වෙබ් ලිපිනය:

Saturday, October 10, 2015

අපරාධය සහ දඬුවම සහ ආවස්ථික පිරිවැය


අඩ සියවසකට හෝ ඊටත් පෙර, කේටරින් සර්විස් වලට කොන්ත්‍රාත් නොදී හත් දොහක් මඟුල් කන යුගයේදී ගමේ ප්‍රභූ වරයෙකුගේ නිවසක පැවති මංගල උත්සවයකට සහභාගී වී බඩ පැලෙන්නට කෑමබීම සහ අතුරුපස ගිලදමා උස්මුරුත්තා වී, හුස්ම ගැනීමට පවා අපහසුව දඟලන ජෙමා ගැන අනුකම්පා සිතුණු ගමේ වෙදමහත්තයා ඔහුට මෙවැනි උපදෙසක් දුන් බව කියවේ.

"ජෙමෝ, ඇඟිල්ලක් උගුරට දාල වමනෙ කරපං. එතකොට ඕක හරියයි!"

එවිට ජෙමාගේ පිළිතුර වී ඇත්තේ මෙවැන්නකි.

"කොහේ ඇඟිලි ගහන්නද වෙද මහත්තයෝ! ඇඟිල්ලක් ගහන්න ඉඩක් ඉතුරුවෙලා තිබුනනං මම තව කෙහෙල් ගෙඩියක් කනවනේ."

ඇඟිල්ලක් ගසන්නට හැකි ඉඩක් ඉතුරු කර ගැනීමේ ආවස්ථික පිරිවැය තවත් කෙසෙල් ගෙඩියක් කෑමට ඇති අවස්ථාවයි.

***
සාහිත්‍ය මාසය තුළ සාහිත්‍යයට අදාළ බ්ලොග් සටහන් රැසක් ලියවී තිබුණේය. සාහිත්‍යය ගැන කතා කිරීමට සාහිත්‍ය මාසයක්ම අවශ්‍ය වේයැයි මා සිතන්නේ නැත. මේ අයුරින්ම කාන්තාවන්, දරුවන්, ආබාධිතයින් හෝ වෙනත් විශේෂ විෂයයක් ගැන කතා කිරීම විශේෂ දින වලම සිදුවීම අවශ්‍ය නැත. එහෙත්, මෙවැනි දින හෝ මාස නම් කර තිබීම නිසා ඒ කාලය තුළ හෝ අදාළ විෂයය ගැන විශේෂ අවධානයක් යොමුවීම එසේ නොවනවාට වඩා සාධනීය දෙයකි.

සාහිත්‍ය මාසය තුළ සාහිත්‍යය ගැන කතා කිරීමට යම් තරමකින් බාධාවක් වූයේ අදාළ මාසය තුළ සිදුවූ කණගාටුදායක සිදුවීම් කිහිපයක් නිසා බොහෝ දෙනෙකුට සාහිත්‍යය පැත්තකින් තබා අපරාධ සහ දඬුවම් ගැන කතා කිරීමට සිදුවීමයි.

බ්ලොග් ලිවීම පිරිවැය අධික කටයුත්තකි. අපායේ ඉන්ටවල් එකක් වැනි කාලයකදී බ්ලොග් ලිවීම ඇරඹු මා මේ දිනවල වැඩේ ඇදගෙන යන්නේ අන්තිම කෙසෙල් ගෙඩිය ඔබා ගැනීමට ඇති ඉඩකඩද ප්‍රයෝජනයට ගනිමිනි. මෙසේ අමාරුවෙන් කාලය සොයාගනිමින් යමක් ලියන බොහෝ දෙනෙකුට අපරාධ සහ දඬුවම් ගැන කතා කරන්නට වෙන්නේ සාහිත්‍යය වැනි වෙනත් කරුණක් ගැන කතා කිරීමට ඇති අවස්ථාවක් නැති කර ගනිමිනි. මේ මෑතකාලීන අපරාධ වල තවත් 'වියදමකි'.

***
ෆියෝදර් දොස්තොයෙව්ස්කිගේ අපරාධය සහ දඬුවම ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතියක් ලෙස බොහෝ දෙනා සලකති. එහෙත්, සාමාන්‍යයෙන් පොත් කියවන අය අතරින් වුවද බොහෝ දෙනෙකු මේ පොත කියවා නොමැති බව මගේ අදහසයි. එසේ කියවා නැත්තේ මේ පොත කියවීමේ 'විශාල' ආවස්ථික පිරිවැය නිසාය. මේ පිරිවැය විශාල වන්නේ මේ පොත අනෙක් පොතකට සාපේක්ෂව විශාල ලෙස මිල අධික එකක් නිසා නොවේ. පොත නොමිලේ ලැබුණද එය කියවීමට සැලකිය යුතු කාලයක් ගතවන බැවිනි. ඒ කාලය තුළ වෙනත් සරල පොත් කිහිපයක් කියවිය හැකිය. අපරාධය සහ දඬුවම වැනි කෘතියක් කියවා තෘප්තියක් ලැබිය හැක්කේ කලක් පොත් කියවා පුහුණුවක් ඇති කෙනෙකුටය. සාමාන්‍යයෙන් පොත් නොකියවන කෙනෙකුට මෙවැනි 'බර' පොතකින් තෘප්තියක් ලැබීම අපහසුය.

***
දශක කිහිපයකට පෙර අපරාධ මුල්කර ගත් ත්‍රාසජනක 'මාරක' කතා ප්‍රමුඛ සරල පොත් දහසකට අධික ගණනක් ලියූ ඩීමන් ආනන්දව කිසිවිටෙකත් සම්භාව්‍ය ලේඛකයෙකු ලෙස සැලකුණේ නැත. කෙසේවුවද, ඔහු ලියූ මේ සම්භාව්‍ය නොවන පොත් ඒ දිනවල උණුකැවුම් මෙන් විකිනුණේය. අසංග අබේසුන්දරගෙන් ලබාගත් තොරතුරු අනුසාරයෙන්, පසුගිය වසරේ සාහිත්‍ය මාසයේදී නාලක ගුණවර්ධන විසින් සටහන් කර ඇති පරිදි සාහිත්‍යකරණයට විශාල උනන්දුවක් තිබූ ඩීමන් ආනන්දගේ මුල්ම සාහිත්‍ය නිර්මාණය වී ඇත්තේ දොස්තොයෙව්ස්කිගේ අපරාධය සහ දඬුවම කෘතියේ සිංහල පරිවර්තනයකි. එහෙත්, වෙළඳපොළ සාධක මත මේ අත්පිටපතේ ආයුකාලය දිගු එකක් වී නැත. එයින් පසුව ඩීමන් ආනන්ද විසින් 'විකිණෙන පොත්' ලියන්නට පටන්ගෙන තිබේ. ප්‍රකාශකයෙකු සොයාගත නොහැකිව ගිණිතබා පුළුස්සා දැමීම සඳහා අත්පිටපතක් ලිවීමට ආවස්ථික පිරිවැයක් දැරීමට වඩා විකිණෙන පොතක් වෙනුවෙන් ඒ පිරිවැය දැරීම පලදායක බව ඔහුට තේරී ඇත.


***
තමන්ගේ නිර්මාණකරණයේ සමාජ දායකත්වය පිළිබඳව ඩීමන් ආනන්දගේ අදහස වී ඇත්තේ මෙවැන්නකි.

‘‘රේස් කොලේ කියමින් සිටි වැඩ කරන ජනතාවට පොත් කියැවීම පුරුදු කළේ මමයි!’’

‘‘අද සිටින සමහර ප‍්‍රවීණ උගතුන් මුලින් මගේ පොත් කියවා ගැටවර අවධියේ එතැනින් වෙනත් පොත්පත්වලට යොමු වූ අයයි. ඔවුන් ප‍්‍රසිද්ධියේ කීවත් නොකීවත් එය මා දන්නවා.’’

(උපුටා ගැනීම: http://nalakagunawardene.com/2014/09/24/)

පොත් නොකියවන කෙනෙකු කවර අයුරකින් හෝ පොත් කියවීමට හුරුවූ පසු තවතවත් පොත් කියවීමට පෙළඹීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. ඒ අනුව, ඩීමන් ආනන්දගේ පොත්වලින් යහපතක් සැලසී ඇත. අනෙක් අතට, මෙවැනි පොත් වලින් කියවීම අරඹන ඇතැමුන් පසුකාලීනව වඩා ගැඹුරු පොත් කියවීමට යොමුවිය හැකිවුවත් මෙවැනි මට්ටමකින් කියවීම අරඹන පාඨකයෙකු අපරාධය හා දඬුවම වැනි පොතක් රස විඳිය හැකි මට්ටමට රුචිකත්වය පුළුල් කර ගැනීම සුලභ සිදුවීමක්යැයි මා සිතන්නේ නැත. ඩීමන් ආනන්දගේ පොත් සහ දොස්තොයෙව්ස්කිගේ පොත් වල පරිවර්තන ආදේශක ලෙස සැලකිය හැකිනම් ඒවා ඉතා දුර්වල ආදේශක විය යුතුය. කෙසේවුවද, දොස්තොයෙව්ස්කිගේ පොතක් කියවන මට්ටමට පාඨකයෙකුගේ රුචිකත්වය වර්ධනය නොකිරීම නිසා රේස් කොළය පමණක් කියවන කෙනෙකුට මොනවා හෝ පොතක් කියවීමට පුරුදු කිරීමේ සමාජ වටිනාකම අවතක්සේරු කළ යුතු නැත.

***
කියවීම මඟින් මිනිසෙකු 'හොඳ' මිනිසෙකු කෙරෙන බව පැවසේ. මෙහි 'හොඳ' යන්නෙන් අදහස් වෙන්නේ දියුණු සමාජ හැසිරීමකි. මේ පදනම මත වැඩි සමාජ වාසියක් සැලසෙන්නේ අපරාධය හා දඬුවම වැනි පොතකින්ද නැතහොත් මාරක කතා පොතකින්ද?

මේ ප්‍රශ්නය බැලූ බැල්මටම පෙනෙන තරම් සරල ප්‍රශ්නයක් නොවේ. අපරාධය හා දඬුවම වැනි පොතක් සාමාන්‍යයෙන් කියවන්නේ කලක් තිස්සේ පොත් කියවීම පුහුණු කළ සාපේක්ෂව හොඳ සමාජ හැසිරීමක් ඇති, පුළුල් සමාජ දෘෂ්ඨියක් ඇති අයෙකි. මෙවැන්නෙකු අපරාධය හා දඬුවම නොකියවූ පමණින් දරුණු සමාජ විරෝධියෙකු වීමට විශාල ඉඩකඩක් නැත. අනෙක් අතට, රේස් කොළය පමණක් කියවන්නෙකු සමාජ විරෝධී පුද්ගලයෙකු වීමට වැඩි ඉඩකඩක් තිබේ. එවැන්නෙකු, 'පොතක් පත්තරයක් කියවීමට' හුරුකිරීමේ ආන්තික සමාජ වටිනාකම කොහොමටත් සමාජ විරෝධියෙකු වීමට අඩු ඉඩකඩක් ඇති අයෙකුට සම්භාව්‍ය කෘතියක් කියවීමට ඉඩ සැලසීමෙන් ලැබෙන ආන්තික සමාජ වටිනාකමට වඩා වැඩි විය හැකිය.

එක් පිස්සෙක් තවත් පිස්සෙක්ට ඉරට වඩා ප්‍රයෝජනවත් වන්නේ හඳ බව කියා ඇත. ඉර පායන්නේ කොහොමටත් එළිය ඇති දවල් කාලයේය. හඳ පායන්නේ එළියක් නැති රෑටය. ඒ නිසා, හඳ විසින් කරන්නේ ඉරට වඩා වැඩි සේවයකි. උඩින් මා කියා ඇති දෙය, මේ කතාව වැනි එකක් නොවේ.

***
සාහිත්‍ය මාසයේදී නිර්මාණ හැකියාවක් ඇති ඇතැම් අයට අපරාධ ගැන සහ ඒවාට ලබාදිය යුතු දඬුවම් ගැන කතා කිරීමට කාලය යෙදවීමට සිදුවීමෙන් සිංහල සාහිත්‍යයට යම් පාඩුවක් වූවා විය හැකිය. රසික විසින් පෙන්වාදී ඇති පරිදි සිංහල බ්ලොග්ද සිංහල සාහිත්‍යයේ කොටසක් බැවිනි. කෙසේවුවද, වෙනත් හේතුවක් නිසා මේ අවාසිය අඩුවී තිබේ.

සාමාන්‍යයෙන් අපරාධ සහ දඬුවම් සම්බන්ධ කටයුතු වෙනුවෙන් කාලය යොදවන ආයතනයක් මෙවර සාහිත්‍ය මාසය තුළ ප්‍රබන්ධකරණය සඳහා විශාල කාලයක් යෙදවීම ඉතා වැදගත් සිදුවීමකි. වයස වසර එකසිය හතලිස් නවයක් වුවත් තවමත් "ලොකු වී" නැති මේ ආයතනයට මීළඟ සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම ප්‍රබන්ධය සඳහා සම්මානය හිමිවන්නට ඉඩතිබේ.

***
අන්තිම කෙහෙල්ගෙඩියත් ගිලනොදමා, හදිසියේ උස්මුරුත්තා වුවහොත් වමනය දැමීම සඳහා ඇඟිල්ලක් ගැසීමට ඉඩක්වත් ඉතිරි කර ගත හැකිනම් ඒ ආයතනයේ පමණක් නොව රටේත් සෞඛ්‍යයට හොඳය.

(Photo credit: https://bookinfosl.com/Book/Details/11/aparadhaya-saha-danduwama)

19 comments:

  1. ප්‍රභූ වරයගේ බැඳල දවස් කීපෙකින් පාරේ යනකොට දැක්කලු ඉතාම ලස්සන කාන්තාවක්. ඒ කාන්තාව ප්‍රභූ වරයත් එක්ක සති අන්තයක් ගත කරන්න එන්න කැමතියි කියල කිව්වලු. බැඳපු කෙනෙක් නිසා එම යෝජනාව හිතින් බැන බැන ප්‍රතික්ශේප කරන්න මිස්ටර් ප්‍රභූට සිදු වුනාලු. විවාහවීමේ පිරිවැය වෙඩිං එකෙන් ඉවර වෙන්නෙ නැති බවත් සුරංගනාවියක් වගේ ඉන්න මේ කාන්තාව එක්ක නුවර එළියේ ගොල්ෆ් ක්ලබ් එකේ සතිඅන්තයක් ගතකිරීමේ සතුට නැතිවීම විවාහ වීමේ ආවස්ථික පිරිවැයක් (An opportunity cost) කියල ප්‍රභූට තේරුම් ගිහින් "අනේ අපොයි" කියල කියවුනාළු.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ප්‍රභූලා සහ ප්‍රභීලා අවිවාහකව ඉන්නේ හෝ බොහෝ කල් පසුවී විවාහ වන්නේ ඇයි?

      Delete
  2. පත්තරේක දැක්කා ඩෙත් රෝ එකේ ඉන්න 80% අධ්‍යාපනයක් නොලද සමාජයේ පීඩිත පන්තියේ පිරිසක් බව..

    නමුත් එතන නොකියවෙන දේ තමයි අපරාධකාරයන්ගෙන් 94% ඉන්නේ එලියේ කියන එක..

    ඒකෙන් කියවෙන අමූලික සත්‍යය තමයි දැණුම් තේරුම් ඇති, සල්ලිය භාගේ තියෙන එකා හොඳ ලෝයර් කෙනෙක් අල්ලගෙන කිසි අවුලක් නැතිව ආයෙත් සමාජගත වෙනවා කියන එක..

    නීතීය හරියාකාරයෙන් ක්‍රියාත්මක නොවන තෙක් "අපරාදයට දඬුවම්" විඳීම තව දුරටත් මේ ලෙසම පවතීවී.. එතකොට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකරන්නේ අර පත්තරේ තිබුන සෙට් එකද....?

    ReplyDelete
    Replies
    1. මේ ගැන ඊළඟ පොස්ට් එකෙන් කතා කරන්නයි ඉන්නේ, මාතා.

      Delete
  3. බ්ලොග් ලියන්න යන්නේ දවසේ ඇති කාලයෙන් හොඳම ඵලදායී කාලයයි!

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම වෙලා යන්නේ කියවන්න. රසික දිනකට කියවන බ්ලොග් ප්‍රමාණය මට හිතාගන්නත් අමාරුයි.

      Delete
  4. ඩීමන් ආනන්දගේ පොත් කියව්වේ වයස අටේදී . තාත්තට කවුද බැනල තිබුන ඇයි ළමයට මුකුත් කියන්නේ නැත්ත කියල. තාත්ත කිව්වා එයට වැඩිය තේරෙන්නේ නැහැ නමුත් කියවන්න කැමතියි ඔහේ කියවපුවාවේ කියල. නවයුගය, මිහිර කියවන්න පටන් ගත්තෙත් ඒ කාලේ. පිට රටක හිටියනම් ඩීමන් ආනන්ද ත් පොරක් තමයි.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ඩීමන් ආනන්දගේ පොත් කියවලා එතැනින් නොනැවතුණු අය ඕනෑතරම් ඉන්නවා.

      Delete
  5. පොත නොමිලේ ලැබුණද එය කියවීමට සැලකිය යුතු කාලයක් ගතවන බැවිනි. ඒ කාලය තුළ වෙනත් සරල පොත් කිහිපයක් කියවිය හැකිය.
    ඒ පොත ගැන හොඳම විවරණය වන්නට පුළුවන් . අනෙක් කාරණය එය කියවා රසවිඳීමට නම් යම් මානසික නිහස් වටපිටාවක් තිබිය යුතු වීමයි

    ReplyDelete
    Replies
    1. ඔවු, ඒක ඇත්ත. සමහර චිත්‍රපටි දෙකක් දාගෙන බලන්න පුළුවන් වුනාට හැම එකම බෑ වගේම තමයි පොතුත්.

      Delete
  6. ඔයා ආර්ථික විද්‍යාව ලස්සනට උගන්නනවා.හොඳ ටීචර් කෙනෙක්. :D

    Crime and Punishment බලලා ඉවර කලා.:P

    ReplyDelete
    Replies
    1. මොකක්? Crime and Punishment ඉවර කලා? පොඩ්ඩිව මේ පාර නොබෙල් සාම ත්‍යාගයට යෝජනා කරන්න වෙනවා.

      Delete
  7. ඩීමන් ආනන්දගේ එක පොතයි කියවලා තියෙන්නේ ඒ "බදුලු කොච්චිය"

    ReplyDelete
    Replies
    1. මමත් ඩීමන් ආනන්දගේ ගොඩක් පොත් කියවලා නැහැ, මනෝජ්.

      Delete
  8. මාත් කැමතියි හඳට :) ඉර හෙන ගණන් නෙහ්.. කෙහෙල් ගෙඩියක් කන්න තිබ්බ ඉඩෙන් තමයි කොමෙන්ටෙකක් වත් කොටා ගන්නේ මේ ටිකේ..

    ReplyDelete
    Replies
    1. හුස්ම ගන්න බැරි තරමට මිනිස්සු පැක් කරපු කාමරේකට වුනත් රජතුමා එනකොට පාවඩේ එලන්න අඩි තුනක තීරුවක්‌ ලස්සනට හැදෙනවලුනේ.

      Delete
  9. මම දෙපාරක් කියවනන අරගෙන නැවැත්තුව මම හිතනවා මට තවම අපරාධය සහ දඬුවම පොත බර වැඩි කියලා..
    හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඕක ට්‍රාන්ස්ලේට් කරන්න රවීට දුන්නනම් කොහොම හරි ගොඩදානවා.

      Delete
  10. ඩීමන් ආනන්දගේ පොත්වල නැවත මුද්‍රණ කිහිපයක් කියවා තිබෙනවා - අපරාධය හා දඩුවම නම් කියවා නැහැ - මාර්ටින් වික්‍රමසිංහ කියනවා ඒ පොත කියවන්න විශාල මානසික දමනයක් අවශ්‍යයැයි කියල - ඒක කියෙව්වම හිස පීරිගානවා වගේ හැඟීමක් එන බව ඔහු කියල තියනවා - කවදා හෝ දිනක මම ඒක කියවනවා

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: