වෙබ් ලිපිනය:

Thursday, April 16, 2020

අයිස්ලන්ත පරීක්ෂණය


අයිස්ලන්තය කියන්නේ ලංකාව වගේම මුහුදෙන් වට වූ දූපතක්. ප්‍රමාණයෙන් ලංකාව වගේ එකහමාරක් පමණ ලොකුයි. එහෙත් එරට ජනගහණය ලංකාවේ ජනගහණයෙන් හැටෙන් එකකටත් අඩුයි. ඒ කියන්නේ අයිස්ලන්තයේ එක් පුද්ගලයෙක් ඉන්නා ඉඩ ප්‍රමාණයේ ලංකාවේනම් මිනිස්සු සීයක් පමණ ඉන්නවා. ලංකාවට කටුනායක ගුවන් තොටුපොළ වගේම අයිස්ලන්තයට බාහිර ලෝකය සමඟ තිබෙන ප්‍රධානම සම්බන්ධය කැප්ලවික් ගුවන් තොටුපොළයි.

කෝවිඩ්-19 අභියෝගයට මුහුණ දීම හා අදාළව අයිස්ලන්තය සුවිශේෂී රටක්. ඒ අයිස්ලන්තය එරට නිරෝගී පුද්ගලයින්ද අහඹු ලෙස පරීක්ෂා කරමින් මේ වන විට රටේ ජනගහණයෙන් විශාල ප්‍රතිශතයක් කෝවිඩ්-19 සඳහා පරීක්ෂා කළ පුරෝගාමී රටක් බවට පත්ව සිටීම නිසයි. වෙනත් කිසිදු රටක් මෙතෙක් මෙපමණ විශාල අහඹු නියැදියක් පරීක්ෂාවට ලක් කර ප්‍රතිඵල ඉදිරිපත් කර නැහැ.

මේ වන විට අයිස්ලන්ත වැසියන්ගෙන් සෑම 9 දෙනෙකුටම අයෙක් කෝවිඩ්-19 පරීක්ෂාවට ලක් වී තිබෙනවා. මෙයට සාපේක්ෂව ඇමරිකානුවන් අතරින් පරීක්ෂාවට ලක් වී ඇත්තේ සෑම 100 දෙනෙකුටම අයෙක් පමණයි. ලංකාවේනම් තවමත් පරීක්ෂා කර තිබෙන්නේ සෑම 4500කටම එක් අයෙක් පමණයි.

අයිස්ලන්තයේ අහඹු නියැදි පරීක්ෂණය හා අදාළ පර්යේෂණ පත්‍රිකාවක් ඊයේ දිනයේ පළ වුනා. අදාළ පර්යේෂණයේදී ජනගහණ නියැදි දෙකක් හා ඉලක්කගත වැඩි අවදානම් නියැදියක්ද පරීක්ෂා කෙරුණා. ඉලක්කගත වැඩි අවදානම් නියැදියට අයත් වුනේ විදේශ සංචාරයක නිරත වූ, කෝවිඩ්-19 ආසාදිතයෙකු ඇසුරු කළ හෝ කෝවිඩ්-19 රෝගයට අදාළ කිසියම් හෝ රෝග ලක්ෂණයක් පෙන්වන අයයි. පළමු ජනගහණ නියැදියට ඇතුළත් වුනේ ස්වේච්ඡාවෙන් පරීක්ෂාව සඳහා ඉදිරිපත් වූ නිරෝගී අයයි. අහඹු ලෙස තෝරා ගෙන පරීක්ෂණය සඳහා සහභාගී කරගත් කණ්ඩායමක් දෙවන ජනගහණ නියැදියට ඇතුළත් වුනා.

ඉලක්කගත කණ්ඩායමේ  9199 දෙනෙකුගෙන් 1221 දෙනෙකු (13.3%) ආසාදිතයින් සේ හඳුනා ගැනුණා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නිරෝගී කණ්ඩායමේ 10,797 දෙනෙකු අතර ආසාදිතයින් 87 දෙනෙකු සිටියා. අහඹු නියැදියේ 2,283 දෙනෙකු අතර තවත් ආසාදිතයින් 13 දෙනෙකු සිටියා. මේ අනුව, පරීක්ෂාවට ලක් කෙරුණු හඳුනාගත් අවදානමක් නොතිබුණු 13,080 දෙනෙකු අතරද ආසාදිතයින් 100 දෙනෙකු හමු වුනා. මේ අයගෙන් 43 දෙනෙකුටම පසුව හෝ කිසිදු රෝග ලක්ෂණයක් පහළ වී නැහැ. එමෙන්ම ඉලක්කගත කණ්ඩායමෙන් හඳුනාගත් 83 දෙනෙකුටද රෝග ලක්ෂණ පහළ වී නැහැ.


Wednesday, April 15, 2020

පළමු රෝගියා

පසුගිය ජනවාරි 19 වනදා ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ ස්නෝහොමිෂ් කවුන්ටියේ වෛද්‍ය මධ්‍යස්ථානයකට 35 හැවිරිදි පුද්ගලයෙක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණුනා. අපි පහසුවට ඔහුව චැන්ග් කියා හඳුන්වමු. දින හතරක පමණ සිට වරින් වර මතුවන මඳ උණක් හා කැස්සක් තිබුණු බව ඔහු පවසා සිටියා. මේ වන විට චීනයෙන් අලුත් රෝගයක් හඳුනාගෙන තිබුණත් එය විශාල ලෙස පැතිරී තිබුණේ නැහැ. වුහාන් නගරය වසා දමනු ලැබුවේත් ජනවාරි 23 දිනයි.

ඇමරිකාවේ වෛද්‍ය මධ්‍යස්ථානයකදී සාමාන්‍යයෙන් කරන පරිදි රෝග ලක්ෂණ විමසීමෙන් පසුව චැන්ග්ට මුඛ ආවරණයක් ලබා දුන්නා. මිනිත්තු 20කට පසුව ඔහුට වෛද්‍යවරයා හමු වීමේ අවස්ථාව ලැබුණා. එහිදී ඔහු දැනුම් දුන්නේ තමන් සිය ඥාතීන් ජීවත් වන චීනයේ වුහාන්හි සංචාරය කර නැවත ඇමරිකාවට පැමිණියේ ජනවාරි 15 දින බවයි.

ඒ වන විට වුහාන්හි සත්ව ආහාර වෙළඳපොළක් ආශ්‍රිතව මේ අලුත් රෝගය වැළඳුනු පුද්ගලයින් හමු වී ඇති බව චීනය විසින් දැනුම් දී තිබුණා. එහෙත්, ජනවාරි 14 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර තිබුණු පරිදි අලුත් රෝගය මිනිසුන් හරහා සම්ප්‍රේෂණය වන බවට සාක්ෂි නැති බව චීන බලධාරීන් විසින් දැනුම් දී තිබුණා. වසංගත තර්ජනයක් ඇති බව චීනය නිල වශයෙන් පිළිගත්තේ ජනවාරි 21 දිනයි.


චැන්ග් වුහාන්හි සංචාරය කර තිබුණත් ප්‍රශ්නගත සත්ව ආහාර වෙළඳපොළ පැත්තේ ගිහින් තිබුණේ නැහැ. එහෙත්, මේ වන විට වුහාන්හි අලුත් වෛරසයක් පැතිරෙමින් ඇති බව ඇමරිකාවේ රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානය විසින් මහජනතාවට දැනුම් දී තිබුණා. එම නිවේදනය පිළිබඳව චැන්ග් දැනුවත්ව සිටියා. උණ හා කැස්ස එතරම් බරපතල නොවූවත් ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වුනේ ඒ නිසයි. ඒ වගේම ඔහු මේ තොරතුරු වෛද්‍යවරයාට දැනුම් දුන්නා.

චැන්ග්ගේ ශරීර උෂ්ණත්වය, රුධිර පීඩනය, හෘද ස්පන්දය, ස්වශන රිද්මය, ඔක්සිජන් ප්‍රමාණය ඇතුළු දර්ශක ඒ වන විට සාමාන්‍ය තත්ත්වයෙන් තිබුණා. පපුවේ එක්ස්-කිරණ ඡායාරූපයකින්ද කිසිදු අසාමාන්‍ය බවක් පෙනුණේ නැහැ. ඒ වන විට ලෝකය දැන සිටි කොරෝනා වෛරස් වර්ග හතරක් ඇතුළු වෛරස් ගණනාවක් සඳහා ඔහුව පරීක්ෂා කළත් ඒ කිසිදු වෛරසයක් ඔහුට ශරීරගත වී තිබුණේ නැහැ.

කෙසේ වුවත් අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය විසින් මේ රෝගියා වුහාන්හි සංචාරය කර තිබීම ගැන සලකා බලා ප්‍රාන්තයේ හා ජාතික මට්ටමේ ආයතන දැනුවත් කළා. තමන් සත්ව ආහාර වෙළඳපොළ පැත්තේ නොගිය බවත්, කිසිදු ආසාදිතයෙකු හා සෘජුව ගැටුණේ නැති බවත් චැන්ග් විසින් කියා සිටියත් රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානයේ මතය වූයේ ඔහුව නිවාසගත නිරෝධායනය සඳහා යොමු කර නිරීක්ෂණය කළ යුතු බවයි. ඒ අතර චැන්ග්ගේ නාසයෙන් හා උගුරෙන් ලබා ගත් සාම්පල  රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානය වෙත යැවුනා. (ස්නොහොමිෂ් හා රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානය පිහිටි ඇට්ලන්ටා අතර දුර කිලෝමීටර 4,300ක් පමණ වෙනවා.)

චැන්ග්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ජනවාරි 20 දින රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානය විසින් හඳුනා ගත්තා. චීනය විසින් වෛරසයේ ජෙනෝමය හඳුනාගෙන ඒ වන විට ප්‍රසිද්ධ කර තිබීම මේ සඳහා උදවු වුනා. චැන්ග්ගේ උගුරෙන් හා නාසයෙන් ලබාගත් සාම්පල දෙකෙන්ම අලුත් වෛරසය හමු වුනා. ඒ වන විට ඔහුට රෝග ලක්ෂණ පහළ වී දින හතරක් ගිහින්.

තවත් දින තුනකට, හතකට හා අටකට පසුව ඔහුගේ උගුරෙන් හා නාසයෙන් ලබාගත් සාම්පල නැවත නැවතත් පරීක්ෂා කෙරුණා. අවසන් අවස්ථාවේදී, එනම් රෝග ලක්ෂණ පහළ වී දින 12කට පසුව නාසයෙන් වයිරසය හමු වුවත් උගුරෙන් හමු වුනේ නැහැ.

චැන්ග්ට වරින් වර මතු වූ උණ හා කැස්ස හැර හුස්ම ගැනීමේ අපහසුකම් හෝ වෙනත් බරපතල රෝග ලක්ෂණ පහළ වුනේ නැහැ. එහෙත්, රෝග ලක්ෂණ පහළ වී නවවන දිනයයේදී ලබාගත් එක්ස්-කිරණ ඡායාරූප වලින් නිවුමෝනියා තත්ත්වයක් පෙන්නුම් කළා. ඒ නිසා ඔහුට ඔක්සිජන් ලබා දුන්නා. බැක්ටීරියා ආසාදනයක් සිදු වීම වැළැක්වීමට ප්‍රතිජීවක ඖෂධද ලබා දුන්නා. තවත් දින හතරකට පසු එම තත්ත්වයන් නොපෙනී ගියා.

ඇමරිකාව පුරා පැතිරී ගියේ චැන්ග්ගෙන් පටන් ගත් රැල්ලයි. චැන්ග්ව හඳුනාගනු ලැබූවත් එසේ හඳුනා ගනු නොලැබූ තවත් අය ඇමරිකාවට ඇතුළු වී ඉන්න ඇති. වොෂින්ටන් ප්‍රාන්තය ඇමරිකාවේ මුලින්ම කෝවිඩ්-19 පැතිරෙන්න පටන් ගත් ප්‍රාන්තයයි. ඒ නිසා, මුලින්ම කෝවිඩ්-19 අවසන් විය යුත්තේත් එම ප්‍රාන්තයේයි. එය එසේම සිදු වෙමින් තිබෙනවා. පසුව කෝවිඩ්-19 පැතුරුණු ප්‍රාන්ත වල කෝවිඩ්-19 අවසන් වෙන්න තව සති ගණනක් යයි.



චැන්ග් ඇමරිකාවට කෝවිඩ්-19 රැගෙන ඒම, ඇමරිකාවේ කෝවිඩ්-19 පැතිරීම හා නැවත ඇමරිකාව යථා තත්ත්වයට පත් වෙමින් තිබීම ලංකාවට බලපාන්නේ කොහොමද? පසුගිය සති කිහිපය තුළ සීඝ්‍රයෙන් අවප්‍රමාණය වී ඩොලරයට රුපියල් දෙසීය ඉක්මවූ රුපියලේ ගමන නැවත යම් තරමකින් ආපසු හැරවී ඇති බව පෙනෙනවා. ඊට පෙර ලංකාව විසින් නිකුත් කළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල ඵලදා වක්‍රය මේ හැරවුම පෙන්නුම් කළා.


Tuesday, April 14, 2020

කොරෝනා හඳුනා ගැනීම


කොරෝනා එහෙමත් නැත්නම් කෝවිඩ්-19 වලට එරෙහි අරගලය තුළ ලංකාව ඇතුළේ වගේම ලෝක මට්ටමේදීත් කොරෝනා හඳුනා ගැනීමේ සංකල්පීය ප්‍රශ්නයක් තිබෙනවා. ඇත්තටම මේක වෙනත් ඕනෑම සංකල්පයකට අදාළ පොදු ප්‍රශ්නයක්. මේ වෙලාවේ කොරෝනා හා අදාළව මේ ප්‍රශ්නය ගැන කතා කළාම ප්‍රශ්නය පැහැදිලි කරන්න ලේසියි. ඒ වගේම කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා කරන පරීක්ෂණ ගැන කතා කරන්නනම් මුලින්ම මේ සංකල්පීය ප්‍රශ්නය තේරුම් අරගෙන ඉන්න වෙනවා.

කොරෝනා එහෙමත් නැත්නම් කෝවිඩ්-19 කියන්නේ මොකක්ද? කොරෝනා එහෙමත් නැත්නම් කෝවිඩ්-19 රෝගියෙක් කියන්නේ කවුද?

ගොඩක් අය දන්නා විදිහට කොරෝනා කියන්නේ ලෙඩක්. ලෙඩක් කියන්නේ මොකක්ද කියන එකත් අපට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ තරම් දුරට නොගිහින් අපි දැනට කොරෝනා වලින් නවතිමු. ලේඛකයාගේ පහසුවට මේ ලිපියේ කොරෝනා කියා කෙටියෙන් හඳුන්වන කෝවිඩ්-19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබෙන මේ රෝගය කුමක්ද?

රෝගයක් අර්ථ දැක්වෙන්නේ කිසියම් දැනුම් පද්ධතියක්, සංස්කෘතියක් ඇතුළේ. සිංහල ක්‍රමයට මේ ලෙඩේ දෙය්යන්නේ ලෙඩක් කියා හඳුන්වන බව ඇතැම් අය කියනවානේ. ඒ කතාවට මම එකඟ නැහැ. කොරෝනා හෝ කෝවිඩ්-19 කියන ලෙඩේ තිබෙන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් දැන් බටහිර දැනුම් පද්ධතිය ලෙස හඳුන්වන දැනුම් පද්ධතිය තුළයි. ඒ ලෙඩේ වෙනත් දැනුම් පද්ධතියක නැහැ. තියෙනවානම් තියෙන්නේ හරියටම ඒ ලෙඩේම නොවන වෙනත් ලෙඩක්.

කොහොම වුනත් මේ කතාව වෙනත් දැනුම් පද්ධති පිළිබඳ කතාවකුත් නෙමෙයි. මේ සාකච්ඡාව සඳහා ඒ තරම් දුර යන්න අවශ්‍ය නැහැ. මා සාකච්ඡාව ගෙන යන්නේ තනිකරම බටහිර දැනුම් පද්ධතිය තුළ සිටයි.

මේ අවුරුද්ද පටන් ගන්නා තුරුම කෝවිඩ්-19 කියා ලෙඩක් තිබුණේ නැහැ. මම මෙයින් අදහස් කරන්නේ කෝවිඩ්-19 කියා කියන නම ගැන නෙමෙයි. වෙනත් නමකින් හෝ මීට පෙර මේ ලෙඩේ තිබුණේ නැහැ. කලින් නොතිබුණු ලෙඩක් මේ විදිහට හදිසියේ හැදෙන්න ගත්තේ කොහොමද? මේ කතා කරන්නේ ලෙඩේ ආවේ සර්පයින්ගෙන්, වවුලන්ගෙන්, විද්‍යාගාරයකින් හෝ උල්කාපතයකින්ද කියන එකත් නෙමෙයි. ඒ මොන ආකාරයකින් හෝ ලෝකයට අලුත් ලෙඩක් ඇති වීම පිළිබඳ සංකල්පීය ප්‍රශ්නයක්.

චීනයේදී මුලින්ම නිරීක්ෂණය කරනු ලැබුවේ සාර්ස් වැනි ශ්වසන පද්ධතිය ආසාදනය කරන මාරාන්තික රෝගයක් පැතිරෙන බවයි. බටහිර වෛද්‍ය විද්‍යාව හා වසංගත විද්‍යාව තුළ ඒ වන විට සාර්ස් ලෙස හැඳින්වුණු වෛරස් රෝගයක් පිළිබඳ දැනුමක් තිබුණා. සාර්ස් රෝගය 2002දී චීනයේ සිට පැතිරුණු වෛරස් රෝගයක්. 2004 සිට ලෝකයේ සාර්ස් රෝගීන් සිටියේ නැහැ. ඉන් පසුව මැද පෙරදිග කේන්ද්‍රීයව මර්ස් නම් වූ රෝගයක්ද පැතිරුණා. සාර්ස් වලට වගේම මර්ස් වලටද හේතු වුනේ කොරෝනා වර්ගයේ වෛරසයක්. මේ රෝගය හඳුනා ගැනෙන්න පෙර කොරෝනා වර්ගයේ වෛරස පිළිබඳ දැනුමක් තිබුණා.

පසුව කෝවිඩ්-19 සඳහා හේතු වන වෛරසය හොයා ගත්තා. එයත් කොරෝනා වෛරසයක්. කෝවිඩ්-19 රෝගියෙකු ලෙස හඳුනා ගැනෙන්නේ මෙම වෛරසය ශරීරගත වී ඇති අයයි. අදාළ වෛරසය නම් කර තිබෙන්නේ SARS-CoV-2 ලෙසයි. පහසුවට කොරෝනා වෛරසය යන පොදු නම මා යොදන්නේ මේ විශේෂිත වෛරසයටයි.

මේ වන විට නව කොරෝනා වෛරසයේ ජෙනෝමය මුළුමනින්ම හඳුනාගෙන තිබෙනවා. ඕනෑම ජීවියෙකුගේ භෞතික සැකැස්ම පිළිබඳ තොරතුරු ජෙනෝමය තුළ සටහන්ව තිබෙනවා. වෛරසයක් ජීවියෙකු ලෙස සැලකෙන්නේ නැතත් ජීවීන් සතු ඇතැම් ලක්ෂණ වෛරස් වලටත් තියෙනවා. ජීවය කියන එකත් තවත් සංකල්පයක්.

ජෙනෝමයක් හැදී තිබෙන්නේ භෂ්ම යුගල ලෙස හඳුන්වන මූලික ඒකක වලින්. ජෙනෝමයක තිබෙන භෂ්ම යුගල ගණන වැඩි වන තරමට ජීවයක සංකීර්ණතාව ඉහළ යනවා. මිනිස් ජෙනෝමයක භෂ්ම යුගල බිලියන තුනකටත් වඩා තිබෙනවා. එහෙත්, SARS-CoV-2 වෛරසයක තිබෙන්නේ භෂ්ම යුගල තිස් දහසක පමණ ප්‍රමාණයක් පමණයි.

මිනිස් ජෙනෝමයක තිබෙන බිලියන තුනකට අධික භෂ්ම යුගල වලින් 99%කටත් වඩා ප්‍රමාණයක් සියලුම මිනිසුන්ට පොදුයි. මිනිසුන් එකිනෙකා අතර තිබෙන සියලුම වෙනස්කම් වලට හේතු වෙන්නේ ඉතිරි 1%කට අඩු භෂ්ම යුගල වල ඇති විවිධත්වයයි. ඒ නිසා, මිනිස් ජෙනෝමයේ තිබෙන පොදු "මිනිස් ගුණ" හඳුනාගැනීම අපහසු නැහැ.

කොහොම වුනත්, මේ පොදු මිනිස් ගුණ කියා කියන්නේ ජෙනෝමයේ ඉතිරි 99%ම නෙමෙයි. එයින් විශාල කොටසක් වෙනත් ජීවීන්ටත් පොදුයි. උදාහරණයක් විදිහට මිනිසුන්ගේ හා චිම්පන්සීන්ගේ ජෙනෝම වල භෂ්ම යුගල වලින් 96%ක්ම සමානයි.

කෝවිඩ්-19 හදන SARS-CoV-2 වෛරස සියල්ලම එකිනෙකට සමාන නොවුනත්, එම වෛරස SARS-CoV-2 වෛරස ලෙස හඳුනාගත හැකි පොදු ලක්ෂණ තිබෙනවා. ඒ වගේම, සාර්ස් හා මර්ස් රෝග වලට හේතු වූ කොරෝනා වෛරස වලට හා මේ වෛරසයට පොදු වෙනත් ලක්ෂණද තිබෙනවා. කෝවිඩ්-19 ආසාදිතයින් හඳුනා ගන්නා පීසීආර් පරීක්ෂණ පදනම් වෙන්නේ  SARS-CoV-2 වෛරස වල ජෙනෝමයේ දැකිය හැකි පොදු ලක්ෂණ මතයි.

කෝවිඩ්-19 රෝගය වගේම SARS-CoV-2 වෛරසයද හඳුනා ගැනුණේ ඉතා මෑතකදී. ඒ නිසා, ඒ වන විට රෝගියෙකු SARS-CoV-2 ආසාදිතයෙකුදැයි හඳුනාගත හැකි පරීක්ෂණ කිසිවක් තිබුණේ නැහැ. එහෙම තියෙන්න විදිහක් නැහැනේ. පරීක්ෂණ ක්‍රමවේදයක් හදන්නනම් මුලින්ම SARS-CoV-2 ජෙනෝමය හඳුනාගත යුතුයි. ඉන් පසු, එම ජෙනෝමයේ සියළුම SARS-CoV-2 වෛරස වලට පොදු එහෙත් SARS-CoV-2 වෛරස වලට පමණක් අනන්‍ය කොටස් හඳුනා ගත යුතුයි.

මේ වන විට අවම වශයෙන් ලෝකයේ රටවල් හත අටක සමාගම් ගණනාවක් විසින් පීසීආර් පරීක්ෂණ ගණනාවක් වැඩි දියුණු කර තිබෙනවා. මේ පරීක්ෂණ සියල්ලම වගේ එකිනෙකින් වෙනස්. එසේ වෙනස් වන්නේ SARS-CoV-2 වෛරසය හඳුනා ගැනීම සඳහා උපයෝගී කර ගන්නා හඳුනා ගැනීමේ ලක්ෂණය හෝ ලක්ෂණ මතයි. ඒ අනුව, මේ පරීක්ෂණ වල නිරවද්‍යතාවයද එකිනෙකින් වෙනස් වෙනවා. මේ කතා කරන්නේ පීසීආර් කුලකයට අයත් පරීක්ෂණ ගැන පමණයි. වෙනත් මූලධර්ම මත පදනම් වූ පරීක්ෂණ අපි දැනට පැත්තකින් තියමු. ඒවා කොහොමටත් වෙනස්.

කිසිම වෛද්‍ය පරීක්ෂණයක් 100%ක් නිවැරදි නැහැ. ඕනෑම පරීක්ෂණයකින් රෝගියෙකු සේ හඳුනා ගැනෙන අයගෙන් යම් කොටසක් ඇත්තටම රෝගීන් නෙමෙයි. ඒ වගේම රෝගීන් නොවන සේ හඳුනා ගැනෙන අයගෙන් කොටසක් ඇත්තටම රෝගීන්. පරීක්ෂණයකින් සැබෑ රෝගීන් නිවැරදිව හඳුනා ගැනෙන ප්‍රතිශතය එම පරීක්ෂණයේ සංවේදීතාව ලෙසත්, රෝගීන් නොවන්නන් එසේ නොවන සේ හඳුනා ගැනෙන ප්‍රතිශතය එම පරීක්ෂණයේ නිශ්චිතතාව ලෙසත් හැඳින්වෙනවා.

ඕනෑම වෛද්‍ය පරීක්ෂණයක සංවේදීතාව හා නිශ්චිතතාව 100%ට වඩා අඩුයි. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ හා පොදු වශයෙන් බටහිර විද්‍යාවේ අවම දැනුමක් මිස බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් නෙමෙයි. ඒ නිසා, කිසියම් වෛද්‍ය පරීක්ෂණයකදී ව්‍යාජ ආසාදිතයින් හා ව්‍යාජ නිර්-ආසාදිතයින් කිසියම් ප්‍රමාණයක් හඳුනා ගැනෙනවා. මේ ව්‍යාජ ආසාදිත හා ව්‍යාජ නිර්-ආසාදිත ප්‍රතිශත අඩු හා සංවේදීතාව හා නිශ්චිතතාව වැඩි වෛද්‍ය පරීක්ෂණයක් හොඳ වෛද්‍ය පරීක්ෂණයක්.

චීනයේ වුහාන්හි මේ අලුත් රෝගය පැතිරෙන්න පටන් ගත් අලුතම ඒ වන විට තිබුණු දැනුම මත පදනම්ව මෙය කොරෝනා වර්ගයේ වෛරසයක් හේතුවෙන් බෝවන රෝගයක් බව සැක කෙරුණා. එවැනි සැකයක් ඇති වූ පසු ඊළඟ ඉදිරි පියවර වන්නේ එවැනි වෛරසයක් ඇති බව තහවුරු කර ගැනීම හා එම වෛරසය නිවැරදිව හඳුනා ගැනීමයි. කෙටි කලකින් වෛරසයක ජෙනෝමය මුළුමනින්ම හඳුනාගත හැකි තාක්ෂණයක් අප සතුව තිබෙනවා.

චීනය විසින් ඉතා ඉක්මණින් අලුත් වෛරසයේ ජෙනෝම කේත හොයාගෙන අනෙකුත් රටවල් සමඟ එම දැනුම බෙදාගත්තා. මීට පෙර සාර්ස් රෝගය පැතිරෙද්දී චීනය එසේ කර තිබුණේ නැහැ. ජෙනෝම කේත දැනගත් විට මුලින්ම වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂා වැඩි දියුණු කරන්නත්, ඉන් පසුව ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩි දියුණු කරන්නත් අවස්ථාව සැලසෙනවා.

දැන් මෙහිදී අප වෛරසය හඳුනා ගැනීම කියා කියන්නේ කුමක්ද? මිනිසුන් එකිනෙකාගෙන් වෙනස් වනවා වගේම වෛරස්ද එකිනෙකින් වෙනස්. වෛරසයක් හඳුනා ගැනීම කියා කියන්නේ මේ රෝගය බෝ කරන වෛරස් සියල්ලටම තිබෙන පොදු ලක්ෂණ හඳුනා ගැනීමයි. ඒ අතරම, මේ රෝගය බෝකරන වෛරස් අනෙක් වෛරස් වර්ග වලින් අනන්‍යව හඳුනා ගැනීමටත් හැකි විය යුතුයි.

වෛරසය හඳුනා ගැනීම සඳහා උපයෝගී කර ගන්නා නියැදි ප්‍රමාණය වැඩි වූ තරමට ඉහත කාර්යය වඩා නිවැරදිව කළ හැකියි. එහෙත්, මේ වගේ වෙලාවක වැඩේ කල් දමන්නත් බැහැ. කොහොම හරි චීනයෙන් එකතු කරගත් නියැදි මත පදනම්ව මුලින්ම වෛරසය හඳුනා ගනු ලැබුණා. ඒ නියැදි වලින් හමු වූ වෛරස 99.98%ක් පමණම එකිනෙකට සමානයි. ඒ වගේම 79%ක් පමණ සාර්ස් රෝගයට හේතු වූ වෛරසයට සමානයි.

අලුත් වෛරසයේ ජෙනෝමය පිළිබඳ තොරතුරු අතට ලැබීමෙන් පසුව ලෝකයේ විවිධ රටවල් විසින් එහි විවිධ කොටස් ඉලක්ක කර ගනිමින් වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂාවන් වැඩි දියුණු කරන්න පටන් ගත්තා. උදාහරණයක් විදිහට ඇමරිකාවේ රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානය විසින් වැඩි දියුණු කළ පරීක්ෂාවේදී මෙහි තැන් (සලකුණු) තුනක් හඳුනා ගැනීම ඉලක්ක කළා. එයින් පළමු සලකුණු දෙකෙන් SARS-CoV-2 වෛරසය අනන්‍ය ලෙසත්, තෙවන සලකුණෙන් සාර්ස්, මර්ස් වෛරසද ඇතුළත් වෛරස් කුලකයත් හඳුනා ගැනුණු අතර නියැදිය මිනිස් සිරුරකින් ලබාගත් බව තහවුරු කර ගැනීමේ සිවු වන පරීක්ෂාවක්ද සිදු කෙරුණා.

පරීක්ෂාව සඳහා උපයෝගී කර ගන්නේ සැක සහිත පුද්ගලයින්ගේ නාසයෙන් හා උගුරෙන් ලබාගත් නියැදි දෙකක්. පළමුව මේ නියැදි දෙක මිශ්‍ර කිරීමෙන් පසුව හඳුනා ගැනීමේ පහසුව සඳහා පෝෂණ මාධ්‍යයක් තුළ වෛරසය වර්ධනය වෙන්නට හරිනවා. ඉන් පසුව, පෙර කී සලකුණු තුන පරීක්ෂා කර බලනවා. අදාළ සලකුණු තුනෙන් එකක්වත් හඳුනා ගැනුනේ නැත්නම් සහ හතර වන පරීක්ෂණයෙන් මෙය සැබෑ නියැදියක් බව තහවුරු වී ඇත්නම් රෝගියා ආසාදිතයෙකු නොවන බව තහවුරු කරනවා. මුල් සලකුණු දෙකෙන් අඩු වශයෙන් එකක් හඳුනා ගත හැකිනම් රෝගියා කෝවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනෙනවා.  මුල් සලකුණු දෙකෙන් එකක්වත් හඳුනා ගත නොහැකි වුවත් තෙවන සලකුණ හමු වූයේනම් කෝවිඩ්-19 ආසාදිතයෙකු වීමේ ඉඩක් ඇති (presumptive positive) පුද්ගලයෙකු ලෙස හඳුනා ගැනෙනවා.

අපි හිතමු මේ පරීක්ෂණය හෝ මෙවැනි වෙනත් පරීක්ෂණයක කෝවිඩ්-19 ආසාදිතයෙකු හඳුනා ගැනීමේ මූලධර්මය හරියටම හරි කියා. එසේ වුවත්, රෝගියාගේ නාසයෙන් හා උගුරෙන් නියැදි එකතු කර ගන්නා අවස්ථාවේදී පසුව වර්ධනය කර ගත හැකි තරම් ප්‍රමාණවත් වෛරස් ප්‍රමාණයක් "අහු විය" යුතුයි. වෛරසය ශරීරගත වූ මුල්ම දවස් වල වගේම වෛරසය පෙනහළු දක්වා ගමන් කිරීමෙන් පසුවත් නාසයෙන් හා උගුරෙන් එකතු කර ගන්නා නියැදි වලින් ප්‍රමාණවත් තරම් වෛරස් හමු නොවෙන්න පුළුවන්. මේ හේතුවත් වෛරසය හඳුනා ගන්නා ක්‍රමවේදයේම තිබෙන වෙනත් අඩුපාඩුත් නිසා කිසියම් පීසීආර් පරීක්ෂාවක සංවේදීතාව අඩු වෙන්න පුළුවන්.

පොදුවේ කිසියම් පරීක්ෂාවක සංවේදීතාව ඉහළ දමන්න උත්සාහ කරන විට එහි නිශ්චිතතාව අඩු වීම සාමාන්‍ය තත්ත්වයයි. නිශ්චිතතාව වැඩි කරන විට සංවේදීතාව අඩු වෙනවා. ඒ නිසා, මේ දෙක අතර සමතුලිතතාවයක් පවත්වා ගත යුතුයි. කෝවිඩ්-19 ආසාදිතයෙකු නොවන අයෙකු ආසාදිතයෙකු සේ හඳුනා ගැනීමේ හානියට සාපේක්ෂව කෝවිඩ්-19 ආසාදිතයෙකු ආසාදිතයෙකු නොවන සේ හඳුනා ගැනීමේ හානිය අඩුද වැඩිද? එය තීරණය වන්නේ පවතින සංදර්භය තුළයි.

සාමාන්‍යයෙන් මෙවැනි පරීක්ෂාවක් සඳහා අනුමැතිය ලබා දෙන්නේ එහි නිශ්චිතතාව හා සංවේදීතාව ඇතුළු තාක්ෂණික කරුණු පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් පසුව පමණයි. පවතින තත්ත්වය යටතේ එවැනි  පුළුල් අධ්‍යයනයක් සඳහා ඉඩක් ලැබී නැහැ. චීනය වගේම ඇමරිකාව විසින්ද මුලින්ම වැඩි දියුණු කළ පරීක්ෂා වල විශාල ප්‍රශ්න තිබුණා. ඇතැම් පරීක්ෂා වල සංවේදීතාව තිබුණේ 60-70% මට්ටමේ. දැන් වුනත්, කිසියම් පීසීආර් පරීක්ෂාවකින් සැබෑ ආසාදිතයින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හඳුනා ගැනෙන්නේ නැහැ. මේ ප්‍රතිශතය හරියටම දන්නේ නැහැ. ඒ වගේම, එම ප්‍රතිශතය එහෙමත් නැත්නම් පරීක්ෂාවක සංවේදීතාව, විවිධ රටවල සමාගම් රැසකින් හදා තිබෙන හැම පීසීආර් පරීක්ෂාවකටම පොදු නැහැ.

පීසීආර් පරීක්ෂාවකින් සැබෑ ආසාදිතයින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හඳුනා ගැනෙන්නේ නැතිවා වගේම එසේ හඳුනා ගැනෙන යම් ප්‍රතිශතයක් සැබෑ ආසාදිතයින්ගෙන් නොවන්නත් පුළුවන්. මේ ප්‍රතිශතය කුඩා එකක් වෙන්න පුළුවන්. එහෙත්, අපි හරියටම දන්නේ නැහැ.

මේ අවිනිශ්චිතතා සියල්ල මධ්‍යයේ අපි කෝවිඩ්-19 රෝගියෙකු ලෙස කෙනෙක්ව නම් කරන්නේ පීසීආර් පරීක්ෂාවක ප්‍රතිඵලය මතයි. ඒ, මේ සියලු සීමාවන් මැද වුවත් එසේ කිරීම නොකිරීමට වඩා ප්‍රතිඵලදායක නිසයි. පරීක්ෂා කිරීම් අඩු කළ යුතු බවක් හෝ පරීක්ෂා කිරීම තේරුමක් නැති බවක් මේ ලිපියෙන් කිසිසේත්ම අදහස් කෙරෙන්නේ නැහැ. එහෙත්, මේ පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම් වී අපට දකින්නට ලැබෙන සංඛ්‍යාලේඛණ ඇසුරින් බරපතල නිගමන වලට පැමිණෙන්න කලින් මේ දේවල්ද දැන සිටිය යුතුයි.

(Image: https://www.flickr.com/photos/niaid/albums/72157712914621487/with/49531042877)

Monday, April 13, 2020

ලංකාවේ කොරෝනා

චීනයේ, ඇමරිකාවේ හා වෙනත් රටවල කොරෝනා පැතිරෙන ආකාරය ගැන මා වරින් වර අදහස් පළ කළත් ලංකාවේ කොරෝනා පැතිරෙන ආකාරය විග්‍රහ කරන්න ගියේ නැහැ. එයට හේතුව ලංකාවේ දත්ත වල ස්වභාවය අනුව ලොකු නිගමන වලට පැමිණීමේ හැකියාවක් නොතිබීමයි. එහෙත්, මේ වෙද්දී මාසයක පමණ දත්ත එක් රැස් වී තිබෙන නිසා යම් නිගමන වලට පැමිණෙන්න පුළුවන්.

ලංකාවේ මෙතෙක් කොරෝනා ව්‍යාප්තිය අදියර තුනකට බෙදන්න පුළුවන්. පළමු රෝගියා හමු වීමේ සිට දෙවන රෝගියා හමු වීම දක්වා කාලය පළමු අදියරයි. ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා හමු වුනේ ජනවාරි 27 වනදා. මගේ මතකය නිවැරදිනම් මෙසේ ලංකාවේදී හඳුනා ගැනුණු චීන කත දකුණු ආසියාවෙන්ම හමු වූ පළමු කොරෝනා ආසාදිතයායි.

චීනයේ වුහාන් නගරය වසා දමනු ලැබූයේ ජනවාරි 23 දිනයි. ඉහත කී චීන කත ලංකාවට පැමිණ තිබුණේ ඊට පෙරයි. ලංකාවේ චීන තානාපති කාර්යාලයට අනුව, වුහාන් නගරය වසා දැමීමෙන් අනතුරුව චීන තානාපති කාර්යාලය විසින් ඒ වන විට ලංකාවේ සිටි චීන ජාතිකයින්ව දිනපතා සමීපව නිරීක්ෂණය කර තිබෙනවා. කොරෝනා අවදානම සහිත අයෙකු ලෙස පෙර කී තැනැත්තියව හඳුනාගෙන ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කර තිබෙන්නේ චීන තානාපති කාර්යාලය විසිනුයි. ඉන් පසුව ඇය සුවය ලබා චීනය බලා පිටත්ව ගියා.

මේ පළමු ආසාදිතයාගෙන් වෙනත් කිසිවෙකුට රෝගය බෝ වුනේ නැහැ. ඇයව මුලදීම හඳුනා ගැනීම එයට උදවුවක් වෙන්න ඇති. ඒ වන විට ලංකාවේ රජය කොරෝනා පාලනය ගැන බරපතල ලෙස හිතා තිබුණේ නැහැ. එසේ හිතන්න තරම් අවශ්‍යතාවයක් තිබුණේත් නැහැ. එහෙත්, චීන තානාපති කාර්යාලයට අනුව ඔවුන් ලංකාව තුළ චීන ජාතිකයින් හරහා රෝගය ව්‍යාප්ත වීමේ අවදානම පිළිබඳව ඒ වන විටද සැලකිලිමත්ව සිට ඇති බව පෙනෙනවා.

පළමු කාන්තාව සුවය ලබා පිටව යාමෙන් අනතුරුව ඇතැම් අය ඒ ගැන ඕනෑවටත් වඩා උදම් ඇනුවා. කොහොම වුනත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලැබීම ඉතාම සාමාන්‍ය දෙයක්. ආසාදිතයින්ගෙන් අවම වශයෙන් 80%කට පමණම රෝහල්ගත වීමක් හෝ අවශ්‍ය වන්නේ නැහැ. මේ පළමු රෝගියා ලංකාවෙන් හමු වීම වගේම ඇය සුවය ලබා පිට වී යාමත් අහඹු සිද්ධි පමණයි. එහෙත්, ඇයගෙන් තවත් කිහිප දෙනෙකුට රෝගය පැතිරීමේ අවදානමක් තිබුණා. චීන තානාපති කාර්යාලයට අනුව ඒ අවදානම පහව තිබෙන්නේ ඔවුන්ගේ සැලකිලිමත්කම නිසයි.

ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ දෙවන අදියර ලෙස මා සලකන්නේ දෙවන කොරෝනා රෝගියා හමු වූ තැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීම දක්වා කාලයයි. ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසු කාලය මා තෙවන අදියර සේ සලකනවා.දෙවන රෝගියා හමු වූ දින සිට දිනපතාම වගේ ලංකාවෙන් කොරෝනා රෝගීන් කිහිප දෙනෙකු හමු වෙනවා. දෙවන අදියරේදී වැඩිපුර හමුවුනේ ආනයනික ආසාදිතයින්. ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසුව ඒ තත්ත්වය නැවතුනා.


කටුනායක ගුවන් තොටුපළ වසා දමනු ලැබුවේ මාර්තු 19 වනදා. දෙවන රෝගියා හමු වුනේ ඊට සතියකට පෙරයි. මේ සතිය ඇතුළත ලංකාවෙන් දිනකට හමුවන අලුත් කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය දවසින් දවසම ඉහළ ගියා. ගුවන් තොටුපොළ වසා දැමීම තවත් කල් ගියානම් එසේ කල් යන එක් දවසක් තුළදී වුවත් රෝගීන් ප්‍රමාණය සාපේක්ෂව සැලකිය යුතු තරමින් ඉහළ යා හැකිව තිබුණා. ඒ නිසා, ඒ වෙලාවේ ගුවන් තොටුපොළ වසාදැමීම ලංකාව විසින් ගත් හොඳ තීරණයක්.

දින කිහිපයකට කලින් ගුවන් තොටුපළ වසා දැමුවානම් ආනයනික රෝගීන්ගේ යම් අඩුවක් විය හැකිව තිබුණා. එහෙත්, රටක් බාහිර ලෝකය සමඟ තිබෙන සම්බන්ධය මුළුමනින්ම කපා දැමීම හිතා මතා ගත යුතු තීරණයක්. ඒ තීරණය මීට පෙර ගත හැකිව හෝ ගත යුතුව තිබුණා කියා මා හිතන්නේ නැහැ. ඒ වගේම දින කිහිපයකට පෙර ගුවන් තොටුපොළ වසා දැමුවානම් ලංකාවට කොරෝනා රෝගීන් ඇතුළු වීමේ ඉඩක් කිසිසේත්ම නොතිබුණා කියා කියන්නත් බැහැ. මේ වෛරසය කොයි වෙලාවේ හෝ රටට ඇතුළුවීම වලක්වනු අසීරු දෙයක්.

ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනය වීම කෙරෙහි බලපෑ වැදගත්ම තීරණය කටුනායක ගුවන් තොටුපොළ වසා දමනු ලැබීමයි. ඒ සමඟම ආනයනික රෝගීන් රටට පැමිණීම වැළකුණා. මා මේ කරුණු කියන්නේ සමස්තයක් ලෙසයි. ආණ්ඩුව විසින් ගත් ඇතැම් තීරණ වල අඩුපාඩු දැකිය හැකි වූ බව එතරම් අදාළ කරුණක් නෙමෙයි.

රට බාහිර ලෝකයෙන් වෙන් කර ගැනීමෙන් පසුව, තෙවන අදියරේදී, කොරෝනා පාලන උපාය මාර්ග වල අවධානය යොමු විය යුතු වූයේ එක් පෙරමුණකට පමණයි. එහෙත්, ඊට පෙර දෙවන අදියරේදී පෙරමුණු දෙකක සටන් කළ යුතුව තිබුණා. ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසු මේ දක්වාම ලංකාවේ ආණ්ඩුව විසින් අනුගමනය කරන ප්‍රධානම උපක්‍රමය සබඳතා හඹා යාමයි. මේ කටයුත්තේදී ආණ්ඩුව උතුරේ යුද්ධයේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් සිටින බව පේනවා.

මේ වන විට අලුතෙන් හඳුනා ගැනෙන රෝගීන් බොහෝ දෙනෙක් ඊට පෙර අවදානම් සහිත පුද්ගලයින් සේ හඳුනා ගෙන නිරෝධායනයට ලක් කෙරුණු අය වීමෙන් මේ උපක්‍රමයේ සාර්ථකත්වය පෙනෙනවා. ඒ අතරම, එසේ පෙර හඳුනා නොගැනුණු ආසාදිතයින්ද වරින් වර මතු වීමෙන් හා දිනකට හමු වන රෝගීන් ප්‍රමාණය අඩු නොවී ස්ථාවර මට්ටමක තිබීමෙන් ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ සීමාවන් පෙන්වා දෙනවා.

රට බාහිර ලෝකයට වසා දැමීමෙන් පසුව අලුතින් රෝගීන් හමුවන රටාව මේ වෙද්දී ඉතාම පැහැදිලියි. හමුවන රෝගීන් ගණන විචලනය වුවත් සාමාන්‍ය වශයෙන් දිනකට අලුත් රෝගීන් හය දෙනෙකු පමණ හමු වන බව පෙනෙනවා. වෙනත් බොහෝ රටවල සිදු වූ අයුරින් දිනකට හමුවන රෝගීන් ගණන එන්න එන්නම වැඩි නොවීම සැනසිල්ලට කරුණක්. එහෙත්, දිනකට හමුවන රෝගීන් ගණන එන්න එන්න අඩු වන බවක්ද පැහැදිලිව නොපෙනීම කණස්සල්ලට කරුණක්.

මේ කරුණු අනුව පෙනෙන්නේ දිනකට හමුවන රෝගීන් ප්‍රමාණය ස්ථාවර මට්ටමක තබා ගැනීමටනම් දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන් එළෙසම පවත්වා ගත යුතු බවයි. රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ උපක්‍රම ලිහිල් කළහොත් ඉතා ඉක්මනින් තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන්. යම් හෙයකින් කටුනායක ඇරියොත්නම් වහාම ප්‍රශ්නය උග්‍ර වන බව පැහැදිලියි. ඒ වගේම දැනට කරන සියලු කටයුතු එක දිගටම එළෙසම කළත් ආසන්න දිනයකදී අලුත් රෝගීන් හමු වීම මුළුමනින්ම අවසන් වේයැයි හිතන්න අමාරුයි.

Saturday, April 11, 2020

ඊපීඑෆ් සල්ලි හා පෙට්ටියෙන් පිට විසඳුම්


සේවක අර්ථසාධක අරමුදලේ තිබෙන සල්ලි වලින් කොටසක් අයිතිකරුවන්ට නිදහස් කළ යුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් යෝජනා කර තිබෙනවා. මේ යෝජනාවට ආණ්ඩුව පැත්තෙන්ම විවේචන එල්ල වී තිබෙනවා.

පෙට්ටියෙන් පිට සිතීම හොඳයි. පෙට්ටිය ඇතුළේ හැම අහු මුල්ලකම හොයා බැලුවට පස්සේත් අවශ්‍ය විසඳුම හමු වී නැත්නම් පෙට්ටියෙන් පිට හොයා බැලීම හැර වෙන විකල්පයක් ඇත්තේත් නැහැ. නමුත්, මේ පෙට්ටියෙන් පිට සිතීම ඉතා සැලකිල්ලෙන් යුතුව කළ යුතු දෙයක්.

පෙට්ටියෙන් පිට විසඳුමක් පෙට්ටිය ඇතුළට ගන්න යෝජනා කරන කෙනෙක් මුලින්ම හොයා බැලිය යුතු දේවල් ගණනාවක් තිබෙනවා. පළමුව, මේ විසඳුම පෙට්ටිය ඇතුළේ නැතුව පෙට්ටියෙන් පිට තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් හොයා ගත යුතුයි.

බොහෝ විසඳුම් පෙට්ටියෙන් පිට තිබෙන්නේ ඒ විසඳුම් කාලයක් තිස්සේ පෙට්ටිය ඇතුළේ තිබී යම් අවස්ථාවකදී පෙට්ටියෙන් එළියට විසි කර ඇති නිසයි. කාලයක් තිස්සේ පෙට්ටිය ඇතුළේ තිබුණු විසඳුමක් එළියට විසි වන්නේ ඒ විසඳුම පෙට්ටිය ඇතුළේ තබා ගත යුතු තරම් වටිනා විසඳුමක් නොවන බව කාලය විසින් තහවුරු කර ඇති නිසයි. කලකට පෙර පෙට්ටියෙන් එළියට විසි කළ කුණු කෑල්ලක් නැවත පෙට්ටිය ඇතුළට ගැනීම අගය කළ යුතු පෙට්ටියෙන් පිට සිතීමක් වන්නේ නැහැ.

සම්ප්‍රදායික දැනුම කියා කියන්නේත් කාලයක් පෙට්ටිය ඇතුළේ තිබී එළියට විසි කළ දැනුම්. කලකට පෙර එළියට විසි වුනු දැනුමක් නැවත පෙට්ටිය ඇතුළට ගැනීම සලකා බැලිය යුතු අවස්ථා තියෙන්න පුළුවන්. එහෙත්, ඒ විදිහට නැවත එවැන්නක් ඇතුළට ගන්න පෙර එය එළියට විසි වුනු සන්දර්භය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. කලකට පෙර වැඩකට නැති සේ සලකා එළියට විසි කළ විසදුමක් දැන් නැවත ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? සමහර විට ඒ විසඳුම එළියට විසි කළ අවස්ථාවේ සිට මේ දක්වා කාලය තුළ ප්‍රශ්නයේ ස්වභාවය වෙනස් වී තියෙන්න පුළුවන්. ඒ නිසා, කලින් එළියට විසි කළ විසඳුම දැන් වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒ කොහොමද කියා පැහැදිලිනම් මිස කලකදී එළියට විසි කළ විසදුමක් නැවත ඇතුළට ගත යුතු නැහැ.

සමහර විට එළියේ තිබෙන විසඳුම කවදාවත් පෙට්ටිය ඇතුළේ නොතිබුණු එකක් වෙන්න පුළුවන්. එහෙමනම් එය වහාම පෙට්ටිය ඇතුළට ගත යුතුද? මෙහිදී, පළමුව ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මේ විසඳුම කවදාවත් පෙට්ටිය ඇතුළට නොපැමිණියේ ඇයි කියන එකයි. මීට කලින් කිසිම කෙනෙක් පෙට්ටියෙන් එළියට ඔලුව දැම්මේ නැද්ද? හොයා බැලුවොත් බොහෝ විට පෙනෙන්නේ මේ විසඳුම පෙට්ටිය ඇතුළට ගත යුතු තරම් වටිනා විසඳුමක් නොවන බව බොහෝ දෙනෙක් කාලයක් තිස්සේ දැන සිටි බවයි. ඒ වගේ නොවටිනා කුණු කෑල්ලක් පෙට්ටිය ඇතුළට ගැනීමත් අගය කළ යුතු පෙට්ටියෙන් පිට සිතීමක් වන්නේ නැහැ.

පෙට්ටියෙන් පිට විසඳුම් තියෙන්න පුළුවන්. එහෙත්, එවැනි විසඳුමක් හොයා ගැනීම හිතන තරම් පහසු නැහැ. පෙට්ටියෙන් පිට විසඳුම් ලෙස ඉදිරිපත් වන බොහෝ අදහස් එක්කෝ කලකට පෙර පෙට්ටියෙන් එළියට විසි වූ, නැවත පෙට්ටිය තුළට ගැනීමට තරම් නොවටිනා අදහස්. එහෙම නැත්නම්, කලක් පෙට්ටියෙන් පිට කාටත් පෙනෙන්න තිබුණු, එහෙත් පෙට්ටිය තුළට ගැනීමට තරම් නොවටිනා අදහස්.

ඇතැම් විට පෙට්ටියෙන් පිට විසඳුම් ලෙස ඉදිරිපත් වන්නේ පෙට්ටිය ඇතුළේම තිබෙන විසඳුමක්. ඒ විදිහට රෝදය නැවත නැවත හොයා ගන්නා අය පෙට්ටියෙන් පිට තබා පෙට්ටිය ඇතුළේ තිබෙන දේවල්වත් හරියට නොදන්නා අයයි.

පෙට්ටියෙන් පිට සිතීම හොඳයි. එහි විවාදයක් නැහැ. එහෙත්, පෙට්ටියෙන් පිට හිතන්න කලින් පෙට්ටිය ඇතුළේ ඇති දේවල් ගැන ප්‍රමාණවත් තරමින් හදාරා තිබිය යුතුයි. එසේ නැත්නම් වෙන්නේ නැවත නැවත රෝදය සොයා ගැනීමයි. එයත්, ප්‍රමාණවත් නැහැ. ඉතිහාසය පුරා පෙට්ටිය ඇතුළේ තිබුණු දේවල් ගැනත් හදාරා තිබිය යුතුයි. ඒ දැනුම නැතුව පෙට්ටියෙන් පිට විසඳුම් හොයන කෙනෙක් කරන්නේ රවුම් රෝද ගලවා හතරැස් රෝද හයි කරන එක වෙන්න පුළුවන්.

ඊපීඑෆ් සල්ලි නිදහස් කිරීම පෙට්ටියෙන් පිට විසඳුමක් වෙන්න පුළුවන්. අදහස පළ වෙද්දීම මතු වන විරෝධයෙන් පෙනෙන්නේ මේ විසඳුම පෙට්ටිය ඇතුළට ගත යුතු නැති විසඳුමක් බව බොහෝ දෙනෙක් හිතන බවයි. කෝවිඩ්-19 අභියෝගය හමුවේ බොහෝ රටවල් විසින් මෙතෙක් පෙට්ටිය ඇතුළට ගත යුතු නැති සේ සැලකුණු විසඳුම් පෙට්ටිය ඇතුළට අරගෙන තිබෙනවා. අජිත් නිවාඩ් කබ්රාල් එවැනි විසඳුමක් ගැන හිතන කොට ඊපීඑෆ් සල්ලි මතක් වෙන්න ඇති. අජිත් නිවාඩ් කබ්රාල් මීට පෙර ලංකාවේ කොටස් වෙළඳපොළ ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහාත් ඊපීඑෆ් සල්ලි යොදාගත යුතුය යන අදහසේ සිටි කෙනෙක්.

අජිත් නිවාඩ් කබ්රාල්ගේ අදහස කිසි කෙනෙකුට හිතා ගන්නවත් බැරි විශ්මිත අදහසක් නෙමෙයි. එහෙත්, මෙවැනි අදහසක් ඔහු වැනි කෙනෙක් හරහා ඉදිරිපත් වූ විට එහි විශේෂත්වයක් තිබෙනවා. ඔහු අදහස් ඉදිරිපත් කිරීමෙන් නොනැවතී ඒ අදහස් ඉදිරියට ගෙන ගොස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට මුළු වැර දරන අයෙක්. ඔහුට ඊට අවශ්‍ය නායකත්ව හැකියාවන් හා සම්බන්ධකම් තිබෙනවා.

මගේ අදහස අනුව මෙය පවතින තත්ත්වය යටතේ පෙට්ටිය ඇතුළට ගත්තාට කමක් නැති අදහසක්. මෙය කෙසේවත් පෙට්ටිය ඇතුළට ගත යුතු නැති කුණු කෑල්ලක් කියා මම හිතන්නේ නැහැ. එහෙත්, මේ වැඩෙන් කොපමණ යහපතක් වේද යන්න ස්ථිරව කිව නොහැකියි.

කබ්රාල් යෝජනා කරන්නේ ඊපීඑෆ් සල්ලි ඒ සල්ලි වල අයිතිකරුවන්ට නිදහස් කළ යුතු බවයි. කොහොමටත් මේ සල්ලි යම් අවස්ථාවක මේ අයටම ලැබෙනවා. නමුත්, ඒ සඳහා නිශ්චිත කොන්දේසි ගණනාවකින් එකක් සම්පූර්ණ විය යුතුයි. මේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, ඒ කොන්දේසි සම්පූර්ණ නොකර තමන්ගේ අරමුදල් නිදහස් කර ගත හැකි වෙනවා.

මෙහිදී කබ්රාල්ගේ යෝජනාව වන්නේ අරමුදල් වලින් නිශ්චිත ප්‍රතිශතයක් (කියන විදිහට 20%ක්) සියලුම අරමුදල් අයිතිකරුවන්ට වහාම නිදහස් කිරීමද එසේ නැත්නම් එසේ නිදහස් කර ගැනීමේ විකල්පය ඔවුන්ට ලබා දීමද කියන එක පැහැදිලි නැහැ. එය දෙවැන්නනම්, අරමුදල් අයිතිකරුවන්ගේ පැත්තෙන් බැලු විට මෙහි වැරැද්දක් නැහැ. අරමුදල් හිමිකරුවන් කියා කියන්නේ තමන් වෙනුවෙන් තීරණ ගත හැකි වැඩිහිටියන්. මේ වැඩෙන් වෙන්නේ ඔවුන්ට දැනට ඔවුන් සතුව නැති විකල්පයක් ලැබෙන එකයි. අවශ්‍ය නැත්නම් අරමුදල් එසේම තියෙන්න අරින්න පුළුවන්.

එහෙත්, යෝජනාව පළමු එකනම් මෙහි ඇතැම් අයට අවාසියක් තිබෙනවා. ඇතැම් අරමුදල් හිමිකරුවන්ට මේ අරමුදල් නිදහස් කරගෙන කළ හැකි වඩා හොඳ දෙයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා, යෝජනාව වන්නේ සියලු දෙනාගේම අරමුදල් වලින් 20%ක් නිදහස් කිරීමනම් එය හොඳ දෙයක් කියා කියන්න බැහැ.

ලංකාවේ සංස්කෘතික සන්දර්භය ඇතුළේ පළමු විකල්පයේම වුවත් ප්‍රශ්න තිබෙනවා. ලංකාවේ ගොඩක් අය මේ අරමුදල් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය, දරුවන්ගේ විවාහ උත්සව ආදිය වෙනුවෙන් යොදවනවා. මේ විකල්පය ලැබුණු විට ඇතැම් වැඩිහිටියන්ට ඔවුන්ගේ දරුවන්ගෙන් යම් පීඩනයක් එන්න පුළුවන්. කොහොම වුනත්, ඒවා අරමුදල් අයිතිකරුවන්ගේ පෞද්ගලික ප්‍රශ්න.

කබ්රාල් යෝජනාව ඉදිරිපත් කරන්නේ තනි පුද්ගලයින්ගේ පැත්තෙන් බලා නෙමෙයි. රටේ ආර්ථික වර්ධනය පැත්තෙන් බලලා. ඒ වගේම, මම හිතන විදිහට මේ කතා කරන්නේ කෝවිඩ්-19 අස්සේ කරන දෙයක් ගැන නෙමෙයි. කෝවිඩ්-19 ප්‍රශ්නයෙන් සම්පූර්ණයෙන් මිදෙන තුරු කොහොමටත් මේ වැඩෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එයින් පසුව රටේ ආර්ථිකය ගොඩ ගන්න මේ වැඩෙන් වැඩක් වෙයිද?

මේ ප්‍රශ්නයට සරල පිළිතුරක් දෙන්න බැහැ. එය තීරණය වෙන්නේ නිදහස් කෙරෙන අරමුදල් වියදම් කෙරෙන ආකාරය මතයි. අප දන්නා පරිදි මේ අරමුදල් අයිතිකරුවන් පෞද්ගලික අංශයේ රැකියා කරන අයයි. ඒ අය මේ සල්ලි මොන විදිහට වියදම් කරයිද?

රටේ ආර්ථික වර්ධනයක් ඇති වෙන්නනම් රට ඇතුලෙ මුදල් සංසරණය ඉහළ ගිහින් මේ මුදල් අයිතිකරුවන් හැර තවත් පිරිසකගේ ආදායම් ඉහළ යා යුතුයි. නිදහස් කර ගත් මුදල් යොදවා දරුවෙකු උසස් අධ්‍යාපනය සඳහා පිට රට යැවුවොත් හෝ වාහනයක් මිල දී ගත්තොත් එවැන්නක් වෙන්නේ නැහැ. අරමුදල් රටින් පිටතට ඇදී ගිහින් ගෙවුම් ශේෂය මත පීඩනය වැඩි වීම පමණයි වෙන්නේ. නමුත්, මෙවැන්නක් වෙන්න ඉඩ තියෙන්නේ අරමුදල් හිමියන්ගෙන් ටික දෙනෙකු හා අදාළව පමණයි. බොහෝ දෙනෙකුට එපමණ ලොකු අරමුදල් නැහැ.

සාපේක්ෂව අඩු ආදායම්ලාභීන් බොහෝ විට මේ අරමුදල් යොදවන්න ඉඩ තිබෙන්නේ තමන්ගේ නිවාස වැඩි දියුණු කර ගැනීමට හා විවාහ උත්සව සඳහායි. ඇතැම් අය පොඩි වාහනයක් හෝ ඉඩමක් මිල දී ගැනීම ගැනත් හිතන්න පුළුවන්. මේ වගේ වියදම් නිසා රට ඇතුළේ යම් තරමකින් මුදල් සංසරණයක් හා රැකියා ජනනයක් සිදු වෙනවා. කිසියම් ප්‍රමාණයකින් ආනයන ඉහළ යා හැකි වුවත් අරමුදල් වලින් වැඩි කොටසක් රට ඇතුළේ සංසරණය විය හැකියි. ඒ නිසා, මෙයින් ආර්ථික වර්ධනයට කිසියම් තල්ලුවන් ලැබෙයි.

අනෙක් අතට ලංකාවේ පහළ ආදායම් ස්ථර වල සිටින බොහෝ දෙනෙක් දැනටමත් ණයකරුවන්. මේ අරමුදල් වලින් ඔවුන් තමන් දැනටමත් අරගෙන තිබෙන ණය වලින් කොටසක් ගෙවා දමන්න ඉඩ තිබෙනවා. එහෙම වුනොත්, ආර්ථික වර්ධනයක් හෝ රැකියා ජනනයක් සෘජුවම වෙන්නේ නැහැ. නමුත්, වක්‍රව එවැන්නක් සිදු වෙනවා.

උදාහරණයක් විදිහට මේ වෙලාවේ පෞද්ගලික අංශයේ රැකියා කරන ගොඩක් අයගේ ආදායම් අඩු වී හෝ අහිමි වී තිබෙන නිසා ණය පැහැර හැරීම් වැඩි වෙන්න ඉඩ තිබෙනවා. එය බැංකු, කල්බදු, රක්ෂණ වගේ ක්ෂේත්‍ර වලට බලපානවා. එම සමාගම් කඩා වැටුණොත් තවත් රැකියා අහිමි වී ආර්ථික වර්ධනයට සෘණාත්මක බලපෑමක් ඇති වෙනවා. මේ වගේ වැඩකින් ඒ අහිතකර බලපෑම් යම් ප්‍රමාණයකින් සමනය වෙන්න පුළුවන්.

මගේ අදහස අනුව, කබ්රාල්ගේ යෝජනාව පෙට්ටිය ඇතුළට නොගෙනම බැහැර කළ යුතු නරක යෝජනාවක් නෙමෙයි. එහෙත්, යෝජනාව ක්‍රියාත්මක කිරීමේ සංකීර්ණ ප්‍රතිඵල පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු නොකර එකවර ක්‍රියාත්මක කළ යුතු එකකුත් නෙමෙයි.

(Image: https://www.hcwbenefits.com/why-reinvent-the-wheel-improve-it/)

Friday, April 10, 2020

ඇමරිකාවේ කෝවිඩ් හා ලංකාවේ ආර්ථිකය

මේ වන විට ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරීම පාලනය වී තිබෙන බව පැහැදිලියි. එයින් අදහස් වෙන්නේ ඉදිරි දවස් වලදී රෝගීන් හමු නොවන බව හෝ මරණ සිදු නොවන බව නෙමෙයි. ඇමරිකාවේ කෝවිඩ්-19 මරණ ප්‍රමාණය මේ වන විට 18,000ක් පමණ වෙනවා. වොෂින්ටන් සරසවියේ ඇස්තමේන්තු අනුව, මේ මරණ ප්‍රමාණය 60,000 පමණ දක්වා ඉහළ යා හැකියි.


(Grapph: https://covid19.healthdata.org/united-states-of-america)

එහෙමනම්, කෝවිඩ්-19 පැතිරීම පාලනය වී ඇති බව කියන්නේ කොහොමද?

කිසියම් රටක කෝවිඩ්-19 පැතිරීම ආරම්භ වූ අවදියේදී ඝාතීය වර්ධනයක් දකින්න ලැබෙනවා. ඇමරිකාවේ හා යුරෝපීය රටවල් බොහොමයකම මේ තත්ත්වය දකින්න ලැබුණා. රුසියාව, ඉන්දියාව හා බ්‍රසීලය ඇතුළු ලොකු ජනගහණයක් සිටින හා ප්‍රමාද වී කෝවිඩ්-19 තර්ජනයට මුහුණ දුන් රටවල මේ වන විට මේ ඝාතීය වර්ධන තත්ත්වය දැකිය හැකියි. එහෙත්, ඇමරිකාව හා යුරෝපීය රටවල් බොහොමයක් මේ වන විට ඝාතීය වර්ධන අවදිය පසු කර රේඛීය වර්ධන අවදියකට අවතීර්ණ වී තිබෙනවා. ඒ කියන්නේ, තවමත් දිනපතා රෝගීන් වැඩි වන නමුත් දිනකට වැඩිවන රෝගීන් ගණන එන්න එන්නම වැඩි වෙන්නේ නැහැ. ලංකාවේනම් මුල සිටම දැකිය හැකිව තිබුණේ රේඛීය වර්ධනයක්.


(Grapph: https://www.worldometers.info/coronavirus/)

කලින්ම හා වේගයෙන්ම රෝගය පැතිරුණු රටවල් කලින්ම ඝාතීය වර්ධන අවදිය පසු කළා. ඒ නිසා, ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය වැනි රටවල සිදු විය හැකි මරණ වලින් විශාල ප්‍රමාණයක් දැනටමත් සිදු වී හමාරයි. නමුත්, ටික දවසකට පෙර ඝාතීය වර්ධන අවදිය පසු කළ ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ මරණ ප්‍රමාණය තවත් කිහිප ගුණයකින් වැඩි වෙයි.

තෝරාගත් රටවල් කිහිපයක සිදු විය හැකි මරණ ප්‍රමාණයන් පිළිබඳ දැනට තිබෙන (වෙනස් විය හැකි) ඇස්තමේන්තු හා දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණ මේ විදිහයි.

ඇමරිකා එක්සත් ජනපදය 18,000 -> 61,500
ඉතාලිය 19,000 -> 20,500
ස්පාඤ්ඤය 16,000 -> 18,500
ප්‍රංශය 12,000 -> 15,500
එක්සත් රාජධානිය 9,000 -> 37,000
ජර්මනිය 2,600 -> 7,000
නෙදර්ලන්තය 2,500 -> 18,000
බෙල්ජියම 3,000 -> 4,300

මේ ලැයිස්තුවේ තිබෙන රටවල් ලංකාවේ ඇඟලුම් මිල දී ගන්නා ප්‍රධාන රටවල්. 2018 වසරේදී මේ රටවල් ලංකාවෙන් මිල දී ගත් ඇඟළුම් වල වටිනාකම ඩොලර් මිලියන වලින් මෙහෙමයි.

ඇමරිකා එක්සත් ජනපදය 2,269
ඉතාලිය 463
ස්පාඤ්ඤය 23
ප්‍රංශය 64
එක්සත් රාජධානිය 737
ජර්මනිය 265
නෙදර්ලන්තය 130
බෙල්ජියම හා ලක්සම්බර්ග්  214

සමස්තයක් ලෙස ඩොලර් බිලියන 5 කට ආසන්න වූ ලංකාවේ ඇඟලුම් අපනයන ආදායමෙන් 90%ක් පමණම ලැබෙන්නේ ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන් සහ යුරෝපීය සංගමයේ රටවලින්. 60%කට වඩා ලැබෙන්නේ එක්සත් රාජධානියෙන් හා ඇමරිකා එක්සත් ජනපදයෙන්.

කෝවිඩ්-19 පැතිරීමත් සමඟම මේ රටවල මිනිස්සු ගෙවල් වලට වී ඉන්නවා. මේ තත්ත්වය හෙමින් මිසක් එකවර වෙනස් වෙන එකක් නැහැ. මේ වගේ වෙලාවක මිනිස්සුන්ට අලුතින් ඇඳුම් මිල දී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අලුත් ඇඳුම් ඇඳලා කොහේ කියලා යන්නද?

ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරීම ලංකාවේ ආර්ථිකයට සෘජුවම බලපානවා. චීනයේ කෝවිඩ්-19 පැතිරී චීන ආර්ථිකය දුර්වල වන විට වෙන්නේ ලංකාවේ ආනයන අඩු වී වියදම් පහළ බහින එකයි. නමුත්, ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරෙන කොට වෙන්නේ ලංකාවේ අපනයන අඩු වී ආදායම් පහළ බහින එකයි. ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ජාත්‍යන්තර බැඳුම්කර වල ආයෝජනය කරන ආයෝජකයෝ ඔය බව හොඳින්ම දන්නවා.

ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ කෝවිඩ්-19 පැතිරෙන්න පටන් ගත්තේ යුරෝපයේ අනෙක් ඇතැම් රටවලට වඩා තරමක් පසුවයි. මේ රටවල් දෙකේ කෝවිඩ්-19 රෝගීන් ප්‍රමාණය ඝාතීය ලෙස වර්ධනය වුනු කාලය තුළ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර තිබෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතිකයත් ඒ ආකාරයටම ඉහළ ගියා.

පසුගිය සතියේ ඇමරිකාව හා බ්‍රිතාන්‍යය මේ ඝාතීය වර්ධන අවදිය පහු කිරීමත් සමඟම ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතිකයත් ක්ෂණිකව ස්ථාවර වී තිබෙනවා. මේ අනුව, ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ කෝවිඩ් පැතිරීම පාලනය වීම රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගත හැකි විකල්ප බොහොමයක්ම දැනටමත් ප්‍රයෝජනයට ගෙන අවසන්ව දහ අතේ කල්පනා කරමින් ඉන්න ලංකාවට යම් තරමක හෝ අස්වැසිල්ලක් වෙයි.

එහෙත්, මේ නැඹුරුවෙන් පෙන්වන්නේ ඇමරිකාව එක් සටනක් ජයගෙන ඇති බව මිස යුද්ධය දිනා අවසන් බව නෙමෙයි. යුරෝපය හා අදාළව තත්ත්වයත් එසේමයි. කෝවිඩ්-19 පළමු චක්‍රය අපේක්ෂා කර තිබුණු පරිද්දෙන්ම අවසන් වෙමින් ඇති බව පෙනෙන්නට ඇතත්, දෙවන චක්‍රයක් මතු වීමේ අනතුර එසේම තිබෙනවා.

මේ තත්ත්වය ලංකාවේ ජාත්‍යන්තර බැඳුම්කර වල ඵලදා වක්‍රයෙන්ද පිළිබිඹු වෙනවා. කෙටි අන්තයේ පොලී අනුපාතික අඩු වී ඇතත් වක්‍රයේ මැද කොටස ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ අවදානම පසුපසට තල්ලු වී ඇතුවා මිස පහව ගොස් නැති බවයි.


Thursday, April 9, 2020

කොරෝනාවට පෙර ලෝකය


ධනවාදය, සමාජවාදය, ජාතිකවාදය හා ජාත්‍යන්තරවාදය කියන "වාද" හතර (ඉංග්‍රීසියෙන් කියනවනම් "isms" හතර) මම පෞද්ගලිකව ආකෘතිගත කර ගන්නේ කොහොමද කියන එකයි කලින් ලිපියේ ලිවුවේ. මේ ආකෘතිය අනුව, ධනවාදය හා සමාජවාදය කියන්නේ තිරස් අක්ෂයේ ප්‍රතිවිරුද්ධ පැති. ඒ නිසා, ධනවාදයට නැඹුරු වීම සමාජවාදයෙන් බැහැර වීමක්ද වෙනවා. නමුත්, ජාතිකවාදය කියන එක වෙනත් මානයක්. ඒ මානය තිබෙන්නේ ධනවාදී-සමාජවාදී අක්ෂයට ලම්බක වෙනම මානයක. ඒ නිසා කිසියම් රටක් ජාතිකවාදයට නැඹුරු වීම ධනවාදයට යාමක්වත්, ධනවාදය බැහැර කිරීමක්වත් නෙමෙයි. එය වෙනම කරුණක්.

ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ නිදහස් ගනුදෙනු කියන සංකල්පය මතයි. මෙහි නිදහස් කියා කියන විට රටක ආණ්ඩුවේ බලපෑම් වලින් නිදහස් වීම ප්‍රධානයි. බොහෝ ධනවාදීන් ආණ්ඩු වල බලපෑම අඩු කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙත්, ගනුදෙනු සියල්ල ආණ්ඩුවේ බලපෑමෙන් නිදහස් වූ රටවල් ලෝකයේ කොහේවත් නැහැ. ඇතැම් රටවල සමාජවාදය ක්‍රියාත්මක කරන්න ගොස් ඇති වූ විකෘතීන් ආපසු හැරවුණු අවස්ථා අත ඇරියොත් ආණ්ඩු එන්න එන්නම දුර්වල වනවාට වඩා ශක්තිමත් වන බවකුයි පෙනෙන්නට තියෙන්නේ.

මධ්‍යගත සැලසුම් වෙනුවෙන් පෙනී සිට ඇති හෝ පෙනී සිටින බොහෝ දෙනෙක් මාක්ස්වාදීන්. ඔවුන් කතා කරන දියුණු කොමියුනිස්ට් සමාජයකට ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. ලෝකය ඒ තත්ත්වය කරා යන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය වඩා වඩා කාර්යක්ෂම වී එක්තරා සීමාවක් ඉක්මවූවාට පස්සේ. එවිට, පෞද්ගලික දේපොළ අයිතිය අවශ්‍ය නොවන වාස්තවික තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ අදහස සමඟ මට පෞද්ගලිකව ලොකු අවුලක් නැහැ. මට අවුලක් තිබෙන්නේ මාක්ස්වාදීන් විසින් සමාජවාදය නමින් සමාජය බලහත්කාරයෙන් පරිණාමය කරවන්න දැරූ උත්සාහය සම්බන්ධවයි.

සමාජවාදය පදනම් වන්නේ සියලුම මිනිසුන් සමාන නිසා සියලුම මිනිසුන්ට සමානව පරිභෝජනය කිරීමේ අයිතියක්ද තිබෙනවා කියන අදහස මතයි. මේ අදහස අනාගතයේ කිසියම් දවසක යථාර්තයක් වෙන්න පුළුවන්. සමස්ත මිනිස් සමාජයට සාමූහිකව නිෂ්පාදනය කරගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය එම සමාජයේ තනි මිනිස්සු සියලු දෙනාටම  මුළුමනින්ම තෘප්තිමත් විය හැකි පරිභෝජන මට්ටමකටත් වඩා ගොඩක් වැඩිනම් ඔය වගේ සමතුලිතතාවයක් පවතින්න පුළුවන්. මෙහිදී සාමූහිකව කියන එකෙන් මධ්‍යගත සැලසුමක් යටතේ කියා අදහස් වෙන්නේ නැහැ. ඕනෑම ධනවාදී සමාජයක් ක්‍රියාත්මක වන්නේද සාමූහිකත්වය මතයි.

කොහොම වුනත් පෙර කී ආකාරයේ නිෂ්පාදන තාක්ෂණයක් තවම නැහැනේ. ලෝකයේ ජීවත්වන සියලු දෙනාටම තෘප්තිමත් විය හැකි පරිභෝජන මට්ටමක් පවත්වා ගත හැකි තරම් නිෂ්පාදනයක් සමස්තයක් ලෙස ලෝකයේ සිදු වන්නේ නැහැ. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් තිබෙනවා. සම්පත් බෙදාහැරීම පිළිබඳ ගැටලුවක් තිබෙනවා. මෙහිදී දේපොළ අයිතිය ප්‍රශ්නයක් වෙනවා.

පවතින යථාර්තයන් යටතේ නිෂ්පාදන හැකියාව අතින් සියලු මිනිසුන් සමාන නැහැ පමණක් නෙමෙයි විවිධ මිනිසුන්ගේ නිෂ්පාදන හැකියාවන් විචල්‍ය වන පරාසය ඉතා විශාලයි. සියවස් හතර පහකට කලින් එවැනි පරතරයක් තිබුණේ නැහැ. මේ පරතරය ඇති වුනේ මිනිසුන් විසින් ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමේ ක්‍රියාවලිය ක්‍රමයෙන් වේගවත් වීමත් සමඟයි. සමස්තයක් ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය වඩ වඩා කාර්යක්ෂම වුනේත්, වෙන්නේත් මේ විදිහට මිනිසුන් විසින් වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමට සමාන්තරවයි. මධ්‍යගත සැලසුම් සමාජවාදය කියා කියන්නේ ඔය ක්‍රියාවලියේ එක අදියරක් වැරදියට විග්‍රහ කිරීමේ ප්‍රතිඵලයක්.

ධනවාදය තුළ සියලු මිනිසුන් ඔවුන්ගේ නිෂ්පාදන හැකියාවන් අනුව අසමානයින් නිසා සම්පත් බෙදී යාමේ විෂමතාවයන් තිබීම වැරැද්දක් ලෙස පිළිගැනෙන්නේ නැහැ. යමෙකුගේ නිෂ්පාදන ඵලය ඔහුගේ හෝ ඇයගේ අයිතියක් ලෙස පිළිගැනෙනවා. ඒ නිෂ්පාදන ඵලය තනිව භුක්ති විඳිනවාද වෙනත් අය සමඟ හවුලේ භුක්ති විඳිනවාද කියා තීරණය කිරීම පුද්ගල අයිතියක්. මේ ධනවාදී සම්පත් බෙදී යාම ස්වභාවිකවම සිදුවන දෙයක් නිසා එය ක්‍රියාත්මක කරන්න අමුතු මහන්සියක් අවශ්‍ය වන්නේ නැහැ. පුද්ගලික දේපොළ අයිතිය තහවුරු කිරීම ප්‍රමාණවත්.

නමුත්, සමාජවාදී ක්‍රමයකට මේ විදිහට ස්වභාවික පැවැත්මක් නැහැ. ක්‍රමය සමාජවාදී වුවත් පවතින නිෂ්පාදන ක්‍රමවේද යටතේ මිනිස්සු නිෂ්පාදන හැකියාවන් අනුව සමානයින් නොවන නිසා වඩා කාර්යක්ෂම මිනිසුන් විසින් නිපදවන දෙයින් කොටසක් අකාර්යක්ෂම මිනිසුන් වෙත සම්ප්‍රේෂණය කෙරෙන කෘතීම යාන්ත්‍රණයක් අවශ්‍යයි. මධ්‍යගත සැලසුම් හරහා වෙන්නේ ඔය කාර්යයයි. මෙය සිදු වුනේ හෝ සිදු වන්නේ පැරණි හා වත්මන් සමාජවාදී රටවල පමණක් නෙමෙයි. ඇමරිකාව වගේ රටක වුවත් මෙය අඩු පරිමාණයකින් සිදු වෙනවා. රටක බදු ක්‍රමය හරහා වෙන්නෙත් මේ දෙයයි.

සමාජවාදය වුවත්, ධනවාදය වුවත් ක්‍රියාත්මක කළ හැක්කේ ලෝකයේ පවතින දේශපාලනික බෙදීම් ඇතුළත සිටයි. ඉතිහාසයේ කවර කලෙකවත් ලෝක ආණ්ඩුවක් පැවතී නැහැ. නමුත්, සියලුම මිනිසුන් සමාන නිසා සියලුම මිනිසුන්ට සමානව පරිභෝජනය කිරීමේ අයිතියක්ද තිබෙනවා කියන අදහස දේශපාලනික සීමාවකට යටත් කරන්න බැහැ. රට ඇතුළේ හිටියත්, රටින් පිටත හිටියත් ඒ ඉන්නේ මිනිස්සු කියා සැලකුවොත් සමාජවාදය නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදී විය යුතුයි. එහෙමනම්, ලෝකයේ කොයි රටක හිටියත් වැඩි නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් තිබෙන අයගේ නිෂ්පාදන ඵලයෙන් කොටසක් අඩු නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් තිබෙන අය වෙත යා යුතුයි. මේ කරුණ බැහැර කර හදන මධ්‍යගත සැලසුමක් සමාජවාදයේ හරය සමඟ ගැටෙනවා.

නමුත්, ප්‍රශ්නය තිබෙන්නේ වැඩි නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් තිබෙන අයගෙන් විශාල පිරිසක් සිටින්නේ මධ්‍යගත සැලසුම් පිළි නොගන්නා වෙනත් දේශපාලන බල අධිකාර තුළ වීමයි. ඒ නිසා, ඔවුන්ගේ නිෂ්පාදන ඵලය වෙනත් අය වෙත බෙදා හැරීමේ හැකියාවක් මෙවැනි මධ්‍යගත සැලසුමකට නැහැ. උදාහරණයක් විදිහට පැරණි සෝවියට් දේශය ගනිමු.

සෛද්ධාන්තිකව ගත්තොත් රට ඇතුලෙ සියලු දෙනාගේම පරිභෝජන මට්ටම් සමාන වන සම්පත් බෙදා හැරීමක් කරන්න සෝවියට් දේශයට පුළුවන්. ඒ වගේම, සෝවියට් දේශයට වඩා ආදායම් මට්ටම අඩු ලෝකයේ අනෙකුත් රටවල් සියල්ලේම මිනිසුන්ගේ පරිභෝජන මට්ටම් සමාන වන තුරු සෝවියට් දේශයේ හදන දේවල් එම රටවල් වලට දෙන්නත් පුළුවන්. ඒ රටවල් වලට නොමිලේ දෙන දෙයක් ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නැහැනේ. නමුත්, ඇමරිකාව හෝ වෙනත් බටහිර රටවල හදන දේවල් අයිති කරගෙන බෙදා හැරීමේ හැකියාවක් සෝවියට් දේශයට නැහැ. ඒ නිසා, සෝවියට් දේශය ජාත්‍යන්තරවාදී වෙනවා කියා කියන්නේ රටින් පිටත මිනිසුන් වෙනුවෙන් රට ඇතුළේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙන්න ඉඩ අරිනවා කියන එකයි.

සමාජවාදී මධ්‍යගත සැලසුම් යටතේ නිෂ්පාදන ක්‍රියාවලිය ධනවාදී රටවල එම  ක්‍රියාවලියට වඩා අතිශයින්ම කාර්යක්ෂම වුනානම් සමහර විට මෙය කළ හැකිව තිබුණා. මොකද අනෙක් රටවල් වලටත් සම්පත් විශාල ලෙස බෙදා හරිමින් පරිභෝජන මට්ටමත් ඉහළින් තබා ගත හැකි තරමේ නිෂ්පාදනයක් රට ඇතුලෙ සිදු වෙනවා. නමුත්, මධ්‍යගත සැලසුම් යටතේ නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම වුනේ ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලියට වඩා අඩුවෙනුයි. ඒ නිසා, සෝවියට් දේශයට කවදාවත් එක් සීමාවකින් ඔබ්බට ජාත්‍යන්තරවාදී විය හැකි තරමේ ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. එහෙත්, ආර්ථිකයට ඔරොත්තු දෙන තරමට සෝවියට් දේශය ජාත්‍යන්තරවාදී වුනා.

සමාජවාදී මධ්‍යගත සැලසුමක් යටතේ සංකල්පීය ලෙස කොහොම වුනත් ප්‍රායෝගිකව ජාත්‍යන්තරවාදී විය හැකි සීමාවක් තිබෙනවා. සමාජවාදී රටක් ජාත්‍යන්තරවාදී වෙන්න උත්සාහ කරන තරමට රට ඇතුළේ සිටින මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළ වැටෙනවා. එවිට, රට ඇතුළේ මිනිස්සුන්ගේ සහයෝගය පවත්වාගත හැකි තරමට ජාතිකවාදී වෙන්න සිදු වෙනවා. මේ එක්කම සංකල්පීය අවුලක් ඇති වෙනවා. සියලුම මිනිසුන් සමානයි. එහෙත්, රට ඇතුළේ ජීවත් වන මිනිස්සු වඩා සමානයි.

සෝවියට්  ආර්ථීකය බිඳ වැටීම, සෝවියට් දේශය බිඳ වැටී රුසියන් ජාතිකවාදය ඉස්මතු වීම වගේම චීන ජාතික සමාජවාදය මේ සන්දර්භය ඇතුළේ තේරුම් ගන්න පුළුවන්.

ධනවාදය ඇතුළේ සියලුම මිනිසුන් (නිෂ්පාදන හැකියාව අතින්) සමාන සේ පිළි නොගැනෙන නිසා මේ අවුල මේ විදිහට ඇති වෙන්නේ නැහැ. නමුත්, වෙනත් විදිහක අවුලක් තිබෙනවා.

ධනවාදයේ පදනම නිදහස් ගනුදෙනු වලින් ගනුදෙනුවේ දෙපාර්ශ්වයටම හිමිවන ලාබය. මෙහිදී වැදගත් වන්නේ ලාබයේ ප්‍රමාණය මිස ගනුදෙනුවේ පාර්ශ්ව කවුද කියන එක නෙමෙයි. ලංකාවේ අර්තාපල් කිලෝවක් හදන්න යන වියදමට වඩා අඩුවෙන් ඉන්දියාවෙන් අර්තාපල් කිලෝවක් ආනයනය කරන්න පුළුවන්. ලංකාවෙන් ඇඟළුම් ආනයනය කරන එක ඇමරිකාවේ ඇඟලුම් හදනවාට වඩා ලාබයි.

රටවල් අතර පූර්ණ නිදහස් වෙළඳාමක් තිබෙනවානම් ලෝකයේ කොහේ හෝ තිබෙන ලාබම ශ්‍රමයට වැඩිම ඉල්ලුමක් ලැබෙනවා. ඒ නිසා, ලෝකයේ කොහේ හෝ ඉන්න දුප්පත්ම මිනිස්සුන්ගේ ආදායම් එන්න එන්න වැඩි වී රටවල් අතර ආදායම් පරතරය අඩු වෙනවා. ඒ වගේම දුප්පත් රටවල් වල ආදායම් විෂමතාත් අඩු වෙනවා. නමුත්, මේ වැඩෙන් ධනවත් රටවල රට ඇතුළේ ආදායම් පරතරය වැඩි වෙනවා.

සෛද්ධාන්තිකව ගත්තොත් ධනවාදයත් ජාත්‍යන්තරවාදීයි. ලංකාවේ පාරිභෝගිකයෙක්ට වැදගත් වන්නේ පුළුවන් තරම් ලාබෙට අර්තාපල් කිලෝවක් මිල දී ගන්න එක මිසක් ගෙවන සල්ලි යන්නේ ලංකාවේ ගොවියෙක්ටද ඉන්දියාවේ ගොවියෙක්ටද කියන එක නෙමෙයි. සමස්ත ක්‍රියාවලියම සලකා බැලුවහම ඉන්දියාවේ ගොවියාට සල්ලි යන එක වඩා කාර්යක්ෂමයි. එයින් වෙන්නේ ලංකාවේ ගොවියාට තමන්ගේ අකාර්යක්ෂමතාවය නඩත්තු කරගන්න බැරි වීමයි. එය ඔහුගේ හෝ ඇයගේ පුද්ගලික ප්‍රශ්නයක් මිස සමාජ ප්‍රශ්නයක් නොවෙයි කියා හිතුවොත් මෙහි අවුලක් නැහැ. නමුත්, ගොඩක් අය එහෙම හිතන්නේ නැහැ.

රටවල් අතර සිදු වන ගනුදෙනු නිසා වන වාසි හා අවාසි පිළිබඳ තත්ත්වය මීටත් වඩා සංකීර්ණයි. හේතුව කිසිම රටක පූර්ණ නිදහස් වෙළඳපොළක් නැතිවීමයි. රටවල් ඇතුළේ වෙළඳාම නිදහස්ව නොතිබියදී ජාත්‍යන්තර වෙළඳාම පමණක් පූර්ණව නිදහස් කරලා අපේක්ෂිත කාර්යක්ෂමතාවය ලබා ගන්න බැහැ. අපි හිතමු ඉන්දියාවේ රජය විසින් ඉන්දියාවේ අර්තාපල් වගාව සුබසාධනය කරනවා කියලා. දැන් ලංකාවට එන ඉන්දියානු අර්තාපල් ලාබයි. ලංකාවේ අර්තාපල් ගොවියාට මේ මිලට අර්තාපල් හදන්න බැහැ. නමුත්, ඒ ලංකාවේ අර්තාපල් ගොවියාගේ අකාර්යක්ෂමතාවය නිසා නෙමෙයි. ජාතික රාජ්‍ය ලෙස දේශපාලනිකව වෙළඳපොළ බෙදී තියෙද්දී මේ වගේ විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

ආර්ථික වර්ධනය පිළිබඳ අභිසාරී වීමේ න්‍යාය කාලයක් ජනප්‍රියව තිබුණු එකක්. මේ න්‍යාය අනුව, දුප්පත් රටවල් වඩා වේගයෙන් සංවර්ධනය වී කලක් යද්දී ලෝකයේ රටවල් අතර ආදායම් විෂමතා දුරු විය යුතුයි. එහෙත්, ප්‍රායෝගිකව සිදු වී තිබෙන්නේ එහි අනෙක් පැත්තයි. රටවල් අතර ආදායම් විෂමතා එන්න එන්නම වැඩි වෙනවා. මෙයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ධනවත් රටවල අඩු ආදායම්ලාභීන් දිගින් දිගටම සුබසාධනය වීමයි.

කොහොම වුනත් පසුගිය දශක ගණනාවක් මුළුල්ලේම ධනවාදයේ යම් ජාත්‍යන්තරවාදී ප්‍රවේශයක් දකින්න ලැබුණා. එහි වාසිය දුප්පත් රටවල ශ්‍රමිකයින්ටත්, ධනවත් රටවල ප්‍රාග්ධන හිමියන්ටත් ලැබුණා. එහෙත්, ධනවත් රටවල පහළ ස්ථර වලට මෙයින් සිදු වුනේ අවාසියක්. බටහිර රටවල ජාතිකවාදයන් ශක්තිමත් වෙන්න පටන් ගත්තේ මේ කණ්ඩායම ටිකෙන් ටික විශාල වී අදාළ රටවල බහුතරය බවට පත් වීමෙන් පසුවයි.

ඇමරිකාව වැනි බටහිර රටක පහළ ආදායම් ස්ථරයක සිටින අයෙකු තමන්ගේ ජීවන තත්ත්වය පහළ යාමට හේතුව චීන ශ්‍රමිකයෙකුට රැකියා හිමි වීම කියා හිතද්දී, තමන් එම චීන ශ්‍රමිකයාට වඩා අකාර්යක්ෂමය යන කරුණ අමතක කරනවා. ඒ පදනම මත ජාතිකවාදය විසඳුමක් සේ දකිනවා. එහෙත්, ධනවාදය විසින් සොයන්නේ කාර්යක්ෂමතාවය නිසා චීන ශ්‍රමිකයා වෙනුවට ඇමරිකන් ශ්‍රමිකයෙකු ආදේශ වෙන්නේ නැහැ. එසේ වුවහොත් ඒ තාවකාලිකව පමණයි. බොහෝ විට චීන ශ්‍රමිකයා වෙනුවට ආදේශ වෙන්නේ ස්වයංක්‍රීය රෝබෝවක් වෙන්න පුළුවන්.

(Image: https://www.livescience.com/8315-earth-survive.html)

වෙබ් ලිපිනය: