වෙබ් ලිපිනය:

Sunday, August 27, 2023

හෙට EPF සල්ලි වලට වෙන්න යන දේ...


සේවක අර්ථසාධක අරමුදල, අනෙකුත් විශ්‍රාම වැටුප් අරමුදල්, වාණිජ බැංකු, අනෙකුත් බැංකු, රක්ෂණ සමාගම්, ප්‍රාථමික අලෙවිකරුවන් ඇතුළු තමන්ගේ අරමුදල් රජයේ භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කර තිබෙන ඕනෑම ආයතනයකට එම බැඳුම්කර දිගුකාලීන භාණ්ඩාගාර බැඳුම්කර හා හුවමාරු කර ගැනීම සඳහා ඉල්ලීම් කිරීමට ලබා දී තිබුණු කාලය දෙවරක්ම දිගු කිරීමෙන් පසුව මෙසේ ඉල්ලීම් කළ හැකි අවසන් දිනය අගෝස්තු 28 දක්වා කල් ගියා. දැන් මෙම දිනය නැවත තෙවන වරටද කල් දමා තිබෙනවා. ඒ අනුව, එසේ ඉල්ලීම් කිරීම සඳහා සැප්තැම්බර් 11 දින දක්වා කාලය ලැබෙනවා. අයදුම් කිරීමෙන් අනතුරුව රජය විසින් පිළිගත් ඉල්ලීම් පිළිබඳව දැනුම් දෙන දිනය සැප්තැම්බර් 12 දක්වාත්, අදාළ හුවමාරුව සිදු කරන දිනය සැප්තැම්බර් 14 දක්වාත්, කල් දමා තිබෙනවා.

කරුණු සිදුවන පිළිවෙළ අනුව, මෙය සැප්තැම්බර් 11 දින හතරවන වරටද කල් දමන්නට සිදුවීමේ ඉඩකඩ බැහැර කළ නොහැකියි. ඒ අනුව, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු දිග්ගැසෙමින් ඇති අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමද මීට අනුරූප ලෙස පස්සට යනවා. 

මෙසේ තෙවන වරටද දිනය කල් දැමීම නිසා, එම අලුත් අවසන් දිනයට පෙර සැප්තැම්බර් 1 දින දැනට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග දෙකක් කල් පිරෙනවා. ඒ අනුව, දැනටම එම බැඳුම්කර හුවමාරු කරන මෙන් ඉල්ලා ඇති අයගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වන අතර අදාළ බැඳුම්කර වෙනුවෙන් ඒවායේ ආයෝජනය කර ඇති අයට මුලින් එකඟ වූ පරිදි මුදල් ආපසු ලැබෙනවා.

අලුත් අවසන් දිනයෙන් පසුව කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග හුවමාරුව සඳහා තවදුරටත් සුදුසුකම් ලබනවා. ඒ අතරින් මුලින්ම කල් පිරෙන්නේ ඔක්තෝබර් 1 දින කල් පිරෙන 7% කූපන් බැඳුම්කරයයි. ඉන් පසුව, නොවැම්බර් 15 දින 6.3% කූපන් බැඳුම්කරයක් කල් පිරෙනවා. ණය හුවමාරු වැඩසටහන දිගින් දිගටම කල් ගියහොත් මේ බැඳුම්කරද හුවමාරු වැඩ සටහනෙන් ඉවත් වී යා හැකියි. 

ණය හුවමාරුවේදී නිකුත් කරන බැඳුම්කර වෙනුවෙන් 2025 දක්වා 12%ක කූපන් පොලියක්ද, ඉන්පසුව 2038 හෝ කල් පිරෙන වසර දක්වා 9%ක කූපන් පොලියක්ද හිමිවෙනවා. හෙට (අගෝස්තු 28) වෙන්දේසි කරන 2028 කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ලබා දෙන්නේද 9%ක කූපන් පොලියක් පමණයි. 2026දී කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා 11.5%ක කූපන් පොලියක් ගෙවනවා. සැප්තැම්බර් 1 දින කල් පිරෙන, ණය හුවමාරුව සඳහා තවදුරටත් සුදුසුකම් නොලබන, භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරීමේදී නිදහස් වන අරමුදල් නැවත ආයෝජනය කරන්නට සිදු වන්නේ මෙවැනි කූපන් පොලියක් ලැබෙන බැඳුම්කර වලයි. එහෙත්, මෙම බැඳුම්කර වල ඵලදා අනුපාතික මේ වන විට තිබෙන්නේ, කූපන් පොලියට වඩා වැඩි, 13% ආසන්න මට්ටමකයි. හරිම ගණන හෙට වෙන්දේසියෙන් පසුව බලාගන්න පුළුවන්. 

13 comments:

  1. ඒ වැඩේට
    බාලගිරිද?
    දොරේ ලියමු
    හෙටයි කියා

    ReplyDelete
  2. ප්‍රතුව්‍යුහගත් කරන්නෙ අර්තසාඩ්ක අරමුදල් වල සල්ලි විතරයි, බැංකු සහ අනිත් ව්‍යාපාරිකයන් ආයිඔජනය කරපු මුදල් වලට මුකුත් වෙන්නෙ නෑ කියන්නෙ ඇත්තක්ද?

    ReplyDelete
    Replies
    1. ඕනෑම අයෙකුට මේ සඳහා ඉල්ලීම් කළ හැකියි. විශ්‍රාම වැටුප් අරමුදලක් ඉල්ලීමක් කළොත් එය අනිවාර්යයෙන්ම භාර ගන්නවා කියලා තියෙනවා. අනෙක් ඒවා එකින් එක වෙන වෙනම සලකා බලනවා.

      Delete
    2. ඉල්ලීමක් කරනවා කියන්නෙ මොකක්ද?
      තමන්ට වැඩි පොලියක් එපා අඩු පොලියක් දෙන්න කියලද ඉල්ලන්න ඕන?

      Delete
    3. නෑ. ඉල්ලීම කරන්නේ කෙටිකාලයකින් කල් පිරෙන බැඳුම්කර වෙනුවට දිගුකාලයකින් කල් පිරෙන බැඳුම්කර දෙන්න කියලා. එහිදී පොලිය අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. දැන් පොලිය කීය වුනත් සියල්ලටම ලැබෙන්නේ එකම පොලිය.

      Delete
    4. ම්ම්හු, තේරෙන්නෙ නෑ.
      පරන ලිපියක් එහෙම තියෙනවද මේ ගැන ලියපු?
      කවුරුවත් ඉල්ලීම් නොකලොත් මොකෝ වෙන්නෙ?

      Delete
    5. පරණ ලිපි ගණනාවක් ඇති. කවුරුවත් ඉල්ලුවේ නැත්නම් මුකුත් වෙන්නේ නැහැ. (නමුත් දැනටමත් ඉල්ලීම් ඇවිත්!)

      Delete
    6. ඒ කියන්නෙ ඉල්ලපු අයට විතරක් දිගු කාලීන බැඳුම්කර දීල, ඉල්ලපු නැති අයට සාමන්‍ය විදියට කෙටිකාලීනව ණය ගෙවල ඉවර කරනවද?
      කවුද අප්ප එහෙම තමන්ට අවාසි වෙන්න ඉල්ලන්නෙ වෙන කට්ටියකට ඊට වඩා වාසි වෙනකොට

      Delete
    7. පෙර ලිපි කීපයක්ම කියෙව්ව.
      නමුත් එකකවත් නෑ අර්තසාදක අරමුදල් බැඳුම්කර සහ ප්‍රතිව්‍යුහගත කිරීමට ඉල්ලීම් නොකරන බැඳුම්කර වලට ලැබෙන ප්‍රතිලාබ සන්සන්දනය කරපු තැනක්.
      උදාහරනයක් විදියට එකම දවසෙ කල්පිරෙන බැඳුම්කරයක් අරගෙන පැහැදිලි කරන්න බැරිද ?

      Delete
    8. පෙර ලිපි කියෙව්වම එන්න පුකුවන් උන් එකම නිගමනය තමයි අර්තසාදක අරමුදල් වල ප්‍රතිලාබ වලට තියෙන ටැක්ස් එක වැඩි කරනව ඉල්ලීමක් නොකලොත්. අනිත් ආයෝජකයින්ට එහෙම ටැක්ස් වැඩි වීමක් නෑ. ඒ කියන්නෙ ඉතින් සාදාරනයක් නැහැනෙ

      Delete
    9. මම හිතන්නේ අලුත් පෝස්ට් එකට දමපු ප්‍රතිචාරය සඳහා දුන් පිළිතුර තුළ මේ ප්‍රශ්න වලටත් පිළිතුර තිබෙනවා කියලා. එසේ නැත්නම් නැවත අහන්න.

      Delete
    10. ඔව්. බොහෝ දුරට පිලිතුරු ලැබුන.
      ස්තුති.
      අර්තසාදකේ ආයෝජන මුදල නිකුත් කර ඇති මුලු බැඳුම්කර වලින් කොපමන ප්‍රතිශතයක් වටිනවද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: