේශ ණය හා පොලී ගෙවීම් - රුපියල් බිලියන 629 යි.

එකතුව - රුපියල් බිලියන 7,879 යි. 

අපේක්ෂිත ආදායම - රුපියල් බිලියන 3,433යි.

පියවා ගත යුතු හිඟය - රුපියල් බිලියන 4,446යි.


දැන් මේ හිඟය පියවා ගන්න යන්නේ කොහොමද? 

විදේශ ණය හා ආධාර - රුපියල් බිලියන 619 යි.

දේශීය මූලාශ්‍ර - රුපියල් බිලියන 3,827 යි. 

ආසන්න වශයෙන් බැලුවොත්, විදේශ ණය හා ආධාර ගන්න යන්නේ විදේශ ණය හා පොලී ගෙවීම් සඳහා. මේ වැඩේ කොහොමටත් මේ විදිහට කරන්නම වෙනවා. සල්ලි අච්චු ගහලා හෝ දේශීය වෙළඳපොළෙන් රුපියල් ණයට අරගෙන විදේශ ණය හා පොලී ගෙවීම් කරන්න බැහැනේ. වැදගත් දෙය ඊට වඩා වැඩියෙන් විදේශ ණය ගන්නේ නැති එක. 

ඒ කියන්නේ දේශීය මූලාශ්‍ර වලින් අරමුදල් සම්පාදනය කර ගන්න යන්නේ ප්‍රාථමික අයවැය හිඟය පියවීමට, දේශීය ණය ආපසු ගෙවීම් වලට හා දේශීය ණය වල පොලී ගෙවීම් වෙනුවෙන්. දැනට රජයට සෘජු ලෙස හෝ වක්‍ර ලෙස දේශීය ණය දීලා තියෙන්නේ (මහ බැංකුව හැරුණු විට), අතිරික්ත අරමුදල් තියෙන අයනේ. මේ අයට ඔය සල්ලි ආපසු මුදල් කරන්න හදිස්සියක් නැහැ. ඒ නිසා, පොලී අනුපාතික ප්‍රමාණවත් මට්ටමක තිබෙන තුරු, ආපසු ලැබෙන ණය හා පොලිය නැවත ආයෝජනය කරන්න මේ ණයහිමියෝ පැකිලෙන්නේ නැහැ. ඒ නිසා, රජයට එම මුදල් ප්‍රමාණය හොයාගන්න එක කිසිම අමාරුවක් නැති වැඩක්. ඊට පස්සේ තව අඩු රුපියල් බිලියන 241ක් පමණයි. 

දේශීය මූලාශ්‍ර වලින් එකතු කර ගැනීමට අදහස් කරන රුපියල් බිලියන 3,827න් රුපියල් බිලියන 3,586ක්ම ඔය විදිහට ලේසියෙන්ම හොයා ගත්තට පස්සේ (rollover කළාට පස්සේ), ඉතුරු රුපියල් බිලියන 241 හොයා ගන්න එක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි. ගොඩක් වෙලාවට ඔය ප්‍රමාණයට වඩා වැඩි මුදලක් මිනිස්සු ඉතිරි කරනවා. රජයේ වත්කම් විකුණා සල්ලි හොයා ගැනීමේ විකල්පයත් තියෙනවා. ඔය මොකක්වත් හරිගියේ නැත්නම් ඔය වගේ ප්‍රමාණයක් සල්ලි අච්චු ගහන්න වුනත් පුළුවන්. එහි හානියක් තිබුණත් සාපේක්ෂව අඩු හානියක්. මේ හේතු නිසා දැනට පවතින තත්ත්වයන් තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස.

හැබැයි අවදානම් නැතුව නෙමෙයි. ප්‍රධානම අභියෝගය ඇස්තමේන්තු වල තියෙන තරමට බදු ආදායම් එකතු නොවීමේ අවදානම. ලංකාවේ සාමාන්‍යයෙන් ඇස්තමේන්තු වල තියෙන තරමට බදු ආදායම් එකතු වෙන්නේ නැහැ. මේ පාරත් ඔය වැඩේ වෙනවා කියන්නේ ඇස්තමේන්තුවට වඩා අයවැය හිඟය වැඩි වෙනවා කියන එක. එහෙම වුනා කියලත් ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යම නැහැ. දෙවන අවදානම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්න යද්දී මෙය කොන්දේසියක් ලෙස ඉදිරිපත් වීමේ හැකියාව. ඒ අවදානමටත් මම ගොඩක් බර තියෙන්නේ නැහැ. 

Wednesday, November 23, 2022

වියදම් අඩු කිරීමේ රජයේ ප්‍රවේශය


"වියදම් කැපිය යුත්තේ අයවැය හිඟය පියවන්න අවශ්‍ය නිසා නෙමෙයි. පාලකයන් විසින් රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා තමන්ට සැබෑ අවශ්‍යතාවයක් ඇති බව මහජනතාවට පෙන්වා ඔවුන් තුළ විශ්වාසය තහවුරු කළ යුතු නිසා."

ඉහත මගේ වචන වලින් මම නැවත ලියා තිබෙන්නේ පාඨක ප්‍රතිචාර එකක හෝ වැඩි ගණනක ගැබ් වී ඇතැයි මම හිතන අදහසක්. අදහස් පළ කර නැති, නිහඬව කියවන, සැලකිය යුතු පිරිසකගේ මතයද මෙය විය හැකියි. මෙහි "වියදම්" යන්නෙන් අදහස් වන්නේ දේශපාලනඥයින් නඩත්තු කිරීමේ වියදම්.

ලංකාවේ දේශපාලන බෙදීම් තුළ මේ වන විට ඉහත මතයේ ප්‍රමුඛ ප්‍රකාශකයා වී සිටින්නේ ජවිපෙ/ජාජබ. ඒ වගේම, මහජනතාව කියන වියුක්ත අදහසින් නියෝජනය වන විෂමජාතීය කණ්ඩායම ඇතුළේ සිටින සියළු දෙනාම ඉහත අදහසේ ප්‍රකාශකයින් කියා මම හිතන්නේ නැහැ. තමන්ට අත දිග හැර වියදම් කළ හැකි තරමේ ආදායමක් මොන විදිහකින් හෝ ලැබෙනවානම් දේශපාලනඥයින් විසින් මොන මගුලක් කර ගත්තත් කමක් නැතැයි ප්‍රසිද්ධියේ නොකිවුවත්, යටි හිතෙන් හෝ ඒ විදිහට හිතන විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. අර්බුදය හමුවේ මේ ප්‍රමාණය අඩු වෙලා ඇති. 

ඉහත සියළු කරුණු හමුවේ වුවත්, අඩු වශයෙන් ප්‍රදර්ශනාත්මක ලෙස හෝ වියදම් කැපිය යුතුයි කියන එක පුළුල් අදහසක්. එය එක් දේශපාලන කඳවුරක පමණක් අදහසක් නෙමෙයි. අයවැය කෙරෙහි දැනෙන සෘජු බලපෑමක් නැතත්, ප්‍රදර්ශනාත්මක ලෙස නොව ඇත්තටම අනවශ්‍ය වියදම් අඩු කළ යුතු බව මගේ පෞද්ගලික අදහසයි. එය බෝල්පොයින්ට් පෑනකින් අත්සන් කිරීම හෝ ගෙදරින් බත් එකක් ගෙන ඒම වැනි ප්‍රදර්ශනාත්මක වැඩක් වීම ප්‍රමාණවත් නැහැ.

රාජ්‍ය අයවැය තමන්ට දැනෙන ආකාරය අනුව මහජනතාව කියන වියුක්ත කුලකය පහසුවෙන්ම ගොඩවල් කිහිපයකට දැමිය හැකියි. මොන විදිහකින් හෝ රජයට සම්බන්ධ අයට රාජ්‍ය වියදම් වැඩි වීම ප්‍රශ්නයක් නෙමෙයි. එම පිරිස හා පවුල් වල අය විශාල පිරිසක්. රජයෙන් මොනවා හෝ සෘජු සහන ලබා ගන්නා අයටත් එය ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම රජය සමඟ ව්‍යාපාර කර ලාබ ඉපැයූ අයටද ප්‍රශ්නයක් වී තිබෙන්නේ රාජ්‍ය වියදම් අඩු වීමයි. ඔවුන් යටතේ සේවය කළ අය එසේ නොකියනවා විය හැකි වුවත්, ඔවුන් පැමිණිලි කරන ප්‍රශ්න වලට ආසන්න හේතුවද රාජ්‍ය වියදම් අඩුවීමයි.

රාජ්‍ය වියදම් ප්‍රශ්නයක් සේ දකින වැඩි දෙනෙකු පෞද්ගලික අංශයේ සාපේක්ෂව ඉහළ ආදායම් ලැබිය හැකි රැකියා කරන, තමන්ගේ ආදායමෙන් කෙළින්ම රජයට බදු ගෙවන්නට සිදු වී ඇති පිරිසයි. විශේෂයෙන්ම 2020 බදු කැපිල්ලේ වාසිය ලැබූ, දැන් එය අහිමි වී සිටින පිරිසයි. එම පිරිස සමාජ මාධ්‍ය තුළ කොයි තරම් කෑ ගැසුවත්, "මහජනතාව" කියන ගොඩේ වැඩිපුර ඉන්නේ උඩින් කියූ කණ්ඩායම් බව ලංකාවේ හැම ප්‍රධාන දේශපාලන පක්ෂයකම නායකයින් දන්නවා.

රජය කිසියම් බද්දක් පැනවූ පසු එය මූලික වශයෙන්ම පෞද්ගලික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. බදු වලට විරුද්ධව කොයි තරම් කෑ ගැසුවත්, බදු ගෙවිය යුතු අයෙකු වෙත "බිල එද්දී" බිල නොගෙවා පැන යා නොහැකියි. අඩු වශයෙන් ලොකු බලවතෙකු නොවන අයෙකුට නීත්‍යනුකූල මාර්ගයකින් බදු වලින් ගැලවෙන්න අමාරුයි. බදු බරට කර ගහන පිරිසට සාමූහික දේශපාලන ක්‍රියාමාර්ගයක් ගන්න එකත් පහසු නොවන්නේ රටේ සැලකිය යුතු පිරිසක් බදු ගැන පැමිණිලි කළත්, වියදම් කපන තැනට පැමිණි වහාම අනිවාර්යයෙන් එම පැමිණිලි ඉල්ලා අස් කර ගෙන අනෙක් පැත්තට හැරෙන නිසා. හැම ප්‍රධාන දේශපාලන කඳවුරක්ම මේ තත්ත්වය හොඳින්ම දන්නවා.

රජයේ වියදම් කපන එක ඉතාම අසීරු වැඩක්. වියදම් කැපීම කෙසේ වුවත්, වියදම් වැඩි නොකිරීම වුවත්, අසීරු වැඩක්. මේ සඳහා දෙවන කණ්ඩායමේ සහයෝගය කොහොමටත් තිබෙනවා. ප්‍රශ්න මතු වන්නේ පළමු කණ්ඩායමෙන්. ආණ්ඩුවේ ඉහළ තට්ටුවට "විශ්වාසය තහවුරු කරන්නට" සිදුව ඇත්තේ එම කණ්ඩායම තුළයි.

කාලයක් තිස්සේම ලංකාවේ "රජය" විසින් අත දිග හැර වියදම් කළේ රජය තුළ සිටි ඉහළම තට්ටුව හා පහළ තට්ටු අතර මනා සහයෝගයකින්. මේ සඳහා හොඳම නිදර්ශනයක් ලෙස තීරු බදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය පෙන්වා දෙන්න පුළුවන්. සම්පීඩිත ඩොලර් මිල යටතේ වාහන බලපත්‍රලාභීන් විසින් මේ වාහන මිල දී ගත්තේ එහි නියම මිලෙන් 60%ක පමණ මිලක් ගෙවමින්. ඉතිරි 40% හා පොලිය විදේශ ණය වලට එකතු වී තිබෙනවා. ඒ වගේම, රට තුළ පැවති වෙළඳපොල මිලට වඩා බොහෝ අඩුවෙන්. දේශපාලනඥයින් අතර මේ වාසිය මුදල් කර නොගත් කිසිවකු ඇත්දැයි සැකයි. 

දේශපාලනඥයින් සුළු පිරිසක් විසින් ලැබූ ඉහත නීත්‍යනුකූල, එහෙත් අනිසි, වාසිය නඩත්තු කර ගැනුණේ විශාල රාජ්‍ය සේවකයින් පිරිසකටද එවැනිම අවස්ථාවක් ලබා දීම මගින්. මෙය කියවන බොහෝ පාඨකයින් මා හා එකඟ නොවනු ඇති වුවත්, යම් අසමානතා තිබියදී වුවත්, ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා දුන් බදු සහනද මේ ගොඩටම එකතු කරන්නට මා පැකිළෙන්නේ නැහැ.

තීරු බදු රහිත වාහන බලපත් එක් නිදසුනක් පමණයි. මෙවැනි තවත් දේ එකතු කළ හැකියි. මේ වාසි "රජය" තුළ සිටි පහළ ස්ථර වලට ගලා ආවේ එකම අයුරකින් නොවිය හැකියි. එහෙත්, ඔවුන්ද විවිධ ආකාර වලින් රාජ්‍ය වියදම් ඉහළ යාමේ වාසිය ලැබුවා. දැන් වියදම් කැපීම "අලෙවි කරන්නට" සිදු වී තිබෙන්නේ මේ පිරිසටයි. මේ සන්දර්භය තුළ "මහජනතාව" වන්නේ රජයම තමයි. 

ණය හා පොලී ගෙවීම්ද ඇතුළුව 2023 අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 7,879ක්. මේ ගණන ඇඟට දැනෙන්නේ නැත්නම්, එක පවුලකට රුපියල් ලක්ෂ 15කට වඩා වැඩි මුදලක්. අපේක්ෂිත ආදායම මෙයින් 44%ක් පමණයි. වෙනත් විදිහකින් කිවුවොත්, බදු ආදායම් ඇතුළු අනෙකුත් ආදායම් අපේක්ෂිත පරිදි වැඩි කර ගැනීමෙන් පසුවත්, ණය ගෙවීම් ඇතුළු සමස්ත වියදම ආදායම මෙන් 230%ක්. 

මේ වියදම් මොනවාද?

වියදම් වලින් වැඩි කොටසක් වසර තුළ ආපසු ගෙවිය යුතු ණය හා පොලියයි. 

පොලී ගෙවීම් හැර වසරේ රාජ්‍ය වියදම - රුපියල් බිලියන 3,665 යි.

දේශීය ණය සඳහා වසරේ පොලී වියදම - රුපියල් බිලියන 2,000 යි.

විදේශ ණය සඳහා වසරේ පොලී වියදම - රුපියල් බිලියන 189 යි.

දේශීය ණය ආපසු ගෙවීම් - රුපියල් බිලියන 1,585 යි.

විදේශ ණය ආපසු ගෙවීම් - රුපියල් බිලියන 440 යි.

එකතුව - රුපියල් බිලියන 7,879 යි. 

අපේක්ෂිත ආදායම - රුපියල් බිලියන 3,433යි.

කෙසේ වුවත්, ඉහත ණය හා පොලී ඇස්තමේන්තු සකස් කර ඇත්තේ ණය පැහැර හැර ඇති තත්ත්වයක් තුළයි. නියම පිළිවෙළට ණය ගෙවනවානම්, ණය ලෙස මෙන්ම පොලී ලෙසද ගෙවිය යුතු මුදල අනිවාර්යයෙන්ම මීට වඩා වැඩියි. 

ඇස්තමේන්තු සකස් කිරීමේදී ඩොලරයක මිල කීයක් ලෙස උපකල්පනය කර ඇත්දැයි මා දන්නේ නැහැ. අපි දැනට තිබෙන රුපියල් 363.5 ලෙසම සලකමු. එහෙමනම්, මේ ඇස්තමේන්තු අනුව 2023දී ගෙවන්නට අපේක්ෂා කරන විදේශ ණය ප්‍රමාණය හා පොලිය කොපමණද?

විදේශ ණය ආපසු ගෙවීම් - ඩොලර් මිලියන 1,245 යි.

විදේශ ණය සඳහා වසරේ පොලී වියදම - ඩොලර් මිලියන 534 යි.

එකතුව -  ඩොලර් මිලියන 1,778 යි.

වසර තුළ රජය විසින් ලබා ගැනීමට අපේක්ෂිත විදේශ ණය හා ආධාර ප්‍රමාණය - රුපියල් බිලියන 619 යි =  ඩොලර් මිලියන 1,702 යි.

මෙම ගණන, මගේ පෙර සටහනක ඉදිරිපත් කළ ගණනට වඩා අඩුයි. පෙර ලිපියේ සඳහන් වූ ගණන ගත්තේ අයවැය කතාවේ ඇමිණුමෙන්. මෙහි සඳහන් ගණන ඊට වඩා අළුත්. ඒ වගේම, මෙම ගණන ප්‍රායෝගිකයි. මෙයින් අදහස් වන්නේ දැනට ගෙවිය යුතු විදේශ ණය වල වාරික හා පොලිය ගෙවීමට පමණක් අළුතෙන් ණය ගන්නවා කියන එකයි. අනෙක් පැත්තෙන් මෙයින් කියන්නේ ලබන වසරේ විදේශ ණය වාරික හා පොලිය ලෙස ආපසු ගෙවන්නේ රජයට විදේශ ණය හෝ ආධාර ලෙස ලැබෙන මුදල පමණක් බවයි. 

මෙසේ ලබන වසර තුළ දිගටම ගෙවාගෙන යන ණය වන්නේ, තවමත් පැහැර හැර නැති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වලින් ලබා ගත් ණය විය යුතුයි. ඒ ණය ආපසු ගෙවනු ඇත්තේ බොහෝ දුරට එම ආයතන වලින්ම නැවත ලබා ගන්නා ණය වලින්. මෙය කළ හැක්කක්. අනෙක් විදේශ ණයකරුවන්ට කැමති වුනත්, නැති වුනත්, 2023 වසර තුළ ණය හෝ පොලී ආපසු ලැබෙන්නේ නැහැ. 

දේශීය ණය සඳහා වසරේ ඇස්තමේන්තුගත පොලී වියදම රුපියල් බිලියන 2,000 ක්. දැනට රජය විසින් නිකුත් කර ඇති භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 12,500ක් පමණ වෙනවා. ඒ අනුව, මෙයින් අදහස් වෙන්නේ 16%ක පමණ පොලී අනුපාතිකයක්. රජය හා මහ බැංකුව ඉලක්ක කරන්නේ ලබන වසරේදී පොලී අනුපාතික එවැනි මට්ටමකට අඩු කර ගන්නද? දැනට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවත්වා ගෙන යන්නේත් 14.5-15.5% මට්ටමේ.

මේ වන මහ බැංකුව විසින් වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය (රුපියල් හිඟය) අඩු කිරීමට කටයුතු කරමින් සිටිනවා. 2023 අප්‍රේල් පමණ සිට උද්ධමනය දැනෙන ලෙස අඩු වෙද්දී වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයද පහත වැටුණොත් පොලී අනුපාතිකද පහත වැටිය හැකියි. දැනට ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තු අනුවනම් රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂා කරන බවක් පෙනෙන්නේ නැහැ. ඒ වගේම, තවමත් එය දුරස්ථ ඉලක්කයක් නෙමෙයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර වැඩේ ගොඩදාගන්න අමාරු වුනත් පුළුවන්. 

ලිපිය පටන් ගත් රාජ්‍ය වියදම් වෙත නැවත ආවොත්, ණය ගෙවීම්ද සමඟ සමස්ත වියදම රුපියල් බිලියන 7,879ක්. මෙම වසරේ අදාළ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 6,231ක්. ඒ අනුව, බැලූ බැල්මටම 26%ක රාජ්‍ය වියදම් ඉහළ යාමක් තිබෙනවා. නමුත්, ණය ආපසු ගෙවීම් හා පොලී වියදම් ඉවත් කළ විට 2023 වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 3,665ක් පමණයි. 2022 වසරේ මෙම වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 3,342ක්. ඒ අනුව, 2022ට සාපේක්ෂව බැලුවත් රජයේ වියදම් ඉහළ ගොස් ඇතත් එම වැඩිවීම 9.7%ක් පමණයි. 

පවතින තත්ත්වය තුළ 9.7%කින් වුවත් වියදම් වැඩිවීම කෙනෙකුට පහසුවෙන් විවේචනය කළ හැකියි. එහෙත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකළත්, දැනට සිටින රාජ්‍ය සේවකයින්ට උසස්වීම්, වැටුප් වර්ධක ආදිය ලැබෙනවා. මා දන්නා තරමින් ඒවා අත්හිටුවා නැහැ. ඒ නිසා, රාජ්‍ය සේවක වැටුප් යම් ප්‍රමාණයකින් වැඩි වෙනවා. අනෙක් අතට පවතින ඉහළ උද්ධමනය තුළ මූර්ත පදනමකින් සිදු වන්නේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් අඩුවීමක්. ඒ වගේම, මිල මට්ටම 70%කින් ඉහළ යද්දී, රජය විසින් මිල දී ගන්නා භාණ්ඩ හා සේවා 20%කින් අඩු කළත්, වියදම 36%කින් ඉහළ යනවා. උද්ධමනය හා ගැලපෙන පරිදි වියදම් වැඩි කර නොගන්නවා කියන්නේත් වියදම් අඩු කරගත හැකි වක්‍ර ක්‍රමයක්. 

ලබන වසරේ රාජ්‍ය වියදම මම තවත් විදිහකට විභේදනය කර පෙන්වන්නම්. 

පොලී ගෙවීම් හැර වසරේ රාජ්‍ය වියදම - රුපියල් බිලියන 3,665 යි.

දේශීය ණය හා පොලී ගෙවීම් - රුපියල් බිලියන 3,586 යි.

විදේශීය ණය හා පොලී ගෙවීම් - රුපියල් බිලියන 629 යි.

එකතුව - රුපියල් බිලියන 7,879 යි. 

අපේක්ෂිත ආදායම - රුපියල් බිලියන 3,433යි.

නිකමට හිතමු රජය විසින් දේශීය ණය හා පොලී නොගෙවා ඉන්න තීරණය කළා කියලා. මේක විදේශ ණය පැහැර හරිනවා වගේ අමාරු වැඩකුත් නෙමෙයිනේ. පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරන එක විතරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ එය නීත්‍යානුකූල කටයුත්තක්. මම කියන්නේ රජය මේ වගේ දෙයක් කරයි කියලවත්, කළ යුතුයි කියලවත් නෙමෙයි. හැබැයි ඔහොම වැඩක් කළා කියන්නේ අයවැය ප්‍රශ්නය බොහෝ දුරට ඉවරයි.

රජයේ වියදම රටේ පවුල් ගණනින් බෙදුවොත් පවුලකට ලක්ෂ 15කට වඩා වැටෙන බව මම කලින් කිවුවනේ. රජය විසින් රට ඇතුළේ විකුණා තිබෙන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය රටේ පවුල් ගණනින් බෙදුවොත් පවුලකට ලක්ෂ 25කට කිට්ටුයි. ඒ කියන්නේ සෘජුව හෝ වක්‍රව එක පවුලක් විසින් රජයට ලක්ෂ 25ක් ණය දීලා තියෙනවා. රජය විසින් මේ ණය නොගෙවා පැහැර හරිනවා කියන්නේ එක පවුලකට තමන්ගේ වත්කම් වලින් රුපියල් ලක්ෂ 25ක් නැති වෙනවා කියන එක. 

රජය කරන්න සැලසුම් කර තියෙන්නෙත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන්න කියන්නෙත්, 2024 වෙද්දී ප්‍රාථමික ශේෂය අතිරික්තයක් කරලා ඒ තත්ත්වය දිගටම පවත්වා ගෙන යන්න. ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩක්. එහෙම කළා කියලා සමස්ත අයවැය හිඟය අතිරික්තයක් වෙන්නේ නැහැ. දිගින් දිගටම ණය වැඩි වෙන එක නවතින්නෙත් නැහැ. නමුත්, ණය කියලා අමුතුවෙන් සල්ලි ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැනටම අරන් තිබෙන ණය හා පොලිය ආපසු ගෙවන අතර එයින් කොටසක්ම තමයි ණය විදිහට ආපහු ගන්නේ. ඒ නිසා, මිනිස්සු අතට කීයක් හෝ සල්ලි එනවා මිසක් මිනිස්සුන්ගේ අතෙන් සල්ලි යන්නේ නැහැ. 

විදේශ ණය සම්බන්ධව දිගුකාලීනව කළ හැක්කේත් ඔය වගේම වැඩක්. එහෙම නැතුව ඒ ණය මේ හදිස්සියේ ගෙවලා ඉවර කරන්න බැහැ. දිගටම අලුතෙන් විදේශ ණය ගන්න සිදු වෙනවා. හැබැයි ඒ ණය වලින් දැනට තිබෙන විදේශ ණය වල වාරික හා පොලී ගෙවනවා මිසක් තවදුරටත් රජයේ අයවැය හිඟය පියවන්න විදේශ ණය ගන්න බැහැ. ඒ වැඩේ කරන්න පුලුවන්නම් විදේශ අංශය සමතුලිත කරගන්න පුළුවන්. 

මේ වැඩේට කෙටිකාලීනව ණයහිමියන් කැමති කර ගන්න වෙනවා. දිගුකාලීනව රටට එන ඩොලර් පමණක් වියදම් කරන්න වෙනවා. ඒ එන ඩොලර් වලිනුත් සුළු හෝ කොටසක් ණය ගෙවන්න ඉතිරි කරගන්න වෙනවා. එහෙම කරන්නනම් මහ බැංකුවට මැදිහත් වෙලා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. එසේ කරද්දී ඩොලරයේ මිල ඉහළ යනවා. එයට ඉඩ දෙන්න වෙනවා. විදේශ අංශය සමතුලිත වෙන්නේ ඩොලරයේ මිල නිදහසේ වෙනස් වෙන්න අවකාශ ඇත්නම් පමණයි.

Tuesday, November 22, 2022

දේශපාලනඥයින්ගේ වියදම්


පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා රජයේ අයවැය හිඟය අඩු කර ගැනීමේ අවශ්‍යතාවය ගැන හා ඒ සඳහා ආදායම් වැඩි කර ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවය ගැන ලිපි කිහිපයකින්ම පෙන්වා දුන්නා. ආදායම් වැඩි කර ගැනීම අයවැය හිඟය අඩු කර ගැනීම සඳහා කළ හැකි එකම දෙය නෙමෙයි. වියදම් කැපීම මගිනුත් මෙය කළ හැකියි. 

කෙසේ වුවත්, මෙහි දිගින් දිගටම නැවත නැවත විස්තර කර ඇති පරිදි, ආදායම් වැඩි කර ගැනීමේ මෙන්ම වියදම් කැපීමේද ප්‍රායෝගික සීමාවන් තිබෙනවා. ආදායම් පැත්ත ගැන තරමක් කතා කර ඇති නිසා දැන් අපි වියදම් පැත්තටත් එමු.

වියදම් කැපීම ගැන කතා කරන ගොඩක් අයට මුලින්ම මතක් වෙන්නේ දේශපාලනඥයින්ගේ අනවශ්‍ය, නාස්තිකාර වියදම්. මේ අනවශ්‍ය, නාස්තිකාර වියදම් පිළිබඳ චෝදනාව පදනමක් නැති එකක් නෙමෙයි. ඇහැට පේන දෙයක්. මම එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. එහෙත්, මේ ආකාරයේ වියදම් කැපීම මගින් පමණක් අයවැය හිඟය පියවා ගත හැකි බව දරුණු මුලාවක්. 

මම පහත සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්නේ කිසිදු අයුරකින් අනවශ්‍ය, නාස්තිකාර වියදම් කපා හැරීම අධෛර්යය කරන්නට නෙමෙයි. ඇත්ත තත්ත්වය පැහැදිලි කරන්නයි. යෝජිත 2023 අයවැයෙන් දේශපාලනඥයින්ගේ වියදම් ඇතුළත් වන වැය ශීර්ෂ පහත තිබෙනවා.

ජනාධිපති වරයාගේ වැය ශීර්ෂය = රුපියල් මිලියන 2,800

අග්‍රාමාත්‍ය කාර්යාලය = රුපියල් මිලියන 926

අමාත්‍ය මණ්ඩල කාර්යාලය = රුපියල් මිලියන 178

පාර්ලිමේන්තුව = රුපියල් මිලියන 3,699

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය = රුපියල් මිලියන 70

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය =  රුපියල් මිලියන 159

විපක්ෂ නායක කාර්යාලය = රුපියල් මිලියන 216


මේ වියදම් සියල්ලේ එකතුව = රුපියල් මිලියන 8,047


අපේක්ෂිත ආදායම = රුපියල් මිලියන 3,433,000

ආදායමේ ප්‍රතිශතයක් ලෙස ඉහත වියදම = 0.23%


ණය ගෙවීම්ද ඇතුළුව මුළු වියදම = රුපියල් මිලියන 7,879,499

මුළු වියදමේ ප්‍රතිශතයක් ලෙස ඉහත වියදම = 0.10%

ඉහත වියදම් සියල්ල දේශපාලනඥයින්ගේ වියදම් නෙමෙයි. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවේ වියදම් වලින් සැලකිය යුතු කොටසක් එහි සේවකයින්ගේ වියදම්. ඔවුන් දේශපාලනඥයින් හෝ දේශපාලන පත්වීම් ලැබූ අය නෙමෙයි. අනෙක් අතට, පළාත් සභා හා පළාත් පාලන ආයතන වල සිටින ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ වියදම් මෙහි ඇතුළත්ව නැහැ. ඒ වගේම, වෙනත් වැය ශීර්ෂ යටතේ "සැඟවුණු" වියදම් ඕනෑ තරම් තියෙන්න පුළුවන්. ඒ නිසා, මම මේ සංඛ්‍යාලේඛණ වලට ලොකුවට බර තබන්නේ නැහැ. 

කෙසේ වුවත්, මේ සියල්ල ලිහිල් ලෙස (conservatively) සලකා බැලීමෙන් පසුව වුවත්, දේශපාලනඥයින්ගේ වියදම් මුළු වියදම් වලින් 0.5%ක්වත් විය නොහැකියි. ඒ නිසාම, මේ වියදම් කොයි තරම් අඩු කළත්, පවතින වියදම් වලින් 99.5%ක්වත් එළෙසම පවතිනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. බොහෝ විට එම ප්‍රමාණය 99.9%ක් පමණම විය හැකියි. 

මේ හේතුව නිසා අනවශ්‍ය වියදම් සාධාරණීකරණය වෙන්නේ නැහැ. අඩු වශයෙන් ආදර්ශයක් ලෙස හෝ දේශපාලනඥයින් විසින් හැකි හැම වියදමක්ම කපා දැමිය යුතුයි. ආරක්ෂක වියදම් ගැන ඉදිරි සටහනකින් කතා කරමු. 

Monday, November 21, 2022

උද්ධමනය අඩුවීම තහවුරු වේ!

 

මේ වන විට ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2022 ඔක්තෝබර් මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ වෙනස් වීමම නිරූපණය කරමින් ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මත පදනම් වූ උද්ධමනයද 73.7% සිට 70.6% දක්වා අඩු වී තිබෙනවා.

මීට පෙර ප්‍රකාශයට පත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2022 ඔක්තෝබර් උද්ධමනය 69.8% සිට 66.0% දක්වා ප්‍රතිශතාංක 3.8%කින් පහළ ගියා. ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මත පදනම් වූ උද්ධමනය ප්‍රතිශතාංක 3.1%කින් අඩු වී තිබෙනවා. ආහාර උද්ධමනය (80.9%) මෙන්ම ආහාර නොවන උද්ධමනය (61.3%) තුළද මේ අඩු වීමේ ප්‍රවණතාව දැකිය හැකියි.

පවතින තත්ත්වය විස්තර කිරීම සඳහා යොදා ගත හොඳම උපමාව මගේ පෙර සටහනක ලියා ඇති දෙයයි. මුහුදේ ගිලී ඇති බෝට්ටුව අඟල් කිහිපයක් උඩට ඉස්සී ඇතත්, එය තවමත් තියෙන්නේ අඩි ගණනක් මුහුද යටයි. 

උද්ධමනය දිගින් දිගටම ක්‍රමික ලෙස අඩු වනු ඇතත්, අඩු වශයෙන් 2023 අප්‍රේල් පමණ වන තුරු එය සිදු වනු ඇත්තේ සෙමින්. ඒ අතර, ඇතැම් මාසයක උද්ධමනය සුළුවෙන් වැඩි වෙන්න වුනත් බැරි කමක් නැහැ. උද්ධමනය වඩා වේගයෙන් පල්ලම් බසිනු ඇත්තේ 2023 අප්‍රේල් වලින් පසුවයි. කෙසේ වුවත්, මේ වන විට අධි උද්ධමන අවදානම, තිරසාර ලෙස නොවුණත්, පාලනය වී තිබෙනවා. 

උද්ධමනය ගැන මැසිවිලි නගන අයට ආර්ථික අර්බුදයේ තරම හරියටම අවබෝධ වනු ඇත්තේ උද්ධමනය අඩු වීමෙන් පසුවයි. රජයේ හා පෞද්ගලික අංශයේ මාසික වැටුප් ලබන අයට උද්ධමනයේ බලපෑම දැඩි ලෙස දැනෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහෙත්, මා පෙර ලිපියක විස්තර කළ පරිදි, අයෙකුගේ වියදම් වැඩිවීම යනු තවත් අයෙකුගේ ආදායම් ඉහළ යාමයි. නිෂ්පාදන වල යෙදෙන අයට උද්ධමනය නරකම නැහැ. ඒ අයටද ආර්ථික අර්බුදය දැනෙන්නට පටන් ගනු ඇත්තේ උද්ධමනය අඩු වූ පසුවයි.

බොහෝ දෙනෙකුගේ ජීවන තත්ත්වය පහළ වැටී තිබෙන්නේ ආර්ථිකය සංකෝචනය වීම නිසා මිස උද්ධමනය නිසා පමණක් නෙමෙයි. පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ උද්ධමනය පැවතුණේ අඩු මට්ටමකයි. එහෙත්, තමන්ගේ ආර්ථිකය දුර්වල වී තිබීම ගැන ඒ කාලයේත් බොහෝ දෙනෙකුට මැසිවිලි තිබුණා. ඒවා පක්ෂ දේශපාලනය මත පදනම් වූ බොරු මැසිවිලිම නෙමෙයි. 

මහින්ද රාජපක්ෂ ජනාධිපති වී සිටි කාලයේ පැවති ඉහළ ආර්ථික වර්ධන වේගයට ලංකාවේ බොහෝ දෙනෙක් හුරු වී සිටියා. යහපාලන ආණ්ඩුව කාලයේ එම ආර්ථික වර්ධනය පහළ බැස්සා. එය මිනිස්සුන්ට දැනුනා. එහෙත්, ඒ කාලයේදීත් ආර්ථිකය සෙමින් හෝ වර්ධනය වුනා මිස හැකිළුනේ නැහැ. ආර්ථිකය සංකෝචනය වීම ශ්‍රී ලාංකිකයින්ට නුපුරුදු අලුත්ම දෙයක්. එය කුමක්ද කියා බොහෝ දෙනෙකුට තවමත් හරි අවබෝධයක් නැහැ.

ආර්ථිකය සංකෝචනය වීම කියන්නේ රටේ නිෂ්පාදනය අඩු වීම. මිනිසුන්ගේ ආදායම් අඩු වීම. රැකියා අහිමි වීම. මේ වගේ තත්ත්වයක් වලක්වා ආර්ථිකය නැවත ප්‍රසාරණය කිරීමේ හැකියාවක් දැන් රජයට හෝ මහ බැංකුවට නැහැ. එසේ කිරීම සඳහා තවත් සල්ලි අච්චු ගැසුවොත් ප්‍රතිඵලය අධිඋද්ධමන තත්ත්වයක් ඇති වීමයි. අධිඋද්ධමන තත්ත්වයක් ඇති වුවහොත් කොහොමටත් ජීවිතය යහපත් වන්නේ නැහැ.

දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ තුළ ඉලක්ක කරන්නේ දරුණු රෝග දෙකකින් එකකට පමණක් පිළියම් කරන්නටයි. ලෙඩ දෙකකටම පිළියම් කළ නොහැකිනම් හොඳම දෙය පුළුවන් එකට හෝ පිළියම් කිරීම වුවත් එසේ කිරීමෙන් අනෙක් රෝගයේ වේදනා නිමා වන්නේ නැහැ.

උද්ධමනය අඩු වෙනවා කියන්නේ මිල අඩු වෙනවා කියන එක නෙමෙයි. ඩොලරයක මිල නැවත කලින් මට්ටමට එන්නේ නැතුවාක් මෙන්ම වැඩි වූ බඩු මිල නැවත අඩු වන්නේද නැහැ. උද්ධමනය අඩු වීම යනු බඩු මිල තවත් ඉහළ යාමේ වේගය පාලනය වීමක් පමණයි. ඒ හේතුව නිසාම, රජයේ හා පෞද්ගලික අංශයේ මාසික වැටුප් ලබන පහළ මධ්‍යම පාන්තිකයින්ට අර්බුදයට පෙර පැවති ජීවිතය නැවත ලැබෙන්නේ නැහැ. ඔවුන්ට තමන්ගේ ආදායම අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් වැය කරමින් අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හරින්නට සිදු වෙනවා. බොහෝ දෙනෙක්ට දැනටමත් එසේ කරන්න සිදු වෙලා.

කෙසේ වුවත්, ඊළඟ වටයේදී ජීවිතය වඩාත්ම අසීරු වනු ඇත්තේ ඉහත කී  රජයේ හා පෞද්ගලික අංශයේ මාසික වැටුප් ලබන පහළ මධ්‍යම පාන්තිකයින්ට නෙමෙයි. ඔවුන්ට කෙසේ හෝ ජීවිතය ගැට ගහගන්න පුළුවන්. එහෙත්, කලින් මෙන් මරුටියක්, ඇල්ටෝ එකක් නඩත්තු කිරීම, හන්දියට වුනත් ත්‍රිරෝද රථයක යාම, විශේෂඥවරුන් චැනල් කිරීම, සති අන්ත විනෝද චාරිකා, චීන අවන්හල් වල සෙට් වීම්, පන්සල් පල්ලි වල "ප්‍රසාංගික" ආගමික කටයුතු ආදිය කරන්න බැරි වෙයි. ගෙවන්න ගන්න ඉලෙක්ට්‍රොනික් බඩු, ගෙවල් හැදීම් කරන්න අමාරු වෙයි. 

විශාල පිරිසක් ඉහත ආකාරයේ වියදම් කපා හැරීම නිසා අපනයන හෝ සංචාරකයින් ඉලක්ක කර නොගත් සේවා ආර්ථිකයේ විශාල බිඳ වැටීමක් සිදු වීම වැළැක්විය නොහැකියි. මුල් කණ්ඩායමට මෙන් නොව මෙහිදී පහර වදින කණ්ඩායමට තමන්ගේ ආදායම් මාර්ගය මුළුමනින්ම මෙන් නැති විය හැකියි. ආර්ථිකය සංකෝචනය වීමේ වඩාත්ම භයානක ප්‍රතිඵලය එයයි. සුළු හා මධ්‍යම ව්‍යවසායකයින් නැත්තටම නැති වී තිබෙන්නේද ආර්ථිකය සංකෝචනය වීම නිසා මිසක් උද්ධමනය නිසා නෙමෙයි. ඒ හේතුව නිසාම, උද්ධමනය අඩු වූ පමණින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.

ආර්ථිකය සංකෝචනය වීම වැළැක්වීම රජයට හෝ මහ බැංකුවට කළ නොහැකි දෙයක්. ආණ්ඩුව මාරු වුනා කියාත් කෙටිකාලීනව මේ තත්ත්වයේ වෙනසක් වීමේ ඉඩක් නැහැ. රජයට හෝ මහ බැංකුවට කළ හැක්කේ රට ඇතුළේම තිබෙන සම්පත් එහා මෙහා කිරීම පමණයි. නමුත් මේ වෙලාවේ රට ඇතුළේ එවැනි සම්පත් නැහැ. රටේ හැමෝටම අමාරුයි. රටේ තත්ත්වය හොඳ අතට හැරිය හැක්කේ රටට පිටින් ලැබෙන දෙයකින් පමණයි. මෙය තවතවත් ණය වීමක් ලෙස හැඳින්විය හැකි වුවත්, රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය යම් මට්ටමකින් හෝ පවත්වා ගැනීමටනම් යම් හෝ විදේශ ණය ප්‍රමාණයක් අවශ්‍යයි. 

ණය පැහැර හැර ඇති රටකට තවත් ණය ලබා ගත හැකිද? මේ කරුණ මා මේ සටහනේ දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න යන්නේ නැහැ. එහෙත්, මෙය කිසිසේත්ම කළ නොහැකි දෙයක් නෙමෙයි. එහෙත්, ඒ සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ දැනට පැහැර හැර ඇති ණය ආපසු ගෙවන ආකාරය පිළිබඳව පැහැදිලි පොරොන්දුවක් ණය හිමියන්ට ලබා දීමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ සිදු වන්නේ එවැනි දෙයක්.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වී යම් ණය ප්‍රමාණයක් අලුතෙන් ලබා ගත හැකි වුවහොත් තාවකාලිකව අර්බුදයෙන් ගොඩ යා හැකියි. එහෙත් එයින් අදහස් වන්නේ නැවත 2019 සිටි තැනට යා හැකි බව නෙමෙයි. තත්ත්වය තවත් නරක අතට හැරෙන එක නවත්වා ගැනීම පමණයි. 

හොඳම තත්ත්වයක් යටතේ වුවත් ගත් ණය ආපසු ගෙවීමේ ප්‍රශ්නය එලෙසම ඉතිරි වෙනවා. ඒ නිසා, නැවතත් ගිතෙල් කා සැප විඳි කාලයට ආපසු යන්න බැහැ. වසරකට ඩොලර් බිලියන තුනකින් පමණ අපනයන ආදායම් වැඩි කර ගැනීමේ සැලසුමක් ගැන ඇහුණා. මේ විදිහට අපනයන ආදායම් වැඩි කර ගැනීමේ ශක්‍යතාවය කෙසේ වුවත්, වසර දහයකින් පසුව හෝ නැවත පෙර සිටි තැනට පැමිණිය හැකි එකම ක්‍රමය එයයි. 

Sunday, November 20, 2022

මුදල්, ගනුදෙනු හා මුදල් මැවීම

 

පෙර සටහනෙන් විස්තරාත්මක ලෙස පෙන්වා දුන්නේ ඇතැම් දේශපාලනඥයින් විසින් ප්‍රකාශ කර ඇති පරිදි, "වත්මන් මහ බැංකු අධිපතිවරයා විසින් සල්ලි අච්චු ගැසීමේ ආදීනව ගැන හැම තිස්සේම ලොකුවට කතා කළත්, කලින්ටත් වඩා වැඩියෙන් සල්ලි අච්චු ගසා ඇති බව" පට්ටපල් බොරුවක් බවයි. මේ පට්ටපල් බොරු කතාව නොදැනුවත්කමට කළ ප්‍රකාශයක් කියා මම හිතන්නේ නැහැ. මගේ අදහස වනුයේ මෙය "වඳ කොත්තු" මාදිලියේ හිතාමතා දුෂ්ඨ චේතනාවෙන් කළ ප්‍රකාශයක් බවයි. 

අදාළ පුද්ගලයා විසින් මහබැංකු අධිපතිවරයාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යැවිය යුතු බවද කියා තිබෙනවා. ඇත්තටම පුනරුත්ථාපනය කළ යුත්තේ මෙසේ පට්ටපල් බොරු කියන අයවම බව මා නොකියන්නේ එසේ කිරීමෙන් වැඩක් නොවන බව ඉතාම පැහැදිලි නිසයි. පුනරුත්ථාපනය කරනවානම් කළ යුත්තේ මේ වගේ කතා වලට තවමත් රැවටෙන, කරුණු සොයා නොබලා ඔවුන් කියන දේ විශ්වාස කරන අයයි. 

නොදැනුවත්කම නිසා මෙවැනි කතා විශ්වාස කරන අයට මම මේ විදිහට චෝදනා කරන්නේ නැහැ. ගිණි පෙණෙල්ලෙන් බැට කෑමෙන් පසුව කණාමැදිරියන් ගැනද ඇහැ ගහගෙන සිටීම නරක දෙයක් නෙමෙයි. අප කරන්නේ කරුණු සොයා බලා හරි දේ දැනගන්නට කැමති අයට අපට හැකි තරමින් ඒ සඳහා උදවු කිරීමයි. අප මෙහි ලියන දේ ඇතුළු කිසිවක් කිසිවකු විසින් පරීක්ෂා නොකර, ප්‍රශ්න නොකර, කියන නිසාම විශ්වාස කළ යුතු නැහැ.

කලින් ලිපියේ පැහැදිලි කළ පරිදි රටක මහ බැංකුවක් විසින් සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමයි. පසුගිය 2021 වසර තුළ පමණක් සංචිත මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 964,440 සිට රුපියල් මිලියන 1,305,809 දක්වා 35.4%කින් ඉහළ ගියා. 2022 අප්‍රේල් අවසන් වෙද්දී රුපියල් මිලියන 1,481,805 දක්වා තව දුරටත් ඉහළ ගියා. එහෙත්, අප්‍රේල් මාසයේ සිට ක්‍රමයෙන් සංචිත මුදල් ප්‍රමාණය අඩු වී 2022 නොවැම්බර් 17 වන විට රුපියල් මිලියන 1,336,146 මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. (ප්‍රස්ථාරය බලන්න. එය කෙළින්ම මහ බැංකු වාර්තාවකින් ගත් එකක්.)

සංචිත මුදල් කියන්නේ නෝට්ටු හා කාසි පමණක්ද?

එය එසේ නොවන බව මම පෙර සටහනේ පැහැදිලිව කිවුවා. සංසරණයේ ඇති නෝට්ටු හා කාසි සංචිත වල එක් කොටසක් පමණයි. සංචිත මුදල් කියා කියන්නේ, අර්ථදැක්වීමක් ලෙස, ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. සංසරණයේ ඇති නෝට්ටු හා කාසි කියන්නේ ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. ඊට අමතරව මහ බැංකුවේ පවත්වා ගෙන යන ගිණුමක ඇති වාණිජ බැංකු වලට අයිති මුදල්ද ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. සංචිත මුදල් කියා කියන්නේ මේ කොටස් දෙකේ එකතුව.

සංචිත මුදල් = සංසරණයේ ඇති නෝට්ටු හා කාසි + මහ බැංකුවේ ඇති වාණිජ බැංකු වල මුදල්

මේ අර්ථදැක්වීම ලංකාවට පමණක් අදාළ කරුණක් නෙමෙයි. වෙනත් බොහෝ රටවල් සංචිත මුදල් අර්ථ දක්වන්නේත් මේ විදිහටමයි.

2022 සැප්තැම්බර් අවසානයේදී ඇමරිකාවේ සංසරණයේ තිබුණු නෝට්ටු හා කාසි ප්‍රමාණය = ඩොලර් බිලියන 2,279.5

2022 සැප්තැම්බර් අවසානයේදී ෆෙඩරල් සංචිත බැංකුවේ තිබුණු වාණිජ බැංකු වල මුදල් ප්‍රමාණය = ඩොලර් බිලියන 3,131.4

2022 සැප්තැම්බර් අවසානයේදී ෆෙඩරල් සංචිත බැංකුවේ තිබුණු සංචිත මුදල් ප්‍රමාණය = ඩොලර් බිලියන 5,410.9

දැන් මේ ගණන් දිහා බැලුවොත් ඇමරිකාවේ සංචිත මුදල් වලින් 42%ක් පමණ සංසරණයේ තිබුණු නෝට්ටු හා කාසි. එයින් කියන්නේ ඇමරිකාවේ සිදුවන ගනුදෙනු වලින් 42%ක් සිදුවන්නේ නෝට්ටු හා කාසි වලින් කියන එක නෙමෙයි. ඇමරිකාවේ නෝට්ටු හා කාසි වලින් සිදුවන ගණුදෙනු ප්‍රමාණය ඉතාම අඩුයි. ගණුදෙනු හා මුදල් කියන්නේ වෙනම කරුණු දෙකක්.

ඇමරිකාවේ ගොඩක් සිල්ලර ගනුදෙනු සිදු වෙන්නේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් වලින්. තව චෙක් ගනුදෙනු, වෙනත් විද්‍යුත් ගනුදෙනු එහෙමත් සිදු වෙනවා. හැබැයි මේ ගනුදෙනු සඳහා යොදා ගන්න ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්, චෙක්පත් ආදිය සල්ලි නෙමෙයි. ඒවා තමන්ගේ බැංකුවට ගෙවීමක් කිරීම සඳහා ඉල්ලීමක් කිරීමට යොදා ගන්නා ගෙවීම් උපකරණ පමණයි. 

අන්තර්ජාලය හරහා නැත්නම් දුරකථයෙන් මේ වගේ ඉල්ලීමක් කරන්නත් පුළුවන්. හැබැයි අවසාන වශයෙන් මේ ගනුදෙනුවේ කොනක තියෙන්නේ කලින් විස්තර කළ සංචිත මුදල්. එක්කෝ සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි වලින් බැංකුවක තිබෙන කොටස එහා මෙහා වෙනවා. නැත්නම් ෆෙඩරල් සංචිත බැංකුවේ තිබෙන වාණිජ බැංකු වල සල්ලි එහා මෙහා වෙනවා. ලොකු ගණුදෙනුවක්නම් බොහෝ විට දෙවැන්න.

ලංකාවේ වෙන්නෙත් මේකම තමයි.

2022 මාර්තු අවසානයේදී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 281,791 යි. 

2022 මාර්තු අවසානයේදී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 817,533 යි.  

2022 මාර්තු අවසානයේදී මහ බැංකුවේ දමා තිබුණු බැංකු වල සල්ලි = රුපියල් මිලියන 287,376 යි.  

2022 මාර්තු අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 1,386,700 යි. 

ඔය දවස වෙද්දී සංචිත මුදල් වලින් 59.0%ක් මිනිස්සුන්ගේ අතේ. තවත් 20.3%ක් බැංකු වල. එකතුව 79.3%ක්. මහ බැංකුවේ තිබුණු කොටස 20.7%ක් පමණයි. හැබැයි මේ ගණන නියතයක් නෙමෙයි.

2022 ජූනි 30 වෙද්දී මහ බැංකුවෙන් පිට තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 1,114,776 යි. 

2022 ජූනි 30 වෙද්දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 1,452,596 යි.

මාස තුනකට පස්සේ ගණන් බැලුවොත් සංසරණයේ තිබෙන මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණය සංචිත මුදල් වලින් 76.7%ක්. මෙයින් කියන්නේ රටේ ගනුදෙනු වලින් 76.7%ක් සිදු වෙන්නේ නෝට්ටු හා කාසි වලින් කියන එක නෙමෙයි. වසරක් වගේ කාලයක් ගත්තොත් රුපියල් සීයේ නෝට්ටුවක් වාර ගණනාවක් අතින් අත යනවා. ඒ අනුව එකම රුපියල් සීයෙන් රුපියල් සීයේ ගෙවීම් පහක් හෝ දහයක් කරන්න පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් වුනත් පුළුවන්. මුදල් සංසරණය කියන්නේ මේ විදිහට එකම මුදල අතින් අත යන එකටයි. මුදල භෞතික මුදල් නෝට්ටුවක් හෝ කාසියක් විය යුතුම නැහැ. එය විද්‍යුත් ලෙස සිදුවන හුවමාරුවක් වෙන්න පුළුවන්. 

මහ බැංකුවේ පවත්වාගෙන යන වාණිජ බැංකු වල ගිණුම් වල තිබෙන සංචිත මුදල් කොටස ගනුදෙනු සඳහා වඩා විශාල වාර ගණනක් එහා මෙහා වෙනවා. ඇතැම් විට එකම රුපියල (මේ කියන්නේ භෞතික රුපියලේ කාසියක් ගැන නෙමෙයි) එකම දවසක් තුළ වුනත් හතර පස් වාරයක් එහා මෙහා වෙන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනු හා වෙනත් අන්තර් බැංකු ගනුදෙනු කරද්දී ගෙවීම් කරන්නේ මේ ගිණුම් වලින්. ඒ වගේම, චෙක්, ඩෙබිට් කාඩ් ආදියෙන් කරන සිල්ලර ගනුදෙනු අවසාන වශයෙන් පියවන්නෙත් මේ ගිණුම් වල තිබෙන සල්ලි වලින්. 

ඔය සියල්ලටම අමතරව වාණිජ බැංකුවකට ඔය ගිණුමක තිබෙන තමන්ගේ සල්ලි නෝට්ටු හෝ කාසි විදිහට ගන්න අවශ්‍යනම් ඒකත් කරන්න පුළුවන්. ආරක්ෂක නිලධාරීන් එක්ක වාහනයක් එවලා මහ බැංකුවෙන් විශාල නෝට්ටු ප්‍රමාණයක් අරන් යන එක වගේම, ඒ විදිහටම මහ බැංකුවේ මුදල් තැන්පත් කරන එකත් අමුතු දෙයක් නෙමෙයි.

මුදල් කියන්නේ ආප්ප තාච්චියක්නම් ගනුදෙනු කියන්නේ ඒ තාච්චියෙන් හදන ආප්ප වගේ. කිසියම් කාලයක් තුළ වැඩියෙන් ආප්ප හදන කෙනා වැඩියෙන්ම ආප්ප තාච්චි ප්‍රමාණයක් තියෙන කෙනාම වෙන්න ඕනෑ නැහැ. සංචිත මුදල් වලින් 75-80%ක් පමණ නෝට්ටු හා කාසි වුනත්, ඉතිරි කොටසින් කරන ගනුදෙනු ප්‍රමාණය වඩා වැඩි කොටසක් වෙන්න පුළුවන්. ගනුදෙනු වල වටිනාකම අනුව බැලුවොත්නම් අනිවාර්යයෙන්ම ලොකු කොටස. මොකද ලොකු ගනුදෙනු වෙන්නේ නෝට්ටු හා කාසි වලින් නෙමෙයි. 

එතකොට මුදල් මැවීම කියා කියන්නේ මේකටද?

නෑ. මුදල් මැවීම කියන්නේ මේකට නෙමෙයි. ඒක වෙනම දෙයක්. බැංකු වල සල්ලි දැම්මහම බැංකු ඒ සල්ලි බැංකුවේ තියාගෙන ඉන්නේ නැහැ. දැන් පේනවනේ බැංකු වල තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය රුපියල් මිලියන 300කට අඩු බව. ඒ වගේම මහ බැංකුවේ තිබෙන බැංකු වල සල්ලි ප්‍රමාණයත් රුපියල් මිලියන 300ට අඩුයි. (මේ ගණන් වෙනස් වෙන්න පුළුවන්). ඒ කියන්නේ ඔය කොටස් දෙකම එකතු කළත් රුපියල් බිලියන 600ක් නැහැ. නමුත් බැංකු වල දාලා තියෙන මිනිස්සුන්ගේ සල්ලි ප්‍රමාණය ඔය වගේ 20ගුණයක්වත් වෙනවා. එහෙමනම්, ඉතුරු සල්ලි ටික කෝ?

අපි ගණන් දිහා බැලුවොත්, 2022 සැප්තැම්බර් අවසාන වෙද්දී මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු, එහෙමත් නැත්නම් අච්චු ගසා තිබුණු, සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,378.6ක් පමණයි. නමුත්, කාසි හා නෝට්ටු ලෙස හෝ බැංකු ගිණුම් වල තැන්පතු ලෙස මිනිස්සු අතේ තිබුණු සල්ලි ප්‍රමාණය රුපියල් බිලියන 12,051.5ක්. මුලින්ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මහ බැංකුව අච්චු ගසා තියෙන්නේ රුපියල් බිලියන 1,378.6ක් පමණක්නම්, ඒ වගේ නව ගුණයක් විතර බැංකු වල දමන්න මිනිස්සුන්ට සල්ලි ලැබුණේ කොහොමද? 

මේක තමයි මුදල් මැවීම කියන්නේ. මහ බැංකුව විසින් සංචිත මුදල් ලෙස නිකුත් කරන හැම රුපියලක්ම වාණිජ බැංකු විසින් නැවත නැවත වාර ගණනාවක් මිනිස්සුන්ට ණයට දෙනවා. උඩ ගණන් දිහා බැලුවොත් එකම රුපියල නව පාරක් ණයට දීලා. මේක කරන්න පුළුවන් වෙන්නේ ණය ගන්න මිනිස්සු ඒ සල්ලි අතේ තියාගෙන ඉන්නේ නැති නිසා. සල්ලි වියදම් කරද්දී ඒ සල්ලි කාගේ හෝ ආදායමක් වෙලා නැවත බැංකු ඇතුළටම එනවා. එතකොට බැංකු ඒ සල්ලිම නැවතත් ණයට දෙනවා. 

ඔය ටික වෙලා තියෙන්නේ සංචිත මුදල් වලින් 60%ක් පමණ මිනිස්සු අතේ තියාගෙන ඉඳිද්දී. නැවත නැවත පැටවු ගහලා තියෙන්නේ ඉතිරි 40%. ඒ කියන්නේ බැංකු වල හා මහ බැංකුවේ තිබෙන කොටස. මිනිස්සු අතේ තියාගෙන ඉන්න නෝට්ටු හා කාසි ප්‍රමාණය 60%ට වඩා අඩුවුණානම් බැංකු වලට එන කොටස වැඩි වෙලා මුදල් මැවීමත් තවත් වැඩි වෙනවා. මේ විදිහට එකම රුපියල කීප දෙනෙකුගේම වත්කම් හා/හෝ බැරකම් බවට පත් වීම මුදල් ගුණනය ලෙස හඳුන්වනවා. අදාළ අනුපාතය මුදල් ගුණකය. මේ විදිහට ගුණනය වුනාට පස්සේ ප්‍රමාණයට පුළුල් මුදල් සැපයුම කියා කියනවා.

පුළුල් මුදල් සැපයුම = සංචිත මුදල් * මුදල් ගුණකය

මිනිස්සු බඩු ගන්න වියදම් ක‍රන්නේ සංචිත මුදල් පමණක් නොවන නිසා ඇත්තටම උද්ධමනය කෙරෙහි බලපාන්නේ ඔය පුළුල් මුදල් සැපයුම. නමුත්, එය මහ බැංකුව විසින් තනිව තීරණය කරන දෙයක් නොවන නිසා මහ බැංකුවට සෘජුව පාලනය කරන්න බැහැ. මහ බැංකුවට කළ හැක්කේ "සල්ලි අච්චු ගැසීම" එහෙමත් නැත්නම් සංචිත මුදල් ප්‍රමාණය සීමා කරන එකයි. එවිට වක්‍ර ලෙස පුළුල් මුදල් සැපයුමද පාලනය වෙනවා. 

මුදල් සැපයුම පාලනය කිරීම සඳහා මුදල් ගුණකය පාලනය කරන්නත් පුළුවන්. අවසාන වශයෙන් මුදල් ගුණකය තීරණය කරන්නේ වාණිජ බැංකු හා මිනිස්සු විසින් වුවත් පොලී අනුපාතික වැඩි කිරීම මගින් ණය දීම හා ගැනීම අධෛර්ය කර මුදල් ගුණකය අඩු කිරීමට උත්සාහ කළ හැකියි. උද්ධමනය පාලනය කරන්නනම් ඔය මොන ක්‍රමයෙන් හෝ අන්තිමේදී පුළුල් මුදල් සැපයුම අඩු වන තුරු මහ බැංකුවට දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීම සීමා කරන අතරම පොලී අනුපාතිකද ඉහළින් තියාගන්න වෙනවා. 

Saturday, November 19, 2022

සල්ලි අච්චු ගැසීම


මෙහි සටහන් ලියා පළ කරද්දී පුද්ගලයින් විවේචනය කරමින් හෝ අගය කරමින් ලියන්නට අප වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. අප විමසුමට ලක් කරන්නේ විවිධ ප්‍රතිපත්ති තීරණ හේතුවෙන් සිදුවන හෝ සිදු විය හැකි දෙයයි. එහිදී අදාළ ප්‍රතිපත්ති තීරණ හෝ ක්‍රියාමාර්ග මිස එම තීරණ ගත් පුද්ගලයා කවුද යන්න අප අදාළ කර ගන්නේ නැහැ. අප නිවැරදි සේ දකින තීරණයක් කවුරු ගත්තත් අප ඒ බව කියන්නට පැකිලෙන්නේ නැහැ. වැරදි තීරණ සම්බන්ධවත් මේ ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ.

අප විමසුමට ලක් කරන බොහොමයක් ප්‍රතිපත්ති තීරණ තාක්ෂනික ලෙස ආයතනික තීරණ වුවත්, විශේෂයෙන්ම ලංකාවේ සන්දර්භය තුළ, අදාළ ආයතන පාලනය කරන පුද්ගලයින් එම තීරණ කෙරෙහි කරන බලපැම අපට මග හැර යා නොහැකියි. ඒ හේතුව නිසාම, ලියන කිසියම් කරුණකදී සෘජුව හෝ වක්‍ර ලෙස පුද්ගල සංසන්දනයන් සිදු වන්නේනම් අප එය ප්‍රශ්නයක් කර ගන්නේ හෝ වංගු ගසා මග හැර යන්නේද නැහැ.

මේ කතාව රජයේ හෝ මහ බැංකුවේ තීරණ බොහොමයකටද අදාළයි. මහ බැංකුවේ තීරණ යනු ආයතනික තීරණ මිසක් එහි අධිපතිවරයාගේ තීරණ නෙමෙයි. ඒ හේතුව නිසාම, මහ බැංකුව විසින් අධිපතිවරුන්ගේ ධුර කාල අනුව තොරතුරු හෝ සංඛ්‍යාලේඛණ වෙන් කර පෙන්වන්නේ නැහැ. එහෙත්, විවිධ පුද්ගලයින් විසින් එසේ කරනවා. 

මෑතකදී හිටපු අධිපතිවරුන් දෙදෙනෙකු වන ලක්ෂ්මන් හා කබ්රාල්ගේ කාල වල හා වත්මන් අධිපතිවරයාගේ කාලය තුළ මහ බැංකුව විසින් කළ "සල්ලි අච්චු ගැසීම්" ගැනද එවැනි සංසන්දනයක් සිදුව තිබෙනවා. මේ සටහන ඒ ගැන කිහිප දෙනෙකු විසින් සිදු කළ විමසුම් වලට පිළිතුරක් කියා කියන්න පුළුවන්.

මහ බැංකුව සල්ලි අච්චු ගහන්නේ කොහොමද? මහ බැංකුව අච්චු ගහන සල්ලි කියන්නේ මොනවාද?

මම හිතන්නේ කියවන බොහෝ දෙනෙකුට තේරෙන තැනකින් පටන් ගෙන මෙය පැහැදිලි කිරීම වඩා සුදුසු බවයි. කාගේ හෝ අතේ ඇති රුපියල් සීයේ, පන්සීයේ හෝ පන්දාහේ නෝට්ටුවක් සල්ලි කියා මම කිවුවොත් මෙය කියවන කිසිවෙකු එයට විරුද්ධ වෙන එකක් නැහැ. රුපියලේ හෝ රුපියල් දහයේ කාසියක් වුනත් සල්ලි බව කවුරුත් එකඟ වන දෙයක්.

ලංකාවේ සංසරණයේ ඇති සියලුම රුපියල් නෝට්ටු හා කාසි සංසරණයට එකතු කර තිබෙන්නේ මහ බැංකුව විසිනුයි. ඒ නිසා, සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය මහ බැංකුව හරියටම, අන්තිම සතේටම, දන්නවා. මහ බැංකුව මේ තොරතුරු ප්‍රසිද්ධ කළොත් අපිත් දන්නවා. 

පහත තියෙන්නේ 2019 වසර අවසානයේ සංසරණයේ තිබුණු රුපියල් නෝට්ටු ප්‍රමාණය.

රුපියල් 5000 නෝට්ටු මිලියන 89.3ක පමණ වටිනාකම - රුපියල් මිලියන 446,313 යි.

රුපියල් 2000 නෝට්ටු මිලියන 2.0ක පමණ වටිනාකම - රුපියල් මිලියන 4,044 යි.

රුපියල් 1000 නෝට්ටු මිලියන 134.4ක පමණ වටිනාකම - රුපියල් මිලියන 134,368 යි.

රුපියල් 500 නෝට්ටු මිලියන 83.4ක පමණ වටිනාකම - රුපියල් මිලියන 41,697 යි.

රුපියල් 200 නෝට්ටු මිලියන 0.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 128 යි.

රුපියල් 100 නෝට්ටු මිලියන 236.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 23,663 යි.

රුපියල් 50 නෝට්ටු මිලියන 114.4ක පමණ වටිනාකම - රුපියල් මිලියන  5,721 යි.

රුපියල් 20 නෝට්ටු මිලියන 293.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 5,877 යි.

රුපියල් 10 නෝට්ටු මිලියන 126.0ක පමණ වටිනාකම - රුපියල් මිලියන 1,260 යි.


සංසරණයේ තිබුණු නෝට්ටු වල මුළු වටිනාකම = රුපියල් මිලියන  663,139 යි. 


මේ විදිහටම අපට සංසරණයේ තිබුණු කාසි ප්‍රමාණයේ වටිනාකමත් බලාගන්න පුළුවන්.

රුපියල් 10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 6,721 යි.

රුපියල් 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 4,696 යි. 

රුපියල් 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 1,477 යි. 

රුපියලේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 964 යි. 

සත 50 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 185 යි. 

සත 25 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 121 යි. 

සත10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 39 යි. 

සත 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 23 යි.

සත 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 6 යි. 

සතයේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 4 යි. 

සංසරණයේ තිබුණු කාසි වල මුළු වටිනාකම = රුපියල් මිලියන 14,828 යි. 

ඔය රුපියලෙන් පහළ කාසි ඇත්තටම දැන් සංසරණයේ නැහැ. නමුත්, ඒවාත් මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ වල තිබෙනවා. මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ මුහුණත වටිනාකම රුපියල් මිලියන 677,967ක්. ඔය 2019 අවසාන වෙද්දී තිබුණු තත්ත්වය. 

දැන් අපි 2021 අවසානයේදී තත්ත්වය දිහා බලමු. 

රුපියල් 5000 නෝට්ටු මිලියන 145.9ක පමණ වටිනාකම - රුපියල් මිලියන 729,384 යි.

රුපියල් 2000 නෝට්ටු මිලියන 1.5ක පමණ වටිනාකම - රුපියල් මිලියන 2,951 යි.

රුපියල් 1000 නෝට්ටු මිලියන 160.8ක පමණ වටිනාකම - රුපියල් මිලියන 160,771 යි.

රුපියල් 500 නෝට්ටු මිලියන 104.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 52,284 යි.

රුපියල් 200 නෝට්ටු මිලියන 0.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 126 යි.

රුපියල් 100 නෝට්ටු මිලියන 274.7ක පමණ වටිනාකම - රුපියල් මිලියන 27,472 යි.

රුපියල් 50 නෝට්ටු මිලියන 141.7ක පමණ වටිනාකම - රුපියල් මිලියන  7,087 යි.

රුපියල් 20 නෝට්ටු මිලියන 361.7ක පමණ වටිනාකම - රුපියල් මිලියන 7,235 යි.

රුපියල් 10 නෝට්ටු මිලියන 124.9ක පමණ වටිනාකම - රුපියල් මිලියන 1,249 යි.


සංසරණයේ තිබුණු නෝට්ටු වල මුළු වටිනාකම = රුපියල් මිලියන 988,628 යි.

රුපියල් 20 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 41 යි. 

රුපියල් 10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 7,674 යි. 

රුපියල් 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 5,168 යි. 

රුපියල් 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 1,588 යි. 

රුපියලේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 1,023 යි. 

සත 50 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 185 යි. 

සත 25 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 121 යි. 

සත10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 39 යි. 

සත 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 23 යි. 

සත 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 6 යි. 

සතයේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 4 යි. 

සංසරණයේ තිබුණු කාසි වල මුළු වටිනාකම = රුපියල් මිලියන 16,472 යි. 

2021 අවසානයේදී මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ මුහුණත වටිනාකම = රුපියල් මිලියන 1,005,099 යි. 

2019 අවසානයේදී මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ මුහුණත වටිනාකම = රුපියල් මිලියන 677,967 යි 

2019-2021 කාලය තුළ සංසරණයේ පැවති මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ නාමික වටිනාකම වැඩි වීම = රුපියල් මිලියන 327,132යි. 

2022 මාර්තු 31 වන විට මෙම ප්‍රමාණය රුපියල් මිලියන 1,099,324 දක්වා ඉහළ ගොස් තිබුණා.

ඒ අනුව, 2019 අවසානයේ සිට 2022 මාර්තු 31 දක්වා කාලය තුළ සංසරණයේ පැවති මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ නාමික වටිනාකම වැඩි වීම = රුපියල් මිලියන 421,352ක්. මෙය 62.2%ක වැඩි වීමක්.

මේ වැඩි වීමෙන් රුපියල් මිලියන 318,413ක් වැඩි වුනේ 2019 අවසානයේ සිට 2021 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ. ඒ කියන්නේ ආසන්න වශයෙන් මහ බැංකු අධිපති ලක්ෂ්මන්ගේ කාලය තුළ. ඉතිරි රුපියල් මිලියන 102,944 වැඩි වුනේ ආසන්න වශයෙන් මහ බැංකු අධිපති කබ්රාල්ගේ කාලය තුළ.

කොහොම වුනත්, මහ බැංකුව විසින් සල්ලි අච්චු ගහනවා කියන කතාව ඔය තරම්ම සරල නැහැ. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගසා සංසරණයට එකතු කරන ආකාරය මම කිහිප වරක්ම විස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා. පසුව නැවතත් පැහැදිලි කරන්නම්. එතෙක්, දැන් කියා තිබෙන ටික පැහැදිලියිනේ. රුපියල් නෝට්ටු හා කාසි කියන්නේ සල්ලි බව කවුරුත් දන්නවා. මෙය කිසිසේත්ම විවාදිත කරුණක් නෙමෙයි. තේරුම් ගන්න අමාරු කරුණකුත් නෙමෙයි. 

මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නෝට්ටු හා කාසි තියෙන්නේ කොහේද? මෙයින් කොටසක් මිනිස්සුන්ගේ අතේ තියෙනවා. ඉතිරි කොටස බැංකු වල. මිනිස්සු කිවුවහම ව්‍යාපාරත් ඇතුළත්. මේකත් පැහැදිලියිනේ. පහළ තියෙන්නේ 2022 ජූනි 30 වෙද්දී තත්ත්වය. 

2022 ජූනි 30 වෙද්දී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 317,305 යි. 

2022 ජූනි 30 වෙද්දී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 797,471 යි. 

2022 ජූනි 30 වෙද්දී මහ බැංකුවෙන් පිට තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 1,114,776 යි. 

ඒ කියන්නේ 2022 මාර්තු හා ජූනි අතර සංසරණයේ පැවති මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ නාමික වටිනාකම වැඩි වී තියෙන්නේ රුපියල් මිලියන 15,452කින්. අවශ්‍යනම් කලින් වකවානු එක්ක සංසන්දනය කරගන්න. 

දැන් ඔය මහ බැංකුවෙන් පිට තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයෙන් බැංකු වලින් පිට තිබෙන කොටස කොහොමටත් සංසරණයේ තිබෙන කොටසක්නේ. ඒ මිනිස්සුන්ගේ අතේම තිබෙන මිනිස්සුන්ගේ සල්ලි. ඒ වගේම, බැංකු වල තියෙන්නෙත් මිනිස්සුන්ගේම සල්ලිනේ. මිනිස්සුන්ට ඕනෑ වෙලාවක ඒ සල්ලි ආපහු ගන්න පුළුවන්. 

මේ ප්‍රමාණය බැංකු වල තියෙන මිනිස්සුන්ගේ මුළු සල්ලි ප්‍රමාණය නෙමෙයි. ඕනෑ වෙලාවක ආපහු දෙන්න බලාගෙන බැංකු වල ලාච්චු වල, සේප්පු වල හෝ ATM වල තියෙන සල්ලි ප්‍රමාණය. එහෙම නැත්නම් අදාළ දවසේ මිනිස්සු බැංකුවේ තැන්පත් කරපු සල්ලි. ඒ කියන්නේ සංසරණයේ තියෙන, අතින් අත යන නෝට්ටු හා කාසි වලින්ම කොටසක්.

මහ බැංකුව විසින් එළියට දමලා සංසරණයේ තියෙන නෝට්ටු හා කාසි ඔය විදිහට මිනිස්සුන්ගේ අතේ තිබිලා බැංකු වලට එනවා. නැවත බැංකු වලින් මිනිස්සුන්ගේ අතට යනවා. හැබැයි මේ විදිහට කැරකෙන්නේ එකම නෝට්ටු හා කාසි ටික. 

උදාහරණයක් විදිහට මිනිස්සු අතේ තිබෙන රුපියල් සීයේ නෝට්ටු වලින් කොටසක් දේශපාලනඥයෙක් විසින් එකතු කරගෙන තමන්ගේ බැංකු ගිණුමේ දාගත්තා කියලා හරි, ඉන් පසුව ඒ සල්ලි පන්දාහේ කොළ වලින් බැංකුවෙන් අරගෙන මැතිවරණ ප්‍රචාරණ වැඩ වෙනුවෙන් වියදම් කළා හරි කියලා රටේ සංචිත මුදල් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. සංසරණය වෙන්නේ කොහොමටත් සංසරණයේ තිබුණු මුදල් නෝට්ටු. 

මීට අමතරව තවත් දෙයක් වෙනවා. බැංකු වලට ඔය විදිහට සල්ලි ආපුවහම බැංකු වලට ඒ තරම්ම සල්ලි අවශ්‍ය නැත්නම් බැංකු විසින් ඔය සල්ලි මහ බැංකුවේ ගිණුමක තැන්පත් කරනවා. එහෙම කරද්දී සංසරණයේ තියෙන නෝට්ටු හා කාසි නැවත මහ බැංකුවටම එනවා. මිනිස්සු බැංකු වලින් සල්ලි ආපසු ගන්නවා වගේම බැංකු වලට සල්ලි ඕනෑ වුනාම බැංකු ගිහින් මහ බැංකුවෙන් සල්ලි ගන්නවා. පැහැදිලියිනේ.

දැන් ඔය විදිහට මහ බැංකුවේ තැන්පත් කරලා තියෙන්නේ බැංකු වලට අයිති සල්ලි. ඒ සල්ලි කලින් මහ බැංකුව විසින්ම සංසරණයට එකතු කරපුවා වීම වෙනම කතාවක්. හැබැයි දැන් මේ සල්ලි මහ බැංකුවට අයිති නැහැ. ඒ නිසා, අදාළ බැංකුව ඉල්ලපු ගමන් ඔය සල්ලි ආපසු දිය යුතුයි. හරියටම බැංකුවේ තිබෙන මිනිස්සුන්ගේ සල්ලි බැංකුවේ සල්ලි නොවෙනවා වගේ. 

දැන් නෝට්ටු හා කාසි සංසරණය වෙන ක්‍රමය තවත් පැහැදිලියිනේ. මිනිස්සු අතින් බැංකුවට. බැංකුවෙන් මහ බැංකුවට. මහ බැංකුවෙන් නැවත බැංකුවට. බැංකුවෙන් මිනිස්සු අතට. හැබැයි කැරකෙන්නේ එකම සල්ලි ටික. 

ඔය විදිහට සල්ලි සංසරණය වෙමින් මහ බැංකුවට එන වෙලාවට මහ බැංකුව විසින් පරණ වෙච්ච නෝට්ටු එකතු කරගෙන ඒවා විනාශ කරලා ඒ වෙනුවට අළුත් නෝට්ටු සංසරණයට එකතු කරනවා. සමහර විට දාහේ කොළ පහක් වෙනුවට පන්දාහේ කොළයක් එළියට දමනවා. හැබැයි ඔය වගේ දේවල් කළා කියලා මුදල් ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නැහැ.

අපි කලින් සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය කියලා ගණන් හැදුවේ මිනිස්සු අතේ හා බැංකු වල තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය විතරයිනේ. නමුත් මහ බැංකුවේ තිබෙන බැංකු වලට අයිති මුදල් ප්‍රමාණයත් සල්ලිම කියන එක දැන් පැහැදිලි ඇතිනේ. මොකද නැවත මහ බැංකුවට ඇවිත් තිබුණත් මේ සල්ලි මහ බැංකුවේ තියලා තියෙන්නේ තාවකාලිකව පරිස්සමට. මහ බැංකුවට ඒ සල්ලි වල අයිතියක් නැහැ. ඇත්තටම කිවුවොත් බැංකු විසින් හදිස්සියකට ගන්න ඒ විදිහට සල්ලි යම් ප්‍රමාණයක් මහ බැංකුවේ තියන්න ඕනෑ කියන එක නීතිමය අවශ්‍යතාවයක්. අපි කතා කරන කරුණට ඒක ඒ තරම් වැදගත් නැහැ. 

දැන් අපි මේ පදනම මත බැලුවොත් සංසරණයේ, ඒ කියන්නේ මිනිස්සු අතේ හා බැංකු වල, තිබෙන නෝට්ටු හා කාසි වලට අමතරව මහ බැංකුවේ ගිණුම් වල තිබෙන සල්ලිත් සල්ලිනේ. ඒ නිසා, අපිට සල්ලි ගැන කතා කරද්දී ඒ ප්‍රමාණයත් එකතු කරන්න වෙනවා. මහ බැංකුවේ ගිණුමක තියෙන සල්ලි කියන්නේත් නෝට්ටු හා කාසි වගේම තමයි. බඩේ බත් වගේ ෂුවර් සල්ලි. මොකද ඉල්ලන වෙලාවට අච්චු ගහලා හරි සල්ලි ආපහු දෙන්න මහ බැංකුවට පුළුවන්. බැංකුවක තියෙන සල්ලි වගේ බැංකුව බංකොලොත් වෙයි කියන අවදානම නැහැ. 

ඔය ගොඩවල් තුන එකතු කරලා තමයි සංචිත මුදල් කියා කියන්නේ.

සංචිත මුදල් = බැංකු වලින් පිට තිබෙන නෝට්ටු හා කාසි + බැංකු වල තිබෙන නෝට්ටු හා කාසි + මහ බැංකුවේ තිබෙන බැංකු වලට අයිති සල්ලි.

මම හිතන්නේ මේ විදිහට කිවුවහම ඕනෑම කෙනෙක්ට මේක තේරෙයි. සල්ලි කියලා වඩාත්ම පහසුවෙන් ඕනෑ කෙනෙක්ට හඳුනා ගන්න පුළුවන් ඔය ගොඩවල් තුනෙන් එකක තිබෙන සල්ලි පමණයි. වෙන විදිහකට කිවුවොත් ෂුවර්ම සල්ලි. 

දැන් අපි 2019 අවසානයේ ඔය ගොඩවල් තුන වෙන වෙනම අරගෙන බලමු.

2019 අවසානයේදී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 183,759 යි. 

2019 අවසානයේදී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 494,208 යි.  

2019 අවසානයේදී මහ බැංකුවේ දමා තිබුණු බැංකු වල සල්ලි = රුපියල් මිලියන 254,582 යි.  

2019 අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 932,549 යි. 

2019 අවසානයේදී මහ බැංකුව විසින් අච්චු ගසා එළියට දමා තිබුණු මුළු මුදල් ප්‍රමාණය තමයි ඔය. එම ගණනට නැවත මහ බැංකුවේම තැන්පත් කර තිබෙන සල්ලිත් ඇතුළත්. මොකද ඒ සල්ලි මහ බැංකුව විසින් නිකුත් කරපුවා වුනත්, දැන් තියෙන්නෙත් මහ බැංකුවේ සේප්පු වලම වුනත්, මහ බැංකුවට අයිති සල්ලි නෙමෙයිනේ. 

සංචිත මුදල් කියන්නේ ඔය සල්ලි ටික. මම හිතන්නේ මම විස්තර කර තිබෙන විදිහට ඕකේ පටලවගන්න කිසිම දෙයක් නැහැ. තේරුම් ගන්න අමාරු කිසිම දෙයක් නැහැ. එකඟ වෙන්න බැරි දේවල් නැහැ. ඒ වගේම, ඔය විස්තරය කියවලා තේරුම් ගන්න කිසිම ආර්ථික විද්‍යා දැනුමක් අවශ්‍යත් නැහැ.

දැන් අපි 2022 මාර්තු අවසන් වෙද්දී තත්ත්වය බලමු. ඒ කියන්නේ අලුත් අධිපති නන්දලාල් වැඩ බාර ගන්න සතියකට වගේ කලින්. 

2022 මාර්තු අවසානයේදී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 281,791 යි. 

2022 මාර්තු අවසානයේදී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 817,533 යි.  

2022 මාර්තු අවසානයේදී මහ බැංකුවේ දමා තිබුණු බැංකු වල සල්ලි = රුපියල් මිලියන 287,376 යි.  

2022 මාර්තු අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 1,386,700 යි. 

ඒ අනුව, 2019 අවසානයේ සිට 2022 මාර්තු 31 දක්වා කාලය තුළ සංචිත මුළු මුදල් ප්‍රමාණයේ වැඩි වීම = රුපියල් මිලියන 454,151ක්. මෙය 48.7%ක වැඩි වීමක්.

මේ විදිහට සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙන්නේ කොහොමද?

මම හිතන්නේ සංචිත මුදල් කියන්නේ මොනවද කියන එක මම හොඳින් පැහැදිලි කළා. මෙයින් අදහස් කරන්නේ මහ බැංකුවේම නැවත තැන්පත් කර තිබෙන නෝට්ටු හා කාසිද ඇතුළුව, මහ බැංකුව විසින් සංසරණයට එකතු කර තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය. ඔය විදිහට තේරුම් ගත්තහම හරිම සරලයි. 

ඕකට භාණ්ඩාගාර බිල්පත් වගේ නොතේරෙන දේවල් පටලවා ගන්න අවශ්‍ය නැහැ. තේරෙන කෙනෙක්නම් පටලවා ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සංචිත මුදල් හා භාණ්ඩාගාර බිල්පත් පටලවා ගෙන ප්‍රකාශ නිකුත් කරන ගොඩක් අය දැන් මේ සටහන සැලකිල්ලෙන් කියවා අවසන් කළ ඔබ හැමෝටම තිබෙනවායැයි මම හිතන ඒ මූලික අවබෝධයවත් නැති අයයි.

සංචිත මුදල් කියන්නේ මොනවාද කියා හොඳින් පැහැදිලි කළත් සංචිත මුදල් අඩු වැඩි වෙන්නේ කොහොමද කියලා මම මේ සටහනේ පැහැදිලි කළේ නැහැ. මීට කලින් වාර ගණනක්ම එය පැහැදිලි කර තිබෙනවා. එය පැත්තක තියා, සංචිත මුදල් වලට නැවත ආවොත්, මම ඔය මුලින් විස්තර කළ සල්ලි ප්‍රමාණය, ඒ කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය, මිනිස්සු, බැංකු හා මහ බැංකුව අතර නිරන්තරයෙන් කැරකෙනවා. සමහර විට මහ බැංකුව එක නෝට්ටුවක් විනාශ කරලා ඒ වෙනුවට වෙන නෝට්ටුවක් එළියට දමනවා. හැබැයි එහෙම කළා කියලා සංචිත මුදල් ප්‍රමාණයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ.

සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙන්නේ මහ බැංකුව විසින් කිසියම් වියදමක් කරද්දී. උදාහරණයක් විදිහට මහ බැංකුව විසින් අධිපතිවරයාගේ වැටුප් ගෙවද්දී සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. පරණ අධිපතිවරයෙකුගේ විශ්‍රාම වැටුප් ඇරියස් ගණන් හදලා මුදලක් ගෙවද්දී සංචිත මුදල් වැඩි වෙනවා. මොකද මේ දේවල් වෙනුවෙන් රජය අයවැයෙන් මුදල් වෙන් කරන්නේ නැහැ. මහ බැංකුවට මිනිස්සුන්ගෙන් බදු අය කරන්නත් බැහැ. මහ බැංකුව කරන්නේ සල්ලි අච්චු ගහලා වියදම් කරන එක.

මහ බැංකුව විසින් මහ බැංකුවේ පාවිච්චියට පරිගණකයක් මිල දී ගනිද්දී සංචිත මුදල් වැඩි වෙනවා. මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන විදේශ සංචිත තර කර ගනිද්දී සංචිත මුදල් වැඩි වෙනවා. මහ බැංකුව විසින් රජයෙන් හෝ වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දීත් සංචිත මුදල් වැඩි වෙනවා. 

මහ බැංකුව වියදම් කරද්දී සංචිත මුදල් වැඩි වෙනවා වගේම, මහ බැංකුවට ආදායම් ලැබෙද්දී සංචිත මුදල් ප්‍රමාණය අඩු වෙනවා. උදාහරණයක් විදිහට මහ බැංකුව මහ බැංකු ප්‍රකාශනයක් විකුණලා රුපියල් පන්සීයක් අය කරද්දී සංසරණයේ තිබෙන රුපියල් පන්සීයක් නැවත මහ බැංකුවට එනවා. ඒ එන්නේ තැන්පතුවක් විදිහට නෙමෙයි. මහ බැංකුව විසින් උපයපු ආදායමක් විදිහට. ඒ නිසා, මහ බැංකුවේ තිබෙන බැංකු වල තැන්පතු වගේ මේ රුපියල් පන්සීය පරිස්සම් කරන්න දෙයක් නැහැ. ඔය විදිහටම මහ බැංකුවේ එකතු කරගෙන තිබෙන විදේශ සංචිත විකුණද්දීත් සංචිත මුදල් අඩු වෙනවා. මහ බැංකුව විසින් කලින් මිල දී ගෙන තිබෙන භාණ්ඩාගාර බිල්පතක් විකුණද්දීත් සංචිත මුදල් අඩු වෙනවා.

මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය සංචිත මුදල් ප්‍රමාණය තීරණය කරන එක් සාධකයක් පමණයි. ඒ නිසා, ඒ දිහා බලලා මහ බැංකුව සල්ලි අච්චු ගහලද නැද්ද කියා තීරණය කරන්න බැහැ. ඒක අලියාගේ කණ අතගාලා අලියා ගැන ලොකු ප්‍රකාශ කරනවා වගේ වැඩක්. එහෙම කරන්න අවශ්‍යත් නැහැ. මොකද මහ බැංකුව විසින් සතිපතාම සංචිත මුදල් ප්‍රමාණය පිළිබඳ නිවැරදි තොරතුරු ප්‍රසිද්ධ කරනවා.

මහ බැංකු අධිපති ධුරයට ලක්ෂ්මන් පත් වුනේ 2019 දෙසැම්බර් 24. කබ්රාල් එම ධුරයට ආවේ 2021 සැප්තැම්බර් 15. නන්දලාල් වැඩ භාරගත්තේ 2022 අප්‍රේල් 7. පහතින් තියෙන්නේ මේ දවස් වලට ආසන්නම දවස් වල සංචිත මුදල් ප්‍රමාණ.

2019 දෙසැම්බර් 26න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 941,498 යි.

2021 සැප්තැම්බර් 16න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 1,291,257 යි.

සංචිත මුදල් වැඩිවීම - රුපියල් මිලියන 349,759 යි.


2022 අප්‍රේල් 7න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 1,425,822 යි.

සංචිත මුදල් වැඩිවීම - රුපියල් මිලියන 134,565 යි.


2022 නොවැම්බර් 17න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 1,336,145 යි.

සංචිත මුදල් අඩු වීම - රුපියල් මිලියන 89,677 යි.

මේ විදිහට කාලයක් තිස්සේ විශාල ලෙස ඉහළ දමා තිබෙන සංචිත මුදල් ප්‍රමාණයෙන් කොටසක් හෝ අඩු කිරීම ඉතාම ආයාසකර කටයුත්තක්. මෙය තාක්ෂනික ලෙස බැලුවොත් මහ බැංකුවේ ආයතනික කටයුත්තක් වුවත්, එසේ කිරීම සඳහා මහ බැංකුවට නායකත්වය දීම පිළිබඳව වත්මන් මහබැංකු අධිපතිවරයාව අගය කරන එක අසාධාරණ කටයුත්තක් නෙමෙයි. 

තත්ත්වය එසේ තිබියදී, මහ බැංකුවට පිළිතුරු දිය නොහැකි වීමේ වාසිය ගනිමින්, පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින්, වැරදි තොරතුරු ඉදිරිපත් කර රටේ ජනතාව නොමග යවමින්, ඇතැම් පුද්ගලයින් විසින් පෙන්වන්නේ ලංකාවේ දේශපාලනඥයා මොන වගේ අයෙක්ද කියන එකයි. විමසිල්ලක් නොකර මේ වගේ පුවත් ප්‍රචාරය කරන මාධ්‍ය ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි.

වෙබ් ලිපිනය: