වෙබ් ලිපිනය:

Tuesday, July 8, 2025

වාහන ආනයන සහ විදෙස් සංචිත


මාස කිහිපයකට කලින් අපේ බිරින්දෑ ලංකාවට ගිහින් ආවා. මට ඒ ගමනට එකතු වෙන්න අවකාශයක් නොතිබුණු නිසා ඈ ගියේ ඒ දවස්වලම ලංකාවට යන්න අවශ්‍යව සිටි අසල්වැසි මිතුරියක් එක්ක. මේ ගමන සඳහා දෙන්නා ගුවන් ප්‍රවේශපත්‍ර ගත්තේ වෙනවෙනමයි. 

මිතුරිය විසින් මිල දී ගත් ප්‍රවේශපත්‍රය ඩොලර් එකසිය පණහකින් මිල වැඩියි. ඊට හේතුව එම මිල ගෙවූ පසුව හදිසියේ පියාසැරිය වෙනස් කරගන්න අවශ්‍ය වුනොත් ඒ සඳහා අමතර මුදලක් ගෙවිය යුතු නොවීමයි. පියාසැරිය වෙනස් කරගන්න සිදු වීමේ අවදානම ගැන ඈ විසින් වැඩි බරක් තබා තිබුණා.

මේ වෙද්දී ගමන ගැන අපේ බිරින්දෑ ස්ථිරව තීරණය කර අවසන්. ඇයට පියාසැරිය වෙනස් කරගන්න සිදු වීමේ අවදානම වෙනුවෙන් බර තියන්න අවශ්‍ය වුනේ නැහැ. ඒ නිසා ඇය ඒ ගමනම ඩොලර් එකසිය පණහක් අඩුවෙන් ගෙවා යන්න තීරණය කළා. යම් හෙයකින් පියාසැරිය වෙනස් කරගන්න අවශ්‍ය වුනානම් ඇයට ඒ වෙනුවෙන් අමතර මුදලක් ගෙවන්න වෙනවා. එම මුදලද ඩොලර් එකසිය පණහක්. 

අවසාන වශයෙන් දෙන්නාගෙන් එක් අයෙක්වත් පියාසැරිය වෙනස් කර ගත්තේ නැහැ. ඒ නිසා, අපේ බිරින්දෑට අමතර මුදලක් ගෙවන්න අවශ්‍ය වුනේ නැහැ. යම් හෙයකින් එසේ අමතර මුදලක් ගෙවන්න සිදු වුනත් එයින් ඇයට අවාසියක් සිදු වෙන්නේ නැහැ. ඒ සඳහා ගෙවන්නට සිදු වෙන ඩොලර් එකසිය පණහ කලින්ම අතේ ඉතිරි වී තිබෙනවා. ඒ නිසා, මේ තත්ත්වයන් යටතේ වැඩි මිල ප්‍රවේශපත්‍රය මිල දී ගැනීම කිසිසේත්ම තේරුමක් ඇති වැඩක්ව තිබුණේ නැහැ. 

මේ මෙවැනි එක් අවස්ථාවක් පමණයි. මෙවැනිම තවත් අවස්ථාවක් සඳහා සැබෑ උදාහරණයක් ලෙස මීට වසර ගණනාවකට පෙර මට ඈ වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණයක් මිල දී ගන්නට සිදු වුනා. ඒ වන විට ඈ රැකියාවක් නොකළ බැවින් එය ලබා ගත්තේ මගේ සේවා ආයතනය හරහා. සේවා ආයතනය මගින් මගේ රක්ෂණ වාරිකය සුබසාධනය කළ තරමටම ඇගේ රක්ෂණ වාරිකය සුබසාධනය නොකළ බැවින් එක් මාසයක් සඳහා ඩොලර් 300ක පමණ මුදලක් අතින් ගෙවන්නට සිදු වී තිබුණා. ඒ කියන්නේ වසරකට ඩොලර් 3600ක පමණ මුදලක්.

සාමාන්‍යයෙන් රක්ෂණ වාරිකයකින් සෞඛ්‍ය වියදම් ප්‍රතිපූරණය කරන්නේ යම් සීමාවකින් පසුවයි. එම සීමාව දක්වා වියදම් අතින් ගෙවිය යුතුයි. ඉහත රක්ෂණ ගිවිසුමේ එම සීමාව (deductible) වසරකට ඩොලර් 500ක්. ඒ කියන්නේ වසරක සෞඛ්‍ය වියදම ඩොලර් 500 නොඉක්මවන්නේනම්, අපට රක්ෂණයෙන් කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඔය කාලය අප ඉතා සෞඛ්‍ය සම්පන්නව සිටි කාලයක් බැවින් වෛද්‍යවරයෙකු වෙත යාමේ අවශ්‍යතාවයක් නොතිබුණු තරම්. නමුත් සෞඛ්‍ය ප්‍රශ්නයක් ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ඇති වෙන්න පුළුවන්.

ඩොලර් 300 කියන්නේ ඉහත රක්ෂණ වාරිකයේ සැබෑ මිල නෙමෙයි. ඇත්ත මිල ඊට වඩා ගොඩක් වැඩියි. ඉතිරි කොටස මගේ සේවා ආයතනයෙන් ගෙවන නිසා මෙම මුදල මා විසින් ගෙවිය යුතුව තිබුණු මුදලයි. කෙසේ වුවත්, අදාළ රක්ෂණ ආයතනයේ මිල ගණන් සෘජුව පරීක්ෂා කර බැලීමේදී පෙනී ගියේ අතින් ගෙවන මුදල (deductible) වැඩි වෙද්දී රක්ෂණ වාරිකය විශාල ලෙස අඩුවන බවයි. වසරකට ඩොලර් 2500 තෙක් මුදලක් අතින් ගෙවන්නේනම් රක්ෂණ ගිවිසුමක් වෙනුවෙන් මාසිකව ගෙවිය යුතුව තිබුනේ ඩොලර් 125ක් වැනි මුදලක් පමණයි. ඒ කියන්නේ වසරකටම ඩොලර් 1500ක් පමණයි. වසරකට ඩොලර් 2500 තෙක් මුදලක් අතින් ගෙවිය යුතු බැවින් මෙවැනි රක්ෂණ ගිවිසුමකට විශාල ඉල්ලුමක් තිබුණේ නැහැ.

අපගේ තේරීම වුනේ අඩු මිල ගිවිසුමයි. අදාළ වසරේදී වෛද්‍යවරයෙකු වෙත යාමේ අවශ්‍යතාවයක් ඇති නොවූ බැවින් අපට ඩොලර් 2100ක මුදලක් ඉතිරි වුනා. එසේ නොවී යම් හෙයකින් අප‍ට විශාල සෞඛ්‍ය වියදමක් දරන්නට සිදු වීනම් වෙන්නේ කුමක්ද? එසේ වීනම්, අපට ඩොලර් 2000 දක්වා වන අමතර මුදලක් අතින් ගෙවන්නට සිදු වෙනවා. නමුත් අපගේ තේරීම නිසා ඊට වඩා වැඩි මුදලක් ඉතිරි වීතිබුණා. ඒ නිසා, සාමාන්‍ය රක්ෂණ වාරිකය කවර තත්ත්වයක් යටතේ වුවද හොඳ තේරීමක් වුනේ නැහැ.

ගුවන් යානා ප්‍රවේශපත්‍ර උදාහරණයේදී මෙන්ම ඉහත සෞඛ්‍ය රක්ෂණ උදාහරණයේදීද අවදානම තෙවන පාර්ශ්වයකට පැවරීම සඳහා අපට යම් මිලක් ගෙවීමට සිදු වී තිබුණා. එය සාමාන්‍ය දෙයක්. නමුත් අවදානම පිළිබඳව සලකා බැලීමෙන් පසුවද එක් තේරීමක් හැම විටම අනෙක් තේරීමට වඩා හොඳ තේරීමක් වීම මෙම උදාහරණ වල ඇති විශේෂත්වයයි. මෙය ආර්ථික විද්‍යාවේදී "පළමු ගණයේ ආනුමානික ආධිපත්‍යය (First order stochastic dominance)" ලෙස හැඳින්වෙනවා. නිශ්චිතව පැහැදිලි කිරීම සඳහා තරමක් සංකීර්ණ ගණිතය අවශ්‍ය වුනත්, උදාහරණ වලින් අදහස තේරෙන්නට ඇතැයි සිතනවා. 

මේ පැහැදිලි කිරීම කළේ වාහන ආනයන සිදු නොවූයේනම් විදෙස් සංචිත වැඩි කරගත හැකිව තිබුණේය යන අදහස ජනප්‍රිය අදහසක්ව ඇති බව පෙනෙන නිසා. මෙහිදී අමතක කෙරෙන කරුණ වන්නේ සංචිත වැඩි කරගත යුතුව ඇත්තේ ඇයි කියන එකයි.

සංචිත වැඩි කරගත යුත්තේ අවදානම් අඩු කර ගැනීම සඳහායි. මෙසේ අඩු කරගන්නේ කවර අවදානමක්ද? ඒ අනාගතයේදී විදේශ අංශයේ කිසියම් කම්පනයක් ඇති වුවහොත් ආනයන සිදු කළ නොහැකි වීමේ අවදානමයි. ප්‍රමාණවත් සංචිත තිබේනම් එවැනි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකියි. ප්‍රමාණවත් සංචිත නැත්නම් එවැනි අවස්ථාවක ආනයන සීමා කරන්නට සිදු වෙනවා.

මේ අයුරින් අනාගතයේදී විදේශ අංශයේ කිසියම් කම්පනයක් ඇති වී, ප්‍රමාණවත් සංචිතද නොමැති නිසා, ආනයන සීමා කිරීමට සිදු වුවහොත් බොහෝ විට මුලින්ම සීමා කෙරෙනු ඇත්තේ වාහන ආනයනයි. නමුත් එසේ කිරීමට අවශ්‍ය වන්නේ විදේශ අංශයේ කිසියම් කම්පනයක් ඇති වුවහොත් පමණයි. සාමාන්‍ය තත්ත්වයක් යටතේදී වාහන හෝ වෙනත් ආනයන සිදු කරන්නේ සංචිත වල ඇති විදේශ විණිමය යොදවමින් නෙමෙයි. උපයන විදේශ විණිමය වැය කිරීම මගින්. 

යම් හෙයකින් ප්‍රමාණවත් සංචිත ගොඩ නගා ගත නොහැකිනම් මුහුණ දෙන්නට සිදු වන උපරිම අවදානම වනුයේ කිසියම් කම්පනයක් ඇති වූ අවස්ථාවක ආනයන පාලනය කරන්නට සිදු වීමයි. එවැනි කම්පනයක් ඇති නොවුවහොත් එසේ කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මේ නිසා, සංචිත ගොඩ නගා ගැනීම ඉතා වැදගත් වුවත්, වාහන ආනයන සීමා කරමින් සංචිත ගොඩ නගා ගැනීම යනු සිදු වීමට යම් ඉඩක් ඇති තත්ත්වයක් වෙනුවෙන් එහි පාඩුව කලින්ම විඳීමක්. මගේ පළමු උදාහරණයේදී මෙන් යම් හෙයකින් පියාසැරිය වෙනස් කරන්නට සිදු වුවහොත් ඩොලර් එකසිය පණහක ගාස්තුවක් ගෙවන්නට වීමේ අවදානම මග හරවා ගැනීම සඳහා කලින්ම ඩොලර් එකසිය පණහක් ගෙවීමක් වැනි දෙයක්. ඊටත් වඩා අමුවෙන් කිවුවොත්, කවුරු හෝ ඇවිත් තමන්ට වෙඩි තියයි කියන බයට ඊට කලින් තමන්ම වෙඩි තියා ගන්නවා වගේ වැඩක්.

විදෙස් සංචිත ගොඩනගා ගත යුත්තේ අවශ්‍ය පමණ ආනයන සිදු කරන අතරයි. එය අසීරුනම් අත හැර දැමිය යුත්තේ ආනයන නොව විදෙස් සංචිත ඉලක්කයයි. 

මේ මොහොත සැලකුවහොත් විදෙස් සංචිත ඉලක්ක වලට යා යුත්තේ එය මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබෙන ඉලක්කයක් බැවිනුයි. නමුත් වාහන ආනයනයට ඇති බාධා ඉවත් විය යුතු බව අරමුදලේ මූලික කොන්දේසියක්. අරමුදල රටවලට උදවු කරන්නේම ජාත්‍යන්තර වෙළඳාම වඩා හොඳින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින්. ඒ නිසා, මේ වෙලාවේ ලංකාව සතුව එවැනි විකල්පයක් කොහොමටවත්ම නැහැ. 

සංචිත ගොඩ නගා ගැනීම අරමුදල විසින් නොකිවුවත් කළ යුතු රටේ අවශ්‍යතාවයක් කියා කෙනෙකුට කියන්න පුළුවන්. ඒ පදනමින් බලන්නේනම්, වාහන ආනයනද රටේ අවශ්‍යතාවයක්. 

මේ වන විට විදෙස් සංචිත ඩොලර් මිලියන 6,080 දක්වා පහත වැටී ඇති අතර වර්ෂාවසාන ඉලක්කය ඩොලර් මිලියන 7,255ක්. මෙහි ඩොලර් මිලියන 1,175ක අඩුවක් තිබෙනවා. නමුත් දැනටමත් ලැබී ඇති අරමුදලේ පස්වන වාරිකයට අමතරව මෙම වසර තුළ හයවන වාරිකයද ලැබෙන්නට නියමිතව තිබෙනවා. මේ මගින් ඩොලර් මිලියන 700ක් පමණ එකතු වෙනවා. ඊට අමතරව කලින් පොරොන්දු වී ඇති ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය මුදල්ද ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා, වර්ෂාවසාන සංචිත ඉලක්කයට යාම කළ නොහැක්කක් නෙමෙයි. කරන්නට නොහැකි වන්නේ චීන මුදල් හුවමාරු ණය ආපසු ගෙවීමයි.

ජනාධිපති දිසානායකගේ චීන සංචාරයේදී අදාළ ගිවිසුම අලුත් කළ නිසා 2027 වන තුරු ඉහත චීන ණය නොගෙවා ඉන්න පුළුවන්. රජය හා මහ බැංකුව විසින් කරනු ඇත්තේ එයයි. එවිට විණිමය ප්‍රවාහ තුලනය කරගන්න පුළුවන්. 

නමුත් මෙහිදී ප්‍රශ්නය අනාගතයට කල් දැමීමක් සිදු වෙනවා. 2027 සංචිත ඉලක්කය ඩොලර් මිලියන 12,974ක්. ඒ අනුව, මේ වසරේ සංචිත ඉලක්කයට යනු ඇතැයි යන උපකල්පනය මත, ඉදිරි දෙවසර තුළ ඩොලර් මිලියන 5,719ක් එකතු කරගන්නට සිදු වෙනවා. එම මුදලට චීන ණයද එකතු වූ විට 2026 හා 2027 දෙවසර තුළ ඩොලර් බිලියන 7.2ක් එකතු කර ගැනීමේ ඉලක්කයක් තිබෙනවා. 

මෙය ක්‍රිකට් තරඟකදී මුලින් හොඳින් ලකුණු රැස් නොකළ විට අවසාන ඕවර වලදී අවශ්‍ය වන ලකුණු වේගය වේගයෙන් ඉහළ යාම වැනි දෙයක්. මේ ආණ්ඩුව හමුවේ තිබෙන ප්‍රධාන අභියෝගය වනුයේ මේ සඳහා අවශ්‍ය විණිමය ප්‍රවාහ ජනනය කර ගැනීමයි. ආර්ථික වර්ධන වේගය අඩුවීමේ බලපෑම කෙසේ වුවත් නැවත ණය ගෙවන්නට සිදු වන විට රටේ ආර්ථිකයට සිදු විය හැකි දෙය මේ කරුණ මත තීරණය වෙනවා. 

11 comments:

  1. මේ යකා නං හෙන කුණු ලෝබයෙක්නේ, මේ වගේ කුණුකන් බලන්නත් හිරිකිතයි, මේ යකාගේ හාමිනේ කොහොම ඉන්නවද මන්දා මේ කුනා එක්ක.

    ReplyDelete
    Replies
    1. ජීවිතේට රස්සාවක් නොකළ ජංගියත් (හිල් උනාට කම් නැත) අනුන්ගෙන් ඉල්ලාගන්නා අයවලුන්ට නම් ඔහොම හිතෙන එක සාධාරණයි.

      Delete
  2. ඉකොනෝ

    ඩොලර් 150 ක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 45,000 ක් වගේ සුලු මුදලක්, මේක ලංකාවේත් ඉහළ මධ්‍යම පාන්තික අයට ඒ හැටි දැනෙන ගානක් නෙවෙයි ඒ නිසාම එක්සත් ජනපදය වගේ රටවල ඉන්න අයට මේක ඔය තරමට "දැනෙන" මුදලක් කියලා මට හිතෙන්නේ නෑ ඒත් එක්සත් ජනපදයේ සිටින අය මේ තරමටම කුඩා ගණන් ගැනත් සංවේදීව කටයුතු කිරීම ඔවුන්ගේ මූල්‍ය කළමනාකරණ දක්ෂතාවන් පිළිබිඹු කරනවා.

    ඊළඟට ලංකාවේ වත්මන් විදේශ සංචිත මට්ටම් සහ ණය වාරික ලැබීම් සැලකිල්ලට ගත් විට, 2024 වර්ෂාවසාන සංචිත ඉලක්කය වන ඩොලර් මිලියන 7,255ට ළඟා වීමේ සැබෑ හැකියාව කුමක්ද? Worst-case scenario එකකදී, ලංකාවට මුහුණ දීමට සිදු විය හැකි මූල්‍ය අර්බුදය කුමක්ද?

    ජනාධිපති දිසානායකගේ චීන සංචාරයේදී චීන මුදල් හුවමාරු ණය 2027 දක්වා කල් දැමීම, කෙටි කාලීන සහනයක් වුවද, 2026-2027 වසරවලදී මුහුණ දීමට සිදුවන ඩොලර් බිලියන 7.2ක දැවැන්ත ණය ආපසු ගෙවීමේ අභියෝගය හමුවේ, මෙය "ප්‍රශ්නය අනාගතයට කල් දැමීමක්" පමණක් බව ඔබ ආර්ථික විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ කෙසේද?

    අධික ණය බරක් සහිත, ආනයන සීමා කිරීම් සහිත, සහ දුර්වල ඩොලර් උපයන යාන්ත්‍රණ සහිත රටක, වාහන ආනයනය සඳහා ලැබෙන විදේශ විනිමයෙන් විශාලතම පංගුවක් යොදාගැනීම, රටේ සමස්ත ආර්ථික ප්‍රමුඛතා සහ විදේශ විනිමය කළමනාකරණයට බලපාන්නේ කෙසේද? මෙය ණය අර්බුදය තවදුරටත් උග්‍ර කරන්නේ නැද්ද?

    මීට පෙර පැවති රාජපක්ෂ සහ යහපාලන ආදී දූෂිත චෞර රෙජීම වලට බොහෝ දුරට සමාන වෙමින් පවතින වර්තමාන ජාජබ නවතම "චෞර රෙජීමයේ" වේගයෙන් වර්ධනය වන මහජන බදු මුදල් විනාශ කරන දූෂණය, වංචාව සහ අකාර්යක්ෂමතාව, ආර්ථික විද්‍යාත්මකව රටේ ආර්ථික වර්ධනයට සහ විදේශ විනිමය ගලා ඒමට සෘජුවම බලපාන්නේ කෙසේද? විශේෂයෙන්, බටහිර මූල්‍ය ආයතන, IMF, ලෝක බැංකු, ADB සහ JICA වැනි ආයතනවල ණය වාරික නිසි පරිදි කළමනාකරණය කර ආපසු ගෙවීමට මෙම දූෂණය බාධාවක් වන්නේ කෙසේද?

    2026-2027 වසරවලදී මුහුණ දීමට සිදුවන ඩොලර් බිලියන 7.2ක දැවැන්ත ණය ගෙවීම සඳහා අවශ්‍ය විනිමය ප්‍රවාහ ජනනය කර ගැනීම සඳහා, ලංකාවේ වර්තමාන ජාජබ රජය විසින් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති (උදා: ඔන්ලයින් සියලුම භාණ්ඩ වලට බදු ගැසීම මීට පෙර බදු සහන ලබා දුන් බොහෝ ක්ෂේත්‍ර වලට විශේෂයෙන්ම රටට ඩොලර් ලැබෙන IT සේවා අපනයනය, සංචාරක ව්‍යාපාරය වගේ ඒවාට VAT ගැසීම, "Clean Sri Lanka" වැනි නාස්තිකාර ප්‍රචාරක ව්‍යාපෘති) කෙතරම් ප්‍රායෝගිකද? ආර්ථික වර්ධන වේගය අඩුවීමේ බලපෑම කෙසේ වුවත්, මෙම විදේශ විනිමය නොලැබීම වැනි ප්‍රධාන අභියෝග විසඳා ගැනීමට රටක් ලෙස අප ගත යුතු ආර්ථික විද්‍යාත්මක ක්‍රියාමාර්ග මොනවාද?

    මේ ගැන විස්තර සහිතව ආර්ථික විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්ද?

    ReplyDelete
  3. රක්ශන වාරිකයේ සැබෑ වටිනාකම කීයද?
    සාමන්‍ය ලෙඩකට දොස්තර කෙනෙක් ලඟට ගියොත් රක්ශනය නැතිනම් කීයක් වැය වෙනවද?

    ReplyDelete
    Replies
    1. ලිපියේ තිබෙන්නේ ආසන්න ගණන්. හරිම ගණන් ඔය වගේ රවුම් ගණන් නෙමෙයි. නමුත් ඔය කිට්ටුවෙන් යන ගණන්. මෙය අවුරුදු ගණනක් පරණ කතාවක්. මතක හැටියට ඒ දවස් වල එම සෞඛ්‍ය රක්ෂණයේ නියම මිල ඩොලර් 1200-1300 අතර ගණනක්. නමුත් මා වෙනුවෙන් ගෙවිය යුතු වුනේ ඩොලර් 50ක් පමණයි. ඉතිරි කොටස ආයතනයෙන් ගෙවුවා. නමුත් බිරිඳගේ හා දරුවන්ගේ රක්ෂණ වෙනුවෙන් වැඩි මුදලක් අතින් ගෙවිය යුතුව තිබුණා.

      පහත තිබෙන්නේ ඉදිරි වර්ෂය සඳහා Visiting Scholar කෙනෙක් විසින් ගෙවිය යුතු මිල ගණන්. මෙය මුළු වියදම විය යුතුයි කියා මම සිතනවා.

      2025 අගෝස්තු 1 සිට 2026 ජූලි දක්වා එක් මාසයක් සඳහා සඳහා වාරිකය - ඩොලර් 1873
      බිරිඳට හෝ සැමියාට - ඩොලර් 1873
      දරුවෙකුට - ඩොලර් 1873 බැගින්

      මෙහි deductible එක ඩොලර් 500ක්. ඒ කියන්නේ සාමාන්‍ය සෞඛ්‍ය රක්ෂණයක්. High deductible රක්ෂණයක මිල මෙයින් බාගයක් පමණ විය යුතුයි.

      සාමාන්‍ය ලෙඩක් සඳහා සෞඛ්‍ය රක්ෂණයක් නැතිව වෛද්‍යවරයෙක් ළඟට යන්න අමාරුයි. Appointment එකක් දමද්දී රක්ෂණයේ විස්තර ලබා දිය යුතුයි. රක්ෂණය ගැන සොයා නොබලන්නේ හදිසි තත්ත්වයකදී පමණයි. සාමාන්‍ය වෛද්‍යවරයෙකු විසින් සාමාන්‍ය ලෙඩකට ඩොලර් 150ක පමණ මුදලක් අය කරනවා. ඩොලර් 100-300 අතර විය හැකියි. මෙයට වෛද්‍ය පරීක්ෂණ සහ ඖෂධ වියදම් ඇතුළත් නැහැ. වෛද්‍යවරයා සහ රක්ෂණ සමාගම අතර ගිවිසුමක් තිබේනම් සාමාන්‍යයෙන් මෙම මුදලෙන් 80%ක් පමණ රක්ෂණයෙන් ගෙවනවා. නමුත් එසේ ගෙවන්නේ deductible එක ඉක්මවා වියදම් කර ඇත්නම් පමණයි. වෛද්‍යවරයා සහ රක්ෂණ සමාගම අතර ගිවිසුමක් නැත්නම් රක්ෂණ සමාගමෙන් ගෙවන්නේ 50%ක් වැනි කොටසක් පමණයි. ඒ වගේම ගිවිසුමක් නොමැති නිසා වෛද්‍යවරයා විසින් වැඩි මුදලක් අය කරන්න ඉඩ තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරයෙක්නම් ගාස්තුව ඩොලර් 300-500 පමණ විය හැකියි.

      Delete
    2. @ ඉකොනෝ

      එක්සත් ජනපදයේ සෞඛ්‍ය රක්ෂණය කියන්නේ එහේ බොහෝ දෙනෙකුට ඔළුවේ කැක්කුමක් වගේ සංකීර්ණ සහ වියදම් අධික පද්ධතියක්. ඉන්දියානා වගේ ජනපදයක හෝ වෙනත් ඕනෑම ජනපදයක සෞඛ්‍ය රක්ෂණ වාරිකය මාසිකව කීයක් වෙනවාද කියලා හරියටම කියන්න අමාරුයි, මොකද ඒක විවිධ සාධක ගණනාවක් මත රඳා පවතිනවා. ඒ වගේම, රක්ෂණයක් නැතිව වෛද්‍ය ප්‍රතිකාර ගන්න ගියොත් මුහුණ දෙන්න සිද්ධ වෙන තත්ත්වය ඇත්තටම භයානකයි.

      සෞඛ්‍ය රක්ෂණ වාරිකය (Monthly Premium) කොපමණද කියා තීරණය වන සාධක කිහිපයක්

      A. රක්ෂණ සැලසුමේ වර්ගය (Plan Type): HMO (Health Maintenance Organization), PPO (Preferred Provider Organization), EPO (Exclusive Provider Organization), POS (Point of Service) වැනි විවිධ වර්ගයේ සැලසුම් තියෙනවා. මේවායේ ප්‍රතිලාභ සහ ජාලයන් (networks) වෙනස් වන නිසා වාරිකත් වෙනස් වෙනවා.

      B.ඔහෙගෙ වයස: වයස වැඩි වන තරමට වාරිකය ඉහළ යනවා.

      C.ඔහේ පදිංචි ස්ථානය: එක් එක් ජනපදයේ සහ ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා පිරිවැය සහ රක්ෂණ වෙළෙඳපොළ අනුව වාරික වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස, ඉන්දියානා වැනි ජනපදයකට වඩා නිව්යෝර්ක් හෝ කැලිෆෝනියා වැනි ජනපදවල වාරික සාමාන්‍යයෙන් වැඩියි.

      D.පවුලේ සාමාජිකයන් ගණන: ඔබ, ඔබේ සහකරු/සහකාරිය, දරුවන් ආදී වශයෙන් රක්ෂණයට ඇතුළත් වන අයගේ ගණන අනුව වාරිකය වැඩි වෙනවා.

      E.ඔහෙගෙ ආදායම (සහනාධාර සඳහා): අඩු ආදායම්ලාභීන්ට රජයෙන් සහනාධාර (subsidies) ලැබෙන නිසා ඔවුන්ගේ වාරිකය අඩු විය හැකියි.

      F.දුම්පානය (Tobacco Use): ඔබ දුම්පානය කරන්නේ නම්, වාරිකය 50%ක් දක්වා වැඩි විය හැකියි.

      දළ ඇස්තමේන්තුවක් ලෙස:

      තනි පුද්ගලයෙකු සඳහා: මාසික වාරිකය $300 සිට $700 (හෝ ඊට වැඩි) දක්වා විය හැකියි.

      පවුලක් සඳහා: මාසික වාරිකය $800 සිට $1,500 (හෝ ඊට වැඩි) දක්වා ඉහළ යා හැකියි.

      මේවා සාමාන්‍ය අගයන් පමණයි, වඩාත් පුළුල් ආවරණයක් සහිත සැලසුම් සඳහා වාරිකය තවත් ඉහළ යා හැකියි.

      Deductible සමඟ වාරිකය අඩු කර ගැනීමට ගත යුතු පියවර මෙහෙමයි (මෙතන මම මේ Deductible කියන්නේ ඔබේ රක්ෂණය ක්‍රියාත්මක වීමට පෙර ඔබට ඔබේ සාක්කුවෙන් ගෙවීමට සිදුවන මුදල් ප්‍රමාණයයි. Deductible එක වැඩි වන තරමට ඔබේ මාසික වාරිකය අඩු වේ. නමුත් මෙහිදී අවදානමක් පවතිනවා – ඔබට හදිසි වෛද්‍ය අවශ්‍යතාවයක් මතුවුවහොත්, විශාල මුදලක් මුලින්ම ගෙවීමට සිදුවීම.)

      Deductible සමඟ වාරිකය අඩු කර ගැනීමට සහ වියදම් කළමනාකරණය කර ගැනීමට පියවර:

      ඉහළ Deductible සහිත සැලසුම් තෝරා ගන්න (High-Deductible Health Plans - HDHP):

      ඔබ නිරෝගී නම් සහ නිතර වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගන්නේ නම්, HDHP එකක් තෝරා ගැනීමෙන් මාසික වාරිකය සැලකිය යුතු ලෙස අඩු කරගත හැකියි.

      මේවා සාමාන්‍යයෙන් Health Savings Account (HSA) එකක් සමඟ එනවා. HSA යනු බදු සහන ලැබෙන ඉතුරුම් ගිණුමක් වන අතර, ඔබට වෛද්‍ය වියදම් සඳහා මුදල් තැන්පත් කළ හැකියි. මෙය ඔබේ Deductible එක ගෙවීමට විශාල උපකාරයක්.

      ඔබේ සෞඛ්‍ය තත්ත්වය ඇගයීම:

      ඔබට නිදන්ගත රෝග (chronic conditions) තිබේද, නිතර බෙහෙත් ගන්නවාද, හෝ විශේෂඥ වෛද්‍යවරුන් හමුවිය යුතුද යන්න සලකා බලන්න. එසේ නම්, ඉහළ Deductible එකක් ඔබට ලාභදායී නොවීමට ඉඩ ඇත.

      අදාල රක්ෂණ සැලසුම් ජාලය (Network) පරීක්ෂා කරන්න:

      ඔබේ වත්මන් වෛද්‍යවරුන් සහ රෝහල් ඔබ තෝරා ගන්නා රක්ෂණ සැලසුමේ ජාලයට ඇතුළත් දැයි සොයා බලන්න. ජාලයෙන් පිටත ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වියදම් අධික විය හැකියි.

      රජයේ සහනාධාර (Subsidies) සඳහා සුදුසුකම් පරීක්ෂා කරන්න:

      තමාගේ ආදායම අනුව, Affordable Care Act (ACA) යටතේ Premium Tax Credits (වාරික අඩු කිරීම්) හෝ Cost-Sharing Reductions (වියදම් අඩු කිරීම්) සඳහා ඔහේට සුදුසුකම් ලැබිය හැකියි. healthcare.gov වෙබ් අඩවියෙන් මේවා ගැන විස්තර පරීක්ෂා කළ හැකියි.

      Delete
    3. ඒ වගේම ඉන්ෂ්වර් කරන්න ඉස්සර එක එකාගේ විවිධාකාර ඔප්ෂන් සේරම ඇහැක් තරමට හොඳටම සංසන්දනය කරන්න:

      සෑම විටම විවිධ රක්ෂණ සමාගම්වලින් සහ විවිධ සැලසුම්වලින් කෝටේසන් (quotes) අරං ඒවා සංසන්දනය කරන්න. ලාභම වාරිකය පමණක් නොව, Deductible, Co-pay (සෑම හමුවීමකටම ගෙවිය යුතු ස්ථිර මුදල), Coinsurance (Deductible පසු ගෙවිය යුතු ප්‍රතිශතය) සහ Out-of-pocket maximum (වසරකට ගෙවිය හැකි උපරිම මුදල) වැනි සියලු සාධක සලකා බලන්න, ගණන් හදල බලන්න

      රක්ෂණයක් නොමැතිව වෛද්‍ය ප්‍රතිකාර ගැන බිහිසුණු යථාර්ථය නම් එක්සත් ජනපදයේ සෞඛ්‍ය රක්ෂණයක් නොමැතිව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම දැවැන්ත මූල්‍ය බරක් විය හැකියි. රක්ෂණයක් නොමැති අයට සාමාන්‍යයෙන් රක්ෂණය සහිත අයට වඩා බොහෝ වැඩි මිලක් අය කරනවා, මොකද රක්ෂණ සමාගම් රෝහල් සහ වෛද්‍යවරුන් සමඟ අඩු මිලට ගිවිසුම්ගත වී සිටින නිසයි.

      හදිසි ප්‍රතිකාර (Emergency Room Visit): ඉතාම සරල හදිසි ප්‍රතිකාරයකට පවා $500 සිට $3,000+ දක්වා වැය විය හැකියි. බරපතළ හදිසි අවස්ථාවකදී (උදා: හෘදයාබාධයක්, අනතුරක්) $10,000, $50,000, $100,000 හෝ ඊට වැඩි වියදම් දැරීමට සිදුවිය හැකියි.

      සරල වෛද්‍ය හමුවීමක් (Doctor's Visit): රක්ෂණයක් නොමැතිව සාමාන්‍ය වෛද්‍යවරයකු හමුවීමට $100 සිට $300+ පමණ වැය විය හැකියි. විශේෂඥ වෛද්‍යවරයකු නම් ඊටත් වැඩියි.

      රෝහල්ගත වීමක් (Hospital Stay): එක රැයක් රෝහලේ ගත කිරීම සඳහා සාමාන්‍යයෙන් $1,000 සිට $5,000+ දක්වා වැය විය හැකියි.

      සංකීර්ණ සැත්කම් හෝ දීර්ඝ කාලීන රෝහල්ගත වීම් සඳහා ලක්ෂ ගණනින් (ඇඑජ ඩොලර්) වියදම් දැරීමට සිදුවිය හැකියි. උදාහරණයක් ලෙස, උදර ශල්‍යකර්මයක් $30,000 සිට $50,000, හෘද සැත්කමක් $100,000 ඉක්මවිය හැකියි.

      බෙහෙත් මිලට ගැනීම (Prescription Medications): රක්ෂණයක් නොමැතිව බෙහෙත් මිලට ගැනීමත් ඉතා මිල අධික විය හැකියි. සමහර විට දිනකට අවශ්‍ය ඖෂධ මාසික වැටුපටත් වඩා වැඩි වෙන්න පුළුවන්.

      මෙවැනි තත්ත්වයන් නිසා, බොහෝ ඇමරිකානුවන් බරපතළ ලෙස ණයගැති වී, බංකොලොත් භාවයට පත්වීම හෝ ප්‍රතිකාර නොගෙන සිටීම නිසාම මියයාම වැනි අවාසනාවන්ත තත්ත්වයන්ට නිතරම මුහුණ දෙනවා. මේ ගැන ඔගේගේ අත්දැකීම් ඕනතරම් ඇති ඒවා විස්තර සහිතව ලියන්න ඇහැකිද?

      Delete
    4. @ඉකොනො
      ස්තුතී. මම හිතන්නෙ ඇමෙරිකාවෙ තියෙන්නෙ හරිම දරුනු සිස්ටම් එකක් ඔය විස්තර අනුව. හොඳ රස්සාවක් තිබේනම් අවුලක් නැතිව ඇති.

      Delete
    5. ඔව්. හොඳ රස්සාවක් තියෙනවානම් හොඳ සෞඛ්‍ය රක්ෂණයකුත් ලැබෙනවා. රස්සාව නැති වුනොත් සෞඛ්‍ය රක්ෂණයත් නැති වෙනවා. අතින් සල්ලි ගෙවලා සෞඛ්‍ය රක්ෂණයක් ගන්න එක ප්‍රායෝගිකව ඉතාම අමාරු වැඩක්. සෞඛ්‍ය රක්ෂණයක් නැහැ කියන්නේ ලෙඩක් හැදුනොත් අනාතයි. අඩු ආදායම්ලාභීන්ට හා විශ්‍රාමිකයින්ට රජයෙන් සෞඛ්‍ය රක්ෂණයක් දෙනවා. ප්‍රශ්නය තියන්නේ ඒ අඩු ආදායම් සීමාවෙන් උඩ අයට.

      Delete
    6. අඩුආදායම් කට්ටියවද ඔබාමා කෙයා එකෙන් කවර් වෙන්නෙ?

      Delete
  4. @ Economatta

    Do you think that the current corruption-accused Sri Lankan government can get the confidence of foreign financial institutions, donor agencies and other organisations ir even the general public of Sri Lanka if they are being heavily accused for corruptions like this

    //ලංකාවේ බදු වැඩිවීම් පිටුපස සැඟවුණු "ගජමිතුරු" සෙල්ලම - කන්ටේනර් හොරකම සහ ජනතාවගේ සාක්කුව හිස් කිරීම!
    (A5 News Sri Lanka)

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමඟ බදු වැඩිවීම් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. නමුත් මේ බදු වැඩිවීම් පිටුපස තියෙන්නේ සාමාන්‍ය ජනතාවට කියන කතාවට වඩා හාත්පසින්ම වෙනස්, බරපතළ "ගජමිතුරු" සෙල්ලමක් බවට මේ වන විට ප්‍රබල චෝදනා එල්ල වෙනවා. විශේෂයෙන්ම, ආණ්ඩුවට සම්බන්ධ ධනවත් ව්‍යාපාරිකයන්ට වාසි සැලසීමට හොරෙන් කන්ටේනර් මුදාහැරීම් සිදුකර, පසුව ඔන්ලයින් භාණ්ඩවලට බදු වැඩි කිරීම යනු ජනතාවගේ සාක්කුවට පිහියෙන් ඇන, හොරුන්ගේ සාක්කු පුරවන බරපතළ වංචාවක් බවටයි බොහෝ දෙනෙක් හඬ නගන්නේ.

    හොරෙන් පන්නපු කන්ටේනර් 323ක් - කවුද මේ පිටුපස?

    මේ දිනවල සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්වන ප්‍රධාන චෝදනාවක් වන්නේ, ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ, මැතිවරණ කාලයේදී ආණ්ඩුවට සහයෝගය දුන් ධනවත් ව්‍යාපාරිකයන්ට වාසි වන අයුරින්, රේගුවෙන් හොරෙන් කන්ටේනර් 323ක් පමණ මුදාහැර ඇති බවයි. මේවා නිසි පරීක්ෂාවකින් තොරව හෝ අඩු තක්සේරුවකින් බදු ගෙවා නිදහස් කරගත් ඒවා බවට සැක පළ වෙනවා.

    රතු ලේබල් චෝදනාව: පසුගියදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවා අනාවරණය කළේ, ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර බහාලුම් තොගයන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ කමිටු වාර්තාවේ, අනිවාර්යයෙන් ස්කෑන් කළ යුතු රතු ලේබල් බහාලුම් 151 අතරින් 37ක් කිසිදු ස්කෑන් පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇති බවයි. මෙය එම හොරෙන් කන්ටේනර් මුදාහැරීම්වලට සම්බන්ධද යන්න පිළිබඳව දැඩි සැකයක් මතුවනවා.

    ඔන්ලයින් භාණ්ඩවලට බදු - හොර කල්ලියේ "කල්ල මරේ!"

    මේ හොරෙන් කන්ටේනර් ටික පන්නලා ඉවර වුණු ගමන්, ආණ්ඩුව ඔන්ලයින් ගෙන්වන බඩු වලට අධික බදු පැනවීමට කටයුතු කර තිබෙනවා. මේකෙදි වෙන්නේ මොකක්ද?

    හොර කල්ලියට වාසිය: හොරෙන් පන්නපු කන්ටේනර්වල ගෙනාපු භාණ්ඩ තොගවලට දැන් තරඟයක් නැහැ. මොකද, දැන් අලුතින් ඔන්ලයින් ගේන අයට බදු වැඩියි. මේ නිසා, කලින් හොරෙන් ගෙනාපු බඩු අහස උසට මිල ගණන්වලට විකුණලා කොල්ල කාපු ලාභයක් ලබන්න පුළුවන්. මේක හොර කල්ලියේ "කල්ල මරේ" නේද?

    ජනතාවගේ සාක්කුවට පහර: සාමාන්‍ය ජනතාව, විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීන්, තමන්ට අවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබා ගැනීමට ඔන්ලයින් වෙළඳපොළට යොමු වූවා. දැන් මේ බදු නිසා ඒ පහසුකම නැති වෙනවා. මේකෙන් ආයෙමත් ජනතාවටමයි බර පැටවෙන්නේ.

    විනිවිදභාවයක් නැති ක්‍රියාවලිය: රජය කියන්නේ මේවා කරන්නේ රජයේ ආදායම වැඩි කර ගැනීමට කියලා. නමුත්, හොරෙන් කන්ටේනර් පන්නලා, පසුව ඔන්ලයින් භාණ්ඩවලට බදු ගහන මේ ක්‍රියාවලියෙන් පෙනී යන්නේ, රජයේ ආදායම වැඩි කරනවාට වඩා, කොහෙවත් ඉන්න "හොර තක්කඩි පාදඩ සේරිවාණිජයින්" පිරිසකට වාසි සැලසීමක් බවයි.

    ප්‍රශ්නය වන්නේ මේවට වගකියන්නේ කවුද යන්නයි.
    මේ සියලු කරුණු එකට ගත් කල, රටේ ආර්ථික අර්බුදය කළමනාකරණය කරනවා යැයි කියමින් රජය ගන්නා ඇතැම් තීරණ පිටුපස, පටු දේශපාලන සහ පුද්ගලික වාසි තකා කටයුතු කරන "ගජමිතුරු" කණ්ඩායමක් සිටින බවට වන චෝදනාව තවදුරටත් තහවුරු වෙනවා. මෙවැනි ක්‍රියා නිසා රටටත්, ජනතාවටත් සිදුවන පාඩුව සුළුපටු නැහැ.

    ජනතාවට දැන් පැහැදිලියි, මේ බදු වැඩි කිරීම් "රජයේ ආදායම වැඩිකිරීමට" කරනවා යැයි කීවද, අවසානයේදී ඒකේ වාසිය යන්නේ කාටද කියලා. මේවාට වගකියන්නේ කවුද? සැබෑ ලෙසම රට ගොඩනැඟීමේ අරමුණක් මේ ආණ්ඩුවට තිබෙනවාද යන්න සාමාන්‍ය ජනතාව දැඩි ලෙස ප්‍රශ්න කරනවා!
    //

    Is this true? Could you analyse it? Also there are many more accusations like that Rs 72k worth extension chords purchase etc etc. Most of the people loosen their faith on current regime due to such suspicious behaviour and I don't think people will support them to do some good reforms which are not popular but best in the long run 😪🤔

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: