වෙබ් ලිපිනය:

Tuesday, July 15, 2025

රන් කියන්නේ හොඳ ආයෝජනයක්ද?


පහත තිබෙන්නේත් පසුගිය සටහනකට දමා තිබුණු ප්‍රතිචාරයක්.

"රන් බාර් එකකින් 1975 දී ඇමෙරිකාවෙ නිවසක් මිලදී ගන්න පුළුවන් වුණා.

රන් බාර් එකකට 2025 දීත් ඇමෙරිකාවෙ නිවසක් මිලදී ගන්න පුළුවන්.

1975: $64,000/බාර්

2025: $1,300,000/බාර්

රත්තරන් මිල වැඩි වෙලා නෑ.

ගෙවල් මිල වැඩි වෙලා නෑ.

මහ බැංකු ක්‍රමය නිසා ෆියට් ඩොලරයේ අගය අඩු වෙලා සහ ඒ හා සමානව වේතන වැඩි වෙලා නෑ.

නමුත් 1975 වගේ නෙමේ දැන් ඇමෙරිකාවේ තරුණ පරපුරට ගෙයක් ගන්න ඉතා අපහසු වෙලා."

මම හිතන විදිහට මේ ප්‍රතිචාරයේ මූලික අදහස 1975-2025 අතර කාලයේදී ඇමරිකාවේ නිවාස මිලට සාපේක්ෂව රන් මිල ස්ථාවරව පැවතී ඇතත්, ඇමරිකන් ඩොලරයක මිල විශාල ලෙස අඩු වී ඇති බවයි. එම මූලික අදහස පමණක් සැලකුවොත් කරුණුමය වශයෙන් මෙහි ඇති දේ නිවැරදියි. 

නිවුයෝර්ක් සරසවියේ මහාචාර්ය දමෝදරන් විසින් මහත් පරිශ්‍රමයකින් පිළියෙල කර ඇති සංඛ්‍යාලේඛණ අනුව, 1975-2024 කාලයේදී ඇමරිකාවේ නිවාස මිල 13.08 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. මෙය නිවාස මිලට සාපේක්ෂව ඩොලරයක වටිනාකම එම අනුපාතයෙන් අඩු වීමක් ලෙසත් සලකන්න පුළුවන්. නමුත් මෙම කාලය තුළ රන් මිල 14.00 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ආසන්න වශයෙන් ගත් විට රන් මිල හා නිවාස මිල වැඩි වී තිබෙන්නේ එකම අනුපාතයකින්. ඇත්ත වශයෙන්ම රන් මිල තරමක් වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා, 1975දී නිවසක් මිල දී නොගෙන ඒ සඳහා ප්‍රමාණවත් වූ තමන් සතු වත්කම් රන් වල ආයෝජනය කළ අයෙකුට 2024දී එම රන් මුදල් කර පහසුවෙන්ම නිවසක් මිල දී ගත හැකියි. යමෙක් තමන් සතු වත්කම් ඩොලර් නෝට්ටු ලෙස තබා ගත්තේනම්, 1975දී එවැනි නිවෙස් 13ක් මිල දී ගැනීම සඳහා ප්‍රමාණවත් වූ මුදල් ප්‍රමාණය තිබුණත් එය නොකළ හැකියි. 

සංසන්දනය හා ඒ මත පදනම් වූ ගණනය නිවැරදි වුවත්, මේ සංසන්දනය සිදු කෙරෙන්නේ වැරදි උපකල්පනයක් මතයි. එනම් මිනිසුන් තමන්ගේ වත්කම් ඩොලර් නෝට්ටු වල ආයෝජනය කරන බවයි. සිහි බුද්ධියක් තිබෙන කෙනෙක් තමන්ගේ වත්කම් ඩොලර් නෝට්ටු ලෙස තියා ගන්නේ නැහැ. එසේ තබා ගන්නේ එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය සීමිත මුදල් ප්‍රමාණයක් පමණයි. 

ෆියට් මුදල් ක්‍රමයක් යටතේ මුදල් වල වටිනාකම අඩුවෙනවා කියන එක ඇත්ත. නමුත් තමන් සතු මුදල් කිසියම් වෙනත් වත්කමක ආයෝජනය කිරීම මගින් එහි හානිය ඉක්මවන වාසියක් ලබා ගැනීමේ හැකියාවක් පුද්ගලයෙකු සතුව තිබෙනවා. 1975දී මුදල් ගෙවා නිවසක් මිල දී ගත හැකි තරමේ ධනයක් තිබුණු කිසිම කෙනෙක් තමන්ගේ එම ධනය මුදල් නෝට්ටු සේ වසර 50ක් තියා ගන්නේ නැහැ. රන් වල ආයෝජනය කිරීමද මෙහිදී පුද්ගලයෙකු සතු විකල්පයක්. නමුත් කොටස් ආයෝජනය හා බැඳුම්කර ආයෝජන වැනි ඊට වඩා හොඳ ආයෝජනද තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් 1975දී තමන්ගේ මුදල් දස අවුරුදු බැඳුම්කර වල ආයෝජනය කළේනම් වසර 50කට පසුව එම මුදල 18.84 ගුණයකින් වැඩි වෙලා. රන් වල ආයෝජනය කළේනම් එම වැඩිවීම 14.00ක් පමණයි. මධ්‍යම මට්ටමේ අවදානමක් සහිත (Baa) සාංගමික බැඳුම්කර වල ආයෝජනය කළේනම් එම මුදල 62.44 ගුණයකින් වැඩි වෙලා. 1975දී ගෙයක් ගත හැකිව තිබුණු මුදලින් 2024දී ගෙවල් හතරක් අරගෙන ඒ ගෙවල් වලට ගෘහභාණ්ඩ ගන්නත් සල්ලි ඉතිරි වෙනවා. වැඩි අවදානමක් නැති (S&P 500) කොටස් වල ආයෝජනය කළේනම් මෙම මුදල 235.05 ගුණයකින් වැඩි වෙලා. වඩා වැඩි අවදානමක් සහිත (Small cap) කොටස් වල ආයෝජනය කළේනම් මුදල 435.90 ගුණයකින් වැඩි වෙලා. 1975 එක ගෙයක් ගත හැකිව තිබුණු මුදලින් ගෙවල් 33කටත් වඩා ගන්න පුළුවන්!

ෆියට් මුදල් ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව රන් කියන්නේ වත්කමක් මිසක් මුදලක් නෙමෙයි. වත්කම් වල ප්‍රතිලාභ වෙනත් වත්කම් සමඟ මිස මුදල් වල ප්‍රතිලාභ සමඟ සංසන්දනය කරන්න බැහැ. මුදල් කියන්නේ ගෙවීම් සඳහා යොදා ගන්නා උපකරණයක් මිසක් ආයෝජන උපකරණයක් නෙමෙයි.

ආයෝජන උපකරණයක් ලෙස රන් කොයි තරම් හොඳද? 

රන් වල ආයෝජනය කිරීමේ ප්‍රතිලාභය අඩු නිසාම රන් නරක ආයෝජනයක් කියන නිගමනයට එන්න බැහැ. මෙහිදී අප‍ට අවදානම ගැනද සලකා බලන්න වෙනවා. මූල්‍යකරණයේදී සහ මූල්‍ය ආර්ථික විද්‍යාවේදී වත්කම් ප්‍රතිලාභ වල සම්මත අපගමනය එහි අවදානම පිළිබඳ නිර්ණායකයක් ලෙස යොදා ගන්නවා.  පහත තිබෙන්නේ 1975-2024 කාලයේදී විවිධ වත්කම් වර්ග වල වාර්ෂික ප්‍රතිලාභ වල ජ්‍යාමිතික සාමාන්‍ය අගය සහ සම්මත අපගමනයයි. වරහන් තුළ තිබෙන්නේ සම්මත අපගමනය.

නිවාස හා දේපොළ - 5.38% (5.71%)

රන් - 5.42% (23.74%)

භාණ්ඩාගාර බැඳුම්කර (වසර 10) - 6.05% (10.14%)

සාංගමික බැඳුම්කර (Baa) - 8.62% (8.74%)

සමාගම් කොටස් (S&P 500) - 12.26% (16.34%)

සමාගම් කොටස් (Small cap) - 12.92% (25.46%)

මේ අනුව පෙනී යන්නේ මෙම තෝරා ගැනීම් අතරින් රන් යනු නරකම ආයෝජනය බවයි. රන් වලට වඩා අවදානම බොහෝ අඩු වසර 10 භාණ්ඩාගාර බැඳුම්කර වල ප්‍රතිලාභය පවා රන් වලට වඩා අඩුයි. රන් වලට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන කොටස් ආයෝජන වල අවදානම පවා රන් ආයෝජන වල අවදානමට වඩා අඩුයි. එමෙන්ම රන් මිල මේ තරම්ම විචලනය වීම මගින් පෙන්නුම් කරන්නේ රන් වල වටිනාකම තීරණය වන්නේ සමපේක්ෂණය මත බවයි. එනම්, ඩොලර් නෝට්ටු වල මෙන්ම, රන් වලද සැබෑ වටිනාකමක් නොමැති බවයි.

නිවාස මිල වසරින් වසර ඉහළ යාමට මුදල් සැපයුමෙහි බලපෑමක් තිබුණත් එයට ප්‍රධාන හේතුව ෆියට් මුදල් ක්‍රමයක් පැවතීම නෙමෙයි. රන් සම්මතයක් තිබුණු කාලයේදීද මෙය මෙසේම සිදු වුනා. 1935-1967 කාලය තුළ ඇමරිකාවේ නිවාස මිල වසරකට සාමාන්‍ය වශයෙන් 4.06%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ වසර 33ක කාලයක් තුළ 3.72 ගුණයක මිල වැඩි වීමක්. මෙම කාලයේදී රන් වල මිල වෙනස් වුනේ නැහැ. ඒ කියන්නේ 1967දී නිවසක් මිල දී ගැනීම සඳහා 1935දී අවශ්‍ය වූ රන් ප්‍රමාණය මෙන් 372%ක් අවශ්‍ය වුනා. මෙයින් අදහස් වන්නේ නිවාස මිලට සාපේක්ෂව අදාළ කාලයේදී රන් 73%කින් බාල්දු වූ බවයි. මෙහිදී සිදු කර තිබෙන්නේද මුදල් හා වත්කම් සංසන්දනයක් නිසා මේ සංසන්දනය නිවැරදි නැහැ. 1935දී නිවසක් මිල දී ගැනීමට තරම් වත්කම් තිබුණු අයෙකුට එම මුදල් කොටස් වෙළපොළෙහි (Small cap) ආයෝජනය කිරීම මගින් 271 ගුණයකින් වර්ධනය කරගත හැකිව තිබුණා. එමගින් එක ගෙයක් වෙනුවට ගෙවල් 73ක් පමණ මිල දී ගත හැකිව තිබුණා. 

ධනවාදී ක්‍රමයක් පවතිද්දී රටක ධනය උත්පාදනය වීම හොඳින් සිදු වෙනවා. නමුත් එහිදී සුළු පිරිසක් අතේ ධනය ඒකරාශීවීමද සිදු වෙනවා. රට පොහොසත් වූ පමණින් රටේ සෑම අයෙකුගේම ආදායම් ඉහළ යන්නේ නැහැ. ධනවත් වන සීමිත පිරිස නිසා ඉහළ යන ඉල්ලුමෙන් නිවාස දේපොළ වල මිල ඉහළ යද්දී ඒ වේගයෙන්ම අඩු ආදායම් ලබන අයගේ වැටුප් වැඩිවීමක් අනිවාර්යයෙන් සිදු වන්නේ නැහැ. මෙය ධනවාදී ක්‍රමයේම ප්‍රශ්නයක් මිසක් මුදල් ක්‍රමයේ ප්‍රශ්නයක් නෙමෙයි. 

7 comments:

  1. 'මේ අනුව පෙනී යන්නේ මෙම තෝරා ගැනීම් අතරින් රන් යනු නරකම ආයෝජනය බවයි. රන් වලට වඩා අවදානම බොහෝ අඩු වසර 10 භාණ්ඩාගාර බැඳුම්කර වල ප්‍රතිලාභය පවා රන් වලට වඩා අඩුයි. රන් වලට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන කොටස් ආයෝජන වල අවදානම පවා රන් ආයෝජන වල අවදානමට වඩා අඩුයි. එමෙන්ම රන් මිල මේ තරම්ම විචලනය වීම මගින් පෙන්නුම් කරන්නේ රන් වල වටිනාකම තීරණය වන්නේ සමපේක්ෂණය මත බවයි. එනම්, ඩොලර් නෝට්ටු වල මෙන්ම, රන් වලද සැබෑ වටිනාකමක් නොමැති බවයි.'

    ඉකොනො මැට්ටා මෙහෙම කියනවා නං කරන්න තියෙන හොදම දේ තමුන්ගේ මුදල් රන් වලට ආයෝජනය කරන එක

    ReplyDelete
  2. රන් සම්බන්ධයෙන් ලංකාවෙදිත් තත්වය මේකද? කරුණාකර විග්‍රහයක් කරන්න.

    ReplyDelete
    Replies
    1. රන් ආයෝජන කියන්නේ රත්තරන් බඩු ගන්න එක වගේ දෙයක් නෙමෙයි. කිසියම් තැනක තැන්පත් කර තිබෙන රත්තරන් වල අයිතිය මිල දී ගැනීම. ලංකාවේ එසේ කළ හැකිද කියා මම දන්නේ නැහැ.

      Delete
  3. ඉකොනෝ ලංකාව ගැන මේ නිව්ස් එක ඇත්ත ද?

    // ශ්‍රී ලංකාව තුල ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වන පරිදි, ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදයේ පිහිටි විදේශීය තාක්ෂණික සමාගම් විසින් සපයනු ලබන ඩිජිටල් සේවා සඳහා 18% ක වැට් බද්දක් (Value Added Tax – VAT) පැනවීමට ශ්‍රී ලංකාව සූදානම් වන හෙයින්, එය රාජ්‍ය තාන්ත්‍රික ගැටලු ඇති කිරීමට ඉඩ ඇතැයි අපේක්ෂා කෙරේ.

    මෙම බදු පියවර Facebook (Meta), Amazon, Netflix, Google, සහ X (පෙර Twitter) වැනි සමාගම්වලට සෘජුවම බලපායි. මෙම සමාගම්වලට ශ්‍රී ලංකාවේ භෞතික පැවැත්මක් නොමැති වුවද, ශ්‍රී ලාංකික පරිශීලකයන්ගෙන් සැලකිය යුතු ආදායමක් උපයා ගනී.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා, විශේෂයෙන් ඇඟලුම් සඳහා, 30% ක ප්‍රතිවිරුද්ධ තීරුබදු වැඩි කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. අගෝස්තු 1 වන දින සිට ක්‍රියාත්මක වන නව තීරුබදු අනුපාතය පෙර පැවති 10% තීරුබදු අනුපාතය වෙනුවට ආදේශ කර ඇති අතර, එයින් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් මිලියන 582 ක වෙළඳ වටිනාකමක් අහිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ශ්‍රී ලංකාවේ ඩිජිටල් වැට් බද්දෙන් වසරකට දළ වශයෙන් ඩොලර් මිලියන 36 ක ආදායමක් අපේක්ෂා කරන අතර, මෙය දෙරට අතර සබඳතා තවදුරටත් නරක අතට හැරිය හැක. මක්නිසාද යත්, ට්‍රම්ප් ජනාධිපතිවරයා මීට පෙරද මෙවැනිම බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වෙනත් රටවල් සමඟ ගැටුම් ඇති කරගෙන තිබීමයි.

    ඇමරිකානු සමාගම්වලට එරෙහිව “ඩිජිටල් වෙනස්කම් කිරීම” ලෙස ඔහු හඳුන්වන ක්‍රියාමාර්ගවලට ට්‍රම්ප් විරෝධය පළ කර ඇති අතර, අන්‍යෝන්‍ය විධිවිධාන නොමැතිව එක්සත් ජනපද තාක්ෂණික සමාගම්වලට බදු පැනවීමට උත්සාහ කරන ජාතීන්ට එරෙහිව තීරුබදු පැනවීමට පවා ඔහු තර්ජනය කර ඇත.

    ප්‍රතිපත්ති නිරීක්ෂකයින් අනතුරු අඟවන්නේ, ශ්‍රී ලංකාවේ වැට් බදු පියවර, දේශීය වශයෙන් සාධාරණීකරණය කළ හැකි වුවද, ට්‍රම්ප් නායකත්වය දෙන පරිපාලනයෙන් දැඩි ප්‍රතිචාරයක් ඇති කළ හැකි බවයි. ඔහුගේ පෙර ධුර කාලය තුළ, ට්‍රම්ප් ප්‍රංශය, ඉන්දියාව සහ එක්සත් රාජධානිය විසින් හඳුන්වා දුන් සමාන ඩිජිටල් සේවා බදු වලට එරෙහිව තීරුබදු පනවා වෙළඳ පරීක්ෂණ ආරම්භ කළේය.

    “ට්‍රම්ප්ගේ කණ්ඩායම පැහැදිලිවම පවසා ඇත්තේ එක්සත් ජනපද සමාගම්වලට බදු පැනවීමක් සිදු කරන ඕනෑම රටකට වෙළඳ දඬුවම් ලැබිය හැකි බවයි. ශ්‍රී ලංකාව දැනටමත් රෙදිපිළි වෙළඳ අසමතුලිතතාවය හේතුවෙන් ඔහුගේ අවධානයට ලක්ව තිබෙනවා. මෙම වැට් බද්ද තවදුරටත් ගැටලුව උග්‍ර කරනවා” යැයි වොෂින්ටන් පදනම් කරගත් වෙළඳ විශ්ලේෂකයෙක් පැවසීය.

    මෑත රැළියකදී, ට්‍රම්ප් සිය ස්ථාවරය නැවත අවධාරණය කළේය: “ඕනෑම රටක් ඇමරිකානු සමාගම්වලට අසාධාරණ ලෙස බදු පැනවුවහොත්, ඔවුන් විශාල මිලක් ගෙවනු ඇත. අපව තවදුරටත් වාසි ලබා ගැනීමෙන් අවසන් වෙනවා.”

    බරපතල ණය බරකට සහ මූල්‍ය හිඟයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා රජය, ඩිජිටල් වැට් බද්ද අත්‍යවශ්‍ය ආදායම් මාර්ගයක් ලෙස සලකයි. රටේ මුදල් අමාත්‍යාංශය පවසන්නේ වැට් බද්ද OECD විසින් ප්‍රවර්ධනය කරන ගෝලීය බදු සාධාරණත්ව ප්‍රමිතීන්ට අනුකූල වන අතර යුරෝපය පුරා සහ ආසියාවේ ක්‍රියාත්මක වන රෙගුලාසිවලට සමාන බවයි.

    කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ තීරුබදු වැඩි කිරීමෙන් සති කිහිපයකට පසු මෙම තීරණය ගැනීම අවදානම් සහගතය. දෙරටම ඒකපාර්ශ්වික බදු පියවරයන් සමඟ ඉදිරියට යන හෙයින්, ඩිජිටල් සේවා එදිරිව භාණ්ඩ වෙළඳ ගැටුමක් දැන් වැඩි වැඩියෙන් මතුවෙමින් පවතින හැකියාවකි.

    ඉදිරියේදී සිදුවිය හැකි දේ

    තවදුරටත් තීරුබදු ඉහළ දැමීම්: ට්‍රම්ප් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වන තීරුබදු දැනටමත් ප්‍රකාශිත 30% ට වඩා ඉහළ නැංවිය හැක.
    සේවා සීමා කිරීම්: දේශීය බදු බර වැඩි වුවහොත් එක්සත් ජනපද සමාගම් ශ්‍රී ලංකාවේ සේවා සැපයීම හෝ වෙළඳ දැන්වීම් වියදම් නැවත සලකා බැලිය හැක.

    වෙළඳ සාකච්ඡා: උග්‍රවීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව නිදහස් කිරීම් හෝ ද්විපාර්ශ්වික සාකච්ඡා අපේක්ෂා කළ හැකි අතර, ඩිජිටල් බදු සහන හෝ අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමක් ඉදිරිපත් කළ හැක.//

    ඇත්තටම මටත් හිතෙනවා කොහොමත් මේ 18 percent tax එක ඇමරිකන් ආයතන ටාර්ගට් කරලා ලංකාවේ ආණ්ඩුවේ උන් කරපු වැඩක් විදියට USA උන් අවලාද නගාවි කියලා. මොකද ලංකාවට වගේම ලෝකයටම අන්තර්ජාල සේවා සපයන ආයතන බොහෝමයක් us based. දැන් කවුරු හරි මේ ගැන trump පාලනය දැනුවත් කරොත් අර ගහපු 30 වැඩි කරනවා 50 ට විතර.

    අනිත් එක තමා මෙයාලා USA වලට සහ ඉන්දියාව සතුටු කරන්නට බොරුවට චීන විරෝධයක් පෙන්න Ali සහ Themu බඩු hold කරේ ඇමරිකාව රවට්ටන්න කියන එක. දැන් වෙන්නේ කවුරුහරි චීනය දැනුවත් කරොත් චීන්නුන්ට මළපැන්නොත් අපි එහෙනුත් බැට කන්න ඉඩ තියෙනවා. 😅 මේක නම් මහා ගොබ්බ ආන්ඩුවක්. වැඩිකල් යන්න ඉස්සෙල්ලා ලංකාවේ තරුණයන්ගෙන් කනවා හොද කෑමක් නන්දසේන කෑවට වඩා හපන් විදියට

    ReplyDelete
  4. @ Economatta

    ඇත්තටම රන් සම්මතය සහ එහි සීමාවන් මුලින්ම, "රන් මිනුම මත පදනම් වූ මුදල් ක්‍රමය තිබ්බා නම්, මිනිස්සු මෙච්චර අමාරුවේ වැටෙන්නේ නැති බව" යන තර්කය සලකා බලමු.

    රන් සම්මතය (Gold Standard) යටතේ මුදලේ වටිනාකම රන් ප්‍රමාණයකට ස්ථාවරව බැඳී පවතින නිසා, රජයකට අවශ්‍ය පරිදි මුදල් මුද්‍රණය කිරීමට නොහැකි වී උද්ධමනය (inflation) පාලනය කර මුදලේ මිලදී ගැනීමේ හැකියාව (purchasing power) සාපේක්ෂව ස්ථාවරව තබා ගැනීමට උපකාරී වේ. න්‍යායාත්මකව, මෙය මිනිසුන්ගේ ඉතුරුම්වල වටිනාකම ආරක්ෂා කරන අතර, ආර්ථික අස්ථාවරත්වය අවම කළ හැකිය. රන් සම්මතය පැවති කාලවලදී උද්ධමනය අඩු මට්ටමක පැවති බව ඓතිහාසිකව සත්‍යයක්.

    කෙසේ වෙතත්, රන් සම්මතයට සැලකිය යුතු සීමාවන් ඇත. ආර්ථික අවපාත හෝ අර්බුද ඇති වූ විට, රන් සංචිත මත පදනම් වූ සීමිත මුදල් සැපයුම හේතුවෙන්, ආර්ථිකය උත්තේජනය කිරීමට රජයකට හෝ මහ බැංකුවකට ඇති හැකියාව අතිශයින් සීමා වේ. මෙය 1930 ගණන්වල මහා අවපාතය තවදුරටත් උග්‍ර වීමට දායක වූ බවට බොහෝ ආර්ථික විද්‍යාඥයන් තර්ක කරති. රන් සැපයුම සීමිත වීම නිසා, වේගවත් ආර්ථික වර්ධනයකට අවශ්‍ය මුදල් සැපයුම ඇති කිරීමට එය බාධාවක් විය හැකිය. මේ හේතු නිසා, අද වන විට ලෝකයේ කිසිදු ප්‍රධාන රටක් රන් සම්මතය භාවිතා නොකරන අතර, ඒවා සියල්ලම වඩාත් නම්‍යශීලී ෆියට් මුදල් ක්‍රම (Fiat Money Systems) අනුගමනය කරයි.චීන යුවාන් සහ රුසියානු රූබල් වල ජාත්‍යන්තර භූමිකාව මුදල් ඒකක ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ වැදගත් සහ වර්ධනය වන භූමිකාවක් දරයි.

    චීන යුවාන් (Renminbi - RMB / Yuan):චීන යුවාන් මුදල ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ වේගයෙන් වර්ධනය වන භූමිකාවක් දරයි. එය දැනටමත් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයේ මුදල වන අතර, එහි වෙළඳ හා ආයෝජන පරිමාව අතිවිශාලය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) 2016 දී IMF විසින් යුවාන් මුදල ඔවුන්ගේ විශේෂ ඇඳ ගැනීමේ අයිතීන් (Special Drawing Rights - SDR) බඳුනට ඇතුළත් කිරීම යුවාන් මුදල ජාත්‍යන්තර සංචිත මුදලක් (reserve currency) ලෙස නිල වශයෙන් පිළිගැනීමක් වන අතර, එය එක්සත් ජනපද ඩොලරය, යුරෝ, ජපන් යෙන් සහ බ්‍රිතාන්‍ය පවුම් සමග සම තත්ත්වයට පත් ඉතාමත්ම ඉහළ ඉල්ලුමක් සහිත සහ යුවාන් මුදල විශාල ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන ඒකකයක්

    චීනය ප්‍රධාන ගෝලීය වෙළඳ හවුල්කරුවෙකු වන බැවින්, බොහෝ රටවල් චීනය සමඟ වෙළඳ ගනුදෙනු සඳහා යුවාන් භාවිතා කිරීමට පෙළඹී ඇත. චීනය තම මුදල් ජාත්‍යන්තරකරණයට ක්‍රියාකාරීව කටයුතු කරන අතර, යුවාන් මත පදනම් වූ මූල්‍ය මෙවලම් සහ වෙළඳපොළවල් පිහිටුවා ඇත.

    රුසියානු රූබල් මුදලට එතරම්ම විශාල ජාත්‍යන්තර පිළිගැනීමක් නොතිබුණත් රුසියාවට එරෙහිව පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් එහි ජාත්‍යන්තර භාවිතය යම් දුරකට සීමා වී ඇතත්, එය තවමත් රුසියාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් සමඟ, විශේෂයෙන් BRICS (බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව) රටවල් සමග ගනුදෙනු සඳහා භාවිත වේ. රුසියාව ප්‍රධාන බලශක්ති සැපයුම්කරුවෙකු වන බැවින්, සමහර රටවල් රුසියානු බලශක්ති මිලදී ගැනීම් සඳහා රූබල් වලින් ගෙවීම් කිරීමට පවා පෙළඹී ඇත.

    ගෝලීය මූල්‍ය පද්ධතියේ ප්‍රධාන සංචිත මුදල්වල භූමිකාව පරිණාමය වෙමින් පවතී. එක්සත් ජනපද ඩොලරයේ ආධිපත්‍යයට අභියෝග කරමින්, චීන යුවාන් (Renminbi) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ ඇඳ ගැනීමේ අයිතීන් (SDR) කූඩයට ඇතුළත් වීම සහ ගෝලීය වෙළඳාමේ එහි වර්ධනය වන භාවිතය, චීනයේ නැඟී එන භූදේශපාලන සහ ආර්ථික බලය පිළිබඳ පැහැදිලි සලකුණකි. මෙම පසුබිම තුළ, චීනය ඉතා ඉක්මනින් ලෝක බලවතා වන බවට වන අපේක්ෂාවන් සමග, එහි මුදල් ඒකකය ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රයට සිදු කළ හැකි ධනාත්මක බලපෑම පිළිබඳව ගැඹුරින් විමසා බැලීම අත්‍යවශ්‍ය වේ.

    ෆියට් මුදල්වල ආර්ථික ක්‍රියාකාරීත්වය නිසා 1929 ආර්ථික අර්බුදයේදී රන් සම්මතය විසින් ආර්ථික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සීමා කළත්, ෆියට් මුදල් ක්‍රමය යටතේ 'අධික මුදල් මුද්‍රණය' (brazen money printing) නිසා අතිශය අධික උද්ධමනය, ජනතාවගේ සත්‍ය වැටුප්වල මිලදී ගැනීමේ හැකියාව දීර්ඝකාලීනව ඛාදනය කර ඇති බව පෙනෙයි. රන් සම්මතය ක්‍රියාත්මක වූයේ නම්, ස්ථාවර මුදල් වටිනාකම සහ සීමිත මුදල් සැපයුම මගින් 'ආර්ථික නියඟයක්' (economic drought) ඇති විය හැකි යැයි ඔබ සිතනවාද, එසේත් නැතිනම්, එය 'පුරෝකථනීය ආර්ථික ස්ථාවරත්වයකට' (predictable economic stability) මඟ පාදන, ස්වයං-නියාමන (self-regulating) ප්‍රතිපෝෂණ ලූප් එකක් නිර්මාණය කරනු ඇතැයි ඔබ විශ්ලේෂණය කරන්නේ කෙසේද? ෆියට් මුදල් ක්‍රමය, ආර්ථික වර්ධනය සඳහා 'නම්‍යශීලී බව' ලබා දුන්නද, එය 'ආදායම් අසමානතාවය' (income inequality) සහ 'වෘත්තීය වටිනාකම් විතැන් වීම' (displacement of vocational value) උග්‍ර කර ඇති ආකාරය භූදේශපාලන දෘෂ්ටිකෝණයකින් ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේම යුවාන් මුදලේ වේගවත් නැගීම සහ ගෝලීය මුදල් අනුපිළිවෙලෙහි පරිවර්තනය (Global Monetary Order Transformation) චීන යුවාන් මුදල IMF SDR කූඩයට ඇතුළත් වීම සහ ගෝලීය වෙළඳාමේ එහි වර්ධනය වන භාවිතය, එක්සත් ජනපද ඩොලරයේ ආධිපත්‍යයට අභියෝග කරන අතරේ චීනය ඉතා ඉක්මනින් ලෝක බලවතා වන බව බොහෝ රටවල් අපේක්ෂා කරන මේ මොහොතේ, ගෝලීය මූල්‍ය අනුපිළිවෙලෙහි මෙම පරිවර්තනය මගින් ඇති විය හැකි ධනාත්මක හා ඍණාත්මක භූදේශපාලන ප්‍රතිවිපාක මොනවාද? බහු-ධ්‍රැවීය මුදල් පද්ධතියක් (multi-polar currency system), ගෝලීය ආර්ථික අවදානම් විවිධාංගීකරණය කරනු ඇතැයි ඔබ විශ්වාස කරනවාද, එසේත් නැතිනම්, එය නව මූල්‍ය ගැටුම් (new financial conflicts) සහ ආර්ථික අනාරක්ෂිතභාවය (economic insecurity) ඇති කරනු ඇතැයි ඔබ සිතනවාද?

      චීනයේ මධ්‍යම සැලසුම්ගත ආර්ථිකය (centrally planned economy) යුවාන් මුදල ගෝලීය සංචිත මුදලක් ලෙස වැඩි වැඩියෙන් පිළිගැනෙන විට, චීනයේ මූල්‍ය ප්‍රතිපත්තිවල විනිවිදභාවය සහ චීන මහ බැංකුවේ (People's Bank of China) ස්වාධීනත්වය පිළිබඳව ඇති ගැටලු, ගෝලීය මූල්‍ය ස්ථාවරත්වයට කෙසේ බලපානු ඇතැයි ඔබ විශ්ලේෂණය කරන්නේද? මෙම අභියෝග මධ්‍යයේ වුවත්, යුවාන් මුදලට දැඩිලෙස විශ්වසනීයත්වය (credibility) ගොඩනගා ගැනීමට හේතු වූ ආයතනික යාන්ත්‍රණ (institutional mechanisms) මොනවාද?

      රුසියාව සහ චීනය වැනි රටවල් ඩොලරය මත යැපීම අඩු කිරීමේ අරමුණින් තම රන් සංචිත වැඩි කර ගැනීම, හුදෙක් ආයෝජන විවිධාංගීකරණයක් පමණක් ද, එසේත් නැතිනම්, එය 'මුදල් යුද්ධයක' (currency war) කොටසක් හෝ 'ඩොලරයේ ආධිපත්‍යයට අභියෝග කිරීමේ' (de-dollarization) භූදේශපාලන උපාය මාර්ගයක් ද? රන්, යම් රටක මුදලේ විශ්වසනීයත්වය ස්ථාපිත කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ නම්, එය අනාගත ගෝලීය මූල්‍ය පද්ධතියේ ව්‍යුහය කෙසේ වෙනස් කරනු ඇතැයි ඔබ පුරෝකථනය කරන්නේද?

      තාක්ෂණික දියුණුව සමග රන්වල කාර්මික භාවිතය සහ එහි සීමිත සැපයුම පිළිබඳව නව සාකච්ඡාවක් ඇති වී තිබේ. ඉදිරි දශක දෙක තුළ කැණීම් කළ හැකි රන් සංචිත අවසන් වීම පිළිබඳ පුරෝකථනයන්, රන් මිල කෙරෙහි බලපානු ඇත්තේ කෙසේද? එසේම, මධ්‍යම බැංකු ඩිජිටල් මුදල් (Central Bank Digital Currencies - CBDCs) සහ බ්ලොක්චේන් (Blockchain) තාක්ෂණයන්, මුදලේ ස්වභාවය සහ ජාත්‍යන්තර වෙළඳාමේ එහි භාවිතය කෙරෙහි බලපානු ඇත්තේ කෙසේද? චීනයේ ඩිජිටල් යුවාන් (Digital Yuan) වැනි මුදල්, 'ගෝලීය මූල්‍ය පද්ධතියේ නව යුගයක්' ආරම්භ කරනු ඇතැයි ඔබ සිතනවාද, එසේනම් එහි භූදේශපාලන වාසි සහ අවාසි මොනවාද? මේ ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?

      Delete
    2. වරෙන් පොල්තෙල් කාලක් අරගෙන පැහැදිලි කරන්න

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: