Thursday, May 10, 2018

ඉන්ධනහල් ඉදිරිපිට පෝලිම් වල ඉන්නේ කවුද?


ආණ්ඩුව විසින් මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇති අතර මධ්‍යම රාත්‍රියට පෙර, පැරණි මිලටම ඉන්ධන ලබාගෙන සිය වාහනයේ ඉන්ධන ටැංකිය පුරවා ගන්නට ජනතාව පෝලිම් ගැසී සිටින බව පෙනේ.

ලංකාවේ ඉන්ධන මිල ඉල්ලුම හා සැපයුම අනුව නිදහසේ තීරණය නොවන අතර කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ඔවුන්ගේ අභිමතය පරිදි තීරණය කෙරේ. එසේ වුවද, සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්ධන හිඟයක් හෝ ඉන්ධන පෝලිම් දකින්නට නොලැබීමෙන් පෙනෙන්නේ සාමාන්‍ය දිනයකදී ඉන්ධන සඳහා වන ඉල්ලුම හා සැපයුම සමතුලනය වන බවයි.

මෙය මෙසේ සිදු වන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම සමතුලනය වන මිල හරියටම තීරණය කිරීමට තරම් දක්ෂතාවයක් රජයට තිබෙන නිසාද?

ඇත්තටම සිදුවන්නේ එවැන්නක් නොවේ. ලංකාවේ ඉන්ධන මිල බොහෝ විට තරඟකාරී තත්ත්වයන් යටතේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන නියම මිල නොවේ. එය ඇතැම් විට අඩු මිලකි. බොහෝ විට වැඩි මිලකි.

ඉන්ධන මිල නියම මිලට වඩා වැඩි වූ විට සැපයුම්කරුවෙකුට ඉන්ධන වෙළඳාමෙන් සුපිරි ලාභ ලැබිය හැකිය. කිසියම් සැපයුම්කරුවෙකු විසින් සුපිරි ලාභ ලබන විට වෙනත් සැපයුම්කරුවන් අදාළ කර්මාන්තයට ආකර්ශනය වන නමුත් ලංකාවේ රජය විසින් එය වලක්වා ඇති බැවින් රජයට ඉන්ධන වෙළඳාමෙන් සුපිරි ලාභ ලබන්නට හැකියාවක් තිබුණත් තරඟකාරිත්වයක් නොමැති කමින් ඇත්තටම සිදුවී තිබෙන්නේ මේ සුපිරි ලාභ ලැබීමේ හැකියාව අකාර්යක්ෂමතාවන් බවට පරිවර්තනය වී තිබීමයි. ඒ නිසා, ඉන්ධන වෙළඳපොළෙහි රජය සතු ඒකාධිකාරය නිසා පාරිභෝගිකයින්ට විශාල අලාභයක්  සිදුවුවත්, ඒ අලාභ වලට අනුරූප ලාභයක් රජයට හිමි නොවේ.

මෙහිදී මා ඒකාධිකාරය යන වචනය හිතාමතාම භාවිතා කළේ ඉන්දියානු තෙල් සමාගම හා ඛණිජ තෙල් සංස්ථාව අතර මිල තරඟයක් නොමැති බැවිනි. ඉන්දියානු තෙල් සමාගමට ඛණිජ තෙල් සංස්ථාවේ මිලට වඩා අඩුවෙන් ඉන්ධන විකිණීමට අවසරයක් නොමැත. ඒ නිසා, ඛණිජ තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවයන් පියවා ගැනීම සඳහා අය කරන, සමතුලිත මිලට වඩා ඉහළ, පාලන මිලට ඉන්ධන විකුණා සුපිරි ලාභ ලබන්නට ඉන්දියානු තෙල් සමාගමට හැකි වී තිබේ.

තවදුරටත් සමතුලිත මිලට වඩා වැඩි වුවත්, ඛණිජ තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතා හේතුවෙන් සුපිරි ලාභ තබා සාමාන්‍ය ලාභවත් නොලබමින් රජය විසින් ඉන්ධන අලෙවි කරන අවස්ථාද තිබේ. මෙවැනි වකවානු වලදීද ඉන්දියානු තෙල් සමාගම වෙළඳපොළෙහි රැඳී සිටීමෙන් තහවුරු වන පරිදි, එවැනි අඩු මිලකට විකිණීමේදී වුවද එම සමාගම පාඩු ලබන්නේ නැත. ඛණිජ තෙල් සංස්ථාව වැනි රාජ්‍ය ආයතනයක් පාඩු ලැබීම යනු අවසාන වශයෙන් එවැනි ආයතනයක අකාර්යක්ෂමතාවයේ පිරිවැය ඉන්ධන පාරිභෝගිකයින් නොවන පිරිස්ද ඇතුළු රටේ සියලු දෙනා මත පැටවීමකි.

ඉන්ධන මිල ඉහළ යාමත්, එයින් අනතුරුව ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් හැදීමත් ඇසුරින් මූලික ආර්ථික විද්‍යා මූලධර්ම ගණනාවක් පැහැදිලි කළ හැකිය.

පළමුව, මිනිසුන් යනු තමන්ගේ වාසි වෙනුවෙන් කටයුතු කරන පිරිසකි. ඉන්ධන ටැංකිය පුරවා ගැනීම සඳහා හෙට වන තුරු බලා නොසිට එය අදම කිරීමෙන් රුපියල් දෙතුන් සීයක සිට හත් අට සීයක් දක්වා වාසියක් ලැබිය හැකිය. කිසියම් භාණ්ඩයක මිල ඉහළ යනු ඇති බවට සමපේක්ෂණය කිරීම පමණක් නිසාද පාරිභෝගිකයෝ මේ අයුරින් හැසිරෙති. මේ අවස්ථාවේදී එවැනි සමපේක්ෂණය කිරීමක් අවශ්‍ය නොවන අතර මිල ඉහළ යන බව ස්ථිරය. ඒ නිසා, ලැබෙන වාසිය අපේක්ෂිත (සම්භාවිතාව එකට අඩු) වාසියක් නොව නිශ්චිත වාසියකි.

දෙවනුව, මෙසේ ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමක රස්තියාදු වීමේ ආවස්ථික පිරිවැයක් තිබේ. මේ කාලය වෙනත් වඩා ඵලදායී කටයුත්තක් සඳහා යෙදවිය හැකිය. එසේනම්, මේ අයුරින් පෝලිම් ගැසී සිටින්නේ තාර්කික හැකියාවක් නැති අයද?

එය එසේ නොවේ. මිනිසුන්ට තමන්ට හොඳ දෙය තෝරා ගැනීමේ ස්වභාවික හැකියාවක් තිබේ. අද මධ්‍යම රාත්‍රියට කලින් ඉන්ධන ලබා ගැනීමේ සෘජු මුදල් වාසිය පුද්ගලයා මත තීරණය නොවන්නක් වුවත් (සමාන වාහන ඇති) පුද්ගලයින් දෙදෙනෙකුගේ කාලයේ වටිනාකම මෙන්ම පෝලිමේ රස්තියාදු වීමට සිදුවීමෙහි ඇති අපහසුතාවයට පුද්ගලයින් දෙදෙනෙකු විසින් බර තබන ආකාරයද සමාන නැත. මේ පිරිවැය ලැබෙන වාසියට වඩා වැඩියයි සිතන අය ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් වලට එකතු වන්නේ නැත. එහෙත්, ලැබෙන වාසිය වැඩියයි සිතන්නෝ එසේ එකතු වෙති.

කිසියම් පාරිභෝගිකයෙකු විසින් භාණ්ඩයකට ලබා දෙන වටිනාකම එහි මිලට වඩා අඩු හෝ වැඩි විය හැකි අතර මේ වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. පාරිභෝගිකයෙකු විසින් භාණ්ඩයක් නිශ්චිත මිලකට මිලදී ගැනීම මඟින් ප්‍රදර්ශනය කරන්නේ එම පාරිභෝගිකයාට අදාළ භාණ්ඩයේ වටිනාකම එහි මිලට වඩා සමාන හෝ වැඩි බවයි. එය එසේ නොවේනම් මිලදී ගැනීමක් සිදු වන්නේ නැත.

පාරිභෝගිකයෙකු විසින් භාණ්ඩයකට ලබා දෙන වටිනාකම හා ගෙවන මිල අතර වෙනස පාරිභෝගික අතිරික්තයයි. එය භාණ්ඩයක් මිල දී ගන්නා පාරිභෝගිකයෙකු විසින් හැම විටම වාගේ ලබන වාසියකි. මිල සමාන වුවත්, පාරිභෝගික අතිරික්තය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

භාණ්ඩයක මිල රුපියලකින් වැඩිවන විට කිසියම් පුද්ගලයකුගේ පාරිභෝගික අතිරික්තයද රුපියලකින් අඩු වේ. එහෙත්, මිල වැඩි වීමට පෙර කිසියම් අයෙකුගේ පාරිභෝගික අතිරික්තය රුපියලකට වඩා අඩු වීනම්, එය රුපියලකින් අඩු විය නොහැකිය. මිල ඉහළ යාම නිසා එවැන්නෙකුට අහිමි වන්නේ කලින් ලැබූ රුපියලකට අඩු කවර හෝ ප්‍රමාණයක පාරිභෝගික අතිරික්තය පමණි. භාණ්ඩයේ මිල රුපියලකින් වැඩි වූ විට එවැන්නෙකුගේ පාරිභෝගික වටිනාකමට වඩා භාණ්ඩයේ මිල ඉහළ යන බැවින් භාණ්ඩය මිල දී ගැනීම තවදුරටත් වාසිදායක නොවන කටයුත්තක් බවට පත් වන නිසා මිල දී ගැනීම වැළකේ. ඒ නිසා, භාණ්ඩයක මිල ඉහළ යන සෑම විටකම කිසියම් පාරිභෝගික පිරිසක් වෙළඳපොළෙන් ඉවත් වන අතර මිල සහ ඉල්ලුම අතර දැකිය හැකි ප්‍රතිලෝම සම්බන්ධතාවයට හේතුව මෙයයි.

ඉහත කී අයුරින් භාණ්ඩයක මිල වැඩි වූ විට වෙළඳපොළෙන් ඉවත් වන්නේ අදාළ භාණ්ඩයට අඩුම වටිනාකමක් දුන් පාරිභෝගික පිරිසයි. වෙළඳපොළේ තවදුරටත් රැඳී සිටින්නේ භාණ්ඩයට වැඩි වටිනාකමක් දෙන පිරිසයි.

දැන් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෙළගැසී සිටින පිරිස හා එසේ පෙළ ගැසී නොසිටින පිරිස් අතර ඔවුන්ගේ පාරිභෝගික වටිනාකම් වල වෙනසක් තිබිය හැකිද?

මිල වැඩි වන බව දැන දැනම ඉන්ධන ටැංකි පුරවා ගන්නට වද නොවන්නේ ඉන්ධන වලට වැඩි වටිනාකමක් දෙන, වැඩි පාරිභෝගික අතිරික්තයක් ලබන අයයි. මිල වැඩි වීම නිසා ඔවුන්ගේ පාරිභෝගික අතිරික්තයද අඩු වී ඇතත්, ඔවුහු තවදුරටත් සැලකිය යුතු තරමේ පාරිභෝගික අතිරික්තයක් ලබමින් සිටිති. ඒ නිසා, ඉන්ධන මිල ඉහළ ගියද ඉන්ධන සඳහා වන ඔවුන්ගේ ඉල්ලුම එතරම් පහළ නොයනු ඇත.

මේ වෙලාවේ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෙළ ගැසී සිටින්නේ පවතින මිල යටතේ විශාල පාරිභෝගික අතිරික්තයක් නොලබන අයයි. ඔවුන් පෙර කී කණ්ඩායමට වඩා ඉන්ධන මිලට සංවේදී පිරිසකි. ඉන්ධන මිල තවත් වැඩි වුවහොත් වාහන ගරාජ් වලම තබාගන්නට මුලින්ම පෙළඹෙනු ඇත්තේ මේ කණ්ඩායමෙන් කොටසකි. අද රාත්‍රියේ සිදුවූ මිල වැඩි වීම නිසා ඔවුන්ගේ ඉන්ධන පරිභෝජනය සැලකිය යුතු ප්‍රමාණයකින් පහත යනු ඇත.

ලංකාවේ වාහන ගන්නා හැම දෙනෙක්ම එය කරන්නේ ප්‍රවාහන පහසුව පමණක් ගැන සිතමින් නොවේ. ආයෝජනයක් ලෙස සිතමින් හෝ තත්ත්ව සංකේතයක් ලෙස සලකමින් වාහන මිල දී ගන්නා අයද ලංකාවේ එතරම් අඩු නැත. මේ ඇතැම් අය සෝදා පිරිසිදු කර, සියලු වතාවත් කර ගරාජ් එකේම තබා ගන්නා වාහනය එළියට ගන්නේ විශේෂ අවස්ථාවකදී පමණි. ඔවුන් ප්‍රවාහනය සඳහා සාමාන්‍යයෙන් යොදාගන්නේ පොදු ප්‍රවාහන සේවාවන්ය. එවැනි වාහනයක ඉන්ධන ටැංකිය වරක් සම්පූර්ණයෙන් පුරවාගත් පසු නැවත මාසයක් දෙකක් යන තුරු ඉන්ධන අවශ්‍ය වන්නේ නැත.

එහෙත්, දිනපතා සියලු කටයුතු සඳහා වාහනය භාවිතා කරන අයෙකුගේ වරක් පුරවා ගත් ඉන්ධන ටැංකිය හිස් වන්නට වැඩි දවසක් යන්නේ නැත. එමෙන්ම, එවැන්නෙකු හදිසියකටවත් පොදු ප්‍රවාහන සේවා භාවිතා නොකරන්නේ පොදු ප්‍රවාහන සේවා වල රස්තියාදු වී නාස්ති නොකළ හැකි තරමට ඔවුන්ගේ කාලය ඔවුන්ට වටිනා නිසාය.

පළමු කාණ්ඩයේ අයෙකුට ඉන්ධනහලක් ඉදිරිපිට පෝලිමේ පැයක් දෙකක් සිටීමේ අවාසිය මහා ලොකු එකක් නොවන අතර මධ්‍යම රාත්‍රියට පෙර ඉන්ධන ටැංකිය පුරවා ගැනීමේ වාසිය තරමක් දිගුකාලීන එකකි. දෙවන කාණ්ඩයේ අයෙකුට ඉන්ධනහලක් ඉදිරිපිට පෝලිමේ පැයක් දෙකක් සිටීම සිතිය නොහැකි තරමේ "වියදම් අධික" කටයුත්තක් වනවා පමණක් නොව එයින් ලැබෙන වාසියද කෙටිකාලීන එකකි.

(Image: http://www.dailymirror.lk/article/Lengthy-queues-at-fuel-stations-127678.html)

13 comments:

  1. ඉන්ධන මිල ඉහළ යන බව ලංකාවේ සැම කෙනෙක්ම පාහේ දැනගෙන සිටි කරුණකි. එය සිදු වන්නේ කවදාද යන්න පමණක් අවිනිශ්චිතව පැවතිණි. අද රාත්‍රී සිට මිල ඉහළ යන බව දහවල දී ආරංචි වීම ඔබ සඳහන් කරන පෝලිම් ඇති වන්නට හේතුවයි.

    නිශ්චිතවම ඉන්ධන මිල වැඩි වන බව දැන ගැනීම කිසි දිනෙක මා පෝලිම් වෙත ආකර්ෂණය කිරීමට හේතුවක් නොවීය. මා සාමාන්‍යයෙන් සිරිතක් වශයෙන් කරන්නේ තව කිලෝ මීටර 50-60 යාමට පමණක් ඉන්ධන තිබියදී හෝ දිගු ගමනක් පිටත් වීමට පෙර හෝ ඉන්ධන ටැංකිය පුරවා ගැනීමයි. මෙයින් අපේක්‍ෂිත වාසිය වන්නේ ඉන්ධන හල් වලට යන වාර ගණනත් ඒවායේ ගෙවන කාලයත් හැකිතාක් අවම කර ගැනීම සහ වියදම් පාලනයයි (මෙහි පාලනය යනුවෙන් අදහස් කළේ සීමා කිරීම නොවේ).

    අදත් කාර්යාලයේ සගයන් අතර ඉන්ධන මිල වැඩි වීම ගැන කසු-කුසු ඇති වන විට මා දුන් පිළිතුර නම් "වැඩි ගාණට එන එකෙන් මං පස්සෙ ගහ ගන්නම්" යන්නයි. ඔබේ විග්‍රහය අනුව මගේ සගයන් පෝලිමේ රස්තියාදු වීමත් මා එසේ නොවීමත් ආර්ථික විද්‍යානුකුලව ග්‍රහණය කර ගන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. මේ හැසිරීම හඳුන්වන ආර්ථික විද්‍යාත්මක නාමය "කුසීත කම" නම් වේ.

      Delete
  2. මගේ අදහස් නම් ටිකක් වෙනස්. හැමෝටම අමතක වෙලා තියෙන්නේ මීට වසර 3 කට කලින් පෙට්‍රෝල් වල මිල. වසර 3ක්ම එකම අඩු ගානට දුන්න. නමුත් ඒ කලේ ලෝක වෙළඳ පොලෙත් මිල පහල තිබ්බේ.

    පෙට්‍රෝල් කියන්නේ ලංකාවේ තියන දෙයක් නෙවේ. ඉතින් ඒවා වැඩි ගානට ගෙනෙත් අඩුවට විකිනු විට එකේ පාඩුවත් අන්තිමට අපිටම දරන්න වෙනවා. ගාන වැඩි කලාම වාහන තියන අයට තමා දරන්න වෙන්නේ. වැඩි කලේ නැත්තම් පෙට්‍රෝල් කළුද සුදුද කියලවත් දන්නේ නැති දුප්පත් මනුස්සයටත් එක දරන්න වෙනවා. එකක් කියන්න ඕන. අර කාලකන්නි ත්‍රී වීල් කාරයෝ උඩ පැන පැන ගාන වැඩි කර ය්. නමුත් උන් පෙට්‍රෝල් 117 බස්සපු වෙලාවේ සත 5ක් අඩු කලේ නෑ.

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා,

    වයස අවුරුදු 92 ක ලෝකයේ වයෝවෘද්ධම නායකයා බවට මැලේසියාවේ මහතීර් මොහොමඩ් පත්වේ. මැලේසියාවේ මජනතාවගේ චන්දයෙන් තේරී පත්වු මෙම හිටපු අගමැතිවරයා බ්‍රහස්පතින්දා දිවුරුම් දීමට නියමිතව ඇත. තවද මේ නිසා දින දෙකක් නිවාඩු මැලේසියානු ජනතාවට හිමිව තිබේ.

    මහතීර් මොහොමඩ් නායකත්වයේ සිටි අත්තිතයේදී මැලේසියාව විශාල ආර්තික දියුණුවක් ලැබිය. ඔහුගේ පාලන සමයේ හිටපු නියෝජ්‍ය අගමැති අන්වර් ඉබ්‍රහිම්ව බලයෙන් පහ කෙරිණි. දැන් මහතීර් කියන්නේ ඔහුට සමාව දි රටේ ඉහලම තනතුරට තරග වැදීමට ඉඩ දෙන බවයි. එරට ආණ්ඩුව කියන්නේ මෙම මැතිවරණය සාදාරන හා සාමකාමී එකක් බවයි. නමුත් ඇතැම් රාජ්‍යය නොවන සංවිදාන එය එසේ නොවන බව කියා සිටි.

    ReplyDelete
  4. ඉකොනො, සෑම මෙවැනි පොදු ප්‍රශ්නයකදීම මෙන් හේතු සහිතව කරුණු දක්වන්න දක්වන්න එයට විරුද්ධ කිහිප දෙනෙකුත් සිටින බව නිරීක්ෂණය විය. වෙනස්වීමට බිය පුද්ගලයන්/ තිබෙන විදිහ හොඳ යයි සිතන පිරිස් මේ වර්ගීකරණයට අයත්, තිබෙන විදිහට ගැටගසාගෙන ජීවත්වීම වෙනස්වීමට උත්සාහ කිරීම අවධානමට වඩා පහසුදායක බව ඔවුන් සිතති. ඇත්තෙන්ම මේ දුර්වලතාවය අප රටේ දුප්පත්වීම යනාදී බොහෝ ප්‍රශ්න වලට මුල වෙයි.

    ඔබේ විග්‍රහය අනුව අනෝමා ජනාදරිගේ ලිංගික අධ්‍යාපනික ග්‍රන්ථය විද්‍යානුකුලව ග්‍රහණය කර ගන්නේ කෙසේද?

    //විනීරියෝලොජි සහ කාම ශාස්ත්‍රය හෙවත් සේක්සොලොජි අප සමාජයට ඉතාමත් වැදගත් වුවත් ඒ පිලිබඳ කතා බහ ඇත්තේම නැති තරම් ය. අප රටේ මේ ක්ෂේත්‍රය පිළිබඳව තිබෙන අතිශය රහස්‍යභාවය නිසා යතාර්තවාදීව කථා බහ කරණ අය දුර්ලභ බවත් පාසල් වල මෞත්‍ර ලිංගික පද්ධතිය ඉගැන්වීමට මැලි ගුරුවරියන් බහුල බවත් ඔවුන් බොහෝ විට උගන්වන්නේ මෞත්‍ර ලිංගික පද්ධතියේ මෞත්‍ර කොටස පමණ කි.

    මෙවැනි තත්ත්වයක් මත අනෝමා ජනාදරී අපේ ප්‍රකට නිළිය ලිංගික අධ්‍යාපනික ග්‍රන්ථයක් පසුගිය දා එළි දැක්වුයේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ද විශාල හිඩැසක් පුරවාලමිනි.

    අනෝමාගේ මේ සද් කාර්ය අගය කරණු වස් ඇගේ “ප්‍රේම ජවනිකා” නමැති කෘතිය පිලිබඳ විද්වත් විචාර සම්මන්ත්‍රණයක් වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහභාගී වී පවත්වයි.

    එළැඹෙන 16 වෙනි බදාදා සවස 3.00 ට පිටකෝට්ටේ භූ විද්‍යා හා පතල් කාර්යාංශ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වෙන මේ වැදගත් අවස්ථාවට දේශක වරුන් වශයෙන් සහභාගී වන්නේ ලිංගික අධ්‍යාපනික ක්ෂේත්‍රයේ වඩාත් වැදගත් කාර්ය භාරයක් ඉටු කරණ ගෞරවණීය වෛද්‍ය ජානකී විදානපතිරණ ( ප්‍රජා වෛද්‍ය විශේෂඥ),මහාචාර්ය කොල්වින් ගුණරත්න( කුලපති – වෛද්‍ය පීඨය) ,වෛද්‍ය කාලෝ ෆොන්සේකා,පවුල් සෞඛ්‍ය සැළසුම් පිලිබඳ ආයතනයේ වෛද්‍ය අධ්‍යක්ෂක හරිශ්චන්ද්‍ර යකන්දාවල යන විද්වතුන් වේ.

    ලිංගික ගැටළු පිළිබඳව පීඩා විඳින මහා ජනතාවට මෙන්ම ඒ විෂය පිළිබඳව උනන්දුවක් දක්වන විද්‍යාර්තීන්ට එකසේ මෙම සම්මන්ත්‍රණය වැදගත් වේ.සියලු දෙනාට මේ අවස්ථාවට නොමිලේ සහභාගී විය හැකි බව සංවිධාන මණ්ඩලය දන්වයි

    – අනෝමා ජනාදරි//

    ReplyDelete
    Replies
    1. මට තියෙන ප්‍රශ්නෙ ඕක භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ තියෙන්නේ ඇයි කියලා

      Delete
  5. අරුණි ශපීරෝ‍ වෙතින්
    ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයට පදනමක් නොමැති විවිධ දේ දමන තවත් බොහෝ අය ඉන්නවා. සමහර විට ආර්ථික දිවැස් ලෙස ලේබල් කර මොනවා හෝ දෙයක් අලෙවි කර ගැනීමේ අරමුණු මෙවැනි ප්‍රචාර පසුපස තිබෙනවා විය හැකියි. මට එවැනි ආර්ථික දිවැස් බලා නාස්ති කරන්න කාලයක් නැහැ. ඒ නිසා, මෙහි ආර්ථික දිවැස් දැමීම එතරම් වැඩක් නැති දෙයක්.

      Delete
  6. මා ජීවත් වෙන සිනුවර පෙට්‍රල් මිල සතියක් ඇතුළත සමහර විට ශත 20 කින් පමණ වෙනස් වෙනවා. අඩු වශයෙන් ශත දහයකවත් දෝලනයක් තියෙනවා අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා වෙන විට.

    මා කරන්නේ හැකි සෑම විටම අඟහරුවාදා පෙට්‍රල් ගැසීමයි, එවිට ෆුල් ටෑන්ක් ගහනවා. වෙනත් දිනවල අවම ප්‍රමාණයක් ලබා ගන්නවා. ඒ පෙට්‍රල් ගහන්නේත් බොහෝවිට ශත හතරේ වවුචර් ඇති තැන්වලින් පමණයි.

    ReplyDelete
  7. තෙල් නිධි ඇති ඔසී රටේ ද තෙල් මිල තීරණය වෙන්නේ සිංගප්පූරුවේ බොර තෙල් මාකට් එකේ මිළ අනුව ය. සිල්ලර තෙල් මිලට ඊට අමතරව ඔසී රටේ පෙට්‍රල් බද්ද ද, සාපේක්‍ෂව වැඩි පඩි ලබන සේවක වැටුප් එකතු වේ.
    මෙන්න මං 2015 ජනවාරියේ ලියූ ලිපියක්.
    http://bit.ly/Petrol2015January

    ReplyDelete
  8. කලින් ලිපිය ලියා මාස කිහිපයකට පසු ඔසී ඩොලරයේ මිළ අඩුවීම ද, බොරතෙල් මිළ වැඩිවීම ද නිසා, අපේ පැත්තේ පෙට්‍රල් මිළ නැවත ඉහළ ගියේ ය.

    මේ මා ඒ ගැන ලියූ ලිපියයි.
    http://bit.ly/PetrolPriceHike2015

    ReplyDelete
  9. ඔතන වැඩියෙන්ම තියෙන්නේ "මම පොර" සීන් එක මිසක් මහා ලොකු ආර්තික විද්‍යාවක් නෙමේ.. අඩුම ගානෙ ලංකාවෙදි...

    ඔය වගේ වෙලාවට වරු ගනන් පොලින් වල රස්තියාදු වෙලා, කොහොම හරි ටැංකිය පුරවගෙන (අනිකාට හෙන ගැහුවත් මට මොකෝ තියරිය), ඊට පස්සෙ එහෙම කර ගන්න බැරි වුන, කර නොගත්ත උන් ඉස්සරහා "මම නම් ඊයෙ ෆුල් ටෑන්ක් ගහ ගත්තා. අපෝ බැරි වුනාද?" ආදී වශයෙන් ලොරි ටෝක් දෙන අය දැකලා ඇතිනේ....

    නැත්නම් ඔය රුපියල් දෙතුන් සීයක්, ඉතුරු කරගෙන මොන මගුලක් කරන්නද දැන් ලංකාවේ....

    ReplyDelete
    Replies
    1. රුපියල් 117ට තිබූ පැට්‍රල් ලීටරය 137 වේ නම් වැඩි වීම 17.01% කි. රුපියල් 3000 ක පැට්‍රල් ගසන කෙනෙකුට මේ වැඩි වීමෙන් ගෙනෙන ක්‍ෂණික අවාසිය රුපියල් 512.82 කි, 5000 ක පැට්‍රල් ගසන්නෙකුට එය 854.70 කි. ඒ මුදලින් ගෝල්ඩ් ලීෆ් 17 ක් ම ගත හැකි බව මගේ මිතුරෙක් කීවේය. මෙය පාන් ගෙඩි 14 ක් ගත හැකි මුදලකි. නැතිනම් තුන් දෙදෙනෙකුගෙන් යුත් පවුලකට කඩේකින් හොඳ කෑම වේලක් කෑ හැකි මිලකි. ලංකාවේ බොහෝ පවුල් වලට රුපියල් 850 ලොකු මුදලකි. එහෙත් 850 ලොකු මුදලක් වන ඒ පවුල් රුපියල් 5000 ක පැට්‍රල් ගසන්නේ නැත. මල්ලිලාගේ සාක්කු පිරෙන්න සල්ලි දෙනවා කියා බලයට පත් රනිලා මහබැංකුව උලා කා තම ගජ මිතුරාගේ සහ උගේ නරි බෑණාගේ සාක්කු නම් පිරෙව්වේය. පංචවිධ ක්‍රියාවලියෙන් කාර් ගන්නම් කියා රෙද්ද තමාගෙන ගෙදර ආ පංචවිධ කාර් අක්කා කාරෙක සමග තවම ප්‍රපාතයේය.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.