වෙබ් ලිපිනය:

Sunday, November 20, 2022

මුදල්, ගනුදෙනු හා මුදල් මැවීම

 

පෙර සටහනෙන් විස්තරාත්මක ලෙස පෙන්වා දුන්නේ ඇතැම් දේශපාලනඥයින් විසින් ප්‍රකාශ කර ඇති පරිදි, "වත්මන් මහ බැංකු අධිපතිවරයා විසින් සල්ලි අච්චු ගැසීමේ ආදීනව ගැන හැම තිස්සේම ලොකුවට කතා කළත්, කලින්ටත් වඩා වැඩියෙන් සල්ලි අච්චු ගසා ඇති බව" පට්ටපල් බොරුවක් බවයි. මේ පට්ටපල් බොරු කතාව නොදැනුවත්කමට කළ ප්‍රකාශයක් කියා මම හිතන්නේ නැහැ. මගේ අදහස වනුයේ මෙය "වඳ කොත්තු" මාදිලියේ හිතාමතා දුෂ්ඨ චේතනාවෙන් කළ ප්‍රකාශයක් බවයි. 

අදාළ පුද්ගලයා විසින් මහබැංකු අධිපතිවරයාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යැවිය යුතු බවද කියා තිබෙනවා. ඇත්තටම පුනරුත්ථාපනය කළ යුත්තේ මෙසේ පට්ටපල් බොරු කියන අයවම බව මා නොකියන්නේ එසේ කිරීමෙන් වැඩක් නොවන බව ඉතාම පැහැදිලි නිසයි. පුනරුත්ථාපනය කරනවානම් කළ යුත්තේ මේ වගේ කතා වලට තවමත් රැවටෙන, කරුණු සොයා නොබලා ඔවුන් කියන දේ විශ්වාස කරන අයයි. 

නොදැනුවත්කම නිසා මෙවැනි කතා විශ්වාස කරන අයට මම මේ විදිහට චෝදනා කරන්නේ නැහැ. ගිණි පෙණෙල්ලෙන් බැට කෑමෙන් පසුව කණාමැදිරියන් ගැනද ඇහැ ගහගෙන සිටීම නරක දෙයක් නෙමෙයි. අප කරන්නේ කරුණු සොයා බලා හරි දේ දැනගන්නට කැමති අයට අපට හැකි තරමින් ඒ සඳහා උදවු කිරීමයි. අප මෙහි ලියන දේ ඇතුළු කිසිවක් කිසිවකු විසින් පරීක්ෂා නොකර, ප්‍රශ්න නොකර, කියන නිසාම විශ්වාස කළ යුතු නැහැ.

කලින් ලිපියේ පැහැදිලි කළ පරිදි රටක මහ බැංකුවක් විසින් සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමයි. පසුගිය 2021 වසර තුළ පමණක් සංචිත මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 964,440 සිට රුපියල් මිලියන 1,305,809 දක්වා 35.4%කින් ඉහළ ගියා. 2022 අප්‍රේල් අවසන් වෙද්දී රුපියල් මිලියන 1,481,805 දක්වා තව දුරටත් ඉහළ ගියා. එහෙත්, අප්‍රේල් මාසයේ සිට ක්‍රමයෙන් සංචිත මුදල් ප්‍රමාණය අඩු වී 2022 නොවැම්බර් 17 වන විට රුපියල් මිලියන 1,336,146 මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. (ප්‍රස්ථාරය බලන්න. එය කෙළින්ම මහ බැංකු වාර්තාවකින් ගත් එකක්.)

සංචිත මුදල් කියන්නේ නෝට්ටු හා කාසි පමණක්ද?

එය එසේ නොවන බව මම පෙර සටහනේ පැහැදිලිව කිවුවා. සංසරණයේ ඇති නෝට්ටු හා කාසි සංචිත වල එක් කොටසක් පමණයි. සංචිත මුදල් කියා කියන්නේ, අර්ථදැක්වීමක් ලෙස, ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. සංසරණයේ ඇති නෝට්ටු හා කාසි කියන්නේ ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. ඊට අමතරව මහ බැංකුවේ පවත්වා ගෙන යන ගිණුමක ඇති වාණිජ බැංකු වලට අයිති මුදල්ද ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. සංචිත මුදල් කියා කියන්නේ මේ කොටස් දෙකේ එකතුව.

සංචිත මුදල් = සංසරණයේ ඇති නෝට්ටු හා කාසි + මහ බැංකුවේ ඇති වාණිජ බැංකු වල මුදල්

මේ අර්ථදැක්වීම ලංකාවට පමණක් අදාළ කරුණක් නෙමෙයි. වෙනත් බොහෝ රටවල් සංචිත මුදල් අර්ථ දක්වන්නේත් මේ විදිහටමයි.

2022 සැප්තැම්බර් අවසානයේදී ඇමරිකාවේ සංසරණයේ තිබුණු නෝට්ටු හා කාසි ප්‍රමාණය = ඩොලර් බිලියන 2,279.5

2022 සැප්තැම්බර් අවසානයේදී ෆෙඩරල් සංචිත බැංකුවේ තිබුණු වාණිජ බැංකු වල මුදල් ප්‍රමාණය = ඩොලර් බිලියන 3,131.4

2022 සැප්තැම්බර් අවසානයේදී ෆෙඩරල් සංචිත බැංකුවේ තිබුණු සංචිත මුදල් ප්‍රමාණය = ඩොලර් බිලියන 5,410.9

දැන් මේ ගණන් දිහා බැලුවොත් ඇමරිකාවේ සංචිත මුදල් වලින් 42%ක් පමණ සංසරණයේ තිබුණු නෝට්ටු හා කාසි. එයින් කියන්නේ ඇමරිකාවේ සිදුවන ගනුදෙනු වලින් 42%ක් සිදුවන්නේ නෝට්ටු හා කාසි වලින් කියන එක නෙමෙයි. ඇමරිකාවේ නෝට්ටු හා කාසි වලින් සිදුවන ගණුදෙනු ප්‍රමාණය ඉතාම අඩුයි. ගණුදෙනු හා මුදල් කියන්නේ වෙනම කරුණු දෙකක්.

ඇමරිකාවේ ගොඩක් සිල්ලර ගනුදෙනු සිදු වෙන්නේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් වලින්. තව චෙක් ගනුදෙනු, වෙනත් විද්‍යුත් ගනුදෙනු එහෙමත් සිදු වෙනවා. හැබැයි මේ ගනුදෙනු සඳහා යොදා ගන්න ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්, චෙක්පත් ආදිය සල්ලි නෙමෙයි. ඒවා තමන්ගේ බැංකුවට ගෙවීමක් කිරීම සඳහා ඉල්ලීමක් කිරීමට යොදා ගන්නා ගෙවීම් උපකරණ පමණයි. 

අන්තර්ජාලය හරහා නැත්නම් දුරකථයෙන් මේ වගේ ඉල්ලීමක් කරන්නත් පුළුවන්. හැබැයි අවසාන වශයෙන් මේ ගනුදෙනුවේ කොනක තියෙන්නේ කලින් විස්තර කළ සංචිත මුදල්. එක්කෝ සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි වලින් බැංකුවක තිබෙන කොටස එහා මෙහා වෙනවා. නැත්නම් ෆෙඩරල් සංචිත බැංකුවේ තිබෙන වාණිජ බැංකු වල සල්ලි එහා මෙහා වෙනවා. ලොකු ගණුදෙනුවක්නම් බොහෝ විට දෙවැන්න.

ලංකාවේ වෙන්නෙත් මේකම තමයි.

2022 මාර්තු අවසානයේදී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 281,791 යි. 

2022 මාර්තු අවසානයේදී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 817,533 යි.  

2022 මාර්තු අවසානයේදී මහ බැංකුවේ දමා තිබුණු බැංකු වල සල්ලි = රුපියල් මිලියන 287,376 යි.  

2022 මාර්තු අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 1,386,700 යි. 

ඔය දවස වෙද්දී සංචිත මුදල් වලින් 59.0%ක් මිනිස්සුන්ගේ අතේ. තවත් 20.3%ක් බැංකු වල. එකතුව 79.3%ක්. මහ බැංකුවේ තිබුණු කොටස 20.7%ක් පමණයි. හැබැයි මේ ගණන නියතයක් නෙමෙයි.

2022 ජූනි 30 වෙද්දී මහ බැංකුවෙන් පිට තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 1,114,776 යි. 

2022 ජූනි 30 වෙද්දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 1,452,596 යි.

මාස තුනකට පස්සේ ගණන් බැලුවොත් සංසරණයේ තිබෙන මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණය සංචිත මුදල් වලින් 76.7%ක්. මෙයින් කියන්නේ රටේ ගනුදෙනු වලින් 76.7%ක් සිදු වෙන්නේ නෝට්ටු හා කාසි වලින් කියන එක නෙමෙයි. වසරක් වගේ කාලයක් ගත්තොත් රුපියල් සීයේ නෝට්ටුවක් වාර ගණනාවක් අතින් අත යනවා. ඒ අනුව එකම රුපියල් සීයෙන් රුපියල් සීයේ ගෙවීම් පහක් හෝ දහයක් කරන්න පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් වුනත් පුළුවන්. මුදල් සංසරණය කියන්නේ මේ විදිහට එකම මුදල අතින් අත යන එකටයි. මුදල භෞතික මුදල් නෝට්ටුවක් හෝ කාසියක් විය යුතුම නැහැ. එය විද්‍යුත් ලෙස සිදුවන හුවමාරුවක් වෙන්න පුළුවන්. 

මහ බැංකුවේ පවත්වාගෙන යන වාණිජ බැංකු වල ගිණුම් වල තිබෙන සංචිත මුදල් කොටස ගනුදෙනු සඳහා වඩා විශාල වාර ගණනක් එහා මෙහා වෙනවා. ඇතැම් විට එකම රුපියල (මේ කියන්නේ භෞතික රුපියලේ කාසියක් ගැන නෙමෙයි) එකම දවසක් තුළ වුනත් හතර පස් වාරයක් එහා මෙහා වෙන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනු හා වෙනත් අන්තර් බැංකු ගනුදෙනු කරද්දී ගෙවීම් කරන්නේ මේ ගිණුම් වලින්. ඒ වගේම, චෙක්, ඩෙබිට් කාඩ් ආදියෙන් කරන සිල්ලර ගනුදෙනු අවසාන වශයෙන් පියවන්නෙත් මේ ගිණුම් වල තිබෙන සල්ලි වලින්. 

ඔය සියල්ලටම අමතරව වාණිජ බැංකුවකට ඔය ගිණුමක තිබෙන තමන්ගේ සල්ලි නෝට්ටු හෝ කාසි විදිහට ගන්න අවශ්‍යනම් ඒකත් කරන්න පුළුවන්. ආරක්ෂක නිලධාරීන් එක්ක වාහනයක් එවලා මහ බැංකුවෙන් විශාල නෝට්ටු ප්‍රමාණයක් අරන් යන එක වගේම, ඒ විදිහටම මහ බැංකුවේ මුදල් තැන්පත් කරන එකත් අමුතු දෙයක් නෙමෙයි.

මුදල් කියන්නේ ආප්ප තාච්චියක්නම් ගනුදෙනු කියන්නේ ඒ තාච්චියෙන් හදන ආප්ප වගේ. කිසියම් කාලයක් තුළ වැඩියෙන් ආප්ප හදන කෙනා වැඩියෙන්ම ආප්ප තාච්චි ප්‍රමාණයක් තියෙන කෙනාම වෙන්න ඕනෑ නැහැ. සංචිත මුදල් වලින් 75-80%ක් පමණ නෝට්ටු හා කාසි වුනත්, ඉතිරි කොටසින් කරන ගනුදෙනු ප්‍රමාණය වඩා වැඩි කොටසක් වෙන්න පුළුවන්. ගනුදෙනු වල වටිනාකම අනුව බැලුවොත්නම් අනිවාර්යයෙන්ම ලොකු කොටස. මොකද ලොකු ගනුදෙනු වෙන්නේ නෝට්ටු හා කාසි වලින් නෙමෙයි. 

එතකොට මුදල් මැවීම කියා කියන්නේ මේකටද?

නෑ. මුදල් මැවීම කියන්නේ මේකට නෙමෙයි. ඒක වෙනම දෙයක්. බැංකු වල සල්ලි දැම්මහම බැංකු ඒ සල්ලි බැංකුවේ තියාගෙන ඉන්නේ නැහැ. දැන් පේනවනේ බැංකු වල තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය රුපියල් මිලියන 300කට අඩු බව. ඒ වගේම මහ බැංකුවේ තිබෙන බැංකු වල සල්ලි ප්‍රමාණයත් රුපියල් මිලියන 300ට අඩුයි. (මේ ගණන් වෙනස් වෙන්න පුළුවන්). ඒ කියන්නේ ඔය කොටස් දෙකම එකතු කළත් රුපියල් බිලියන 600ක් නැහැ. නමුත් බැංකු වල දාලා තියෙන මිනිස්සුන්ගේ සල්ලි ප්‍රමාණය ඔය වගේ 20ගුණයක්වත් වෙනවා. එහෙමනම්, ඉතුරු සල්ලි ටික කෝ?

අපි ගණන් දිහා බැලුවොත්, 2022 සැප්තැම්බර් අවසාන වෙද්දී මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු, එහෙමත් නැත්නම් අච්චු ගසා තිබුණු, සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,378.6ක් පමණයි. නමුත්, කාසි හා නෝට්ටු ලෙස හෝ බැංකු ගිණුම් වල තැන්පතු ලෙස මිනිස්සු අතේ තිබුණු සල්ලි ප්‍රමාණය රුපියල් බිලියන 12,051.5ක්. මුලින්ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මහ බැංකුව අච්චු ගසා තියෙන්නේ රුපියල් බිලියන 1,378.6ක් පමණක්නම්, ඒ වගේ නව ගුණයක් විතර බැංකු වල දමන්න මිනිස්සුන්ට සල්ලි ලැබුණේ කොහොමද? 

මේක තමයි මුදල් මැවීම කියන්නේ. මහ බැංකුව විසින් සංචිත මුදල් ලෙස නිකුත් කරන හැම රුපියලක්ම වාණිජ බැංකු විසින් නැවත නැවත වාර ගණනාවක් මිනිස්සුන්ට ණයට දෙනවා. උඩ ගණන් දිහා බැලුවොත් එකම රුපියල නව පාරක් ණයට දීලා. මේක කරන්න පුළුවන් වෙන්නේ ණය ගන්න මිනිස්සු ඒ සල්ලි අතේ තියාගෙන ඉන්නේ නැති නිසා. සල්ලි වියදම් කරද්දී ඒ සල්ලි කාගේ හෝ ආදායමක් වෙලා නැවත බැංකු ඇතුළටම එනවා. එතකොට බැංකු ඒ සල්ලිම නැවතත් ණයට දෙනවා. 

ඔය ටික වෙලා තියෙන්නේ සංචිත මුදල් වලින් 60%ක් පමණ මිනිස්සු අතේ තියාගෙන ඉඳිද්දී. නැවත නැවත පැටවු ගහලා තියෙන්නේ ඉතිරි 40%. ඒ කියන්නේ බැංකු වල හා මහ බැංකුවේ තිබෙන කොටස. මිනිස්සු අතේ තියාගෙන ඉන්න නෝට්ටු හා කාසි ප්‍රමාණය 60%ට වඩා අඩුවුණානම් බැංකු වලට එන කොටස වැඩි වෙලා මුදල් මැවීමත් තවත් වැඩි වෙනවා. මේ විදිහට එකම රුපියල කීප දෙනෙකුගේම වත්කම් හා/හෝ බැරකම් බවට පත් වීම මුදල් ගුණනය ලෙස හඳුන්වනවා. අදාළ අනුපාතය මුදල් ගුණකය. මේ විදිහට ගුණනය වුනාට පස්සේ ප්‍රමාණයට පුළුල් මුදල් සැපයුම කියා කියනවා.

පුළුල් මුදල් සැපයුම = සංචිත මුදල් * මුදල් ගුණකය

මිනිස්සු බඩු ගන්න වියදම් ක‍රන්නේ සංචිත මුදල් පමණක් නොවන නිසා ඇත්තටම උද්ධමනය කෙරෙහි බලපාන්නේ ඔය පුළුල් මුදල් සැපයුම. නමුත්, එය මහ බැංකුව විසින් තනිව තීරණය කරන දෙයක් නොවන නිසා මහ බැංකුවට සෘජුව පාලනය කරන්න බැහැ. මහ බැංකුවට කළ හැක්කේ "සල්ලි අච්චු ගැසීම" එහෙමත් නැත්නම් සංචිත මුදල් ප්‍රමාණය සීමා කරන එකයි. එවිට වක්‍ර ලෙස පුළුල් මුදල් සැපයුමද පාලනය වෙනවා. 

මුදල් සැපයුම පාලනය කිරීම සඳහා මුදල් ගුණකය පාලනය කරන්නත් පුළුවන්. අවසාන වශයෙන් මුදල් ගුණකය තීරණය කරන්නේ වාණිජ බැංකු හා මිනිස්සු විසින් වුවත් පොලී අනුපාතික වැඩි කිරීම මගින් ණය දීම හා ගැනීම අධෛර්ය කර මුදල් ගුණකය අඩු කිරීමට උත්සාහ කළ හැකියි. උද්ධමනය පාලනය කරන්නනම් ඔය මොන ක්‍රමයෙන් හෝ අන්තිමේදී පුළුල් මුදල් සැපයුම අඩු වන තුරු මහ බැංකුවට දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීම සීමා කරන අතරම පොලී අනුපාතිකද ඉහළින් තියාගන්න වෙනවා. 

17 comments:

  1. සල්ලි නෙමෙයි ඉකොනෝ වටින්නේ. මනුස්සකම.

    සල්ලි මේ තිබ්බා මේ නෑ. ඒත් මනුස්සකම එහෙම නෙමෙයි. හැමදාම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මනුස්සකම හැමදාම තියෙනවා කියලා හොඳටම ෂුවර්ද, ඇනෝ?

      Delete
  2. රුපියලේ අගය ‘ෆික්ස් කරාට’ කබ්රාල්ට බැන්නට නන්දලාලුත් ඒකම කරද්දි එයාට බනින්නේ නැත්තේ ඇයි?
    ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම ආර්ථික අර්බුදයට හේතුවූ කරුණක් වූ බවට චෝදනා එල්ල වූව ද, වත්මන් මහ බැංකු අධිපතිවරයා යටතේ ඉකුත් මාස 06 ක කාලයක් පුරාවටම සිදුව ඇත්තේ ද රුපියල ස්ථාවරව තබා ගැනීමක් වන අතර, ඒ තම ධුරකාලය යටතේ ස්ථාවරව පවත්වා ගත් මිලටත් වඩා ඉහළ මිලක බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් පවසයි.

    හිටපු මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ ඉකුත් නොවැම්බර් 17 වන දින ඉන්දියාවේ WION පුවත් සේවය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

    තම ධුරකාලය තුළ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව රු. 300 ට අවම මට්ටමක පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය වීම සිදුවූයේ තමාට පෙර මහ බැංකු අධිපතිධුරය හෙබවූ මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ගේ ධුරකාලය තුළ බවත්, 2021 සැප්තැම්බර්වල මහ බැංකුව විසින් ගත් මෙම තීන්දුව තම ධුරකාලය තුළ 2022 මාර්තු දක්වා පවත්වා ගත් බවත් සඳහන් කළ කබ්රාල් මහතා, රුපියල ස්ථාවර අගයක පවත්වා නොගෙන පා කර හැරිය යුතු බවට යෝජනා කළ ඇතැම් පාර්ශවයන් එසේ කළේ නම් ඉහළ යන ණය කන්දරාවේ වගකීම භාරගැනීමට ඉදිරියට පැමිණෙන්නේ ද යන්න ප්‍රශ්න කළේය.

    එමෙන්ම, තම ධුර කාලය තුළ ගත් සියලු තීරණ මුදල් මණ්ඩලයේ අනුමැතිය මත ගනු ලැබූ තීරණ බවට සිහිපත් කළ හිටපු මහ බැංකු අධිපතිවරයා, රුපියල ස්ථාවරව පවත්වා ගැනීම සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ලකළ පාර්ශවයන් වත්මන් මහ බැංකු අධිපතිවරයා ද එම ක්‍රියාවම ඊටත් වඩා වැඩි මිලකට සිදුකරන විට චෝදනා එල්ල නොකරන බව ද අවධාරණය කරයි.

    රුපියල පා කර හැරීමෙන් ආයෝජන අවස්ථා නොපැමිණෙන බව කල් තියා හඳුනා ගැනීම මත එසේ නොකළ අතර, රුපියල පා කර හැරීමෙන් පසුව ද එකඳු ආයෝජනයක් හෝ පැමිණ තිබෙන්නේ දැයි කබ්රාල් මහතා ප්‍රශ්න කර සිටියි.

    ReplyDelete
  3. මිනිහව මැවී නම් දෙවියන් ලෝකයට
    දෙවි මල්ලිව මවන්නට මිනිහා මොකට
    ඒ කාරිය කෙරුම පවරා මිනිසාට
    දෙවිඳුනි තිබේ, ඔබ ලෝකය අවුල්කොට

    ReplyDelete
  4. සංචිත මුදල් කියන්නේ physical form එකකින් නිකුත් කරලා තියන මුදල් විතරද? එතකොට මහ බැංකුව Tbill මිලදී ගත්තම සංචිත මුදල් වෙනස් වෙන්නේ නැද්ද? මොකද එතකොට ඇත්තටම වෙන්නෙ භාණ්ඩාගාර ගිණුමක balance එක update වීමක් විතරනේ

    ReplyDelete
    Replies
    1. //සංචිත මුදල් කියන්නේ physical form එකකින් නිකුත් කරලා තියන මුදල් විතරද?//

      නැහැ.

      සංචිත මුදල් = සංසරණයේ ඇති නෝට්ටු හා කාසි + මහ බැංකුවේ ඇති වාණිජ බැංකු වල මුදල්

      physical form එකකින් තියෙන්නේ පළමු කොටස පමණයි. දෙවන කොටස ගිණුම් වල balance එක.


      //එතකොට මහ බැංකුව Tbill මිලදී ගත්තම සංචිත මුදල් වෙනස් වෙන්නේ නැද්ද?//

      අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. හරියටම කිවුවොත් වැඩි වෙනවා.

      Delete
    2. මහ බැංකුව Tbill ගත්තම ඔය දෙකම වෙනස් වෙන්නේ නැනේ. මම කියන්නේ ගත්ත මොහොතෙම වෙනස් වෙන්නේ නැනේ

      Delete
    3. මැවුම්කරුගේ කැමැත්ත තමයි ඒක.

      Delete
    4. //මහ බැංකුව Tbill ගත්තම ඔය දෙකම වෙනස් වෙන්නේ නැනේ. මම කියන්නේ ගත්ත මොහොතෙම වෙනස් වෙන්නේ නැනේ//

      ගන්න මොහොතේ ක්ෂණිකවම වෙනස් වෙනවා. මිලි තප්පරයක්වත් යන්නේ නැහැ. විද්‍යුත් ක්‍රමයට ගිණුම් අතර මුදල් හුවමාරුව හා බිල්පත් අයිතිය හුවමාරුව වෙන්නේ එකම මොහොතේ.

      Delete
    5. සංචිත මුදල් = සංසරණයේ ඇති නෝට්ටු හා කාසි + මහ බැංකුවේ ඇති වාණිජ බැංකු වල මුදල්

      මහ බැංකුව Tbill ගත්තම මේ දෙකින් වැඩි වෙන්නේ මොකක්ද කියන මට තේරෙන්නේ නෑ. පලමු එක වැඩි වෙන්න නම් අලුතින් සල්ලි physically print කරන්න ඕනේ. දෙවැනි එක වැඩි වෙන්න බැංකුවක්, මහ බැංකුවේ ඇති තමන්ගේ ගිණුමට සල්ලි දාන්න ඕනේ. නමුත් අලුතින් Tbill ගන්න කොට වැඩි වෙන්නේ treasury එකේ balance එකනේ.

      Delete
    6. //නමුත් අලුතින් Tbill ගන්න කොට වැඩි වෙන්නේ treasury එකේ balance එකනේ.//

      සල්ලි යා යුතු treasury එකේ ගිණුම තියෙන්නේ BOC එකේනම් BOC ගිණුම් ශේෂය ඉහළ යනවා. ඒ ගන්න සල්ලි වලින් නැවත මහ බැංකුවේම ණයක් පියෙවුවොත්, ඔබ කියන පරිදි, ක්ෂණිකව සංචිත මුදල් වෙනස් වෙන්නේ නැහැ. සමහර වෙලාවට එහෙම වෙනවා. මහ බැංකුවේ රජය සතු ගිණුමක් තිබෙනවා. සාමාන්‍යයෙන් එය හැම වෙලාවෙම O/D. ඇතැම් වෙලාවට බිල්පත් විකුණා ගන්න සල්ලි වලින් O/D බැලන්ස් එක අඩු කරනවා. එවිට සංචිත මුදල් වෙනස් වෙන්නේ නැහැ. සංචිත මුදල් වෙනස් වෙන්නේ නැවත O/D එක පාවිච්චි කරලා සල්ලි ගනිද්දී. බිල්පත් විකුණන්නේ වැටුප් ගෙවන්න වගේ වැඩකටනම් ඒ සල්ලි වාණිජ බැංකු අතර බෙදී යනවා.

      Delete
    7. අපි හිතමු treasury account එක තියෙන්නේ BoC කොටුව ශාඛාවේ කියලා. එතකොට සල්ලි ටික දාන්නේ මහ බැංකුවේ තියෙන BoC account එකට නෙමෙයි නේ. ඔබ කිව්වා වගේ රාජ්‍ය සේවක වැටුප් වලට ගත්තා නම් ඔය සල්ලි ඊට පස්සේ අදාළ සේවකයන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් වලට බෙදිලා යනවා. මට අපහැදිලි තැන තමයි මේ කියපු transactions වලදී "මහා බැංකුවේ ඇති වාණිජ බැංකු වල මුදල්" කියන කොටස වෙනස් වෙන්නේ කොහොමද කියලා. බැලූ බැල්මට පෙනෙන්නේ මේ සියලු මුදල් මහ බැංකුවෙන් එළියේ, වෙනත් රාජ්‍ය හා වාණිජ බැංකු ගිණුම් වල ශිෂ්‍ශේෂයන් ට එකතු වෙනවා කියලනේ.
      පසු කාලෙක එම මුදල් මිනිසුන්ගේ අතට යනකොට අවශ්‍ය පරිදි කාසි හා නෝට්ටු නිකුත් කරන්න වෙනවා.

      Delete
    8. //අපි හිතමු treasury account එක තියෙන්නේ BoC කොටුව ශාඛාවේ කියලා. එතකොට සල්ලි ටික දාන්නේ මහ බැංකුවේ තියෙන BoC account එකට නෙමෙයි නේ.//

      සල්ලි දාන්නේ මහ බැංකුවේ තිබෙන BoC account එකට තමයි. මහ බැංකුව BoC ශාඛා වලට සල්ලි දාන්නේ නැහැ. මහ බැංකුවේ account එකට සල්ලි ලැබුණු පසු BoC එක කොටුවේ ශාඛාවේ treasury account එකේ balance එක update කරනවා.

      ඔයා check එකක් කාට හරි දුන්නහම, නැත්නම් වෙන බැංකුවක ගිණුමකට සල්ලි transfer කළාම, වෙන්නෙත් ඔය වගේම දෙයක්ම තමයි. අනෙක් පැත්තට සල්ලි යන්නේ මහ බැංකුවේ තිබෙන බැංකු වල ගිණුම් update වුනාට පස්සේ. නැතුව එක බැංකුවක් අනෙක් බැංකුවට කෙළින්ම සල්ලි ගෙනිහින් දෙන්නේ නැහැ. (මෙහිදී සංචිත මුදල් වෙනස් වෙන්නේ නැහැ. මම කිවුවේ මහ බැංකුවේ තිබෙන ගිණුම් සම්බන්ධ වෙන විදිහ)

      Delete
    9. //සල්ලි දාන්නේ මහ බැංකුවේ තිබෙන BoC account එකට තමයි. මහ බැංකුව BoC ශාඛා වලට සල්ලි දාන්නේ නැහැ. මහ බැංකුවේ account එකට සල්ලි ලැබුණු පසු BoC එක කොටුවේ ශාඛාවේ treasury account එකේ balance එක update කරනවා.//
      එතකොට BoC මහ බැංකු ගිණුමේ ශේෂය අඩු වෙලා, කොටුව ශාඛාවේ balance එක වැඩි වෙන එක නෙමෙයි ද වෙන්නේ? එතකොට වැඩි උන සංචිත මුදල් ආයෙත් පරණ ගාණට අඩු වෙනවා නේද?

      Delete
  5. මේක කියෙව්වාමනම් නිකං පිස්සු වගේ.. :)) මගේ නම් අත ඇති මුදල් පොඩ්ඩක් වැඩි වෙලා ඒත් ක්‍රය ශක්තිය සෑහෙන්න අඩුවෙලා කියලා තමයි තේරෙන්නේ :'(

    ReplyDelete
  6. ලංකාවේ අපිට සල්ලි නැති වෙන්න හේතුව පෙර ආත්මයේ කරපු අකුසල කර්මයක් නේද ඉකොනෝ.
    ඉතිං ඒ නිසා මේ ආත්මේ අටපිරිකරයක් පුජා කරලා ඊලග ආත්මේ ඇමරිකාවේ ඉපදෙන්න කියලා පාර්ථනා කරොත් ගොඩ යන්න පුළුවන් නේද අපට

    ReplyDelete
  7. හමුදාව දම්මලා ඩොලර් මවන්න පුළුවන් නේද අපිට ?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: