Tuesday, May 8, 2018

ආර්ථිකය සනීපෙන්ද?


පසුගිය 2017 වසරේදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.1% මට්ටමට පල්ලම් බැස්සේය. 1977න් පසුව ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේ තරමට පහත වැටුනේ ජවිපෙ විසින් රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය කළ 1987-89 අවුරුදු වලදී හා එල්ටීටීඊ සංවිධානය විසින් කටුනායක ගුවන් තොටුපොළ ප්‍රහාරය හරහා රටේ ආර්ථිකය අකර්මන්‍ය කළ 2001 වසරේදී පමණි. විවිධ ආකෘතිමය ප්‍රශ්න හමුවේ වුවත්, 1977න් පසු ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 5% මට්ටමට වඩා ඉහළින් තිබුණේය.

කිසියම් රටකට දිගුකාලීනව පවත්වා ගත හැකි සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය "විභව ආර්ථික වර්ධන වේගය" ලෙස හැඳින්වේ. මෙය කිසියම් රටක ශ්‍රමයේ ඵලදායීතාවය, ඉතිරි කිරීම් අනුපාතය හා තාක්ෂණයේ දියුණුව ආදී කරුණු මත රඳා පවතින්නකි. දේපොළ අයිතිවාසිකම් සුරැකීම, නීතියේ සාධාරණත්වය පවත්වා ගැනීම ආදී දේ මඟින් ඉහත කී විභව ආර්ථික වර්ධනය පවත්වා ගන්නට රජයකට උදවු කළ හැකි වුවත් මූලික වශයෙන්ම රටක දිගුකාලීන ආර්ථික වර්ධනයට දායක වන්නේ ව්‍යවසායකයින් මිස රජය නොවේ.

ඇතැම් වසර වලදී කිසියම් රටක ආර්ථිකය එහි විභව වේගයෙන් වර්ධනය වන්නේ නැත. තවත් වසර වලදී එය විභව වේගයටත් වඩා වේගයකින් වර්ධනය වෙයි. ආර්ථික වර්ධනයෙහි සිදුවන මේ ආකාරයේ චක්‍රීය විචලනයන් ව්‍යාපාර චක්‍ර ලෙස හැඳින්වේ.

කිසියම් ආර්ථිකයක් එහි විභව මට්ටම ඉක්මවා නිෂ්පාදනය ඉහළ නැංවූ විට විරැකියා අනුපාතිකය දිගුකාලීන ස්ථාවර මට්ටමට වඩා පහළ යයි. එහෙත්, උද්ධමනය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ යයි. අනෙක් අතට, ආර්ථික පරිමාව විභව මට්ටමට වඩා අඩු වූ විට මිල මට්ටම් (උද්ධමනය) පහත වැටෙන නමුත් විරැකියා අනුපාතිකය ඉහළ යයි.

මහ බැංකුවක් විසින් ක්‍රියාත්මක කරන මුදල් ප්‍රතිපත්ති වලින් හා රජයයන් විසින් ක්‍රියාත්මක කරන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වලින් කරන්නේ ඉහත කී ආකාරයේ ව්‍යාපාර චක්‍ර වල බලපෑම් අවම කර විරැකියා අනුපාතිකය, උද්ධමනය හා ආර්ථික වර්ධන වේගය ස්ථාවරව තබා ගැනීමයි. මෙය කරන්නට උත්සාහ ගන්නේ රටේ සමස්ත ඉල්ලුමට බලපෑම් කිරීම මඟිනි.

රටේ ආර්ථිකයට මහ බැංකු හා රජයයන් විසින් බලපෑම් කරන්නේ ව්‍යාපාර චක්‍ර වලට හේතුව රටේ සමස්ත ඉල්ලුමෙහි සිදුවන අඩු වැඩි වීම්ය යන කීනිසියානු අදහස මත පදනම්වය. ඒ අනුව, රටක ආර්ථික වර්ධන වේගය දිගුකාලීන (විභව) මට්ටමට වඩා අඩු වූ විට, රජය විසින් සෘජුව කරන වියදම් ඉහළ දැමීමෙන් හා බදු අනුපාතික අඩු කර ජනතාව අතේ ඉතිරි වන මුදල් ප්‍රමාණය වැඩි කිරීමෙන් රටේ සමස්ත ඉල්ලුම ඉහළ නැංවීම ආර්ථික වර්ධන වේගය විභව මට්ටමට නැංවීම සඳහා වන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති උපක්‍රමයයි. අලුතෙන් මුදල් මුද්‍රණය කර සංසරණයට එකතු කිරීම මඟින් හා පොලී අනුපාතික අඩු කර ණය ගැනීම පහසු කිරීම මඟින් වැඩියෙන් වියදම් කරන්නට පෙළඹවීම ආර්ථික වර්ධන වේගය විභව මට්ටමට නැංවීම සඳහා වන මුදල් ප්‍රතිපත්ති උපක්‍රමයයි.

මෙහිදී අදහස් කෙරෙන්නේ සමස්ත ඉල්ලුම වැඩි වූ විට ලාබ ලැබීමේ අවස්ථාවන් දැකීමෙන් නිෂ්පාදනය ඉහළ දමන්නට ව්‍යවසායකින් පෙළඹෙන බවයි. එහෙත්, එසේ නිෂ්පාදනය ඉහළ දැමිය හැක්කේ ඒ සඳහා අවශ්‍ය වන සම්පත් හා තාක්ෂනය ආදිය ඔවුන් සතුව තිබේනම් පමණි. රටේ සමස්ත නිෂ්පාදනය සාමාන්‍ය මට්ටමට වඩා අඩුවෙන් සිදුවන වන අවස්ථාවක මේ විභවය තිබුණත් රටේ සමස්ත නිෂ්පාදනය සාමාන්‍ය මට්ටමෙහි හෝ ඉහළින් පවතින විටක මෙවැනි විභවයක් නැති නිසා, වෙනත් සංකීර්ණ ආකෘතිමය ගැටළු ඇති නොකරමින්, මහ බැංකුවට හෝ රජයට මැදිහත් වී ආර්ථිකය ප්‍රසාරණය කළ නොහැක. එසේ කරන්නට උත්සාහ කළ විට සිදු වන්නේ වැඩි වූ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් සිදු නොවන නිසා මිල මට්ටම ඉහළ යාම පමණි.

රටේ සමස්ත නිෂ්පාදනය විභව මට්ටමේ නැති විට ඉහත ආකාරයෙන් තාවකාලික උපක්‍රමයක් ලෙස රජයේ බදු ආදායම් අඩු කරගන්නා අතරම රජයේ වියදම් වැඩි කළ හැකි වුවත් එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ අය හා වැය අතර පරතරයක් ඇති වෙයි. ඒ නිසා, රජයකට මැදිහත් වී රටක ආර්ථිකයක් දිගින් දිගටම ප්‍රසාරණය කළ නොහැකිය. එසේ කරන්නට උත්සාහ කළ විට සිදුවන්නේ ණය බර ක්‍රමයෙන් වැඩි වී කිසියම් මොහොතක රටේ ආර්ථිකය කඩා වැටීමයි. එය එසේ සිදු නොවන්නටනම් රජයක් විසින් පායනා කාලෙදී කන්න දේ රැස් කළ යුතුය. එසේත් නැත්නම්, රටේ සමස්ත නිෂ්පාදනය විභව මට්ටමට වඩා වැඩි වන අවස්ථා වලදී බදු වැඩි කර, රජයේ වියදම් අඩු කර අයවැය අතිරික්තයක් පවත්වා ගත යුතුය. දිගුකාලීනව ගොඩ නැඟී ඇති විශාල අයවැය හිඟයක් ඇත්නම් අඩු වශයෙන් ඒ හිඟය අඩු කර ගත යුතුය.

මේ අයුරින්ම, රටේ සංසරණයට අලුතින් මුදල් එකතු කිරීම මඟින් මහ බැංකුවට කෙටිකාලීනව මිනිසුන් "රැවටිය" හැකිය. අතේ වැඩිපුර මුදල් ගැවසෙන විට මිනිසුන් වැඩිපුර මුදල් වැය කරන්නට පෙළඹෙන නමුත් මේ උපක්‍රමය සාර්ථක වන්නේ අදාළ කාලයේදී විකුණාගත නොහැකි තරම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් රටේ සිදුවන්නේනම් පමණි. එවැනි විටෙක වුවද, නිෂ්පාදනය විභව මට්ටමට පැමිණීමෙන් පසුව මෙසේ සංසරණයට එකතු කළ මුදල් නැවත එකතු කරගෙන කෘතිමව වැඩි කළ ඉල්ලුම පාලනය නොකළොත් සිදුවන්නේ උද්ධමනය වැඩි වීමයි.

වෙනත් අයුරකින් කිවුවොත්, රටක නිෂ්පාදනය විභව මට්ටමට වඩා පහත වැටුණු විට එය ප්‍රසාරණය කිරීමේ හැකියාව වෙනුවෙන් මහ බැංකුවකට රටක නිෂ්පාදනය විභව මට්ටමට වඩා ඉහළ ගිය විට එය සංකෝචනය කරන ක්‍රියා මාර්ග ගන්නටද සිදු වේ. දැඩි මුදල් ප්‍රතිපත්තීන් ලෙස හැඳින්වෙන පොලී අනුපාතික ඉහළ දැමීම මඟින් ණය ගැනීම අධෛර්යමත් කිරීම හා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණා සංසරණය වන මුදල් නැවත මහ බැංකුව වෙත ඇද ගැනීම මෙවැනි ක්‍රියා මාර්ගයි.

ඉහත පදනම අනුව බැලූ විට, 5% මට්ටමට ඉහළින් තිබුණු ලංකාවේ පසුගිය දශක හතරේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයට සාපේක්ෂව, 2012න් පසු, පසුගිය පස් වසර තුළ දැකිය හැක්කේ අඩු ආර්ථික වර්ධන වේගයකි. පසුගිය 2017 වසරේදී මේ වර්ධන වේගය 3.1% මට්ටම දක්වා පහත වැටී ඇත. මේ අනුව, බැලූ බැල්මටම පෙනෙන්නේ ලංකාවේ ආර්ථිකය එහි විභව වේගයෙන් වර්ධනය නොවන බවයි.

කිසියම් රටක ආර්ථිකයක් එහි විභව වේගයෙන් වර්ධනය නොවන විට මහ බැංකුව හා රජය විසින් සාමාන්‍යයෙන් කරන්නේ ආර්ථිකය ප්‍රසාරණය කෙරෙන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනීමයි. මෙයට පොලී අනුපාතික පහත හෙලීම වැනි ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හා බදු අනුපාතික අඩු කරන අතර රජයේ වියදම් වැඩි කිරීම වැනි ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ඇතුළත්ය. එහෙත්, මේ අවස්ථාවේදී රජය හා මහ බැංකුව විසින් ගනිමින් සිටින්නේ එවැනි ප්‍රසාරණාත්මක ක්‍රියාමාර්ග නොවේ. මහ බැංකුව විසින් පවතින අඩු ආර්ථික වර්ධන වේගය නොසලකමින් දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර රජය විසින් බදු අනුපාතික ඉහළ නංවමින් හා රජයේ වියදම් කපා හරිමින් සංකෝචනාත්මක රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. මෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ ඉදිරි වසර වලදී රටේ ආර්ථික වර්ධන වේගය තවත් අඩු වීමයි.

මේ අයුරින් රටේ මහ බැංකුවට හා රජයට රටේ ආර්ථික වර්ධනයට තිරිංග යෙදීමට සිදු වී තිබෙන්නේ ඇයි? නිදහසෙන් පසුව ලංකාවේ ආණ්ඩු විසින් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් දිගින් දිගටම සිදු වී තිබෙන්නේ ලංකාවේ ආර්ථිකය එහි විභව මට්ටම ඉක්මවා ප්‍රසාරණය වීම බව අවසානයේදී රජයට හා මහ බැංකුවට පිළිගන්නට සිදුවී තිබේ. නිදහසින් පසු ලංකාව පාලනය කළ ආණ්ඩු විසින් දිගින් දිගටම ආදායමට වඩා වියදම් කරමින් රටේ සමස්ත ඉල්ලුම ඉහළ දමා ඇතත් එයට සාපේක්ෂව රටේ සමස්ත නිෂ්පාදනය වැඩි වී නැති නිසා අවසාන වශයෙන් සිදු වී තිබෙන්නේ ඔරොත්තු නොදෙන තරම් විශාල ණය කන්දක් ගොඩ ගැසීම පමණි.

ප්‍රශ්නයක් හඳුනා නොගෙන එයට පිළියම් යෙදිය නොහැකිය. මහ බැංකුවේ පැත්තෙන් කෙසේ වුවත් ආණ්ඩුවේ පැත්තෙන් රටේ ආර්ථික අර්බුදය නිවැරදිව හඳුනාගැනීමක් සිදුව තිබෙන්නේ සෑහෙන කාලයකට පසුවය. ඒ අනුව, රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් "ක්‍රෑෂ් ලෑන්ඩින්ග් එකක්" වලක්වා ගනිමින් "සොෆ්ට් ලෑන්ඩින්ග්" එකක් කරා ආර්ථිකය මෙහෙයවමින් සිටින බව පැහැදිලිය. වෙනත් විදිහකට කියනවානම් මහ බැංකුව හා රජය විසින් දැන් කරමින් සිටින්නේ එකවර සිදුවිය හැකි මහා පරිමාණ ආර්ථික සංකෝචනයක් වලක්වා ගැනීම උදෙසා රටේ ආර්ථික වර්ධනයට තිරිංග යොදමින් සිටීමයි.

ආර්ථිකය මෙවැනි තැනකට වැටුණු ආකාරය ගැන කතා කිරීමට කාලය යොදවනවාට වඩා වැදගත් වන්නේ ප්‍රශ්නයෙන් ගොඩ එන්නට පිළියම් යෙදීමයි. කෙසේ වුවත්, මේ "ණයට ගත් ආර්ථික සංවර්ධනය" ගැනත් එහි දිගුකාලීන ප්‍රතිවිපාක ගැනත් අපි පසුව කෙටියෙන් හෝ කතා කරමු.

2 comments:

  1. //රටක ආර්ථික වර්ධන වේගය දිගුකාලීන (විභව) මට්ටමට වඩා අඩු වූ විට, රජය විසින් සෘජුව කරන වියදම් ඉහළ දැමීමෙන් හා බදු අනුපාතික අඩු කර ජනතාව අතේ ඉතිරි වන මුදල් ප්‍රමාණය වැඩි කිරීමෙන් රටේ සමස්ත ඉල්ලුම ඉහළ නැංවීම ආර්ථික වර්ධන වේගය විභව මට්ටමට නැංවීම සඳහා වන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති උපක්‍රමයයි. අලුතෙන් මුදල් මුද්‍රණය කර සංසරණයට එකතු කිරීම මඟින් හා පොලී අනුපාතික අඩු කර ණය ගැනීම පහසු කිරීම මඟින් වැඩියෙන් වියදම් කරන්නට පෙළඹවීම ආර්ථික වර්ධන වේගය විභව මට්ටමට නැංවීම සඳහා වන මුදල් ප්‍රතිපත්ති උපක්‍රමයයි//
    මූල්‍ය ප්‍රතිපත්ති හා මුදල් ප්‍රතිපත්ති යනු දෙකක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්.

      රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති = Fiscal policy
      මුදල් ප්‍රතිපත්ති = Monetary Policy

      රටක රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ එම රටේ රජය විසින්. මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ එම රටේ මහ බැංකුව විසින්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.